Thursday, May 2, 2019

උඩගෙදර කතා 143 ("කහට.... ")

" කහට..."

                    දැම්ම ම මල් හැදිල.
                          
                    අවුරුදු කියල නෑ. ඒ කැලෑ කෑමට පෙරේත අය ඉන්න බව දන්න හින්දා මිනිස්සු එව්වා ටවුමටත් ගෙනත්, විකුණංට. දවසක් හමාරක් පරනයි කියලා නම් පෙනෙනවා. ඒත් ඒක ලොකු ප්‍රශ්නයක් නෙවේ... අළුත් පිටම නම් වැඩියෙං හොඳයි තමා. ඒකට කියල දැන් එහෙම අපිට ඕනෑ ඕනෑ හැටියට ලැබෙනවායැ.

                    ඉස්සර නං කහට මල් පිපෙංට මැයි මාසේ මැද හරියවත් වෙංට ඕනෑ. දැං වුනත්.... මයෙ හිතේ, කහටමල් පිපෙන කාලේ වෙනස් වෙලා නෙවේ, අපි චන්ද්‍ර මාස බෙදා වෙං කරන හැටි වෙනස් වෙල තියෙන්නේ. තවම ස්වභාව ධර්මය වෙනස් කරංට තරම් අපි දියුණු නෑ.

                    බක් මහෙං සුමානයක් දෙකක් ගියාම එන පොඩි හුලඟට කිව්වේ කහටපත් හුලඟ කියල. මොකද ඒ හුලඟට කහට ගස්වල කොල හැලෙනවා. අර ලොකු කොල. ඊට පස්සේ ඔන්න මල් පිපෙංට පටං ගන්නවා. පිපුන කහට මල් හරි ලස්සනයි .. ඒ වාගෙම සුවඳයි. ඔය අතරේ අර හුලඟත් වර්ධනය වෙනවා, හුන්නස්ගිරියේ කන්ද කපපු තැනදී එහෙම සාක්කු වල තියෙන සල්ලිත් ඉගිල්ලිල යංට තරම් වෙනකල්..! ඔතෙංට ඩිංගක් එහායිං තමයි A26 පාරේ, සීතල පිරිසිදු දිය පාරවල් කන්දෙන් ගලා හැලෙන 'කහටගොල්ල' තියෙන්නෙත්.. නුවර මයියංගන පාර.

                     මල පිපෙංට කලිං වුනත් පිපුනට පස්සේ වුනත් ඒ අගහරිය කපල දාල හෝදා ගෙන යංතමට තම්බා ගන්නවා. හුඟක් තැම්බුනොත්, ඒ කියන්නේ බෙරි වුනොත්  හොඳ නෑ. රහ නෑ. ඒ තම්බා ගත්ත කහට මල්, වැඩිපුර තියෙනවා නං, අඟල් කාලේ විතර කෑලි වෙංට වනේ කොටා ගන්නවා. තියෙන්නේ ටිකයි නං පිරිසිදු ගලකිං තලා ගංටත් පුලුවං. දැං ආපහු ඇල් වතුරෙන් හෝදල මිරිකාගෙන, මිරිස් තුනපහ, අමුමිරිස්, කහ, රම්පේ කරපිංචා, ලූනු, ලුනු එක්කරල වතුර ටිකක් එක්ක උයල අබ ඇට  ටිකකුත් පුපුරවල තෙල් දා ගන්නවා. පොල් සම්බෝලයක් මිශ්‍ර කරල මැල්ලුම හදා ගංටත් පුලුවං. හාල් මැස්සං, කොස් ඇට එක් කරල රස වැඩි කර ගන්නවා. පිළියෙල කර ගන්න වෙන ව්දිහක් නං දන්නෙ නෑ.

                     මල් ආහාරයට පිළියෙල කර ගංට ඕනෑ ළපටි කාලයේදියි. නැත්තං, මෝරල දොඩම් ගෙඩි වාගේ හැදෙන කහට ගෙඩි මිනිසුංට කංට බෑ. ඒවා කන්නේ ඌරෝ. ඒ හිංදම මෝරපු කහට ගෙඩි වලට ඌරු කහට කියලත් කියනවා.

                      කහට වෑංජනය පෝෂ්‍යදායී බව අපි දන්නවා. සරීර අභ්‍යන්තරයේ විශේෂයෙන්ම බඩ වැලෙයි ආමාශයෙයි හට ගන්න තුවාල වලට කහට ආහාරයට ගන්න එක බොහොම හොඳයි කියලයි කියවෙන්නේ. ඒ වාගෙම දරු ප්‍රසූතියකට පසු මවගේ ඇතිවෙන අභ්‍යන්තරයි බාහිරයි තුවාල වලටත් කහට ආහාරයට ගැනීම හොඳයි. කාටත් බාහිර තුවාල සේදීමට කහට පොතු තැම්බුව වතුර හොඳයි.

                       ඉස්සර පං වර්ග වර්ණ ගන්වංටත්, සිවුරු පඬු පොවන කොටත් කහට පොතු තම්බල ගත්තලු.

                        කහට මල් වෑංජනය .... කිරි රහ හරි පැණි රහ හරි නං "කහට" කියල නම දායියැ! එව්වා කහට රහයි. ඒක පිරිය හිතෙන ලා කහට රහක්.. !

                                                                                                   simple"s"
2019.04.23

පළමු වැනි සහ සිව් වැනි පින්තූර අන්තර්ජාලයෙනි.