Friday, November 30, 2018

උඩගෙදර කතා 39 (කිරිබංඩි)


                               "කිරිබංඩි"

අපෙ වෙද මහත්තයා..                 04

             අර ඇත්තෝ ඇවිත් ගියාට පස්සේ අපෙ අම්මයි අප්පච්චියි ඉන්නේ හරි සන්තෝසෙං කියල මට හිතෙනවා. පුංචි පුංචි විහිළු, හිනාව එහෙම ගෙදර පිරිල. අපි විතරක් ඉන්න තැන වාගේ නෙවෙයි, අප්පච්චිත් ඉන්නවානං අපෙ අම්මා සද්දෙං හිනාවෙන්නෙ නෑ. එහෙම කලාතුරකිංවත් ඇහුනා නං ඒ අපි කව්රුවත් නෑ කියල ඒ දෙන්නා හිතන වෙලාවක. ඒ වුනාට අපෙ අම්මගෙ  ඒ මීරි හිනාව මට නං දෙතුං සැරෙයක්ම ඇහිල තියෙනවා. අපිත් එක්ක ඉන්නකොට හිනාව වෙනස්. ඒ රහස් හිනාවට සමවෙන හිනාවක් මං මේ වෙන තුරා කායෙංවත් අහල නෑ. ඒ තරම්ම කනට පිරියයි.

                මං මයෙ කාමරේට එනවා ඒ දෙන්නම දන්නෙ නෑ. කතාවේ මැද්දක ඉඳල මට ඇහුනා..

"මයෙ දුවට.. මයෙ දුවට...මයෙ දුවගෙ.. මයෙ දුවගෙ.. කොච්චරවත්! ඉතිං ඒ දවස්වල මටත් ඔව්වා හදල දුන්නේ නැත්තේ ඇයි මයෙ දෙයියෝ? අනිත්තෙක ලොකු ලමයි දෙන්නට.."
"ලොකු දුවගෙ ඒ දවස්වල ඇස් වටේට කලු වෙල තිබ්බනෙ. ඒත් ඔයෙ ඇස් එක්ක මයෙ ගනු දෙනු නෑනෙ. හීං දුවට මෙව්වා කරංට වෙලාවක් තිබ්බ එකක්යැ. දුවලෑ අම්මට නං ... එව්වා කතා කරනවා තියා මූණ දිහාවත් කෙලිං බැලුවා නං අපෙ මාමණ්ඩි මං ගහල පන්නයි. අනික ඉතිං තව හැඩවැඩ කරංට අඩුවක් තිබ්බායැයි? එහෙමත් කෙරුවා නං මස්සිනා.. හොරෙං උස්සාගෙන යංටත් තිබ්බා.." අපෙ අම්මගෙ අර මීරි හිනාව ඔන්න අයෙම.

"මේක හැදුව එකත් හොඳයි දෙයියෝ.. කෙල්ලගෙ මූණේ කුරුලෑ ගෙඩි දෙක්කුත් ඇවිත් තියෙනවා"
"ඒකට මෙව්වා හරි යන්නෑ.. ඔයෙ, මේ වාගේ වෙලාවට හැටි! කල්පනා කර කර ඉන්න එක.. කොච්චරවත් කණ්ණාඩියේ එල්ලෙන එක.. අමතක වීම.. තනියෙම හිනා වෙන එක.. කීයක් ලෙඩද? ඇයි දුවලෑ අම්මත්... මතක නැද්ද..? අපි ඉතිං එව්වා ඉවසාගෙන එයා සංතෝසෙං තියන එක තමයි බෙහෙත.."
"ඔව් ඔව්.. තනියෙං හිනා වෙනවා.. කොල කෑලිවල මොනොවාදෝ ලියනවා.. කල්පනා කරනවා..වැඩ ගොඩයි.."

               අයෙත් අපෙ අම්මගෙ අර හිනාව.
හරි.. දැං මං ආවා කියල පෙන්නංට හොඳ වෙලාව.. මං හීං සද්දයක් කෙරුවා..
"මයෙ දුව.. මයෙ දුව.." අප්පච්චි මට අඬගහනවා. හොරා.. !
"අප්පච්චී.."
"මයෙ දුවත් එංටකො.."

"මේ කුඩ දවසට දෙසරයක් මූණෙයි බෙල්ලෙයි ගාංට ඕනෑ. රෑට නං ගාගෙන ඉංට බැරි වෙයි.. ඒකට හැන්දෑවේ ගාල පැයක් හමාරක් තියාගෙන හෝදල දාංට.. එළකිරි වලිං ඒ ඒ වෙලාවට තලපේ වාගේ හදාගෙන හීං තට්ටුවක් ගාංට. කිරිවල යොදේ අයිං කරල ගංට ඕනෑ. තෙල් ගතිය මූණට හොඳ නෑ. වේලිච්ච හමට නං වැරැද්දකුත් නෑ. කුරුලෑවලට, මයෙ දුව මේ බෙහෙත් පටං ගංට කලිං දවස් දෙකක් විතර දවසට හතර සැරයක් විතර සබං ගාල හොඳට හෝදල දාංටකො.. සබං සේසයක්වත් ඉතුරු වෙංට බෑ.. ඒ වෙලාවට මූණ හොඳටම වේලිල වාගේ දැනෙනවා නං අරලුප්පිටි ඩීංගක් ගාල දාංට... හා.. මේක ගැන කියල දෙංටත් එපායැ.. මේකේ තියෙන්නේ සුදු හඳුං, කොකුම් පොතු, මුං ඇට. තව.. ටික ටික., වේලිච්ච සමන් පිච්ච මල්, වේලි කහ.. මේක ගාන දවස් වල මයෙ දුවට ලෙඩ්ඩු බලංට නං එංට බෑ.. හෝදල දැම්මත් කහපාට මූණේ ඉතුරු වෙනවා දවසක් දෙකක් යනකල්. කමක් නෑ එව්වා මං පස්සේ කියල දෙන්නං."
"මේ දවස් වල ගිනියං කෑම නවත්තල සෞම්මිය එව්වා ගංට වෙයි.." අපෙ අම්මා කිව්වා.
"ඔව්.. කුම්බලා කරෝල, කටුවල, දෙල් වාගේ එව්වා එපා. බල කරෝල, හරක් මස් එහෙමත් හොඳ නෑ.. එව්වානං අපි ගන්න එකක්‍ යැ.. ඔයෙ බෙලිමල් වතුර  එහෙම හොඳටම හොඳයි.. තව එව්වා පස්සේ මං  කියන්නං.."

             ඉයන ගෙට ගියාට පස්සේ මං අපෙ අම්මගෙං ඇහැව්වා..
"ඔච්චර විස්තර නං කිව්වා.. මෙව්වා ඇයි ඔයෙ?"
"මයෙ දුව තව ලස්සන වෙංටනෙ.. මංගල්ලෙට කලිං.. අයෙ ඕකට ඉතිං මූණ රතු කර ගංට දෙයක් තියෙනවායැ. එහෙම මූණ රතු වුනාමත් මයෙ දුව ලස්සනයි. හැබැයි.. කිසි වෙලාවක තරහ ගංට නං හොද නෑ.. මූණ කැත වෙනවා කිව්වා ඕ."
"අප්පෝ මේ මදැයි.. අපෙ අම්මා.."
"අප්පච්චිට එහෙම ලස්සන මදි වෙංටෑ.." අපෙ අම්මා හිනා වෙවී කිව්වා, මයෙ ඔලුවත් අත ගගා..

              අයෙත් මං තනි වුනා. ඒත් ඉතිං එකම දේ මං කී සැරයක් හිතනවද? ආපහු මතක් වෙංට තියෙන්නේ ඒ ටිකම විතරයි..

               එදා ලස්සන හීං බබෙක් ඇන්න අම්මෙකුයි දුවෙකුයි ආවා.. ඒ කිරි කැටියා දැක්කම මට ඉහිලුං නැතුව ගියා. රෝඕඕස පාටයි. ඔලුව ගස්ස ගස්ස දකින දකින එව්වා දිහා බලන හැටි... මං "ංක්කු.. ංක්කු... " කිව්වා... ඒකට හොක්ක කටිං.. හිනා වෙනකොට ගිලිංට හිතෙනවා. මට මොනවාදෝ මොනවාදෝ  මතක් වෙංට පටං ගත්තා..මයෙ ඇඟිල්ලක් අල්ලා ගෙනමයි  හිටියේ..

"අපෙ වෙද මහත්තයා මේ දරුවගෙ ඇඟ මුලුවස්සං බිබිලි ජාතියක්."
"කොයි බලංට.. "

               අප්පච්චි ඇස්, දිව, අල්ල, යටිපලු එහෙම බැලුවා. බෙල්ලට අත තියලත් බැලුවා.
"බය වෙංට දෙයක් නෑ.. මේ දවස් වල පෑයිල්ලට දාඩිය බිබිලි. රතේ හැදෙංටත් වාගේ.. නාවනකොට රත් කර ගන්න වතුර එකට රත්මල් ටිකක් බේත් අනෝද කොල ටිකක් දාල තම්බංට. නාවල හෙමීට පිහින්නේ.. පිහදාල ඉවර වෙල අරලුප්පිටි යාංතං ඇඟේ තවරංට.  විසෙසෙංම මේ කිරිබංඩි වල වතුර තියෙංට දෙංට එපා. හොඳට සිනිඳු පාංකඩ කැල්ලකිං හිමීට
පිහල අරලුප්පිටි තවරංට. කිරි දෙන අම්මා කිසිම ගිනියං .. සැර කෑමක් බීමක්, තක්කාලි අන්නාසි වාගේ සැර ඇඹුල් ගංට එපා ටික දවසකට, දුහුල් කෑම බීම විනා. මේ රත කල්කේ ගම්මිරිස් ඇටයක් විතර මව් කිරි වල දිය කරල උදෙයි හවහයි පොවංට. පරන වේට්ටි කෑල්ලක් වාගේ සිනිඳු රෙදි කෑල්ලක් විතරක් ඇඟට දාංට. පැදුරටත් ගොරෝසු රෙදි එලංට එපා.. බෙහෙත්  පටං ගන්න දවසේ නාවංට එපා. ඊට පස්සෙත් මේ බිබිලි යට යනකල් දවසට දෙසරේ නාවන්නෙ නැතුව මද්දහනට කලිං එක සැරෙයක් නාවල ගංට. අද හැන්දෑවට ලමයගෙ ඇඟ වැඩිපුර රත් වෙනවා නං හරි,වැඩිය අඬනවා නං හරි බේත් ඔක්කොම නවත්තල හෙට උදේම ඇන්න එට ඕනෑ.. ඔක්කොම තේරුනා නේද? හොඳයි එහෙනං ගිහිං එංට. තුනුරුවන්නෙ පිහිටයි." අප්පච්චි ඒ පැටියගෙ අතක් ඇල්ලුවේ මලක් අල්ලනවා වාගේ බොහොම සීරුවෙං. පැටියා හිනා වුනා..දරු පැටියට බුදුන්නේ සරණයි.. මාත් හිතිං හිතුවා.

"මයෙ දුව මං දරුවා හොඳට බැලුවේ.. දෙය්යන්නේ ලෙඩ වද්ද කියල. අර සරම්ප කියන එක. මං ඒ බැලුවේ නළලෙයි යටි පතුල් වලයි තමයි ඉස්සර වෙලම හැදෙන්නේ..එහෙම වුනා නං නාවංට හොඳ නෑ... සෙම වඩන මොකවත් දෙංට හොඳ නෑ.. "
"අප්පච්චි එතකොට ඒ දෙයියන්නේ ලෙඩ ජාති හැදුනම කාගෙවත් ඉඳුල් කංට හොඳ නෑ කියන්නේ?"
"ඒක මයෙ දුව අනික් පැත්තට ඔය දැං කියන්නේ.."
"ලෙඩා කෑව බීව දේ අනික් අයටයි කංට හොඳ නැත්තේ.. ඒ තියා එයා පාවිච්චි කරන කෝප්පේ පිඟාන වාගේ දේවලුත් වෙං කරංට ඕනෑ.. ඒ ඔක්කොම. අනික් අයට බෝවෙන හිංදා.."

                 අප්පච්චි තව කතාවකට මුල පුරංට හදන කොටම තව කව්දෝ මිදුලේ උගුර තනනවා ඇහුනා.
"එංට කියංට මයෙ දුව.."

                 ටිකිරි අක්කයි ඒ නැංදම්මයි. ටිකිරි අක්කා දැක්කම මට දුකක් හිතුනා. එයාට කසාදයක් කර ගංට බැරි වුනා.. දැං අවුරුදු තිස් පහක් වත් ඇති. දැන්නං ඒ බලාපොරොත්තු අත් ඇරලත් ඇති. වැඩට පලට ඉලංදාරියෙක් වාගේ හැඩි දැඩි වුනාට, හරිම අහිංසක ගෑණු කෙනෙක්. බාල කාලේ මං ඉස්කෝලෙට එක්කර ගෙන ගියේ ටිකිරි අක්කා. දවසක් මා ඔයේ නාංට ගිහිං එපා කිව්ව එකක් කරල මං වතුරේ පෙවෙංට ගියා. පණ එපා කියල එගොඩ ඉඳල ඇවිත් ටිකිරි අක්කා එදා මං ඇදල ගත්තේ නැතුවා නං... මයෙ අප්පෝ..! ඒ වෙලාවේ මයෙ කම්ඹුල් දෙකට ගැහැව්ව පාරවල් දෙක නං ජීවිතේට අමතක වෙන්නෑ. ඒ විතරක් නෙවේ, අපෙ අම්මලාට කියන්නෑ කියල වෙච්ච පොරොන්දුව අද වෙනකලුත් කැඩුවෙ නෑ. එදා මට තරහිං ගැහැව්වේ කියල මං බොහොම කාලයක් හිතාගෙන හිටියේ. ඒත් එහෙම වෙලාවක හිතේ එන ගැස්සීම නැති කරන්නේ එහෙමලු කියල පස්සේ දැන ගත්තා.

"අප්පෝ ටිකිරි අක්කා.. එංට එංට.. මං බලංටද... අප්පච්චිට කතා කරංටද? '
              ටිකිරි අක්කා මූණ හරවල පෙන්නුවා. ටිකක් ඉදිමිල..
"දතේ අමාරුවක්..?
"ඔව්.. මයෙ නංගී.. දවසක් දෙකක්ම.."

"ටිකක් දවස් ඉඳලම අපෙ මාමණ්ඩී... මාසයක් විතර විදුරුමහ වන වෙංට පටංගෙන.. මැද්දට යන්නෙත් නෑ, දත් මුල් කලු වෙලත්. ඊයේ උදේ ඉඳල ලේ ටිකකුත් ආවා.. "
"හ්ම්...දත්මුල් වනවෙල තමයි. දත් මුල් දිය වෙංටත් පටංගෙන.. ඕකට අපි උදේ හවා මදිංට දත් බෙහෙතක් හදාගමු. ඕක සතියක් යනකොට මගෑරිල යයි. දැං යන ගමං පල්ලෙහා වෙලෙං, කටු ඇනගන්නැතුව නීර මුල්ලිය දන්ඩක් දෙකක් කපාගෙන හප හප යංට. හෙට උදෙත් හපංට. හෙට හවහ ඉඳල දත් මදිංට මේ කුඩ හදා ගංට. ඉඳහිටක කරඳ මුල් කෑල්ලක්, බෝඹු දඬු කෑල්ලක් කපාගෙන දැහැටි කුරක් හදාන දත් ටික මදිංට.. හිඟුරු කෝටු කෑල්ලක් වුනත් කමන්නෑ.. දත් අස්සේ යන කෑම කෑලි රැඳිල තියෙනවනේ. එව්වා අයිං වෙනවා අඩුයි ඇඟිල්ලෙං විතරක් මැද්දට. දත් කුඩු ටික හදා ගන්නේ මෙහෙමයි.. අරළු ගෙඩි හත අටකුයි කරුංකා පුවක් ගෙඩි දෙක්කුයි ඇන්න පිටපැත්ත යන්තං කළු වෙනකල් පුස්සා ගංට. අරළු ඇට අයිං කරගෙන ඒ දෙවගේ හොදට කුඩු කර ගංට. දහයියා අලු, ඒ කියන්නේ කලු පාටට, සමව ඇන්න සහිඳ ලුනු ගම්මිරිස් ඇට දෙකක ප්‍රමානේ පිටි වෙනකල් කුඩුකරල හොදට කලවං කරල ගංට. ඒකෙං උදේ හවා දෙදවහක් විතර දත් ටික මදින කොට ඕක හරි යනවා පුතේ. ඒ කුඩෙං ටික කාලයක් දත් මදිංට.. ඔය දත්කුඩු ටිකට තෙතමනේ වදිංට දෙංට එපා. සහිඳ ලුනු තෙත උරාගෙන කැට ගැහෙනවා."
"අපෙ අයියට පිං සිද්ද වෙනවා."
"මයෙ දුව ඔය සහිඳ ලුනු ටිකක් ඊයං කොල කෑල්ලක ඔතල දෙංට."
"අපෙ අයියා කෑම බීම..?"
"එව්වා පුරුදු විදිහටමයි. ඒත් ඉතිං කතුරු මුරුංගා කොල ටිකක් තැම්බේරියා කොල ටිකක් මැල්ලුං කනවා නං බොහොම හොඳයි. පොල් තෙල් වෙනුවට තල තෙල් නං වැඩියම හොඳයි. ඒ වාගෙම මැල්ලුමටත් වැඩිය සම්බෝල ගුණයි. කතුරුමුරුංගා මල් වෑංජනෙත් ගුණයි.. කට දෙපැත්ත වන වෙනවටත් බෝම ගුණයි නංගී."

                 ටිකිරි අක්කලා තේ වතුරත් බීල,
"හතර කෝල්ලේ යංට කලිං මං අයෙත් එන්නංකො අපෙ නංගී බලංට" කියල හිනා වෙල, මයෙ කම්බුලත් හෙමීට මිරිකලයි ගියේ.

                 ටිකිරි අක්කලා යනකොටම අප්පච්චි ඉයන ගේ පැත්තට ආවා.
"ඒ ඇත්තෝ තේ බීවා නේද? ඒ කෝප්ප හොඳට හෝදල උණු වතුර අල්ලල ගංට. ඕක බෝ වෙනවා මයෙ දුව.."
"ඒත් අප්පච්චි ඒ නැංදම්මට නෑනෙ.. "
"ඒක ඇත්ත. ඒ වුනාට අඩමානෙට වැඩිය විස්වාසේ හොඳයිනෙ මයෙ දුව.."

                 මට ටිකක් ආයෙත් තනි වෙංට හිතුනා. මං මිදුලට ගියා..
                 සේඳිරික්කා මල් පිපිල.. දවල් ග්‍රීස්මේ වැඩි  හිංදාදෝ හීං හුලං රැල්ල බෝම සනීපයි. ඇලෙං එහා වෙලේ ගොයමේ පැලපත තාලෙට රැළි නගිනවා.. දවසේ අන්තිම පැණි බිංදුවත් ගංට ආව පැණි කුරුළු ජෝඩුවක් මිදුල කොනේ අපෙ වද ගහේ.. කුරුල්ලා, වකුටු හොට වද මලක මුලට ඇන්න කිරිල්ළී වටේ තප්පරෙං තප්පරේට, කොනිත්තැව්වා වාගේ තටු දෙකයි පෙංදයි ගස්ස ගස්ස එයාගෙ ආදරවන්තියට සිංදු කියනවා. නටනවා... ළිඳ ලඟ පුවක් ගගේ මල් සුවඳ හැංගෙංට පටං ගත්තට, ඇල අයිනේ රුක් අත්තන ගහ අර පිස්සු හදන මල් සුවද බෙදංට පටං ගන්නවා. හැම තැනම ලස්සනයි. ඒ විතරද.. මේ ලෝකේ කිසි කෙනෙකුට නැති... ! මට මොන තනියද්ද.....?
              
                      *                     *                      *

'"ඔය නලලට, බෙදුන නිකටට උරුම කියා
කම්මුල පාත, හිනැහෙන නුබෙ වලත් තියා
ගැඹුරු නීල දෑසේ හැඩ කවක් ලියා
එන්නේ කවදාද උකුලට මයෙ  පැටියා?

පුරවමි මෙට්ටයක් වියළුනු පිච්ච මලින්
අඩ සඳ කොට්ට තවරමි සුදු සඳුන් වලින්
තොටිල්ල වට හැඩකර රන් කැකිරි පලින්
පුරවමි බිලිඳු ලෝකය රස සිහින වලින්."

             
                                                simple "s"
2018.03.03

             
           

Thursday, November 29, 2018

උඩගෙදර කතා 67 (කිලියා)


                                       "කිලියා... "

උසාවියක් පැත්තෙන් මෙහෙම ඇහුනලු... 01

                     බේබි කපා අල්ලාගත් දහයක් පහලවක් චුදිතයින් උසාවියේ..

"කාසිම්.... යුෂ්මතා බූරු ගැහුවාට වරදකරුද නිවැරදි කරුද?"
"හාමුදූරුවනේ.. මම බූරු කෙලියේ නෑ. බලාගෙන හිටියා විතරයි."
"රුපියල් දෙසිය පනහක දඩයක් ගෙවලා යන්න පුලුවන්."


                    බේබි කැපූ බව පිළිගත් චුදිතයින්ට ගෙවන්නට වූයේ රුපියල් දෙසීයකි. කලබල වූ කාසිම්:
"කිලියා.. හාමුරුවනේ කිලියා."
"හ්ම්.. බලාගෙන හිටියට දෙසිය පනහයි. කිලියට දෙසීයයි. හාරසිය පනහක්.. දඩ ගෙවන්න."


"ලාහ්.. කිලියා..."
                                                                       "s"

2018.11.05


උඩගෙදර කතා 29 (සම්බල්)


                                     "සම්බල්... "

උඩගෙදර කතා......  29

               පුංචි කාලේ අපෙ පංති පොතක තිබුනා මෙහෙම කවියක්දෝ විරිදුවක්දෝ.
"සම්බ හාලෙ බතට කැමති සිංහල අය විය බියසුලු.
මඤ්ඤොක්කයි සම්බෝලයි ගෙයි  දොර වහගෙන කනවලු.."

               මොන පොතේද, ලිව්වේ කව්ද වාගේ මොකවත් මතක නෑ. ඒ කාලේ දවසක් මම සද්දෙං මේක කියනවා අහගෙන හිටිය මයෙ අප්පච්චි අහනවා..

"මයෙ පුතා සම්බා හාලේ බතට ඔච්චර කැමතිද?"
"ඒක නෙවෙයි අප්පච්චි මට ප්‍රස්නේ... ඔය දෙකෙන් කෝක කංටද ඔය ලැජ්ජා වුනේ.. කියන එකයි. "

               කතාව තව දිගට ගියා විතරක් නෙවේ දවසක් දෙකකිං සම්බා බතුත් ලැබුනා. අද නං ඔය දෙකට තියෙන තැන කොහොමද.. !

                ඉස්සර සම්බෝලෙට ලොකු පිළිගැනීමක් තිබුනා කියංට බෑ. ඒ වුනාට උදේට නැතුවම බැරි තරමයි. හීල් බතට විසේසෙම්ම. ඒ සාමාන්නිය පොල් සම්බෝලේ. සම්බෝලෙද... සම්බලේද... සම්බල්ද හරි වචනේ මං දන්නෑ..

                 සම්බල් ජාතිත් හදන විදිහවල් කීයක් තියෙනවද! සාමාන්නියෙං සලාද කියන සමහර එව්වටත් සම්බල් කියල කියනවා, කොහිල අල සම්බලේ.. තක්කාලි සම්බලේ .. වාගේ. සම්බලේකට උම්බලකඩ දැම්මම රහ වැඩී.. පිළිහුඩු ජාති ගැන මං වැඩිය උඩ දාංට අකමැති වුනත් සම්බල් ගැන කියනකොට මොනවා කරංටද..!

                  සරළ පොල් සම්බලේ තමයි වැඩියෙම්ම හදන්නේ. ඉස්සර නං ඕක මිරිස් ගලේ ටිකක් අඹරලයි ගත්තේ. ලොකු සම්බලයක් නං වනේ කෙටුවා. දැං... !

                  පොල් ටිකක් ගෑවා, පැකට් එකෙං මිරිස් කුඩු ටිකක්, රතුලූනු නැත්තං බී ලූනු කෑල්ලක්, අමු මිරිස් කරලක් ... සමහර වෙලාවට ඇඟිල්ලකුත් කපාගෙන  හීනියට ලියල දැම්මා, ලුනු වතුර ටිකක් .. මිරිකලා දෙහි බෑයක ඇඹුල් එක් කෙරුවා, අනාගත්තා.
                  හතේ බස් එකට පමා නැත්තං වේලිච්ච් මිරිස් කරල් දෙකතුනක් කර කරල මිරිස් කුඩුයි අමු මිරිසුයි වෙනුවට අතේ පොඩ් කරල දානවා. දෙහි ඇඹුල් වෙනුවට තක්කාලි ගෙඩියක් හීනි කෑලි කපල දානවා. 
                 දවසක් දෙකක් එක විදියටම කෑවා නං හරි,  උදේ බත් ටික කන්නේ කන්තෝරුවේදී නං හරි,   දවල්ටත් කන්තෝරුවට බැඳගෙන යනවා නං හරි, හේනේදී කංට කුරහං රොටී ඇන්න යනවා නං හරි ඔය සම්බලේ, මුඩු යංට කරපිංචා කොල දෙක තූනක් ලූනු ටිකක් පැහැවල තෙල් ට්කක් දාල ගත්තොත් වැඩිය හොඳයි. නැත්තං පිලුනු වෙංටත් පුලුවං.

                   ඔය දැම්ම කොයි මිරිස්වත් නැතුව අමු මිරිස් කරල් කීපයක් ලුනු කැට දෙක තුනක් රතු ලූනු නං ගෙඩ් කීපයක් ලොකු ලූනු නං පොඩි ගෙඩියක් හරි ගලේ අඹරල, එහෙම නැත්තං අර බ්ලෙන්ඩර් එකේ දාල ඇන්න, ගාගත්ත පොල් වලට දෙහි ඇඹුල් ටිකක් එක්ක දාල හොඳට අනාගත්තම ඒක සුදු සම්බලේ.

               මිංචි සම්බලේ ගැන අපි දන්නවනෙ. එව්වා වාගෙම කරපිංචා සම්බලෙත් රහයි. ගුනයි. කෑම පිරිය නැති වුනාම බඩේ අමාරුවක් හැදුනම එහෙම බොහොම හොඳයි. විෂ සත්තු සරුපයෝ දෂ්ට කෙරුවමත් දෙනවා. විෂ නැසෙනවලු කරපිංචා වලට. එහෙම වෙලාවට කරපිංචා කැඳදෙන්නෙත් ඒකනේ.

                  ඇයි ඔය උගුර බැරැන්ඩි වෙලා? කාලෙකිං පංතියක් කරාද? වැඩිපුර කතා කෙරුවද? ඊයෙ රෑ පාටියක්ද... ගොඩක් සිංදු කිව්වද? හෙම්බිරිස්සාවක්ද? හරි... හරි...  ඕකට ඇඹරැල්ලා වෑංජනෙත් හොඳයි. ඊට වඩා ලේසිම වැඩක් තියෙනවා. පොල් කෑල්ලක් පුස්සල ඇන්න ඒක එක්ක සම්බෝලයක් අඹරාගෙන බත් කංට. තක්කාලි දාංට නං එපා.

                  "වලව් සම්බෝලේ" කියල එකක් අහල තියෙනවද? ඒ කියන්නේ කොට්ටපොල් සම්බලේටමයි. ඒ නම හැදුනේ කොහොමද කියංට නං දන්නෑ. ඔන්න දඹදිව වුනත් දවස් කීපෙක වන්දනා ගමනක්, වෙන ගමනක් යනවා නං,  ස්ටේට්ස් වල ඉන්න පොඩි දුවට දන්න කියන කෙනෙක් අතේ කටට දැනෙන දෙයක් යවංට ඕනෑ නං ඕවා වැදගත්... නරක් නොවී දවස් කීපයක් තියා ගංටත් ඕනෑනෙ. හිස් හෝර්ලිස් බෝතලේකට දාල, මූඩියට පත්තර කෑල්ලකුත් තියල හිර කරල වැහුවම හුලං වදින්නෙත් නෑ. ඉක්මනිං නරක් වෙන්නෙත් නෑ. කොට්ට පොල් හීනි තීරු කපල, උම්බලකඩත් එක්ක හොඳට වනේ කොටා ගෙන.. බැදපු කෑලි මිරිස්, ලියා ගත්ත ලූනු කරපිංචා අමු ඉඟුරු තෙලේ බැදල.. ඒකටම දානවා. ඇති තරමට ලුනුත් දාංට අමතක කරංට එපා.

                  කොහිල අල වැංජනේට වාගේ අඟල් බාගයක් තරම දිගට ටිකක් හීනියට තීරු කපල අමු මිරිස්, ලුනු, ලූනු, දෙහි ඇඹුල් දාල අනා ගත්තම රහයි ගුනයි. ඇඹුලට තක්කාලිත් හොඳයි. තක්කාලිත් ඒ වාගේ සම්බලේ හොඳයි. ඔය දෙකටම පොල් රැල් වෙනුවට මිටි කිරි ටිකක් උඩිං වක්කරල ගත්තා නං තව හොඳයි. මෙව්වට නං සලාද කියන එක තමයි වැඩිය හරි. ඒත් සලාදේකට එලවලු හරි පලතුරු හරි ජාති කීපයක් එක් වෙංට එපායැ. කැරට් සම්බලේට නං කැරට් ග්‍රේට් කර ගංට වෙනවා..

                 කැරට් වගේම බීට් අල අර කොටු කපල සලාදෙට ගන්න කොට නම් තම්බල ගන්න එක හොඳයි. ඒත් අර සලාද කොලයක් උඩ අඩුක් කරන සම්බලේටද සලාදෙටද නං කැරට් බීට් අල තම්බල හරි නැතුව හරි කමක් නෑ. සලාද කොලයයි, බීට්, පිපිඤ්ඤා , බී ලූනු, තක්කාලි පෙත්ත පෙත්ත .. උඩටම ලුනු ගම්මිරිස් ටිකක් කලවං කරල කැරට් අල අන්නාසි හීනි තීරු කීපයයි... ලුනු ගම්මිරිස් කුඩු එලවලු ඔක්කොටෝම ඉහල ගත්තත් කමක් නෑ...

                  කට්ට සම්බලේට... ලූනු, කරල් මිරිස්, උම්බලකඩ කෑලි හිටිංට තලල ඇන්න දෙහියි ලුනු වතුරයි කලවං කර ගනිමු. ලුනු මිරිසට වාගේ දියටයි සිනිඳුවටයි අඹරන්නෙ නෑ කියල සන්දේ ඇගී අක්කත් කියල දුන්නා..

                  බටු බන්ඩක්කත් සම්බල් හදනවා... එව්වා බැදලා ඇන්න. අමු මිරිස්, ලූනු, ලුනු, දෙහි ඇඹුල්  කලවං කරල.

                   කෙහෙල් මුවයි පොලොසුයි තම්බල ඇන්නත් සම්බල් හදනවා. එකට දාල නෙවෙයි...!

                  සමහර කොල ජාති හීනියට ලියල ඇන්න ඒත් සම්බල් හදනවා. ගොටු කොල, මුකුනුවැන්න විතරක් නෙවෙයි. කිරිඅලකොල දලු, තිත්ත අඟුන, අසමදකං, කෝවක්කා, තව ඇති. පුදුම වෙංට කාරි නෑ... කොහොඹ දලුත් හදනවා. සෝදන්නේ ලියල ඇන්න. හරි හරියට රතු ලූනු උම්ඹලකඩ දාංට ඕනෑ. ලුනුයි  ඇඹුලකුයි නං ඕනෑමයි. අලුහං වාගේ හමේ හැදෙන රෝග වලට, ඇඟ සිසිල් කරංට එහෙම හොඳයි.

                   සමහර මාලු ජාතිත් තම්බල ඇන්න සම්බල් හදනවා. ඇයි... වේලිච්ච හාල් මැස්සොයි කූනියි. ඒත් හදනවා. එව්වා ටිකක් කලින් තැම්බෙංට තියල සාමාන්‍ය පොල් සම්බලේකුත් දාල මලවාගෙන... එව්වට මැල්ලුම් කියලත් කියනවා. කීලං කරවලත් පුංච් කැලි ඒ වාගේ හදංට පුලුවං.

                  සීනි සම්බලේ ගැන නං කියන්නෙ නැ.  කව්රුත් මේ කිව්ව සමහර එව්වා වාගෙම ඒ ගැන හොඳට දන්න හින්දා...!

                                                         simple "s"

2018.10.18
                

            

උඩගෙදර කතා 26 (කොට්ට කිරිබත් )

උඩගෙදර කතා....          අංක 26

"කොට්ට කිරි බත්..."                       

"අප්පච්චි, කොට්ට කිරිබත් වලට ඉඹුල් කිරිබත් කියලත් කියනවලු.. "
"ඔව් මයෙ පුතා. මයෙ පුතා ඉඹුල් ගහක් දැකල තියෙනවද?"
"ඒක දකිංට අපායේ යංට වෙයි..! හා... අපි කවටයාමුණේ ගිය වෙලාවේ අඹපු එකක් නං දැක්කා."
                  
                    අප්පච්චිටයි අපෙඅම්මටයි හොඳටම හිනා.

"ඒ මයෙ පුතා කටු ඉඹුල. අප්ප්ච්ච් අහන්නේ ඉඹුල් ගහ ගැන.. " අපෙ අම්මා කිව්වා.
"ඇයි අප්පච්චි ගිය අලුත් අවුරුද්දට තෙල් ගාංට ඉස උඩිං එල්ලංට ඒ කොල ගේංට අපි ගියේ උඩගැම්මැද්දේ.. එතකොට ඒ ගහක් දැක්කනෙ."
"ඔව්.. අර ලොකු රතුමල් බිම පුරා වැටිල තිබ්බේ. මයෙ පුතා ඒ මල් නං කොට්ට මල් වලට වෙනස්. ගෙදරත් ඇන්න ආවානේද ඒ මල්? ගහේ කඳ කොට්ට ගහට වැඩිය ලොකුයි, පාටත් යංතමට වෙනස්. ඒ කඳ පුරාම කොට්ට ගහේ වාගේ ලොකු කටු. කොලත් ටිකක් එක වාගේ. ඔය සමානකං හින්දයි කඳේ පෙනුම ටිකක් එක වාගේ හිංදයි සමහර පැතිවල කොට්ට ගහටත් ඉඹුල් ගහ කියන්වද දන්නෙ නෑ. කොට්ට ගහට පුලුං ගහ කියලත් කියනවා වාගේ.  ඒ කිරිබත් කොට්ට ගෙඩිය වාගේ හිංදා කොට්ට කිරිබත් කියල නම හැදිල තියෙනවා.. ඒ පැතිවල ඉඹුල් ගහ කොට්ට ගහට සමාන හිංදා ඉඹුල් කිරි බත් කියනවා ඇති..."

              මේ කොට්ට කිරිබත් කතාව ඇදිල ආවේ අපිට උදේට අපෙඅම්මා කොට්ට කිරිබත් හැදුව හිංදා. අපෙඅම්මා මට බෙදුවේ එකයි. අප්පච්චිට දෙකයි. තව ඕනෑ නං ගංට කියල අපිට කිව්වා. පොල්කොල පෙට්ටියේ තව තුන හතරක් තිබ්බා. ටිකක් වෙලා කනකල් හතරක් පහක් කංට පුලුවං වෙයි කියල හිතෙනවා. ඒ වුනාට එහෙම ගොඩක් කංට බෑ.

"ඉතිං අප්පච්චි... මේ පැණිපොල් වෙනමයි කිරිබත් වෙනමයි ගත්තා නං ඉවරයිනෙ. නිකං කිරිබතුයි  ලුනුමිරිසුයි ගන්නවා වාගේ.."

"හොඳ එකක් ඇහැව්වේ.." අපෙඅම්මා කිව්වා.
"මයෙ පුතා අප්පච්චි හරි අම්මා හරි බත් කුරුල්ලෙක් කවනකොට නිකං බත් වලට වැඩිය රහයිද නැද්ද?"
"රහයි..."
"ආයෙ.... කිරිබත්, මං කියන්නේ නිකං කිරිබත්, හැන්දේ ගුලි කරල හරි, කෙහෙල් කොලේක දාල ඇද කොටු කපල හරි ගන්නවටද අච්චුවේ හදල දෙන එව්වටද කැමති. එහෙමත් නැත්තං හූසල් බත් බෙරි වෙංට හැදුව දාට වාගේ නිකංම පිඟානට දාල දෙනවටද කැමති?"
"ඒ එක්කටවත් නෙවෙයි.. කිරිබත් දංකුඩ හූරල දෙන එව්වට අප්පච්චි."
"මං කියන්නෙ දංකුඩ නෙවෙයි කොලුවෝ.. හොඳ කිරිබත් ගැන."
"වැඩිය බෙරිවෙල නැතුව අච්චුවේ හැදුව එව්වා හොඳයි අප්පච්චි."
"ඇයි බෙරිවෙල තිබ්බම මොකද.."
"නිකං බත් බෙරිවෙල තියෙනකොට අප්පච්චි මට කියන්නේ ඔන්න අම්ම කිරිබත් හදල කියල. ඒ කියන්නේ බෙරි වෙච්ච බත් කැමති නෑ කියන එකනෙ. කිරිබත් වුනත් මැටි අනල වාගේ බෙරි වුනාම වැඩිය කැමති නෑ අප්පච්චි."
"හ්ම්.. හොඳයි.. ඒකත් මතක තියා ගංටකො. අඹ... ගෙඩිය පිටිං කනකොටයි කපල කනකොටයි රස ටිකක් වෙනස් නේද.. "
"ඔව් අප්පච්චි... ගෙඩිය පිටිං කංට මං ආසා."
"අන්න ඒ වාගේ එකක් මෙතනත් වෙනවා..

කිරිබත් ටික හුඟක් බෙරි වෙංට නොදී බා ගෙන ටිකක් රස්නේ පිටිංම ගන්නවා. කලිංම හදාගෙන හිටිය පැණිපොල් ටිකත් ගන්නවා. ඔය පෝප්පතක් ඕනෑ තරම දිග පලලට කපා ගන්නවා. ඉතුරු කර ගත්ත දිය කිරි ටිකක් ඒකේ ගා ගන්නවා. නැත්තං බත් ඒකේ ඇලෙනවා. දැං අර කිරිබත් ටිකක් හැන්දකිං ඒ පෝප්පතට දාල වඩනවා. පැණිපොල් ටිකක් ඊට උඩිං දාල එව්වා වැහෙංට කිරිබත් ඒ උඩට පෙරලෙංට පෝප්පත රවුම් කරනවා. දැන් කොං දෙකෙං අල්ලල දෙපැත්තට කරකවනවා.. හොඳ..ට තද වෙංට. එතකොට කොට්ට කිරිබත් ගෙඩිය කොට්ට ගෙඩිය වාගේ හැදෙනවා. එච්චරයි. දිගෑරල ගන්නවා. ඉතිං තද වුන කිරිබත් ගෙඩිය අතිං කඩ කඩ ඇන්න කනකොට නිකං කිරිබතුයි පැණි පොලුයි කනවට වැඩිය රහයි."
"හ්ම්.."
"බත් කුරුල්ලා වුනත්... නිකං කිරිබත්, අච්චුවේ හැදුවා වුනත් කොට්ට කිරිබත් පොප්පතේ මිරිකල ගත්තම වුනත් රස වෙනස් වෙන්නේ ඔන්න ඔය විදියට ගල් වෙංට මිරිකල ගන්න හින්දා."

"ඉතිං අප්පච්චි පෝප්පතක් හොයා ගංට බැරි වුනොත්...?"
"ඔය වෙන කොල ජාතිවල තදවෙංට මිරිකංට බෑ. එව්වා ඉරෙනවා. ඉතිං එහෙම වෙලාවටත් කිරිබත් අච්චූවේ දිය කිරි ගාල ඇන්න, කිරිබත් තට්ටුවක් දානවා.. ඊට පස්සේ පැණිපොල් තුනී තට්ටුවක් දානව.. ආයෙම කිරිබත් තට්ටුවක් දාල හොඳට මිරිකල ගන්නවා."
"අප්පච්චී.... අච්චුවේ මිරිකනකොට අනික් පැත්තෙං එලියට එනවනෙ.."
"නෑ.. නෑ.. කට පලල බේසමක්, ලෑල්ලක් වාගේ එකක තියල මිරිකා ගංට පුලුවන්නෙ. පස්සේ අච්චුව ටික ටික උස්සල මිරිකල කිරිබත් කැටේ එලියට ගන්නවා."

"අපෙඅම්මා.. දවසක් කිව්වේ හෙම්බිරිස්සාව තියෙනකොට.."
"ඔව් ඔව්.. හෙම්බිරිස්සාව තියෙනකොට කිරිබත් අගුණයි. මයෙ පුතාට නොදී කංට බැරි හිංදා අපි හදන්නෙත් නෑ."

"අප්පච්චි... පොල් ගාල රැල් කනකොටයි, බෑයෙංම උලා කනකොටයි ඒත් රහ වෙනස් නේද?"
"අම්මා.. මෙන්න පොල් බෑය උලාකාල තියෙන ලේනා.. අහුවුනා....!"

                                                      simple "s"

2018.09.30

උඩගෙදර කතා 23 (දඹුව)

                                     "දඹුව"

මගේ අප්පච්චිගෙ කෘෂිකම (ප්‍රායෝගික) පාඨමාලාවෙන්....            (අංක 23)

                   කරුවලගහ මඩිත්ත ලඟ ඉඳලම කැලෑව පිස්සිල. කෙටුවෙ නැති ගස් වැලුත්. කරුවලගහ මඩිත්ත කියලත් කියනවා, කරුවලගහ උල්පත කියලත් කියනවා. දෙකම හරිලු.

                   අපෙ අලුත් වත්තට කැලේ කැපුව කෑල්ල නං මහසෝනා වාගේ. තනිකර දඹුව. ඇයි ලොකු ගස්වල අතු කඳුබාපු එව්වයි කැලේ කපපු එව්වයි ඔක්කොම පිස්සිලනෙ. ගිනි ගහල දවස් දෙක තුනයි. පොදයක්වත් වැටුනා නං දඹු පොලොවට පාත් වෙනවා. දැං පුංචි හුලඟකටත්, අර ලොකු කොටං පිස්සුන තැංවල තියෙන සුදු පාට අලු ඇවිස්සෙනවා. මං එදා හෙවනට හිටිය නුගේ තියෙන්නේ මළ කඳුර ලඟ වැට මායිමේ හිංදා අතු ඔක්කොම කපල නෑ. ඒ හිංදා අදත් එතනම හිටියෑකි.

                     අපෙඅම්මත් අපි එක්කම ආවා. චීත්ත කෑල්ලක් පරන සුදු හැට්ටයක් ඇඳගෙන, තව රෙදි කෑල්ලක් කොන්ඩෙත් එක්ක වැහෙංට ඔලුවේ පිටිපස්සට යංට ගැට ගහගෙන. අප්පච්චි පුරුදු විදියටම සරුවාලෙයි පරන කමිසේකුයි ඇඳගෙන. මං ... පරන සරමයි උරඉස උඩදී ගැට ගහන.. ඔලුවෙං පන්නන කමිසෙයි. ඒ කමිසේ රෙද්ද මඩපලං ලු. තව වෙලාවකට අමුරෙදි කියලත් කියනවා. අපෙඅම්මයි අප්පච්චියි ඇඳුං කිළුටු නොවෙංට මහංසිය...! පුලුවං වෙයි පරිස්සං කර ගංට... මේ දැලි කන්දරාවේ හැටියට! දැනටම දෙන්නගෙ මූනෙත් එක්ක....

                       අද අපෙඅම්මයි අප්පච්චියි කරන්නේ බිම අස් කරන එක. බාගෙට බාගෙට පිස්සුන ලොකු ලී එක ගොඩකට, හීං ලී තව එක්කට. මෙහෙම තැනිං තැන ගොඩවල්. අපෙඅම්මල මොනවාදෝ කතා කර කර ගොඩක් හිනා වෙනවා. මමත් හොරෙංම අප්පච්චිලා ඉන්න තැනට ගියා. කනුමුල් වලට අඩිය තියා ගන්නැතුව.

"ඔන්න ඉතිං එපා කිව්ව එකක් කෙරුවා.... පුතාලෑ අප්පච්චි ඩිංගක් උඩුමියා වෙල බලංටකෝ. මේං මුන්දෑ අපි ලඟ."
"ඔහොම ඒ ගහ අස්සටම වෙල ඉංට පුලුවනෑ... බිත්තර රකිනවා වාගේ. හැබැයි කල්පනාවෙං ඔන්න... " අප්පච්චි හිනා වෙල කිව්වා.
"අපෙඅම්මා මේ දර ගෙදර ඇන්න යන්නෙ නැද්ද?"
"ඈත වැඩී මයෙ පුතා. කිට්ටුවෙං හොයා ගංට පුලුවං. වරකා කෑල්ලෙං එහෙම. මෙව්වා අද හවස් වරුවේ පුස්සනවා."
"අප්පච්චි මෙව්වා පිස්සිල ඉවර වෙනකං අපි ඉන්නවද?"
"ඇයි මයෙ පුතාට ගෙදර යංට හදිස්සියිද? මේ රොඩු ගොඩවල් වලට දෙපැතකිං වත් ගිනි තියනවා. ඉතිං දෙගිනියා වෙනකොට විතර අපිට යංට පුලුවං. පමා වෙංටත් බෑ.. පොලොව පොඟංට පොදයක් වැටුන හැටියෙම මුලු වත්තම උලුප්පංටත් එපායැ."
"උලුප්පංට..!"
"ඔව් අර හතේ දහයේ උදැල්ලෙං කොටල පස් පෙරලන එක.."
"කිඹුලා උදැල්ලෙං.."
"අන්න හරි."
"අප්පච්චි ඊට පස්සේ මොනවද කරන්නේ....."
"ගලවන මුල්, තව එතකොට.. ඉතුරු වෙන ලී එහෙම එකතු කරල අයෙත් ගිනි ගහංට ඕනෑ. කැට ගල් එකතු කරල ගල් මැල තනංට ඕනෑ. කානු පායංට ඕනෑ. ඊට පස්සේ තමයි පොඩි පොඩි ගල් මුල් සුද්ද කරල බෝග ජාති හිටවන්නේ.
පුතාගෙ අම්මා, පැටියට බඩගිනි වෙංටෑ. බත් ටික කංට ලෑස්ති කරංටකො.."
"නෑ.. නෑ.. මට ගෙදර යංට හදිස්සියකුත් නෑ. බඩගිනිත් නෑ. අප්පච්චි මේ පිස්සිල නැති මඩු ගස් එතකොට...?"
"මොනවා කරංටද.. ඔහොමම තියනවා. එතකොට වැහි ආවම අයෙත් දලු දානවා.."

                     *                      *                    *

"අප්ප්ච්චි එදා මට කිව්වා මඩු ගස්වල පොරෝජනේ කියල දෙනවා' කියල. මතකයිද?" ගෙනාව බත් දවල්ට කාල මං කිව්වා. අද කෑවේ අතුල් පත් වල එලුව බුස්සරණා කොලවල. කෙහෙල් කොල වල තරං සුවඳ නෑ..

"එහෙනං අහගංටකො.. හොඳයි මයෙ පුතාලා ගන්න පොරෝජනේකිංම පටං ගන්නංකො. මයෙ පුතාලා ලී ගැට ගහල හදන කරත්ත වල රෝද මොනවද?"
"හරිනේ.. මඩු ගහෙං කපා ගන්න වලලුනේ. ඒ රෝද වලට අර වැල් වල එල්ලෙන නිමිති අලත් පොඩි කරල දානවා. එව්වා හරි සෙවලයි."
"ඊලඟට එදා ඔය කපල දැම්ම අතු ... පැල්වල බිත්ති අහුරංට, කෑලි කපල, පැල ජාති අව්වෙං බේරා ගංට වහංට එහෙමත් ගන්නවා. පුතාලා හදන සෙල්ලං ගෙවල් වහංට අහුරංට එහෙමත් ගන්නේ."
"ඔව්මයි.. මට ඒකත් සිහි නැති වුනානෙ..."
"කෑමට ගන්න විදිහවල් තමයි විසේස. දැං ඔය අතු කපල දැම්ම ගස් එකක්වත් පිස්සිල එහෙම නෑ. වැහි එනකොට අයෙම ලියලනවා කියල මං කිව්වනෙ."
"මඩු දළු..?"
"නෑ.. මඩු දලු කියන්නේ ඊට සතියක් හමාරක් පහුවෙල, අතුත් ටිකක් දිගට තැනිල තියෙන එව්වට. මඩු කොකු කියන්නෙයි, මඩු පතු කියන්නෙයි  මෙව්වට. ගහෙං එලියට ඇවිත් අග අපෙ ඇඟිලි වාගේ ඉස්සරහට කැරකිල තියෙන එව්වට. ඔය කොක්ක දිගෑරිල සතියක් විතර යනකමුත් කංට පුලුවං."
"එව්වා ඉයන්නේ කොහොමද අප්පච්චි."
"අතුල්පතකට දාල අත් ගලෙං යංතං තලනවා. එව්වා බෙරි නොවෙංට තම්බා දියෑරල ලුනු මිරිස් කහ කරාබු නැටි, එනසල්, කුරුඳු පොතු වාගේ තියෙන තරං පහේ ජාති දානවා. මඩු කොකු මත් ගතියක් තියෙන හිංදා. ඊට පස්සේ කිරියි ලුනුයි දාල ලිපේ තියල අබත් පුපූරුවල තෙල් දාල සාමාන්‍නිය විදියට ඉයල ගන්නවා. ඕකේ සුවඳයි, දෙතුං කටක් කනකල් රහයි හිංදා මහ ගොඩක් කංට පුලුවං කියල හිතෙන්නේ. ඒකට මොකද එහෙම කංට බෑ. සමහර ඇත්තෝ නං ඒ මත් රහට කන්නෙම නෑ."
"පුතාලෑ අප්පච්චි ඉස්කෝලේ නෝනමහත්තයට කියනවා වාගේ. මයෙ පුතා දන්න එව්වත් එක්ක කියනවා."
"ඉතිං සල්ලි යනවයැ නේද මයෙ පුතා..."
"එතකොට මඩු දළු කියන්නේ..?"
"කොකු දිගෑරිල... නාරටි වල වකුටු වෙල තියෙන දලු කොලත් දිගෑරිල තියෙනකොට මඩු දලු කියනවා. එව්වා නාරටියෙං හූරාගෙන තම්බා දියෑරල තෙල්ටිකක් දාල මලවල ගන්නවා. ඔය නාරටි වලිං හූරපු දලුම තද අව්වේ වේලල කොඳ හදලත් තියා ගන්නවා. එව්වා පස්සේ වුනත් අනික් කොඳ ජාති වාගේ තම්බා දියෑරල තෙල් දාල ගන්නවා."

"පුතාලෑ අප්පච්චි... මඩු පිටි?"
"අම්මම කියල දුන්නා නං ඉවරයිනෙ.."
"නෑ.. නෑ.. අප්පච්චී.!"
"ඔය මඩු ගෙඩි දෙකට කපල මදේ.. ඇත්තටම මඩු ඇටේ, පන්නාගෙන මේ වාගේ හොඳට අව්ව තියෙනකොට වේලා ගන්නවා. හැබැයි අන්න අර වාගේ ගහේදී ගිංදරට තැම්බිල තියෙන ගෙඩිවල ඇට අගුන වෙනවා. එව්වා ගන්නෙ නෑ. ඒ විදියට වේලා ගන්න ඇට රෑක් විතර පෙඟෙංට වතුරේ දානවා. වනේ කොටල පිටි කර ගන්නවා. එව්වා තුං හතර විදියකට කෑමට ගන්නවා. වෙන පිටි වලිං වාගෙම පිට්ටු හදනවා. හැබැයි, වැට මුරුංගා කොල අහුරක් දෙකක් දාලයි පිට්ටු තම්බන්නේ. එව්වට මඩුවල වමනෙට එන ගතිය නැතුවෙනවා කියනවා. පෙති තෝර කොලත් දානවා. ඒ පිට්ටු වලිංම වැලි තලපත් හදනවා. මඩු පිටි වලිං තලප, රොටී එහෙම කංටත් පුලුවං."

" මයෙ පුතා.. පිරිමි මඩු ගස් කියන එව්වේ ගෙඩි හැදෙන්නෙ නෑ. ඔය එව්වේ පිපෙන ලොකු මලෙං තමයි අර ගඳ එන්නේ. මට නං ඒක ඉවසංට බෑ.... ඔව්වේ ගුනෙත් ඔය ගමංම කියල දෙංට පුතාගෙ අප්පච්චි.."

"ඇත්තට.. මට අමතක වුනානෙ. මඩු ගහේ ඔය හැම කෑම ජාතියම අර්ශස් කියන එකටයි දියවැඩියාවටයි ගුණයි."
"දියවැඩියාව කියන්නේ..?"
"වැඩිපුර මූත්තරා යන අසනීපයක්. මේ ගම් පැතිවල අයට නං හැදෙන්නේ නෑ. ඇඟ මහන්සිවෙල දාඩිය වැටෙන හින්දයි කුරහං, මඩු වාගේ දේ කන හිංදයි."
"අපෙඅම්මා..හෙට අනිද්දා..."
"මඩු රොටී..?"
"නෑ.... වැලි තලප..."
"හ්ම්...."

                                                     simple "s"
2018.09.07

උඩගෙදර කතා 22 (වරදමන)


 

                                     "වරදමන... "

මගෙ අප්පච්චිහෙ කෘෂිකර්ම (ප්‍රායෝගික) පාඨමාලාවෙන්.                අංක 22.)

                අප්පච්චියි ධර්මෙ මාමයි එක පලෝලේ කියල දවසක් දර්මේ මාමා කියනවා මං අහගෙනයි.
"පලෝලේ කියන්නේ මොකද්ද?" කියල මං  අප්පච්චගෙං ඇහැව්වා.
"එක පලෝලේ කියන්නේ එක වයසේ කියන එකට." කියල අප්පච්චි කියල දුන්නා.

                ඔය දෙන්නා එක් වුනාම පරන වචන අහගංට පුලුවං. ඒ හින්දයි මං ඇහුවේ,
"අප්පච්චි මාත් හෙට එංටද?" කියල.
"මයෙ පුතා... ඒකනං හීං ඇත්තොංට ලේසි වැඩක් නෙවෙයි."
"ඒ ඇයි අප්පච්චි..?"
"මහ ගන කැලෑව.. කටු අතු පිරිල. කපන ගස් වල කනුමුල් හැම තැනම. පෑගුනොත් තුවාල වෙනවා. එකක් යටිපහු කෙරුවත් ඊලඟට අඩිය තියංට වෙන්නෙත් අයෙම කනමුලක් උඩමයි. යටි පතුල තුවාල වුනාම හොඳ කරංටත් ලේසි නෑ.."
"අනේ.. අප්පච්චි...!"
"යංකො.. යංකෝ.. ඉතිං. හැබැයි ගියාට මයෙ පුතාට කරංට දෙයක් එහෙම නෑ. ගහක් අස්සේ හෙවනේ ඉඳගෙන ඉන්න එක තමයි. ගස් වල අතු කඳු බාන්නේ කැලේ කොටල ඉවර වෙල හිංදා හෙවනවල් නං තවම තියෙනවා."
"මං කොහොම හරි ඉන්නංකො පරිස්සං වෙල.."
"සතා සරුපයත් ඉන්නවා.. කල්පනාවෙං." එහෙම කියාගෙන අපෙ අම්මත් එතෙංට ආවා.
"හ්ම්... ඔව්.
"තව බත් මුලක් බඳිංටත් වෙයි එහෙනං." අප්පච්චී හිනා වෙවී කිව්වා. "ලොකු ලබු ගෙඩියකුත්. වතුර නං කරුවල ගහ උල්පතේදී පුරුවාගංට පුලුවං."

                  අප්පච්චි කැලේ කපන කැත්ත ගලේ ගාල මුවාත් කෙරුවේ, කැත්ත වත්තේදී මුවාත් කරන යකඩ "ප" යන්න වාගේ එක හොයා ගත්තේ, ලබු ගෙඩිය ලැහැත්ති කෙරුවේ, අඳින සරුවාලේ.. සුම්බරේ බඳින ලේන්සුව හොයල තිබ්බේ... දවසක් දෙක්කට කලිංම.

"ඇහැල මහට කොහොමවත් පෑයිල්ල සැර වැඩී අයියා. හීං පුතාටත් ලොකු සුම්බරයක් බඳිංට වෙයි." මෙච්චර වෙලා කරබාගෙනම හිටිය දර්මෙ මමා එහෙම කිව්වා.

                  ගේ ලඟ ඇල අයිනේ තියෙන ගලේ තමයි අපෙ ගේ පැත්තේ ඉන්න ගමේ හැම දෙනාම කැති මුවාත් කෙරුවේ. ඒ ගලේ කැති ගාලම වක්කක් හැදිල. අප්පච්චි කියන්නේ ඒ ගලෙං හීං කුඩු ගැලවෙන එව්වෑ ගෑවි ගෑවි ගලේ ඇතිල්ලෙනකොට හොඳට මුවාත් වෙන්නේ කියල. මුවාත හරිද බලංට අප්පච්චිල මුවාත හරහට ඇඟිලි අදිනවා. මට නං බයත් හිතෙනවා.

                    අව්ව වැටෙංටත් කලිං අපි ගෙදරිං පිටත් වුනා. දර්මෙ මාමා කැත්තකුත් ඇන්න ඒ ගොල්ලංගෙ ගෙදර ලඟදී අපිට එක්කහු වුනා.

"පමා වෙනකොට මට ඒත් හිතුනා කුඩ්ඩං ගොයියට නින්ද ගියා වද්ද කියල." දර්මෙ මාමා කුඩ්ඩං ගොයියා කියල තියෙන්නේ මට.
"මෙයා බස්සා වාගේ... රෑටත් නිදා ගංට ඕනෑකමක් නෑ. පොඩි කාලේ ඉඳලම."
"ඒකට කියල පහුවදා නිදිමතකුත් නෑ වාගේ. එහෙම එපා මයෙ පුතා.. ඔය වයසට ඩිංගක් වැඩිය නිදා ගංට ඕනෑ."  
                                                   
                   අප්පච්චි කරුවල ගහ උල්පතේදී ලබුගෙඩියට වතුර එකක් පුරුවාගත්තා. උල්පතට  පාතිං හරක් ලගින මඩිත්ත. ඒක ගොමයි, දිරච්ච කොලයි, පසුයි කැලැත්තිල ජරා මඩ වලක්. ඒ වුනාට මිව්වෝ ඒකේ ලගිංට තියෙන්නේ පුදුමකැමැත්තක්ලු.
මඩිත්තයි උල්පතයි වටේට රූස්ස ගස්. කුඹුක්, මී, දිඹුල්, තව මං නං දන්නේ නැති එව්වා ගොඩක්. ඈතිං නං ලොකු ගස් යට තියෙන පුංචි පුංචි ගසුයි පඳුරුයි  ඔක්කොම වේලිල පඬරැල් වෙල, මේ දවස්වල. ඉතිං හේං කොටල ගිනි තිබ්බම පැත්ත පලාතක් ගිනි ගන්නවා. රෑට ඈත කඳුවල රවුං රවුං එහෙම ගිනි ගන්න එව්වා බලංට ලස්සනයි. ඒත්... පව්, පුංචි පුංචි සත්තු...! අනික බෙහෙත් ඖසද.

              අප්පච්චිලා කැති වලටත් වැන්දා. කැත්තේ මිට දිග හිංදා ඈතිං ඉඳල කොටංට පුලුවං. කොටන්නේ කැති තලේ මැද හරියෙං. ටිකක්වත් හරහට ගිය ගහක්, අත්තක්, වැලක් නං කොටංට බෑනේ..එව්වා කැති තලේ ඉස්සරහිං තියෙන කොක්ක වාගේ එකෙං ඇද්දා. එතකොට එව්වත් කැපිල එනවා. අප්පච්චි කණුමුල් කිව්ව එව්වා මට හරියටම තේරුනේ මේ ආවායිං. ඇඹටිල්ලා, කැප්පෙට්ටියා වාගේ ගස් මුලින් කැපුවම උඩ අතට හැරුන මුවහත් කෑල්ලක් ඉතුරුවෙන එක ඒ. එරමිණියා, කුඩුමිරිස්, කබරැස්ස වාගේ කටු පඳුරු පුලුවං තරං පාතිං කපල එව්වා තිබ්බ තැනම ගොඩ ගහනවා. අනික් ගස් කැපුව තැංවලත් ඒ වාගෙම කැපුව එව්වා තට්ටුවක් උසට තියෙනවා. ඒ උඩට තව ලොකු ගස් කඳු බෑවම එව්වත් එක්වෙනවානෙ. නත්තසූරිය, බලුදං වාගේ ගස් ලේසියෙංම කැපෙනවා. බුරඳ, කෝං වාගේ එව්වා එහෙම ලේසි නෑ. සමහර ඇඹටිල්ලා, බුරඳ වාගේ ගස් අතු විතරක් කපල ඉතුරු කෙරුවා. මෑකරල්, දඹල, වැටකුලු, කරවිල වාගේ වැල් යාං කරංටලු. ටික ටික ඈතිං මඩුගස්. එගොඩහ කන්දේ එව්වා පේන්නේ හරියටම ඕනෑකමිං හැදුව පොල් වත්තක් වාගේ. එව්වෙත් අතු කැපුවා විතරයි. එව්වටත් වැල් යවංට වත්දෝ... ඒත් එව්වේ අතු අයෙත් හැදුනම හිටවන එව්වට හෙවන වෙනවනෙ.

"අප්පච්චි ඇයි මඩු ගස් කපන්නෙ නැත්තේ..?"
"ඔව්වා කැපුවට ලේසියකට වේලෙන්නෑ හීං පුතා. වතුර ගොඩවල්නෙ." උත්තර දුන්නේ දර්මෙ මාමා.
"ඉතිං?"
"එහෙම මැරෙන්නැති ගස් තිබ්බම, මෙව්වා ගිනිගැහැව්වට වරදමං වෙනවා.."

                 ඒ මොකද්ද... ? පස්සේ අප්පව්චිගෙං අහගංට ඕනෑ. ඕන්න දර්මෙ මාමගෙ අමුතු අමුතු වචන කියවෙංට පටංගෙන.. අප්පච්චී එව්වා දන්නවා. ඒ වුනාට වැඩිය කියන්නෑ.

"දැං මේ කපලදාන ගස් ඔක්කොම පිස්සෙනවද මාමා.?"
"නෑ.. නෑ.. ඔය ඇබටිල්ලා, කෝං වාගේ හයිය ගස් ඔල පෙලක් කෝටු පිස්සෙන්නෑ."
"එව්වට මොකද කරන්නේ?"
"ගෙවල් ඔලිං ඈත නං ඔක්කොම ගිනිමැල හදල පුස්සල දානවා. ලඟ නං බවලත් කාන්ඩේ දරට ගංට ගෙවල් ඔලට ඇන්න යනවා."
"ඉතිං ඔච්චර ගොඩක්..?"
"තව ටික දවසකිං ඉල්මහ වැස්ස පටං ගත්තම ආයෙ ඉතිං කැලේකිං දර ලීයක් හොයා ගංටයැයි. මෙව්වා ඇන්න ගිහිං පිදුරු පංසල් අස්සේ ලිහන්නැතුවම උස් අතට හේත්තුකරල තියනවා. ටිකක් පිනිබෑවට, ලිබ්බොක්කේ හේත්තුකරල තිබ්බම එක වේලක් ඉයනකොට වේලෙනවා. එව්වෙං ඉයනකොට ආයෙ ටිකක් හේත්තු කරනවා. මේ කෝං, බුරඳ, ඇඹටිල්ලා, කැප්පෙටියා වාගේ ලී ඔල ගිංදර බොහොම සැරයි. ඔය මල් ලී, හිඟුරු වාගේ තප්පරේට පිස්සිල ඉවර වෙන්නෙත් නෑ. දතක් මැදගංට හොඳ අඟුරක් වත් ඉතුරු වෙන්නේ එහෙම තද ලීයක තමයි."

                  පිදුරු පංසලක් අපිටත් තියෙනවා. හයිය තියෙන ලොකු ලී හිටවල උසිං හදන වැඩිය දිග පලල නැති පැලක් වාගේ එකක්. පිදුරු පරිස්සමට තියාගංට හදන්නේ. ඒක උඩ එක විදිහකට පිදුරු ගොඩ ගහල පිදුරු ටිකක්ම වහල දානවා. ඕකේ යට දර වාගේ එව්වා තියනවා.

                 එහෙම කියල දර්මෙ මාමා කටුවල වැල් ගොම්මනක් කපංට  පටං ගත්තා.

"අයියා මේ බලපංකො... මං ඔට්ටු වෙච්ච මේ කටුවල වැල හැදිල තියෙන තරං. ගින්දර තියංට කලිං ඇවිත් හාරා ගංට ඕනෑ.."
"පෙරේදා අයියලෑ ලොකු එකා කටුවල අල ගොඩක් ගෙනත් දුන්නා. අලේ, ලොකු කෙහෙල් ගහක් විතර. බොරු වලවල් දෙකක්දෝ කොහෙදෝ කපල බැස්සලු. ඒත් අන්තිමේ වල අතෑරල දැම්මලු. තම්බලත් කෑවා, ඉයලත් කෑවා, ඒ කරල තව ඉතුරු වෙලත් තියෙනවා. හුණු ටික වාගේ තැම්බනවත්..."
"මේක හාරා ගත්තම මයෙ හීං පුතාටත් ගෙනත් දෙන්නංකො. අපෙ හීං එකත් හරි කැමතී කටුවල ඔලට."
"මල්ලී අතුටික කඳුබා ගංටත් එංට පුලුවං වෙයිද? නැත්තං වේලෙන එකක් නැතුවෙයි."
"මං එඤ්ඤං අයියා. අනික නුවර පෙරහැරත් පටං ගත්තා. දිය කපන දවස් අල්ලල වැහි ඩිංගක් එංටත් පුලුවං. එහෙම වුනොත් මෙව්වා වරදමං වෙයි."
"දැං හෙට මල්ලිගෙ ට්ක කොටා ගත්තොත් අනිද්දම ගස් ටික කඳු බාමු."
"අප්පච්චි... වරදමං වෙනවා කියන්නේ?
"කැලේ එහෙම බාගෙට බාගෙට පිස්සිල ඉතුරු වෙනවට මයෙ පුතා. ඉතිං අපි මේ කලිංම කැලේ කැපුවට යායේ අයත්  කැලේ කපල ඉවර වෙංට ඕනෑ ගිනිතියංට. නැත්තං ඒ ඇත්තංගෙ වතු කැලේ කොටංටත් කලිංම ගිංදර අල්ලල එහෙම වරදමං වෙංට පුලුවං. "
"ඉතිං එහෙම වුනාම..?"
"අයෙ ඉතුරුවෙන ලී එකතු කරකර ගිනි තියන එක කරදරේ මයෙ පුතා..."

                     ගිනි තිබ්බට මොකද අයෙම වැහි එනකොට එක එක පැල ජාති හැදෙනවා. මුලිංම කැපුවෙ නැති ගසුත් ලියලවා. ඒ ගිනිමැල ගැහැව්ව තැං වල තමයිලු සරුවටම එලවලු ජාතිත් හැදෙන්නේ. මේ අතරේ අප්පච්චි එයාගෙ යටි පතුල බැලුවා. කෙල ටිකක් ගාලත් බැලුවා.
"කරකොල කට්ටක් ඇනුනා වාගේ. මයෙ පුතා.. ඔය  උරේ හැට්ට කට්ටක් ඇති, ඇන්න එංටකො."
"කරකොල කට්ට ටිකක් විසයි. දවසක් හමාරක් ඇදුං කයි. පොල් රැලක් මලවල අද රෑට බැන්දා නං, ඔය බූවත් ඇදිල යනවා. නැත්තං වේදනයි." දර්මෙ මාමා කට්ට ගන්න ගමං කිව්වා. දර්මෙ මාමා කටු ගංට දස්සයි. මං කලිංම අහල තියෙනවා.

"අප්පච්චි මඩු ගස් ගැනත් කියංටකො.."
"ඒක හරි දිග විස්තරයක්... මයෙ පුතාට මං ඉක්මනිංම පස්සේ කියල දෙන්නං."

                     පොල්කට්ටකට දුන්න තේ වතුර ටිකේ, කොලපතක බැඳල තිබුන බත් ගෙඩියේ හුඟක් රහ දැනුන දවසක්.

                                                 simple "s"
2018.09.02

Wednesday, November 28, 2018

උඩගෙදර කතා 20 (පොලොස්)


                               "පොලොස්..."

මගෙ අප්පච්චිගෙ කෘෂිකර්ම (ප්‍රායෝගික) පාඨමාලාවෙන්.                  (අංක 20)

             අදත් අපෙ පන්තියේ නෝන මහත්තයා අපෙ ගෙදෙට්ට එනකොටම මං දැන ගත්තා මොකක් හරි කෑමක් ගැන කතා කරංට තමයි කියල. අතේ පොඩි පාරසලේකුත්. ඔන්න ඒක ලිහංට මට ආසා හිතුනා. පත්තර කෑල්ල කියවංට!

"එංට... අපෙ නෝන මහත්තයා.." අප්පච්චි බෝම ගෞරවයෙං කතා කෙරුවේ. කිළුටක් නැතත් කරේ තිබුන කම්බි ලේංසුවෙං පුටුව පිහදාල වාඩි වෙංට තිබ්බා.
"ඔහොම තියංට මාමේ..."
"අපෙ නෝන මහත්තයා හුඟක් දවසකිං දැක්කෙත්."
"ඔන්න මාමෙ එදා මම තලප ගැන ලීව ලිපිය මේ සඟරාවේ පල වෙලා තියෙනවා. මේ බලන්න. ඕක මාමට තියා ගන්න ගෙනාවේ."
             අප්පච්චිත් එක්ක මාත් ඒක බැලුවා. එදා කියෙව්වේ නැති කෑල්ලකුත් ලිව්ම අගම තිබ්බා. නෝන මහත්තයගෙ නම, ඉස්කෝලේ  නම, ලිව්ං ලැබෙන හැටි..ඔක්කොම අච්චු ගහල. විසේසෙම්ම...
"ස්තුතිය: තොරතුරු ලබා දුන්.... ට." අප්පච්චිගෙ නම මයෙ අප්පෝ... අච්චු ගහලම මයෙ අප්පච්චිගෙ නමත්.. අපෙ කායෙවත් නමක් අච්චු ගහල තියෙනවා මං දැක්ක පලවෙනි සැරේ. මට හරියෙට සංතෝස හිතුනා.

"මාමේ මේ දවස් වල හේං වල කුඹුරු වල එහෙම වැඩ නම් ඉවර වෙලා නේද?"
"ඔව් නෝන මහත්තයා... වක් මහට කිට්ටු වෙනකල් කීප දවසක නිමාඩුවක් තියෙනවා."
"අද මම ආවේ කොස් ගැන මාමගෙන් තොරතුරු ටිකක් අහගන්න. අද විවේකයක් නැත්තන් වෙන දවසක වුනත් කමක් නෑ. තලප ගැන ලිපිය දැක්ක හුඟ දෙනෙක් මට ලියුම් එවලා ගමේ ගොඩේ කෑම ගැන තව ලියන්න  කියලා. 
"අද විවේක දවසක්, අපි කතා කරමු. හැබැයි කොස් ගැන කැටියක් කතා කරංට තියෙනවා. අනික් එක කොස් වලිං හදන කෑම ජාති ගැන නං කව්රුත් වාගේ දන්නවනෙ නෝනමහත්තයා."
"නොදන්න අය ඉන්නත් පුලුවන් ... දන්න අය නොදන්න විදිහවල් මාමලා හදනවා වෙන්නත් පුලුවන්. ඒ හින්දා අපි ඒ ඔක්කොම ලියමු මාමේ."

               අප්පච්චි නෝනමහත්තයට කුරුම්බා ගෙඩියකුත් කපල දීල කතාව ආපහු පටං ගත්තේ .

"නෝනමහත්තයා... කොස් ගහ මනුස්සයගෙ වාසනාවට හැදිච්ච එකක්. හදංට කියලවත් සාත්තු කරංට කියලවත් මහංසි වෙනවා කියල එකක් තියෙන එකක්යැ.. ඒ වුනාට තියෙන පොරෝජනේ.!

ඔය කොස් ගහේ වේලිච්ව පොත්තයි අලුත් පොත්තයි අතරේ තියෙන, අර පොඩි අය සෙල්ලං බත් ඉයනකොට කහ කියල ගන්න කුඩු තියෙන්නේ. කුඹුරක හැඩේ එංට කෑලි කෑලි මූට්ටු කරල මහගන්න සිවුර පඬු පොවංට ගන්න පාට හදංට අන්න ඒ කුඩු ගන්නවා. විසේසෙම්ම කටින සිවුරට.  ආයෙ, මෝරල වැටෙන වරකා කොස් කොල තම්බල බොනවලු දියවැඩියාව තියෙන ඇත්තෝ."
"මාමලාගෙ ගම්පැතිවල ඉතින් දියවැඩියා ලෙඩ්ඩු නෑනෙ. දාඩිය වැටෙන්න හැමදාම වැඩපොල කරන හින්දා .."
"ඒක ඇත්ත නෝනමහත්තයා....
කොස්කොල කංට එලුවෝ බෝම මනාපයි. කොස් ලී දඬු, ලෑලි එහෙම බෝම හයියයි. අර දොර..... තනි ලෑල්ල ඉරල ගත්ත එක්කිං හදල තියෙන්නේ. හැබැයි ඉතිං තනිකර අරාටුවම ගංට ඕනෑ. එලේ අහු වුනොත් කිරි ගුල්ලා ගහනවාම තමයි.

නෝනමහත්තයා.... කොස් ගෙඩියේ එක එක සන්දියට එක එක නං හදාගෙන තියෙනවා."
"පොලොස් කොස් වැල වරකා වාගේ නේද මාමේ."
"නෑ.. නෑ.. ඒ විතරක් නෙවෙයි. පොලොස් ගත්තොත් පොලොසුත් කෑමට හදන විදියේ හැටියට එක එක නං තියෙනවා. ඉස්සර වෙලම ඉරි බේරෙංටත් කලිං.. පුංචිම කාලෙදි, කුඩු කොටන පොලොස්. හොඳටම ලපටි ගෙඩිය. මදුලු ඇට වෙංකරල අඳුරා ගංටවත්  බැරි තරං කාලේ. කපනකොටම කහට පිපෙනවා. ගෙඩිය හතරට පහට පලල ඇන්න, යංතං කොස්කට්ටයි නහයයි ටිකක් අයිං කරනවා, පිටොස් කියන කොටසත්  ඉතුරු වෙංට..."

"පිටොස් කියන්නේ මාමේ?"
"කටුවයි ඉරියි අතරේ තියෙන සුදු පාට ගනකං කොටසට.."
"ඊට පස්සේ යංතං තම්බනවා. ගොඩක් තැම්බුනොත් වනේ කොටනකොට මැටි වාගේ වෙනවානේ. මේ කුඩු මැල්ලුම හදංට තරමටයි තම්බන්නේ. තැම්බුන පොලොස් කෑලි හීනිවට පෙති ගහල පිරිසිදු වංගෙඩියේ තෙරපනවා. කෙටුනම අතිං මල් කරගංට, ඒ කියන්නේ තෙත නැතුව කුඩු කරංට පුලුවන් තරමට. ඊට පස්සේ කහ ටිකකුයි සම්බෝලේකුයි දාල තෙල් දාල මලවල ගන්නවා. හරි රසයි.

ඊගාවට ගන්නේ සාමාන්නිය පොලොස් ගෙඩිය. කහට නැති හොඳ පොලොස් ගෙඩිය තෝරා ගන්න හැටි රහසක් තියෙනවා. ඔය පොලොස් ගෙඩියේ නැට්ට වටේට කොලපාටට මල් පෙත්ත වාගේ  තියෙන එව්වා තමයි හොඳ. ඒක පලලට තියෙන තරමට හොඳයි. විනාඩියකට මේ ගහ ගාවට එංටකො."

                 අප්පව්චි නෝනමහත්තයා එක්කරගෙන ගියා ගල් වැට ගාවා කොස්ගහ ලඟට. ඒ ගහේ බිම ඉඳලම ගෙඩිනෙ. කුඩු කොටන ගෙඩියි ඒ කිව්ව මල් පෙත්ත වාගේ එකයි පෙන්නුවා.

"තෝරා ගත්ත පොලොස් ගෙඩිය පහට හයට පලල කොහොල්ලෑ අයිං කර කර නහය ඒ කියන්නේ සමහර අය වහල්ල කියන එකයි කට්ටයි කපල අයිං කරල ටිකක් ලොකු කැට කපා ගන්නවා. හොඳට මිරිස් තුනපහ ගොරක හරි සියඹලා හරි ටිකක් දාල සුදු ලූනු  කුරුඳු පොතු එනසල් කරාබු නැටි ටිකකුයි වැඩිපුර පොල් කිරියි දාල ලිප තියනවා. කිරි මැද්දෙං පැහීගෙන එනකොට ගිංදර අඩු කරල මද ගින්නේ සෑහෙන වෙලාවක් ඉදවනවා. සමහර ඇත්තෝ රැයක් එලිය වැටෙනකල් මද ගින්නේ ඉයනවා කියලත් කියනවා.

කොහොමහරි ඉස්ම හිඳෙනකල් ඉදෙංට අරිනවා. හරියට පදම ආවා නං, හොඳ කොස් ගහක ගෙඩියක් නං පොලොස් කෑලි මැද රෝස පාට වෙනවා. සමහර ඇත්තෝ එහෙම වෙංට, බුලත් විටට කන හුනු ඩිංගක් දානවලු. එව්වා නං හොඳ නෑ මයෙ හිතේ."

"මයෙ පුතා අම්මා කොහෙද කියල බලල කේතලේ ලිපට ලං කරංට කියංට." අප්පච්චි මට කිව්වා.

එතකොටම අපෙ අම්මා පිඟානකට මොනවාදෝ ඇන්න එතෙංට ආවා. හ්ම්.. අග්ගලා...!
"අපෙ නෝනමහත්තයට දැං සිබහත් නැතෑ. අපි තේ වතුර උගුරක් බීල ඉඳිමු."
"මට නම් නෙවේ නැන්දේ.. මාමටයි මහන්සි ඇත්තේ."
"මට මොන මහන්සියක්ද නෝන මහත්තයා. ඔන්න මේ මොනවද කියංට බලංට නෝනමහත්තයා..."
"මම දන්නවා... නැන්දා කොස් ඇට අග්ගලත් හදලානෙ. මම ආසයි ඒවට. අනේ නැන්දේ ගොඩක් පිං."

                  අපි ඔක්කොම කොස් ඇට අග්ගලා කාල තේ වතුර බීවට පස්සේ අප්පච්චි කතාව පටං ගත්තා. අපෙඅම්මත් එහෙමම නතර වුනා.

"නෝනමහත්තයා... ගෙදරවල්වල එදඑදා කෑමට පොලොස් ඇඹුල්ම ඔය තරං පිළිවෙලට හදන්නෑ. අපි පොලොස් මාලුව හදනවා. ඒකට ඔය මුලිං ගත්ත පොලොස් කැට තව කුඩාවට ගන්නේ. මිරිස් තුනපහ ලූනු ලුනු එක්ක, තියෙනවා නක් තක්කාලි ගෙඩි දෙකක් විතර ලොකු කෑලි කපල දාල කිරි ටිකක් එක්ක ලිප තියල ඉදෙනකොට බා ගන්නවා. අබ ටිකක් පුපුරවල තෙල් ටිකක් දාල ගත්තොත් තව හොදයි.

ඔයිට වැඩිය ටිකක් මෝරපු පොලොස් ලියල මැල්ලුම හදනවා. එහෙම ලියංට ලේසියි කටුව පිටිංම ඇන්න දෙපැත්තට හැත් ගහ ගහ ගන්න එක. එහෙම ලියල ඉවර වෙලයි හෝදන්නේ. එව්වට සම්බෝලයක් දාල මලවනවා.

ඕකම විස්තර නැති තෙල් දැමිල්ලකුත් කරනවා. ලුනු මිරිස් තුනපහ අමුමිරිස් දමල වතුර ටිකක් ලිප තියනවා. ඒක පැහීගෙන එනකොට ලියන ලියන පොලොස් ඒකට දම දම ඉදෙංට අරිනවා. ඉදෙද්දී එක සැරයක් පෙරලනවා. වතුරත් හිඳිල ඉදුනම තෙල් දානවා. පොල් තෙල් වෙනුවට මී තෙල් දාල ගංට පුලුවන් නං වැඩිය රහයි. අබ ටිකක් පුපුරවල ගත්තම තව හොඳයි. ඔය අවාරෙට හැදෙන පොලොස් ගෙඩියක් ටිකක් ලොකු ලොකු කෑලි කපල ඔහොම ගොඩේ වෑංජනේ හදනවා. ඒ කාලෙට ඒක හරි රහයි. තම්බපු පොලොස් එක්ක ඔය කට්ලිස් කියන එව්වා හැදුවමත් රහයිලු."
"කට්ලිස් ජාති හදන හැටි මම වෙලාවක නැන්දට කියල දෙන්නම්කො."

                  ඔය අතරේ අපෙ නෝනමහත්තයට මාත් එක්ක කතා කරංට ඕනෑ වෙල ඉන්නේ කියල මට  කලිංම තේරුනේ.
"මෙයත් දන්නවද ඔය ඉවුම් පිහුම්..?"
"අනේ නෝනමහත්තය තවම මොන ඉවිලිද? මේ ඊයේ පෙරේදා තමයි බත් ටික කවන එක නතර කෙරුවේ ඕං.." අපෙඅම්මා කිව්වා.
                 මට ටිකක් ලැජ්ජා හිතුනා. මං බිම්බලාන කකුලෙං බිම හාරනකොට ..
"එයාට දැම්ම ඔව්වා ඕන නෑ. හොඳට ඉස්කෝලේ  වැඩ ටික කරගෙන ඉන්නවා. කවදාහරි ලොකු මහත්තයෙක් වෙන්න පුලුවන්නෙ... ගුරුවරුත් ආදරෙයි. හැමදාම එහෙම ඉන්න ඕන.." අපෙ නෝනමහත්තයා කිව්වා.

                 අපෙඅම්මයි අප්පච්චියි යංතං හිනාවුනා විනා මොකවත් කිව්වෙ නෑ. මට හරි ආඩම්බරයක් දැනුනා. මං කවදාහරි ලොකු මහත්තයෙක් වෙනවා තමා... මං තවත් හිතා ගත්තා.

"මාමෙ පොලොස් වලින් හදන ඒවා තව තියෙනවද?"
"තව අපට වැඩිය හුරු නැති එකක් දෙකක් අහල තියෙනවා. පොලොස් අච්චාරු දානවලු... මයෙ පුතා නං කිව්වා ලොකු දුවලෑ ගෙදර ගිය දවසක අර තෝසේ කංට හදන පුලි ආනමටත් දාල තිබිල කෑවා කියල.

අනික මට කියංට අමතක වුනා... පොලොස් වාත කාරකයි. ඉතිං වෑංජන හැටියට කොහොම හැදුවත් සුදුලූනු බික් තුන හතරක් එක්කරංටම ඕනෑ."

"දැන් හවස් වේගෙනත් එනවා, මාමටත් මහන්සියි. කොස් එහෙම ගැන අයෙ හෙට කතා කරමු."
"හොඳයි.. නෝනමහත්තයා. හෙට නෙවෙයි අනිද්දා කමක් නැද්ද.. අපිට එදාට මීට වැඩිය කතා කරංට දේ තියෙනවා."
"හොඳයි මාමේ මම අනිද්දා නොවරදවාම එනවා. මේවා අපේ දේවල්නෙ. අහගෙන ඉන්නත් ආසයි..."
"නෝන මහත්තයට ගෙදර ඇන්න යංට අග්ගලා ගෙඩි කීපයක් ලෑස්ති කරල දුන්නට කමක් නැද්ද අපෙ නෝනමහත්තයා .." ඒ අපෙඅම්මා.

                    ඉස්සර වෙලා නෝන මහත්තයා අග්ගලා දෙකක් කෑවා. අපෙ අම්මත් දැක්කා. කැහුලාකම....!

                                                       simple "s
2018.08.17