Saturday, November 17, 2018

උඩගෙදර කතා 27 (කහ බත්)


                                "කහ බත්"

උඩගෙදර කතා....         අංක 27

               අද කව්දෝ අපෙ ගෙදර එනවලු. එයාගෙ මව්පියෝ, සහෝදර සහෝදරියොත් එනවලු. ගෑණු ළමයෙක් බලංටලු. ඒක චාරිත්‍රයක්ලු. බලංට එන්නේ මාවලු!

               පුංචි අක්කලා ඊයෙම ආවා, ලොකු අක්කලත් අද එයි. අයියා නං එංට දවල් වෙයි. පවුලේ අය එකතු වෙංට ඕනෑනෙ. "දැක්කද සාරි කට්ට ගහල තිබ්බ හැටි..", "මං දන්නෑ... අයියගෙ නෝනා එක්ක ඔලුව ගහගෙන ඉන්න එක නං ලේසියක් වෙන්නෙ නෑ...", "නැන්දම්මලා දෙන්නෙක්ම...", "කොලු පැටියා නං චූටිගෙ වාසනාවට..." වාගේ එව්වා පස්සේ කතා වෙංටත් ඕනෑනෙ. එව්වත් චාරිත්‍ර!

              පුංචි අක්කා ඇව්ත් තේ එක බිව්වේ හදන ජාති ගැන කතා කර කර.

"බත මොනවද කියල කතා කර ගත්තද?"
"චූටි නං කියන්නේ කහ බත් හදමු කියල. මයෙ නං වැඩි මනාපයක් නෑ ඒකට."
"ඇයි අපෙ අම්මා ඒ.."
"කහබත් කියන්නේ අපෙ කෑමක් නෙවෙයි. මැලේ මිනිසුන්නේ බතක්. මෙව්වා සිංහල ගෙවල් කියල පේංට ඕනෑ.."
"ඒක නං ඇත්ත. ඒත් අපෙ අම්මා.. අද කාලෙට ගැලපෙංටත් එපායැ. අපි සුදු බත් ටිකකුත් හොඳට හදල තියමු. කහබත් කැමති නැති අයට වුනත් ගංට පුලුවන්නෙ."
"ඔව්.. ඒකත් හරි." බත ගැන තීරණය ඔන්න ඔහොම තීන්දු වුනා.
"කෝ බටු ගෙනත් නේද ඇත්තේ..?"
"කුඹුරේ කොටුවෙම තිබ්බා පදමට මෝරපු දිග දම් පාට බටු ගෙඩි."
"මිංචි.. ?"
" ආ... උඩුතාරං? එව්වා නං දැං ගියත් ඇල දෑලේ ගල් බැම්මේ තියෙනවා.."
"අනේ අම්මා උඩුතාරං කියල ඒ මිනිස්සු ඉස්සරහ එහෙම කියන්ට එපා. හිනා වෙයි."
"පොලොස් ඇඹුල හදනවද?"
"ඔක්කොම ලෑස්තියි. අද රෑ හදල තියමු."

               පුංචි අක්කා ඊයෙම බටු හීනි තීරු කපල වතුරට දැම්මා. හෝදල ඇන්න, අඹරපු කහ ටිකක් දාල අත ගෑවා. ඊට පස්සේ එව්වා ගැඹුරු තෙලේ බැද බැද පත්තර උඩට දැම්මා, තෙල් බහිංට. ටිෂූ කොල තිබ්බා නං වැඩිය හොඳයි කිව්ව හිංදා මං අත් පිහින කඩදාසි දුන්නා.

"අපෙ නංගී.. හොඳට බලා ගංට. මට හැමදාම ඇවිත් ඇවිත් මෙව්වා කරංට බෑනෙ..."
"කහබත් හදන හැටි අපෙ අම්මා මට කියල දුන්නා... පුංචි අක්කා."
"කමක් නෑ.. බලා ගංටකො.. එකක්වත් අලුත් දෙයක්,  රහසක් අහු වෙන්නේ නැද්ද කියල.. "
"ඕක හොඳට කියල දෙංට ඕනැන්නේ රාණිට..!" කියංට මයෙ කටට ආවා. කිව්වෙ නෑ.

                පුංචි අක්කා ඊයෙම හාල් කූ කරල, පොලල තිබ්බා. ටොක්.. ටොක්.. සද්දේ එක පිළිවෙලකට එංට කුල්ලට ඇඟිල්ලක් වදිංට හාල් කූ කරංට පුංචි අක්කට නං අම්මට වාගෙම පුලුවං. කූ කෙරුවම හාල් වල තියෙන අන්තිම වී ඇටෙත් කුල්ලේ පස්සට බේරෙනවා. එව්වා වෙනම ඇන්න අයෙත් වනේ දාල කොටා ගන්නවා. කූ කරනවා කියන එකට සමහර පැතිවල පූ කරනවා කියලත් කියනවලු. මේ වැඩේට ගත්තේ කුඹුරෙං ගත්ත මුතු සම්බා බාගෙට තම්බල වේලා ගත්ත එව්වා.

                  පුංචි අක්කා අද උදේම රාණිට හාල් ගරංට පැවරුවේ... පුංචි තරවටුවකුත් කරල.
"එක වැලි කැටෙයක් වත් වැටෙංට එහෙම බෑ... එහෙම වුනොත් අයෙම ලයිමට ගිහිං දානවා.. " රාණී ඔය කතාවට බයයි. තේරුම්කම් අඩු වුනත් අපිට හිත ඇති කෙල්ල.

"අයියො.. මං චූටි නෝනා එක්ක යන්නේ."
"හා... හා.... යන්ටකො. එහෙ තියෙනවලු ලොකු ලබ්බක් තමුසෙට!"

                  කහ බත පුංචි අක්කම ලිප තිබ්බේ. හාල් හෝදල වතුර බේරෙංට තිබ්බා. පොඩි පොල් ගෙඩියක් ගාල කිරි දෙවගෙම කලවමට ඇති පදමට වෙනම බාජනේකට ගත්තා. කහ ටිකක් ඒ දියරේ දිය කර ගත්තා. ලුනු ටිකකුත් දැම්මා. එනසල්, කරාබු නැටි, කුරුඳු පොතු ටික ටික පුංචි පොට්ටණියක් බැඳල  තියා ගත්තා.

                   බත උයන මුට්ටිය ලිප තියල තෙල් ටිකක් දැම්මා. ඒ ටික පැහීගෙන එද්දී අපෙ අම්මා කිව්ව හැටියට මුඩු යංට කර පිංචා කොල කීපයකුයි තීරු කැපුව රතුලූනු ගෙඩියකුයි බැදෙංට දැම්මා. හාල් වලට අර කිරි දියරෙං කොටසක් දාල තෙලට දැම්මා. අර සුවඳ ජාති පොට්ටණියයි රම්පේ කොල කෑලි කීපයකුයි උඩ්ං දාල ඉතුරු කිරි දියර ටිකත් උඩිං දැම්මා. ගම්මිරිස් ඇට ටිකකුත් ඇට පිටිං එක් කෙරුවා. එව්වා නං අහුලල අයිං කර ගංට පුලුවං. ඒත් අර පොට්ටණියේ තියෙන ජාති එහෙම ලේසි නෑ.
අනික බත් කද්දී එව්වේ ඇටයක් වත් හැපුනොත් සසර කළකිරෙනවා අප්පා. ආයෙ කෑම ටිකවත් රහ නෑ. වතුර කේතලෙත් ලිපට කිට්ටු කෙරුවේ ලිග්ගල් අතරිං යන ගිංදරෙං පැහෙංට. බතට වතුර මදි වුනොත් ඇල් වතුර දාංටයැ. එතකොට බත ඇට්ටකුනා වෙනවා. වතුර වැඩි වුනොත් බත බෙරි වෙල ගුලි ගැහෙනවා. එහෙම හරි නෑ. ඇට වෙං වෙංට තියෙංට ඕනෑ.

                  බත ගානට තැම්බුනා. ගිනි අඟුරු උඩ හැතපෙංටත් ඇරල බා ගත්තා. රම්පේ වට්ටියට බත් ඇරල කැට මල් කර ගත්තා. ඒ අතරේ අර පොට්ටණියයි රම්පේ කොලයි අයිං කෙරුවා. බත් ආපහු මුට්ටියට දැම්මේ තද වෙන්නේ නැති වෙංට. කහබත ලෑස්තියි.

                  කහ බතට යන වෑංජන කලිම්ම තීංදු කරගෙන හිටියේ. බටු බැදල උයල...ඊයෙ රෑ බැදල තිබ්බ බටු කිරි දාල ඉව්වා; අල තම්බල උයල... ඉස්ම තියෙංට... දෙසරේ කිරි දාල; මාලු වේලෙංට; කුකුල් මස් තැවරෙංට; පොලොස් ඇඹුල.. ඇතුල රෝස පාටට; සීනි සම්බල්... පැණි රහ අඩු වෙංට; මිංචි සම්බල්... ටිකක් දියට, පොල් අමුමිරිස් දෙහි එක්ක;  තීරු කැපුව පපඩම්. එහෙම පිටිංම පපඩං කීපයක් බැද්දේ පොඩි අයට බත් පුරවල කංට. මෙව්වා තීරණය කරද්දී අපෙ අම්මා උපදෙස් කීපයක් දුන්නා.

"වෑංජන ලිපෙං බාංට කලිං ලුනු ඇති තරමට දාගංට ඕනෑ. මදි වුනොත් ලිපෙං බාල ලුනු දැම්මට රහ නෑ. කෑලි ඇතුලට අහන් නෑ. එතකොට කෑලි දිය රහයි.
අනික මතකෙංම ඔය උඩුතාරං සම්බලේ හොඳට හදා ගංට ඕනෑ."
"අපෙ අම්මා... අපි ඕකට මිංචි පේස්ට් එක කියමු."
"පේස්ටෙක හරි ටේස්ටෙක හරි.. ඕනෑ එකක්. බතයි බටුයි කුකුල් මසුයි ඔක්කොම කිරියි තෙලුයි දාල.. ඉතිං ඔය මිංවි වලට කෑම රස වෙනවා විතරක් නෙවෙයි. කෑම රුචිය වැඩි වෙනවා, දිරවංට පහසු වෙනවා, අර කාල ඉවර වෙනකොටම කෑම මතක් වෙනකොටත් අප්පිරියා හිතෙන අමියාව නැති වෙනවා ඕං.."
"පුඩිං හරි වටලප්පං හරි ..."
"එව්වා නෑ.. අපෙ විදිහට අර අඹයි, කෙහෙල් ගෙඩියි, පැපොලුයි තියෙන්නේ. ඒ මදෑ.."
"අපෙ අම්මා.. සලාද කොල ටිකක් තිබුනා නං..."
"මොන සලාද කොලද බං.. ඔය ඇති.."

                අපෙ අම්මා එහෙම කිව්වට සලාද කොල ගෙනත් තිබුනේ. ඉතිං එව්වත් හොඳම කොල තෝරාගෙන ලුනු වතුරත් දාල සෝදා ගත්තා, තැලෙන්නෙ නැති වෙංට. බත මේසෙට ගන්නකොට පලඟාන අයිනේ ඒ කොල තිබ්බා. ඒ උඩ බත් බෙදල උඩිං බැදපු කජුයි, මුද්දරප්පලමුයි, රටකජුයි ඉස්සා. ගත්තේ හොඳම පිඟං සැට් එකක්.

                හැම දේම හරියට පිළිවෙලට සිද්ධ වුනා. එකක් ඇර! අපෙ අම්මයි, අනුරාධගෙ අම්මයි ලොකු තරඟ තිබුනා. අසනීප වලටයි, වත්කම් ප්‍රකාශයටයි වාගේ.

"මට පොඩි කැස්සක් හැදුනා." කියලා එක්කෙනෙක් කිව්වොත්,
"මට ටී බී හැදුනනෙ." අනික් එක්කෙනා කියන වර්ගයේ එක තරඟ අංශයක්.
"අපිට හතර පෑලක කුඹුරක් අනුරාධපුරේ තියෙනවා."
"අපිටත් එහෙ බුසල් හතරක එකක් තියෙනවා." ඒ අනික් අංශය.

               අපි දෙන්නා කලිං අඳුරගෙන හිටියේ කියල මේ අයට අමතක වෙංට වැඩි වෙලා ගියෙ නෑ. මේ ගෑණු දරුවෙක් බලංට ආව මංගල ගමනක් නේද කියල දෙගොල්ලංටම අමතක වෙංටත් ඒ වාගෙමයි.. කෑමෙන් පස්සේ අනුරාධ එලියේ තනියම ඉන්නකොට මං එතෙංට ගියා.

"කොහොමද මං කිව්වා වාගෙම අපෙ අම්මා හෙන ඇනකොන්ඩෙක් ඇරියා නේද?"
"ඇයි  අනික් බඩුව..!"
"ඔව්වා ගනන් ගන්ට ඕන නෑ."

"තව හොඳ විහිලුවක් වුනා කෑම කනකොට, අනුරාධ."
"ඒ මොකක්ද?"
"පුංචි අක්කා අපෙ අම්මව ෆෝම් කරලා තිබ්බේ මිංචි වලට උඩුතාරං කියංට එපා, ඒක ගොඩේ කියලා. කෑම කනකොට එහෙ අම්මා මිංචි එක ඉල්ලුවේ,
"අර උඩුතාරං සම්බොලේ මෙහෙට දෙංටකෝ.." කියලා!

                                                   simple "s"

2018.10.06

                

1 comment: