Monday, May 18, 2020

උඩගෙදර කතා 224

උඩගෙදර කතා   224

ඔබේ නිවෙසද .....
ඒ ඉදි වෙන්නේ ?             05

"මේක පුදුම වැඩක්නෙ. අපි වයරිං එක මැද ජොයින්ට් දැම්මෙ නෑනෙ මහත්තයා. Distribution junc. ඔක්කොම චෙක් කරා. කපරාරුවත් තුන් හතර පොලක් කඩන්න වුනා. අයෙ ඉතින් හිතන්න තියෙන්නේ... බොහොම කලාතුරකින් වෙන දෙයක්. නිෂ්පාදනයේදී  Insulation එක ඇතුලේ කම්බිය කැඩිලා තියෙන එක. කරන්න දෙයක් නෑ.. ඒකත් බලමු. එහෙම වුනොත් කැඩිලා තියෙන්න ඕන හරියත් මාක් කරා."
"වයර් එක, එහෙම කැඩිලා තියෙන්න පුලුවන්ද බාස් උන්නැහැ...?" ඇත්තටම මට මතක් වුනේ මක බාසෙක් මට උගන්නපු  දෙයක්. මේකත් එයාගෙම වැඩක් කියල හිතංට හේතු කීපයක්ම තිබුනා. හිතා මතා ඔය මනුස්සයා කීයක් තිරිසන් වැඩ කෙරුවද?

"බන්ඩාර මෙන්න.. අලුත්ම ටේප් එකක්.. පරිස්සම් කර ගනිමු." මගෙ තිබුන ටේප් එක පරනයි. ඉලක්කම් පේන්නෙ නැ කිව්ව හින්දා එකක් ගෙනත් දුන්නා. 
"මහත්තයා ඕක ඔතන හැම වෙලාවෙම ඇඟිලි දෙක අතරිං ගන්න. එතකොට පටිය ඇඹරිලා හිර වෙන්නෙ නෑනෙ."
"ඔව් බන්ඩාර මම හැම වෙලාවෙම එහෙම තමයි ඔතන්නේ."

                 ඒත් සතියක් යන්න කලින් ටේප් එක ඉබ්බා වාගේ... ඒක පාගලා. පටිය ඔතන්න බෑ හිර වෙනවා. ඇතුලේ ඇඹරිලා තියෙද්දී ඔතලා. ඔය බන්ඩාරගෙ පළමු වික්‍රමය. එයාම මුලු මට්ටමෙන් ටේප් එකේ මැද ඉස්කුරුප්පු ඇනේ ගලවලා ටේප් එක එලියට අරන් ගැට ඇරල එතුවා. ඒත් ඉන් පස්සේ පුංචි ඉඩක් ලැබුන ගමන් ටේප් එක ඇඹරෙන්නමයි බලන්නේ.

"පල්ලෙහා බිත්ති කෑල්ලට එලයින් වෙන්නෙ නෑනෙ, ඔය උඩ කෑල්ල බන්ඩාර."
"නෑ.. මහත්තයා ලඹේට ගත්තේ."
"පාරට එන්නකො බලන්න."
"හ්ම් පොඩි වෙනසක් තියෙනවා. ඒ ටික මේ බිත්ති කෑල්ල තල්ලු කරලා ගත්තැහැකි. "
"එපා එපා බන්ඩාර... අපි බිත්ති කෑල්ල ආපහු බඳිමු. ඔය බදාම ටික පාඩු වෙද්දෙන්."
"නෑ මහත්තයෝ ඔන්න බලන්නකො." එහෙම කිය කිය බන්ඩාර බිත්ති කෑල්ල බදාගෙන අඟල් හතරක් විතර තල්ලු කෙරුවා.  "දැන් බලන්නකො.."
"ඒ වුනාට බන්ඩාර යටම වරිය කොන්ක්‍රීට් ස්ලැබ් එකට බොන්ඩ් එක... නැතුව ගියානෙ.. අනික දැන් ලඹ ඇත්තේ අර වත්තටනෙ..."

                   ම්හ්ම්... බන්ඩාර නෙවෙයි එයාගෙ මතය වෙනස් කරන්නේ. මම මගේ මතය වෙනස් කරා. හැබැයි එතන උඩ බීම් එක දානකොට මම ඒ කොටස ගැන වැඩි සැලකිල්ලකින් හිටියා. 

                   බන්ඩාරගෙ ඊලඟ වික්‍රමයේදී මට ටිකක් තදින් ඉන්න සිද්ද වුනා. එක කුලුණක් බිම ඉඳලම බිත්තිය කුලුණ එන තැනට ගෙනත් නවත්ත නවත්තා බැඳගෙන ගියා. අඩි අටක් විතර උසට ආවට  පස්සේ සම්පූර්ණ උසට පෙටිටිය ගහලා මම නැති වෙලාවක.
" බන්ඩාර මම මුල ඉඳලම කිව්වානෙ... අඩි තුනෙන් තුනෙන් විතර කොන්ක්‍රීට් දාගෙන යන්න කියලා. දැන් ඔය පෙට්ටිය ගලවන්න .. අඩි තුනක් විතර දාලා සතියකින් විතර ආයෙ අඩි තුනක් විතර දා ගන්න..."
"එහෙම ඉතින් බෑනේ.."
"බෑ..? මේ හදන්නේ මගේ ගේ.. බන්ඩාරගෙ ගේ නෙවේ. 
ලොකු බාස් උන්නැහැ... මට ඕන විදියට බැරි නම් බන්ඩාරට පුලුවන් නවතින්න. හරි.."
"මහත්තයා කොටස් දෙකට..."
"නෑ... කොටස් තුනට..." කොටස් දෙකට දැම්මත් අඩි හතරක් උස වෙන්නේ නැති නිසා එහෙම ප්‍රමාණවත් වුනත් මම මගේ වචනයේම රැඳුනා..."

                  නැවතිලා බඩගින්නේ ඉන්න වෙන හින්දා බන්ඩාර දිගටම ආවා! ඒත් එදාම එයාව නැත්තුවා නම් මගෙ වයරිං එක බේරෙන්න තිබුනා. ඒක කොහොමද කළේ කියලා මම නොකියා ඉන්නේ අමතක වෙලා නෙවේ...!

                  තමන් විශ්මකර්ම පරම්පරාවේ කෙනෙක් ය කියලා පෙන්නන්න ඔය අය හරිම කැමතියි. ඒකනේ ලඹය ඕන තැනට ඒක නොඅල්ලා... ලෙවල් එක ඕන තැනට ඒක නොතියා, කපරාරුවේදී, බිම සිමෙන්ති දැමීමේදී  ටයිල් ඇල්ලීමේදී එහෙමත් කැට තියා ගන්නේ නැතිව ලෙවල් එක අර හචා බෑග් එකේ තියෙද්දී ඇස් සෝදිසියට වැඩ කරන්න යන්නේ... නැතුව කම්මැලි කමට නෙවේ.! එක ඇහැක් වහලා අනික් ඇහෙන් ලඹයට බැන්ද වෙන බිත්තියක් හරි බිත්ති කොනක් හරි ලැප් කරලා ලඹයට හරිද බලන්න අපිට පුලුවන්. හුරු වෙන්න. මේවා හරියටම ඔබ සෑහීමට පත් වෙනතුරු සාදවන්න.නැති වුනොත්, බාත් රූම් ඇතුලේ වතුර Outlet එක පැත්තට නොයා දොර පැත්තට ගලා එන අවස්ථා දැකලා තියෙනවා නේද... ඕක ඉහලම භයානක තත්වය වෙන්නේ, Squatting pan එකේ හරි Commode එකේ හරි Levels වරද්දලා වතුරයි ජරාවයි Flush වෙන්නේ නැති වෙනකොට! හරි සනීපයි. අපි අනුකම්පා කරාට දැන් ඒ අය අපිට අනුකම්පා කරන්න එන්නෙ නෑ. ආවය කියලා වැඩකුත් නෑ..

                  කරන්න බැරි දේවල් වලින් තරඟ පවත් වන කොට මෙන්න මේක කරලා තියෙනවද පොඩි කාලේ? මතකද... උලුවස්සක් ලඟට ගිහින් ඒක යට හිට ගන්න. අත් පහත දාලා එක අතක බාහුවේ පිට පැත්ත හා කකුලේ ඇස්වටයට යන්තම් ඉස්සරහින් පාදය උලු වස්සට හේත්තු කරලයි හිට ගන්නේ. දැන් උලුවස්සට හේත්තු නොකළ නිදහසේ තියෙන පාදය වෙනත් කිසිවක සහායක් නොගෙන උස්සන්න. බෑ.. ඒක කරන්න බෑ. ඇයි ඒ? අපෙ ඇඟේ ගෘත්ව කේන්ද්‍රය පවතින තැන් එක ඉරකට ඇන්දොත් ඒක තියෙන්නේ උලුවස්සට සමාන්තර රේඛාවක, ඇඟ ඇතුලෙන්. වෙනත් දේක සහාය ගත්තොත් ඒ ඉර වෙනස් වෙනවා.  ඒක වෙනස් කරලා අපිට කෙලින් හිටගෙන ඉන්න බෑ. ඔය කුලුණු, බිත්ති වාගේ ඒවයෙත් ගෘත්ව කේන්ද්‍රය ඒ වගේ තමා. 

                  අනික, සම උස සරළ රේඛා කීපයක් විවිධ ඇලයට අඳින්න. ලස්සනද? දැන් ඒ උසටම තව සරළ රේඛා කීපයක් සමාන්තරව (ලම්භකව හෝ නැතිව හෝ) අඳින්න. ඒ සෙට් එක ලස්සනද? බලන්න. හිතා ගන්න. අපට හුඟක් උසට සමාන්තරවත් ගෘත්ව කේන්දරය යම් වස්තුවක කෙලින් තියන්න පුලුවන්නෙත් පොලවට ලම්බක රේඛාවක් දිගේ විතරයි

                  බාස්ලා ගෝලයෝ වැඩට යොදවන්න කලින් ඒ අයගෙ හැකියාවන් ගැන ටිකක් හොයා බලන්න පුලුවන් නම් හොඳයි. නැතිනම් ඒ අය නොදන්නා කමට ලොකු වැරදි කරන්න පුලුවන්. ඒකයි මෙන්න මෙහෙම දේත් වෙන්නේ...

"මහත්තයා එතකොට පඩියක් අඟල් නවයක් උසට තිබ්බම හරිනෙ? "
"පිස්සුද බාස් උන්නැහැ.. මෙතන අඟල් දහ අටයි තියෙන්නේ..."
"එතකොට...?"
"බාස් උන්නැහැ ඇත්තටමද විහිලුවටද?"
"ම්..මහත්තයා..."
"කමක් නෑ බාස් උන්නැහැ ඔය හැන්ද දෙන්න මට.."

                  ඔව්... පෛයිතගරස් තියරම් තියා බෙදීම... ඒකත් දහ අට තුනෙන් බෙදීමත් දන්නේ නැති අය ඉන්න පුලුවන්. අනුකම්පා කරන්න... ඔබට අවශ්‍ය බාස් උන්නැහැ හොයා ගන්න. 

                  හැබැයි ඔය අනුකම්පා කිරීම "ඒ මිනිස්සූත් ජීවත් වෙන්න එපායැ" කියලා බාල වයස් කම්කරුවන්, දැඩි ආබාධිතයින් වැනි අය දක්වාත් දීර්ඝ කරන්න යන්න එපා. 

                  මගේ ප්‍රාර්ථනය .... ඔබට ඔබේ නිවාසයක් ඉදි කර ගන්නට ලැබේවා! සැහීමට පත්වූ සතුටු සිතින් ඔබේ නිවසේ පදිංචි වෙන්න ලැබේවා.... !

                                                                                                       simple "s"
2020.03.09

Friday, April 10, 2020

උඩගෙදර කතා 222 "ඔබේ නිවසද?" 04

ඔබේ නිවසද ..... ඒ ඉදිවෙන්නේ?              04

"මේ පොඩි එවුන් කොන්ද කැඩෙන්ට බරට බරේ පොත් ගොඩක් ඉස්කෝලෙට උස්සාගෙන යනවා. ජීවත් වෙන්ට ගියාම ඔය එක පොතක තියෙන දෙයක් ප්‍රයෝජනයක් වෙනවද?" මේ අද උදෙත් ඇහුන කතාවක් වෙන්න පුලුවන්. 

                   එහෙම කියන එක වැරදියි. අලුත් ඉඩම සුද්ද කරංට ගිය තැන ඉඳලමයි ඔය පොත් වල ඉගෙන ගන්න දේවල් ප්‍රයෝජනයට ගත්තේ. බාස්ලා ගෝලයෝ වැඩට ආව දින, ගෙනාව බඩු, ගේන්න තියෙන බඩු විස්තර පොතක ලියා ගත්තා නේද... ඔව් ඔය හැම දේම පැහැදිලිව පොත්වල ලියලා තියා ගන්න ඕන... ඔක්කොම හිතේ තියා ගන්න පුලුවනෑ. වැඩ කරන්නේ දවස් කුලියට නම් වැඩට ආව දින ගනන්, විටින් විට ලොකු බාස් උන්නැහැ අතට දුන්න මුදල්, කරඳනලා කඩියලා ඉඳහිට ඉල්ලා ගන්න අතමාරු ඔක්කොම ලියලා තියා ගන්න ඕන.

                  අද නැකතට ගෙපල සුද්ද කෙරුවා නේද? සන්තෝසෙට කැවුම් කිරිබත් ගෙදරින්ම ගෙනත් පුංචි උත්සවේකුත් තිබ්බානෙ. අවට ගෙවල් වල අයට ඒ වෙලාවට එන්ට කියල තේ එකක් දුන්නා නේද.. ඔව් එව්වා යුතුකම්. ඒ විතරක් නෙවේ... ආයෝජන! ඕනෑ වුන වෙලාවක වතුර ටිකක්වත් ඉල්ලා ගන්න වෙන්නේ ඒ ඇත්තන්ගෙන්. පස්සේ කාලෙක සතුටට දුකට ලඟින් ඉන්න බොහොම සමීප  හිතවත්තු වෙන්නේ ඒ අය.  ඒ විතරක් නෙවේ සමහර විට දබර වෙන්නෙත්!

                  ඒවා අමතක කරමු.... නැකත් හැටියට, දැන් හෙටම මුල් ගලක් තියන්න ෆවුන්ඩේෂන් එක පොඩ්ඩක්  අදම කැපුවානෙ. එතකොට මුලු මට්ටම් හරියට බැලුවා නේද... කොහොමද...? ලොකු දුවගෙ කවකටු පෙට්ටියේ විහිත චතුරශ්‍රයක් (Set square) අරන් ගියා... එහෙමද? නෑ... ඔන්න ටීඕ මහත්තයා... එහෙම නැත්තං ලොකු බාස් උන්නැහැ රේඛා ගණිතය (Geometry),  ඔව්... ඒකේ පයිතගරස් ප්‍රමේය...(Pythagoras' Theorem) ප්‍රයෝජනයට ගත්තා. අර, රිජු කෝණී ත්‍රිකෝණයක කර්ණයේ දිග වර්ගය සමානයි පාදයේ වර්ගය ධන අනික් පාදයේ වර්ගය කිව්ව ප්‍රමේය! ඔව්...  මේක සත්‍යයක්. එහෙනම් ඕකේ ප්‍රතිලෝමයනුත් (inverse) සත්‍ය වෙන්න ඕන... ත්‍රිකෝණයක එක් පාදයක වර්ගය අනික් පාද දෙකේ වර්ග වල එකතුවට සමාන නම් ඒ ත්‍රිකෝණය රිජු කෝණී ත්‍රිකෝණයක් විය යුතුයි. 

                  ගෙදරක මුලු ගැන විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. නැතුව එක මුල්ලක්වත් ඇදයක් හිටියොත් අන්තිමට වහලේ ගහන්ට ගියාම එරෙනවා. මුලු මට්ටම් ගන්න බෑ. තියෙන විදිහට වහලේ ගැහුවත්,  "මෙහෙක් වෙලා"  තියෙයි. මොන කැතක්ද? ඉතින් අපෙ බාස් උන්නැහැලා ඈත අතීතේ ඉඳලම පුරුදු වෙලා තියෙනවා ඔය පයිතගරස්ගෙ උදව් ගන්න. එයා උපදින්නත් කලින් ඉඳලා. අඩි මීටර් මොකුත් ඕන නෑ.. ලී කෑල්ලකින් මොකක් හරි මිම්මකට කෑල්ලක් කපා ගන්නවා. ඒකෙන් ( මේසෙන් ) නූලේ කොටස් තුනක් එක දිගට මැණ ගන්නවා..  3, 4, 5 දිග ප්‍රමාණ වලට. දැන් ඒ තැන් වලිං අල්ලල ත්‍රිකෝණයක් හැටියට  දිගෑරියම යස රිජු කෝණාශ්‍ර ත්‍රිකෝණයක් හැදිලා තියෙන්නේ. දැන් කෙටි පාද දෙක දික් නූල් කෙරුවම ඒ පාද දෙක අතරේ අපෙ කෝණය, අංශක අනූවට කෝණයක්. (Right - angle) යසට හැදිලා ඇති.....!

                 ඉදි කිරිම් ක්ෂේත්‍රයේ ලොකු පෙරළි කරපු අපෙ ඉංජිනේරු මහත්මයෙක් හිටියා ගුණසිංහ නමින්. එතුමා අදහසක් ඉදිරිපත් කෙරුවා එක මහලක් දක්වා නිවසක් කුලුණු (Columns) බාල්ක (Beams) නැතිව ඉදි කළ හැකි බවට. ඒත් දැන් අපේ ඉදි කිරීම් ගැනත් ඉදි කරන්නන් ගැනත් අපිනෙ දන්නේ. ඒ හින්දා අපි එව්වා දාලම ගේ හදමු නේද..! 

                 අපේ ඉදි කිරීම් බිම වගුරු බිමක් වගේ අසාමාන්‍ය එකක් නම් අත්තිවාරම ඉදි කිරීම මේ කියන විදියට වෙනස් වෙනවා. අපෙ ඉඩම සාමාන්‍ය එකක්නෙ.! සැලැස්ම අඳිනකොටම කුලුණු ඕන තැන්, පතුලේ ගැඹුර, size එක එහෙම පෙන්නලා තියෙන්නේ. කුලුණු පතුල ( Foundation) දිග පලල වැඩි වෙන තරමට, බදා ගැනීම වැඩි වෙන නිසා ශක්තිය හොඳයි. සාමාන්‍යයෙන් අඩි තුනේ තුනේ කොටුව ප්‍රමාණවත්. කුලුණත් කුලුණු කකුලත්  1:2:4 න් දාන්නේ. ඒ කකුලේ Size එක අඩි දෙක හමාර දෙක හමාරටත් කුලුණේ ප්‍රමාණය (Size) 9" 9"ටත්  ඇති.  නූල් පහේ කම්බි හතරක් දාමු.. කාලේ කම්බියෙං 'සිරප්' (ස්ටර් අප්) නවලා අඟල් නවයෙන් නවයට දාමු. 

                 කම්බි (m s කම්බි.) භාවිතයේදී මේ නූල් කතාවක් කියනවා. මොකක්ද ඒ. ? ඔය බ්‍රිටිෂ් ක්‍රමයට අඩි අඟල්ම භාවිතයේ තියෙද්දී යකඩ කම්බ් (යකඩ් නෙවේ ඇත්තටම. Mild steel.. m s) වල විශ්කම්භය කිව්වේ අඟල් නූල් වලින්. මෙතන නූල් කිව්වේ රෙදි නූල් නෙවේ.... මම වාගේ රැවටෙන්න එපා! අඟලෙන් අටෙන් එකක ප්‍රමාණය හැඳින්නුවේ නූල කියලා. නූල් දෙකට කාල කිව්වේ නූල් හතරට බාගේ කිව්වේ අන්න ඒ ආකාරයට. අපි කුලුණු වලට, දොර ජනෙල් බෝක්කු වල උඩ කොන්ක්‍රීට් වරියට (නම මතක නෑ!), බීම් වලට, සාමාන්‍ය ස්ලැබ්  වලට... සාමාන්‍ය තත්වයන් යටතේ ගන්නේ නූල් පහේ කම්බි.. (stir-up වලට කාලේ කම්බියි..). කම්බි තියන්න ඕන පරතරය...... ආවරණය වන හිස් ඉඩ ප්‍රමාණය වගේ සාධක එහෙම සැල්කිල්ලට අරන් තීරණය කළ යුතු වෙනවා. කම්බි දිග හදා ගන්නට එක උඩ එක දාලා ගැට ගහ ගන්නවානේ. කොයි තරම් දිග ප්‍රමාණයක් එක උඩ එක (Over-lap) තැබිය  යුතුද යන්න සැලකිලිමත් වෙන්න ඕන. බීම් (Beam) වලට 40 D, කුලුණු (Column)වලට 24 D, ස්ලැබ් එකට (Slab) 50 D කියලා මතක තියා ගන්න.  මෙතන D කියන්නේ කම්බියේ විශ්කම්භය. කම්බියේ විශ්කම්භය මෙන් හතලිස් ගුණයක් බීම් එකකදී කම්බි එක උඩ එක තැබිය යුතුයි. එක පිට එක තබා බයින්ඩිං කම්බියෙන් ගැට ගහන්න..., අර ඒ සඳහාම වන ගැටෙන්!

                මේ නූල් අඟල් කතා තවම අතඇර ගන්න බැරිව හිටියත්, මේ මිණුම් වලට ඉතාම ආසන්න මෙට්‍රික් මිණුම් දැන් භාවිතයේ තියෙනවා. නූල් පහ = ම්.මී. 8, අඟල (ඒ කියන්නේ නූල් අට) = මි.මී. 10, අඟල් කාල = මි.මී.4 ආදී වශයෙන්. කොන්ක්‍රීට් වලට කම්බි දානකොට මල බැඳිලා නම් අනිවාර්‍ය්යෙන්ම වැලි කඩදාසියෙන් මැදලාගන්න ඕන.  මලකඩ කෑව කම්බි එපා. මතකද කලුතර අලුත් පාලම හදද්දී වෙනම ටෙන්ට් ගහලා ඒවා ඇතුලේ ගොඩාක් මිනිස්සු වැලි කවදාසි වලින් කම්බි මැද්ද හැටි! 

                සාමාන්‍ය භාවිතයේදී ගඩොල් හඳුන්වන්නත් ක්ෂේත්‍රයේ අය ගල් කියනවා. කොහොම වුනත් කලු ගලෙන් බිත්ති බැඳීම අදත් තියෙනවා. ඒත් ඉස්සර හුඟක්ම ගෙවල් හැදුවේ කලු ගලෙන්. එක තට්ටුව නම් බිත්ති බැන්දේම මැටියෙන්. ඊට ගැලපෙන්න මැටි අනා ගැනීමත් ඉතා දක්ෂකමක්. ඉන් පස්සේ කපරාරු කළෙත් වැලි මැටි බදාමයෙන්. 

                අපි ගඩොල් බැම්ම ගැන කතා කරමු. ඔය මහියංගනේ ගඟේ වැලි වාගෙම මහියංගනේ ගඩොලුත් කප් ගහලා තියෙන්නේ. ඒ ගඩොල් හොඳයි කිව්වේ, නිවැරදි "ඉංජිනේරු ගඩොලක " දිග පලල උස තිබීම, හොඳ බරක් දරා සිටීමේ හැකියාව, කොන් කැඩිලා නැතිව අගේට තිබීම වගේ කරුණු හින්දා. දැන් එහෙම නෑ. එක එක සයිස් වලට තියෙන්නෙත්. හයියක් නෑ. වතුරට දැම්මාම මැටි වෙනවා (ඒවට දිය ගල් කියනවා.). හරියට පිච්චිලා නෑ. ගානත් ඉහලයි.

                සාමාන්‍ය ගඩොල් නම් දිග අඟල් 7  5/8,  පලල අඟල් 3  5/8,  උස අඟල් 2  1/4 ක් තිබිය යුතුයි. (222 mm  106 mm  73 mm) ඒත් දැන් ඔය ප්‍රමාණ තියෙන ගඩොල් හොයා ගන්න ලේසි නෑ. ගඩොල් කියලා මැලිබන් නයිස් බිස්කටුත් තියෙනවා...! 

               මේ සම්මත ගඩොලින් 9" පලල බිත්ති වර්ග අඩි 100 ක් බඳින්න ගඩොල් 1400 ක් අවශ්‍යයි. මේ 9" බිත්ති බඳින්න 1:5 සිමෙන්ති වැලි මිශ්‍රණය ප්‍රමාණවත්. කාමර වෙන් කරන්න එහෙම, තනි ගඩොලින් (බඩගල්) බිත්තිත් ඉස්සර බැන්දා. 

                ගඩොල් බිත්ති බඳිනකොට ගඩොල් හොඳින් වතුරේ පොඟවලා ගැනීම අත්‍යාවශ්‍යයි. හෝස් බටෙන් යන්තම් මූන හෝදලා ගත්තට වැඩක් නෑ. එහෙම වුනොත් බඳින බදාමයේ තියෙන වතුර විනාඩි කීපයක් ඇතුලත ගඩොල් වලට උරාගෙන, කුස්තූර අතරේ "වටිනාකම එක්කළ" පස් ටිකක් තියෙයි! ගඩොල් බිත්තියත් තරමකට වේලෙද්දි තෙතමනය අලුත් කරන්න ඕනැ.. දවස් හත අටක්වත්. 

                ගලෙන් බැන්දත් ගඩොලෙන් බැන්දත් වරි අතර කුස්තූර (joints) එක පෙලට එන්න නොදී මාරු කිරීම අත්‍යාවශ්‍යයි. ඒ වාගෙම එක වරියකදී අඩි තුන හතරකට සැරයක් ගලක් මුලු බිත්තිය හරහා තියා ගන්න ඕන. නැතිනම් බිත්තිය පුපුරනවා. 

                දැනට PEO TV, SLT Fibre එහෙම නෙවෙයි නම් තියෙන්නේ ඔය TV Cable එක, පෑන්ට්‍රියේ බට, බාත් රූම් එකේ බට එහෙම දාන්න ඕනවෙන සිදුරු කල් වේලා ඇතිව තියා ගත්තොත් ලේසි වෙයි... හරියට තැන්, මට්ටම් එහෙම හිතා ගන්න නම් අපහසුයි තමයි. ඔය මට්ටම් ගැන එහෙම අයෙ වෙලාවක කතා කරමු.

                දැන්..... ඔබේ සිහින මාලිගයේ වැඩ පටන් ගන්න හදිසියි නේද?

                                                                                                 simple "s"
2020.03.06

පළමු හා දෙවැනි පින්තූර අන්තර්ජාලය ඇසුරෙන් ...

උඩගෙදර කතා 221 "ඔබේ නිවසද?" 03

ඔබේ නිවසද..... ඒ ඉදි වෙන්නේ?   03

"බාස් උන්නැහැ... වැලි දොලහ හරි."
"තව වැලි එකක් දා ගනිං කඩියා.."
"බාස් උන්නැහැ... වැලි දොලහක් අරන් තියෙන්නේ. තව දාන්නද කියන්නේ?"
"කඩියා මම කිව්ව එක කරහං බං. පන්ඩිතයා වෙන්නෙ නැතිව."
"දවසක් ලොකු බාස් උන්නැහැ නං කිව්වේ..  සිමෙන්ති දෙකට වැලි දොලහයි කියල.. . "

                  කඩියා කියන්නේ මාතර බාස් උන්නැහැගෙ ඒ කියන්නේ ලොකු බාස් උන්නැහැගෙ හැමදාම ගෝලයා. මාතර පැත්තෙන්ම එක්ක ආවද දන්නෙත් නෑ. ලොකු බාස් උන්නැහැට පනට වාගේ ආදරේ. බාස් උන්නැහැත් තමන්ගේ දරුවෙකුට වාගේ කොල්ලට සලකන්නේ. 

                  දෙවෙනි බාස්ට ඒ කියන්නේ කරඳනට කොල්ලෝ නෝන්ඩිය දාන තරම් කරඳන දන්නෙ නෑ. එයා මූනට බාස් උන්නැහැ. ඉන්නේ ටිකක් එහායින් නම් බාස්. ඇහෙන පේන තැනක නෙවේ නම් බාසා! එයාමනේ කාගෙන තියෙන්නේ. ගෝලයොන්ට පාට් දාන්න ගිහිල්ලයි, දන්න නොදන්න හැම එකටම පන්ඩිතකම පෙන්නන්න ගිහිල්ලයි. ඉස්සර වාගේ නෙවේ දැන් යන්තම් හැන්දයි ලඹෙයි අල්ලන්න දන්නවා නම් එයා මේසෙන් බාස් උන්නැහැ...! ඒත් ඒ ආයුද වලින් කෙරෙන්නේ මොනවද කියල හරියට දන්නෙ නෑ.

                  දැනුත් ඔය වැලි කෙලියක් ඇදලා ගත්තේ ලොකු බාස් ඈතින් එනවා දැකලා. ලොක්කට වැඩිය දන්නවා කියල පෙන්නන්ට කරඳන හදන්නේ. 
                  
"මොකද්ද මේ සද්දේ කඩියා?" ටීඕ මහත්තයා එක්ක, වැඩ කරන තැනට එන ගමන් ලොකු බාස් ඇහුවා. 
"සිමෙන්ති දෙක්කට වැලි දොලහක් ඇති නේද ලොකු බාස් උන්නැහැ..? ගඩොල් බැම්මට මිචර් එක?"
"බැම්ම බඳින්න ඒ ඇති."
"දැක්කනෙ කරඳන බාස් උන්නැහැ..."

"බාස් උන්නැහැ, හෙට කුලුණු බේස් කොන්ක්‍රීට් දා ගනිමු."
" අඟලේ ගල් නං ගෙනත් නෑ සර්. ටිකයිනෙ.... තුන් කාලම දා ගනිමුද?"
"ටිකක් නෑ බාස් උන්නැහැ. දැනට මේ කෑල්ලේ කුලුණු දාසය දා ගනිමු. "
"දාසයද. පහලහද?"
"දාසයයි... එතකොට .... දෙක හමාර වැඩි කිරීම දෙක හමාර වැඩි කිරීම බාගේ.... අයෙත් වැඩි කිරීම දාසය... ම්ම්ම්... පනහයි. හරියටම කියුබ් බාගයයි. පව්.. අර මනුස්සයා... අපි අඟලෙන් කියුබ් එකක් ගෙනත් දෙන්න කියමු අනික් ඒවටත් එක්ක..."
"හරි සර් එහෙනං අනිද්දා දාමු. "
"කමක් නෑ.."
"සර් සිමෙන්ති කීයක් ඕන වෙයිද..ගෙනත් තියෙනවා දහයක්. ඇති වෙයිනෙ... "
"අපෝ ඇති. අපි එකට දෙක ගියත් මිටි හතක් ඇති."
"සර්... පස්සේ වෙලාවක ඔය කොන්ක්‍රීට් වලට සිමෙන්ති එහෙම ඕනෑ වෙන ප්‍රමාණ මට..."
"පස්සේ ඇයි.. දැං අහ ගන්නකො.."

                 මෙට්‍රික් ක්‍රමයට හැරිලා කොච්චර කල් ගියත් අපෙ සුලු පරිමාණ පුද්ගලික ඉදි කිරීම් වලදී තවම බහුලව භාවිතා වෙන්නේ රාත්තල් අඩි අඟල්. 

                 ඔය කොයි එක වුනත් ඝණප්‍රමාණය හදා ගන්න අපි කරන්නේ දිග පළල උස එකට වැඩි කරන එක. ඊට පස්සේ අපි භාවිතා කෙරුව ඒ ඒ මිණුම් ඒකකය අනුසාරයෙන් ඝණ අඩි හරි ඝණ මීටර් හරි, කියනවා. අඩ් දහයක් දිග, අඩි පහක් පළල,  අඩ්ක් දෙකක් උස පස් හරි මොනවා හරි දෙයක් ඝණ අඩි සීයක්. ඒ කියන්නේ ව්‍යවහාරයේදී,  ඝණ අඩි 100. " කියුබ් " එකක් කියලත් කියනවා. One Hundred Cubic Feet. කෙටි යෙදීම...100 cu.ft. හෝ 100 cuft.

                 මේ කියුබ් එකකට වුවමනා ද්‍රව්‍ය ප්‍රමාණ මෙහෙමයි. මේ ආශ්‍රයෙන් කොන්ක්‍රීට් එකට අපිට අවශ්‍ය මුලු සිමෙන්ති වැලි ගල් ප්‍රමාණත්, මුදලත් හදා ගන්න  පුලුවන්. (නිවාස ඉදි කිරීමකදී ඕනෑ වෙන කොන්ක්‍රීට් දෙක ගැන විතරයි මේ.)

කොන්ක්‍රීට් කියුබ් එකකට:
======================
                                                 1:2:4 - 3/4"                            1:3:6 - 1"

සිමෙන්ති                                  බෑග්  16                                බෑග්  12
වැලි                                          කියුබ් 1/2                               කියුබ් 1/2
මැටල් (ගල්)                            කියුබ්  0.95                           කියුබ්  1
        
                   උදාහරණයක් හැටියට අපි අර කුලුණු බේස් වලවල් 16 බලමු. ඒ වලවල් ටිකට කොන්ක්‍රීට් කියුබ් බාගයක් ඕනෑ. එහෙම නම් අපිට සිමෙන්ති බෑග් හයකුයි,  වැලි කියුබ් කාලකුයි, 1" මැටල් කියුබ් බාගේකුයි ඕනෑ වෙනවා. ඕවායේ මිල ගණන් හොයා ගත්තම කම්කරු කුලී ඇර අනික් වියදම හදා ගංටත් පුලුවන්.
"සර්... අනිද්දා බේස් දාගත්තොත් පහුවදා කම්බි හිටවාගෙන කොන්ක්‍රීට් දාන්න හිතාගෙන ඉන්නේ..."
එහෙම බෑ බාස් උන්නැහැ. බිම ... පතුල වුනත් සති දෙකක්වත් තියලා ඉඳිමු ඒ උඩ දඟලන්ට කලින්. බාස් උන්නැහැට වෙලාව පාඩුයි තමයි... ඒත් ඕකේ බැඳීම නැතිව ගියොත් අපරාදේනේ. ඕවා පදම් වෙනකල් වෙන වැඩක් කර ගන්න පුලුවන්නෙ.
"සර්... ස්ලැබ් එකකටත් සති දෙකක් ඇතිද? අපි දවස් විසි එකක් තියනවා ලෑලි ගලවන්නත්." 
"නෑ.. නෑ... අපෝ සති දෙක මදි. කොන්ක්‍රීට් සම්පූර්ණයෙන් ශක්තිමත් වෙන්න නියම විදියට වතුර උරාගෙන දවස් විසි අටක්වත් යනවා. ඒ උඩ, යටබිත්ති වලට ලඹ වෙන්න උඩ බිත්ති ටිකක් උසට බඳින්නත් සති දෙකක්වත් ගියාවේ. ස්ලැබ් එක මැද්දට වෙන්න බර දෙන්න සති හතරම යන්න ඕන.... 
බාස් උන්නැහැ තව මොනවත් තිබුනොත් කතා කරන්න."

                    ද්‍රව්‍ය ඕනෑ වෙන ප්‍රමාණ මෙහෙම ගනන් බලාගත්තත්, ඉවර වෙන විදිය බලා ගෙනයි තව තව ගේන්න ඕන. හේතුව ගබඩා කිරීමේ ඉඩකඩ, නාස්ති වෙන එක, අනවශ්‍ය විදියට වාර ගණන වැඩි කිරීම එක්ක වැඩි වෙන ප්‍රවාහන ගාස්තු, වැඩක් කරගෙන යද්දී බඩු මදි වුනොත් වෙන අපහසුව, බඩු ටික ටික ඉතිරි වෙලා අතන මෙතන ඕක ගොඩ ගහගෙන විඳින්න වෙන වදේ වගේ දෙපැත්තටම හිතන්න වෙනවා. 

                    කීප දෙනෙක් එක් වෙන ඕනෑම තැනක පුංචි පුංචි විහිලු තියෙනවාමයි. අර වාගේ කොහෙටත් නැතිව ඉතිරි වෙලා විටින් විට එහෙ මෙහෙ දැම්ම 3/4" මැටල් ටිකක් අලුත් ගෝලයෙකුට සෝදන්න බාර දුන්නා. ගල් ගොඩට හෝස් එකෙන් වතුර දාන එකයි කරපු මේ සේදීම. දැන් ලැබෙන වැලි වල හරි හරියට තියෙන්නේ මඩ, පස්. මහියංගනේ කියයි, රිදිගම කියයි, අලව්වේ කියයි. ඒ වුනාට ඕවා මේ එහා පැත්තේ ඇලේ ගොඩදාපු එව්වා. වතාවක් මට වැලි ටිකක් ගෙන්නා ගන්න වුන සප්ලයර් ජරා වැලි ගේන්න ප්‍රසිද්ධ කෙනෙක්. 
"අර මහ ඇලෙන් ගොඩදාන වැලිත් සමහර අය ගෙනත් දෙනවලු නේද? මහ ඉස්පිරිතාලේ කාණුවත් ඒ ඇලටලු..." මට වාක්‍ය සම්පූර්ණ කරන්න ලැබුනෙ නෑ... මගේ සප්ලයර් එයාගෙ වැලිවල සුපිරිසිදු භාවය පෙන්වන්න වැලි අහුරක් කටේ දාගෙනත් ඉවරයි.!
"ඔන්න මහත්තයා දැන් විශ්වාසද?"

                   මැටල් වල තැවරෙන මඩ යන්න හෝස් එකෙන් වතුර අල්ලලා හරි යන්නෙ නෑ... එහෙම නම් ඒක වේගයෙන් කලතන්න ඕන.. එකින් එක මැදෙන්න. හැබැයි වතුර ගෑවුනාම මඩ පාට නොපෙනී යනවා. ඒ මඩ ගිහින් නෙවේ! ගල් වැලිවල... මඩ, පස්,  දූවිලි වගේ දේ තිබුනොත් කොන්ක්‍රීට් එකේ හෝ බදාමයේ  ශක්තිය බොහොම අඩු වෙනවා. බැඳීම හීන වෙන නිසා.

                   ඉතින් අර අපේ, මඩ යන්න මැටල් නාවපු ගෝලයට බාස් උන්නැහැ කියනවා...
"කොල්ලෝ... දැන් ඔය මැටල් පොඟලා ඇතිද බලහන්.." කියලා.  අනේ අපේ මෝඩයත් ඇඟිලි දෙකෙන් මැටල් ගල් කීපයක් මිරික මිරික  බලලා...
"මදි වාගේ බාස් උන්න්හැ..." කියනවා.  
           
                   වැඩ අඩි ගානට දීමයි දවස් කුලියට දීමයි දෙකෙන් වාසි කෝකද? දන්නවද... දෙකම එකයි! ඔව්... බඩු නාස්තිය, අපිට කොකා පෙන්නිල්ල, ඇස් වහලා තමන්ගෙ වාසියට අඩි ගනන් මැනිල්ල, තුනට විතර ආයුධ හේදීම, වැඩි පුර අනා ගත්ත බදාම වැලි ගොඩේ හැංගීම, බිමට වැටෙන තාච්චි ගනන් බදාම එකතු නොකර වේලෙන්න ඇරීම.. ඔය වාගේ ලේ නරක් කරන වැඩ සිය ගානක් දවස් පතා උහුලා ගන්න ඕන. 

                   අර... පූසෝ මොනවාදෝ හංගනවා වගේ, වැඩි කර ගත්ත බදාම වැලි ගොඩේ හැංගිල්ල ගැන වෙනමත් කතා කරන්න ඕන:

                   අපි ඒ වෙලාවේ නොදැක්කොත් කාලේකට පස්සේ මුන ගැහෙන්නේ හොඳ වැලිත් බදා ගෙන වේලිලා නරක් වෙච්ච බදාම කුට්ටි!. අපි දැක්කොත් කියන්නේ, 
"හෙට තව සිමෙන්ති හැන්දක් දාලා අනලා ගත්තම හරි" කියලා.

                    ඇත්තටම ඒ ගොල්ලෝ දන්නෙ නෑ... සිමෙන්ති වතුර එක්ක ක්‍රියාකාරී වීම පැය හතරයි පවතින්නේ කියලා. ඉන් පස්සේ සිමෙන්ති ගල් ගැසීම ආරම්භ වෙලා. කරන වැඩක් වතුර මිශ්‍ර කරලා පැය හතරක් යන්න කලින් ඉවර කරන්න ඕන. තව විදියකට... බදාමයක් අනාගන්න ඕන පැය හතරක් වැඩට ප්‍රමානවත් වෙන්නයි. ඉන් පස්සේ අලුතෙන් අනා ගන්න.

                     අඩි හතරකට වැඩි උස ඉඳලා කොන්ක්‍රීට් වක් කරන්න එපා. එක් අතකින් ගල් වැලි කොටස් ආයෙ වෙන් වෙනවා. අනික් අතින් හරියට තැලෙන්නේ (compact වෙන්නේ) නෑ. මේ වැරැද්ද බහුලව සිදුවෙන අවස්ථාවක් තමා, කොන්ක්‍රීට් කුලුණු වල පෙට්ටිය (ෂටරින් එක) කම්මැලි කමට එක සැරේ මුලු උසට ගහ ගැනීම එක්ක. 

                     ගෙවල් හැදිල්ල එපා වුනාද...? එහෙම හිතන්න එපා. ඕක හරිම interesting experience එකක්. අඩියෙන් අඩිය බැමි මතු වෙලා වහලේ ගහලා ඒ ඇතුලේ අලුත් අඳුර දකිනකොට හිතට දැනෙන සතුට.... අත් විඳලාම බලන්න ඕන!

                                                                                                     simple "s"
2020.03.04

පළමු පින්තූරය අන්තර්ජාලය ඇසුරෙන් .

උඩගෙදර කතා 220 "ඔබේ නිවසද?" 02

ඔබේ නිවසද ... ඒ ඉදි වෙන්නේ?    02

** මගෙ දරු පැටවුන්ටවත් මම වින්ඳ දුක නම් ඉතුරු කරල යන්නෑ... මේක කරලා දැම්මම, වැටිලා ඉන්න තැනවත් තියෙනවානේ.

** වැඩ ඉවර වුනාම හොඳ පාටි එකක් ගනිමු සජි... පිරිත් ටිකකුත් කියවන්න තියෙනවා නම් ශෝයි.. මට නිකං පේනවා පේනවා වාගේ දහම්ලගෙ ඇස් දිලිසෙන හැටි..!

               Foundation දාලා ඉවර වෙනකොට මෙහෙම ප්‍රකාශත් හිග වෙන්නෙ නෑ. ගනං ගංට එපා. සාමාන්‍ය මිනිස් ස්වභාවය ඔය. හැම අම්මෙක් අප්පෙක්ම දරුවන්ට යුතුකම් ඉටු කරංට කැමතියි. හීන නොදැක ඉදිරි ගමනක් නෑ. මේවා හීන හැටියටම අහෝසි වෙල නොයන අයත් නැතිවා නෙවේ. හැබැයි අද හැටියට ලක්ෂ විස්සකිං විසිපහකිං අංග සම්පූර්ණ නිවාසයක් ඉදි කරන්න යන අපි අපේ සිහින ගැන සැලකිලිමත් වෙන්න ඕන. නැතිව අනාගත්තොත් අනාගත්තාමයි. 

               පොඩ්ඩක් ආපහු ගිහිං එමු. හැම සැලසුම් ශිල්පියාමවත් මේ කාර්‍යයේදී සම්බන්ද වෙන වෙනත් අයවත් එක වාගේ කියල කියංට බෑ. මනුස්සකම පිරුන අය ඕනෑ තරං ඉන්නවා. අනික, ඒ ඒ වැඩේට නිපුනතාවක් ඇති අයගෙන් විනා හැම දේම අපට කර ගංටත් බෑ, හැම කෙනෙක් ලවාම කර ගංටත් බෑ. 

              ඔබේ නිවාස සැලසුම අඳිංට බාර දෙන ශිල්පියා එක්ක කලිම්ම කතා කර ගංට හුඟක් දේ තියෙනවා. පැකිලෙංට එපා. හැම දේම කතා කරංට. අයෙ අපි ගෙයක් හදනවා නොවෙංට පුලුවං. ඉතිං කිසි කෙනෙක් ගැන සරළ අනුකම්පාවලිං වැඩක් නෑ. "එයාට හැම දේටම කරදර කරංට බෑ කියල හිතුනා" වාගේ දුර්වල කතා වැඩක් නෑ. ඔය වැඩේට අපි එයාට ගෙවනවා. "පව් මේ මනුස්සයා පොඩි පඩියකිංනෙ මේ වැඩේ කරංට යන්නේ ".... කියල එයා එයාගෙ ගාස්තුව අඩු කරන්නෙ නෑනෙ. එයා වුනත් වෙන කෙනෙක් වුනත් අය කරන්නෙත් සුලුපටු ගාස්තුවක් නෙවේ. ඒකට අපිට දොස් කියංටත් බෑ. දුක් විඳගෙන, ලොකු වියදමක් දරාගෙන ඉගෙන ගත්තේ. අනික අපේ සාක්කුවට ගැලපෙංට ගාස්තු අය කරන සේවාවන් මොනවද තියෙන්නේ.? ඔබ තෝරා ගන්න බාස් උන්නැහැයි ගෝලයයි ගැන හිතන්න... ඒත් ඔච්චරනෙ! අනික, තුට්ටුවට වැඩ කර ගංට ගිහිං වැඩේ ප්‍රමිතිය ගැන අමතක කරංටත් නෙවේ. ඒකට කියල මෙන්න මේක අමතක කරංටත් නෙවෙයි. අපේ රුපියලක් කියන්නේ රුපියලක්.. අයියෝ රුපියලක්නෙ... ඕක මොකක්ද කියල හිතංට එපා. හිතන්න...ඔබ වැඩ කරංට මිලදී ගංට හිතුව ගඩොලකට තව තැනක මිල රුපියක් අඩුයි. ඒත් මෙයාගෙ බටර් කතාවට රැවටුන ඔබ .. රුපියලයිනෙ කියල හිතල මෙයා ලඟට ගියේ. දන්නවද.... ගෙට ගඩොල් පනස් දහක් යනවා නම් වෙනස රුපියල් පනස් දහයි. ඔය පනස් දාහෙං කීයක් දේ කර ගංට පුලුවංද.. ඩිපොසිට් මුදලුත් ගෙවල විදුලිය වතුර සැපයුම් දෙකම ගංට පුලුවං. අඩු ගානේ එකක්වත්. 

                විශේෂයෙම්ම පිරිමැස්ම ගැන එයා එක්ක කතා කරංටම ඕනෑ.. ඒ කියන්නේ අපේ මුදල් තත්වය ගැන. ඊලඟට අවුරුදු ගානක් ඉදිරියේදී, තියෙංට ඕන, එදාටත් ගැලපෙන ශක්තියයි පෙනුමයි ගැන. අඩුම ගානේ අවුරුදු පනහකටවත්. කල්පනාවෙන් වැඩ කර ගත්තොත් අවුරුදු සිය ගණනක් ඉදිරියේදිත් "ශක්තිමත් අලුත් නිවාසයක්" අද හදා ගන්න අපට බැරි වෙන්නෙ නෑ. අපි නිකමට බලමු... ට්‍රාන්ස්වර්ක් මන්දිරය, පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වාගේ එව්වා... අදත් මොන තරං ලස්සනද! ගාම්භීරද! එහෙම ගෙයක් අපිට හදනවා තියා හිතංටවත් බෑ.. ඇත්තටම ඕනත් නෑ... එහෙම වැඩ කරංට පුලුවං බාස්ලා, ගැලපෙන ඉදි කිරීම් ද්‍රව්‍ය දැං ඇත්තෙත් නෑ. එව්වා වෙනම කතා... නමුත් අපිට පුලුවං තරමට, අපි කරන වැඩේවත් හරියට කරමු.

                සැලැස්ම අන්දවංට කලිං, එහෙ මෙහෙ යන එන ගමං වලදී දකින හිත ඇදිල ගිය නිවාස, ගොඩනැගිලි ගැන සැලකිලිමත් වෙංට. ගාම්භීර ඒත් සරළ වහලයක්, කුලුණු ටිකක්, සමස්ථ පෙනුම වාගේ දේ ගැන අවදානය යොදවංට. ඒ නිර්මාණ මගේ ගෙට කොහොම ඇතුලත් කරංට පුලුවංද? ඒ විදියටම ආදේශ කර ගංට නං බැරි වෙයි. අර කීව හේතු වලට අමතරව.. අපෙ ඉඩම තියෙන වට පිටාව, පරිසරය හැටියටත් වෙනස් කර ගංට වෙනවා. කඳුකර ඉඩමක හැදුනු නිවසක වහල බිඳීම්, බිම් මට්ටම් වෙනස් කිරීම් වගේ ඒවා සමතලා බිමක නිවසකට ආදේශ කරංට බැරිවෙයි. ඒත් අදහසක් ගංට පුලුවං. තමං ආසා කරන තමංගෙ පාසලේ ඉස්සරහ කුලුණු තියෙන විදි, ඒ කැටයම් නැතිව හරි concept එකවත් ඇතුලත් කර ගංට ආසා හිතෙන කෙනෙක් ඉංට පුලුවං. ප්‍රසිද්ධ හෝටලයක ජනේල, ආලින්දය වගේ තැං වලට ඔබේ හිත ඇදිල යංට ඇති. නගරයෙං පිට ඈත පිටිසර වුනත් ලස්සන වහලයක් තියෙංට බැරි නෑ. ඔබේ නිවස කිසිම විදියකිං කොපියක් වියයුතු නෑ. ඒත් ඕනෑම නිවසකිං හොඳ අදහස් ගංට තහනමකුත් නෑ. 

                 හැබැයි මේ ටිකත් මතක තියා ගංට. ඉසේ කැක්කුම හැදෙනකල් කල්පනා කරල ගේ හැදුව මේ Fashion එකට ඉදිරි කාලයේදී ඔබේ දරුවන් වුනත් ඔබ තරමටම කැමති වෙයි කියල සහතිකයක් නෑ. සියලු මහන්සි අවසානයේ ඔබට ඔබ ගැනම දැඩි කළකිරීමක් ඇති වෙන්න වුනත් පුලුවන්. "ඇයි මං මෙහෙම එකක් කළේ?" කියල. කැමති වුනත් එකයි නැති වුනත් එකයි... මගේ යුතුකම මගෙ හිතට එකඟව මං ඉෂ්ට කෙරුවා කියල සතුටු වෙමු.

                 මේ අන්දවා ගන්න ප්ලෑන් එක "මුලික ප්ලෑන් එක" (Master Plan) වෙංට ඕනෑ. හරි අවබෝධයක් නැතිව, පස්සේ ඕකට එහෙං මෙහෙං කෑලි එල්ලංට එපා. ඔබ හිතේ ඇඳ ගත්ත රුව නැතිව යනවා. අනික් දේ... (මේ මං වාගේ), සම්පූර්ණ ගේ හදංට කලිං කෑල්ලක් හදාගෙන පදිංචි වෙංට බලාපොරොත්තු වෙනවා නං ඔය මූලික සැලැස්මේම කොටසක් ඉදි කරන්න. ගරාජ් එක වුනත් කමක් නෑ.... තමංගෙ තැනනේ. බිත්ති වල උස වාගේ දේ මුල් සැලැස්මේ තරමටම හරි වැඩියෙං හරි ඒ කොටසේ වුනත් තියංට කියල ඔබ උපදෙස් ගන්න කාර්මික නිළධාරි මහත්තයා කියල දෙයි. 

                  බිත්ති උසට තියෙනවා නං ගෙයක් ලස්සන වැඩී. අපේ ආදායම් තත්වය ටිකක් සතුටුදායක වෙල ඔය ගේ දිග පළල වැඩි කර ගංට ලැබෙන අවස්ථා බොහොම උදා වෙයි.. දිග පළල වැඩි වීමට සාපේක්ෂව උසත් වැඩි වෙංට ඕනෑ. එතකොටයි ලස්සන. ඒ හිංදා ඒ දිර්ඝ කිරිම් වලටත් ගැලපෙංට, මුල ඉඳලම උස වැඩියෙං තියංට මතක තියා ගංට. ඒක හොඳයි. කඩලා හැදීම් පුලුවං තරම් අඩු කර ගංට. එහෙම කරනකොට නාස්තියත් වැඩී. ගොඩනැගිල්ලේ හයිහත්තියටත් බලපානවා. 

                   දන්න අඳුරන කෙනෙක් මාර්ගයෙංවත්, අවශ්‍යම උපදෙස් ටිකක් ගංට සුදුසු කාර්මික නිළධාරි මහත්තයෙක් හොයා ගත්තොත් වටිනවා... නැත්තං කොන්ත්‍රාත්කාරයා හරි බාස් උන්නැහැ හරි කෙලින පච වලටත් අපි කිකරු වෙනවා. නිවාස තැනීම ගැන හැම දේම දන්නවා කියල පෙන්නුවත් .එයාට ගැඹුරු තාක්ෂනික දැනුමක් නෑ. ඒකනේ අර  1:2:4 - 3/4"  සාමන්‍ය කොන්ක්‍රිට් මිශ්‍රණය අනාගංට අමාරුයි කියල, මැටල් හතරෙං එකක් අඩු කරල ඒ වෙනුවට තව වැලි එකක් දා ගනිමු කිව්වේ! එයාට අත්දැකීම් තියෙනවා. ඒත් බොහෝ ඒවා නොමඟ යවනසුලුයි. අපිට ඒවායින් නිවැරදි දේ තෝරාගෙන අපිට අදාල කර ගංට වෙනවා.

                   බාස්ලා ගෙන්නා ගංට කලිං පොඩ්ඩ පොඩ්ඩවත් ගඩොල්, වැලි, සිමෙන්ති ගෙනත් තියංට වෙයි. එන්නං කියන දවසට බාස්ලා නේන එක උපේක්ෂාවෙං බලංට පුරුදු වුනොත් හොඳයි. හ්හ්..උපේක්ෂා.... උපේක්ෂා තමයි බලංටකො... කන්තෝරුවේ ඉංටම ඕනෑ දවසක්.. ලොක්කගෙං බැනුමුත් අහගෙන නිවාඩුවක් හදා ගත්තේ. ඒත් මේ මිනිහා නෑ... හොඳයි ඉතිං මොනවා කරංටද? හෙට බලමු. ආ ඒත්.... ඒත් හෙට නං මට ඉංට බෑ. අනිද්දත් බැ. ඉරිදා එංට කියමු. තව කී දවසක් ඔහොම වෙයිද...

                  බාස්ලා ආවත් කෝ මේ ගේනවා කිව්ව බඩු ටික? ආයෙ ඒ මනුස්සයා හොයංටත් යංට වෙයි වාගේ. ඒ සෙල්ලං කොහොම දැම්මත් එයාගෙ බ්ලොක් ගල් නං ගන්නෙ නෑ. මතකනෙ, පෙන්නංට ගෙනාව සාම්පල්. කෝං පිට්ටු ඊට වැඩිය හයියයි. ඒ වෙලේ මෝඩ ගඩොල් ටිකක් කපලා වේලා ගන්න එක වටිනවා. අනික ඔය ගල් කුඩු ගොඩක් බිත්තියේ පුරවා ගත්තත්, බ්ලොක් ගල් අච්චුවක් හොයාගෙන සිමෙන්ති ටිකක් වැඩියෙං දාල අපිම බ්ලොක් ගල් ටිකක් කපා ගත්තත් බ්ලොක් ගල්වලිං බිත්ති බැන්දම රස්නේ ඉන්ට හිටිංට බෑ කියල ටී ඕ මහත්තයා කිව්වා මතකනේ. අවුරුදු සිය ගණං කොයි හැටි වෙච්චත් එක අවුරුදු හතලිහක්වත් පනහක්වත් පවතිංටත් එපායැ. 

                 එහෙම කර ගංට නං, අර මැටල් එක අයින් කරල ඒ වෙනුවට වැලි එකක් දාගෙන හරි යන්නෙ නෑ. ඉතිං අපි සිමෙන්තියි බදාමයි කොන්ක්‍රීටුයි ගැනත් ටිකක් කතා කරමු. නෑ.. නෑ... අද නෙවෙයි.! දවසකිං දෙක්කිං මුණ ගැහෙමු.

                                                                                                  simple "s"
2020.02.28

උඩගෙදර කතා 219 "ඔබේ නිවසද?" 01

ඔබේ නිවසද.....

ඒ ඉදි වන්නේ... ඔබේ මුදලින්... ?
නැත්නම් ගෘහ නිර්මාණ ශිල්පියාගේ නිවසද? කොන්ත්‍රාත්කාරයාගේ හෝ බාස් උන්නැහේගේ හෝ නිවසද?                                                                                       (01)

                                            =======================

** "අපල කාලයක් ලැබුවම ගෙයක් හදංට පටං ගන්ට."

** "ගෙයක් හදනවය කියන්නේ සල්ලි වැලලීමක්."

** "ගෙයක් හදනවා නං, වියදම් ලැයිස්තුවක් කලින්ම හදා ගන්න. ඊට පස්සේ ඒක දෙගුන කරන්ට."

             ගෙයක් හදා ගංට අදහසක් ඔලුවට ආව මොහොතේ ඉඳල ඔබට අහංට ලැබෙන උපදෙස් මාලාවේ වැදගත් කීපයක් මේ. ඒවා සත්‍ය ප්‍රකාශ. 

             අපල කලයකදී කොයි තරං දුක් වේදනා, සාරීරික අපහසුතා, සිත් තැවුල්, මානසික වේදනා, අග හිගකම් අත් වෙනවද... නිවසක් ඉදි කරනකොට ඔබට කොහොම අපල කාලයක්ද උදා වෙන්නේ කියල කියන්නම් මෙහෙම.. 

             හදන නිවස වටේ නිවැසියන්ට පොඩි ශෝබනයක් පෙන්නාගෙන ඉංට හිතට ආවා නේද? ඒකනේ ඉඩම බලංට ආව මුල්ම දවසේ පිට අයට දෙන හිනාවත් සාක්කුවේ දාගෙන හිටියේ. මැඩමුත් ඒකට එකඟ හින්දානේ " අද මැදපු... ආආ..එහෙම කියාගෙන ගියොත් හොඳට හිටී..!,    අද iron කරපු Shirt එකක් ඇඳලා අත් දිගට දාලා ... අර අලුත් සපත්තු දෙක පොලිෂ් කරලා දාගෙන යංට ඕන.. හඩ්ඩා වගේ නැතිව.." කියල කිව්වේ. කමිසේ ඔන්න ඔය ක්‍රීස්, සපත්තු දෙකේ පොලිස් වාෂ්ප වෙල යංට වැඩි දවසක් ගත වෙන්නෙ නෑ. අනික් කොයි දේ ගත්තත් ඔය වාගේ තමයි අපලෙට යට වෙන්නේ. සල්ලි, ගෙදර පිළිවෙල, ළමයින්ගෙ අධ්‍යාපන කටයුතු, හිත හොඳකම්... විභාග, විනෝද කටයුතු, ඒ තියා දෙන්න දෙමාල්ලො අතරේ තිබ්බ සමාදානේ වුනත් සැලෙන අවස්ථා එංට පුලුවං..... මේ වාගේ දහක් දේ! ඉතිං, කේන්දරේ බලල කිව්ව, අර කෙහෙතද රාහුද කව්දා හින්දා ලැබෙන අපලේ, මෙහෙම අවසානය ලොකු යහපතක් වෙන දේකට සම්බන්ධ කෙරුවම ඉවරනෙ! දෙකම එකට ගෙවිල යයි...

            මං මෙතනදී උපකල්පනය කරන විශේෂ දෙයක් තියෙනවා. ඔබත් අව්ධිමත් හෝ නිත්‍යානුකූල නොවන හෝ හම්බ කිරීමක් නොකරන කෙනෙක් නේද? ඒකේ විශේෂය වෙන්නේ... ඔබත් සීමා සහිත ආදායමකින් මේ නිවාස සිහිනය සැබෑ කර ගන්න යන්නේ.

            ඔබ නිවස ඉදි කරන්නේ, මව්පිය උරුමයෙන් ලැබිච්ච ඉඩමක වේවා, ඔබම (නිවාස දේපල ණයක් ලබාගෙනවත් ) මිලදී ගත් ඉඩමක වේවා පහත කරුණු අඩු වැඩි වශයෙන් පොදුයි....

             ඉඩමට අදාලව ඔබේ නම් නගර සභාවේ ලියාපදිංචි කළා නේද? Bloking Out Plan (B O P) එකත් අනුමත කර ගත්තනෙ? හරි..

            මුලිම්ම ඉඩමේ මායිම් නිවැරදිව ලකුණු කර ගැනීම අත්‍යාවශ්‍යයි. විවිධ සත්තු ඔය ඉඩම පරිහරණයට එන්නේ ඒ සත්තුන්ට තරම්වන ලැජ්ජාවක් ඇතිව නෙවේ. ඒවාට සහාය දෙංට ඕනෑ තරම් රජයේ නිළධාරීනුත් ඉන්නවා. තවමත් රුපියල් විසිපහකට තිහකට කරංට බැරි දෙයක් නෑ! පටං ගන්නකොටම තාප්පයක් බඳිංට ලොකු මුදලක් යට කරංට අපහසු නං ශක්තිමත් කටුකම්බි වැටක්වත් ඉදි කිරීම ගැන හිතමු. 

           කුරුණෑගල පැත්තේ රජයේ කාර්යාලයක සාමාන්‍ය සේවාවක නියුතු කෙනෙක් තමංටම කියල ගෙයක් ඉදි කර ගංට රජයෙන් දෙන ණය මුදල ලබා ගත්තා. මව්පියන්ගෙං උරුමවුන ඉඩමකයි ගෙය හදංට යෝජිතව තිබුනේ. මේකට සැලැස්මක් (තේරෙන සිංහලෙං කියනවා නං ප්ලෑනක්.) ඇඳ ගංට සුදුසු ගෘහ නිර්මාණ ශිල්පියෙකුත් හොයා ගත්තා. නාගරික සංවර්ධන අධිකාරිය පනත අදාල වෙන මහ නගර සභා, නගර සභා හා ඒ පනත අදාල වන ප්‍රදේශ හැටියට ප්‍රකාශිත ප්‍රදේශවල සංවර්ධන කටයුත්තක් කරංට කලිං අදාල පලාත් පාලන ආයතනයෙන් සැලැස්මක් හා අයදුම් පතක් අනුමත කර ගැනීම අනිවාර්යයි. ඉතින් මේ මහත්තයත් හැම පියවරක්ම අනුගමනය කරල ඔය අනුමැතියත් ගත්තා. නිවසට, ගෙපලත් කැපුවා. ෆවුන්ඩේෂනුත් දැම්මා. ඔය අතරේ නැකත් බැලීමුත් එනවා. ඒ ගැන පස්සේ කතා කරමු. 

               ඔන්න දැන් තව කණ්ඩායමක් ක්‍රියාත්මක වෙනවා. ප්‍රෙඩී සිල්වා මහත්තයා කිව්ව අර පහසු රස්සාවේ යෙදෙන අය! "නිකම් ඉන්නෙපා ... කොහොම කොහොම හරි ගහපල්ලා බං පෙස්සම්.." 

               හැබැයි මෙතන සාධාරණ සැකයක් හිතෙන දෙයක් වෙලා තිබුනා. ප්ලෑන ඇඳලා තිබුනේ එසේ මෙසේ ගේකට නෙවේ. සාගරේකට......! වටපිට මිනිස්සු (ඉරිසියාවත් අනිවාර්යයි.) කතා වුනේ "ඔය රස්සාවෙං මෙච්චර ලොකු ගෙයක් හදන්නේ කොහොමද..? මොකක් හරි ගසා කෑමක් ...." කියල. කතා වෙල නිකං  හිටියෙ නෑ. කෙනෙක් ගැහැව්වා අල්ලස් හා දූෂණ විමර්ෂන කොමිෂන් සභාවට පෙත්සමකුත්..! 

               මෙතනදී විශේෂ දෙයක් කියංට තියෙනවා. මේ කොමිෂන් සභාවට, අපි කෙනෙකුට විරුද්ධව පෙස්සමක් යැව්ව තරමිං, මතු බැල්මේ වරදක් කරල තියෙන බව පේංට තිබුනත් නිකම්ම චෝදනා එල්ල කරන්නෙ නෑ. නිළධාරීන් මගින් ඒ ගැන පුලුල් පරීක්ෂණයක් කරනවා.

              ඔන්න දවසක් අපේ මේ යාලුවගෙ ගෙදරට කව්ද දෙන්නෙක් එනවා. වාසිදායක තොරතුරක් ඇන්න ආවේ...! ඒ බොරුවට! යාලුවා ගෙදර නෑ... වැඩට ගිහිං. අම්මා විතරයි ගෙදර. 
"පුතේ මෙහෙ එලියෙංවත් පුටු දෙකක් තියල දෙංටද... අපෙ එකා එනකල් වාඩි වෙලවත් ඉන්ට."
"අනේ කරදර වෙංට එපා අම්මේ.. අපිට මෙහෙම මේ ගල උඩ හොඳයි.  පුතා එනකල්." මිදුල පුරා තැනිං තැන ගල් ගොඩවල් වැලි ගොඩවල්... කාමර දෙකක්, කපරාරුවත් ජනෙල්වත් නැතුව අම්මයි පුතයි පදිංචියට ඇන්න තියෙන්නේ.... උයන්නේ එලියේ යාලත්තක් බාල ඇන්න.
"ඇයි අම්මා මේ ගේ බාගෙට හදාගෙන... ඇය් ඉතිං අනික් වැඩ ටික කර ගන්නෙ නැත්තේ? දවසින් දවස බඩුත් ගණන් යනවනෙ.."
"මතක් කරංට එපා බුදු මහත්තයෝ... අපෙ මේ බූරුවට මොලේ කියල කලඳක් තියෙනවද? තුට්ටු දෙකක් අතේ තියාන බකිංහැං මාලිගාවක් හදංට හිතේ තිබුනට හරි යනවද? දැං ඔය එරිල ඉන්නේ. මේ කපේට ගොඩ එංටද දෙයියෝ...තමුන්නේ තරමට එපාද ...." හම්මෝ පියුම් මහත්තයා ඉවරයි. ඉවරෙටම...

               ඔබ සැක හිතුවා හරි. මේ ඇවිත් හිටියේ අල්ලස් හා දුෂන එකෙං. ඉතිං ආයෙ තව පරික්ෂනත් ඔනැද වෙල තියෙන දේ තේරුම් ගංට! ඒත් රාජාකාරියක් රාජකාරියක් හැටියට කෙරෙංට ඕනැ හිංදා පියුං මහත්තයා (අම්මා යැව්ව පනිවිඩයට) එනකල් ඉඳල ප්‍රකාශ කීපයක් ගත්තා.

                නිවාස සැළසුම් ශිල්පියා කරන්නේ දෙයියන්නාන්සෙගෙ හරි ඇස් කඩල යංට සැළසුමක් ඇඳලා දෙන එක. මෙන්න මෙතන Beer Garden එක... මෙ බැල්කණිය හොඳයි හැන්දෑවට ජොඩුවට පොඩි චැට් එකක් දාගෙන ඉඳගෙන ඉන්න. මාස්ටර් බෙඩ් රූම් එකටම යාව ලමයින්ගෙ රූම්ස්. මෙතන මෙතන මෙතන එක්ස්ට්‍රා රූම්ස්... ඕන නම් මේ රුම් එක අයින් කරමු. පෑන්ට්‍ර් එක මේ රූම්ස් වලට ඈතින්... මෙතෙන්ට ගනිමු..." ඔය පියන් මහත්තයා විතරක් නෙවේ... අපි කවුරු වුනත් ආබස්සර දිවිය ලෝකයටම ගෙනියන්නේ නැද්ද? වියදම් අඩු කර ගන්න අරහෙම කරමු... මෙහෙම කරමු. ගඩොල් වැලි වලට අහවල් තැන කතා කරල දෙන්න පුලුවන්. මේ ඩිසයින් එකට ඔබ තුමා එකඟ වෙනවා නම් හෙටම අඳින්න පටන් ගතහැකි. මුලු වියදමෙන් සීයට විසි පහක් ඇඩ්වාන්ස් ගෙවන්න ඕන. වැඩේ කෙරෙද්දී තව විසි පහක්. නගර සභාවට ඇපෲවල් එකට දෙනකොට තව සීයට විසි පහක් ඕන. අපි මේක  ඇන්දට ඒ මහත්තයෙක් ඕන අස්සන් කරංට. එතකොට ලේසියෙං ඇපෲව් කර ගංටත් පුලුවං. නැත්තං ඉතිං දන්නැද්ද.. අරක නැ.. මේක අඩුයි.. යූඩිඒ ලෝ එකේ හැටියට මේ ක්ලියරන්ස් එක මීටරයකට වැඩිය....  අන්න ඒ වැඩේටනෙ මේ විසි පහ!

              මේ සොච්චං (ඒ කාලේ!) හවුසිං ලෝන් එකක් ඇන්න ගේ කොටයක් අටවා ගංට යන අපි දන්න රෙයා ක්ලියරන්ස් එකක්වත් යූඩීඒ ලෝ එකක්වත් නෑ. දන්නේ කියන ගානකට...
"කමක් නෑ මහත්තයා.. කමක් නෑ..." කියංට විතරයි. ඔන්න එකඟතාවය උඩිම්ම. මොකද මේ වෙනකොට අපෙ මහත්තයා කසාදේකුත් බැඳල නෝනත් එක්ක අර බැල්කනියේ බියර් එකක් බිබී ඉන්න ගමං මේ!
"මම හෙට කියන්නම්.. අපේ ගාන කීයද කියලා. අය කිරීම ****** රුපීස් පර් ස්ක්වෙයාර් ෆුට්. " 

             ඕක පුංචි මුදලක් එහෙම නෙවෙයි...!

(මේක නොකියාම බෑ.. 
එක එක අදියරයේදී මට නම්,  අතින් වියම් කරගෙන උදව් කරපු රෝයි ඇට්ටා පාලිත නම් මතක් කරන්නේ බොහෝම ආදරයෙන්.... )

(තව කොටසකිං හමු වෙමු..)

                                                                                                 simple "s"
2020.02.26

පින්තූරය අන්තර්ජාලය ඇසුරෙන් ...

Wednesday, April 8, 2020

උඩගෙදර කතා 218 ලිං කටෙං වැටුන එකා 74

ලිං කටෙං වැටුන එකා   74.

"මයෙ පුතා දැකල තියෙනවද මේ සතා?"
"වැටිල ඉන්නවා දැකල තියෙනවා.  මට හොඳට මතකයි කලුන්තැන්නනේ ගොම්මන යට වැටිල හිටියා. ඔය වාගෙම අර කොටියා වාගේ ඉන්න තඩි සමනලයොත් ඒ කැලෑවේ හිටියා. මේ කුරුමිණි වර්ගයක් නේද අප්පච්චී?"
"ඔව් මයෙ හිතේ. ඒත් හැම කාලෙම නෑ. මේ වාගේ වැස්ස කාලේදී විතරයි වැටිල  ඉන්නේ."
"මේ පාට තමයි ලස්සන අප්පච්චි. කොල පාට අතරේ රත්තරන් පාට. දිලිසෙනවා."
"තව ඔය තරමෙම දිලිහෙන තනි නිල්පාට ජාතියකුත් ඉන්නවා මයෙ පුතා."

                 දෙසැම්බර් නිවාඩු කාලේ ඉතිරි වුන ටිකේ ඔය වාගේ දේ වුනා. විභාගෙට හිටිය හින්දා මං ආවෙත් පමා වෙල. ජිනා නංගී තවම ඇවිත් නෑ. එයත් මාදි නංගී වාගෙ biology නෙ. ඒ පේපර් එක පහුවෙල තියෙන්නේ. අනික් පේපර්ස් නං ඔක්කොම ලේසියි කියලයි මාදි නංගී කිව්වේ. විභාගේ පටං ගංට සති දෙක තුනකට කලිං ජිනා නංගී අන්තිමට මට ලියුමක් එව්වේ. 

                  මයෙ පමාව හිංදා අයියලත් නිවාඩුවට ගෙදර එන එක පමා කරල. සාමා දුව බලංට අපෙ අම්මටයි අප්පච්චිටයි හරි හදිස්සියකිං හිටියේ. මටත් එහෙම තමයි ඉතිං. අයියා එනකල් ඉංටත් හිතල මම තනියම පෑලිස් අයියලගෙ ගෙදරත් ගියා. මට හරිම හදිස්සියක් තිබ්බා... රත්නාවලියි රත්නමාලියි බලංට. හුරතල් දෙක! ඒ එක පැටියෙකුට තියෙන ඩිම්පල් එකට අපෙ අම්මලා පියරු වල කියලත් කියනවා .. මේ දවසේ තමා කිව්වේ. තව මොකොදෝ නමක් තියෙනවලු. අපෙ අම්මට මතක් වුනාම කියයි. 
"අනේ අක්කා මට දැං මේ දෙන්නා වෙං කරල අඳුරා ගංටම බෑ."
"මල්ලිට නං මොකදෑ.. පෙලක් වෙලාවට මටත් බැරිකොට. මල්ලී ලොක්කිගෙ මූනේ වල මතක තියා ගංටකො."
"ඒකට ඉතින් මෙයා හිනා වෙනකල් බලා ඉංට එපායැ...." මං හිනා වෙල කිව්වා. පොඩි දෙන්නත් හිනාවුනා. 
"බය වෙංට එපා... එපා වෙනකල් හිනාව නං ලැබෙයි අපෙ මල්ලී!"
"එහෙම තමයි ඉංට ඕනැන්නේ..."

"මල්ලී.. අද අපෙ ගෙදරිං බත් ටිකක් කාලා යංට ඉංට පුලුවංද?"
"අක්කා අපෙ අම්මා මං ආව හින්දම..."
"නෑ.. නැ.. මල්ලී අද උදේම දඩමසක් ලැබිල තියෙනවා.. ඒකයි ඇහුවේ.."
"අක්කා මං කියන්නං.. තලප හැඳි ගාංට... මස් එක්ක කංට."
"කංට?" පැලිස් අයියත් කතාවට හවුල් වුනා. "තලප කන්නේ කව්ද... ගිලිනවා විනා... හීං මල්ලිට තලප ගිලිංට තේරෙන්නැද්ද?"
"අපෝ මට පුලුවං... හීල් තලප නං හපල කන්නේ. නිලි හොදි එක්ක තමයි කැමති අයියා."
"මට යාලුවෝ ටික එක්කොන්න ඇවිත් ඔහොම හොද්දක් තියෙන වෙලාවක කුරහං තලප හදවල දෙංට හරිම ආසාවක් තියෙනවා අයියා."
"අපෝ මල්ලී...  කට්ටිය ආපහු ගිහිං මල්ලී ඉතුරු කරන එකක් නෑ. කවට කම් කරල."
එහෙමමත් නෑ අයියා. සමහර ලමයිංට මේවා, ආනං වාගේ ඒව්වා හොඳට හුරුයි. කවදාවත් කුරහං තලප කාල නැති අයත් නැතුවා නෙවෙයි." මට දයා මතක් වුනා..

                   අපි මෙහෙම කතා කර කර ඉන්න අතරේ පෑලිස් අයියට ඩිංගිරී අක්කා අඬ ගැහැව්වා. කතා කරන එව්වා මටත් ඇහෙනවා. ඩිංගිරි අක්කා මස් හොද්දට දාංට සරක්කු ජාති එකතු කර කර ඉන්නේ කියල මට තේරුනා. ඔය ලොකු සරක්කු ගුලියක් අඹරල මස් එකට දැම්මම මස් බුරුල් වෙනවා වාගෙම දිරවංටත් ලේසි වෙනවා. ඇයි රහ!
"මුරුංගා පොතු කෑල්ලක් ගලවල ගෙනත් දෙංට."
"ඉංට... "
"හා.. මේ... අරවයිං කොල ඩිංගකුත් දාමුද අයියා. "
"හ්ම් ...  ඒක හොඳයි හීං මල්ලිගෙ බඩ නරක් වෙන්නේවත් නැතු වෙංට. ඒවාගෙම කංටත් පිරිය වැඩි වෙනවානේ"

"කංට පිරිය වැඩ් වෙංට දානවා කිව්වේ මොනවද අයියා.?" පෑලිස් අයියා ආපහු ආවම මං ඇහැව්වා.
"මල්ලී.... කංසා කොල දෙක තුනක් ඔයෙ අඹරන ලුනුමිසට එක් කරල හොද්දට දැම්මම බොහොම යසයි. බය වෙංට දෙයක් නෑ... ඒක බේතක්..." පෑලිස් අයියා කතාව එක සැරේට නවත්තල ඉස්සරහ කඩුල්ල දිහා බලාන බාගෙට නැගිට්ටා. මාත් හැරිල බැලුවා. මෙන්න මයෙ අයියා එනවා....!

"අපෙ අප්පෝ...!  අපෙ සේසිරි අයියා. ආව එක කොයි තරං දෙයක්ද... ! එංට දෙයියෝ..  ඇතුලට."
"ගෙදර ඇවිත් බැලුවම මයෙ මල්ලිත් මෙහෙ ආවා කිව්වා. මමත් පෑලිස් මලයා කාලේකිං දැක්කේවත් නැති හිංදා එංට හිතුනා. ඉතිං මල්ලී දැං වගාවල්, බිස්නස් වැඩ එහෙම මොකදෑ."
"දළදා හාමුදුරු වන්නේ පිහිටෙං හැම දේම හොඳිං කෙරෙනවා අයියා. අර යස්ස ඉඩෝරෙං වුන ආපදාවෙං පස්සේ ආයෙ එහෙමකට මිනිසුංට කරදරයක් වුනේ නෑ. අයියටත් මතක ඇති .. මට නං ඔයෙ තරමක් කරදර වුනා.  දැං එව්වත් විසඳිල. දුංකල වලටත් හොඳයි... එලවලු ඩිංගක් කිරන එකත් ආපහු පිලියෙල වුනා අයියා."
"අයියා තේ වතුර ඩිංගක්වත් ගෙදෙද්දී බීල නෙවෙයි වෙංටෑ ආවේ. මං ව්නෑඩ්යට කහට ඩිංගක් දාන්නං..." ඩිංගිරි අක්කා ඇහැව්වා.
"නෑ.. නංගී අපෙ අම්මා අපි ගෙට ගොඩ වෙන පමාවෙං තේ හැදුවා."
"අපි කිව්වේ අයියා ... ඉස්කෝල නෝන මහත්තයත් ආවද?"
"ඔව්... දුවත් ආවා..."  මයෙ අයියා එහෙම කියල මා දිහා බැලුවා. මං හිනා වුනා විතරයි. සාමා දුව ආවා කිව්වම මට සන්තෝශයි කියල මයෙ අයියා දන්නවා.
"අනේ අයියා ඒ දෙන්නත් මෙහෙ එක්කොන්න එංට එපායැයි. අද කෑම කටක් කාල තමයි සේසිරි අයියලා යන්නේ. අයියලාට වැඩිය ලැබෙන්නේ නැති කැමක් අද තියෙන්නෙත්."
"ඒ මොනවද මල්ලි...
"ගෝන මස් එක්ක තලප. බත් ඉයංට හදනකොට හීං මල්ලී කැමති වුනා තලප ඩිංගක් ගිලල යංට..."
"අපිටත් ඔය දෙකම ලැබෙනවා. හැමදාම නෙවෙයි. සති දෙක තුනකට සැරෙයක් වාගේ."
"දිරවංට පාසු වෙංට ඕනෑ හැම දේම දාල තියෙන්නේ...."
"හැබැයි අපි දෙන්නා ගෙදර ගිහිං කොහොම හරි බත් ටිකකුත් කංට ඕනෑ. නැත්තං අපෙ අම්මට බඩේ ගිංදර හැදෙයි."
"ඒක හොඳයි..."

"හා.... අන්න මයෙ නංගිත් එනවා." පෑලිස් අයියා කිව්වා. හැරිල බැලුවම ජිනා නංගී...! මට එක පාරම මහ සතුටක් දැනුනා. 
"නංගිත් අදද ආවේ.?" මයෙ අයියා ඇහැව්වා.
"ඔව් අයියා... මේ සැරේ මාත් සාමාන්‍ය පෙළ ලිව්වානේ."
"කොහොමද විභාගේ ලේසිද?"
"වැරැද්දක් නෑ අයියා. ගණං ටිකක් අමාරුයි. අනික් එව්වා නං හැම එකම වරදක් නෑ. ආ.. රසායන විද්‍යාවත් ටිකක් අමරුයි වාගේ... ප්‍රථිපල එනකල් හිතා ගංට අමාරුයි."
"සපූ අයියට විභාගේ කොහොමද?" කිසි දෙයක් දන්නෙ නෑ වගේ ජිනා නංගී මයෙං ඇහැව්වා....
"මටත් නංගිට වාගේමයි... අර අලුතෙං කරංට දා ගත්ත Advance maths ප්‍රස්න පත්තරේ නං අජ...  ඉංග්‍රීසි ප්‍රස්න පත්තරේ මේ සැරෙත් ....."

"අපෙ නංගී මොකදෑ ඔච්චර කලු වෙල? අව්වේ ඉඳල වාගේ...:" කුස්සිය දිහාට යමිං ගමං ඩිංගිරි අක්කා ජිනාගෙං ඇහැව්වා. 
"මොන අව්වෙද අපෙ අක්කා... මේ නිකම්ම සීතලට මයෙ හිතේ." ජිනා නංගී කිව්වා.
"ඔව්... අනුරාධපුරේ සීතලට.." කියංට මයෙ කටට ආවා. ඒත් මං කිව්වේ මේ ටික.. "පහු ගිය දවස් වල නුවරයි අවටයි හරිම සීතලයි තමයි."

                  මයෙ අයියත් නිඹුල්ලු දෙන්න දිහා ආදරෙං බලාන හිටියා. හුරතලුත් කෙරුවා. ඒ දෙන්නා එංට එංට ලස්සන වෙනවා. අපි දෙන්නම තලප ගිලලයි ගෙදර ආවේ. තව කුරහං පිටි ඩිංගක් ඉස්මට වැටුනා නං හොඳයි කියල මට හිතුනා. දිය වැඩී....

                                                                                              simple "s"
2020. 02. 22

පින්තූර අන්තර්ජාලය ඇසුරින් .

උඩගෙදර කතා 217 කම්මිත්ත හා බාල සීනි

"කම්මිත්ත හා බාල සීනි...."

                කම්මිත්ත කවදත් විහිළු සැපයූ කෙනෙක්. අන්දරේ තරම් දක්ෂ නොවූවත් ඔහුගේ සොහොයුරියකැයි හැඳින් වූවත් වරදක් නැත.

                ඈත කාලයේ බොහෝ කම්මිත්ත, ඈ සිටි නිවසේ අයගේ දැඩි තාඩන පීඩන වලට ගොදුරු වී ඇත. දැනුත් පිලිස්සීම් තුවාල හෝ මුහුණු ඉදිමී හෝ වෙනත් ආපදාවක් ඇතිව, සමහර විටක දවසක් දෙකක් වයසැති බිළිඳකු ද සමඟ හෝ ඉඳහිට කෙනෙකු හමුවන තොරතුරු ලැබේ. තවත් විටක පාරට ඇද දැමූ බාල වයස් කාරියන් එහෙමත් එසේ හමු වෙනවා. ඒත් බොහොම කලාතුරකින් තමා ගෙදරකින් එලවා ගත් වැඩුනු කම්මිත්තක මඟ තොට හමු වුනොත්.. ඒ තරමටම මේ වනවිට කම්මිත්ත වටිනා (භාණ්ඩයක් කියන්න බැහැ.) කෙනෙක්.

               දැන් කම්මිත්ත හඳුන්වන්නට වැදගත් නම් රාශියක් තියෙනවා. ඒ තරම් ම ඒ අය සතුටින් තියා ගත යුතුයි. ඒ අය කොයි තරම් හිඟද කියලා තේරෙන්න ගෙදර කෙනෙක් වැටිලා අතක් පයක්... වාගේ හදිසි අවස්ථාවක් එන්න ඕන. 

                අපි දන්න කියන නිවසකත් කම්මිත්තකගේ සේවය අත්‍යාවශ්‍ය අවස්ථාවක් පහු ගියදා  ඇතිවුනා. දන්න කියන අය බොහෝ දෙනෙකුට කීවත් පලක් වුනේ නෑ. මාසයක් විතර අසීරුකම් රාශියක් මැද ගත වුනා. ඒ අතරේ දෙන දෙයියෝ ගෙදරටම ගෙනත් දුන්නා. මේ අයත් ඇයගේ වෘත්තීය ගරුත්වය රකිමින්, ඇයව බාහිර අයට හඳුන් වන්න Glorified Designation එකක් දුන්නා... Domestic Helper කියලා. ඒ ජීවිතයේ ස්වභාවය තේරුම් ගන්න එක කරුණක් පමණක් ප්‍රමාණවත්. මේ කම්මිත්තට අනුව ඇයගේ වයස අවුරුදු තිස් හතරයි; ඇගේ ලොකු දුව දැන් දහය වසරේ...!

                පළමු දිනයේ ඈ උදෑසන හත විතර වන විට සේවයට වාර්ථා කළේ නගරයේ ප්‍රධාන බාලිකා විද්‍යාලයකට යන දියණියන් දෙදෙනා පාසලට ඇරලවා දින පතා ඒ වෙලාවට පැමිණන බව පවසමින්. එදා පස්වරු පහවන තුරු සේවයේ නිරත වූවා. පසුදා... අතුරු පාරේ බස් නැතිවීම නිසා පැයක් පමණ ප්‍රමාදයි. සවස කලින් යන්න අවසර ඉල්ලුවේ ඇවිත් පැය බාගයක් යන්නත් කලින්. ඊට පහුවදා පැය දෙකක් පමණ පමා වුනේ... එක් දියණියකගේ අවශ්‍යතාවකට පාසලට යාමට සිදු වූ නිසා... එසේම සවස තුනට තුන හමාරට, වැඩ අවසන් නිසා ගියාට කමක් නැද්ද යයි විමසීමට තරම් ඈ smart වූවා. ඉන්න වෙලාව වැඩ නොකරනවා නොවේ. ඒත් උදේ වැඩ තියෙන වෙලාව පහු වීමත් සවස වැඩ වෙලාවට කලින් ආපසු යන්නට සිදු වීමත් නොවැලැක් විය හැකි ය! මේ වන විට ඒ කියන්නේ මාස එක හමාරක් ගත වෙන්නත් කලින් වෘත්තීය ජයග්‍රහණ කීපයක්ම දිනාගෙන! දැන් උදෑසන එන්නේ නවයට... යන්නේ තුන හමාරට. ඒක ස්ථාවරයි.

                 වැඩ වලදී මේ අයට අවශ්‍ය ආකාරයට බඩු බාහිරාදිය පරිහරණයටත් ස්ථානගත කිරීමටත් අවසරය තිබිය යුතු ය. පිළිවෙල ටෙඩීට ගොසින් ය. ඒවා ඉවසා  දරා සිටිය යුතුයි. ඒවා ගැන දැඩිව කතා කරන්නට ගොසින් "එහෙනම් මම යනාවා." කිව්වොත් එහෙම! අනෙ අම්මා..!

                සමස්ථයක් වශයෙන් කම්මිත්ත හොඳ ය. සෑම දවසකම, ඉල්ලීමට යමක් හේතු සහිතව ලෑස්ති කරගෙනයි එන්නේ. දවසක් පොඩි දියණිය ද කැටුවයි ආවේ. පහුවදා "ඊයේ දුව අර සෙරෙප්පු දෙක දාල. සයිස් එක හරියට හරිලු මැඩම්." පහුවදා, "මැඩම්, අනිද්දා උසාවි යන්න සුදු බ්ලව්ස් එකක්... " ඊටත් පහුවදා..... "අර පස්සෙන් ගරාජ් එකේ අලුත්වැඩියාවක් කරන්න තියෙන කාර් එකක් තියෙනව... ඒක එහෙම ඕන නැද්ද?" කියලා අහන්නත් ගෙදර කෙනෙකුට සිදු වුනාලු.
  
                නිවසේ, එකම දියණිය සිරි සඟ බෝ පරම්පරාවේ.. ඊට සතියකට පස්සේ දවසක බඩු ගෙන ගියේ ලොරි බාගයක් ගෙනැවිත් ම  ය. "එහෙනම් තව මාසේකින් විතර සැලියුට් එක ගහයි." කියලා හිතන්න එපා. දික්කසාද නඩුව අවසාන වෙන්න තව මාස කීපයක් ගත වෙයි. ඊයේ තිබුනේ දරුවන් දෙන්නගෙ නඩත්තු නඩුව! ඒකේ නම් රුපියල් පනස් දහකට ආසන්න හිග මුදලකුත් ලබා දීලා....

                ඒවා එහෙමයි කියමුකෝ... මේවා අහගෙන ඉඳලා "අනේ ඕගොල්ලන්ට එපා නම් මට දෙන්නකෝ.." කියන්න එහෙම තහනම්... !

                 දැන් දැන් නිවසේ හා නිවැසියන්ගේ අඩුපාඩු සඳහන් කරමින් සිනා සෙන්නටත් පටන්ගෙන. ඊයේ පෙරේදා මේ කම්මිත්තට නිවසේ බරපතල දුර්වල කමක් අහු වුනානෙ. පොඩ්ඩක් ඉන්න.. ඇහෙන පේන මානෙක ඉන්නවද බලලා එන්නම්.

                  කතාවට දක්ෂ ඈ, නිවසේ ගෘහ මූලික කාන්තාව සමඟ පුංචි නයෙක් එලවන අවස්ථාවක මේ.... තේ කෝප්පයක් රස ව්ඳිමින්....

"මැඩම්ලා පාවිච්චි කරන්නේ බාල සීනි නේද?"

                                                                                                 simple "s"
2020.02.20.

උඩගෙදර කතා 216 ලිං කටෙං වැටුන එකා 73

ලිං කටෙං වැටුන එකා   73.

                 දෙසැම්බර් පටං ගන්නකොට මං හොඳ සන්තෝසෙං. ගියාවුරුද්දට වැඩිය මගෙ ඕ ලෙවල් සෙකන්ඩ් ෂයි එකට මම හොඳ ලෑස්තියක් තියෙනවා. ඒත් සමහර කරුණුවල අලුත් දෙයක් ඇහුවම හරි කියෙව්වම හරි හිතට බයකුත් එනවා. මෙන්න අලුත් තොරතුරක්...කියල..!

"නංගී ඕක මෙහෙමනෙ... අපි හිතාගෙන ඉන්න කොටුව ඇතුලේ හැම දේම තරෝ කෙරුවට එතනිං පිට තව කරුණු තියෙනවා කියලවත් අපි දන්නේ නෑ. නංගිට මතකද අර මුස්ලිම් බෝයි. එයා යූ.ඊ.ප්‍රෙප් එකේ ඉඳිද්දී ෆෝම් එකේ ළමයිත් එයාගෙං සමහර ඒවා අහ ගත්තා. ඒ තරං බ්‍රයිට්... අන්තිමට ඒ ලෙවල් ෆේල්නෙ. අපි බයේ හිටියේ ඔලුව නරක් වෙයිද කියල. ඒ වුනාට නංගී දන්නවද... සතියක් ගියෙත් නෑ, දවස් දෙකක් තුනක්  යනකොට ආපහු පාඩම් කරංට පටං ගත්තා. ආං එන්ජිනියරිං ෆැකල්ටි යංට බලාන ඉන්නේ."
"අනේ සපූ අයියා ඔයා ගැනත් මුලිං ඔය වාගේ කතා තමයි තිබ්බේ. ඇත්තටම මොකද වුනේ අයියට...." 
"ඔහොම තමයි නංගී....මේ අවුරුද්ද ඒ ලෙවල් වලට හොඳට මහන්සි වෙංට හිත හදාගෙන ඉන්නේ... ඒත් නංගී කවුරු මොනවා කිව්වත් මට කැම්පස් යංට ලැබෙන්නේ නං නෑ. අප්පච්චිට තව කොච්චර කියන නං වද දෙංටද.."
"අයියා ඔය අදහස හිතේ තැන්පත් වෙංට දෙංට එපා. ඒ හැගීමට, නොදැනිම අයියගෙ උනන්දුව නැතුව යනවනෙ. යටි හිත කොයි වෙලේත් අයියට කියන්නේ 'මහන්සි වුනාට වැඩක් නෑ... කැම්පස් යංට ලැබෙන්නෙ නෑ...' කියලනෙ. මාදි නංගී මට කියද්දී කොහෙංදෝ තව ලමයෙක් එතෙංට ආවා. මට එයාගෙ නමවත් හරියට මතක නැ. හේමා වෙංට ඇති. හේමමාලා... ලස්සන කෙල්ල!
"අනික.. කැම්පස් නොගියත් හොඳට පාස් වුනොත් ඒක කොයි දේටත් ලොකු සුදුසුකමක් වෙනවානේ." හේමත් කිව්වා.
"මං මහංසි නොවී ඉන්නෙ නෑ. ටිකක් හරහට ගිය හිත මං දැන් ආපහු ට්‍රැක් එකට දාගෙන තියෙන්නේ. දැං ඔයාගෙ ස්ටඩීස් කොහොමද?"
"සපු... ඕ ගොල්ලෝ ඩිස්කස් කරන ඒවට මටත් කතා කරංටකො. එහෙම කරනවා නං කොච්චර දෙයක්ද..." මාදි නංගිගෙ මූණ හතරැස් වෙනවා රබර් ඇහැට මං දැක්කා... කෙල්ලෙක්නෙ!
"ඔයා කොමර්ස්නෙ කරන්නේ... ඉතිං අපි ඩිස්කස් කරන එව්වා ඔයාට ප්‍රයෝජනයක් නෑනෙ."
"දෙකටම තියෙන සබ්ජෙක්ට්ස් තියෙනවද බලමු."
"ලඟදී දවසක මං ඔයාව දැක්කා... ස්කාෆ් එකක්  කං වැහෙංට බැඳගෙන මේ හතරේ කනුව හරියේ පයිං යනවා."
"ඉතිං මම හතරේ කනුවේනෙ සපූ..."
"ඇත්තද..."

"මං හිතුවා වවුල් ලෑටිය වාගේ තව එල්ලි එල්ලී කතාව දිග්ගස්සා ගනීද කියල. කොහෙද මෙයාටත් ..."  හේමා යනකොටම මාදී කිව්වා. "මෙයාටත් ඕනෑ වුනා ස්කාෆ් ගැට ගහගෙන ගිය එව්වා මතක් කරංට... "
"නංගිට දුක හිතුනද.... "
"තව තත්පරයක් ඒ කතාව දිග්ගැස්සුනා නං මං යන්ට හැදුවේ."

                   මාදි නංගී කවදාවත් මෙහෙම ඉරිසියාව ප්‍රදර්ශනය කෙරුවෙ නෑ. ඔහොම තරහ ගිහිං ඉන්නවා මං දැක්කෙත් නෑ. 
"ඔච්චර දෙයක් වුනේ නෑ නංගි... සොරි." නංගී මගෙ අස් දෙකෙං පැත්තකට මුණ හැරෙව්වා. ඒත් ඇස් දෙකේ කඳුලු පිරිල තියෙනවා මං දැක්කා. 

"Why... what happened Madhangani?" ලඟිං ගිය මිස් වීරක්කොඩි නතර වෙලම ඇහුවා. මාදි නංගිලාටත් Physics කරන්නේ ඒ මැඩම්මයි.
" My head aches madam.."
"Go back to the hostel and get two APC - tablets. Then it will be alright." එහෙම කිව්ව මැඩම් මට නෑහෙංටත් මාදිගෙං මොනවාදෝ ඇහුවා. මාදිගෙ නලලටත් අත තියල බැලුවා."
"නංගී... ඒ ටික පූජාවලියෙං බලා ගන්න එක වැඩිය හොඳයි." මිස් වීරක්කොඩි යද්දී මං එයාටත් ඇහෙංට කිව්වා. මොකද ඒ වෙලාවේ නංගී අතේ බුද්ධ ධර්මය පොතක් තිබ්බා දැක්කා. සිරි සීවලී. එච්චරයි කතෘ නම. උපාධි පට්ටං, ගම් බිම් මොකවත් නෑ. බෝසත්වරු! "සි සී"

                    බුද්ධාගමට ගිය සැරේ ඩී ගංට මට උදව් වුනේ පූජාවලිය පොත. මං ලිව්වා ලිව්වා. අන්තිමට කොල දාහතරක් ලියල තිබ්බා. මේ සැරේ බුද්ධාගම සබ්ජෙක්ට් එකට මං වැඩි සැලකිල්ලක් නෑ.
"ඇද්ද... ටැප්  එක අරිංට ගිහිං කීයක් බොරු කියංට වුනාද. අඬංට දෙයක් වුනේ නෑ නංගියෝ. දැං හරිනේ. ශෝයි බබා වාගේ බොරුවට හරි හොස්ටල් එකටත් ගිහින් ඇවිත් පංතියට යංට."

                   මාදි නංගී කවදාවත් අඬනවා මං කලිං දැකල තිබ්බෙ නෑ.

                   දයා ගැන මාදි නංගිගෙං අහංට මට ඕනෑකම තිබ්බා. හිතාමතාමයි ඇහුවේ නැත්තේ. නොදැනෙංට දයා ටිකක් මගෙං ඈත් වෙල කියල මට හිතෙනවා. එයා හොස්ටල් එකේ නොහිටිය තුන් වෙනි සති අන්තේදී මං ඇහුවා. එයා කිව්ව හැටියට විමල් සර් එක්ක අනුරාධපුරේ ගිහිං. ඒ එක ගමනක් ගැනවත් මට කලිං කිව්වෙ නෑ. අඩු ගානේ දයාවත්. තව දවසක් ඇහුව දේකිං මං උඩ ගිහිං බිම වැටුනා.
"සපූ... ජිනාදරීගෙ හැටි කියංට."
"ඇයි...?"
"ඊයේ පෙරේදා මට ගර්ල් කෙනෙක් මුණ ගැහුනා. මට සැක හිතුනා... ඒ එයාද කියලා."
"ඔයාට තිබුනානේ නම අහංට."
"මං ඇහුවා.. බොරුවක් කිව්වද කියලා මට සැකයි."
"ඔයාගෙ නම එයාට කිව්වද..? "
"නැ... මම කිව්වෙත් නෑ."
"පැහැදිලිව පේන එකක් තමයි ජිනාගෙ නිකට දෙකට බෙදිල. කං අස්සේ, බෙල්ලේ පිටු පස්සෙන් එහෙම මුදු මුදු කොන්ඩේ.."
"ඔය නිකට බෙදුන කතාව එක්ක තමා මට සැක හිතුනේ. ඔයා දවසක් මට කියලා මට මතක තිබුනා. ඒත් එයා නෙවෙයි වෙන්ට ඇති."
"ඔව් දයා එයා අනුරාධපුර එංට හේතුවක් නැ. පෑලිස් අයියා කියලා හිතංට පුලුවන් කෙනෙක් එක්කද හිටියේ.. හා.. අනික ඔයා පෑලිස් අයියා දැක්කනෙ. එයාගෙ features වලට හුඟක් සමානයි. එයා කොහේ කියලද කිව්වේ?"
"කොහෙද මේ... උඩවලවේ කියල කිව්වෙ නම්... "
"නම කිව්වේ මොකක් කියලද.."
"ඒක නම් මතක නෑ මචං..."
"අනේ මන්දා දයා..."
"නෑ.. නෑ.. සපු මේ වෙන කෙනෙක්. "

"දයා.. ස්ටඩීස් ටිකක් මගෑරුනා නේද? මම ඔයාට පුංචි නෝට් එකක් හදලා ඇති.. වැදගත් කරුණු ටික."
"ගානක් නෑ සපු... කවර් කර ගත්තෑකි."
"දයියෝ... අමතක කරංට එපා... ඔයා කොන්දේසියකට යටත්ව එන්ට්‍රන්ස් යන්නේ. Maths complete කරන්න."
"ඔව්.. මචං... Thank you .... You are too concerned Sapu.."

                   මේක හරිම කතාවක්නෙ... ජිනා හොස්ටල් එකෙන් පිට වෙල තනියම අනුරාධපුරේ එන්නේ කොහොමද? අනික මේ අය ගිය ගමනකදී ජිනා මුන ගැහෙන්නෙ කොහොමද.. එහෙනං ජිනත් දැං ඒ තරං ඇක්ටිව්ද... දයා වාගෙම ජිනා නංගිත් මට මොනවා හරි හංගනවද... ජිනාගෙං එහෙම වෙනසක් දැක්කේ නං නැ. ලියුම් පමයි. ඒත් අසාමාන්‍ය පමාවක් නැ. හොඳයි.. බලමු... දවසක් දෙකක් ඉවසිල්ලෙං ඉඳල.

                    මං විභාග කාලේ නතර වුනේ ජයේලගෙ ගෙදර. සොමක්කලගෙ ගෙදර කිට්ටුවම. බන්ඩත් මාත් එක්ක එහෙ. සුනිල් අඳුර ගත්තෙත් එහෙදී. ජයෙයි සුනිලුයි දෙන්නම හරිම හිත හොඳ කොල්ලෝ. කොල්ලෝ කිව්වට අපට වැඩිමල්. තව අලුතෙන් හතර පස් දෙනෙක්ම අඳුර ගත්තා. 

                    ඒ විතරක් නෙවේ..... පණ නැති දේ දෙක තුනකුත් අඳුර ගත්තා....!
හෝතා..., ගෙවල් වල ඔතන එව්වා නොමිලෙම ලැබුනා. Double D, Double R, Double E.... වැඩියෙන් ලැබුනේ Double D. Direct ගහෙම්ම!

                                                                                                simple "s"
2020.02.17

පින්තූරය අන්තර්ජාලය ඇසුරෙන්.

උඩගෙදර කතා 215 ලිං කටෙං වැටුන එකා 72

ලිං කටෙං වැටුන එකා   72

"ලස්සන... !
    අයියා දන්නවද මේක නංගී ගාවා තිබුනා කියල."
"ඔව්.. ඇයි."  ඔලුව සම්පූර්ණයෙං උස්සන් නැතුව යටැහිං බලල මාදි කිව්වේ."
"එහෙනං මේක මට තියා ගංට බෑනෙ. දයා මාව පට්ටා ගහයි...."
"ඔයා බය නැතුව තියා ගන්ටකො..."
"නංගී නං කියයි. ඕක ඔයා ලඟම තියා ගංට. මං කවදා හරි ගන්නං "
"කවදා හරි...! නෑ.... එහෙම තියා ගන්ට මම වෙන ෂේප් එකක බැජ් එකක් ගෙනත් දෙන්නං.මොන ෂේප් එකේද?"

              ලස්සන හීනි හිනාවකිං මාධංගනීගෙ මූණ පිරිල ගියා. ඒ අස්සෙන් අඩවන් වුන ඇස් දෙක මයෙ මූණට හරවාගෙන, එයා අත් දෙකේම දබරැඟිලි වලිං හදවතක සංකේතය අහසේ ඇන්දා. 
"අයියාවත් කවුරුවත් දන්නේ නෑ, මයෙ ලඟ තිබුනා කියලාවත් මං ඕක සපු අයියට දුන්නා කියලාවත්." 
"මේක කොහෙංද ඔයාට..?"
"මේ ලඟ මහාමායා ගර්ල් කෙනෙක් ඉන්නවා. එයාට කව්ද දුන්නා කියල මට දුන්නා. මට ඒක ඔයාට දෙංට හිතුනා."
"ඇත්තටම ලස්සනයි. INDEPENDENCE  DAY  CEYLON ...."

                  මේ ගිය සෙනසුරාදා දයයි මායි මාදියි ඒ ගොල්ලංගෙ ගෙදර ගිය වෙලාවේ, දයා එලියට ගිය වෙලාවක වුන කතාවක්. මට ලස්සන රවුම් බැජ් එකක් මාදි දුන්නා. 

                  දයා අද නිදහස් දිනේ ගැන කතා කරනකොට මට ඒ සිද්දිය මතක් වුනා.
"විමල් සර් කියන එක හරි සපු... මොන අංශයෙන්ද අපි නිදහස් වෙලා තියෙන්නේ.... සමරන්ට... බ්‍රිතාණ්‍ය යටත් විජිතයක් වෙලා ඉන්න එකද නෙහ්." දයා කියනවා.
"අනික... පෙබරවාරි හතර... අහවල් දෙයක් වුනාටද නේ? අර ජෙනිංස් ඒ ව්‍යවස්තාව ලිව්ව එකට එයාගෙ කොටස ගත්ත හැටි! නෝනගෙ උපන් දිනේ අපේ නිදහස් දිනය හැටියට ... විහිලුනෙ මචං." 
"අපෙ අය ඒවා ඒ විදියට බාරගෙන."
"හැබැයි මචං.. පුංචි කාලේ ඉස්කෝලෙදි නිදහස් උස්සවේ හිංදා කියල මහත්තයලා නෝන මහත්තයලා කැවුම් කිරිබත් කෙසෙල් ගෙඩි ගෙනත් ඔක්කෝටම කංට දුන්න හැටි මතක් වෙනකොට තවම ආසයි..."
"අපෙ හිත්වල නිදහස් දිනය කියල හැඟීමක් ඇති කරවපු හැටිනෙ.
"පේරාදෙනිය විශ්ව විද්‍යාල පරිශ්‍රය, ඒක නම් හරි ආශික් නේද?"
"එයාගෙ design එකක්ලු නේ? මටත් ඔය කතාව අහංට ලැබුනා."
"ඇයි බං සර්ම කිව්වේ."
"කොහොම වුනත් මචං අපේ අයට තව අවුරුදු පනහකට සීයකටවත් ඔය යටත් විජිත මානසිකත්වයෙන් මිදෙංට නම් බැරි වෙයි. ඒ තරමට මුල් බැහැලා."
"එහෙමම කියංට එපා... අපේ මහන්සියෙත් ප්‍රතිපල නැති වේයැ.!"
"මචං විමල් සර් නං කැපවීම කියන එක ඉහලිම්ම. මයෙ හිතේ ඉක්මනින්ම ජොබ් එකෙනුත් අයින් වෙයි..... ෆුල් ටයිම්  වැඩ කරංට."
"ඔව් සපු. ඒත් අපිට එහෙම හිත හදා ගන්ට බෑ..."
"මනෝ රාජික සමාජ ...." අපි දෙන්නම හිනා වුනා.
"ඔය කැප වීම විතරක් නෙවේ... සර් කසාදයක් කර ගන්නෙත් නැති පාටයි නේද. ඒ ජීවිතෙත් අත් ඇරලා වෙංට ඇති."
"දයා.... මං දැනගෙන සතියක් විතර ලොකු රහසක් තියෙනවා. ඔයා දන්නෙ නෑ. සර් අෆෙයාර් එකක් පටංගෙන."
"ඔයා කොහොමද දන්නේ..." 
"සර් ගර්ල් කෙනෙකුට කියල තියෙනවා... අනාගතයේ ගස් ගල් අස්සේ වුනත් ඉංට වෙන කාලවල් එංට පුලුවං. ඒවටත් ලෑස්තියෙන් ඉංට කියල."

                 දයා ඉන් එහාට විස්තර ඇහැව්වෙත් නෑ. මං කිව්වෙත් නෑ. ඒ වුනාට අපි දෙන්නම දන්නවා ඕක කොයි වෙලේ හරි අපි open කතා කරනවා කියල.

                 අපි දෙන්නා කතා කර කර හිටිය තැනට girls' hostel එකේ බැල්කණිය පෙනෙනවා. ඒකේ ලමයි තුං හතර දෙනෙක් ඉන්නවා. මට ලතා මතක් වුනා. ඒ ටිකකිං බැල්කනියට මාධංගණී නංගී ආවා. මං ඒ ගැන සැලකිමත් වුනා කියල දයාට පෙන්නංට ගියේ නෑ. 
"දයා.... ලතා art subjects කළාලු. ගිය සැරේ ඕලෙවලුත් කෙරුවලු. නොවරදවම පාස් වෙයිලු. එහෙම වුනොත් මේ අවුද්දෙම ඒලෙවල් වාඩි වෙනවලු."
"එහෙම පුලුවන්ද මචං. අවුරුදු කීයක් arts කරලද අපි මේ සයන්ස් වලට කොන්ඩෑරුං ගැහැව්වේ. ඒ හිංදා ටිකක් ආපහු revise කරනකොට ඔක්කොම හෝ ගාල එනවා."
"ඒ කියන හැටියට එයාගෙ අයියා සෑහෙංට influential කෙනෙක්. විභාගේ කරංට අවස්ථාව හදා ගංටත් ඇත්තේ එයාගෙ හැකියාවෙං."

                 ලතා ඉඳිද්දී මං බැල්කනියේ හිටියා නං එයා කී සැරයක් ඒ දවස් වල එලියට ඇවිත් ඇවිත් බලල ගියාද.. දයත් ඒක නෝටිස් කරල තිබුනා. ඒත් පහුගිය කාලේ ලතාගෙං ආව ලියුම් වල (ඒත් විජේ, දෙවෙනි පියුං හරහා තමයි!) තිබුනේ පරන හැසිරීම් වල විදිය නෙවේ. දවසක් කියල තිබුනේ "ෆිල්ම් එක්කට එන්න පුලුවන්ද... නුවරට" කියල.  එක පාර මයෙ පපුව හරහා විදුලියක් කෙටුවා තමයි. එත් ඒ එක්කම ඇති වුනේ පුදුම කලකිරීමක්. එහෙනම් එහෙ ගෙවෙන ජීවිතය එහෙමයි. මේ ටිකට අලුත් boyfriends ලා තුන් දෙනෙක් ගැනවත් කිව්වා. පව් අය්යගෙ සල්ලි!

"මොකක්ද සපු ඔච්චර ගැඹුරු කල්පනාවක්?"
"ඇත්තටම ලතා ගැන මතක් වුනේ දයා."
"ඕක අමතක කරලා දාන්ට... අර දිලිසි දිලිසී ඉන්නේ ඔයාගෙ ජිනා නංගී..."
"ඔයා හරියට දැක්කා වාගේනේ කතාකරන්නේ."
"ඉක්මනින්ම ජිනා නංගී, ඔයාගෙ අම්මා තාත්තා, මාඔය මිටියාවතේ කෑලි කපන්ට තැන්පත් වෙලා තියෙන මී දුම් කුට්ටි, ගේ ලඟ වෙලේ ලතාවට ලෙලදෙන ගොයම් පැලපත, කොරකහ... රුක් අත්තන.... කලවැල්.... කරඳ.... වල මල්  බලන්ට මම එනවා සපූ... ඇත්තට කී සැරයක් මේ වෙනකොට ගිහිල්ලා තියෙංට ඕන ගමනක්ද?"
"ඔයාගෙ වැරැද්දක් නෙවෙයි දයියෝ..."

                  යාලුවෙක්වත් ගෙදර එක්ක යංට මට හිතෙන්නෙ නැත්තේ තියෙන අපහසුකම් පෙන්නංට බැරිකම, හරි හැටි කෑම ටිකක් දෙංට බැරිකම වාගේ හේතු හිංදා. මම දුර්වලයි... ඒ කෙනෙක් ආපහු ගිහිං සපුගෙ පසුබිම මෙහෙමයි කියල පත්තරේ දානවායැ. ඒත් මට ඒක කරංට හිතෙන්නෙම නෑ. අනිප්පැත්තෙං දයා කිව්වා වාගේ මයෙ ගමේ සිරියාව යාලුවංට පෙන්නංට තියෙන ආසාවත් මහමෙරක් තරං. ඉන්න තැනිං ඩිංගක් ඔලුව උස්සල එංට ගමේ ඇත්තෝ වැඩි දෙනෙකුට ඕනෑකමක් නෑනේ. මේ දුර්වලකම්, නැති බැරිකම් ලෝකෙට ප්‍රදර්ශනය කරගෙන ඉංට පුදුම කැමැත්තක් තියෙන්නේ. කව්රු පිහිට වෙයි කියල හිතාන කියවනවද කියල වෙලාවකට මට හිතෙනවා ඒ කතා ඇහෙනකොට..

                     ලඟදී දවසක මට වෙන  විදියක අව්ඥාවකට නං මූන දෙංට සිද්ද වුනා. දවසක් එක රැස්වීමකදී....
"පොඩ්ඩක් සපුමල් සහොදරයගෙ ගමේ පසුබිම බලා ගන්න අපි කැමතියි. දෙන්නෙක් එක්ක යන්න ලෑස්ති කරන්න."
"කාන්ඩෙයක් එක්ක යන්න තරම් මට අපෙ ගෙදර පහසුකම් නෑ..." වැඩිදුර නොහිතාම මං කිව්වා.
"ඕකට තමයි කියන්නේ..... මානසිකත්වය කියල. අපි යන්නේ සැප විඳල එන්න ජොලියක් දාලා එන්න ගමනක් නෙවේ." මයෙ හිත කලබල වුන තරම.... මොන මානසිකත්වය කියලද කිව්වේ කියලවත් මට ඇහුනෙ නෑ.

                      මගෙ මේ මෝඩ ප්‍රකාශය අවස්ථා කීපයකදිම ඊට පස්සේ සඳහන් වුනා. මයෙ ඉස්සරහම. මට ඇත්තටම ලැජ්ජා හිතුනා. ඒත් තවම හිත හදා ගංට බෑ කවුරුවත් ගෙදර එක්ක යංට..

                                                                                                simple "s"
2020.02.06

දෙවැනි තුන්වෙනි පින්තූර අන්තර්ජාලය ඇසුරෙන් ...

උඩගෙදර කතා 214 School Bag

යන්තම් එක දවසකට මම අධ්‍යාපන ඇමති වුනොත් 
මෙන්න මේ කිලෝ පනහ පහට අඩු කරනවා....!

Tuesday, April 7, 2020

උඩගෙදර කතා 213 "ආච්චිට හාල් ගරංට..."

"ආච්චිට හාල් ගරංට....."

"තාත්තා ලොකු මාමට කියන්ට කිව්වා..'ආච්චිට හාල් ගරංට' කියල."  
ගේ මැද්දෙං කාර් එකෙං හැටට හැටේ ඇරලා ආව අපෙ මල්ලී ලොකු මාමට කිව්වා. එයා තවම ඉස්කෝලේ යන්නේවත් නෑ. ලොකු මාමා මල්ලී අතේ තාත්තට විහිලුවට වාගේ පනිවිඩයක් යවනවත් මං බලාගෙනයි. 

"පුතේ තාත්තට කියංට ඊලඟ සැරේ ආවම මම මේ බයිසිකලේ ඇන්න යනවා කිව්වා කියලා."
තාත්තගෙන් හොඳ පිළිතුරක් ලැබුනා නම් සිරියස්, ඔය වාගේ, request එක reject     වුනා නං විහිලුවක්. මං නොදන්නවායැ ලොකු මාමගෙ හැටි.!

"මල්ලියෝ.... ලොකු මාමා ලොකු එක්කෙනෙක්. අපි ඔහොම එව්වා ලොකු අයට කියන්නෑ."
"ඉතිං තාත්තා කියංට කිව්ව එකනේ මම කිව්වේ." 
"ඒත් ආයෙ එහෙම එව්වා ලොකු අයට කියංට එපා හොඳද.?"
"හොඳයි අයියා. ඉතිං ආච්චිට හාල් ගරනවා කියන්නේ මොකකටද?" මල්ලී ඇහුවා.

                  සමහර ජන කොටස්වල පිරිමි අය තමන්ගෙ නෝනට කියන්නෙත් "ආච්චී" කියල. බමුණු ඔලු තියෙන තව සමහර මිනිස්සු හිතන්නේ, කමතෙන් ගෙනත් දෙන වී ටික බත් පිඟානක් හැටියට අතට දෙනකල් සැකසීම් ඔක්කොම ගෑණු අයට විතරක් අයිති වැඩ කටයුතු කියල. හාල් ගරන එකත්...

                  (එක්තරා හේතුවක් හින්දා මේ අතර කටයුතු විස්තර කරංට යන්නෙ නෑ.)

                  වී සකස් කෙරුවේ සිමෙන්ති දාපු මිදුලක නෙවේ. ගොම මැටි ගෑව කමතේ. ඉතිං හාල් "ගල් වැලි ඉවත් කරන ලද සුපිරි ...." ලේබලේ ගහල පැකට් කරල තිබ්බෙ නෑ. බෑනෙ. මුට්ටිවල, වට පෙට්ටි වල දාල තියා ගත්ත ඔය හාල් නැඹිලිය කොරහ උදව් කරගෙන හොඳට ගරල ගංට ඕනෑ. 

                   ඊයේ පෙරේදාවක මාතිං අර "ගල් වැලි ඉවත් කළ සහල්..." කිලෝවක් විතර කුස්සියේ බිම ඉහිරුනා. වී, හාල්බත්... ඇටයක් වත් අහක දාන එක මූසල කමක් කියල මයෙ අප්පච්චී මට කියල දීල තියෙන හින්දා එක හාල් ඇටයක් නෑර ඔය ටික ඔක්කොම මම ම එකතු කෙරුවා.  අර, "ඉවත් කළ..." සහතිකය තව දුරටත් වලංගු නෑනෙ. පොඩි ඩිමොන්ස්ට්‍රේෂන් එකකුත් එක්ක මම ම අද උදේ ඒ හාල් ගැරුවා. අන්න මමත් "ආච්චිට හාල් ගැරුවා..."  ම්හ්ම්... මේ ආච්චි නං හාල් ගරංට දන්නවා. මේ දවස් වල කරංට බෑ. 

                    ආක්ටච්චිට හරි කාට හරිත් කමක් නෑ... හාල්ගැරිල්ලේදී මෙන්න මෙව්වා ගැන සැලකිලිමත් වෙන්ට ඕනෑ:

**  හාල් ටික නෑඹිලියට දාල කොරහට, නෑඹිලිය ගිල්ලංට පුලුවං තරමට වතුර පුරවනවා. හාල් නෑඹිලිය ඒ වතුරේ ගිල්ලනවා. එතකොට හාල් ටිකක් වතුරේ පා වෙනවා. ඒ හාල් ටිකත් නොවරදවාම වතුරේ පොඟවලා අතිං නෑඹිලියටම ගිල්ලන්ට ඕනෑ. නැතුව කොරහට පාවෙල යංට දෙන්නෙ නෑ. ඒ හාල් එක්ක පැතලි පුංචි වැලි කැටත් පා වෙල තියෙනවා; එව්වා හොයංට බැරුව බත් එක්ක ඉදිල පිඟානට එනවා.

**   හාල් ටික හෝදංට ගන්නකොට, බත් ඉයන මුට්ටියේ වතුර ටිකක් ලිපේ තියල ඉන්නවා. හාල් ගරන එක ටිකක් වැඩි සැලකිල්ලක් දක්වංට ඕනෑ වැඩක්. නෑඹිලියේ දාල  වතුරේ තියෙන හාල්, ඇඟිලි තුඩු වලිං හොල්ල හොල්ල ගල් වැලි පතුලට බහිංට අරිනවා. දැන් වතුර තියෙද්දිම නෑඹිලිය පැත්තක් පාත් වෙංට අත් දෙකෙං කරකවනවා. අර මැණික් ගරණකොට වාගේ. එහෙම රවුම් දෙක්කට තුනකට සැරයක් අර ඇඟිලි තුඩු වලිං හෙල්ලිල්ල කරනවා. නෑඹිලිය කට වටේ පුංචි ගැට්ටක් තියෙනවා දන්නවානෙ. ඔය ගැට්ටේ හාල් කොටසක් රැඳෙංට විදිහට තමයි නෑඹිලිය දෙසරයක් විතර කරකවල එක තැන දෙතුං සැරයක් ඉස්සරහට පස්සට හොලව හොලව හාල් ටිකකුයි වතුරයි කොරහට වැටෙංට නෑඹිලිය ඒ පැත්ත පාත් කරලා අරින්නේ. ආපහු කොරහෙං නෑඹිලියට ඒ පාත් කරපු පැත්තෙං වතුර ගන්නෙ නෑ. වැරදිලාවත් නෑඹිලි ගැට්ටෙං ගල් වැලි කොරහට පනිංට පුලුවං හින්දා. අග හරියට යන්කොට වැලියි.. හාල් කීපයකුයි තමයි. රැඳෙන්නේ. දැං තවත් සැලකිල්ල ඩබල් ට්‍රිබල් කරංට ඕන. අවසන් හාල් ඇටෙත් නෑඹිලියෙං ගරලම ගංට යන එක නං අවදානං! පුරුදු වෙනකල් හොඳම දේ... අගදී හාල් ඇට අහුලල ගන්න එක. ඒත් අමාරුනං පොඩ්ඩක් මූසල වැඩේ කරමු!

**   වතුර කලිං ලිපේ තියන්නේ, ගරපු /හෝදපු හාල් ඉදෙංට පටං ගන්නකල් ඇල්වතුරේ පෙඟෙන එක මග හරවංට. එහෙම පෙඟුවම බෙරි වෙංට පුලුවං. බත් මුට්ටිය වහන්නෙත් අර හාල් ගරපු නෑඹිලියෙම්ම නෙ.... ඉතිං ඔය නෑඹිලියටත් වතුර ටිකක් දාල මුට්ටිය උඩ රත් වෙංට තිබ්බම, බතට වතුර මදිනම් පදම බල බල ඕනෑ තරමට තව වතුර දා ගංට පුලුවං. හදිසියේවත් එහෙම උනුවතුර නැත්තං ඇල් වතුර දැම්මොත් බත ඇට්ටකුනා වෙංට බලනවා. තම්බා දියාරින පලාවක් වුනත් උනුවතුරෙං ගත්ත ගමං ඇල්වතුරේ දාන්නේ ආපහු තද වෙංට.

**   එහෙම වරස්තයක් වුනොත් බතේ අඩියට රස්නේ වතුර ඩිංගක් දාල ගානට කපා ගත්ත කෙහෙල් කොල කෑල්ලකින් (බොහෝ විට රවුම්..) බත වහල අඩියට දැම්ම වතුරේ වාෂ්පයෙං බත ආපහු තැම්බෙංට  ඇරියම හරි. ඉඳහිට අහම්බෙන් බතේ පැත්තක් ඉදිල අනිප්පැත්ත ඇටකුනා වෙනවා.එහෙම වෙලාවටත් ඔය පිලියම හොඳයි. (ඔය වෙලාවටයි බත් රත් කරනකොටයි, බත් අඩියේ අල්ලනේ නැති වෙංට මුට්ටිය අඩියට උනු වතුර ඩිංගක් දාල ගන්න එක ඉගෙන ගත්තෙත් පහතිං කියවෙන කෙනෙක්ගෙම්මයි.)

**   මේක ඉගෙන ගත්තේ උදව්වට හිටිය කෙනෙක් ගෙං. දවසක් එයාටයි මටයි ටිකක් ලොකු බතක් ඉයංට සිද්ද වුනා. එදා ඉව්වේ රයිස් කුකර් එකේ. ඒකේ බෝල් එකට දරා ගංට බැරි තරං හාල් අපි තියල. එහෙම වුනාම වෙන්නේ බෝල් එකත් බරවෙල කුකර් එකේ රඳවනය පාත්වෙල ඇතුලේ කොයිල් එකේ ගෑවෙනවා. එතකොට බත් එකේ ඒ පැත්ත බෙරි වෙල (ඔය බෙරි වෙල කියන එකට මයෙ ගමේ හුඟ දෙනෙක් අදත් කියන්නේ මෙරි වෙල කියල.)  කර වෙනවා.. අනිප්පැත්ත හරියට තැම්බිලවත් නෑ. ඉතිං කර වෙච්ච පැත්තේ බත් දැං කර ගඳ ගහනවා. අලුතෙන් උය උය ඉංට වෙලාවක් නෑ.. දඹදිව ඉඳල එන එක්කෙනා පුතා එක්ක ලඟ ලඟම එනවා. ඉතිං අපි තරමක පොල් කට්ටක් හොඳට සුද්ද කරල හෝදල ඇන්න බත් එකේ වැලලුවා... ඊට පස්සේ කලිං කිව්වා වාගේ කෙහෙල් කොල රවුමකුත් දාල අඩු ගින්නේ ඉදෙංට ඇරියා..  දැං වතුර අඩු වෙල බරත් අඩුවෙලනෙ. එතකොට හරි ගියා.

**   බත් එකක් සහමුලිම්ම බෙරි වුනොත් නං ආපහු තනා ගංට පුලුවංද මං දන්නෑ. මුල ඉඳලම පදම බල බල විටිං විට වතුර දාල බෙරි වෙංට නොදී බත හදා ගන්න එකයි හොඳම දේ. 

                  ඉතිං මෙන්න මේ "ගෑනුන්ගෙ වැඩ" පිරිමි අය කරන එක නෝන්ජල් කමක් කියල පිළිගැනීමක් තියෙනවා. ඔන්න ඕකයි "ආච්චිට හාල් ගරංට" කිව්වම ඒකේ තියෙන  කෝං කම.... පිරිමි කව්ද කැමති නෝන්ජලයා කියල අහ ගංට!

                                                                                             simple "s"
2020.02.06

පින්තූරය අන්තර්ජාලය ඇසුරෙන් .

උඩගෙදර කතා 212 ලිං කටෙං වැටුන එකා 71

ලිං කටෙං වැටුන එකා   71                

                   දින පොතේ ලියංට මතකෙට එන දේවල් කන්දරාවයි. එව්වා කී සැරයක් නං හිතට ආවද! ලියංට දේ තෝරා බේරා ගංටයි පෙල ගස්සංටයි තමා අමාරු. අදත් ජිනා අපෙ වත්තට ආවා."අයියට මුන ගැහෙන ඉල්ලුම් පත්තර කැඳවීම් මොනවාහරි මටත් කියංට..""හදිස්සි වෙංට එපා.. එන්ට්‍රන්ස් කරන අතරේ තව එක සැරයක්වත් ඕ ලෙවල් කරංට. ඒකට කමක් නෑ. ඒත් කොහොම හරි නංගි එන්ට්‍රන්ස් කර ගංටම ඕනෑ.""මට ආසා නෑ අයියා. පුලුවන් නං ජොබ් එකක් කරන අතරේ external digree එක කරනවා.""කව්ද අර ගින්දර වාගේ මැඩම්ගෙ උපදෙස්ද? මං දන්නවා, හිතට ආව දෙයක් නංගී නොකර අරින්නෙ නෑ, කව්රු එපා කිව්වත් කියල. ඒ වුනාට මයෙ මේ ඉල්ලීම සලකා බලංට. දැම්ම ජොබ් එකක් කරංට වයසක්ද.. එහෙම නං ශිෂ්‍ය ගුරු තමා. ඔයා දැම්මම උගන්නංට ගියොත් දැනෙයි... පංතියේ කොල්ලොත් ලව් කරංට එයි...""එව්වට කව්ද බය අයියා....""External කරංටත් A Level වැඩ හතර පාස් වෙලවත් තියෙංට ඕනෑ නේද?"               අපි මේ වෙනකොට හිටියේ පැලේ ඔත්තප්පුවේ. ජිනා කලිම්ම ගෝහාල මැස්සේ ඉඳගෙන. එතන වාඩි වෙංට කියල ජිනාම මට නොකියා කිව්වා. ඒ ඉල්ලීම මගාරිංට මයෙ හිත ඉඩ දුන්නෙ නෑ. ඒත් මට මහ බයක් දැනුනා."මොකද්ද කියව කියව හිටියේ.. කෝ?" නංගී මයෙ දිහාට අත දික්කරගෙන ඇහුවේ. "දේයියන්ගෙ රටේ.." මම පොත දෙන ගමං ගෝහාල මැස්සේ ඉඳ ගත්තා."අම්මාවත් ආවොත් කියල බයයි නංගී...""ඒ ඔයාගෙ හොර හිත හිංදා. කෝක හරි.. අපි ඉක්මනට එලියට යමුකො..""ඒ කියන්නෙ ඔයත් බයයි නෙහ්..?"හ්ම්...""කරඹ මලත් පිච්ච මල වාගේමයි නේද?" අපි වැට ලඟට ගියාම ජිනා කිව්වා."ඒත් කරඹ ගහේ සැර කටු තියෙනවා..""නිකම්ම තියෙනවට වැඩිය කටු අතරිං තියෙනකොටත් සුන්දරයි!""ඒ වුනාට කටුවක් ඇනුනොත් සුන්දර තමයි. වේදනාව බලංට එපායැ.""අයියගෙ ඇනිල තියෙනවද?""ඇනෙංට ගහක් අල්ලල තියෙංට එපායැ.?""අල්ලලාම නැද්ද? හැබැයි ඇත්තම කියංට ඕනෑ.""මල් වල ලස්සනයි සුවඳයි බලංට ගහ අල්ලංටම ඕන්නෑ. ඇත්තම කිව්වොත් මේ මොහොත වෙනකොට නං කටුවක් ඇනිලද කොහෙද.. වේදනාව දැනුනොත් තමයි තේරුම් ගංට වෙන්නේ.""එදා මං ඇහුව එකට ඇයි උත්තර දුන්නෙ නැත්තේ.""කවද්ද.. එදා ආව වෙලාවෙද?""නෑ.. මං ලිව්මක ඇහුවේ..""මොකද්ද?""අයියා මගෙද කියල.""පොල්ලෙං ගහනවා වාගේ නැතුව ඔහොම අහන එකක්වත් සෞම්‍ය විදියට අහංටකො.""එහෙනං දැංවත් කියංට.""ඒකට උත්තරේ තමයි දැං ටික්කට කලිං දුන්නේ...!ඉස්කෝලේ අයට දැං මොකද්ද මං කියන්නේ. එක්කෙනෙක් දෙන්නෙක් ඇර ඔක්කොම වාගේ හිතාගෙන ඉන්නේ ඔයා මගෙම නංගී කියල. ලයනල් එහෙම මහන්සි වෙනවා මට කෙල්ලෙක් සෙට් කරංට, ඒ ඔක්කොටෝම ඉන්න හිංදා.""කව්ද ලයනල්ගෙ girl?""තිලකා කියලා.. හරිම විනෝදෙං ඉන්න එක්කෙනෙක්. එයා තමයි අර මට වැඩිමල් girl කෙනෙක් සෙට් කරංට ගිහිං ප්‍රශ්නයක් එහෙම වුනේ.""ඒ මොකද්ද?""උං එක්වෙල මං ලියන විදියට එයාට ලියුම් ලියල. අන්තිම එක ඒගොල්ලෝ බලන්නේ නැතුවම මට ගෙනත් දුන්නා වැඩේ confirm කියල හිතල. ඒ ලමයා කියල තිබුනේ "ඔයා මට බාලයි... ඒ හිංදා..." කතාවක්.""ඉතිං...?""ඕක බලන වෙලාවේ මං ඇඳගෙන හිටියේ වෙන එකෙක්ගෙ shirt එකක්. අර කෑල්ල මං කඩල ලියුමේ ඉතුරු හරිය චූටි චූටි කෑලි වලට ඉරල දැම්මා. ඒ කෑල්ල සාක්කුවට දාගත්තා. පහුවදා "ඒයි බඳිමුද?""බෑ.. ඔයා මට බාලයි.." කියල උං එක් වෙල මට පල් එක ගහනකොටයි මතක් වුනේ! මං ඒ shirt එක screen එකක එල්ලල තියෙන්නේ අර කෑල්ල සාක්කුවේ තියෙද්දි..!"ඉතිං....""මට බය හිතුනේ..""සර්ලට ලියුම් කෑල්ල යයි කියල.""නෑ බං... බූට් කෑව කන්ඩායමට මාත් වැටෙනවට!""ඉතිං මොකද කරේ?""කොහොම හරි සතියක් ඇතුලත කෙල්ලව..., සෝමව.... සෙට් කර ගන්න එක. අන්න එහෙමයි මයෙ 'ප්‍රථම ප්‍රේමය' පටං ගත්තේ!""දැං මයෙ ප්‍රථම ප්‍රේමය ගැන නෙවේ දෙවෙනි ප්‍රේමය ගැන කියංට ජිනා.""අයියා මට එකක් පොරොන්දු වෙංට ඕන... ""මොකක්ද?""මොන හේතුවක් හිංදා හරි... අහේතුවක් හිංදා හරි මට කවදා හරි අයියගෙං ඈත් වෙංට වුනොත් මට සාප කරන්නෙ නෑ... කියල.""ඒ මොන මූසල කතාවක්ද.. "                 ඒ කියන්නේ හිතෙන වෙලාවක පැත්තකට වෙංට බලය ඉල්ලීමක්? මයෙ හිත ගැස්සුනා. හිතත් එක්කම ගැස්සුන මයෙ අතේ ඇඟිල්ලක කරඹ කට්ටකුත් ඇනුනා."දෙවෙනි ප්‍රේමයට මගෙන්ම අවසර ඉල්ලීමක්ද?""අයියට හිත රෙදෙන බව නොදැන කිව්වා නෙවෙයි. විහිලුවට කිව්වත් නෙවෙයි. ඒ වාගෙ අවස්ථාවක් එංට තව ප්‍රේමයක්ම පැටලෙංට ඕන් නෑ අයියා. කොයි තරං විදියවල් තියෙනවද එහෙම අභාග්‍යයක් වෙංට..""හ්ම්... මොන පොඩි දේකට වුනත් මට සැක හිතෙයි ඒ කියන අභාග්‍යය පටං ගංටවද්ද හදන්නේ කියල." "මම වෙනස් වෙනවා කියන එක නෙවේ මං අදහස් කරන්නේ. මාව තේරුම් ගංට අයියා."                 ජිනා නංගී ගියාට පස්සේ මං පොත කියෙව්වෙ නෑ. ඉතුරු වෙලාව දිගටම අප්පච්චිලා එක්කම හිටියා."ජිනා මොකද කියන්නේ, විභාගේ හොඳට කර ගත්තා කියනවද?" "ඔව් අපෙ අම්මා... ඒ කියන හැටියට හොඳට කරල. එක ප්‍රස්න පත්තරයක් ටිකක් අමාරු වුනාලු. ජිනා පාස්වෙල ඇති අපෙ අම්මා.""අනේ හොඳයි.""මයෙ පුතා දැං මොකද හිතාන ඉන්නේ.. ?" අප්පච්චිත් ඇහැව්වා. "අප්පච්චී මං ඊලඟ ව්භාගෙට හොඳට මහන්සි වෙනවා. ඒත් ඉතිං පාස් වෙල විශ්ව විද්‍යාලෙට තේරුනත් කොහොම යංටද අප්පච්චි? අවුරුදු තුනක්වත් අඩු ගානේ ඉංට වෙනවා. ඉතිං අනික් ලමයි ඉල්ලන ‍රස්සාවල්වලට ඉල්ලුම් පත්තරත් දානවා. එව්වෙත් වැඩි හරියකට දැං පන්දං අල්ලංට ඕනැලු. අපි අඳුරන කව්දෑ ඉන්නේ එහෙම දේකට.""මයෙ පුතා හිතාන ඉන්න විදියවල් හොඳයි. අපිට තේරෙන දෙයක් නෑ. අනික් ලමයි එක්කත් කතාවෙල හොඳයි කියල හිතෙන විදියකට කරංට. මතකෙම්ම දෙවෙනි මහත්තයා එක්ක ඔව්වා ගැන කතා කරංට. ඒ දෙයියට කරංට පුලුවං දෙයක් මයෙ පුතාට නොකර ඉන්න එකක් නෑ."                මං අප්පච්චිට කිව්වේ බොරුවක් නෙවෙයි. විශ්ව විද්‍යාලෙට තේරුනත් මට යංට හයියක් නෑ... තව තව අප්පච්චිට මං කොහොම කරදර කරංටද කියන එක මයෙ හිතේ මුල් බැහැල තියෙන්නේ. අධ්‍යාපනය නවාතැං නොමිලේ ලැබෙයි. තව කීයක් දේට සල්ලි ඕනෑ වෙනවද! සපත්තු නැතුව, තියෙන මොකවත් ඇඳුමක් එල්ලාන ඉස්කෝලෙට ගියාට එහෙදිත් එහෙම කරංටද.... අයියට කොහොම කියල දිගට දිගට කරදර කරංටද... මෙව්වා හිතට එනකොට මට මයෙ ගැනම දුක හිතෙනවා. අප්පච්චිටත් බැරිකම හින්දානෙ මං හිතාන ඉන්න විදිය හොඳයි කිව්වේ. ඔය මොන මොනවා හරි දවල් කරල හැන්දෑවේ මැලවිල ගෙදර එන හැටි දැක්කම පපුව හෝස් ගාල  වෙනවා. අප්පච්චිගෙම වචන වලිං කියනවා නං, වැස්සට හේදිල ගිහිං හිවල් කට වාගේ හෑරිච්ච අගල් වල, කඩුලු පැන පැන, ලෙස්සන ගල් පොතු උඩ වතුරේ යන එන හැටි, ඒ මදිවට වෙලාවකට දුංකල බේල් එකක්, බොංචි මල්ලක්, අමු මිරිස් මල්ලක් කර ගහගෙන.. අපෙ අම්මත් දැං නහකුණු ගානවා වැඩී.. ඇහැ පේන්නෙ නෑ, හැන්දෑ වෙනකොට කොන්දේ කැක්කුමයි කිය කිය. වෙලාවකට මී තෙල් නාගෙන... ඇත්තටම නං දැං වෙනකොට ගෙයක් ඇතුලකට වෙල දෙන්නම විවේකෙං ඉංට ඕනෑ කාලේ. හිතල කෙලවරක් දකිංට නැති අවාසනාවල් මෙව්වා."අපෙ අක්කා මේක අයියට දෙංට කිව්වා." හවසම ජිනා නංගිගෙ මල්ලී කෙනෙක් පොතක් ගෙනත් දුන්නා. රෝහිණී.."හරි මල්ලී..." මං මල්ලිගෙ ඔලුව අත ගාල පිටත් කෙරුවා."අයියා.. මයෙ කතාවට හිත නරක් කර ගංට එපා. ඇහැට පෙනෙනවට වඩා දෙයක් මම කිව්වේ. අයියා කියන හින්දම මම කොහොම හරි ඒ ලෙවල් කර ගන්නවා. කී සැරේ කරල හරි කැම්පස් එකටත් යනවා.මම පස්සේ වෙලාවක ආයෙ ඒ ගැන කතා කරන්නම්." කෙනෙක් දැක්කත් අමුත්තක් නොදැනෙංට, පුරුදු සෛලියෙං වෙනස් වෙල ජිනා නංගී කෙටියෙං ලිව්ව සටහනක් පොත ඇතුලේ. "අපෙ වැටේ පඳුරු වල කරඹ මල් පිරිල. එව්වත් පිච්ච මල් වාගේමයි. දැක්ක කරඹ මල් ගොඩෙං දැනුන සන්තෝසෙත් දුහුල් වෙල ගියා කරඹ කට්ට ඇනුනම. ඒක හරි සැරයි. අදත් ජිනා නංගී අපෙ වත්තටත් ගොඩ වුනා."                    
මං දින පොතේ ලිව්වා.  

                                                                                                  simple "s"
2020.01.31

පින්තූරය අන්තර්ජාලය ඇසුරෙන්.

උඩගෙදර කතා 211 ලිං කටෙං වැටුන එකා 70

ලිං කටෙං වැටුන එකා   70


"සපු අයියා..... 
මොනවද මෙච්චර කල්පනා කරන්නේ? මේ තඩි ගලවත් උස්සන විදියක්ද!"
"හ්ම්... ජිනා නංගී! 
ඊයෙ රෑ වුනාද එනකොට.?
මං කල්පනා කරපු දේ කිව්වට ඔයා විශ්වාස කරන එකක් නෑ.!"
"කමක් නෑ.. කියංටකො. මං ආවේ පෙරේදානෙ. ඊයේ අයියා එංට රෑ වුනාද?"
"උදෙං පිටත් වුන හිංදා කලිං එංට පුලුවං වුනා.
අප්පච්චියි අපෙ අම්මයි අර... උඩහ වැඩ. මං ඇවිත් මෙතන ඉඳගෙන ඉන්නවා. වටපිටාවේ ලස්සනත් එක්ක මං දිග කල්පනාවකට වැටුනා. කලිං දැකලම නෑ වාගේ හැම දේකම අමුතු ලස්සනක් පෙනෙන්නේ නංගී. අර කන්ද, මඩු ගස් යාය., කුරුල්ලෝ සමනලයෝ, ගස් වැල් වල මල්, මේ බලංට මේ වැටකුලු මල් දිහා. පෙති ගෙතිල තියෙන හැටි... ලේස් රෙදි කියන්නේ , එව්වා හැට්ටයක් වාගේ නේද?" 
ජිනා දිහා හොරැහිං බලල මං කිව්වේ. මං ඉඳගෙන ඉන්න බක්ක පරුවතේ සීතලට මට දැනුනා. 
"හැබැයි අව්ව සැර වැඩි වුනාම නං මේ ගල උඩ ඉංට බැරි ඇති.. පහුගිය දවස්වල වැස්සට ගස් වැල් ඔක්කොටෝමත් අලුත් පරාණයක් ලැබිල. පිපිච්ච මල් සුවඳේ බැරුවා. මොන මල්ද මෙච්චර මේ සුවඳ?"
"අහවල් එක කියල නෑ.. ඔක්කොම. වැඩියෙම්ම ගැට පිච්ච මල්වල. දැන්නං වෙන මලක සුවඳත් එක් වෙල.!"
"අම්මත් මෙහෙට එනවා ආං... "
"නංගී.. අර පිච්ච පඳුර ලඟට යංටකො. අර මකුලු දැල් ගුලි ගහල වාගේ තියෙන්නේ කුරුලු ගෝටයක්. ඒකේ බිත්තර දෙකක් තියෙනවා. බිත්තරත් ලස්සනයි. ලා නිල් පාට පසු බිමේ කලු දුඹුරු තිත් වැටිල. ඊට මෙහා පැත්තෙං මල් පැන්ටන්ගෙ කූඩුවකුත් එල්ලෙනවා පේනවද...  ඔය දෙකේම ඇතුලේ පුලුං ජාති වලිං කුෂන් කරල තියෙන්නේ. පැනි කුරුල්ලෝ නං තවම බිත්තර දාල නෑ. තාම එක එක එව්වා හොටෙං ඇන්න ඇවිත් පැටවුන්ට මාලිගාවේ සුව පහසුව තනනවා. මං මෙතන ඉන්නවා කියල දෙගොල්ලොම ඇවිත් මට බැනල බැනල ඉන්නේ ඔය."
"අප්පච්චිද ඔච්චර විස්තර කිව්වෙ?"
"නෑ.. අප්පච්චි තමයි පැනි කුරුලු කූඩුව පෙන්නුවේ. ඉස්සර හෝම්පලා කැටියට ගියාම... පිට්ටනි පුරා තියෙන්නේ ලොකූ කැලෑ පිච්ච පඳුරුනේ, ඒ හැම එක්කම වාගේ ඔහොම කුරුලු කූඩු තියෙනවා."
"හෝම්පලා කැටිය කිව්වේ?"
"ඇයි... ඉස්කෝලෙට පල්ලෙහයිං තියෙන්නේ."
" මට මතක් වුනේ කිරිඳිකැටිය, කිරෝනාකැටිය වාගේ මේ පැත්තේ තියෙන එකක් කියල අයියා."

"ජිනා දුව කවද්ද ආවේ..?"
"මං පෙරේදා ආවේ අම්මා. අපෙ අම්මලත් වත්තට ගියා. මට ගෙදර ඉංට කම්මැලි හිංදා මාත් ඒ පැත්තට යංට එද්දී සපු අයියා ඉන්නවා දැකල නතර වුනා. "
"අපි කුරුලු කූඩු ගැන කතා කෙරුවා විනා නංගිගෙ විභාගේ කොහොමද කියලවත් මට අහංට බැරි වුනානෙ."
"දුව මං උඩහට යනවා.. දුංකල පොහොර ඩිංගක් ඇන්න යංට මං මේ පැලට ආවා."

"උඹෙ විභාගේ ගැන තව මට අහංට දෙයක් නෑ. ලිව්මේ ඔක්කොම තිබ්බා. මට ආපහු ලියංට වෙලාවක් වුනේ නෑ. ගමේ ආවම කතා කරංට පුලුවං හින්දා නිස්සද්ද වුනා. එහෙම නෙවෙයි මට කියපං අර ප්‍රශ්නේ මොකද වුනේ කියල."
"ලෝබ කමට ඒකෙත් මට අවවාද විතරයිනෙ උඹ ලියල තිබ්බේ. ඉතිං ඉතිහාසේ මැඩම්... ' මේ අයියා කොහෙද ඉන්නේ.' අහල ලියුම මට ආපහු දුන්නා. අයෙ මතක් කරේවත් නෑ."
"නංගී ඒ වුනාට හොඳටම බය... ඒයි ඒයි අන්න කුරුලු ගොයෙකුත් අර අත්තේ වැහුවා. මෙතෙංට නං පේනවා. "
"ලඟට එංට නං එන්නං..! 
ඒක වෙනයි, ඔය කුරුලු ගොයි නං මං ඇති තරං දැකල තියෙනවා. අද ගමට අලුතින් ආව කෙනෙක්යැ මං.."
"ඉතිං මාත් එක්ක අමනාපෙං වගේනේ කතාව පටං ගත්තෙම.. අනික දැං කටත් බොහොම පොලිෂ් වෙලනෙ කෙලි පැංචිගෙ!"
"ඔයා මෙතෙංට වෙල මොනවද කල්පනා කෙරුවේ කියල මං කියංටද?"
"හා.."
"ගෑනු ලමයෙක් කැන්දාගෙන ඇවිත්, අර හුරු බුහුටි පැලේ පදිංචි වෙංට ඇත්තං කියල නේද...?"
"ඔයා කැමතිද මෙහෙම දුෂ්කර ජීවිතයක් වුනත් ගෙවංට?"
"මං ආදරේ කරන එක්කෙනා එක්ක නං මිටත් වඩා දුෂ්කර තැනක හරිත් ඉන්නං."
"අපිට අයිති මෙහෙම පැල් කොටයක්ද?"
"බොළඳකම ටිකකට අමතක කරල හිතුවොත්, මෙහෙම පැල් කොටෙයක්වත් නැතුව ගස් ගල් අස්සේ වුනත් ඉංට අපිට සිද්ද වෙයිද කව්ද දන්නේ..?"
"අප්පෝ බර...!"
"ඇයි..?"
"බොළඳකම්?"
"ඔව්... ආදරය කියන්නෙම බොලඳයිනෙ!"
"එහෙමමත් නෑ..."

                    ගස් ගල් අස්සේ ගෙවෙන දවස් ගැන මං ඉන් එහා කතා කෙරුවෙ කල්පනාවෙං.. කිව්වේ මොකද්ද කියල මට තේරුනා. ජිනා නං තව මොන මොනවාදෝ කියාගෙන ගියා.
"සභාපති මාඕ සේතුං සහෝදරයා, හෝ චී මිං එහෙම ජනතාව වෙනුවෙන් විඳලා තියෙන අපහසුකම් කොච්චරක්ද? කූඩැල්ලෝ, මදුරුවෝ කකා... අව්වේ පින්නේ සති ගණං. මාඕ සහෝදරයත් ක්ෂය රෝගේ තිබුන කෙනෙක්. අරගල කාලේ කැලේ කොලේ ඉන්න අතරේ පිලිවෙලකට කෑමක් බීමක් නැතුව කොල ජාති ගෙඩි ජාති කාලත් බඩගින්න නිවා ගත්ත වෙලාවල් අනන්තයිලු. ඒ වුනාට ඒකේ ප්‍රතිපලේ වුනේ එයාගෙ ක්ෂය රෝගේ නිට්ටාවටම සනීප වෙච්ච එකලු."
"ඉතිං ඔය මා ඕ සේතුං ගත්තොත්, එයා ඔය සේරම කැප කිරීම් කරල තියෙන්නේ ඔය පක්ෂයේ සභාපතිකම ගංටද?"
"පක්ෂයේ සභාපතිකම කියන්නේ රටෙත් නායකකම අයියා. අයියා දන්නවද... මා ඕ සේතුං සහෝදරයා දැනගෙන ඉඳලා නෑ එයා නායකකමට පත් වෙන කල්ම, එයාට ඒ තැන ලැබෙනවා කියල." 

                   ඌනපූරනයක් කරංට මට හිතුනත් මං කට වහ ගත්තා. 

"හොඳයි නංගී... මං ඉල්ලීමක් කරන්නං... මේ නිවාඩු කාලේ, ඒකෙනුත් අපට ඉතුරු සති දෙකයිනෙ, ඒ කාලේ ඉවර වෙනකල් ආයෙ ඔය සබ්ජෙක්ට් එක කතා කරංට එපා බං.. මට එතකොට ඩ්‍රයි..! අනික, මට එහෙම කාලේ යනවට දුකයි. දැන් මට කතා කරංට දේ ගොඩයිනෙ.!"

                   විමල් සර් එක්ක ගිය කෑම්ප් එකේදිත් හේමා සහෝදරී, විමලා සහෝදරී එහෙම දැක්කම, කතා කෙරුවම මට මතක් වුනේ ජිනා නංගී. නංගිත් ඒ වාගේ ගිහිං ඇති. ජිනා නංගිට මයෙ ඒ ජීවිතය එලි නොකර ඉංට මට හිතුනේ ඇයි කියල මට පැහැදිලි නෑ. ඒකත් මයෙ තියෙන මොකක්දෝ දුර්වල කමක්.
"මොනවද අප්පා.. එච්චර කතා කරංට තියෙන්නේ?"
"මෑතක ආදරය ප්‍රකාශ කර ගත්ත දෙන්නෙකුට කතා කරංට දේවල්ද නැත්තේ!"
"එහෙනං මොනවා හරි ආදරේ හිතෙන... මට හැම වෙලේම හිත හිත ඉංට දෙයක් කියංට.. දැං මං යංටත් ඕනෑ."
"අනාගතේ හදන මාලිගාවක නෙවේ.. මේ නිවාඩුවේදිම දවසක මට ජිනලඟට වෙල විනාඩියක් ඉංට ආසයි මේ පැල් කොටේ..."
"බැරි වෙන එකක් නෑ අයියා... ඒ වුනාට එහෙම කියංට එපා. එහෙම කියනකොට හිතෙන්නේ වැරදි තේරුමක්. අපි කතා කෙරුව මේ වටපිටාව ගැනත් තව ගොඩක් කතා කරංට තියෙනවානේ.. "
"අනේ නෑ.. වැරදි දෙයක් අදහස් කෙරුවේ නෑ. 
එක දවසක්වත් පැල් රකිංට මට හිතිල තියෙන්නේ. සමහර විට දෙපෝයදා අප්පච්චි සිල් ගංට ගියොත් මට පැලේ ඉංට වෙයි. එක රෑක් ඌරෝ රංචුවක් වත්තට ආවොත් එහෙම මේ මෝරල තියෙන ඉරිඟු ටික ඔක්කොම ඉවරයි නංගී."
"මේ සීතලත් එක්ක අයියට රෑ පැලේ ඉංට පුලුවනෑ. අනික... තනියම. එහෙම වුනොත් මාත් එනවා...."
"අම්මෝ..!"
"යන්තං ගමට ආවා විතරයි.. ආපහු මේ බාසාවට අයියා හැරිල."
"ඔව් නංගී ඒක ඉබේම වෙන්නේ."

                      ජිනා නංගී හොඳිං විභාගේ කරගෙන. මට ඒකට සතුටුයි. 
"මැත්ස් ගැන ටිකක් බයයි අයියා. GEOMETRY ගනං තමා විසේසෙං. ඒත් ඒ paper එකෙනුත් එගොඩවෙල නං ඇති කියල හිතෙනවා." 
"මයෙ ADVANCE MATHS PAPER එක නං HOPELESS. අනික් එව්වා නං පාස් වෙලවත් තියෙයි. මයෙ පන්ඩිතකමනේ. හලන්නෙ නැතුව පුරුදු විදියට සාහිත්‍යම කෙරුවා නං එක සහතිකේ CREDIT ගාන වැඩි කර ගංට තිබුනා."
"මහජන බැංකුවට ගන්නේ එක සහතිකේ CREDIT පහ තියෙන අයලු."
"ලංකා බැංකුවට හතරයි. අපෙ අයත් දැන්මම ගැසට් එකේ එල්ලිල නංගී. සිකුරාදා වෙන කල් උං බලාන ඉන්නේ. මම නං ඊලඟ සැරේ ශිෂ්‍ය ගුරු ඉල්ලනවා."
"විස්තර දැක්කම මටත් කියංට. "
"නෑ... නංගී UNIVERSITY යංටම ඕනෑ."
"ඇයි මං විතරක්!"
"මට ලැබෙන්නේ නැති හිංදා.."

                                                                                                 simple "s"
2020.01.25

උඩගෙදර කතා 210 ලිං කටෙං වැටුන එකා 69


ලිං කටෙං වැටුන එකා   69

"මේ පන්තියේ වැඩිමල්ම ළමයා කව්ද?"

               දවසක් බණ්ඩාරනායක සර් පංතියට ඇවිත් පාඩම පටං ගත්තේ එහෙම අහල. ලමයි බෙලි කෙටි උඩ ඔලු ගෙඩි කරකව කරකව පංතිය පුරා ඇස් ගෙඩි දෙක ඇන්න ගියා විනා කව්රුවත් උත්තර දුන්නෙ නෑ. ඇත්තටම ඒකට එහෙම උත්තර දෙංටත් බෑ.
"හරි.. අපි මෙහෙම කරමු. හතලිස් පහේ ඉපදුන අය අත් උස්සන්ට..
හ්ම් ... කව්රුත් නැද්ද?
එහෙනම් හතලිස් හයේ?
ඒකත් එහෙමද.. ඉතුරු ඔක්කොම හත්ලිස් හයේ?"

               ලමයි පන්තිය වටේ බලනවා. එක එක්කෙනා කුටු කුටු ගානවා.. හොරෙං. මොකද ... වෙනදා විහිලුවෙං ඉන්න සර්ගෙ මූඩ් එක එදා වැඩිය හරි නෑ.

"සර්ට කව්දෝ කෙල්ලෙක්ගෙ වයස දැන ගංට ඕනෑ වෙලද කොහෙද බං ...!" ලඟ ඉන්න කෙල්ලට මං කිව්වා. අඟල් නවයක දහයක විතර පරතරයයි ගෑනු ලමයිංගෙයි අපෙයි පේලි දෙක අතරේ තියෙන්නේ. ඒකත් ගෑනු ලමයින්නේ පේලිය ඉස්සරහදී පලල්. පස්සෙම්ම ඉන්නේ ලමයි දෙන්නයි. පිරිමි ලමයින්නේ පේලිය ඒකේ අනික් පැත්ත. සමහර තැං වල පිලිවෙලක් ඇත්තෙ නෑ. පේලි දෙක අතරිං වුවමනාවකට කෙල්ලෙක් යනකල් කොල්ලෝ පෙරුම් පුරනවා. ලඟම  දෙන්නගෙං එකියක් නැගිට්ටොත් ඇරෙංට, මට නං මොකුත් ප්‍රශ්නයක් නෑ.. මම ඉන්නේ පස්සම පේලියේ හින්දා!

"ඇයි දන්නේ නැද්ද බං..?"
"කව්ද?"
"පස්සේ..."
"හ්ම්.."

"සපුමල්...?"

                  මං ගැස්සිල පියෙවි ලෝකෙට ආවා.
"සර්.."
"සර් නෙවේ.. කොහෙද මෙච්චර වෙලා හිටියේ?
"සපුමල්, හතලිස් හයේ මොන මාසෙද? දෙසැම්බර්?"
"නෑ සර්.. නොවැම්බර්."
"ඒක තමා මෙච්චර වෙලා ඇහුවේ..
දැන් නොවැම්බර් තුන් දෙනා කියන්ට දිනය.
සපුමල් ?"
"දහ අට සර්.."

                අනික් දෙන්නා, එක්කෙනෙක් මුතු.. දාහත, කරු හය... එතකොට මමයි පන්තියේ බාලම.

"සපුමල් මොනවද, කවුරු ගැනද කල්පනා කර කර හිටියේ පන්තියේ කතා කතා කරන දෙයක්වත් ඇහෙන්නේ නැතිව?"
"සර්.. ඇත්තටම මම කල්පනා කළේ... පංතියේ බාලම ලමයා හොයා ගන්න විදිය සර් සරළ කර ගත්ත හැටි ගැන.."
"හ්ම්... මම හිතුවේ ගමේ කෙල්ල ගැනද කියලා.."

                  මට හීනි ලැජ්ජාවක් හිතුනා. ඇත්තටම මම කී සැරයක්, ජිනා ගැන කල්පනාවට වැටිල එහෙම absent minded ඉඳල තියෙනවද...! සර් හරි මැඩම් හරි පංතියේ එම පැහැදිලි කරලා දුන්න දෙයක් මං ආපහු අහල ලමයි කොච්චර මට හිනා වෙල තියෙනවද...! එහෙම නැත්තං අදාල නැති දෙයක් කියල කී සැරයක් බැනුම් අහල තියෙනවද? වතාවක්, 'නාලාගිරි ඇතා දමණය කිරීම තුලින් බුදුන් වහන්සේගේ කුමන ගුණයද දැක්වෙන්නේ..?' කියල හේරත් සර් ඇහුව ප්‍රශ්නෙට 'දළදා මාලිගාව****' කියල උත්තර දීල මං පල් වුන තරමක්! තවමත් ලමයි ඒක මතක් කරල මට පල් එක ගහනවා..

"මේ පන්තියේ බාලම ළමයා කව්ද කියලා බලා ගන්ට මට ඕන වුනේ මොකද කියලා ඔය අයට කුතුහලයක් එන්ට ඇතිනේ. අපෙ ඉස්කෝලේ UE Prep එකේ රොමියෝ ජුලියටලා හුඟක් ඉන්නවා කියලා අපිට තේරිලා තියෙනවා. එයිනුත් වැඩියම පන්තිවල බාලම අය බවයි පෙනෙන්නේ. University එකේ අපේ Batch එකේ ළමයි වර්ග තුනක් හිටියා. එක, බෙල්ල කඩාගෙන කරත්ත දක්කපු අය, දෙක, affairs නැතුව ඒත් විරුද්ධ ලිංගිකයින් එක්ක සීමාව ඉක්මවලා විනෝදෙන් හිටිය අය, තුන්වෙනි කන්ඩායම ඔය කිසි දෙයක් නැතුව තමන්ගෙ පාඩුවේ පාඩම් වැඩ ටික කරගෙන හිටිය අය. මෙයින් තුන් වෙනි කන්ඩායම හොඳින් Finals කර ගත්තා. දෙවෙනි කන්ඩායමේ Fifty Fifty. මොකද ඒ අය අතරේ මොන පිස්සුව නැටුවත් තමන්ගෙ ප්‍රධාන අරමුණට වැඩි සැලකිල්ල යෙදුව අය වැඩිය හිටියේ.  පලවෙනි කන්ඩායමට final exam complete කර ගන්න බැරි වුනා. අම්මා අප්පා කුලී වැඩක් හරි කරලා හොයලා එව්ව තුට්ටු දෙකත් නෑ.. විභාගෙත් නෑ. "

                  සර් මෙහෙම කියාගෙන යද්දී Girl කෙනෙක් ඉකි ගහන සද්දේ ඇහිල ඔක්කොම හැරිල බැලුවා. ඒත් සර් ඒක සතේකට ගනන් ගන්නේ නැතුව කතාව කරගෙන ගියා.

"ඈත ගම් වලිං ශිෂ්‍යත්වේ පාස් වෙලා ඇවිත් යන්තම් ඇටෙන් පොත්තෙන් එලියට එනකොටම මදන විසේ ඔලුවට ගහලා මෙතන ජෝගි නටලා කොර ගත්ත දෙයක් නැතුව ආපහු ගෙවල් වලට පල්ලම් බහින්ට වුනාම ලැජ්ජා නැද්ද? ඔය අයත් කී දෙනෙක් යන්තම් වැඩ හය ගැට ගහගෙන ඉන්න අයද? එහෙම ඉඳලා රස්සාවක් ලේසියකින් හොයා ගන්ට පුලුවන් වෙයිද? විශ්ව විද්‍යාලෙට ගිය කෙනෙක් නම් කී සැරයක් කරලා හරි Degree එක Complete නොකර ආපහු යන්නෙ නෑ. ඒත් ඔය ලමයි යන්තම් වැඩ හතර පාස් වෙන්නේවත් නැතිව ගෙවල් වලට යන්ටද හිතාගෙන ඉන්නේ. O Level ම ඇණගෙන අවුරුද්දකට කී දෙනෙක් ආපහු යනවා කියලද හිතන්නේ..."

                 සර් මේ ටික කියනකොට මට හිත කීරි ගැහුනා. ඇත්තටම සර් මේ කියන්නේ මටද? සර් අර තුන්වෙනි බමුණු කුලයේ ඉඳල අවුරුද්දකට දෙක්කට කලිං,  Class එකක් එක්ක ඩිග්‍රි එක ගත්ත එකේ පම්පෝරිය ගහනවද? එතකොට අර මුතු ඉකි ගගහ ඇඬුවේ මොකටද?

"හොඳයි... දැන් නොතේරෙන අය නෙවෙයිනෙ. කල්පනාවෙන් වැඩ කර ගන්න." කියල සර් ගියා.

"අර කිව්වේ කව්ද රාජකරුණා?"
"ඇයි ඇහුනේ නැද්ද ඉකි ගහනවා. එයා නම් ප්‍රචාරය කරගෙන හිටියේ සර් හදවත පතුලෙන්ම එයාට Love කියලා. ලඟදී මේ මී හරකී සර්ට ලියුමක් යවලා. ඒකයි අද ඔය ලුනු ඇඹුල් ඇතුව අහ ගත්තේ. සර්ට ආරංච් වෙලා වගේ මෙයා කියන දේවල්. නෑයෝ නැයොලු. ඒකත් බොරුවක්ද දන්නෙ නෑ!"
"ආ... මේ පවුල් ආරවුලක්නෙ..."

                  ඒත් සර් මේ දේශනාව කළේ මටද කියල හිතංට හේතු ගොඩක් තියෙනවා. මං දින පොතක් ලියංට පටං ගත්ත හිංදා මේ හැට හතර මට අමතක වෙංට හේතුවක් නෑ. කෙනෙක් පොතට එබිකම් කළොත් කියන බයට සමහර දේ නොලියා හිටියා, සමහර එව්වා මට විතරක් තේරෙන විදියට ලිව්වා, ඒත් මතකයේ තියෙන එව්වත් එක්ක ගත්තම හැම දේම මතකයි!

                 අවුරුද්ද මුලදිම වාගේ ජිනා නංගී අලුත් විදියකට ලියංට පටං ගත්තේ.
"මට දැං අයියා බලංට ආසයි. මට පැහැදිලිවම කියංට අයියා මගෙ නේද..." ඔන්න දවසක් ගහෙං ගෙඩි එනවා වාගේ ජිනා මට ලියල එව්ව එක!

                 විභාගේ ඉවර වුන අවුරුද්ද මේ වාගේ එව්වා ලියංට හිතෙනවා කියල මං දන්නවා. මේ කියන්නේ මොකක්ද කියලත් මං දන්නවා. මං ඒ ගැන කෙලවරක් නැතුව කතා කරංටත් ආසයි. මට ජිනා ඇඳිලා පෙනෙනවා. ඒත් ඒ ගැන කතා කරන්නේ නැතුව මං දිගින් දිගටම ලිව්වේ, ගිය වතාවේ විභාගේ හොඳිං කර ගත්තත්,  පාඩම් වලට යොමු වෙංට කියලම. ඒත් ඒකට ලියල එව්වේ "ඔය නොකියා කියන්නේ අයියා මට කැමති නෑ කියලනේ.. එහෙම වුනොත් මයෙ ලෝකේ මං හොයා ගන්නම්කො." කියලයි .. මට ටිකක් බයත් හිතුනා. මොකද්ද ඒ ලෝකේ?
"කව්ද ... මාදංගනීද වාසනාවන්තී?" ලියුම අවසන් කරල තිබුනේ ඒ ප්‍රශ්නයෙං....

                 ඔය අතරේ ඊට දවසකට දෙක්කට පස්සේ දවසක් මාදි නංගී මට තනියම  මුණ ගැහුනා Physics Lab එක ලඟදී.
"අයියා... මට පොඩි කරදයක්..."
"ඒ මොකද්ද නංගී?"
"පන්තියේ විජේතුංග මට කරදර කරනවා. එයා මට ආදරෙයිලු. මං කැමති නැත්තං එයා ..."
"විජේතුංග කියන්නේ අර ස්ටයිල් එකට අඳින ලස්සන බෝයි නේද? නංගී අයියට කිව්වද?"
"නෑ... අයියට කියන්ට එපා. අයියා ඔයා හිතලා කරන්ට ඕන මොනවා හරි කියන්ට. අයියට බැරිද එයාට කතා කරන්ට..?"
"එතකොට නංගිට මයෙ ගැන කතාවක් හදයි."
"ඒකට කමක් නෑ. අයියා ඒකට අකමැතිද? එහෙම නං කමක් නෑ." මං මාදිගෙ ඇස් දෙක දිහා බලල හිනා වුනා.
"ඔය ඇස්.." මාදිට කතාව ඉවර කරංට ලැබුනෙ නෑ. දයාගෙ කට හඬ ස්ටෙයාවේ එක උඩින් ඇහුනා.
"මම යන්නම් අයියා..."

                   මෙහෙම පැටලිලි ආව හැමදාම හැන්දෑවේ ඒ ගැන කතා කෙරුවේ දයා එක්ක. ඒත් මේ සිද්දි දෙකෙං එකක්වත් මට එයා එක්ක කතා කරංට බෑ.

"සපු.. මේ සුමානේ යමු අපෙ ගෙදර?" එදා හවස දයා මගෙං ඇහැව්වා.

                                                                                                   simple "s"
2020. 01. 23

පින්තූරය අන්තර්ජාලය ඇසුරෙන් .

                                                                                                

                   

උඩගෙදර කතා 209 (උද්දීපනය ..)

උද්දීපනය තමයි... !

                ලංකාවේ ඉතිහාසයයි පැරණි සාහිත්‍ය නිර්මාණයි එකට නිරීක්ෂණය කරන කොට පෙනෙන දෙයක්ලු යුද්ධ, කැරළි කෝලාහල ආදිය නැතිව රට සාමකාමීව ...

"අනේ මෙන්න මේ ටෙඩියා මගෙ කකුලේ ඔලුව තියා ගන්න ඇවිල්ලා... චිප්.. චිප්.. පොඩ්ඩක් බලන්නකෝඕඕ.."
"ටෙඩී යංට එලියට. කෝ ගේංටද කෝටුවක්...
අන්න.. හොඳ ටෙඩී..."

"සර්.. මේකේ මූඩිය කොහෙද දන්නැද්ද?"
"ඒක දුවගෙ පෑන්ට්‍රි එකේද දන්නෙ නෑ."
"මම බලන්නං."

... තිබුන කාල පරිච්ඡේද වල සාහිත්‍ය ක්ෂේත්‍රයේ පැහැදිලි උද්දීපන...

"දැන්නං කෑමට පෙර බේත් බීලා හිටියොත් හොඳයි වාගේ."
"ඉංට මං වතුර එකක් ගේනකල්."
" හැබැයි ඔයා බෙදන්ට. බත් හැඳි එකාමාරකට වැඩිය නං දාන්ට එපා."
"ඔහොම ගියොත් ... මේ බේත් ඉවර වෙනකොට ඊලඟට බේත් බොංට වෙන්නේ මාන්දමටයි."
"බෑ අප්පා එහෙම කන්ට. බැරි හින්දානේ කියන්නේ..."

..... පැහැදිලි උද්දීපනයක් ...

"දැන් බබා එන්ටත් ලඟයි. රත් කරන්ට ඕන එලවලු, දුව සුදට හදලා ගිහින් ඇති අලු කෙසෙල් වෑංජයක්. ඒක එහෙම රත් කරන්ටෝ.. දර්ශනී..."
"දාලා තියෙන්නේ..."
"මං කිව්වේ එලවලු රත් කරංට කියලා.. කන් ඇහෙන්නෙත් නෑනෙ මේ හෝන්තුවට!.."
"ඒක තමයි...!"
"අනේ මෙන්න මේ රේඩියෝ එක ක්ලිය කරලා දෙන්ටකො. ලබුනෝරුවේ හාමුදුරුවන්ගෙ බණ දේශනාවක් ඊලඟට යන්නේ.."
"හරී.... දුවගෙ කකුල පෙරලුන එක මොකද දන්නෑ."

උද්දීපනයක් තමයි!

                                                                                             simple "s"
2020.01.21

Sunday, January 19, 2020

උඩගෙදර කතා 208 " ඔස්ටියෝ පොරෝසිස්"

ඔස්ටියෝ පොරෝසිස් ...... සැලකිල්ලෙන් ඈ.... 

                  දෙයක් වුනාට පස්සේ කියල වැඩක් නෑ...  ඒ හින්දා මෙන්න මේ ගැන සැලකිලිමත් වෙන එක වැදගත්.

                   අපි උපදිනකොට ඇඟේ ඇටකටු ගණන 270 ක් විතර තියෙනවා. වැඩිහිටි වෙනකොට සමහර කටු හාවෙල (fuse) ඒ ගාන 206 කට විතර අඩු වෙනවා. ඒක හාණියක් නෙවේ. මේ ඇට කටු (අස්ථි) අපෙ සරීරයේ ඉටු කරන මෙහෙය ලේසි පාසු නෑ. දිහෑරිය දුහුල් සාරියක් උසකිං බිම දානකොට ඔහෙ අපිලිවෙළට වැටෙනවා විනා කෙලිං හිටින්නෙ නෑ. මිනිස්සුයි සත්තුයි එහෙම වුනා නං? නෑ... ඔය කිව්ව ඇටකටු සැකිල්ල එහෙම වෙංට දෙන්නෙ නෑ. ඒත් එව්වටත් කරංට දෙයක් නැති වෙන වෙලාවල් එනවා.

                  මේ ඇටකටු හැදිල තියෙන්නේ ප්‍රධාන වශයෙන් "කැල්සියම්" වලිං. මේ  කැල්සියම් මවගෙ බඩේ ඉන්න කාලේ ඉඳලම ඇටකටු වර්ධනය කරන්නේ. ඒ අතරේ ඇඟේ වෙනත් ක්‍රියාකම් වලටත් කැල්සියම් අවශ්‍ය වෙනවා. ඒකට බාහිරින් ලැබෙන කැල්සියම් මදි නං, මේ ඇටකටු වල තියෙන කැල්සියම් ඒ සඳහා හොරකම් කර ගැනෙනවා. එතකොට ඇටකටු වල ස්වභාවයයි (quality) ඝනත්වයයි (density) දුර්වල කෙරෙනවා. එහෙම වුනාම ඇටකටුවල කුඩා සිදුරු (porus) හැදිල ඇටකටු වල ශක්තිය ටිකෙන් ටික හීන කරනවා. අන්න අර "ඔස්ටියෝ පොරෝසිස්" කියන්නේ එහෙම වුනාම. ඒකෙං වෙන්නේ ඇටකටු පහසුවෙං බිඳිල යන එක. 

                    ඇටකටු බිඳීම් වෙංට පුලුවං විදි හුඟක් තියෙනවා, වැටීම, වාහන ඇතුලු වෙනත් හදිසි අනතුරු, කෙනක් පහර දීම,ඇවිදිනකොට එක පාරම හැරීම, **** වාගේ. පුංචි කාලේ, තරුණ කාලේ බිඳෙන ඇටකටු තිබුන විදියට හදංට ලේසියි. ඒත් වයසට යනකොට තත්වේ වෙනස්. බිඳුනොත්, පිපුරුනොත් බිඳුනම තමයි. පිපිරීම් වුනත් කාලෙකදී හරි බිඳිල යාමේ ඉඩක් තියෙනවා. වයසට ගියාම ඇටකටු "ලියලන්නේ නෑ" කියන්නේ අන්න ඒකයි. 

                     ඉතිං හැමදාම අනික් අයටත් කරදර කාරයෙක් වෙල ඔත්පල වෙල ඉංටවත්, ඉස්පිරිතාලෙක දුක් විඳිංටවත්, අතක් උරචක්කර මාලෙක කරේ එල්ලාගෙන ඉංටවත්, නොංඩියෙක් වෙංටවත්, අසාමාන්‍ය විදියට (හරහට, ගැස්සි ගැස්සී එහෙම) ඇවිදිංටවත්, කිහිලිකරු වලිං බස්තමෙං හැරමිටියෙං වෝකරයෙං ඇවිදිංටවත්, කොයි විදියකවත් විකෘති අවයවයක් තියා ගංටවත් ඕනැන්නෙ නෑ. ඒක ගත හිත දෙකටම මහ වේදනාවක්. තමංට විතරක් නෙවෙයි... සමීප ඇත්තංටත්.

                     ඒ තත්වෙං කල්වේලා ඇතුව ආරස්සා වෙන එකයි වැඩිය හොඳ. එක පැත්තකිං පරිස්සම් වීමයි අනිප්පැත්තෙං අවශ්‍ය තරමට කැල්සියම් ඇඟට ලැබෙන කෑම බීම ගන්න එකයි තමයි හොඳම දේ. වෙළෙඳ දැන්වීම් වල මොනවා කිව්වත් ස්වාභාවික කෑම බීමෙං කැල්සියම් ඇඟට ලබා ගැනීම තමයි නිර්දේශ කරන්නේ. 
             
                      ගෙදර අවදානම් තැන් අවම කරන එක කොහොමත් හොඳයිනෙ. නාන කාමරේදී ලිස්සල වැටිල කී දෙනෙක් නං උකුල් ඇටේ එහෙම කඩාගෙන තියනවද.., පාරේ වාහන වල වාගෙම පයිං යද්දිත් සැලකිල්ලෙං... උසකට නගිංට ඕනමද.. එහෙම ඕනැම නං සැලකිල්ලෙං, සෙල්ලං කරනකොටත් එහෙමයි... බල්ලෝ ආදරේ පෙන්නංට කරේ නගිනවා, ඒ වෙලාවට සමතුලිතතාව ගිලිහිල ඇද වැටෙංට ඉඩ තියෙනවා... ඔය වාගේ අවදානම් ගැන කල් වේලා ඇතුව හිතල බලනවා නං හොඳයි. 

                       කැඩෙන පුපුරන ඇටකටු වෙනුවට, ටයිටේනියම් වලින් හැදුව අලුත් කොටස් ඇඟ ඇතුලට දාල ශල්‍යකර්ම කරනවා. ඉංග්‍රීසි ක්‍රමයට.. එව්වා ඉතිං වියදං වැඩ! 

                       කෑමෙං බීමෙං ඇඟට ඕනෑ කැල්සියම් ලබා ගැනීම තමයි හොඳම විදිය. මෙන්න මෙව්වා කැල්සියම් බහුල කෑම බීම: හාල්මැස්සං, මුරුංගා කොලයි කරලුයි, වෙනත් තද කොල පාට පලා ජාති, කූනිස්සං, වෙනත් කුඩා මාලු ජාති, දිව්ල්, නැවුම් කිරි, මුදවාපු කිරි වාගෙම කිරි වලිං හැදුව වෙන ආහාර පාන, නෙලුම් අල, ඒවායිං සමහරක්.

                        මිනිසුන්නේ ඇඟට දවසකට ඕනෑ කැල්සියම් ප්‍රමාණය මිලි ග්‍රෑම් 2000 යි කියල එක තැනකයි මිලි ග්‍රෑම් 1000 යි කියල තව තැනකයි කියෙව්වා. මේ ගැන නිවැරදි තොරතුරු හොයා ගංට. දන්න කෙනෙක් ඉන්නවා නං අපිට අනුකම්පා කරල කියල දෙංට කාරුණික වෙංට. මොකද... වැඩිපුර ගැනීමත් හොඳ නෑ කියල තිබුනා.

                        ගර්භණී කාලේදියි, මව් කිරි දෙන කාලේදියි බවලත් ඇත්තෝ වැඩිපුර කැල්සියම් ගංට වෙනවා. මොකද... දෙන්නෙක් නඩත්තු කරංට එපායැ.. ඒ වාගෙම බවලත් ඇත්තෝ ඔය ඔස්ටියෝ පොරෝසිස් තත්වෙට පත්වෙනවා වැඩී. 

                         තේ වල තියෙන "ටැනින්" සරීරයට කැල්සියම් අවශෝෂණය (උරා ගැනීම) කර ගැනීමට බාදා කරනවලු. ඒ වාගෙම විටමින් ඩී, කැල්සියම් අවශෝෂණය පහසු කරනවා. කෑමෙං බීමෙං විටමින් ඩී කඩිනමිං ගංට බැරි හිංදා විටමින් ඩී පෙති හරි පෝෂණ අතිරේකයක් (food supplement) හරි ගංට පුලුවං. 

                 දේශීය වෙද කමෙං, කැපිලි කෙටිලි කිසි දෙයක් නොකර තෙල් බේත් පත්තු  
ආදිය භාවිතයෙං ඇටකටු බිඳීම් පිපිරීම් සුව කිරීමට අති දක්ෂ වෛද්‍ය වරු අදත් සිටින බවත් අපි කව්රුත් දන්නවා.  

                     ඒ අතරේ මෙන්න මේ කාරණේ බෝම වැදගත් : 
                     අපෙ ඇටකටු වල තත්වය (quality) යි ඝනත්වය (density) යි දැන ගංට රසායනාගාර (laboratary) පරීක්ෂයකිං හැකියාව තියෙනවා. ඒ පරීක්ෂණය කරගෙන අවශ්‍යතාව අනුව බේත් හේත් ආහාර පාන ගැනීම බෝම වැදගත්.

                     හැම දෙනාටම සුවපත් දිවියක් අත් වේවා!

                                                                                                       simple "s"
2020.01.10

සමහර තොරතුරු හා 1,2, 3 පින්තූර අන්තර්ජාලය ඇසුරෙන් .