Tuesday, June 11, 2019

උඩගෙදර කතා 154


"නෙක්ටා කැෆේ.... "

"බලන්න ආසයි,
වසර තිහ හතලිහකින්..."
ඔබ කියූ "නිදිබර"
ඒ දෑස ලෑස්තියි
මෙන්න හතලිහකින්.

එදා ඔබ සැසඳූ,
නෙක්ටා කැෆේ බිත්තියේ,
අදත් එලෙසම ඇති
අර වියපත් මිනිසාගේ,
රැළි වැටුනු මුත්
කාන්තිය ඉතිරුණු
ඒ දෑස නම්,
යළි කිසිදා මා නුදුටු...

ඇවිත් තව එක් වරක්
දඟකාර ඇණුම් පදයක්
කියා... මට රිදුනු හැටි
බලා යන්න, යටැහින්.

simple"s"
2019.06.11

Saturday, May 4, 2019

උඩගෙදර කතා ......


137 සිට 155 දක්වා උඩගෙදර කතා, මෙම බ්ලොග් එකේ ප්‍රසිද්ධ වී නැත. "Publish Failed.. Network error"  යනුවෙන් ප්‍රතිචාර ලැබේ. එම කතා අතර "ලිං කටෙං වැටුන එකා" 25 සිට 39 දක්වා කොටස්ද ඇතුලත් ය. එම කොටස් මගේ profile එකෙන් බලාගත හැකි බව කාරුණිකව මතක් කරමි.

                                                                                      simple"s" 

2019.07.08


Tuesday, April 9, 2019

උඩගෙදර කතා 139 (ලිං කටෙං වැටුන එකා 26)

ලිං කටෙං වැටුන එකා   26.

                        1960 ජනවාරි 11 දා කළුන්තැන්න මහා විද්‍යාලයට අලුත් ළමයි කීප දෙනෙක් ඇතුලත් වුනා. පූර්ව ජ්‍යේෂ්ට පන්තියට. ඒකට එහෙමයි කියන්නේ. 9 පංතිය කියන්නෙ නෑ. මං එයිං එක ළමයෙක්.

                         එදා තමයි මම ඉස්සර වෙලම කොට කලිසමක් ඇන්දේ ඉස්කෝලෙට. බ්ලූ ඩ්‍රිල්.  කමිසෙත් අලුත් එකක්. ඊට කලින් සරමයි කමිසෙයි. ගමේ ඉස්කෝලෙට වැඩිය ඒ ඉස්කෝලේ අලුත්. අපෙ දෙවෙනි මහත්තයා කිව්වේ, ගමේ ඉස්කෝලේ පරණයි... ළමයි කීප දෙනෙක් ඒකෙන් ජ්‍යෙෂ්ට විභාගෙත්  පාස් වෙල දැං ආණ්ඩුවේ රස්සාව කරනවා. දැං ගමේ අපෙ ඉස්කෝලෙට වැඩිය මේ ක්ලුන්තැන්නේ ඉස්කෝලෙටයි ආන්ඩුවේ සැළකිලි.

                          අපි උදේම ගමෙං පිටත් වෙන්නේ. හැතැම්ම පහ පහ උදේ හවා. හැබැයි කන්ද දිගේ හරහට පාරේ මහ කඳු පල්ලං නැති හිංදා ලොකු මහංසියක් නෑ. වැස්ස, පින්න, අව්ව, හුළඟ.... කිසි දෙයක් ගැන අපි හිතන්නෙ නෑ.. හැබැයි ආපහු එද්දී ගුනේ මුදලාලිගෙ කහට එකයි, තඩි හකුරු කෑල්ලයි, රෝස් පාං එකයි නං අමතක කරන්නෙ නෑ. ගලපිට පතනේ අක්කර ගානක විහිදුන පේර ලන්දේ ගෙඩිත් අපිට වෙං වෙච්ච එව්වා තියෙනවා.

                           ඉස්සර අපිට හිටියේ ලොකු මහත්තයයි  මහත්තුරු නෝනමහත්තුරුයි.. දැං ප්‍රින්සිපල් සරුයි සර්ලා මැඩම්ලයි. හුඟක් වෙලාවට මේ දෙවිදිහම භාවිතා වුනා. අපෙ පංතිය බාර ගුරුතුමා  මැදිවක සර්. මුල්ම දවසේ එතුමා අපෙ විස්තර අහනකොට මම දුන්න උත්තර වලටයි, මම එව්වා කිව්ව විදිහටයි හුඟක් ළමයි මට හිනා වුනා.
"හොඳයි බලමුකෝ.... " ලඟ හිටිය වනිගසේකරට මම හීං සැරේ කිව්වා. අපෙ මේ පංතිය තිබුනේ, මම කලිං දවසකත් ජයග්‍රහණයක් ගත්ත ස්ටේජ් එකේ!

                     මැදිවක සර්, ඒත් ගුරු දෙවියෙක්; වෙනමම පෙනෙන කලු පාටක් තිබ්බට ළමයිංට බොහොම ලෙංගතුයි.  වචනේකිං වත්, ළමයි තව උස්සල තියංට තරං එතුමා කාරුණිකයි. මං ලිව්ව රචනයක් පන්තියට ගෙනත් අනික් ළමයිංට කියවල දිග පැහැදිලි කිරීමක් අගෙයක් කරංට වැඩි දවසක් ගියෙ නෑ. ඒ වාගෙම තව දවසක් 'බලාගෙන ඇඳපු බෝගන්වීලියා මල් කිනිත්තෙ' යි, ඉන්ඩියන් ඉන්ක් වලින් මෝස්තරේ ඇන්ද සේසතෙයි චිත්‍ර දෙකත් පන්තියට ගෙනත් පෙන්නුවා. මට හරියට සතුටු හිතුනා. ඒ වෙලාවෙත් මයෙ හිත රිදවපු ළමයි හිටියා.

                           මිනිස්සුංට සල්ලි බාගෙ වාගේ කීයක් දේවල් තියෙංට ඕනැද? එහෙම නැත්තං කොං වෙනවා කියලයි මට හිතෙන්නේ. එහෙම හිතෙනකොට කොයි දේටත් අපි පස්ස ගහංටයි බලන්නේ. ඒක හරියෙටම දැක්කේ අලුත් ඉස්කෝල ගමනෙං. ඒක හැමදාම එහෙම තියෙයි වද්ද? මොකද සමහර එව්වා අපිට හිතල හදා ගංට බැරි දේ. දෙවෙනි මහත්තයා නං කියන්නේ ඒ කොයි දේත් අපි ජය ගංට ඕනෑ කියල.🙂

                             අපෙ ගම කිට්ටුවකවත්, කැලෑ කොලණියේවත් නැති තරං රූස්ස, කෙලවරක් පේන්නැති කැලෑවකිං ඉස්කෝලේ වටවෙල තියෙන්නේ. ගස් මුදුං වලිං පේන මල් තට්ටු වලිං සමහර ගස් පිරිල. වැහි කාලෙං පස්සේ හිංදා මුලු ගොම්මනම නිල්ල ගහල. ගස් හරියට ජිවත් වෙනවා කියල පේනවා. දඬු ලේන්නු, ලස්සන ලස්සන කුරුල්ලෝ, සමනලයෝ එහෙම නං ඕනෑ පදං පේංටම ඉන්නවා. අලියා කොටියා වාගේ සත්තු ඇර ගෝන්නු මුවෝ ඌරෝ වාගේ අයත් ඒ කැලෑවේ ඉන්නවලු. කිට්ටුවෙං ගෙවල් දොරවලුත් නෑනේ. ඉතිං ඒ සත්තුන්නේ ආරස්සාව හොඳයි. බයක් හැකක්  නැතුව නිදහසේ හැදෙනවා. මිමින්නෝ වැලි මුවෝ වාගේ පොඩි පොඩි සත්තු නං යන එන පාරේදී කී සැරයක්දෝ මුණ ගැහිල තියෙනවා. පාරේ වේල්ලේ තැං දාහතක කලු පාංකිරිති කූඩු . සමහර එව්වේ බිත්තර, තව එව්වේ ... අපි බලනකොට අම්මා කවංට පනුවෝ ඇන්න ඇවිත් තමයි කියල රැවටිල අක්කරයක් ව්තර කට ඇරල නටන පැටව්. තව එව්වේ තවම මොකුත් නෑ...

                            උදේ යනකොට, මාඔය මිටියාවත දිගට මී දුම කැටි. අපි යන පාර තියෙන්නේ ඊට ඉහලිං හින්දා පුලුං ගොඩක් අතුරල වාගේ පෙනෙන්නේ. මා ඔයට එගොඩිං තියෙන හුන්නස්ගිරිය, නුගේතැන්න, කහටගොල්ල වාගේ කඳු වැටි හෝදල වේලල වාගේ.

                              දැං ඉතිං ඒ වටපිටාවත් දාල යංට වෙනවා. මහා අතරමං වුන කල්පනාවල් මයෙ ඔලුවට එනවා.අලුත්ම ඉස්කෝලෙට නොගිහිං, මෙහෙදිම පුලුවං විදිහකට ඉගෙන ගන්නවද කියල කී සැරයක් නං කල්පනා වුනාද...! ඒක කිව්වම දැං  ගමේ ඉංග්‍රීසි උගන්නන පේමවතී නෝනමහත්තයා මෙහෙම කිව්වා..
"පිස්සුද සපු. වෙන ළමයින්ට එහෙම වාසනාවක් නැතිව ඉන්නව.. මේ ළමයා ලැබිච්ච එකට පයින් ගහන්ට හදනවා. අනික යාලුවෝ හැදුනම ඔය තනිකම ඉක්මනින්ම මඟෑරිල යනවා.. ඊට පස්සේ සපූ ගමට එන්ටත් බෑ කියයි... "

                                මං සිස්යත්වේ පාස් කියල අයියට ලියංට ඕනැන්නෙ නැ කියල අප්පච්චී මට තහනං කෙරුවා. ඒ වුනාට ඒක කරන්නේ කොහොමදෑ. අම්මට කෙඳිරි ගාල කෙඳිරි ගාල යංතං සහනෙට වචනයක් ගත්තා.
"හොඳයි.... මං අප්පච්චිට කියන්නං."
                               අප්පච්චිගෙං උත්තරයක් ලැබෙනකල් මං බලාන හිටියෙ නෑ. අයියට ලියුමක් ලිව්වා. හැබැයි පුංචි කට්ටකමක් කෙරුවා. ලියුම තැපැල් කරංට හිතෙන විදිහේ පේලියක් දෙකක් ඇතුලු කෙරුව. මොකද ලියුම තැපැල්  කරංට දෙංට වෙන්නෙත් අප්පච්චිටමනේ. නොබලා ඉඳීයැ. ඒ වාගෙම, අයියගෙ කසාදිය හිංදා ගෙදර සිද්ද වෙච්ච කිසි දෙයක් ලිව්වෙත් නෑ.

                            *                                *                                     *

"මට සපු මල්ලිට කතා කරංට ඕනෑ කමත් තිබ්බා. ලොකු හපංකමක්නෙ කරගෙන තියෙන්නේ... ඒ අතරේ තමයි දෙවෙනි මහත්තයා මේ අයිරුව කිව්වේ. දැං ඉතිං ඔය පොත් තියාගෙන මල්ලිට වැඩක් නෑනේ."
"ඒක කොයි හැටි වුනත් කෙලි පැංචිටත් මෙව්වා ගිහිං දෙංට පෑලිස් මල්ලී." මං පොත් දෙක හොයද්දී අප්පච්චියි පෑලිස් අයියයි කතා වෙච්ච එව්වා මටත් ඇහුනා. මයෙ ගාවා බුද්ධි පරීක්ෂණ පොතකුයි රචනා පොතකුයි තියෙනවා කියල අපෙ දෙවෙනි මහත්තයා කියල තියෙන්නේ. පෑලිස් අයියගෙ නංගී මේ අවුරුද්දේ අටේ සිස්සත්වේ කරනවලු.
"අයියා පොත් දෙක නං හම්බුනා. බුද්ධි පරීක්ෂණ පොතේ මං උත්තර ලියල. මං එව්වා මකල දෙන්නං."
"ඒ කිව්වේ?
"මං බුද්ධි පරීක්ෂණ  ප්‍රශ්ණ වලට පොතේම උත්තර ලිව්වේ. පොත හදල තියෙන්නේ එහෙම. ඉතිං උත්තර තියාගෙන ජිනාට උත්තර ලියංට බෑනේ.
"නෑ මල්ලී ජිනා මකා ගනියි."
"හොඳ වෙලාවට මං ලිව්වේ කොපි පැන්සලේකිං නෙවෙයි. මෙන්න අයියා."

"අප්පච්චි, අප්පච්චි එයාට මල්ලී කියනවා. මම අයියා කියනවා. මට ඒ නෑකම තේරෙන්නෙ නෑ. අනික, අප්පච්චි මල්ලී කියන හිංදා මං මෙච්චරකල් එයාට මාමා කිව්වේ. හැබැයි අද මාත් අයියා කිව්වා. කමක් නැද්ද?"
"කමක් නෑ මයෙ පුතා. ඒ ඇත්තෝ අපෙ ලඟ නෑයෝ නෙවෙයි. එහෙම අයට එහෙමයි කතා කරන්නේ."

                     පෑලිස් අයියට අයියා කිව්ව එක හොඳයි  කියල මට පහුවදාම හිතුනා.. වෙනම කඩල තියල තිබ්බ බුද්ධි පරීක්ෂණ උත්තර කොලේ දෙංට ඒ ගොල්ලන්නේ  ගෙදරට ගියාම. ජිනාටත් හීං අම්මා හරි නැන්දම්මා හරි කියංටයැ.!

                    මං යනකොට ජිනා පොඩි එකෙක්ගෙ පරන රෝදයක්, අර ටයර් එකක්,  දක්ක දක්ක ඉන්නවා.  මං දැක්කා කියල ලැජ්ජා වුනේ නෑ.
"සපූ අයියා එංට. මං අම්මට කතා කරන්නං.."
"අම්මට නං නෙවේ.. මෙන්න මේ උත්තර කොලේ වෙනම තිබුන හිංදා ඊයේ හවස දෙංට අමතක වෙල. හැබැයි, ජිනත් ඕක වෙනම තියාගෙන උත්තර ලියංට. පස්සේ හරි වැරදි බලංට."
"මං ඊයේ රෑම  ඒකේ පත්තර තුනක් හදලත් ඉවරයි."
"හ්ම්... දෙවෙනි මහත්තයා මටත් කිව්වා උඹ හරි දස්සයි කියල. හැබැයි අගට යනකොට අමාරු එව්වා තියෙනවා. අමාරු එව්වා වෙනම තියාන  මහත්තයගෙං අහගන්නිං..."
"නෑ නෑ...... ලස්සන රාජ කුමාරයෙක් ඇවිත් මට එව්වා කියල දෙනවා."
"ඔය ඉතිං ඒකත් විහිළු.... කිසි දේක බරක් කියල දෙයක් උඹට තේරෙන්නෙම නැද්ද?
"ඉතිං මං කිව්වේ කවදා හරි සපූ අයියා මට ඒ අමාරු එව්වා කියල දෙනවා කියලනෙ."
"මොකද මේකී කියන්නේ පුතා?"
"විහිළු... හැම එකම විහිළු.  ඊයේ අමතක් වුන උත්තර කොලයක් ගෙනාවා.
අප්පෝ මං පුලුවං දෙයක් කියල දෙන්නං ජිනා.. "
"අම්මා, සපු අයියා සිස්සත්වේ පාස් වුනාට පස්සේ ආඩම්බර වෙල. බුද්ධි පරීක්ෂනේ ඉගෙන ගංට ඕන නං එයාට කියංටලු. රචනා ඉගෙන ගංට නං එයත් එක්ක ලියුං  ලියංටලු."
"මේකිගෙ කට.. දත් ටික පරිස්සං කර ගංට ඕනෑ නං කට වහ ගන්නිං ජිනාදරී...
මං තේ කහට ඩිංගක් හදන්නං පුතේ?"
"අනේ දැං එපා නැන්දා... "
"ඔය මං කිව්වේ... දැක්කද ආඩම්බරේ..."
"කවද්ද පුතා දැං යන්නේ?"
"තව දිනෙයක් හිතා ගත්තෙ නෑ. අප්පච්චි කියන්නේ වෙසක් පහු වෙනකොට යමු කියල. අලුත් වාරේ පටං ගංටත් ඕනෑනෙ."
"හොඳයි තුනුරුවන්නේ පිහිටයි. හොඳිම්ම වැඩ ටික කර ගංට."
"මං යනවා ජිනා. සිස්සත්වෙට හොඳට පාඩම් කරංට.." මං එහෙම කියංට ජිනා දිහා බලනකොට මෙන්න  එයාගෙ ඇස්වල කඳුලු පිරිල. මට දුක හිතුනා. තේරුං ගංට බැරි කෙල්ලක්.
"අමාරු ප්‍රශ්න අපි කතා කරමු. මේ දවස් වල මුණ ගැහෙණ අමාරු එව්වා වෙලාවක අපෙ ගෙදර ඇන්න එංට. නිවාඩු දවස්නෙ."
"හා අයියා.."

                                                                                            simple"s"
2019.04.08

සේයාරූ අන්තර්ජාලයෙන්