"ගල් කූරේ සිට.... "
සුබ නැකතකට කොයි හැටි වෙතත් සුබ දිිනේක මුල්ම අකුර කියවන්ට ඇති.
"අප්පච්චි ඔයෙ කොල වලිං මොකද්ද කරන්නේ?"9
"හැමදේම අහන්නැතුව බලාන ඉඳල තේරුං ගන්ටකෝ..."
අප්පච්චි, ගල්ලෑල්ලේ දුඹුරු පැහැයට තිබ්බ පටි දෙක බූ දැලියා කිව්ව කොල වලින් මැද්දා.. දැන් ලා අඳුරු පැහැ සුදු පාටක්. ඊට කලිං ගල් ලෑල්ලේ මැද්ද වැට එඬරු කිරි ගාල සෝදල වේලලයි තිබුනේ. ගල්ලෑල්ල දැන් අළුත්ම අළුත්. චන්ඩි අයියා පරිස්සමිං පාඩම් කෙරුව සිතුමිණ හෝඩි පොතයි මේ ගල්ලෑල්ලයි කලිංම ඉල්ලාගෙන ඇවිත්.
ඒ පොතෙං මුල්ම අකුර කියවන්ට ඇති. සද්දෙක්කට ගෙනාව ගල් කූරෙන් මේ ගල් ලෑල්ලේ මුල්ම අකුර ලියවන්ටත් ඇති. අපෙඅම්මා කියන විදිහට ටික දවසකිං මේ ගල්ලෑල්ල නං බිඳුනා. තව එකම එක ගල්ලෑල්ලයි මට ගන්ට වුනේ. ඒකත් පස්සේ තව කාට හරි දෙන්ට ඇති. ගල් කූර ඇඟිලි දෙකට අහු වෙන්නේ නැති වෙනකොට ලස්සනට කැපුව උන බට කෑල්ලක ගහලත් දුන්නා. ගල් කූර ගලක ගාල එක පැත්තක් උල් කරල දෙනවා. වැලි පුවරුව කියන එකේ නං ලිව්වේ නෑ. අපෙ ගමේ එහෙම එකක් කොහෙවත් තිබ්බෙ නෑ..
මුල දවසෙ ඉස්කෝලේ ගිහිං පන්තියේ මහත්තයටයි ලොකු මහත්තටයි බුලත් දීල දණ ගහල වැන්දා. තව ළමයි හිටියා. අපි හෝඩියේ... බාලාන්සේ කියලත් ඒකට කිව්වා. ඊළඟ අවුරුද්ද එකේ පන්තිය කියල කිව්වෙ නෑ. ඒක ඉහල බාලාංසේ. ඒ වුනාට ඒකට ඊලඟ එක දෙකේ පන්තිය.
එහායිං ඇස්බැස්ටෝ වහල සිමෙන්ති දාල තියෙන ලස්සන එකේ නෙවෙයි අපි. ඉලුක් වහල ඊට උඩිං පිදුරු වහල ගොම ගාල තියෙන එකේ.
එහා එකේ ලස්සන වීදුරු ජනෙල්. මේකේ ජනෙල් නෑ. බිත්ති මයෙ බෙල්ල ලඟට විතර උසට. ළමයි ගොඩක් ඉන්න හිංදා සන්තෝසෙං තමයි හිටියේ.
ඉස්සර වෙලම පැන්සලෙං ලිව්ව දවස ගැනත් හරියටම නිච්චි නෑ. ඒ වාගේමයි මුල්ම කෝටු පාර කෑව දවසත් මතක නෑ. එක දවසක්වත් කෝටු පාරක් කෑවදවත් මතක නෑ.
ඉස්කෝලේ වැඩත් හොඳට කෙරුවා. දඟ වැඩත් නෑ. ඒ තරමට බය ගුල්ලා. කොයි වෙලාවෙත් පස්සටමයි වෙන්නේ. ලමයි වැඩි දෙනෙක් මං වාගෙමයි. සමහර ළමයි මුල් දවස්වල ඇඬුවත්.. ගෙදර යන්ට ඕනෑ කියල.
පැන්සල ගෙවුනමත් උන බටේක. එහෙම ලිය ලිය ඉඳල මාරු වුනේ ජී පෑනට. ජී පෑන් තල දෙවගෙයක් තිබුනා. තනි උල් වර්ගෙයි තලේ කෙටි වර්ගෙයි. තරමකට බෝ කොලේ අගයි මුලයි වාගේ. තලේ කෙටි වර්ගෙට තමයි වැඩිය කැමති. කව්රුත්.. සතේකට හරි දෙකකට හරි තීන්ත කුඩු පැකට් හරි කැට හරි ගන්ට තිබුනා. අප්පච්චි ඒවා පුංචි කුප්පියකට දිය කරලා දෙනවා වතුරෙං. ඉහිරෙන තීන්ත පිහින කඩදාසි තිබුනා. ඒත් ඉස්කෝලේ ඇරිල ගෙදර යනකොට අත් දෙකයි ඇඳුමුයි ගන්ට කාරියක් නෑ. ජී පෑනෙං ලියන එක පැන්සලෙං වාගේ ලේසි නෑ. ඒකෙං ලිව්වා විනා ලියවුනා නෙවේ. කාලයක් ඒකෙන් ලියාගෙන යනකොට ලේසියි. අකුරුත් ලස්සන වෙනවා. ඒකෙං චිත්‍ර අඳින්ට නං බෑ.
එක ළමයෙකුටද කොහෙද හදලම විකුනන්ට තියෙන තීන්ත බෝතලේකුත් තිබුනා. නම ක්වින්ක්. ඒ නම කියන්ටත් අමාරුයි. ඒ බෝතලේ අපෙ රවුම් කුප්පි වාගේ නෙවෙයි. දිගයි. කටත් ලොකුයි. ඉතිං පෑන ඒකට දාන්ට.. වැඩි තීන්ත බෝතල් කටේ ගාන්ට එහෙම හරි ලේසියි. අන්න ඒ කටේ ගාන වැඩි තීන්ත තමයි අපියි ඇඳුමුයි නෑව්වේ.
ඔහොම ඔහොම යනකොට තිබ්බ වාර විභාගේකට මට අයියගෙ පවුන්ටන් පෑන දුන්නා. පාකර්.. තැනිං තැනිං එක එක හැඩේට කෑලි වගයක්.. පෑනට ඔබ්බලා වාගේ.. පෑන ඇතුලේ වාගේ පේන්නේ.. පොතක් මැද්දේ ඒක තියාගෙන ගෙදර ආවමයි දැක්කේ.. පෑන නෑ කොපුව විතරයි..
කාලයත් එක්ක ජීවිත, වටාපිටාව, භාණ්ඩ, සිතුම් පැතුම්, කතා බහ කොතෙක් වෙනස් වුනාද...!
දැන් ගෙදරක ගල් ලෑල්ලක් ගල් කූරක් තියා ළමයෙකුට පෙන්නන්ට ෆවුන්ටන් පෑනක්වත් ඇත්නම් ඒ ඉතා කලාතුරකින්. පැරණි දේට ඇළුම් කළත් ඒ වෙනස ගැරහීමට ලක් විය යුතු නොවේ.
සේයාරූ ගන්නට, ගෙදර තිබුන ගල්ලෑල්ල හා සිතුමිණ හෝඩි පොත සෙවීමට කම්මැලි හිතුන නිසා ඒවාත් ජී පෑනකුත් සොයාගෙන අද මම සිතුමිණ පොත් සාප්පුවට ගියා. එදා මහනුවර දිලිසුන එකම පොත් සාප්පුව! පංති පොත් කොතෙකුත් එහිදී මිලදී ගෙන ඇත. 1964 දී මම මුල් වරට ලීවේ සිතුමිණ දින පොතක්. එසේම 1971 සිට අවුරුදු හතක් ලියූ, "සීමාසහිත ටී.බී.ඇස්.ගොඩමුන්නේ සහ පුත්‍රයෝ විසින් ස්වීය 'සිතුමිණ' යන්ත්‍රාලයෙන් ප්‍රකාශිත" (ඔවුන්ට අනන්‍ය වූ වචන පෙලකි.), තොරතුරු ගබඩාවක් වන් "ගම් සභා දිනපොත" නිමැවූවේත් ඔවුන්.
"මමත් අයන්න ආයන්න මුලින්ම කියෙව්වේ සිතුමිණ හෝඩි පොතෙන්.."
මා එහි ගිය වෙලාවේ එහි උන් එකම පාරිභෝගික මහතා එහෙම කියනකොට මට දැනුනේ හරිම සතුටක්. හෝඩි පොතේ දැන් තියෙන මුද්‍රණයේ නම් පින්තූර පාට පාට්න්... ඒ පොත් සාප්පුවේත් මට අවශ්‍ය දේ වලින් හමු වූයේ ඒ "සිතුමිණි හෝඩි පොත" පමණයි. (සාප්පුවේ නාම පුවරුව දුටු විට මේ සියල්ලට වඩා සිත පෑරුනු බව එහි කිසිවෙකු නොදන්නවා ඇත!)
'ඒ යන්නෙන් ඒදණ්ඩ' යයි ඇසින් දකින ඒ දන්ඩක් ගැන එදා කියවු හැටි ද, පසු කාලයක මවිසින්ම සංරක්‍ෂණය කරනු ලැබ, කොන්ක්‍රීට් ඒ දන්ඩක් ද ආදේශ වූ, ගම මැද ඇලේ 'ගල් ඒ දණ්ඩ' ද යලි මට සිහිපත් විය.
බෝල් පොයින්ට් පෑන ජනප්‍රිය වී, ගෙවී ගිය කාලයේ පිටරට ගොස් එන යාළුවන්ගෙන් හිතවතුන්ගෙන් විවිධ පන්නයේ රුවැති බෝල් පොයින්ට් පෑන්, ෆවුන්ටන් පෑන් කීයක් නම් ලැබුනද.. ගෙදරක නාස්ති වන බෝල් පොයින්ට් පෑන් කොයි තරම්ද... බෝල් පොයින්ට් පෑනට තැන දී විශ්‍රාම ගත් ෆවුන්ටන් පෑනට, එනම් උල්පත් පෑනට අත් වූ ඉරණම කොම්පියුටරය ටැබ් එක ෆෝන් එක හමුවේ ඒ බෝල් පොඉන්ට් පෑනටත් අත් වන්නට තව වැඩි කලක් ඇත්ද? කෙසේ වෙතත්, වෙනත් භාණ්ඩ වලට සාපේක්ෂව බෝල් පොයින්ට් පෑන්වල මිල නම් තවමත් ඉතා සාධාරණය. සාමාන්‍ය පාවිච්චියට ඉතා සුදුසු බෝල් පොයින්ට් පෑනක් රුපියල් දහයක් තරම් සුළු මුදලකට ඕනෑම වෙළෙඳ සැලකදී අද මිල දී ගත හැකි ය...!
simple "s"
No comments:
Post a Comment