Tuesday, March 19, 2019

උඩගෙදර කතා 135 (ලිං කටෙං වැටුන එකා 23)

ලිං කටෙං වැටුන එකා   23.

"මයෙ ලඟම දෙතුං දෙනෙකුට එහා පැත්තෙං හිටියේ. පුරුදු කටහඬ හිංදම මං ඕනෑ කමෙං බැලුවේ. දේවාලේ ඇතුලේ බොහොම සෙනඟ. ඒ හිංදා ඒ දෙන්නා ළමයා පරිස්සං කර ගන්න සිහියෙං තමයි හිටියේ. ලැජ්ජහවක් හිතෙයි වත් කියල මාත් මූණ වහං කර ගත්තා අයියා. ලොකු පුතා ඒ ගෑණු එක්කෙනාට 'පියවතී' කියනවා තමයි ඇහුනේ. තව, ඒ අය එක්ක අම්මෙක්, අප්පෙක්, නංගියෙක් ඇවිත් හිටියා කියල තමයි මට පෙනුනේ... "
"පෑලිස් මලයා, මං ඔය ගැන හොයල බලනකල් කව්රුවත් දැන ගත්තෙ නැත්තං හොඳයි. "
"මං කියල ලෝක සම්මතේකට ගෑණියක් ගත්තායැයි. මේක අයියලට කියනවද නැද්ද කියල මං දහ අතේ කල්පනා කරල තමයි මේ කිව්වේ. මයෙං කිසි කෙනෙකුට කෙල බිංදුවක් හෙල්ලෙන්නෑ  ඒ තියා ඩිංගිරිත් පල්ලෙහා නවත්තල මං මේ ආවේ අයියා. ඒ වාගෙම තමයි ලොකු පුතාට..... සේසිරි මහත්තයට මම කිව්වා කියල කියංට එහෙම එපා. අනික කව්රුවත් යටිගිරියෙං කෑ ගහගෙන ගම දෙක කොන්නවා එහෙම නෙවෙයි. අපි හොඳට හොයල බලමු."
"අම්මයි පොඩි එකියි කලු වුනාට ඇහැට කනට පෙනෙන දෙන්නෙක් අක්කා."
"එව්වා නං කංටද මල්ලී. ඔය කියන හැටියට බැඳල බොහොම කල් වාගේ. මේ ඊයේ පෙරේදා ආව වෙලාවේවත් අමුත්තක් පෙන්නුවෙ නෑ."
"මං නං දැනගෙන හිටියේ." කියල මං කොහොම කියංටද!
"රෑ වුනා අයියා.. මං එහෙනං ගිහිං එන්නං. "
"හොඳයි මල්ලී.. පරිස්සමිං."

                  පෑලිස් මාමා යනකල් අපෙ අම්මයි අප්පච්චියි මහ වෙනසක් පෙන්නුවෙ නෑ. එයා යන්තං ඇලේ ගල් පොත්තෙං එගොඩ වෙංට ඇති දෙන්නා තරකෙට මායං වෙංට පටං ගන්නකොට. අම්මා අඬනවට වැඩී කියවනවා; කියවනවට වැඩී අඬනවා. තව ඇහැකට දැක්කෙ නැති පියවතී දෝ පියෝතී දෝ කාටදෝ, අයියලා ගිය මයියංගනේ සමන් දේවාලෙම පලි ගහනවා මෙහෙ ඉඳල.
"පර වේසී මයෙ කොල්ලා දැපනේ දාගේන. සමන් දෙයි හාන්දුරුවෝ වැඩ ඉන්නවා සත්තකයි නං ඕකී නැති බංග වෙංට ඕනෑ. අම්මෙකුට අප්පෙකුට මෙහෙම දුකක් දුන්න එක සහ ගහංට ඕනෑ. මොන නව නිග්ගරහවද්ද.. බැඳපු ගෑණියක් දරුවෙකුත් එක්ක කැන්ඳාන ගමට එනකොට. එක්කොන්න එන්නේ නැතෑ... මං එදාට ඉස හැරුන අතේ යනවා යංට. ගෙදර හිටියොත් මං බෝලත්තට... "
"ඒ දහ පඳුරා බැල්ලිට විතරක්ම බැන්නට හරි යනවායැයි බං.... , අපෙ ගොං වස්සට යංතං මොලේ කළඳක් තිබ්බෙ නැති එකේ.... "

                   මයෙ නොතේරුං කමේ තරම වෙංටෑ... අයියා කොරපු වැරැද්දක් මට නං පේන්නෑ. අයියා ගෑණියක් බැඳ ගත්තා. එයාට දරුවෙක් හිටියා. ඔයිට වැඩි දෙයක් ඒකේ තියෙනවද? කෝක වුනත් මං ඒ කතා බහට හූමිටි තලංට ගියෙ නෑ. ඒ වුනාට, හරි එකක් හරි වැරදි එකක් හරි අයියා කරපු එකට අම්මා බැන්නේ මටත් එක්ක. කවදාවත් මට කියල නැති වචනත් කිව්ව එකටයි මට දුක. අයියට බනින එක අහගෙන ඉංට බැරි තැන,
"අපෙ අම්මා මට බඩගිනි." කියංට ගිහිං ඒක වෙච්චේ.
"උඹට සුදහ ගින්න හැදුනා විජහට. ලොකු එකාට මොකොවත් කියනකොට උඹට බඩ දනවා. ඒක මං දන්නාවා. තොපි දෙන්නම එක වාගේ තමයි ඇහේ මූණේ තියාන හැදුවේ. පේනවා නේද මහ එකා කොරගෙන තියෙන හපංකම. තෝත් කවදා නුමුත් කරදඬු උස් මහත් වෙච්ච දාක ඔය ටික තමයි. තව ඩිංගක් හිටපං බෙදල දෙඤ්ඤං... "

                      මට ඇඬුනා. අපෙ අම්මා ව්ජහට ලඟට ඇවිත් තව ඩිංගක් අඬ අඬ මයෙ ඔලුවයි මූණයි අත ගෑවා.
"ඩ්ංගක් ඉංට බටු ඇඹුල් ඩිංග රත් කරල විජහට බෙදල දෙන්නං."

"අපෙ එකා ඔයෙ ලිං කටකිං වැටුනට, පුතාලයෙ අම්මා දන්නවද පෑලිස් මලයා ඔය ගියේ කොහෙද කියල. ඊයේ පෙරේදා දවසක මා එක්කත් කිව්වා. අර ටැට්ටර් එව්වා එකක් එලවංට පුරුදු වෙංට අඳුරන කෙනෙකුට කතාකර ගංටයි, ඒක පටං ගංට කලිං සමං දෙයියංට බාරයක් වෙංටයි ඔය ගියේ. එව්වෙං එක්කුත් ගනියි මයෙ හිතේ. අර සිකරට් දුංකල වේලන බාං එක්කුත් ඊගාවා අවුරුද්දට ලැහැත්ති කර ගන්නවලු. ඒක හදංට ඔය ලඟකදී දැම්මා කියන බැංකුවකිං ණය දෙනවලු..., සමාගමට වේලපු දුංකල දුන්නම ඒ සල්ලියෙං කපා ගංට. දුංකල සමාගමෙං ඔක්කොම උදව් කරනවලු. ඔක්කොම කියා දෙනවලු. පෑලිසා හිත දහිරිය ඇති එකා. ඒකට හරි යනවා.
මේ අනික හීං එකාගෙ හිත ඔහොම රෙදවංට එපා."

                   අන්තිම එක රහසෙං කිව්වට, මට ඇහුනා.  අපෙ අම්මා මයෙ ලඟට ඇවිත්,
"මට උහුලන්නැතුව ගියා දෙයියෝ. ඉංට බත් ඩිංග  බෙදල දෙන්නං." කිව්වා, චීත්ත කෑල්ලෙං මයෙ මූණත් පිහල.

                    අපෙ අම්මයි අප්පච්චියි රෑට කෑවදවත් මං දන්නෑ. ‍රෑ දෙගොඩ හරියක් වෙනකල් කතා කර කර හිටියා. මට නිංද ගියා.

                                                          simple "s"
2019.03.19

Sunday, March 17, 2019

උඩගෙදර කතා 134 (ලිං කටෙං වැටුන එකා 22)

ලිං කටෙං වැටුන එකා   22.

"මට වෙලාවකට හිතෙනවා එහෙම පදිංචි වෙංටත්... මිනිසුන්නේ අහිංසකකම් දැක්කම හරිම ආසයි. එහෙම මිනිසුන්ට උදව්පදව් කරගෙන ඉංට තියෙනවා නං වාසනාවක්.."
"ඉතිං අයියට එහෙම අහිංසක මිනිසුංට උදව් කරංට ඕනෑ නං හොඳම දේ ගමට මාරුවීමනක් ඇන්න එන එකනෙ. මෙහෙ ලමයිංට පංතියක් කරන එක, ඔය මරණාදාර සමිතියක් වාගේ එකක් හදල මිනිසු එකතැං කරල මොනොවාහරි කියල දෙන එක එහෙම කීයක් දේ ගමට කරංට පුලුවංද?"
"මල්ලී හිතනවද ගමේ මිනිසු මං කියන දේ අහයි කියල..."
"ඇයි නැත්තේ.. දැං බලංට, අර පෑලිස් මාමට මිනිසු කොයි තරං අඩංගුද? අයියා රස්සාවකුත් තියාගෙන.."
"ඔව් මල්ලී ඒකත් හිතල බලමු. ඒත් මල්ලී එහෙ තරං නැති බැරි මිනිසු අපෙ ගමේ නෑ.. "
"එහෙ පදිංච් වෙංට හිතෙන කතාවක් අයියා අපෙ අම්මලාට නං නොකිව්වොත් හොඳයි. දුකට පපුව පැලෙයි.
                  ඉං එහාට මං කතා නොකරම හිටියා. ඒ අයියා කිව්ව දේට එකඟ වුන හිංදා නෙවෙයි. අයියා එක්ක කට ගහගෙන යංට හොඳ නැති හිංදා. අනිප්පැත්තෙං මට මේ සැරේ අයියා තේරුම් ගංට අමාරුයි වාගෙත් දැනුනා. ඊට පස්සෙත් අයියා හුඟක් දේ කිව්වා. නතරවෙල ඉන්න ගෙදර මිනිසුන්නේ හොඳේ, ලමයි දැං කැමැත්තෙං ඉස්කෝලේ එන හැටි, මේ වාරේ අන්තිමට ඉස්කෝලේ විවිධප්ප්‍රසංගයක් කරන එක, ඒකේ පුහුණුවීම් වලට එහෙම අලුතිං පත් වෙල ආව "පියෝති" නෝනමහත්තයා වෙලාව අවේලාව නොබලා උදව් කරන හැටි, ලොකු මහත්තයගෙ දස්සකම් වාගේ ගොඩාක් එව්වා අයියා කිව්වේ හරි සන්තෝසෙං.
  
                 අයියා මේ සැරේ ගෙදර ආවේ හුඟ කාලේකිං. ඒ පමාව ගැන අම්මයි අප්පච්චියි ගොඩක් දුක් වුනා. ඇත්තටම මාත්. ඒකයි අප්පච්චී වෙනුවෙං මං අයියට  ලිව්ව ලියුමේ මෙහෙම ලියංට කියල මට කිව්වේ. "මේ ලියුම ලැබුනමත් අයියා ගෙදර ආවේ නැත්තං අම්මයි අප්පච්චියි මොන දුක විඳගෙන හරි ඔහෙ එනවා කිව්වා." මේ ටික කියනකොට අපෙ අම්මට ඉකි ගැහිල ඇඬුනා. අම්මෙග්ගෙ දෑහිං කඳුලු වට්ටන එකත් ලේ හොල්ලන වර්ගේ පවක් කියල මට හිතුනා. අර පංචානංතරිකර්ම පාප වාගේ.
"අවුරුදු හතකුත් පහු වෙනකං බිම හිටගෙන කිරි ටික බීවේ. ඉස්කෝලේ ඇරිල දුවගෙන එන්නෙත් මයෙ තනේ එල්ලෙංට බලාන. ඒක යංතං අපෝ වෙනකොට මං හදල දෙන ගොඩේ පලා මැල්ලුමක්, තිබ්බුටු, කහටමල්, බැදපු මුං ඇට ඩිංගක්, පොලොස් මාලුවක් වාගේ දෙයක් එක්ක බත් කටක්, කූනිස්සං, කොස් ඇට, බීලූනු වාගේ තෙල් දාපු සම්බෝල ඩිංගක් එක්ක කුරහං රොටී ගෙඩියක්, තම්බපු ඉරිඟු, මෑ කරල් ඇට වාගේ දෙයක් කොයි තරං.කැමැත්තෙංද කෑවේ. එහෙම කෑව මයෙ කොල්ලට කී කාලේකිං මාතිං බත් කටක් ඉයල දෙංට බැරි වුනාද.. " අපෙ අම්මා එක දිගට කිව්වෙ අඬ අඬ. අප්පච්චි පපුව හෑල්ලු කර ගත්තේ හූල්ලල. අපෙ අම්මා අයියයි මායි ගැන මොකොවත් කියල තමයි ඉතිං, අඬනකොට මටත් නිකම්ම ඇඬෙනවා හැමදාම. මං ඔය කතා අයියට කිව්වෙ නෑ. එයාගෙත් හිත රිදවංට ඕනැන්නෙ නෑනෙ.
                 අයියා ඉරිදත් ඉඳල සඳුදා උදේම ගියා. මේ සැරේ එයා ගැන මයෙ පපුවේ ඉතුරු වුනේ මහ බරක්.  අයියා දෙසැම්බර් නිවාඩුවටත් එන්නේ දවස් දහයක් දොලහක් පහු වෙල කිව්වා. ඉස්කෝලේ වැඩ වගෙයක් තියෙනවලු. අයියගෙ පොත්පත්, මේසේ එහෙම මට කැමති විදිහකට පාවිච්චි කරංට කියලයි ගියේ. දින පොත් නං වෙනම, පරන වෙච්ච ටැංකි පෙට්ටියක් තියෙන එකේ දාල යතුරු දැම්මා.

                  ඒත් එව්වෑ ලියල ඇති දේ මහ කාලයක් රහස් කර ගංට අයියට ලැබුනෙ නෑ.

                                                       simple "s"
2019.03.17