Sunday, August 4, 2019

උඩගෙදර කතා 165 (ලිං කටෙං වැටුන එකා 44)

ලිං කටෙං වැටුන එකා   44.

"  Upendra is having a lovely face.. "
"කව්ද දයා... උපේන්ද්‍රා?"
"දයා යාලු වෙල ඉන්න ගෑණු ලමයා." උත්තර දුන්නේ මම. දයා මොකද්ද කිව්වේ කියල මායි තව එක්කෙනෙකුයි දන්නවා. එදා discuss කරංට අට දෙනෙක් එක්තු වෙල. ඒත් අර පියා නං රෑට රෑට අපි මේ එකතු වෙන එකටත් මොකද්දෝ  ගොං කතාවක් කියලලු.
"සපූ මොකද කියන්නේ?" දයා ඇහුවා. "උඹට මතකයිනෙ මචං, පෙරේදා අපි කතා වුනේ අද adverbs, කර්ම විශේෂණ ගැන discuss කරමු කියලා." ඒ තමයි දයා මට මචං කිව්ව පලවෙනි දවස. වෙන අය නං ඉඳ හිට සැරයක් දෙකක් කියල තියෙනවා.

"මචං.." මාත් කීව්වා. "මචං, adverb කියන එකට ක්‍රියා විශේෂණ කියලා කියන්න අමාරුයි කියල මට හිතෙනවා. හේතුව, සිංහල ක්‍රියා විශේෂණයකින් සිංහල ක්‍රියා පදයක් විතරක් විස්තර කෙරුවට ඉංග්‍රීසි adverb එකකිං ඉංග්‍රිසි verb එකක් විතරක් නෙවෙයි විස්තර කරන්නේ. verb එකක් වාගෙම, වෙන adverb එකක් හරි adjective එකක් හරි විස්තර කරන, වචනෙටත් adverb කියනවා. "
"වචනෙට ...කියල කියංට බෑ නේද සපූ.? වචනයක්, වචන කීපයක් , වාක්‍ය ඛන්ඩයක්, වාක්‍යයක් වුනත් වෙංට පුලුවන් නේද ?" දයා මතක් කෙරුවා.
"ඔව් දයා... ඒක හරි..."
"adverbs හුඟ වෙලාවට, තනි වචනයක් නං, ..ly වලින් අවසාන වෙනවා නේද මචං."  රාජපක්ෂ කිව්වා.
" 'Upendra is having a lovely face.' කිව්ව එකේ lovely කියන adverb එකෙන් විස්තර කරන්නේ කොයි verb එකද.. කොයි adverb එකද, මොන adjective එකද මචං..?" තව කෙනෙක් ඇහැව්වා.
"ඒක හොඳ ප්‍රශ්ණයක්... ..ly වලිං අවසන් වෙන හැම වච්නයක්ම adverb එකක් නෙවේ මචං. ඔය lovely වගේ වචන කීපයක් තියෙනවා adverbs වගේ පෙනුනට ඒවා adjectives...
තව සමහර වචන adverb, adjective දෙකටම පොදුයි."
"මේ.. ඔය ඔක්කොම විජේසේකර සර් ඔයාලට කියලා දුන්නද?"
"සරුත් කියල දුන්නා. තව පුස්තකාලෙට ගිහිං බලංටකො. Reference Section එකේ තියෙන grammar පොත් කංදරාව."

"ඒයි... තව ටිකක් පස්සේ පැහැදිලි කරපල්ලා... දිරවා ගන්න අමාරුයි." එක්කෙනෙක් කිව්වා.
"ඔව් ඔව් තව, djectives ගැනයි adverbs ගැනයි කතා කරංට වෙනවා. ඒක පස්සට තියල, ලයිට් ඕෆ් කරංට කලිං, දයා කිව්ව Upendra වාක්‍යයේ එයා හිතලම කරපු තව බරපතල වැරැද්දක් තියෙනවා... ඒක කියල ඉංට ඕන."
"ඒ මොකක්ද?" දයා කිසි දෙයක් දන්නෑ වාගේ පැත්තක බලාන ඉද්දී වෙන එක්කෙනෙක්  ඇහුවා.

"..... having ... කිව්ව එක. 'Upendra is having a lovely face.' කිව්වම ඒ වාක්‍ය 'present continuous'... tense එකේනෙ. have කියන verb එක, අයිතිය හඟවන තේරුමෙං continuous tense එකක යොදන්න බෑ. It is a rule."
"වෙන මොන තේරුම් වලද have යෙදෙන්නේ?"
"කන බොන එව්වට. ඒවා, 'Sorry, I cannot come. I am having my lunch.' වාගේ continuous tense එකක යොදංට පුලුවං.
ඊලඟට, නාන මූණ හෝදන වගේ ඒවයෙත්, 'Darme is having a bath.' වගේ යොදන්න පුලුවං.
හා... තව අවස්තාවක් මතක් වෙනවා. මචං... රැස්වීම්, කොමිටි ගැන කියනකොටත් continuous tense එකක යොදංට පුලුවං... At that time the teachers were having a staff meeting. වගේ."
"ඒයි දුවපල්ලා... සිග්නල් ..."

"මේ ගොල්ලෝ ඇත්තටම interest එකක් තියෙනවද සපූ..?"
"දැනට නං ඒ වගේ. අපි බලමු reactions කොහොමද කියල. හොඳ නං කට්ටිය එක්කම කරමු... මොකද එහෙම කරනකොට අපිටත් revise වෙනවනෙ."
"ඔව්.. කට්ටියට වුවමනාවක් නැත්තං අපි දෙන්නා විතරක් හරිත් කරමු සපූ. ඒක හරි ප්‍රයෝජනවත්. නිදා ගනිමු මචං. Good nigth!"
"Good night!"

                               *                                        *                                           *

                       මට රෑ නින්ද යන්නේ නැතුව ටික වෙලාවක් හිටියා. අනික් ඔක්කොම නිදි. ඉඳහිට උඩ තට්ටුවේ කවුරු හරි දෙන්නෙක් එහාට මෙහාට යන සද්දයක් විනා කිසි හැල හොල්මනක් නෑ. ඒ ළමයිත් මේ සැරේ Advance Level කරන අය වෙංට ඕන.  හොඳට මහන්සි වෙන ළමයි කීප දෙනෙක් ඉන්නවා කියල කතාව තියෙනවා.

                       මට නොදැනිම කල්පනාව නතර වුනේ ජිනා නංගී ලඟ. අද ඩිස්කස් කරන  අතරේ මට කී සැරයක් නංගී මතක් වුනාද... එහෙම සාකච්චාවලට ජිනා නංගිත් සහබාගි කර ගංට තිබුනා නං කොච්චර හොඳද.. එක අතකට ඒක ඉතිං, එයා අපෙ ඉස්කෝලෙටම ආවත් හොස්ටල් එකේදී කරංට පුලුවං දෙයක් නෙවෙයි. නිවාඩුවට ගෙදර ගියාම තමයි ඔව්වා අය ආපහු එයාට කියවංට වෙන්නේ. කමක් නෑ.. ඒක මට මහංසියක් නෙවෙයි. පුලුවං වුනොත් දයාගෙ නංගී එක්කත් සාකච්ඡා කරනවා. මට, මයෙ අම්මා අප්පච්චිට, අයියට නැති වෙච්ච නංගිට එහෙම තෙරුවන් සරණින් යහපතම වෙංට ඕනෑ කියල නින්දට කලිං හිතෙං කරන ප්‍රාර්තනාවට අලුත් එකකුත් එක් වුනා. ජිනා නංගිගෙ කරදර නැති වෙංට කියන එක. එයාට තියෙන කරදර ගැන හිත හිත ඉන්න අතරේ දන්නෙම නැතුව මට නින්ද ගිහිං.

                       //සෙල්ලං කරංට වෙන කවුරුත් ආවෙ නෑ. ජිනයි මායි විතරයි. ගොයං කපල ඉවර වෙල හිංදා වෙලේ දැං වෙන වල් ජාති හැදිල. එව්වා අස්සෙං මුකුනුවැන්න යාං වෙල. නියරවල් වල නං ගොටු කොල වැලුත් තියෙනවා.
"ජිනා දාන්නවද මේ ගස් වලට කියන නම."
"නෑනෙ... මොනවද?"
"මුඩුමහන."
"පලයංට බොරු කියන්න්නැතුව. දැනෙයි... උඹ අපායේ යයි හාමුදුරු වරුංට විහිලු කරල."
"අම්මා පල්, බුදුං පල් ඇත්තටම කිව්වේ.. ජිනා."
"මෙව්වා මොනවද?"
"මං එහෙම ගසුයි වැලුයි ඔක්කොම දන්නෙ නෑ. ඒ වුනාට වඳුරු මෑ කරල් කියන්නේ ඔව්වට වෙංට ඕනෑ. කුඹුරේ හැදෙන්නෙ නෑ. ගොඩ විතරයි... ඔහොම වැටකටවත් යාං වෙල.."
"එව්වේ කරලුත් කනවද?"
"අප්පෝ නෑ."
"ඒ මල් වල ලස්සන බලපංකො... දං පාටට..."
"මෑකරල් මල් වාගේමයි... ලස්සන.
මේ ජිනා අපි මුකුනුවැන්න කඩමුද?"
"ඉතිං පොල් කොල තට්ටුවක් කොයි?"
"තට්ටු කොහෙංද වෙලේ... ඔඩොක්කට කඩමු. මෙන්න මෙහෙම ගවුම උස්සාන ඔඩොක්ක තනා ගංට...  නෑ නෑ... මෙහෙම."
"බෑ. එහෙම එපා. මාත් සපුගෙ ඔඩොක්කටම කඩන්නං.."
"හා..."
"මට දොට්ට යංට ඕනෑ.."
"ඉතිං ඔතන යංට.."
"අර ඈත පාර... එහෙනං උඹ මං මුවා වෙංට මෙතන හිට ගන්නිං. මං ඇස් දෙකත් පියා ගන්නං..."

                  ජිනා කෙලිං කටිං ඉඳගෙන ඩිංගක් වත් වෙලා ගියෙ නෑ... මට පේනවා ඒකී ලඟිංම තඩි නයෙක්... කුල්ලක් විතර පෙනේ කරගෙන... එනවා.

"ජිනාහ්......" //

"ඒ... සපු... සපූ... මොකද මේ.? බය වුනාද?"
"නැ.. නෑ.. දයා කෝ ජිනා?"
"මොන ජිනාද... ඔයා හොස්ටල් එකෙ ඉන්නේ.. පන්සිල් අරන් නිදා ගංට.."
"දයා.. ජිනාට කරදරයක් වෙනවා මං දැක්කා. පුංචි කාලේ හීනයක්."
"මට හිතුනා ඔයා හීනයක් දැකල කියලා. බලන්ටකෝ හඳ එලිය තියෙන ලස්සන.. දවාලේ වාගේ. නිදා ගංට."

"සපු... සපු..."
"ඇයි ලතා?"
"මොකෝ මේ රෑ තිස්සෙත් ජිනා කර ගහගෙන ඉන්නවයි කියන්නේ?"
"පොඩි කාලේ හීනයක් දැක්කා ලතා.. දයාද කිව්වේ?"
"හ්ම්... මොකක්ද දැක්කේ..?"
"ලතා හිනා වෙන්නේ එහෙම නෑ ඕං.... ජිනා මයෙ ඉස්සරහ චූ දාංට ලෑස්ති වුනා.  එතකොට තඩි පෙනයක් පුම්බාගෙන නයෙක් ජිනා ලඟිංම එනවා දැක්කා."
"අපොයි ... ඔයා බය වුනාද..?"
"මේ දවස්වල ජිනාට කරදර වගයක්. නිංද නැතුව ඒ ගැන ගොඩක් හිත හිත ඉඳල නිංද ගියේ. ඒකයි මයෙ හිතේ එහෙම දැක්කේ.
"නින්ද යන්නෙ නැති වෙලාවට බාවනා කරන්ට. එතකොට නින්ද යනවා. ඕන නම් මම කටහනක් දෙන්නං"
"ඒ කීවෙ?'
"හිතන්ට අරමුණක්..."
"මොකද්ද කියංටකො."
"ඔයා මයෙ ගැන හිත හිතා නිදා ගංට. එතකොට හරි."
"ඔය කමටහන තව අයට දීල ඇතිනේ. එතකොට ඒ ගොල්ලෝ එක්ක කමටහං පටලවා ගංටයි මට වෙන්නේ."
"සපූ... නෑ... සත්තකින්ම නෑ... ඔයා ඒ කමටහන ගත්තොත් වෙන කිසි කෙනෙකුට දෙන්නෙ නෑ."
"මං හිතල බලන්නං..."
"මේ...... පොඩි කාලේ චූ දානවට ගමේ මොකක්ද කිව්වේ...?"
"තෙමනවා.."
"ඒ සූටිම අයටනෙ.. ටිකාක් ලොකු වුනාම..?"
"හා.. මේ... 'බංගිරි කරනවා'... චූ දාන්නෙ නැතිව අපහසුවෙං ඉන්නකොට පොඩි අය කකුල් දෙක උඩ වාඩි කරවා ගෙන 'බංගිරි බංගිරි....' කියනවා."

                                                                                                  simple"s"
2019.08.02

පින්තූරය අන්තර්ජාලය ඇසුරෙන්.

උඩගෙදර කතා 164 (ලිං කටෙං වැටුන එකා 43)

ලිං කටෙං වැටුන එකා   43.

"අර කලින් දවසකත් ආව අයියා අන්න අදත් ඇවිත් ඉන්නවා. ඔෆිස් එක ලඟ."
"මං එන්නං... හොඳ වෙලාවට ෆ්‍රී පීරියඩ් එකක්." මං නියතපාලට කිව්වා.

                 පෑලිස් අයියා වෙංට ඕන. එයා අද මොකදෑ ආවේ. ජිනා නංගී ඉස්කෝලෙට බාර ගන්නං කියල පනිවිඩයක් වත් ප්‍රින්සිපල් සර්ගෙං ලැබුනා වද්ද? මට මහා සන්තෝශයක් ඉහ වහ ගියා.

"ආ මල්ලී. පංතියේ වැඩ වෙලාවේ වද්ද ආවේ.?"
"නෑ අයියා.. දැං නිදහස් වෙලාවක්. අයියා අද ආවේ?"
"මල්ලී මං හතරේ කණුවේ, ඇත්තටම එතනිං හැරිල ගියාම තියෙන උගුරැස්සපිටියේ හිතවත් කෙනෙක් මුණ ගැහෙංට ආව ගමං. ලංඟටම ආ එකේ ලොකු සරුත් මුණ ගැහිලම යංට හිතුවා."
"අයියා ජිනා නංගී ඉස්කෝලෙට ගන්නං කිව්වද ලොකු සර්?"
"නෑ මල්ලී.. සිස්සත්ව ළමයි එන්නේ එන වාරෙලු. එතකං මොකොවත් කියංට බෑ කියනවා. මං ඉතිං 'හොඳයි' කියල ලොකු සර්ට වැඳල එංට ආවා."
"ජිනාට අලුත් ඉස්කෝලේ හොඳයි කියනවද අයියා?"
"මල්ලී.. ඒක තමයි මේ ප්‍රස්නේ. ඉංටම බෑ කියල අඬනවා මල්ලී. අනික් ළමයින්නෙං හරියෙට කරදරයිලු."
"ඒ මොකද? ගොහොරි දානවා කියනවද..?"
"මල්ලී ඇඟට නං රෙදෙව්වත් කමන්නෑ කියමුකෝ. හරියට හිතට වද දෙනවලු. අපෙ තියෙන අඩු ලුහුඬුකං ගැන කිය කිය. උදේ හවා රෑ... කෙලවරක් නැල්ලු. මට බය කෙල්ලගෙ ඔලුව නරක් වෙයිවත් කියල. මහ කඩප්පුලි හැත්තක්. උන්ට මොන දේ ලැබෙනවටද අප්පා. තියෙන තුප්පැහිකම විනා."
"එහෙ ලොකු මැඩම්ටම කිව්වොත් මොකද.?"
"නංගී කියනවා එපා කියල. එතකොට තව දිග් ගැස්සෙයිලු. ලොකු ලොකු පව්ල් වල අයනේ. ඒ අයට මිල මුදල්, බලේ වැඩී මල්ලී. මං මෝඩ වුනා... කෙල්ල එහෙම ඉස්කෝලේකට නොදා ඉංටයි මට තිබ්බේ."
"ඉතිං අයියා අංජනං එලි අරිංටයැයි... මෙහෙම වෙයිද කියල."
"ඒක ඇත්ත මල්ලී.  මට දැං මොනවා හිතා ගංටත් බැරුව ඉන්නේ. මොන දුක විඳගෙනවත් එනවාරේ වෙනකල් ඉංට කියංටත් බෑ. 'ඉඩක් නෑ' කියල අන්තිමට මෙහෙ ලොකු සර් කිව්වොත් එහෙම කෙල්ල අනාත වෙනවානේ. අනික මේකිටත් ඉවසංට බැරිම තැනකදී වේගවත් වෙල ඔය මොකකිංවත් අර එකියකට ඇනලවත් ඇරියොත් එහෙම... මහ කරද‍ර ගොඩක්. කලුන්තැන්නටම වත් ආපහු එක්ක යනවද කියලත් හිතෙනවා. ඒකත් මහ නින්දාවක්. ඔහොම්ම ඉංට ඇරල අසනීපයක් වත් හැදුනොත් කියලත් බයයි... අනික නංගිගෙ පාඩං වැඩත් කඩාකප්පල් වෙනවා දිගට දිගටම."

                    මොන දේ ගැනවත් ගහක් ගලක් වාගේ ඉන්න පෑලිස් අයියා එක දිගට කියාන කියාන ගියේ හරි දුකෙං. මයෙත් බඩ පපුව පත්තු වෙල ගියා. පෙන්නුව තරමට වැඩිය මට දුක හිතුනා. ඒත් අහවල් දේ කරංට කියංට මටත් තේරෙන එකක්යැයි.

"තියෙනවා අයියා" කියල මං බේරෙංට හැදුවට පෑලිස් අයියා මට අයෙම රුපියල් පහකුත් දීලයි ගියේ.

                    මං ගමෙං එංට දවස් පහ හයකට කලිං, මඋසාකඳුරේ අපෙ කුඹුරට ගියා. අපි යනකොටත් මීදුම දියවෙල ගිහිං නෑ. කුඹුර ඉස්මත්තේ හදල තියෙන පොඩි පතහට මොනවාදෝ, කැලෑ කොළණියේ තියෙන තේක්ක වාගේ හීනි මල් ජාතියක් වැටිල උඩ පාවෙනවා. හරියට ලඟකඳී ඉඳල ජිනා නංගිගෙ කනට දාල තියෙන කරාඹු දෙක වාගේ ඒ මල්. මී දුම හිංදා බඹේකට වැඩිය ඈත පේන්නෑ. ටිකක්වත් පෑදිච්ච තැනක් පෙනුනොත් තප්පරයයි දෙකයි. ආයෙ වැහිල යනවා. දෙසැම්බර්  ජනවාරි මාස වල හැමදාම හැටිනේ.

                     මහ වැහි දෙකක් තුනක් ඇවිත් පෑව්ව දෙවෙනි දවස එදා. පැයක් හමාරක් යනකොට මී දුම දියවෙල ගිහිං නිලට නිලේ ආකහේ පෙනුනා. එහෙම වැහැල පෑව්වම අහසේ නිල් පාට වැඩී. ඒ තරමටම නැතත් ජිනා නංගිගෙ ඇස් දෙකේ නිලත් ඒ වාගේ කියල මට හිතෙනවා. ඒත් මේ දවස්වල අඬලයි තරහටයි ඒ හීනි ඇස් දෙක කොහොම ඇද්ද...

"අපි වීදුරු කෑල්ලක් හරහ බලනකොට පැහැදිලිව පේනවා. ඒත් ඒකේ එජ් එකකින්, වීදුරුව දිගේ මෙන්න මෙහෙම බැලුවොත් තද නිල් පාට අපිට පෙනෙන්නේ. ඇයි ඒ..? වීදුරු කෑල්ලේ තියෙන ඇහැට නොපෙනෙන තරම් ලා නිල්පැහැය එක් වෙලා අපිට ඒ  පෙනෙන්නේ. ඒ වගේම තමයි අපි අහස දිහා බැලුවාම. සාමාන්‍ය වායු ගෝලයේ තියෙන ඕසෝන් වායුව හරහා ඈත ඈත දකිනකොට නිල් පාටයි. අපිට පේන දුරදී ඒක තේරෙන්නෙ නෑ." විශාකා මැඩම් කියාගෙන කියාගෙන යනවා. ඉංග්‍රීසියෙන්. ඇත්තටම අපිට 'අහස ඇයි නිල් පාට?' කියන ප්‍රස්නේ මෙච්චර කල් ඔලුවට ආවෙ නෑනේ. විශාකා මැඩම් කතා කරන්නේ සින්දු කියනවා වාගේ. අහගෙන ඉංට ආසයි.

                      අපෙ කුඹුරේ ගොයම ඒ වෙනකොට පඳුරු ගහනවා. ඇස් දෙකට පිරිය හිතෙන විදියට යස නිල්ලක් වැදිල. ඇත්තටම නිල්ල කිව්වට ඒ කොල පාට. කොල පාටට නිල් පාට කියලත් කියනවා. නීල කොබෙයියොත් ඉන්නේ. ඒ වාගෙම තද කලු පාටටත් නිල්පාට කියන්නේ ඔය. "නීල වරළ" වාගේ. ඇයි මීමන ප්‍රේමතිලක මහත්තයා එයාගෙ "නිල් පාට" කියන කවි පන්තියේ කීයක් කලු පාට දේ නිල් පාටට දකිනවද... ස්ත්‍රී පියයුරු අගත්! ඒ වාගෙම කලු පාට නිල් පාට හැටියටත් සඳහන් කරනවානෙ. අග සව් වහන්සේ නමක් නිල් පාට වෙන්නේ, විශ්නු දෙයියෝ නිල් පාට වෙන්නේ, කලු කෙල්ලෝ බිනරමලී වෙන්නේ..... !

                      මං මේ හිත හිත ආව එක නෙවෙයිනේ දැං හිතන්නේ. පිස්සු... කෝක වුනත් මට හිතෙන්නේ යස ලස්සන ලා නිල් පාටට තිබුන ජිනාගෙ ඇස් මේ දවස්වල කොහොම ඇතිද! ඉදිමිල රතු වෙල ඇති. කොච්චරවත් මං මතක් වෙනවා ඇති. එහෙම හිතනකොට මට හරි දුකයි. මං දයාටත් කිව්වා.

"සපූ.... මම ප්‍රශ්ණයක් අහන්ට ඔයා තරහ වෙන්නෙ නෑ නේද? ජිනයි ඔයයි අතරේ තියෙන්නේ මොන විදියේ සම්බන්දයක්ද?"
"යාලුකමක් සහෝදරකමක් වාගේ...."
"කොටින්ම කියන්ට ඔය ආදර සම්බන්දකම් කියන්නේ... ඒ විදිහේ එකක් නෙවෙයිද?"
"අප්පෝ ..... කොහොමවත්ම නෑ දයා. ව්හිලු කර ගන්නවා. ඒ වුනාට එහෙම එකක් නෑ. අනික අපි තවම පොඩි එවුන්නේ. "
"ඒක ඇත්ත, ඉගෙන ගැනිල්ල අපෙ පලවෙනි අරමුණ වෙන්ට එපායැ.
හොඳයි... ඉස්සරහදී එහෙම වෙයිද......?"
"ඉස්සරහට වෙන දේවල් කොහොම කියංටද..?"
"ඔන්න හොරා අහු වුනා...! කමක් නෑ. කමක් නෑ. හැබැයි ඔයා නං පාඩං වැඩ පාඩු කර ගන්න එකක් නෑ. ඒත් ඔය කෙල්ලන්ට ඔව්වා හිතේ ගැඹුරටම කාවදිනවා. පාඩම් තියා ජීවිතෙත් එපා කියල හිතෙන වෙලාවල් එනවා ඒ අයට. මතක තියා ගන්ට."
"අප්පා...! මෙයා දන්න දේවල්. ඔයා කොහොම හිතා ගත්තත් කමක් නෑ. ඒ වගේ සම්බන්ධයකට කියන නමවත් මොකක්ද කියංට මං දන්නෙ නෑ. ජිනාටත් ඔය ඔක්කොම එහෙමයි කියල මට තේරෙනවා."
"හ්ම්...
සපූ... ගෑණු පිරිමි අයගෙ බොහොම ලඟ ආශ්‍රයක් කෙලවර වෙන්නේ අනිවාර්යයෙන්ම ඒ වගේ සම්බන්ධයකින් කියලා මම කොහේ හරි කියවලා තියෙනවා."
"වෙංට පුලුවන් දයා. But not necessary. එහෙම වෙනවම කියංටත් බෑ."
"මොනවද වෙන්නේ කියල මාත් බලාගෙන ඉන්නවා..! යහපත් දෙයක්ම වෙනවානම් ලොකු දෙයක්. Whatever it is... I shall be with you Sapu..."

                      අපි මේ විදියට ඉංග්‍රීසි වචනයක් දෙකක් කතාවට එකතු කෙරුවේ හිතාමතාම. ඒක අපි හතර පස් දෙනෙක්ගෙ කතාවක්. බාවිතයක් නැතුව ඉංග්‍රීසි ඉගෙන ගංට පුලුවනෑ. පුලුවං පුලුවං තැනකට ඉංග්‍රීසි වචනයක් වාක්‍යයක් වරද්ද වරද්ද හරි එකතු කරමු කියල අපි කතා වුනේ. ටිකක් ලැජ්ජහයි තමයි තාම. ඒ වාගෙම කියංට තියෙන එක හොඳම විදියට කියා ගංට බැරි වෙනකොට "මේ මොන බම්බුවක්ද?" කියලත් හිතෙනවා.

"සපු... 'But not necessary.' නෙවේ... එතන යෙදෙන්ට ඕන 'But not necessarily.'  කියලා adverb එක. ඇයි ඒ කියන්ට නම් මට තේරෙන්නෙ නෑ."
"Thank you Daya.."
"Don't mention Sapu..." එහෙම කියල අපි දෙන්නා මූණෙං මූණ බලාන හිනා වුනා, ටිකක් ටිකක් ලැජ්ජාවෙං. දයා මේ කෙරුවෙත් කතා වෙච්ච එකක්. කාතිං හරි වැරදීමක් වුනොත් ඒ ගමංම ඒක කියා දෙංට ඕන කියලත් කතා වෙලයි තිබ්බේ.  මං ඒකට කිව්වේ " On the spot correction " කියල. දයා කිව්ව එකෙත් මොකද්දෝ වැරැද්දක් හරි විසේසයක් හරි මට දැනුනා. ඒක හරියටම පැහැදිලි මදි හිංදා මං මොකුත් කිව්වෙ නෑ. ඒ වාගෙම එයා මයෙ වැරැද්දක් පෙන්නුව ගමංම මං එහෙම කියන එකත් හරි නෑ කියල හිතුනා.

                      ඒ වාගෙම තව අපි කතා වුනේ... අර හැමදාම ඉස්කෝලේ පේපර් බෝඩ් එකේ ඉංග්‍රීසි පත්තරත් එකක්වත් දානවනෙ; ඒකෙමුත් මොකක් හරි ප්‍රයෝජනයක් ගනිමු; ලස්සන යෙදීමක්, වචනයක් දැක්කොත් ලියාගෙන ඇවිත්වත් අනික් අයටත් කියමු කියල. ඒ වුනාට එව්වා තේරෙන්නෙ නෑනෙ අප්පා. හොඳයිම හොඳයි කියන, ඩේලි නිව්ස් පත්තරේ..කර්තෘ වාක්‍ය නං හොඳටම අමාරුයි. Yes no වාගේ වචනයක් දෙකක් ඇරුනම, අනික් වචන විසි පහකට එකක් විතර තමයි වැඩිම වුනොත් තේරෙන්නේ. ඒත් ඉතිං අතෑරලා දාංටත් බෑනේ. ගිය වාර විභාගේ ඉංග්‍රීසිවලට මට ලකුණු 42 යි. දයාට 44 යි. කලිං වාරේ 27 එක්ක බැලුවම මයෙ ලකුණු ගැන මට සංතෝශයි. අර වන්නියේ ඉඳල ඇවිත් ඔයෙ මදැයි. රිපෝට් පොතේ මගෙ ඒ ලකුණු 42  ඉස්සරහයිං ' Satisfactory ' කියල ලියල විජේසේකර සර් එයාගෙ කෙටි අස්සනත් දාල!

                                                                                            simple"s"
2019.07.29

පින්තූර 01 හා 02 අන්තර්ජාලය ඇසුරෙන් .