Saturday, November 17, 2018

උඩගෙදර කතා 09 (අක් කොල්ලා කෝ)


                   "අක්කා කොල්ලා කෝ.."

මගෙ අප්පච්චිගෙ කෘෂිකර්ම (ප්‍රායෝගික) පාඨමාලාවෙන්..                (අංක 09)

            ටික දවසකිංනෙ. අප්පච්චි එදා මං එක්කරගෙන ගියේ හේනට. වත්තකුයි හේනකුයි දෙකක් අපිට තියෙනවා. වත්ත වරකා ගහ ඇලේ. හේන හුඟක් ඈත..උනගොල්ලේ. අප්පච්චි කිව්ව හැටියට මේ අව්රුද්දේ වත්ත තමයි ඊළඟ අවුරුද්දේ හේන. එහෙම එහෙම අලුත් වතු හද හද ඉස්සරහට යනවලු..

            අපි හේනට යද්දී අප්පච්චි කීව තැං කීපයක් පහු වුනා. ඔන්න අපෙ වත්ත පහු වුනා. මට ආසා හිතුනත් එතන පමා වුනේ නෑ.
            අපෙ වත්ත වාගෙම තව වතු මැදිං යනකොට කැලයක් හම්බුනා. ඒකේ නත්තසූරිය මල් වල කහ පාටයි, හිඟුරු මල් වල ලා කහ පාටයි රතු පාටයි එකට එකතු වෙලා, හරියට හීං මාමන්ඩිලෑ කිරි නංගී පෙලක් දවස් වල අපෙ සෙල්ලං ගේ අම්මා උනාම ගව්මට උඩින් පටලවා ගෙන ඉන්න, නැන්න්දම්මගෙ පරන චීත්ත කෑල්ල වාගේ.
             ඒ උනාට කල වැල් ගොන්නේ පිරිල තිබ්බ පුංචි මල් කන්දරාව හරිම ලස්සනයි. ඒ මල් හරියටම අපෙ ගේ ලඟ ඇල අයිනේ තියෙන කරඳේ මල් වාගේ. ලාම ලා නිල් පාටක් ගෑවිලා මල මැද්දේ. එව්වේ පැණි බොංටං ඇවිත් එහෙට්ට මෙහෙට්ට ඉගිලෙන මී මැස්සෝ රොත්ත ඉස්කෝලේ ඇරුන වෙලාවට ගේට්ටුව ලඟ පිරෙන ළමයි වාගේ තමයි.
            ටිකක් එහාට වෙංට ලස්සනට නිල්ම නිල් පාටට හීනි මල් ගොඩාක් පිරුන ගහකුත් තිබ්බා. කොරකහලු.
             තව රුක් අත්තන ගහකුත්. ඒකේ මල් හුඟක් ලස්සන නැති වුනාට හරි සුවඳ. පැත්ත පලාතම..

                      කැලේ පහු වුනාම හීං මයිලත්ත ගාවා කියන තැන. එතෙන්දී හරියට කන්දේ එහා පැත්තට ගියා වාගේ. අඩි පාර දෙපැත්තේ තව වතු. ඈතිං පේන්නේ කලවල ගමට උඩිං තියෙන රූස්ස කැලෑව කියලයි අප්පච්චි කිව්වේ. ඒ කැලෑවට එහායිංලු මාවැලි ගඟ. ඒක පේන්නෑ. ඒ වුනාට ඒ පැත්තේ තියෙන වලලු වලලු කඳු ගොඩ ලස්සනේ බෑ. ලඟම තියෙන එව්වා කොල පාට වුනාට එහාට යංට යංට තියෙන වලලු කොල පාට අඩු වෙවී පේන්නේ ලාවට ලාවට කලු පාට. ඒ කලු පාටත් අඩු වෙවී ගිහිං ඈතම කන්ද නං අලු පාටයි. අන්තිමටම පේන්නේ ආකහේම වාගේ.

"අප්පච්චි අන්න අර කැලේ ඈතිං ඇහෙනවා කොල්ලා කොයි.. අහනවා."

                 ඒ කුරුල්ලගෙ සද්දේ හරියට අක්කා කොල්ලා කොයි කියනවා වාගේ. එයා 'අක් කොල්ලක් කෝ' කියනවා තමයි මට නං හරියටම ඇහෙන්නේ. කියන දෙසරයක් මැද්දේ ටික වෙලාවක් මාන්සි අරිනවා. අපි එයාට කියන්නේ 'අක්කා කොල්ලා කොයි කුරුල්ලා' කියල.

"මයෙ පුතා එයා ඉන්නේ ඔයෙ මා වැලි ගඟ දෑලේනෙ. කොහෙන්දෝ මෙහෙට එන්නෙත් කාලෙකට විතරයි."
"ඒ වුනාට ඒ කැලේ මැද්දෙං ඒ සද්දේ ඇහෙනකොට හරි ලස්සනයි නේද?"
"අපෙ හේනට පහලිං තියෙන ගොම්මනෙත් තව බෝම කුරුල්ලන්නේ සද්ද ඇහෙනවා මයෙ පුතා.."

                 ඊලඟට අපි ගිය අඩි පාර ලඟිංම පුංචි ලිඳක්. එතන දෙපැත්තෙන් ආව කඳු දෙකක් එකතු උන තැනක්. එහෙම තැන්වලලු උල්පත් හැදෙන්නේ.  ලිඳේ වතුර ටිකක් මං දෝතිං ඇන්න බිව්වා. අප්පා හරිම හීතලයි.
"මයෙ පුතාට මාන්සිද?"
"අනේඒඒ නෑ අප්පච්චි. මෙව්වා බල බල යනකොට මට කිසි මාන්සියක් නෑ."

"මේ හරියට කියන්නේ අබසිං පිටිය කියල."
                 ඒ ඊලඟට ආව තැන... කන්ද මුදුනේ හරියට තැනිතලා සෙල්ලං පිට්ටණියක් වාගේ. ඒක පහු වෙනකොට පාර පුංචි කන්දක්. ගල් පිල ලු. වං අත පැත්තේ තඩි ගස් එක්ක මහ හෙලක්.

                 තව කැලෑවක් දෙකක් පහු කරගෙන අපි ආවා අපෙ හේනට! අම්මාපල්... ලස්සන හරියට දවසක් හීනෙං දැක්ක දිවිය ලෝකේ වාගේ.

                  ලඟිං ලඟ තව හේං යායක්ම. අපෙ හේනේ කඩුල්ල මට නං ටිකක් උස වැඩී. එම එහා පැත්තේ සුදු පාටයි කොල පාටයි එකතු වුන කරල් හැදිච්ච ලොකු කුරහං පැලැස්සක්. ඒකේ කුරහං මැද්දෙම ඈතිං ඈතිං ඉරිඟු ගස් උසට. තව අබ ගස් මෑකරල්  කුරුළු දඹල මුං ඇට වාගේ වැල් ජාති, තණ වී බන්ඩක්කා එක එක ජාති. ඈතිං ඈතිං. ඒ වුනාට වත්තේ වාගේ කිසි දෙ‍යක් පිලිවලකට පේලියකට නෑ. ඉරිඟු පඳුරු නං ටිකක් පේලියට මායිං කරල.

"අප්පච්චි කුරහං ගස් බේරල එදා කියල දුන්න විදියට මේ ගස් වලට එහෙම පස් දාන්නේ කොහොමද?"
"ඔව්වට පස් දාන්නෑ මයෙ පුතා. මයෙ පුතාට මතකද අම්මා, වපුරන්ට බිත්තර කුරහං තැනුව හැටි. ආං එව්වට ඔයෙ අනික් ඇට ජාති එකතු කරල තමයි කලවං කෙරුවේ. එව්වා ඉහල උදැල්ලෙං ඇදල පස් වලට කලවං කරනවා. ඒ වෙනකොට හැදිල තියෙන වල් පැලෑටිත් කැපිල යනවා. ඊට පස්සේ පුළුවං පුළුවං වෙලාවට වල් අතිං ගලවනවා. ඉතිං ඔයෙ වාගේ ඔක්කොම කලවමේ හැදෙනවා. "

            මට හදිස්සිය තිබ්බේ හේන මැද්දට වාගේ වෙංට හදල තිබ්බ පැලට යංට. ඒත් පැලට කිට්ටුවෙං හදල තිබ්බ ගෙඩි,කරල්, පලු පිරිච්ච ගස් වැල් බල බල හෙමිං හෙමිං තමයි ගියේ.

            කරල් ඉරිඟු පැලැස්ස... ගස් නං ඉරිඟු ගස් වාගේ. ගස් මුදුනේ කරල් තියෙන්නේ. කරල ඉරිඟු කරල් වාගේ කොල වලිං වැහිල නෑ. පබලු ඇට තරම ඒ ඇට වල බරට කරල් පැත්තකට නැමිල. එව්වට ඉදල් ඉරිඟු කියලත් කියනවා. ඒ වුනාට අප්පච්චි කියන්නේ මෙව්වා වාගේ එක ගහක් නෙවෙයිලු ඉදල් ඉරිඟු,  අතු කීපෙයක් තියෙන ගහක්ලු.

             දවසක් අප්පච්චි ගෙදරදී කට තල තල හිටිය ටිං එක කරල් ඉරිඟු පැලැස්ස මැද්දට වෙංට එල්ලල.  ඒක 'සොකඩේ..' ඒකේ ඉඳල නහ පට්ටා වලිං අඹරපු ලණුවක් පැලට යනකල් ඇදල. ඒ ටිං එක ඇතුලට ගල් කැට දෙකක් දාල. ඉතිං පැලේ ඉඳල ඒ ලණුව ඇද්දම සොකඩේ සද්ද වෙනවා. කරල් ඉරිඟු ඇට එහෙම කංට එන කුරුල්ලෝ බය වෙල ඉගිලිල යනවා.. 'සියෝ සියෝ.. ' කියල හයියෙං සද්දත් කරනවා.

                  පැලට පැත්තකිං ඉරිඟු පැලැස්සකුත්. වෙන තැං වල වාගේ ගොඩක් ඈතිං ඈතිං නෙවේ. ගස් ලඟිං ලඟ. එව්වේ කරල් ඇවිත්. කරල් අග රව්ල්.

                 තැං තැං වල මුං පැලැස්සක්, කොල්ලු පැලැස්සක්, අබ පැලැස්සක්, අසමදකං පැලැස්සක්, එක තැනක බටු එහෙම ගස් ටිකකුත්.

"අප්පච්චි මේ ඔක්කොම,  පැලට කිට්ටුවෙංම හදල තියෙන්නේ ඇයි?"
"එතකොටනෙ සත්තුංගෙං ආරස්සා කර ගංට ලේසි. මෙව්වට කුරුල්ලෝ සත්තු එහෙම එනවා වැඩී."
    
                   දොරකඩම කමත. ඒක වටේට නියර වාගේ බැඳල. මැටි ගාල. ලොකූයි..

                    පැලේ ඇතුල දැක්ක හැටි නං ජීවිතේට අමතක වෙන්නෑ. පැල හතරැස්. එක පැත්තක් දිගෙං වැඩී. ඒකේ පලේ .., අර වහලේ කියන්නේ...., පිටි පස්ස කෑල්ල අපෙ සෙල්ලං ගේ වාගේ දෙපැත්තට බාල. ඊට ඉස්සරහිං තියෙන කෑල්ල අර දෙකට බෙදුව තැන මැද්දේ හිටවපු කනුවක ඉඳල ඉස්සරහ කොං දෙකේ කනු දෙකට යට ලී දෙකකිං, වහලේ ඉස්සරහට පේංට බාලා. ඒ දෙකට බෙදපු තැනත් හරහට බිත්තියක්. වහලේ ඔක්කොම ඉලුක් වහල. පිටිපස්සේ කෑල්ලෙයි ඉස්සරහ කෑල්ලේ බිත්ති දෙකක් ඇර අනික් බිත්ති වලටයි ඉදල් අතු ඇදල තියෙන්නේ කනු දෙපැත්තෙං බැන්ද ලී මැදිං. හරස් බිත්තියටයි පිටි පස්සේ කෑල්ලේ ඇතුල් පැත්තටයි තරමක් උසට එනකල් වේලිච්ච මඩු අතු ඇදල. ලඟිං ලඟිං හිංදා හූනෙක්වත් ඇතුලට එනවා බොරු!

                   අන්න ඒ ඉස්සරහ සාලේ වාගේ කෑල්ලට කියන්නේ ඔත්තප්පුව කියල. ඔත්තප්පුවේ එක මුල්ලක ටිකක් උසට මැටි වලිනුත් බැඳල. ඒ පැත්තෙං නෙවෙයි, අනික් දෙපැත්තෙං ඔත්තප්පුව හේනට ඇරිල තියෙන්නේ. ඇතුලේ කෑල්ලෙං ඔත්ත්ප්පුවට එංට දොරකුත් තියෙනවා. ඒකට පැලැල්ලක් බැඳල.

"අප්පච්චි මේ ටිකට ඇයි මැටි..?"
"ඔතන ලිපක් බඳිනවා. පැල් රකිනකොට එහෙම  වතුර ටිකක් වත් උනු කර ගංට. දවසක් හමාරක් මොනවා හරි උයංටත් වෙයි කුරහං කැපෙන දවස් වල."

"කුරහං කපන කොටත් මට එංට ඕනෑ. එතකොට ලස්සනට කවිත් කියනවානේ. කවි අහගෙන ඉංට නං ආසයි. ඒ වචන නං මට තේරෙන්නෙම නෑ අප්පච්චි."
"ඒ වැඩියෙංම කියන්නේ තුං සරණේ වාගේ පොත්වල කවි. සමහර වචන මැද හ යන්න වාගේ වැඩි පුර අකුරක් දානවා. කවියක් ඉවර වුනාම, 'ආහා ආහායෙං ආ.." කියනවා. අන්න එහෙමයි ඔයෙ කවි තාලෙට ඕසෙට කියන්නේ. විසි පහක් හිහක් කියනකොට ලස්සනයි."
"අප්පච්චි ඉතිං ඔච්චර කාන්ඩේ නිකං ඇවිද්ද අපෙ කුරහං කපල දීල යන්නේ?"
"නෑ මයෙ පුතා අත්තමට."
"ඒ කියන්නේ?"
"ඒ කියන්නේ ඉතිං තම තමන්නේ කුරහං කපන  දවස කතාවෙං බෙදාගෙන කට්ටියම එකතු වෙල අද එක්කෙනෙක්ගෙ කපනවා. හෙට තව එක්කෙනෙක්ගෙ. ඒ වාගේ ඔක්කොම ඉවර වෙනකල් හැම දෙනාම ඒකටයි මේකටයි යනවා. එක ගෙදර බවලත් ඇත්තෝ දෙතුං දෙනෙක් ඉන්නවා නං එක දවසේ දෙතුං දෙනෙක්ගෙ අත්තං වලට යනවා. කුරහං තලන්නෙත් ඒ වාගේ. වෙන වැඩටත් එහෙම කරනවා ගොයං නෙලනකොට ගොයං කපන කොට එහෙම."
"ඉතිං අප්පච්චි අපෙ ගෙදර අපෙඅම්මා විතරයිනෙ."
"අම්මගෙ අත්තං ගෙවන්ට ලොකු  අප්පච්චිගෙ දුවලා ලොකු අම්මා එහෙම යනවා. අම්මා ඒ ලොකු අම්මලෑ දෙතුං දෙනෙක් කපන වෙලාවට ආපහු උදව් වෙනවානෙ. අපිටත් එහෙමයි."

"එතකොට අර දවසක් අපෙ ගෙදර ලඟ වෙලේ 'බුලත් දීමනේ යන්ට හූ' කියල කිව්වේ කට්ටියක්..?"
"ඒක මෙහෙමයි මයෙ පුතා. කාගෙ හරි ගෙදරක වැඩ කාලෙක මරණයක් කරදරයක් වුනොත් ඒ ඇත්තන්නේ වැඩ කර ගංට බැරි වෙනවානෙ. ඉතිං වැඩේ යොදා ගත්ත දවසට දෙදවහකට විතර කලිං ගමේ වැඩිහිටි වැදගත් කෙනෙක් එක්ක ඒ ගෙදර කෙනෙක් හැන්දෑවට ගෙවල් ගානේ ගිහිං, අහවල් දවසේ අහවල් වැඩේ කර ගංට උදව් කරංට වෙයි කියල බුලත් කොලයක් දීල ආරාදනා කරනවා. ඒකට යොදා ගන්නේ දෙපෝයක් වාගේ මිනිසු තමන්නේ වැඩත් නොකර ඉන්න දවසක්. ඉතිං ඒ දවසේ උදේ ගම මැද්දේ ඔහොම හූ කියල මිනිසු එකතු වෙල ගිහිං කෑමට කලිං ඒ වැඩේ ඉවර කරල දීල යනවා. කිසි කෙනෙක් ආලිස්සං කරන්නෑ. ඇයි වැරදිල වත් තමංටත් කරදරයක් වුනොත් එහෙම. අනික ඉතිං එහෙම එකක් නූනත් උදව්වටත් එක්ක."

"ඒක හරි සෝක්නෙ අප්පච්චි,
ඇයි අප්පච්චි ලිප පැල ඇතුලේ බඳින්නැත්තේ?"
"ඇතුලේ මයෙ පුතා ඔයෙ මුලු කෑල්ලෙම අටුවක් හදනවා. කපන කපන කුරහං කරල් හොඳට වේලල තලන කල් ඒ අටුවේ පුරවනවා. ඒක මට්ටං කරල ගත්තම මෙට්ටෙයක් දාපු ඇඳකට වැඩිය සනීපයි. හීතල කාලේ කියල නෑ හීනියට රස්නේකුත් තියෙනවා. හොඳට නින්ද යනවා. "
"මටත් අටුවේ ඉංට ඕනෑ" කියල මං කිව්වේ සොකඩේ ලණුව අදින ගමං....
   
                                                       simple "s"
2018.01.09

*************
පසු සටහන්:
* ඉහත සටහන මතු සම්බන්ධයි...
* මෙහි සඳහන් වූ නම නොදන්න, ආදරණීය කුරුලු හඬ,   ('මදුමතී' චිත්‍ර පටියේ) 'සුහානා සෆර් ..' මුල් ගීතයේ මුලින් ඇති සංගීත වාදනයේ ඇසිය හැකි ය.
Webmusic.IN

               
              
               

            

No comments:

Post a Comment