Saturday, December 22, 2018

උඩගෙදර කතා 110 (ලිං කටෙං වැටුන එකා 02)


"ලිං කටෙං වැටුන එකා ......"  02

                  තවම අවුරුදු දාසයයි මයෙ මල්ලිට. හැබැයි රජ කාලේ නං ගෑණියෙකුත් කැන්ඳාන ඇවිත්. ඉස්කෝල ගමන අතෑරුන, ගමේ හුඟක් ගෑණු පිරිමි ලමයි දැනුත් එහෙමම තමයි. ආකහෙයි පොලොවයි එක්ක අංකරේ අල්ලන කොල්ලන්නේ කෙල්ලන්නේ ජීවිත!

                 ගමේ ගොයිතැං කරන්නේ අහස් දියෙං.ඒ කාලෙට වැඩ එන්නේ එක පිට එක. එතකොට කොල්ලංට තමුන්නේ අත් දෙක මදි. අම්මා අප්පලත් කොල්ලා ගැන බයයි. එක්කෝ කොල්ලා අඳුර ගත්ත ලමිස්සියෙකුට ඒකා හිංදා බඩක් හැදෙයි. අප්පෙක් නැති දරුවෝ ඉන්න බවලත් කෙනෙක් වෙංටත් බැරි නෑ. නැත්තං නොපෑහෙන තැනකිං කෙනෙක්. අම්මා අප්පා වුනාම මේ වාගේ කීයක් දේ හිතංටද! 

                 පෙළවහක් කරල දුන්නම ඔක්කොම හරි. මහ දෙන්නත් එහෙම හිතයි. ඒ වුනාට ඉං පස්සේ...? අහංට දකිංට ලැබෙන එව්වත් හුඟක් වෙලාවට හිත කීරි ගැහෙන කතා.

                     *                          *                           *

"තෝ කාටද මේක ලිව්වේ?"

"තෝ කාටද මේක ලිව්වේ පෑලිස්.. කතා කරපිය."

                   තව වේවැල් පාරවල් දෙකක්. පස්සා පැත්ත කීරි ගැහිල යන වේදනාව දැනුනත් පෑලිස් ගල්ගෙඩිය වාගේ.

"තෝ මොකීටද මේක ලිව්වේ.. මට ඒකිත් පට්ටා ගහංට ඕනෑ. මෙතනම. කියාපිය තිරිසනා. අනික් එවුමුත් බලා ගනිල්ලා. මං දන්නවා තෝ කතා කරවන හැටි.."

                 තවත් වේවැල් පාර දෙකක්. ඒත් පෑලිස් නෙවෙයි කට අරින්නේ. දෙන්නෙත් එසේ මෙසේ පාරවල් නෙවෙයි. වෙන එකෙකුට නං හුජ්ජත් යන එව්වා. ලොකු මහත්තයා තරහිං වෙව්ලනවා.

"තොගෙ වයස කීයද? තව එක සැරයක් මෙහෙම එව්වා මෙතන වෙන්ට ඉඩ තියන්නෑ මං. මයෙ ඉස්කෝලේ නම්බුව කෑවා මේකා. ඇටෙං පොත්තෙං එලියට එන්ටත් කලිං..."

"මං ඇහැව්වේ තොගෙ ..."අයෙත් වේවැල් පාරක්.

"කීයද තොගෙ වයස බොල?"

                        *                         *                        *

                   පෑලිස්ට අවුරුදු දහතුනයි. හොර ලිව්මක් එක්ක ගුරුවරුංට අහුවුනා. මේ ගැන මහ කැටියක් ප්‍රශ්න අහල. කොල්ලගෙ අප්පටත් උත්තර බඳිංට වෙල. 
                   අන්තිම තීරණේ වුනේ කොල්ලා අස් කරංට. ඉස්කෝලෙං. අම්මා අප්පා අහිංසකයෝ. මෙහෙම එක්කට ගහ බැණ ගංටත් හයියක් නෑ. ඒත් උන්ටත් තමන්නේ පැටියා මැණිකක්. ගහල බැනල ගෙදර තියාන කංට බොංට දුන්නා. පුලුපුලුවං විදිහට.

                  කොල්ලා ටික ටික මහ දෙන්නත් එක්ක වත්තේ පිටියේ වැඩටත් ගියා. ගමේ කිසි කෙනෙකුන්නෙං නරකක් අහ ගත්තෙත් නෑ. හොඳක් විනා. වෙච්ච කරදරේ ගැන ලැජ්ජහයි. මුළු ගැන්නිලම ඉංට වැඩි කැමැත්ත. කරදඬුත් බලා ඉද්දී මෝරල ආවේ.

                  කල් යනකොට පැලිස්ගෙ පංතියේ හිටිය හුඟක් කොල්ලන්නේ ඉස්කෝල ගමන නැවතුනා. උන්නේ විතරක් නෙවෙයි ඩිංගිරීගෙ, පුංචිගෙ, බේබිගෙ එහෙමත්. හේනේ වත්තේ වැඩ කාලෙට, කුරහං කපන කාලෙට, වෙන වෙන වැඩට පොලට. කෙල්ලොංට නං වෙන වැඩ රාජකාරිත් තිබ්බා. කුරහං අඹරංට, නංගිලා මල්ලිලා බලා ගංට. තරාදි පඩි සැට් එක වාගේ බාල එවුං කී දෙනෙක් ඉන්නවද?  අවුරුද්දක් ගානේ වදපු එවුං. හොටු පෙරාගෙන, කහිරළු වෙච්ච ගවුං, කමිස කෑලි ඇඳගෙන, පණු බඩ ගෙඩි එලියට දාගෙන...

                   ඩිංගිරී ඉස්කෝලේ එවන්නෙ නැතුවට නං නඩුවකුත් වැටුනා. එදා ගම්සබා උසාවියට කෙල්ල එකතු කරගෙන ගියේ චීත්ත කෑල්ලකුත් පටලවා ගෙන. වයසත් බොරු ගානක් කිව්වා. එව්වා අයෙ කව්රුවත් හාගිස්සංට ගියෙ නෑ. නඩුව අහක දැම්මා. නඩුව දැම්ම නඩු මහත්තයත් ලොකු විරුද්දයක් පෑවේ නෑ.

                  ඉඳහිට දවසක පෑලිස්, මේ කෙල්ලෝ ඈතිං දැකල නං තියෙනවා. ඒත් මතක ඇති කාලේකිං කාටවත් කතා කරංට ගියේ නෑ. කතා කරංට පෑලිස්ගෙ හිතේ කෝං කමකුත් තියෙනවා. අර හොර ලියුං පලහිලව්ව හිංදා. උමුත් කොහොම හිතාන ඉන්නවද දන්නවායැ. කාලේකට ඉස්සර නං එකට සෙල්ලං කරලත් තියෙනවා. ඉස්කෝලේ යද්දී නං පෑලිස් උන්නේ වීරයා. උන්නේ විතරක් නෙවෙයි, පෙලක් කොල්ලන්නෙත්.

                  මේ කියන දවසේ ඔය කෙල්ලක් පෑලිස්ට මුන ගැහෙනවා අහම්බෙං. වැව ලඟ ආන්ඩුවේ රිසිවේසන් කෑල්ලෙදි. පෑලිස් නාංට යනකොට කෙල්ල නාල එනවා. කෙල්ල කරඹ මලක් කඩා ගංට හදනකොට කට්ටක් ඒකිගෙ ඇඟිල්ලක ඇනෙනවා. කොයි තරං වැඩපොල කෙරුවත් සිනිඳුවෙල රෝස පාටට තියෙන ඇඟිල්ලක.

                   ගස්සල අත පස්සට ඇන්න ඇංහිල්ල  කටේ ඔබා ගන්න කොටමයි පෑලිස්ගෙ කට හඬ ඇහුනේ. පටු පාර. කැලෑව. එක පාරම කෙල්ලට බයක් නොගිතුනා නෙවෙයි. ඒත් පෙන්නුවෙ නෑ. දන්න කියන එවුංනෙ.

"ඇනගත්තා නේද?"
"අනේ පෑ...ලිස් අයියා.... !"
"නංගී නාංට ගියාද?"
"ඔව් අයියා.. අප්පෝ කොච්චර කාලේකිංද! හිතල  ඇනගත්තා නෙවෙයි අයියා. අර කරඹ මල කඩා ගංට හැදුවේ."
"මං කඩල දෙන්නං... කෝ, එහාට වෙංට."

                        *                        *                        *

"අයියා එදා සූවිසි දවසකත් ඉන්නවා නං දැක්කා. පංසලේදිං. ඒ වුනාට අයියා ඉස්කෝලෙං පිට වුනාට පස්සෙම කතා කරංට ලැබුනෙ නෑ."

"ඒ දැං අවුරුදු පහ හයකට කලිංනෙ නංගී. මාත් ඉං පස්සේ  කතා කරංට ලොකු වුවමනාවක් ගත්තෙ නෑ. තවම ගමේ සමහර ඇත්තෝ මයෙ දිහා බලන්නේ මහ නරක කෙනෙක් හැටියටනෙ. ගමෙං යංට හිතිච්ච වාර අනන්තයි. ඒත් ඒක කරංට මට හිතෙන්නෙ නෑ. අම්මයි අප්පච්චියි... තව තව හේතු තියෙනවා."

"ඔව්... මට හිතා ගත්තෑකි. අර කෙල්ලත් ඉන්නවා නේද? අනේ අයියා.. මේ... මං.. විහිළුවක් කේරුවේ. ඒ කාලේ වාගේ ටොකු අනිංට එහෙම බෑ ඔන්න."
"ඇයි...?"
"දැං අපි පුංචි එවුං නෙවෙයිනෙ.... "
"ඇත්තට අපි ඒ කාලේ කොච්චර විහිළු කර ගත්තද... හිනා වුනාද නේද? තවම මේකිගෙ කට නං ඒ වාගේමයි."

"අයියට වෙච්ච එක ගැන අපිට හරියට දුක හිතුනා."
"ඔව්වා ඔහොම තමා. පව් ගෙවිල ඉවර වෙනකල්.."
"අයියා ඇත්තටම ඒ ලියමන ලිව්වේ කාට දෙංටද?"
"අනේ නංගී ඔය ලියමන... ලියමන... කොයි තරං, කී දෙනෙකුට උත්තර කිව්වද... දැං ඒ කතා වැඩක් නෑ."
"ඒ වුනාට ලොකු මහත්තයට නොසෑහෙංට තරහ ගියාලු. වැඩියෙංම ඔන්න ඕක කිව්වෙම නැතුවටලු. ඉතිං දැංවත් කියංටකො. ඉස්කෝලෙං වාගේ ගෙදරිං පන්නා ගනියි කියල බය වෙංටයැ."

"ඔය ඇඟිල්ල රෙදෙනවද?"
"ඒක නෙවෙයි මං ඇහැව්වේ."
"ඒක නෙවෙයි.. මං ඇහැව්වේ අර ලියමන ලිව්වේ කාට දෙංටද කියල. ලොකු මහත්තයා අයියට ගහන කොට අපිට ඇඬුනා."
"වෙන කව්ද ඇඬුවේ..?"
"තව.. .... මට දැං හරියෙට මතකත් නෑ. ඒක නෙවෙයිනේ මං ඇහැව්වෙ..."
"මේ ලියමනක් අල්ලාගෙන දඟලනවා. කියංටකෝ දැං මොනවද කරන්නේ.. අයෙ ජේස්ටේ.."
"ඔය බොරු කතා එපා. හා.. හා.. කමක් නෑ එක්කෝ කියංට බැරිනං."
"ඔව් අප්පා, මෙතන ගොඩක් වෙලා හුටු හුටු ගගා ඉඳල කව්රුවත් දැක්කොත් අයෙ ගමපුරා පදයක් හැදෙයි. අපි දැං යං නංගී.."
"හොඳයි අයියා.. එදත් ඕක කියන්නෙ නැතුවනේ ඔය හැටි ගුටි කෑවෙයි. ඉස්කෝලෙමුත් අස් වෙංට වුනෙයි, ඔක්කොම. අයෙ මං කරදර කරන්නෑ."

                   පෑලිස් අතේ තිබ්බ කරඹ මල් කිනිත්ත එයාගෙ නහයට කිට්ටු කෙරුවා. 

"හා.. හා.. එපා. ඔය එක එක මල් ජාති වල සුවඳ බලංට හොඳ නෑ. එව්වේ ඉන්න පුංචි පුංචි සත්තු නහයෙං ගිහිං පෙනහලු වලට යනවා. ඒක හරි බයානකයි."
"අප්පා මේකී පැහිල ඉන්න තරං.... පෙනහලු වලට නං කමක් නෑ. අර මොකක්දෝ තව වස්තුවක් තියෙනවා කියන්නේ, අන්න ඒකට තව මොකියක්.. නෑ නෑ.. මොකෙක් හරි රිංගා ගත්තෙ නැත්තං ඇති."
"ඒ කියන්නේ දැනටමත් එකියක් රිංගාන ඉන්නේ?"
"ඔන්න ඔය කොනකට වෙල ඉන්නවා වාගේ දැනෙනවා.."
"හ්ම්... අර ලියුම දෙංට හිටිය වාසනාවන්ති වෙංට ඇති. මේ.. ඒක නෙවෙයි, අයියා කොහෙං හරි කතා පොත් කියවනවා නේද? හොරෙම්ම ඉස්කෝලේ පුස්තකාලෙටවත් යනවද?"

"ආ මෙන්න මේ මල.... හොඳයි... නංගී, මං අර කව්ද කියල කියන්නං. හැබැයි මට පොරොංදුවක් වෙංට ඕනෑ. වෙන කිසි කෙනෙකුට කියන්නෑ කියල. මොන හේතුවක් හිංදාවත්.. කිසි කෙනෙකුට කියන්නෑ කියල"
"කපල ගඟේ දානවා කිව්වත් කියන්නෑ අයියා."

"නංගී... මං, ඒක ලිව්වේ කාටද.. ?  ඔව්... එදා මං ඒක කිව්වා  නං... මේ ලෝකේ හසරක් දන්නැති... ඔව් මේ ලෝකේ හසරක් දන්නැති නංගිත් හොඳටම ගුටි කනවා.. නංගිගෙ ඉස්කෝල ගමනත් එතනිං නවතිනවා..."
"අයී..යා......"
"හා දැං යංට... හෙටත් මං මේ වෙලාවට නාංට එනවා.. නංගී අකමැත්තක් නැත්තං එංට. කියංට තියෙන දෙයක් එතකොට කියංට.."

                                                  simple "s"
2018.12.22

No comments:

Post a Comment