Monday, October 28, 2019

ලිං කටෙං වැටුන එකා.   51

"ඔන්න තව එක වාරයයි..."
"ඔච්චර බය වෙංට එපා අයියා. උඹට ඔය විභාගේ හොඳිම්ම කර ගංට පුලුවං."
"මං මොන විභාගයක් ගැනවත් මෙහෙම බය වුනේ නෑ. ඒ වුනාට ඕලෙවල් ගැන නං හිතේ කිසි විස්වාසෙයක් නෑ."
"උඹමයි මට කියල දීල තියෙන්නේ 'මට පුලුවං.' කියල කොයි දේ ගැනවත් හිතංට කියල. අනික බලපං... උඹෙ තුන පහ රටාවේ විදිහට මේ වාරේ උඹ පස් වෙනියා වෙංට ඕනෑ එකනේ තුං වෙනියා වෙල තියෙන්නේ."
"නංගී... මමනේ දන්නේ මම ඇත්තටම පාඩං කරන තරම. නිකමට හිතපං නීතියට වාගේ, හවස ස්ටඩි ටයිම් එකේ, ස්ටඩි හෝල් එකේ ඉඳගෙන පොතක් දිගෑර ගන්නවා.  නිකං පිටු පෙරලෙනවා. ඉතිං අබමල් රේණුවක දෙයක් ඔලුවට යයිද? මං ඉන්නේ වෙන වෙන හීන ලෝකවල් වල. පංතියෙත් සර් හරි මැඩම් හරි පාඩම කියල දෙනකොට ඒකම තමයි. ඒ අය හිතනවා ඇති මම අවධානයෙං සාවධානව අහගෙන ඉන්නවා කියල. මේක මට විතරක් වෙල තියෙන දෙයක් නෙවෙයි. අනිත් අය කියන්නෙත් ඔය ටිකමයි. ඇයි මං කිව්වෙ නැද්ද එක්කෙනෙකුට වුන විකාරයක්?"
"ඒ මොකද්ද?"

"අපෙ ලයියා දවසක් පංතියේදී, කෙමිස්ට්‍රි උගන්නන වෙලාවේ ඔය හීන ලෝකේ... එයාට හිතංට දෙයක් නිවාඩු කාලේ වෙලා තිබුනා! මෙයා සිහියකිං නෙවෙයි ඉන්නේ කියල දැනගෙනමද කොහෙද එම කියල දුන්න එක මැඩම් ඇහැව්වා:
'රේඩියම් හොයා ගත්තේ කව්ද?' කියල."
"ක්‍රිස්ටීන් ...." ලයියා ගත් කටටම කිව්වා."නෑ නෑ මාරි කියුරී.. මැඩම්." ලමයි ඔක්කොම හිනා වුනා.
"මාරි කියුරී මැඩම්!
දන්නවද මාරි කියුරී (Marie Curie) ගෙ හපන්කම්. නොබෙල් ත්‍යාගය ලබා ගත් පළමු කාන්තාව, දෙවරක් නොබෙල් ත්‍යාගය ලබාගත් එකම කාන්තාව, වෙනස් වෙනස් විද්‍යා ක්ෂේත්‍ර දෙකක නොබෙල් ත්‍යාගය ලබා ගත් එකම කාන්තාව. තව විස්තර මහ ගොඩයි. ඕගොල්ලන්ට ඉංග්‍රීසි සාහිත්‍යයට එයා ගැන ලියවුන පොතකුත් තියෙනවා නේද?"

"කව්ද ක්‍රිස්ටීන්? නිවාඩු කාලේ ලයියට මොකද්ද වෙල තියෙන්නේ.?" ජිනා ඇහැව්වා.
"ඉබේ වෙච්ච දෙයක් නෙවේ.. ඒක නංගිට ඕනැන්නෙ නෑ.."

"හරි... ඒ ලයියනෙ. ඉතිං අයියා මොකක් ගැනද.. කව්රු ගැනද ඔච්චර හීන බලන්නේ? බොරු ඕන නැ... කෙල්ලෙක් ගැනනෙ හිතන්නේ? මාධංගනී ගැන නෙවෙයි කියල අයියා කියනවා. ඒක මං දන්නවා. එහෙනං කව්ද? ඇත්තම කියංට... මමද?"
"පිස්සුද ජිනා! උඹ ගැන මං මොනවා හිතංටද ලෙබ්බී... ? යාලු කර ගන්න හැටි හිතංටද....? ලයියා වාගේ වෙන දෙයක් හිතංටද... ? අහවල් එක කියල දෙයක් නෑ.. මොනවා හරි ඔලුවට එනවා. දන්නෙම නැතුව ඒක ගැන දිගට දිගට ඔලුව යනවා."
"නෑ... මං ඇහැව්වේ මං අයියට වදයක් වෙල නං... විභාගේ ඉවර වෙන කල් පැත්ත පලාතේ එන්නෙත් නැතිව මුණ ගැහෙන්නෙත් නැතිව ඉංට මට පුලුවං."
"දැමුත් ඉතිං ඉස්සර වාගේ මුණ ගැහෙනවායැ. මේ නිවාඩු කාලෙටම අදත් එක්ක  දෙදවහයිනෙ. මුණ ගැහෙන්නෙ නැතුව ඉංට එපා.. මට ඒකටත් දුකයි ජිනා. අනික... දෙසැම්බර් නිවාඩුවෙත් විභාගේ ඉවර වෙල එහෙමනෙ මුණ ගැහෙන්නේ. එන අවුරුද්දෙත් ජිනාට විභාගේ. මට නංගී හින්දා ඩිස්ටර්බ් නං මම එනවායැ මෙහෙ."
"තව එකක් හිතටකො... දැං අයියා පංතියේ තුන හතර පහ වෙනවා. ඒ නිකම්මද.. "
"නංගී ඔය අපෙ පංතියේ අය අතරිංනෙ. රටෙම්ම කොහොම වෙයිද කව්ද දන්නේ. මේක  මැට්ටෝ ටිකක් අතරෙං වෙනියා පෙන්නිල්ලක් වාගේ. දැං අර හොස්ටල් එකේදී සාකච්ඡා කෙරුව එකත් නෑ. පාඩං කරන එක නින්දාවක් වාගේ කොල්ලෝ අතරේ තියෙන මතය. එක එක කාලෙට එක එක රැල්ලවල්... "
" හොඳයි... අයියා බය නැතුව ඉංටකො. පාස් වෙනවා වෙනවාමයි. හැබැයි ඉතිං ඉස්සරහ දවස් ටිකවත්, ටික දවසක්නෙ, හිත එකතැං කරගෙන වැඩ ටිකක් කරංට.."

                    මං කොහොම ජිනාට කියංටද, මම මාරුවෙං මාරුවට ජිනයි මාදියි ලතයි තුන් දෙනා ගැනම හිතන්නේ කියල. මම මහ නරක එකෙක්. මටම මං ගැන ලැජ්ජහයි. දයා මයෙ හොඳම යාලුවා. මං ගැන හැම දේම දන්නවා. මයෙ තකතිරු අදහස් ගැන හිතලමද කොහෙද දයා මයෙ ඔටෝ එකේ, "දෙදෙනෙකුට ආලය කිරීම තිදෙනෙකුගේ මිණී වල කැපීමකි." කියල ලිව්වේ. මේක තිදෙනෙකුට දෙයියනේ. මං එදාම හිතා ගත්තේ ආයෙ මාදි ගැන හිතන්නේවත් නෑ කියල. ඒත් සතියක් ගියෙ නෑ.. මාදි,
"අයියා එකම එක සැරයයි අපෙ ගෙදර ආවේ. අපෙ අයියා මේ සතියේ මාත් එක්ක ගෙදර යනවා කිව්වා... ඉතිං සපූ අයියත් එංටකෝ.." කියංට.

                                                                                                      simple "s"
2019.09.28

මැඩම් කියුරී ගැන තොරතුරු හා පින්තූරය අන්තර්ජාලයෙනි.

Tuesday, October 8, 2019

උඩගෙදර කතා 178 (ලිං කටෙං වැටුන එකා 53.01)

ලිං කටෙං වැටුන එකා   53.01

"ඇහැට ඇහැක්...?"
"ඔව් මයෙ පුතා ඒකට කියන්නේ එහෙමයි. ඒ වුනාට බාරෙට ඔප්පු කරන්නේ තඹ තහඩුවක හරි රිදී තහඩුවක හරි ඇන්ද ඇහැක්. "
"ඒ කියන්නේ දෙයියෝ රැවැට්ටිලක්ද අපි කරන්නේ අප්පච්චී ඒ?"
"නෑ මයෙ පුතා. එව්වට ගන්නේ එහෙම වචන. දැං හිතංටකො පරාණෙට පරාණයක්  කියල බාර වෙනවා. ඉතිං පරාණයක් පූජා කරංට පුලුවනෑ. එහෙම බාරයක් ඔප්පු කරන්නේ පොල් පැලයක් පූජා කරල.."
"එහෙම බාරයක් තියෙද්දී බෙහෙතුත් කරංට පුලුවං නේද අප්පච්චී?"
"ඔව් මයෙ පුතා.. මොන මොන දේ කරල හරි ඇස් ගෙඩි දෙක බේරා ගංටනෙ ඕනැන්නේ.. මේ ලොකු විභාගෙකුත් කට උඩ තියාන. බාරේ ඔප්පු කරංට යංට ලොකු පුතත් කොහොම හරි එයි. ඒකට තව ඉතිං කල් තියෙනවානේ. බාර වෙන එක ගෙදරදිමවත් කරංටත් පුලුවං. මං හිතාන ඉන්නේ නුවර - අලුත් නුවර දේවාලෙට මයෙ පුතත් එක්කරගෙනම  ගිහිං බාර වෙනවා කියල.. අනිද්දා මයෙ පුතා ආපහු යනකොට."

                 මට මේක පටං ගැනුනේ ඩිංගක් වැඩිපුර වෙලා පොතක් දිහා බලාන ඉන්නකොට ඇස් දෙක කැරකෙංට පටං ගන්න එකෙං. දැං යංතං පොතක් දිහා බලන කොටම පටං ගන්නේ. ඊට පස්සේ මේ ලෝකේ දෙයක් බලංට කියවංට බෑ. මං සිකුරාදා ගෙදර ඇවිත් අප්පච්චිට කිව්වා. කලිමුත් කියලයි තිබ්බේ. ඒගොල්ලෝ හිතුවේ මට ඇස්සා වැදිල කියල! පන්සලට එක්කරගෙන ගිහිං පිරිත් ඩිංගකුත් කියෙව්වා.

                වන්නියබන්ඩාර දෙයියංට බාරහාර වෙන එක, අඩුක්කු පුදන එක එහෙම අපෙ ගෙදර නවත්තල බොහොම කල්. ඒ වුනාට අලුත් නුවර දේවාලෙට බාරහාර වෙංට පටංගෙන ඒ එක්කම. දැඩිමුණ්ඩ දෙයියෝ තමයි අලුත්නුවර දේවාලේ ඉන්න දෙයියෝ. ඉතිං අප්පච්චිලා තීරණය කෙරුවේ මයෙ ඇස් දෙක සනීප කෙරුවොත් මාත් එක්කම අලුත්නුවර ගිහිං බාරේ ඔප්පු කරංට.

                 කොහොම හරි ඉරිදා අපච්චියි මායි නුවරදී - නුවර දැඩිමුණ්ඩ දේවාලෙට ගියා. සෙනසුරාදම රිදී සත පහේ කාසියක් කහ වතුරෙං හොඳට හෝදල ඇන්න ඒක පරන පිරිසිදු,  සුදු රෙද්දකිං ඉරා ගත්ත පටියක ගැට ගහල සීවලී පින්තූරේ ලඟ තිබ්බා. අපි පිටත් වෙංට කලිං ඒක එහෙම්ම අප්පච්චිගෙ සාක්කුවට ගත්තා. නුවරදී කපුවෙකුට කතන්තරේ කියල පඬුර අතට දුන්නා. එයා මායි අප්පච්චියි දුහුල් තිරයක් දාල තිබ්බ තැනකට එක්කරගෙන ගිහිං මයෙ ඔලුවේ අතක් තියාන දිග යාදින්නක් කිව්වා. ඒ තිරෙං ඇතුලෙලු දේව රූපේ තියෙන්නේ. අර දේව කන්නලව්ව අවසාන කෙරුවේ,
"..... ඇහැට ඇහැක් ඔප්පු කොරංට පොරොන්දු වෙල මේ අහිංසක නොදරුවගෙ දෑහැ සනීප කොර දෙංට කියල කොරන මේ යටහත් පහත් ඉල්ලීමට, පස්වාං දහසකට බුදු වෙංට පෙරුම් පුරණ ඔබ වහන්සේගේ කරුණාව දෙවා වදාරා... මේ දරුවා පෙනී හිටින විභාගෙට පොතපත කියවා ගංට ලියා ගංට පුලුවං වෙංට බොහොම කඩිනමිං දෑහැ සනීප කොර දෙංට කරුණා කරංට යහපති..." කියල. මං වැඳගෙන අහගෙන හිටියේ. අප්පච්චිත් වැඳගෙන වෙන්ටැති හිටියේ.

                    අන්තර් *** ජ්‍යේෂ්ඨය ඉවර වෙනකල් අපිට zoology, botany, applied maths උගන්නනවා. ඊට පස්සේ ඕලෙවල් ව්භාගෙට botany, applied maths දෙකෙන් එකක් තෝරා ගංට වෙනවා. zoology කියල වෙනම විෂයක් නෑ. Arithmatic හරි pure maths හරි කවුරුත් කරංට ඕන. සයන්ස් කරන අයට pure maths තමයි ඉගැන්නුවේ.

"මඩුගල්ල සර් මට ස්ටාෆ් රූම් එකට එංට කියල දයා."
"ඇයි ?"
"දන්නෙ නෑ. මට හිතෙන්නේ නං බනින්ට වෙංට ඕනෑ.."
"ඒ ඇයි සපූ.?"
"මං applied maths තෝරා ගත්තට."
"යංටකො... එයානේද ඉස්සර වෙලා ඕගොල්ලන්ට zoo botany කරේ.."
"ඒකනේ ප්‍රස්නේ.. මං මොකක් හරි කියන්නංකො."

"Maths ද Bio ද කියල තෝරා ගන්ට කලින් සපුට ගිය අවුරුද්දේ biology වලට ලකුණු  කීයද?"
"දෙවෙනි වාරේ 73 යි... තුන් වෙනි වාරේ 74 යි සර්."
"Applied Maths වලට...?"
"දෙවෙනි වාරේ 34යි. තුන් වෙනි වාරේ 24 යි. සර්"
"හ්ම්.... එහෙම තියෙද්දිත් ඇයි applied maths select කර ගත්තේ කියලා මම බනින්නේ නෑ. සපූගෙ කැමැත්තනෙ. හැබැයි කොයි එක කෙරුවත් හොඳින් කර ගන්ට ඕන. ඔය හැටියට Applied maths වලට නම් තව හුඟක් මහන්සි වෙන්ට වෙයි. තේරුණාද?"
"අනේ සර් ගෙම්බෝ, ගැඩවිලෝ, කැරපොත්තෝ කපංට මට හිත හදා ගංට බෑ..!"
"ගොඩයා..... ගොඩයා.... ඒ වගේද doctor කෙනෙක් වෙන්ට ලැබුනොත්?"
"ඉතිං මං ගොඩයා නං සර්..?" කියල අහංට දිව අගටම ආවා. බොහොම අමාරුවෙං මගෑර ගත්තේ. එහෙම කියන එක හරි නෑ කියල හිතුනා...."
" මම දැන් එන්ට කිව්වේ නං ඒ ගැන කතා කරන්ට නෙවේ... ඊයේ බාරයක් වෙන්ට පත්තිනි දේවාලෙට ගියාද?"
"ඔව් සර්.. පත්තිනි දේවාලෙට නෙවේ. අලුත් නුවර දේවාලෙට. සර්ට කව්ද කිව්වේ?"
"හොස්ට්ල් එකේ ළමයි වගයක් කතා කර කර ඉන්නකොට මට ඇහුනා."
"ඇයි සර් ඒක...."
"සපු ... දේවාලෙට ගියාට කමක් නෑ. නුවර ඉස්පිරිතාලේ eye clinic එකට ගිහිං ඇස් දෙක පෙන්නන්ට ඕනෑ... අද හෙටම."
"හොඳයි සර්."
"උදේම .. හත වෙනකොටද කොහෙද numbers issue කරනවා. මයෙ හිතේ පහලවක් විස්සක් වගේ සුලු ගානක් නම්බර්ස් දෙන්නේ.  පාන්දර පහේ බස් එකේවත් යන්ට වෙයි සපූ."
"හොඳයි සර්."
"තනියම යන්ට තේරෙන්නෙ නැත්තං දන්න යාලුවෙක් එක්ක යන්ට. මෙහෙම හදිසියේ අතේ සල්ලි නැතිව ඇතිනේ. මේ රුපියල් පහ තියා ගන්ට."
"මට දැන් තනියම යංට පුලුවන් සර්." මං කිව්වේ පස්ස ගහන්නේ නැතිව සර් දෙන රුපියල් පහත් අතට ගන්න ගමං.
"මම මෙව්වා කියල දෙන්නේ නැතිව ඉඳල ප්‍රශ්නයක් එහෙම වුනොත් අබේරත්න අය්යගෙන් ..., සපූගෙ දෙවෙනි මහත්තයගෙන් මටයි බැනුම් අහන්ට වෙන්නේ."
" එහෙම නොවුනත් සර්ගෙ මනුස්සකම මේ. පිං සිද්ද වෙනවා සර්ට."

                    දයා වාගෙම තව ලමයි දෙතුං දෙනෙක් මාත් එක්ක එංටද ඇහැව්වා. මං ඕන්නෑ කිව්වා.
"සපු.. එතන වැඩ කර ගන්න හැටි මට පුරුදුයි. හෙට උදේ හයට මාත් හන්දියට එන්නං."
"තැන්ක් යූ ලතා... ඔයා ..!"
"එන්ට එපා නේද?'
"අනේ මං දන්නෑ ලතා... මැඩම්ලා ඉඩ දෙයිද.."
"පර්මිෂන් ගන්ට පුලුවන් වුනොත් මම එනවා.. හරී..?"
"මාත් කැමතියි.. ඒත්..."
"Plaza එකේ Thunderbolt**** . එතන ඉඳලා ටවුම පැත්ත බලනකොට හරිම ලස්සනයිලු."
"මං බය කරංට එපා බං."
"නෑ මම සීරියස්ලි කියන්නේ ...!"

(මතු සම්බන්ධයි.)

                                                                                                        simple "s"
2019.10.08

පින්තූරය අන්තර්ජාලය ඇසුරෙන් .

Saturday, October 5, 2019

උඩගෙදර කතා 177 (ලිං කටෙං වැටුන එකා 52)

ලිං කටෙං වැටුන එකා   52.

"ඇයි බං දැං රෑ සාකච්චාව නතර වෙලා... හරියටම ඕනෑ වෙලාවෙම.." පේමරත්න ඇහැව්වා ලොකු කෑම මේසෙදි."
"මෙතන වෙලාව නාස්ති වෙනවා වැඩී මචං. වෙනම මොනවා හරි බලා ගන්න එක ඊට වැඩිය හොඳයි." කුඩාබන්ඩා උත්තර දුන්නේ.
"මේ... අදට මෙන්න මේ ගණන් ටික හදන හැටි කතා කරලා පලයල්ලා බං."
"මට නං කොහොමත් එකයි." මං නවතිංට එකඟයි කියන එක එහෙම කිව්වා."
"උඹට නං ඉතින් සාකච්ඡා කරලා අමුතුවෙන් දැන ගන්ට දෙයක් නෑනෙ. අපිට එහෙමයැ." ඒ පේමරත්නලා මා ගැන හිතාන ඉන්න හැටි...!

                        "PHYSICS ".... මං දන්න ලස්සනම අකුරෙං මයෙ සටහන් පොතේ මං නම ලියල තියෙන්නේ. ඊට යටිං සිංහලෙමුත් ලියල... "භෞතික විද්‍යාව" කියල. මේ සිංහලෙමුත් නම් ලිවිල්ල හිංදා දවසක් Physics වලට "MAGNETISM" කරපු දවසේ හරි වැඩක්නෙ වුනේ. පාඩම කියල දෙන අතරේ සර් පංතියේ රවුමක් යනවා. මං ලිය ලිය හිටිය සටහන් දිහා ටික වෙලා බලාන හිටියා. මයෙ අකුරු දිහා වෙංට ඇති. මට ආඩම්බරයක් දැනුනා. සර් ආපහු ඉස්සරහට ගියේ කිසි වෙනසක් පෙන්නන්නෙ නැතුව. ටිකක් වෙලා ගිහිං සර් ඇහුවා...
"Magnetism" කියන එකට සිංහලෙං මොකක්ද කියන්නේ?" කියල. ළමයි උත්තර දෙක තුනක් දුන්නා.
"සපුමල් මොකක්ද කියන්නේ?" සර් ඇහැව්වා. මං ලියල තියෙන සිංහල වචනේ වැරැද්දක් තියෙනවා කියල මට තේරුන හින්දා මං නිස්සද්දව හිටියා.
"ඕක 'චුම්බකත්වය' කියල හදා ගන්න. ඔය ලියල තියෙන එකේ තේරුමත් කාගෙන් හරි අහ ගන්න!"

                       මදැයි...මං ලියල තියෙන්නේ... "චුම්බනය" කියල.!

                       මේ කතාව ඉස්කෝලේ පුරා පූජිත වෙංට දවසක්වත් ගියෙ නෑ. ඒකට තව සිද්දියකුත් ඈඳුන හිංදා තටු ලැබුනා. පංතියේ Botany පාඩමේ Tendrils ගැන කරංට එක ගෑනු ළමයෙක්  ගෙනාව හීරැස්ස රිකිලක් අනික් ළමයිංට හොරෙං කියල හිතාන පාඩම වෙලාවේ මට පෙන්නුවා. ඕක දැක්කේ ඒ ගෑනු ලමයා ගැන ඉන්ටරෙස්ට් එකෙං ඉන්න  ඩී.බී.  ඒ මදෑ! එයා ඉස්කෝලෙම ගිනි තිබ්බා.. මට නමකුත් හැදුනා සිසස් ක්වැඩ්‍රාන්ගියුලාරිස් (cissus quadrangularis) කියල. දැං සිද්දි දෙකම එක් වෙල.

                       මේ කතන්තරේ ඇහුවම ලතයි, මාධංගනියි මොනවා හිතංට ඇතිද? මොන බම්බුව හිතංටද එක අතකට. මං ඒ අයගෙ කව්ද? මට නුගුනේ!

                        Physics සටහං පොතේ පෙරලන පෙරලන පාඩම මට මතකයි වාගේ. ආයෙ අලුතෙං මොනවා බලංටද? මට අපෙ දෙවෙනි මහත්තයා කිව්ව.. 'අපි එක කොටුවක් ඇතුලේ ඉඳල බලාගෙන ඔක්කොම දන්නවා.' කියල හිතනවා. 'ඒ වුනාට ඒ කොටුවට පිටිං ලොකු ප්‍රදේශයක පාඩම පැතිරිල තියෙනවා සපු... ' කිව්ව එකත් මතක් වෙනවා. ඇත්තටම අවශ්‍ය දේ ඔක්කොම මං දන්නවා නං මේ වෙනකල් ඉස්කෝලේ කව්රුවත් ඇන්න නැති ඕලෙවල් ප්‍රතිපලයක් මට ලැබෙයි. ආයිෂ් අප්පා....! රෙකෝඩ් එකක්.... එහෙම දිගට දිගට ඉගෙන ගෙන යංට ලැබුනොත්... කලුන්තැන්නේ ඉස්කෝලේ සර්ලා දෙන්නා කිව්වා වාගේ දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක් වෙංට මටත් බැරි වෙන එකක් නෑ... එහෙම වුනොත්....! තව කීයක් දේද! 

                         ඔන්න අදත් ස්ටඩි ටයිම් ඉවර වෙනකල් මයෙ සටහං පොතේ පිටු පෙරළි පෙරළී මං පාඩම් කෙරුව හැටි! හැම දාම ඔන්න ඔය සන්තෑසිය තමයි මට වෙන්නේ... හීන ලෝක... අහසේ මාලිගා... සමහර දවස් වල තව ඕකට එක් වෙන වෙන දේත් තියෙනවා..... !

                       කොහොම වුනත් ඉස්සරහ මාස දෙක තුනේ මොනවා හරි වැඩ ටිකක් කරංට මං හිත හදා ගත්තා. ඒකට අමුතු සිද්දියක් දෙක්කුත් එක් වුනා....

"ලතා... මොනවද විස්තර?" මං ඇහැව්වා.
"හොඳට වැඩ ටික කර ගෙන ඉන්නවා සපූ..."
"මට අප්සෙට්නෙ ලතා.. පාඩම් කරංට හිතෙන්නෙම නෑ. එක එක එව්වා ඔලුවට එනවා."
"පිස්සුද සපූ...! ඔයා මොනවා හිතංටද?
ඔයා දන්නවනෙ මගෙ අලුත් යාලුවා.."
"කව්ද?"
"ආ...  ඒක දන්නෙ නැත්තං ඔහොමම අමතක කරලා දාන්ටකො දැනට.  මට කියංට ඕන වුනේ, එයත් විභාගේ කරන්නේ මේ සැරේ. හොඳට වෙලාව බෙදාගෙන වැඩ කරනවා. මටවත් විනාඩියක් ආසාවට කතා කරංට එන්නෙ නෑ. මාත් ඉඩ දීලා නිකා ඉන්නවා. එයාට හොඳටම කම්මැලි හිතුනම උපරිම වචන දහයක් විතර මොනවා හරි මට ලියල දෙනවා. ඒත් මං මොනවාවත් ආපහු ලියන්නෙ නෑ.. පව්නෙ කොල්ලට ඩිස්ටර්බ් වුනොත් නේද.."
"ඉතිං... මට මොනවා හරි ලියල දියංකො.. හොඳ කෙල්ල වාගේ."
"ඒ මොකටද බං..!  හ්ම් ... කමක් නෑ... සපූට ක්‍රඩිට් කීයක් විතර ලැබෙයි කියලද හිතන්නේ?"
"දැනට යන විදිහට නං එකක්වත් විශ්වාස නෑ බං.."
"අනේ හැබෑටම ලැජ්ජා නැද්ද සපුවෝ... ඒක කිව්ව ලස්සන... මම මහ ලොකු ටාගට් එකක් දෙන්නෙ නෑ... අටයි පහක් අරන් පෙන්නපන් ෆස්ට් ෂයි... හැබැයි ඩීත් දෙකක්වත් එක්ක. මම උඹට නොවරදවාම වැදගත් දෙයක් ලියලා දෙනවා. හරිද...?"
"පිස්සුද... කෙල්ල! උඹෙ ලියුමක් බලාගෙන මං දඩ පහට යටත් වෙංට?"
"හා කමක් නෑ... සුදු ලූනු පොඩි කරන්නේ නැතිව මේකට උත්තර දීපං. උඹ දයාගෙ නංගී... මාධංගනීට ඉන්ටරෙස්ට් නේද.."
"විකාරද ලතා.. දයාගෙ නංගී හිංදා අනුකම්පාවක් දයාවක් දැනෙනවා. එච්චරයි."
"ඕනෑ පචයක් කෙලපං... ඒ වුනාට මතක තියා ගනිං: දයාගෙ නංගී තියා මේ ලෝකේ කිසි එකියක්... කිසි වැදගත් එකියක් උඹට කැමති වෙන්නෙ නැ ඔය ලැයිට් කනු ටිකක් නං ගන්ට හිතාගෙන ඉන්නේ. උඹ දන්නවද හොස්ටල් එකේ ලමයි කට්ටියක් ඒ අහින්සක කෙල්ලටත් පද හදල... "
"ඇයි මොනවද කියල තියෙන්නේ?"
"ඒ කෙල්ල හින්දා උඹ බලා ගත්ත අත බලාගෙන කල්පනා කර කර ඉන්නවලු. පාඩම් කරන්නේ නැල්ලු. ඉස්සර තිබ්බ උඹෙ දක්ෂකම් දැන් මොකුත් නැල්ලු. අපරාදේ මෝඩයෙක් වාගේ විනාශ වෙනවලු. මතක තියා ගනිං කොයි කෙල්ලගෙත් හීනයක් තියෙනවා... ඒ තියා මේ මගෙත්....! ගොවිතැන් කරන නෙවෙයි, ආන්ඩුවේ ලොකු රස්සාවක් කරන කොල්ලෙක් බැඳ ගන්ට...!"
"මට වෙල තියෙන දේ පැහැදිලි කරල දුන්නට තේරුං ගන්න කෙනෙක් නෑ ලතා. මොන කසාද බැඳිලිද බං . දැන්ම මට.. මං එහෙම..."
"සපු මැඩම් ආවා... මම පන්තියට යනවා. "

                       ටික දවසක ඉඳල මාදි නංගී මට මූණ දෙනවා හොරයි තමයි. පව්... මේ අහිංසක කෙල්ලොංටත් මං හිංදා .... දෙයියනේ මට මොන කෙල්ලොද... මොන කසාදද? ඒ හවස් වරුවම මට ගෙව්නේ පාඩං ගැනයි මයෙ දුර්වලකං ගැනයි කල්පනාවෙංමයි... දයත් දැං වැඩි කතාවක් නෑ... පාඩුවේ එයාගෙ වැඩ ටික කර ගන්නවා.

"මේ ඔක්කොම මට ආදරේට මුං ඔක්කොගේම රඟ පෑම්ද..?" නාද්දී මට එහෙමත් හිතුනා. කොහොම වුනත් මයෙම හොඳටනේ. මං උඹලා ඔක්කොටෝම ආදරෙයි...

"මයෙ පුතා නෑවිත් ඉන්නවා නං මං කැමතියි. අතේ දිය බිබිලි එයි බලාගෙනයි."
"නෑ... අප්පච්චි ආපහු උදුලු මිටට අත් හුරු කර ගංට එපායැ. මොනවා කරංටද?"
"මයෙ පුතා අයෙ විභාගේ කරංට බැරිද... "
"අප්පච්චි දැං තුං සැරයක් මං ලිව්වානෙ.."
"අද පොදේ තියෙනවා. මයෙ පුතත්.. ඔය පරන සාලුවක් ඇන්න හොඳට සුම්බරයක් බැඳ ගංට." එහෙම කියල අප්පච්චිත් සුම්බරයක් බැඳ ගත්තා.

                      හරි පුදුමයි... අපෙ වත්ත පුරා අපෙ ඉස්කෝලේ ලමයි..... සමහර අය ඉස්කෝල ඇඳුම පිටිම්ම වැඩ කරනවා. ලතයි මාදංගනියි බත් ඉයනවා. දයා ගෝහාල මැස්සේ ඉඳගෙන වට්ටක්කා දලු වගේක රේණු අයිං කරනවා. මෙන්න උදුලු ගගා හිටිය එක ගෑණු ලමයෙක්ගෙ කකුලේ කොන්ඩ උදැල්ල වැදුනා. තුවාල වෙල ... තදින් ලේ එනකොට මං හීං තඹල කොල ටිකක් හපල තුවාලේ උඩ තිබ්බා. කෙල්ල කෑ ගැහැව්වා යටිගිරියෙං..... ඒ එක්කම ලමයි ඔක්කොම අන්ත්‍රත්දහන වුනා. එතකොටම මට ඇහැරුනා....

                                                                                                     simple "s"
2019.10.05