Tuesday, January 15, 2019

උඩගෙදර කතා 120 (ලිං කටෙං වැටුන එකා 09)

ඉලිං කටෙං වැටුන එකා   09

"හෙට බොංචි ටිකට පස් දාංට හිතාන ඉන්නේ අප්පච්චි."
"හෙට? හෙට දෙපෝයනෙ මයෙ පුතා. අමතක වුනාද?"
"බුදු අම්මො.. ඒ ගැන වගක් සිහිවුන්නෑ අප්පච්චී. එහෙනං අනිද්දට දා ගන්නං."
"ඒක හොඳයි. අව්වත් ඕනෑ තරමට...
තනියමද ඔය..?"
"නෑ අප්පච්චි... කොල්ලෝ දෙතුං දෙනෙකුත් එයි. "
"එහෙනං මං එන්නෑ. ඒ ගොල්ලෝ සූරයි. යසට වැඩේ කරයි. අද හෙටම මිරිස් ගස් ටිකටත් පස් කිට්ටු කාරංට වෙයි."

                   *                         *                       *

                 අප්පගෙ බල කිරිල්ලට පෑලිස් මේ කන්නේ වෙනමත් වගාවක් කරංට ගත්තේ. ඒ වුනාට දවසක් ඇර දවසක් වත් ඔහොම උන්දෑ මුණ ගැහිල කතා කරංටම ඕනෑ. එතකොට තමයි අලුත් දෙයක් දැන ගන්නේවත් අමතක වෙච්ච දෙයක් මතක් කරගෙන එංට ලැබෙන්නේවත්. මහ ලොකුවට ඉලදාරිකම හිතේ තිබ්බට තවම උන්දෑ පස්සෙං ඉංටම ඕනෑ.
                 එහෙම ගිය තව දවසක පෑලිස්ගෙ අප්පච්චී මෙහෙම එකක් කිව්වා:
"පුතේ.. අපි ඉඳහිටක සුරුට්ටු දුංකල හැදුවානේ. ඒ කොල කොහු ලණු වල මැදි කරල ගොතල වැල් වැල් පවනේ එල්ලල වේලනවා. එහෙම නැත්තං, නැට්ට එක්ක හිටිංට ගහේ තද හරියෙං පොත්ත ඇතුලේ මෝරච්ච හරියෙං උලට කෑල්ලක් රැහැල ඇන්න පිලිවෙලට වහලේ ගහල වේලනවා. වේලුනම මිටි බැඳල යාපනෙං එන මිනිසුංට විකුණනවා. ඒ දුංකල වෙනුවටත් ඔන්න සිගරට් දුංකල කියල එකක් එනවලු. වගාවට. එව්වා වේලන්නේ ගිංදර රස්නෙංලු. උස ගොඩනැගිල්ලක. ඒක පස්සේ වෙනම කතා කරමු.

මට කියංට ඕනෑ වුනේ වෙන කාරණාවක්. අපි පලදාවක් අස්වැන්නක් මුදල් කරන්නේ ඔය, සුරුට්ටු දුංකලයි අමු එලවලුයි තමයි. සල්ලි දෙක්කුත් අතට ඕනෑනෙ. ඒකට කියල, වී කුරහං ඉරිඟු අබ අනික් ඇට ජාති වේලපු මිරිස් එහෙම ඔක්කොම විකුණන්නෙ නෑ. ඊලඟ කන්නේ අස්වැන්න ගන්නකල් පිරිමහගෙන එතකොටත් වැඩියෙං තියෙනවා නං තමයි විකුණන්නේ. මොකද වරස්තේකිං වත් ඊලඟ කන්නේ පාලු වෙයි වාගේ පේනවා නං ඒකටත් පිරිමහ ගංට එපායැ.

ඔය මේ සැරෙත් කුරහං කැපෙනකොට එහෙම එව්වා මුදලට මනිංට මිනිසු එයි. දෙංට හදිස්සි වෙංට ඕනැන්නෙ නෑ. ගේ තියෙන එව්වා අපිට නං පිරිමහ ගංට බැරි වෙන එකක් නෑ. ඒ වුනාට තව මාසේ දෙක යනකොට ඔව්වා අතමාරුවට ඉල්ලංට කී දෙනෙක් එනවද බලංටකො. කලිං එහෙම ගත්ත අයගෙමුත් තව ආපහු ලැබෙංට කොච්චර තියෙනවද. එව්වා ඉතිං අමතක කරල දාංට තමයි වෙන්නේ."
"හොඳයි අප්පච්චි..."

                   *                         *                         *

"ඒ කතාව හරි බං... "
"උන්දැලා ඔව්වා හිතට එනවට කියනවා නෙවෙයි සුද්දා. වෙච්ච දේවල්... "

                  අප්පගෙ කතාව පෑලිස් කොල්ලෝ ටිකට කිව්වම ඔක්කොම ඒක පිළිගත්තා. පෑලිස්ට සන්තෝසයි. පෑලිස්ගෙ වත්තෙම්ම කැඩුව කිරි ඉරිඟු ඩිංගිරී තම්බල දුන්න එව්වා කකා කට්ටිය මෙහෙම කතා කර කර හිටියේ.

                  මේ සැරේ පෑලිස්ගෙ වත්ත ගෙට එහා පැත්තෙම. ඒක බුදුන්නේ ඉඩමක්. ලොකු හාමුදුරුවන්ට කියන පමාවෙං කැමැත්ත දුන්නේ. හේන නං අප්පච්චි ගිය සැරේ වත්තට ගත්ත එකේම කොටහක්. ගිය සැරේ පෑලිස්ටය කියල වෙනම වත්තක් තිබ්බ එකක්යැයි. ඊලඟ කන්නෙදි මේ වත්ත තමයි හේන වෙන්නේ. වත්ත අත ලඟිං තියෙන එක මේ කන්නෙට නං ලොකු පහසුවක් වුනා. වැඩ කර ගංටද.. රැක බලා ගංටද .. හැම එක්කටම.

                  හේනත් වත්ත වාගෙම සරුයි මෙදා සැරේ. කලට වෙලාවට ඕනෑ තරමට වැස්ස අව්ව ලැබුනා. සත්තුන්නෙං රැක බලා ගත්තා. හේනේ පැල් රකිංට වැඩියෙම්ම ගියේ පෑලිස්ගෙ අප්පච්චී. ඉඳහිටක පෑලිස්ටත් යංට වුනා. එහෙම දවසට ඩිංගිරී රෑ හිටියේ පෑලිස්ලෑ මහ ගෙදර. කලිංම රෑට කාල දෙන්නත් එක්ක මහ ගෙදර ඇවිත් පෑලිස් පැලට යනවා.

                   එහෙම දවසට පෑලිස්ලා රෑට කෑව දේක කොටහක් මඩක්කුවක දාගෙන මහ ගෙදරටත් ගේනවා. පෝප්පත් කෑල්ලකිං වහල ඒ උඩිං ලිපේ අඟුරු කෑල්ලක් දෙක්කුත් තියල. පෑලිස්ගෙ නංගියි මල්ලියි දෙන්නත් මෙහෙම ගේන එක්කට හරි කැමතියි. පාං රොටීවලට විසේසෙම්ම. කෑවත් නැතත් පෑලිස්ලෑ කොටහ ගැන පෑලිස්ගෙ අම්මත් අමතක කරන්නෑ.

                    *                      *                      *

                 අලුත් අවුරුද්දට කලිං පෑලිස් තමන්නේ ගේයි මහ ගෙවල් දෙකෙයි පලේ වහ ගත්තා. මහ ගෙදෙට්ට පල්ලෙහා වෙලේ කොල පාගන එව්වට අත් උදව් දීල ගත්ත තමන්නේ පිදුරු කොටහෙං.

                 පිදුරු උප්පිඩවල් බඳිංට පෑලිසුත් හපනා. කමතෙං පිට කංදට බාපු මැඩුවං හොඳට වේලල උකුණු ගහෙං ගොඩ ගහනවා. ඒ ගොඩේ කොණකිං දකුණු අතිං අල්ල අල්ල ගන්න පිදුරු අහුර තාලේකට පස්සට ගස ගස මිටට බර වෙනකොට ගොඩක් ගහනවා. අල්ලාගෙන ඉන්න කොණ එක පැත්තකට තියෙංට. උප්පිඩට සෑහෙංට ගොඩ හැදුනම පිදුරු කාටුවෙම්ම ලණුවක් අඹරාගෙන බොරු ගැටයක් ගහනවා. එව්වා පිළිවෙලට ඔතාන ගෙදර ඇන්න ගිහිං පිදුරු පංසලේ මුදුං කර ගන්නවා.

                 කුරහං, ඉරිඟු, කරල් ඉරිඟු, තන වී, මෑ, දඹල, අබ, මුං, උඳු වාගේ ඇට ජාති විතරක් නෙවෙයි වට්ටක්කා, තියඹරා, කැකිරි වාගේ ගෙඩි ජාතිත් පෑලිස්ගෙ ගෙදර ඉඩ තියෙන තියෙන තැං වල පට්ටල් වුනා. ගෙඩි ජාති නං මහ කාලයක් තියා ගංට පුලුවන්නෙ නෑ. වැඩි වෙල විකුණා ගංටත් බැරි වෙච්ච බටු, බන්ඩක්කා, මෑ කරල්, තක්කාලි එහෙම විටිං විටේ කොඳ වේලා ගත්තා. රෑණ කෙටූ ගලේ ගල් පොත්තේ දැම්මොත් නං දවසෙං කර වෙනවා.

                   *                       *                       *

                  මෙදා පෑලිස්ලට ලැබුවේ අලුත්ම අලුත් අවුරුද්දක්නෙ. පෑලිස්ලා හොඳට යුතුකං ඉස්ට කෙරුවා. අම්මලා අප්පලාට නංගිල මල්ලිලාට රෙදි පිළි ඇන්න දුන්නා. අම්මට අත් උදව් දිදී ඉගෙන ගත්ත විදියට හැඳි කැවුමුත් ඩිංගිරී හැදුවා. පුලුපුලුවන් තරමට. දෙගොල්ලම ගෙන්නාන යාලුවන්ටත් එක්ක බත් ඩිංගකුත් දුන්නා. ඒකට කඩෙං ගංට වුනේ සාඩිං ටිං දෙකක් විතරයි. එලවලු ටිකක් එහෙම දෙවෙනි මහත්තයටත් ගිහිං දුන්නා.

                       *                      *                       *

                  අවුරුදු පහුවෙල දෙදවහක් විතර ගියාම දවසක් හවස දෙවෙනි මහත්තයා පෑලිස්ලෑ ගෙදෙට්ට ආවා. හතර ගාතේ දාල වැඳල පිළි ගත්තේ. පෑලිස්ට ඉහේ මලක් පිපුනැහේ සන්තෝසේ. ඔහොම එකක් වෙයිවත් කියල යට හිතේ තිබ්බ හිංදා පෑලිස් මහ ගෙදර වත්තෙං කුරුම්බා ඉත්තක් ගෙනත් තිබ්බ එක හොඳට හිටියා.
"අපෙ මහත්තයා ඉඩක් කියල තියෙන හැම තැනම මේ එක එක එව්වා, ගෙඩ් ජාති එහෙම ගොඩ ගහල. ඔහොම එංට මේ බංකුවට.."
"නෑ පෑලිස් අපි යමු අර හෙවනේ ලෑල්ලට... "
"කමක් නැද්ද අපෙ මහත්තයා.."
"කිසි වැරැද්දක් නෑ..
ඔලුව උඩ තියාගෙනවත් ඔය ගත්ත අස්වනු පරිස්සම් කර ගන්ට වෙයි පෑලිස්. අර ඉස්සර කාලෙක හාමුදුරුවරුන්ටත් දානේ ටික නැතිව කරකොල වළඳල පණ කෙන්ඳ ගැට ගහ ගන්ට වුන බැමිණිටියා සාය වාගේ එකක් එනවලු. මහ නියඟයක්. එන අවුරුද්දේ. ආහාර හිගයකුත් වෙයි කියලයි කියන්නේ."
"අපෙ මහත්තයා මේ අපි ඉන්න හරියට විතරක්ද ඔය?"
"නෑ.. පෑලිස්, අපෙ රටට විතරකුත් නෙවෙයි. ලෝකේ පුරාම. අපෙ රටවල් වලට බලපෑම අඩුයි කියනවා. ඒත් තරමක කරදර තියෙයි. "
"අපි මොකද ඉතිං කරංට පුලුවන්නේ...?"
"මොනවා කරන්ටද පෑලිස්. තියෙන දෙයක් පරිස්සම් කරගෙන සකසුරුවං කමෙන් පාවිච්චි කරගෙන බලා ඉඳිමු."
"ඕක ඉස්කෝල් ලමයි අතේවත් ගමේ ඇත්තංටත් දැන්නුවොත්... "
"ඔව්.. එහෙම වැඩ සටහන් කීපයක් තියෙනවා. මට වැඩියම බය ඔය වසන්ගත රෝගත් පටන් ගනීවත් කියලා. ඒකටත් වැඩ සටහනක් ලෑස්තියි."

                  වත්තේ ගහකොල, ළිඳ, සතා සරුපයා වාගේ එක එක දේවල් ගැනත් තරමක වෙලාවක් කතා කර කර හිටියා. විටිං විට ඩිංගිරිත් ඇවිත් කංදිහා ගෙන හිටියා. ගේ, වත්ත පිළිවෙල කර ගංට මහන්සි වෙල තියෙන හැටි ගැන දෙවෙනි මහත්තයා බොහොම සතුටු වුනා. එතුමගෙං ඔය ටික අහ ගංට පෑලිස් මොන තරං ආසාවෙං හිටියද.. !

"මම පෑලිස්ට පිංතූරයක් ගෙනාවා.. ආ.. බලන්ටකෝ හොඳයිද කියලා."
"සීවලී පින්තූර රාමුවක් ... මයෙ අප්පෝ කොච්චර හොඳයිද... "

                    *                       *                      *

"අපි ගෙට ගත්ත අස්සනු ව්ස්තර එක එක්කෙනාට කියංට ඕනැන්නෙ නෑ. ඔයෙ ඇස්වහ කටවහත් තියෙනවානෙ."
"ඒක ඇත්ත.."

"මෙව්වා නංගිගෙ වාසනාවට.. "
"පිස්සු...., ඔය අත් දෙකේ මහන්සියට.. "
"ඇයි මේ අත් දෙක....? අනික, දවස් පතා කොන්ද කැඩෙන කල් දෙකට නැමී ගෙන කුරහං කැපුවේ කව්ද? අත්තං ගෙවංටත් එක්ක."
"එතකොට දවස් පතා කුරහං තැලුවෙත් මමද?"
"ංහා හා.. කමක් නෑ .. කමක් නෑ.. දෙන්නගෙම මහංසිය හින්දා අපෙ අස්සැන්න සරුවුනේ. කතාව ඉවරනෙ."
"අපිට වරදින්නෙ නෑ දෙය්යෝ." පෑලිස්ගෙ අත්ගොබයි
කරගැට පිරිච්ච අල්ලයි අතගාන හිටං ඩිංගිරී කිව්වේ.

                    *                       *                       *

"මේ.. මේ... ක...කඩනවා ඇඟිලි ටික ඔන්න.. කර ගැට දෙපිටිං යංට... "
"හ්ම්... දැං යං... "

                                                   simple "s"
2019.01.16

පින්තූර අන්තර්ජාලයෙනි. පිළිවෙලින්: කුරහං (කුරක්කන්), ඉරිඟු, කරල් ඉරිඟු, තණ වී, අබ.

               
               

Saturday, January 12, 2019

උඩගෙදර කතා 119 (ලිං කටෙං වැටුන එකා 08)

ලිං කටෙං වැටුන එකා   08

"පෑලිස්ට දැං හොඳට හය හතර තේරෙනවා. දැං ප්‍රශ්ණයක් නෑනෙ? අපි ඉතිං තව මොනවා කියල දෙංටද..."
"ප්‍රශ්ණයක් නං නෑ අපෙ මහත්තයා. ඩිංගිරීගෙ අප්පච්චි විතරයි...."
"එව්වා නං වැඩිම මාසයක් දෙකක් යනකොට මග ඇරෙයි.  එහෙම නෙවෙයි... ප්‍රශ්ණ නෑ කියංට බෑ. දැන් තමයි ප්‍රශ්ණ වල ආරම්භය... ඒ මොනවද කියල අපි දැන්ම දන්නෙ වත් නැහැ. ඒක මතක තියා ගංට."
"එහෙමයි."
"මට තව බැරි වුනානෙ පෑලිස්ගෙ ගේ බලන්ට එන්ටත්."
"ගහක් කොලයක් හැදෙනකල් මතක් නොකර හිටියේ අපෙ මහත්තයා."
"හ්ම්...මෙන්න මේක තියාගෙන කුස්සියට ඕනෑ භාජන ටිකවත් ගන්ට පෑලිස්."
"හොඳයි අපෙ මහත්තයා.
"අද හෙටම ගෑණු ළමයත් එක්කරගෙන මෙහෙ ඇවිත් යන්ට."
"අදම එක්කර ගෙන එංට හිතාන හිටියේ. කොහෙද ... ගමේ අය එනවා කෙලවරක් නැතුව. අපෙ අම්මත් එහෙට යවල මං මේ ආවේ. මං ඉක්මනිංම වෙලාවක ඒකිත් එක්කරගෙන ඇවිත් යංට එන්නං අපෙ මහත්තයා."
"හ්ම් තෙරුවන් සරණයි දෙන්නට... "

                    *                        *                        *

                    තව ලස්සන  ලස්සන බොරු කතන්තරත් ඈඳිල පෑලිස් ඩිංගිරී කැන්දාන ආව එක ගම මුලුවස්සං පූජිත වෙංට එදා දවසේ වරුවක්වත් ගියේ නෑ
"මං උදේ පාංදර එහෙ බලනකොට කවදාවත් නැතුව  කෙල්ලක් මිදුල අතුගානවා. බැලින්නං ඩිංගිරී.."
"ඩිංගිරීලෑ ගෙදර, ජෝඩුව ගියාම, මහ එකා බැන වැදිල. පෑලිසා දෙකක් හමන්නලලු ආවේ."

                 ඔහොම කතා මහ ගොඩයි. ඔව්වා ආරංචි වුනාට පෑලිස් කිසි දෙයක් මායිං කෙරුවෙ නෑ. හිනා වුනා විතරයි.

                     *                        *                         *
                 
                 වල කපල දුන්නම දෙල් පැලේ හිටෙව්වේ ඩිංගිරීගෙ අතිං.
"අරුවා මෙව්වා හිටෙව්වා වාගේ නෙවෙයි දවස් පතා වතුර දාංට වෙයි. බිත්තර රකිංට වාගේ අපි දෙන්නා ගෙටම වෙල ඉඳල හරි යන්නෑ ඕං."
"මං අල්ලාන හිටියායැයි... "
"එහෙම නං තව කමන්නෑ. ගැට ගහගෙනනෙ..."
"මංද දන්නෑ.. කොච්චරවත් හුටු හුටු ගගා.."

                  දෙන්නා එක් වෙල මල් පාත්තිවල බැද්දත් උගුල්ලැව්වා. ඒත් කරංට තියෙන බර බර වැඩ පොලත් අමතක කරල දෙන්නා සතියක් විතර  බොහොම නිවී හැනහිල්ලේ හිටියා. ඒ දවස් ටිකේ පිඟං රාක්කියක් හැදුවා. බිත්තිය දිගේ තියෙංට එල්ලුවා. කලම්ප ගහල, පිට ලෑලි වලිං දොරකුත් හැදුවා. ඉරිදා සන්දෙට ගිහිං දෙවෙනි මහත්තයා දුන්න රුපියල් පහෙං වලං මුට්ටි, කොරහක් නෑඹිලියක්, බෙලෙක් පිඟං කෝප්ප දෙක තුනක් එහෙම ඇන්න ආවා. ඊයේ පෙරේදා බොංචි වලටයි අමු මිරිස් වලටයි හම්බු වෙච්ච තව පනං අටක් විතරත් පෑලිස් ලඟ තිබ්බා.
" මට නං ඔය මඩක්කුවත් ඇති..  කන එක්කට." ඩිංගිරී කිව්වා.
"එහෙම කරංට එපා ඉතිං."

                   *                        *                          *

                   දවසක් හැන්දෑවේ දෙන්නා එක්ක ඩිංගිරීලගෙ ගෙදර ගියා. තිබ්බ විදිහ අප්පගෙත් වෙනස් වෙල. ඩිංගිරීටත් වැඩිය පෑලිස්ට සංතෝසේ. විනාඩිය යංට කලිං උන්දෑ කඩේ දිහාට දුවල ආවේ.
"බත් කටක් කාල පලයල්ලා."
ඒකට අකමැත්තක් නෑ කියල දෙන්නා පෙන්නුවේ මොකොවත් නොකියා ඉඳල.
"හෙට මං ගෙදර පැත්තේ එංට හිතාන හිටියේ. අර පැල ජාති දෙකක් තුනක් තියෙනවා. එව්වත් ඇන්න එඤ්ඤං.."
"මාමා.... අ.. අ.. මාමණ්ඩි හෙට එංට එපා. එව්වා පස්සේ ගන්නං. හෙටමවත් පිටවල ගිහිං එංට හිතාන ඉන්නවා."
"පිටෝල?"
"ඔව් ලේකං ගෙදර.."
"හා.. ඒක හොඳ දෙයක්. මට පස්සේ එංට පුලුවං."
"පංසලටත් යංට ඕනැ.."
"අනිද්දා නේද දෙපෝය. ඒ ගමංම බැරියැ. වන්දනත් කරගෙනම."
"එහෙමත් පුලුවං. ඒත් ලොකු හාන්දුරුවෝ බැහැ දකිංට ආවා නෙවෙයි කියල හිතයි වද්ද?"
"කැමැත්තක්.. "
"ංහා... මං ගෙදර එංට හිටියේ කාරණාවක් මතක් කරංටත් එක්ක. ඉඩම මායිමේදිම ඇල ඩිංගක් හරස් කරල පල්ලෙහා තුඩුවට වතුර ටිකක් හරවා ගංට බැරි වෙයිද... ලියද්දක් දෙකක් අස්සද්දා ගංට..?"
"මාමණ්ඩි ඒක මටනං මතක් වුනේම නැති එකක්. යස අදහස. ඒත් වතුර තියෙයිද?"
"එක කන්නක් තමයි වැඩ කරංට වෙන්නේ. මාස් වැහි පටං ගන්නකොටම බාල ගොඩ වියක් දාමු. යලට ගස් බොංචි ටිකක්.. රතු ලූනු පාත්තියක් දෙකක්, කව්පී ට්කක් එහෙම ඉක්මනිං පලපොරෝජන ගංට පුලුවං දේවල් එකක් දෙකක් හිටවමු."

                      *                     *                   *
  
                    පෑලිස්ලා ආපහු යද්දී... හඳත් පායල. අඳුරත් නැතුවා නෙවෙයි, කැලෑ කොලණිය හරියේදී එහෙම. ඩිංගිරී පෑලිස්ට ලං වුනා.
"සීතලද?"
"නෑ.. "
"එහෙනං..."
"ලඟිං යංට .."
"අ.. අන්න අන්න නංගී. මේ ලන්තෑරුං එලියට හොඳට පේන්නෑ.."
"මුව පැටව් නේද?"
"නෑ.. මීමින්නෝ ජෝඩුවකුයි පැටියයි.."
"බය නැතුව ඉන්න හැටි විතරක්.. "
"නෑ නංගී පැටියා හිංදා ඔයෙ.
තමන්නේ පණ ගියත් පැටියා දාල දුවන්නේ එහෙම නෑ, මහ දෙන්නා. පැටවුංට පුදුම ආදරයක්... "
"පව්.. ඔය අහිංසකයොත් මරාගෙන කනවනෙ."
"කොයි සතත් අහිංසකයි මං නං කියන්නේ."
"මටත් ඒ වාගේ පැටියෙක් ඕනෑ ඉක්මනට.. " එක පාරම ඩිගිරී කිව්වා.
පෑලිස් නිස්සද්දයි...
"මේ බීරා... ඇහුන්නැද්ද මං කිව්ව එක... මටත් ඒ වාගේ පැටියෙක්.. ඉක්මනට.."
"පැටියෙක්...? පැටියෙක් මොනවා කරංටද ...? විකාර කියන්නේ නැතුව යං...
"විකාර... ? ඇයී... අයියා ආසා නැද්ද.. ඒ වාගේ අත ගාවිං අල්ලාගෙන එක්කොන්න යංට."
"මං කැමති නෑ.. " ඩිංගිරී පෑලිස්ගෙ අත ගසා දාල පැත්තකට වුනා...
"මට ඇත්ත කියංට... ඇත්තටම කැමති නැද්ද?"
"ඉතිං දැං යංකෝ.. මේ පාරේ, කැලේ බබ්බු හදංටයැ."
                
                   ගෙදෙට්ට යනකමුත් ඩිංගිරී අයෙ කතා කෙරුවේ නෑ.
"කහට ඩිංගක් ඕනැද?" ඩිංගිරී ඇහැව්වේ ගහංට වාගේ.
"මට එපා.. " පෑලිස් උත්තර දුන්නෙත් ඒ වාගේ. ඩිංගිරීගෙ මූණ දැං ගමං මැහි පොදියක් වාගේ. එල්ලිල, කලුවෙල.

                   පෑලිස් ගිහිං සේරු ගහ යට ලෑල්ලේ ඉඳ ගත්තා. දැං හොඳට හඳ එලිය. අද, රෑ කුමාරි ගහෙත් හොරෙම්ම මල් පිපිල. ඒ සුවඳ සැර වැඩිත් එක්ක. පැලිස්ට එහෙම හිතුනා. සැරට නැතත් දැම්මම පිණිත් වැටෙංට පටංගෙන. පෑලිස්ට කිබුහුමක් ගියා. ඒ සද්දෙට, ගල් වැටට එහා පැත්තෙං ගිය මොකෙක් හරි සතෙක් බයවෙල පැන්නා. පැන්න සද්දේ තරමට නං අයෙත් මීමින්නෙක් හරි වැලි මුවෙක් හරි වෙංට ඕනෑ. බලංටත් හිතිල කරබා ගත්තා. ඔහෙ නිදහසේ ගියදෙං. කිරළෙක් කෑ ගහගෙන ඉගිලෙනවා. හීං කාලේ අප්පච්චි කියල දුන්නේ, කිරළා රෑ එහෙම කෑ ගගහ ඉගිලෙන්නේ කයෙහරි වත්තක හේනක නැත්තං කුඹුරක, කැලෑ සතෙක් ආලාපාලුවක් කරනවා දැක්කමලු. මේකට ඉහලිං තියෙන පලාවත්තේ බංඩෙගෙ ඉඩමේ වෙංට ඇති. පව්.

                  ගල් වැටෙං එහා පැත්තේ සද්දේ අයෙත්. එක සතෙක් නං නෙවෙයි. පෑලිස් සද්ද නොවෙංට නැගිටල ගල් වැට ගාවට ගියා. හාවෝ ජෝඩුවක් හීං පැටියෙක් එක්ක සෙල්ලං කරනවා. බලා ඉංට බැරි තරං ලස්සනයි. ආයෙ සද්ද නොකර ගේ ලඟට යනකොට ඩිංගිරී පැදුරු එලන සද්දේ ඇහෙනවා.
"නංගී... සද්ද නොකර එංට බඩ්ඩක් පෙන්නංට.. හා... ඔයෙ ලැයිට් එකත් ගංට."
"අර... "
                  ඩිංගිරී වචනයක් කතා නොකර ව්නාඩි දෙක තුනක් එහෙ බලාගෙන හිටියා. ඒ කරල මෙන්න අඬනවා!
"මේ මොකද..?"
"මං ඒ වාගේ හේතු කාරියක් නෙවෙයිනෙ.. " දැං ඉකි ගැහෙනවා.
"අනේ.. අනේ.. පිස්සු කෙල්ල.. මෙහෙං ඉඳ ගංට."
"මොකටද?"
"නංගී.. මට අවුරුදු එක හමාරක් දෙකක් බාල නංගියක් හිටියා. ලා ඡායාවක් විතරයි මට මතක. අපෙ අම්මා වාගේ කලු පාටට ලස්සනට හිටියා. අම්මයි අප්පච්චියි මට මයෙ පුතා කියන හිංදා එයත් මට 'ආ පුතා' කියංට පුරුදු වුනා. 'අයෙ ආ පුතා කිව්වොත් කටට ගහනවා' කියල මං කිව්වම 'අම්මා ආ පුතා අයි?' කියල ආපහු  අහනවා. හරි හුරතල්...."
"නැති වුනේ මොනවා වෙලද?"
"උණ සැරට වලිප්පුව හැදුනලු. අප්පච්චී ගෙදර හිටියෙත් නැල්ලු. හිටියත් කොහෙ කියල ඇන්න යංටද? මොනවා කරංටවත් අම්මටත් තේරුමක් වෙලත් නෑ වාගේ. ඉඟුරු ඉස්ම ඩිංගක් නං පොවල තියෙනවා. හිතංටකො මේ වෙනකොට අවුරුදු දෙකක් බාල නංගියෙක් මට හිටියා නං! මොන වාසනාවක්ද? ඉතිං මට කයෙවත් පොඩි එකියක් දැක්කත් දුක හිතෙනවා තවම.. "
"ඉතිං.. ඒ හිංදා අයියා කැමති නෑ අයියගෙම හීං එකෙකුටවත්... එහෙමද?"
"ඔන්න කිව්වා... දැං ඉතිං මොකද්ද කියන්නේ මට?" ඩිංගිරීගෙ ඔලුවේ අතක් තියල පෑලිස් ඇහුවා.
"අපෙම හීං එකෙක් ඉන්නවට අයියා කැමති නැද්ද? ඇත්තටම කැමති නැද්ද? කියංට..."
"මං අපෙ හීං එකෙකුට කැමති නෑ. මට අඩු ගානේ... හතක් අටක්වත් ඕනෑ....! තේරුනාද මෝඩිට..?" ඩිංගිරී දිහා බොහොම ආදරෙං බලල පෑලිස් කිව්වා.

                  උඩට ගත්ත උස්ම පල්ලෙහාට දාගංට බැරුව ඩිංගිරී විනෑඩියක් දෙකක් පෑලිස් දිහා බලාන හිටියේ. පෑලිස් එයා ලඟට ගත්තා. ඔලුවත් ඉඹල...
"මයෙ අයියා ... ඔහොම කවටකං අයෙ එහෙම කරංට එපා දෙයියෝ. මයෙ පපුව පැලෙයි... " ඩිංගිරීට අයෙත් කඳුලු එනවා.
"දැං නිදිමතේනෙ හිටියේ... දැං යං."
"මට ඇති නිදි මතක් නෑ... "

                                                        simple "s"

https://udagedarakatha4u.blogspot.com/?m=1

2019.01.12

අන්තර්ජාලයෙන් ලබාගත් පින්තූර.
1. මීමින්නා.
2. හාවා.
3. වැලි මුවා.

Sunday, January 6, 2019

උඩගෙදර කතා 118 (ලිං කටෙං වැටුන එකා 07)

ලිං කටෙං වැටුන එකා   07.

"කොහෙ යංටද ඔය මහ රෑ? මොකද්ද කරංට යන්නේ? පෑලා.. උඹ මට ඇහැරවංට වෙයි. ඔය කුකුළා අඬලන වෙලාව කියන්නේ මං සෙත්ත පොච්චි වෙල වාගේ තමයි." 
"ඒක වෙලාවට ඒකා කියයි. සුදු, උඹට තියෙන්නේ ඒකා කියන දේ කරංට. එච්චරයි. හැබැයි පෑලා ඈතක යංට නං මටත් මේ ඇඳුම කමක් නැද්ද? මං දන්නෑ."
"මිනියක් මරංට යනවත් නෙවෙයි.. සිල් ගංට යනවත් නෙවෙයි.  ගල්පඩි හෙල පැත්තෙං මයියංගනේ යංට  යන්නේ. මං යන්නෙත් මෙහෙම්ම. හා දැං බුදියා ගනිල්ලා..." පෑලිස් කිව්වේ අමුතු හිනාවකුත් එක්ක.

                    *                        *                        *

                   පෑලිස්ට නං ඇස්දෙක පියවුනේම නෑ. යංතං කුකුළා එකසැරේ අඬලනකොට නැඟිටල වතුර ටිං එක ලිපට කෙරුවා.

                   පාන්දර පිපෙන මල්වල සුවඳ ගේ ඇතුලෙත් පිරිල. පලඟැටියන්නේ සද්දේ එක ගොහොට්ටියයි. ක්‍රීක්ක්‍රීක්... ක්‍රීක්ක්‍රීක්... ක්‍රීක්ක්‍රීක්...
නිකිණි දෙපෝයට තව දවස් තුනයි. ඒ හිංදා හඳ බැහැල යංට තව බඹ තුනක් හතරක් තියෙන්නේ. අහස බොහොම පැහැදිලියි. ඉතිං පිණි වැටෙන්නේ හරියෙට වැහි පොදයක් වාගේ, පෑලිස් හිටුවපු මල් ගස් වලයි රිකිළි දැම්ම ගස් වලයි කොල උඩට. පොල් පැල වල ඇදිල ආව පුරුක් කොල උඩට වැටෙන හඳ එලිය සුදු පාටට දිලිසෙනවා. කුඩමැස්සන්නේ  වරල් වාගේ. වත්තට නැගෙනහිර පැත්තෙං තියෙන මැටිවලතැන්නේ කන්ද මුදුනත් යන්තං හුදුවෙල තියෙන්නේ ඉර තවම රඹස් වෙල නෙවෙයි. හඳ එලියට. මිදුල පුරාත් ඒ වාගේ. මල් පාත්ති ටිකයි මලුයි හොඳට පේනවා. රිදී මල් ගසුයි දාස් පෙතියා පාත්තියි තමයි හොඳටම අයිත්තං වෙල තියෙන්නේ. සමං පිච්ච වැලේ තවම තියෙන්නේ මල් හත අටක් වුනාට ඒ සුවඳ තමයි ඉහලිම්ම දැනෙන්නේ.

                     මේ 'අක්කා කොල්ලා කොයි' කුරුල්ලා නං වෙලාවක් අවේලාවක් ඇති එකෙක් නෙවෙයි. ආං.. දැමුත් ඒ ලස්සන අඬ ඇහෙනවා, ඈතිං. "අක් කොල්ලල් කෝ .... අක් කොල්ලක් කෝ ...."

                    *                        *                       *

"මං මේ කිරිච්චිය ඉනේ ගහගත්තට එහෙම කලබොල වෙංට එපා උඹලා. සත්තුවත් ඉඳියි කියල ඒක ගත්තේ. හා.. දැං වරෙල්ලාකො, අපි කොහෙද යන්නේ කියංට. අපි යන්නේ බං ... අපි යන්නේ  ඩිංගිරී නඟා කැන්දාන එංට...."
"ඩිංගිරී...?"
"ඈහ්..."
දෙන්නටම කියවුනේ එකවැර. ඇස් ගෙඩි එලියට පැනල.
"ඉතිං බං ඒකීවත් දන්නැතුව.... උස්සාන එංටද යන්නේ, කට බැඳල?"
"කව්ද කිව්වේ ඒකී දන්නෑ කියල. හා.. දැං යමල්ලා. යද්දී.. කතා බෑ. අර ලැයිට් එක මෙහෙට්ට දියං."
"පෑලා එතකොට ඒකී එක්ක එන්නේ මෙහෙට්ටද, මහ ගෙදෙට්ටද?"
"දැනට මෙහෙට්ට. අපි ආපහු ඇවිත්, එලිය වැටුනම උඹලා දෙන්නා මහ ගෙවල් දෙකට ගිහිං මේක කියංට ඕනෑ. ඒකරල ඉක්මනිං වරෙල්ලා මොකදෑ කිව්වේ කියල අහගෙන. ඊට පස්සේ බලන්නං ඉන්නේ කොහෙදෑ කියල. හා .. අපෙ ගෙදෙට්ට යන එකා, තව ඩිංගකිං අපි එහෙ එයි කියලත් කියංට ඕනෑ. හ්ම්.. දැං කතාව නවත්තාන යං."

                   *                       *                        *

                  කතා වුනා වාගෙම පෑලිස් එයා ආවා කියල සලකුණු කෙරුවා. පොරවාන හිටිය චීත්තෙම තව සූජානමට ඉහිං කනිං පොරවාගෙන ඩිංගිරී ගේං එලියට ඇවිත් වටේ බැලුවේ හිමීට දොරත් වහල. පෑලිස්ගෙ ලැයිට් එක දෙතුං සැරයක් පත්තු වෙල නිමුනා. ඩිංගිරී අඩියට දෙකට පෑලිස් ලඟට පැන ගත්තේ ඇස්පිල්ලං ගහන සද්දෙයක්වත් නොවෙංට. කතාවක් බහක් නැතුවම දැං හතර දෙනා අඩි පාරේ එනවා, කරඳේ ලඟදී මහ ගෙදර පැත්තට හැරෙන්නැතුව දිගටම වැව පැත්තට.
                     
                 ඉස්පිල් එකෙං වැවේ බංඩෙකට මතු වෙංට තියෙන්නේ හීං කොංකිරිට් පඩියක්. ඔන්න එතෙංදී පෑලිස්ට සිද්ද වුනා ලැයිට් එකත් පත්තු කරල ඩිංගිරීගෙ කිහිල්ලට අතක් දීල උදව් කරංට.
"පරිස්සමිං... "
"කෝ අයියත් ගොඩ වෙංට." රහසිං කතා කෙරුවේ.

                  හඳ බැහැලම යංට තව ඩිංගක් තියෙනවා. නැගෙනහිරිං බක්ක තාරුකාවක් දැං බඹයක් දෙකක් ඉහලට ඇවිත්. පාං තරුව. අනික් තාරුකත් ඒ පාර ටික ටික එලිය වැඩි වෙනවා. වැවේ දැං වතුර ඩිංගයි තියෙන්නේ. ඒ ඩිංගට ආකහේ හේමලයා වැටිල හරි රුවයි. ගෙම්බෝ කට කමසෙය්යාවක් නැතුව කෑ ගහනවා. ටක්.. ටික්.. කියන එවුං තමයි වැඩ්. ඒ අස්සේ පලඟැටියොත්. දැං තැනිං තැන කුරුළු කොබෙයියොත්.

                   බන්ඩෙකෙං ගොඩ වෙන තැන ගෙදර බබී උන්දෑ දොට්ට පිලට යංටදෝ කොහෙදෝ ගෙදරිං එලියට ඇවිත්. ලාම්පුව ටිකක් උස්සල ඇස් ඉහලිං අතකුත් තියල පෑලිස්ලා යන දිහා බැලුවා. දුර වැඩි හිංදා අඳුරා ගංට බෑ.
"කව්දෑ ඔයෙ?"
"ආ.. හීං අත්තා මේ අපී...."
"අපි කිව්වේ?"
"හා.. "

                 කැලෑ කොළණිය හරියෙං යනකොට ඩිංගිරීට අවුරුද්දකට හමාරකට ඉස්සර දවසක් සිහි වුනා. හිමීට කිව්වා:
"කරඹ මලක්.."
"කට කට..."

                  ඩිංගිරීට දැනුනේ වරුවක් ඇවිදගෙන ආවා වාගේ. ඩිංගක් වටපිට බලල ගෝහාල මැස්සේ වාඩි වුනා. කොට්ට උරේක දාන ඇන්න ආව ඇඳුං කෑලි
දෙකත් ඒකෙම පැත්තකිං තිබ්බා.
"ඩිංගිරී නඟා උඹට කහට වතුර ඩිංගක් උණු කරල දෙංටද?"
"නඟාට විතරක් නෙවෙයි... ඔක්කොටෝම වක්කරමු රණා."
"නෑ.. නෑ.. මට අඩුවැඩිය ටික පෙන්නංටකොයි. මං කහට ටික වක්කරන්නං."
"නෑ.. නෑ.. දැනට ඉතිං ඩිංගක් ඔහොම්ම හිටපං නඟා."

                  පැහෙන වතුර ටිං එකට තේ කොල ටික දාල රණා කහට වැක්කෙරුවා. හතර දෙනාම ඉඳගෙන කහට බොනවා හකුරුත් එක්ක.
"පෑලා උඹ මොකොද කතාවක් නැත්තේ?"
"නෑ බං මං මේ කල්පනා කෙරුවේ ඊගාවා හටන ගැන. පටං ගන්නේ කොතනිංද කියල.
නංගී පල්ලෙහා පැත්තේ ලිඳක් කපල තියෙනවා. වතුර තවම යංතං යංතං මඩ පාටයි... ගල් අස්සෙං පස් හේදිල එනවා ඇති. බොංට ඉයංට තවම අපි ඒ වතුර ගන්නෙ නෑ. මූණ කට, රෙදි, වලං එහෙම හෝදංට නරක නෑ. එහා පැත්තේ අතු පැලකුත් හදල තියෙනවා. කරුවලේ ලැයිට් එක නැතුව එලියට යංට එපා."

"දැං ටික ටික එලිවෙල. උඹලා දෙන්නා ගිහිං එනවද එහෙනං. මතක ඇතුව අපි දවල් වෙල ගෙවල් දෙකටම එනවා කියංට ඕනෑ. හරී.. "

                    *                       *                       *

                   දෙන්නම ලිඳෙං මූණ කට හෝදාගෙන ආවා. ඒ වෙලාවේ තමයි ඩ්ංගිරී මල් ටික හොඳිං දැක්කේ.
"හරිම ලස්සනයි."
"ඔය ඔක්කොම දැං නංගිගෙ."
"මං දන්නවා."
"නා පැල දෙක දැක්කෙ නෑනෙ. අර.. කඩුල්ල දෙපැත්තේ. හොඳිං හැදෙනවා."
"හොඳට රැක බලාගෙන. ඉස්සරහටත් ඒ වාගෙම බලා ගංට."
"බලාගංට නෙවෙයි බලා ගමු.. කියංට."
"ඔව්..... ඔව්."

              මේ වෙනකොට දෙන්නා හිටියේ කාමරේ.
"හැබැයි ඔව්වේ මල් පිපෙංට කල් යනවා අයියා."
"දලුදාංට කල් යන්නෑනෙ. දැනට ඒ මදෑ. මල් බලංට ඇයි ඉතිං අපිට කලබලයක් නංගී."
"අප්පෝ කිසි කලබලයක් නෑ. දැං ඉතිං කවද පිපුනත් මයෙනේ... "

                හිනාත්වෙල, ඩිංගිරී එක පාරම ආපහු හැරිල පෑලිස් බදා ගත්තා. කමිසේ අස්සෙං අත දාල පපුව හිමීට අත ගෑවා. පිස්සුවෙං වාගේ.
"මොකද්ද මේ යන්තරයක් දාල අයියා?"
"හ්ම්... පහු ගිය කාලේ මට ඇස් වහක් කටවහක් වදියි කියල අප්පච්චී ඔය කොහෙංදෝ හදවල ගෙදර තිබ්බ සුදු යකඩ සුරයක් සුද්ද කරල ඇන්න උන්දෑ අතිංම දැම්මේ." කියල පෑලිස් හීල්ලුවා.
"ඕක අයෙ හූල්ලංට දෙයක්යැයි. අයියට ඒ දෙන්න නැති වෙන්නෑ. අපෙ උන්දැලා ගැන නං මට හැකයි."
"නෑ නෑ .... ඒ දෙන්නත් මං කොහොමහරි නම්මා ගන්නවා නංගී..." කිය කියම පෑලිස් ඩිංගිරීගෙ මූණ තොල් පපුව ඉඹගත්තා. ගොඩක් වෙලා..
"අයියට මං අයෙම කහට ටිකක් දාල දෙන්නං?"
"හ්ම්.. හා.. ඒත් දැම්ම එපා එක්කෝ. මං ඊයේ ඉස්කිරිඤ්ඤ වගේකුත් ගෙනත් ඇති.. අපි ගෙදර යනකල් එව්වත් කාල කහට බොමු මේ දෙන්නත් ආවම."
"ඒක හොඳයි.. මට නං බඩගින්නක් නෑ."
"ඒ විතරක් නෙවෙයි... නංගී අදත් ගැහෙනවා. උන ලෙඩා වාගේ."
"ඇත්තටම අයියා... අද තව මොන මොන යුද්ද තියෙයිද... ඒක මහ බයකුයි චකිතේකුයි. කමන්නෑ.. කොයි දේටවත් මූණ දෙමු."
"මටත් ඔය චකිතේ නැතුවා නෙවෙයි. ඊට වැඩි එව්වත් තියෙනවා."
"ඒ මොනවද චන්ඩියා..!"
"මයෙ අතක් නංගිගෙ ඇඟේවත් නංගිගෙ අතක් මයෙ ඇඟේවත් ගෑවුනත් දැනෙන මොකද්දෝ කියංට තේරෙන්නැති එකක් ඒක. ඉස්පිල් එකෙං ගොඩ වෙංට නංගිගෙ කිහිලි අස්සෙං අත දෙනකොට තමයි ඉස්සර වෙලම ඒ අමුත්ත පපුවේ විදුලි කෙටුවේ...."
                ඒ වෙනකොට පෑලිස් හිටියේ පකිස් පෙට්ටි බංකුවේ ඉඳගෙන.
"කෝ.. ව්දුලි කොටන්නේ මෙතනද... මෙතනද... මෙතනද... දෙයියෝ..."
"ඔන්න ඔන්න සුද්දා එනවා."

                   *                          *                          *

"මං ඒක කියනකොටම උඹලෑ අප්පච්චි පොරට එන අනිකා දිහා බලන ගොං නාම්බා වාගේ ඔලුව කෙලිං කරල ඉස්සරහ බලා ගත්තා. නහය පිඹින හැට් ඇහෙනවා ඇහෙනවා ගානයි. අයෙ මං මේ එනකල්ම උන්දෑ නෙවෙයි මයෙ දිහා බැලුවේවත් වචනෙයක් කතා කෙරුවේවත්.  අම්මානං ඉහිලුංපිටයි. මයෙ පුතා -****ක් බැඳගත්තා කියල ගමේ උං තැනිං තැන කියයි. කමන්නෑ මයෙ කොල්ලගෙ ඇඟේ වදිනවායැයි. උපාසක අම්මා වාගේ ඉඳගෙන මේකී මයෙ කොල්ලා දැලේ දාගත්තා එහෙනං. කමන්නෑ මයෙ පුතා.. කමන්නෑ මයෙ පුතා උඹෙ ඉරනංකාරී ඒකී නං අපි ඉතිං මොනොවා කරංටදෑ... " කිය කිය ඇඬුවා. අම්මට ඉකිගැහිල්ල නවත්තා ගංට බෑ පෑලා.
"කොයි අම්මා අප්පත් ඔහොම තමයි සුදු. දවස් කීපෙයක් යනකොට ඔව්වා ඇරිල යන්නැතෑ... "
"උදේට කංට දැම්ම එංට කිව්වා.... 'මයෙ කොල්ලා කැමතියි බැදපු කොස් ඇට තලල තෙල්දාල. පාං රොටී එක්ක හදල තියන්නං.' කියල කියංටත් කිව්වා.... මේ.. මටත් එංට කිව්වා ඈ.. ඔන්න රණත් එනවා."

"මේ පෑලා.... සෑහෙන වෙලාවක් තොපි දෙන්නටම පලු පැලෙංට බැන්නා, දෙන්නම. ඒ ටික ඔක්කොම මං ඉතිං අහගෙන හිටියා.. ගොනා වාගේ!"
"ගොනා වාගේ....?"
"පැහෙන් නැතුව උඹ හිටපංකො."
"මොනවද ඉතිං කිව්වේ.?"
"අපෙ ගෙවල් වලිං කවදාවත් හිරයක් දුන්නද බං උංට? මේ බැල්ලී හිංදා අපෙ උංට අපි මූණ දෙන්නේ කොහොමද.. පහු ගිය කාලේ සීපද හුටු හුටු ගගා ඉන්නකොට මට නිකං ඉඟියක් තේරුනා. මයෙ මෝඩකමට මං සන්දෙං, යසෝදරා වැලපිල්ල කවි පංතියක් තියෙන පොතකුත් ගෙනත් දුන්නා. අයෙ මේ පැත්තේ එහෙම එංට ඕනැන්නෑ කිව්වා කියපං."

"ඒ ඇත්තෝ කැමති වෙල මඟුලක් කරගත්තා කියල ඉතිං ඉං පස්සේ අපිට අස්සද්දංට උං එනවද... දෙන්නගෙ අතේ පයේ මහංසියෙං හරි හම්බු කර ගත්තොත් විනා. මං එපා නං මටත් එපා." ඩිංගිරීට හොඳටම තරහ ගිහිං.
"ඒ අය කොයි දේ කිව්වත් වචනයක් කතා කරනවා එහෙම නෙවෙයි නංගී. අම්මලා අප්පලා අම්මා අප්පාකම පෙන්නන්ටත් එපායැ."
"අංතිමට අංතිමට අම්මගෙ නං හිත උණු වුනා... මට වෙනම කිව්වා: 'දවස් කීපේකට මෙහෙ එංට එපා' කියංට. 'මහ තැන හිත පෑරෙංට මොකොවත්  කියයිවත්. ඒ දෙන්නා පල්ලෙහා ගෙදෙට්ට එනකොට මං එහෙට්ට එන්නං කිව්වා කියංට.' කියල."
"ඒ කියන්නේ අදද?"
"ඔව්... හා, තව එකක්... 'අර උඩිස්පත්තුවේ ජාතියක් ඇවිත් ගියා. උං ලක ලැහැත්ති වෙල හොඳ වෙලාවකුත් බලල. දැං උංට මොකද්ද කියල යවන්නේ?" කියලත් නඟාගෙ අප්පච්චී කිව්වා.
"හ්හ්... මට කිව්වා නං අහගන්නවා මයෙං... ඇයි ඒ මිනිහට අයියෑ ගෑණී ඉන්නේ කියල.... හොයාගත්තා නල්ලමලේ මඟුලක්..."
"නංගී.. මං එක සැරයක් කිව්වානෙ. දැං කට වහගෙන කට්ටියටම කහට ඩිංගක් දාංට. "
"අපෙ අම්මා ලොකු විරසකයක් නූන එක නං ලොකු දෙයක්. හදිස්සියකට මට කොහෙවත් රෑක් ඉංට එහෙම යංට වුනොත් ඩිංගිරී තියල යංටවත්." ඉස්කිරිඤ්ඤා කකා කහට බොන හිටං පෑලිස් කිව්වා.
"ඒකනං ඉතිං අපෙ ගෙදරකවත් බැරියැ. එහෙම නෙවෙයි, තව ඊට වැඩි ඕනෑකං වෙනවා බං ඉස්සරහට..."

                  පෑලිස්ලා මහ ගෙදරට යනකොට අප්පච්චිත් හිටියා. දෙන්නා උන්දෑ ඉස්සරහ දණ ගහනකොට පැත්තක බලා ගත්තා. පෑලිස්ගෙ හිතට දුකක් දැනුනා. හැබැයි ඒක මහ වෙලාවක් තිබ්බෙ නෑ.
                          
                 ඩිංගිරීගෙ අම්මා ආවේ ඩිංගිරීගෙ මල්ලිත් එක්ක. කොල්ලා ආව ගමං පැන්නේ අක්කා ලඟට. පෑලිස්ගෙ අම්මටයි අප්පච්චිටයි වාගෙම දෙන්නා, ඩිංගිරීගෙ අම්මත් දකිනකොටම දනගහල වැන්දා.
"අක්කා අයෙ ගෙදර එන්නෙ නැද්ද? මේ අයියා එංට දෙන්නැද්ද?"
"අපි එන්නේ දෙන්නම මල්ලී." උත්තර දුන්නේ පෑලිස්.
"හැබෑටම අදමවත් උඹලා දෙන්නා එහෙත් ඇවිත් අප්පච්චිටත් කතා කරල පලයල්ලා. හිතේ කෝංකං තියාගංට ඕනැන්නෑ."
"අපෙ නං කෝංකමක් නෑ අම්මා."
"මං උඹෙ ඇඳුං කැඩුං දෙක තුනත් තිබ්බ එව්වත් ඇන්න ආවා ඕං. උඹ පොරෝන එක නං හොයා ගංට බැරි වුනා හදිස්සියට."

ගමේ කීප දෙනෙක්ම ජෝඩුව බලංට ආවා. පෑලිස්ගෙ අම්මා ඒ හැම එක්කෙනාටම බුලත් තට්ටුව කිට්ටු කෙරුවා. ඩිංගිරීගෙ අම්මට නං කහට ඩිංගකුත් හදල දුන්නා.

                   කඩේ දිහා ගිය පෑලිස්ගෙ අප්පා වට්ටක්කා දලු ටිකක් දෙල් ගෙඩියක් විතරක් නෙවෙයි කීලං කරෝල අරික්කාලකුත් ඇන්න ආවේ. ලේලිට කංට දෙංට!

"මයෙ පුතා අපි දෙල් පැලයක් හැදුවෙ නෑ නේද කියල සිහි වුනේ දෙල් ගෙඩියක් ගංට ගියාම. මුලක් කැපිල හැදිච්ච යස පැලයක් හම්බුනා. ඒක ඇන්න ගිහිං  හෙට උදේම ඇල පැත්තේ මායිමට කිට්ටුවෙං හිටුවල දාපං. අදට වතුර එක්ක දාල තියල."

                 දෙල් ගහ පිරිමි ගහක් වෙච්චත් දුකක් නෑ... මයෙ අප්පච්චී මට කතා කෙරුවානෙ!.... පෑලිස් හිතුවා.
"හොඳයි අප්පච්චී. අපි ඇත්තටම එකක් හැදුවා අප්පච්චිට සිහි නැති වුනාට. ඒක නරක් වුනා අප්පච්චී. මට හීං බයක් තියෙනවා තව ටික දවසකිං ඉඩෝරේ පටං ගත්තම හදපු එව්වා සේරොම මැරිල යයිවද්ද කියල."
"නෑ නෑ උඹලට ඔව්වා බේරා ගංට බැරුවෙන්නෑ. ඒ වෙද්දිත් ලිඳේ වතුර තියෙයිනෙ."

"ඔයෙ රෙදි කෑල්ලක් අරක මේක මීයන්නෙං එහෙම පරිස්සං කරල තියා ගංට මේ පිළිහැලියයි, වටිනා කියන දෙයක් දාල ඒකෙම හංගා තියා ගංටවත් මේ හෙප්පු ඩිංගයි ඇන්න පලයල්ලා. පිළි හැලියේ මූඩිය ඩිංගක් ගැහිල තිබ්බා. ඒක මං කොහොල්ලෑ පිළියමක් කරල දෙන්නං. හෙප්පුවත් දෙහි බෑයකට සිනිඳු වැලි හරි ගුරුගල් කුඩු ඩිංගක් හරි දාල මැදල ගනිල්ලා. ඔව්වා  මයෙ අත්තා මුත්තම්මා කාලේ ඉඳල පාවිච්චි වෙච්ච එව්වා. පරිස්සං කරගංට ඕනෑ." පෑලිස්ගෙ අම්මා කිව්වා.

"තව ඔය පරන ලොකු පිඟානක්... අර පලඟාන කියන්නේ එව්වා දෙකෙං එක්කුයි වතුර බොන ලොකු කෝප්පේකුයි මං පස්සේ ගෙනත් දෙන්නං. පරිස්සමට එව්වා තියාගංට පිළිවෙලක් හරිගස්සා ගත්තම."
"එව්වා කවදාහරි නංගිටයි මල්ලිටයි තිබ්බාවයි අම්මා."
"ඒක ඇත්ත.. කොහෙ තිබ්බම මොකදෑ.." ඩිංගි‍රිත් කිව්වා.
                

                    *                        *                         *

                    පෑලිස්ලට එදා අලුත් ගෙදෙට්ට එංට වුනේ මහ ගෙදෙද්දී හවහිංම රෑටත් කාල.
                   පෑලිස්ගෙ යාලුවෝ ආවේ රෑ වෙල. පැයක් හමාරක් හිටිය වෙලාව පුරාම කවටකං...
"ඩිංගිරී නංගී... අද ඉතිං උඹ මේකා රැක බලා ගන්නිං. ඕකා කලුවර වෙනකොට බයේ වෙවුලනවා. උඹ හෙල්ලෙන්නැතුව ලඟිංම හිටපං."
"අනික් එක මේකත් අහගෙන යංට ඕනෑ. උඹලා දෙන්නා මොකාටවත් හොයංට බැරු වෙංට මේ මඟුල හංගාගෙන හිටියේ මොක අස්සේ ගහ ගෙනද?"

                   උං ටික ගියාම, මිදුලේ සේරු ගහ යට ගහල තියෙන ලෑල්ලේ ඩිංගිරියි පෑලිසුයි තනි වුනා. හීතලේ... හඳ පානේ....

                                                      simple "s"
2019.01.08

පින්තූර    1. හෙප්පුව
                 2. පිළි හැලිය.