Saturday, November 17, 2018

උඩගෙදර කතා 45 (කැලේ ගහනවා)


                                   "කැලේ ගහනවා.. "

අපේ වෙද මහත්තයා               අංක 10

"අපෙ දුවලා අම්මයි අප්පච්චියි බලංට යන ගමං වෙංටෑ.. අනේ මයෙ දුව බලංටත් ආසාව තිබ්බා මට."

"ඔව් හීං අත්තා. අපෙ හීං අම්මත් නැතිවෙල කියල පනිවිඩේ ලැබුනා. අප්පච්චිලත් බලල මරණ ගෙදෙට්ටත් ගොඩවෙල යංට කියල."
"කැලේගහන්නේ අනිද්දා කියල කිව්වා.."
"ඔව් හීං අත්තා.. අනිද්දා තමයි. හෙට දවසත් සිකුරාදානෙ. මටත් හීං අත්තා දැක ගංට ආසාව තිබ්බා."
"ඔව්... මයෙ දුවගෙත් හීං එකෙක් ඇන්න දෙංට මට වාසනාව තිබ්බොත් කොයි තරං එකද්ද? හොඳයි අපෙ දුව යංට... මහත්තයටත් මහංසි ඇති."
                 අපි ගෙදර යද්දී මුණ ගැහුන හීං අත්තගෙ මේ කතා බහ අපෙ මහත්තයට මං පැහැදිලි කරල දුන්නා. මේ හීං අත්තා තමයි ගමේ මාත් ඇතුලු සිය ගානකට වින්නඹුකම කරල තියෙන්නේ. එකම උප්පත්තියක්වත් කරදරයක් නං උනේ නැල්ලු. ඉඳල හිටල අම්මෙකුට වැදූ ගේ සන්නිය හැදුනත් මුන්දැගෙම බේත් හේත් වලිං සනීප වෙනවා. මං දන්න කාලේ එක්කෙනෙක් දෙන්නෙක් අප්පච්චි ගාවට එවල තියෙනවා විතරයි. වයසට ගියත් තවම ලස්සනයි සිරියාවයි ඉතිරෙනවා. කරුණාව ආදරේ ඊට හපං. ඒකමයි උන්දැගෙ සිරියාව තවම.
                 අනික, අපෙ ගමේ ගෑණු දරුවෙක් දීග තලග ගියදා පහුවදා ඉඳලම එයාගෙ මව්පියෝ ඇතුලු හැම දෙනාම ඊගාව පනිවිඩේ, දරුවෙක් ගැන තමයි බලාගෙන ඉන්නේ... "එංට අපහසුවක් නැත්තං විනා නොආවට වැරැද්දක් නෑ" කියල, අප්පච්චි පණිවිඩේට කොටසක් එකතු කරල තිබ්බෙත් ඕකනෙ..!
                  අපි ගෙදරට ගොඩ වෙනකොට අප්පචි මළ ගෙදර ගිහිං. අපෙ අම්මා කෑම ලෑස්ති කරනවා. අපි එයි කියල දැනගෙන වාගේ. අපෙ අම්මට අයෙ ඉතිං කට කමසෙයියාවක් නෑ. තේ දාංටද, කුරුම්බත් බාල තියෙනවා; බඩගිනිද; අලුවා හදල තියෙනවා; පුතා මූණකට හෝදාගෙන ඉන්නවද; ඔහොමම ඉඳල බත් ඩිංගක්ම කනවද... මේ වාගේ ප්‍රශ්ණ ගොඩයි.
"අම්මා.. තවම හුඟක් දවල් වෙලා නැති හින්දා පස්සේ කෑම කන්න අපි මළ ගෙදරට ගොඩ වෙලාම එන්නද අම්මා?" අපෙ මහත්තයා ඇහුවා.
"මයෙ පුතා... තවම පෙට්ටිය හදලත් නෑ. දැං ටික්කට කලිං තමයි කොට්ට ලෑලි ටික ඉරාගෙන ගියේ. මිනිය තවම ඇඳක ගං කරල තියෙනවා. කෑම එහෙම කාල පස්සේ ගියොත් හොඳයි."
"ඔව්.. මහත්තයා අපි පස්සේ යන එක හොඳයි." එහෙං මෙහෙං ගෙනෙන කෑම කන එක ගැන අපෙ අම්මලගෙ මනාපයක් නෑ. මං එහෙම කිව්වෙත් ඒකයි.
"ඉතිං පෙට්ටිය හදන හැටි බලන්න ගියාට වරදක් නෑනෙ. මට බලන්න ආසයි."
"කමක් නෑ.. ගිහිං එංට. ගමේම වඩු බාස් උන්නැහැලා දෙන්නෙක් තමයි හදන්නේ."
"ගමේ ගොඩේ කතාවක් තියෙනවා... මොන දේ වුනත් ගමේ වඩු බාස් උන්නැහැ අමනාප කර ගන්ට එපා කියල. ඔන්න ඔය වුවමනාව හින්දා තමයි අපෙ මහත්තයා ඒ"

"මයෙ පුතාලා දැංද ආවේ?" අහගෙන අප්පච්චි ගෙට   ගොඩ වුනේ මළ ගෙදරක් ගැන මතකයක් වත් නැති ගානට සතුටිං. නැති වෙල තියෙන්නේ අප්පච්චිගෙම මල්ලි බැඳපු එක්කෙනා.
              හීං අප්පච්චිලට වැඩිය සල්ලිය බාගෙ නොතිබ්බට ආදරේ කරුණාවේ නං කිසිම අඩුවක් තිබ්බේ නෑ. හීං අම්මා එයාගෙ දූරු දෙන්නටත් වැඩිය මට ආදරේ තිබ්බ තරමයි. හීං අම්මා හිඹුටු පේර මොනවා හරි ගේනවා නං "ඔය දෙන්නට ඕනෑ තරං ඔව්වා ලැබෙනවා. ඔය ටික හීං දුවට දෙංට." කිව්ව වාර කොයි තරංද? පුංචිම කාලේ ඒ දෙන්නා මං හිංදා ගුටි කෑව තරං කී සැරයක්ද? නහයට කටුවට නැති නංගී වුනත් මට නොසෑහෙංට ආදරෙයි. ඉස්කෝලෙදි ළමයෙක් මට ඔරවල බැලුවත් එයාගෙං බේරෙංට ලැබුනේ නෑ. "අත පල්ලෙං වැටිච්ච කෙල්ලක් කියලද හිතාන ඉන්නේ?" කියල මං අදවත් තේරුම දන්නෙ නැති එකක් කියාගෙන දබරෙටමයි ගියේ. නංගී ඇත්තටම මට ආදරෙයි. නිවිච්ච ගතිගුණ තියෙන අක්කයි හීං අප්පච්චියි දෙන්නත් මට තියෙන ආදරේ ඒ වාගෙම තමයි.
               අපෙ මහත්තයා කෑම කාල පෙට්ටිය හදන තැනට ගිහිං ආවේ හුඟක් වෙලා ගිහිං. "ඒක බලාගෙන ඉන්න හරිම ආසා හිතෙනවා. ඒකයි පමා වුනේ.."
"මමත් හරියටම දැකල නෑ."
"මං කියල දෙන්නම්කො."
                අපි හීං අප්පච්චිලෑ ගෙදර ගියේ අපෙ අම්මයි අප්පච්චියි එක්ක.
"ඔන්න මයෙ අක්කගෙ හීං අම්මා අද නෑ. මයෙ අම්මා මෙන්න හීං දුව ඇවිත්.. නැගිටිංට දෙයියෝ... ගිය මාසෙත් හිඹුටු ටිකක් ඇන්න ඇවිත් අපෙ අක්කා මතක් කෙරුවා." නංගී වේගෙං, සද්දෙං කිව්වේ. අක්කා මොකවත් නොකිව්වත් මයෙ අත් දෙකේ මූණ ඔබාගෙන හුඟාක් ඇඬුවා. අපෙ අම්මා ගෙනාව කෑම ඇතුලෙං තියංට යනකොට මාත් ගේ ඇතුලට ගියා. කාමරේ මුල්ලක එලපු පැදුරක සුදු පාං රාත්තල් හත අටක්, සීනි තේ කොල ගොටු දහයක් විතර, ඉස්කෝතු පෙට්ටියක් වාගේ ඔතපු එකක් එහෙම තිබ්බා. මේ මළ ගෙදර ආපු අය ගෙනාපුවා. මට ඒ සුදු පාං වල සුවඳ දැනුනා, පුංචි කාලේ අප්පච්චි ටව්මට ගිහිං එනකොට ගේන එව්වේ වාගේමයි. ඒ පාං රහයිනෙ.
                අලුතෙං කව්රු හරි මළ ගෙදරට ගොඩ වෙනකොට අක්කගෙයි නංගිගෙයි හීං අම්මගෙ නංගිලා දෙතුං දෙනාගෙයි ඇඬීම අලුත්වෙනවා. ඒක අහගෙන ඉංට අපහසුයි. ඇත්තටම දුකට අඬන හිංදා.
"මේං මෙහෙං කුස්සියට ගිහිං තේ වතුර ටිකක් වක්කරගෙන බොංට." ඒ මං ආව වෙලාවේ ඉඳල මළ ගෙදර අයිතිකාරිය කියල පෙන්නන තරුණ ගෑණු කෙනෙක්. නංගී එතෙංට ආවා. එයාට හුඟක් තරහ ගිහිං. "යකෝ මේ අපෙ ලොකු අප්පච්චිගෙ ඒකියන්නේ වෙද මහත්තයගෙ දුව. දන්නනොදන්න හැම එකටම හොට දාංට හදංට එපා."
"එපා එපා අපෙ නංගී මිනිසු තරහ කර ගංට එපා."
"නෑ.. නෑ.. මාත් එයා ආව වෙලාවේ ඉඳල බලාගෙන හිටියේ... කවුරු හරි දෙන්නෙක් මෙතන කටයුතු ගැන
කතා කරනවා නං ඇවිත් පන්ඩිත වෙංට හදනවා. පාං කපංට, කහට දාංට, බුලත් තට්ටුවට හුණු එකක් දාංට. තමුං කරනවා නං කරංට ඕනෑ.ඔක්කොටෝම විදාන කොරන්නෙ නැතුව. තේරුනා නේද? තව දෙතුං දෙනෙක් ඉන්නවා... උන්දැලාටත් කියල දෙන්නං. නැති වෙල ඉන්නේ කව්දෑ කියල."
               මේ අතරේ චන්ඩි ** ඇවිත් බොහොම ගරු සරු ඇතුව මටයි අපෙ මහත්තයටයි කතා කරල ගියා.එයා වෙනස් වෙල නෑ.. එකම වෙනස දාගැබක් දෙපැත්තේ ඉඳගෙන ඒකට වැඳගෙන ඉන්න ගෑනු ලමයි දෙන්නෙක්ගෙ තඩි පච්චයක් වං අතේ බාහුවේ  කොටල තිබ්බ එක විතරයි. ***අන්තිම දවසේ ගොක් කොල වැල් එල්ලීම තොරණ හැදීම වල කෑපීම මිනියට කර ගැහීම වාගේ හැම එකක්ම නැහීගෙන එයා කෙරුවා. බීරංගය ලෑස්ති කර ගැනීම පෙට්ටියට ඉහින ඊයං කොල කැපීම පාංශුකූලෙටයි හාමුදුරුවරුංට ගිලංපසට කුරුම්බා ගෙඩි ලෑස්ති කර ගැනීම සුදු රෙද්ද ලෑස්ති කර ගැනීම වාගේ හැම දේම අප්පච්චිගෙ විදානයෙන් පිළියෙල වුනා.
                   බුලත් තට්ටුවේ තිබ්බ පරන ඇක්සයිස් පොතක ආදාර දෙන එව්වා ලියල තිබ්බ හැටිත් අපෙ මහත්තයා මට කිව්වේ බොහොම නිව්න විදිහට. "කිරිබඩා" ශත 5, "ගුනදසයා" ශත 5, "නාවතලිද්දේ මලෑ" සත 8 .....වාගේ. ඒ අතරේ ..."කඩේ මුදලාලි" ශත 15 ක් ලියල තිබුනා. මේ සල්ලි බුලත් තට්ටුවේ තිබ්බ සිකරැට් ටිං එක්කට දාල තිබුනා.
"අප්පච්චි ඇයි කීයක්වත් දාලා නැත්තේ?"
"අප්පච්චි රුපියල් දහයක් වත් දෙංට ඇති. ඒක ඉතිං පොතේ ලියන්නෑ..."
                    අවමංගල කටයුතු කෙටියෙං කරංට ඕනෑ කියල තීරණය වුනේ හේතු දෙක තුනක් හිංදා. එක ගමකට කතාවක් දුන් නොත් අනික් ගං පහලවට විස්සට නොදී ඉංට බෑ. ඒ අය වයිර බැඳ ගන්නවා. කතා කරංට පටං ගත්තොත් නවත්තන්නෙ නෑ. පටං ගන්න කොටම ඒක කියල තිබ්බත් වැඩක් නෑ. උන්දැලා කතාවට දස්සයි කියල අනික් ඇත්තංට පෙන්නංට බොහොම ආසයි. ඉතිං එහෙම කතා ඔක්කොම පවත්තල ඉවර වෙනකොට රෑ දෙගොඩහරියක් වෙයි. ඈත යංට ඉන්න ඇත්තංට එහෙම එතකොට ප්‍රස්නේ. පිළිගැනීමේ කතාවටයි, හාමුරුවන්නේ අනුශාසනාවටයි ඉස්තුති කතාවටයි සීමා කර ගත්තා
             අපි ගෙදර ගියේ ආයෙම හීං අප්පච්චිලෑ ගෙදරටත් ගොඩ වෙල. කව්රුත් කිව්වේ අවසන් කටයුතු හොඳිං කෙරුනා කියල. සිද්ද වෙන කොයි දේත් සැලකිල්ලෙං බලාගෙන හිටිය අපෙ මහත්තයා පෙට්ටිය හැදුව හැටි හැන්දෑවෙ මට කියා දුන්නා.
               මේ ගොරෝසු කොට්ට ලෑලි වලිං කොහොමද පෙට්ටිය පිලිවෙලක් වෙන්නේ කියල මට හිතුනා.
"කොට්ට ලෑලි වල අව්ල්කීර පැටලෙනවානෙ. ඒවා යතු ගාංට බෑ. අනික හදල ඉවර වෙල මේ මිනී පෙට්ටි කොල අලවනවා. කොල පාට හීනි මෝස්තරයක් තියෙන මැදපු කොල වගයක් පෙන්නලා මට කීවා. එතකොට මෙහෙම නෑ." බාස් උන්නැහැලට අත් උදව්වට හිටිය එක්කෙනෙක් කියල දුන්නා. පෙට්ටිය එකම පලලට ඉසේ ඉඳලා පාදාන්තය දක්වා හදන්නෙ නෑ. උරහිස ලඟිං පලල් කරන්න ඕන. ඒක කරන්නේ දෙපැත්තේ ලෑලි දෙක කොනට අඩියක් එක හමාරක් තියල නියං පාරවල් කොටනවා. අපි අර සිග් සැග් කියන වියට. ඊට පස්සේ ඒ දෙකම පරිස්සමිං එක තරමට බිඳිනවා. පෙට්ටිය අඩියට ගන්න ලෑලි පටි ඕනෑ ෂේප් එකට ලෑලි දෙක හිටිංට ගහනවා. පියනත් ඒ වගේ හදල අර කොල අලවනවා. රිදීපාට බට දෙකක් පැති දෙකේ හයි කරනවා. සවරමකුත්... පෙට්ටිය අඩියට කෙසෙල් පතුරුයි කොලයි එලුවා. කෙටියෙං ඔන්න ඔහොමයි."
               රෑ අපෙ අම්මගෙ මූණ රෝස මල් වට්ටියක් වාගේ පිපුනේ, මම මෙහෙම කියන කොට! ඒ මූනේ තිබ්බ සිරියාව..
"අපෙ අම්මා අර සුදු පාං වල සුවඳ දැනුනම මටත් හිතුනා කංට ඇත්තං කියල....... "

                                                               simple  "s"

2018.07.06


No comments:

Post a Comment