Friday, April 10, 2020

උඩගෙදර කතා 220 "ඔබේ නිවසද?" 02

ඔබේ නිවසද ... ඒ ඉදි වෙන්නේ?    02

** මගෙ දරු පැටවුන්ටවත් මම වින්ඳ දුක නම් ඉතුරු කරල යන්නෑ... මේක කරලා දැම්මම, වැටිලා ඉන්න තැනවත් තියෙනවානේ.

** වැඩ ඉවර වුනාම හොඳ පාටි එකක් ගනිමු සජි... පිරිත් ටිකකුත් කියවන්න තියෙනවා නම් ශෝයි.. මට නිකං පේනවා පේනවා වාගේ දහම්ලගෙ ඇස් දිලිසෙන හැටි..!

               Foundation දාලා ඉවර වෙනකොට මෙහෙම ප්‍රකාශත් හිග වෙන්නෙ නෑ. ගනං ගංට එපා. සාමාන්‍ය මිනිස් ස්වභාවය ඔය. හැම අම්මෙක් අප්පෙක්ම දරුවන්ට යුතුකම් ඉටු කරංට කැමතියි. හීන නොදැක ඉදිරි ගමනක් නෑ. මේවා හීන හැටියටම අහෝසි වෙල නොයන අයත් නැතිවා නෙවේ. හැබැයි අද හැටියට ලක්ෂ විස්සකිං විසිපහකිං අංග සම්පූර්ණ නිවාසයක් ඉදි කරන්න යන අපි අපේ සිහින ගැන සැලකිලිමත් වෙන්න ඕන. නැතිව අනාගත්තොත් අනාගත්තාමයි. 

               පොඩ්ඩක් ආපහු ගිහිං එමු. හැම සැලසුම් ශිල්පියාමවත් මේ කාර්‍යයේදී සම්බන්ද වෙන වෙනත් අයවත් එක වාගේ කියල කියංට බෑ. මනුස්සකම පිරුන අය ඕනෑ තරං ඉන්නවා. අනික, ඒ ඒ වැඩේට නිපුනතාවක් ඇති අයගෙන් විනා හැම දේම අපට කර ගංටත් බෑ, හැම කෙනෙක් ලවාම කර ගංටත් බෑ. 

              ඔබේ නිවාස සැලසුම අඳිංට බාර දෙන ශිල්පියා එක්ක කලිම්ම කතා කර ගංට හුඟක් දේ තියෙනවා. පැකිලෙංට එපා. හැම දේම කතා කරංට. අයෙ අපි ගෙයක් හදනවා නොවෙංට පුලුවං. ඉතිං කිසි කෙනෙක් ගැන සරළ අනුකම්පාවලිං වැඩක් නෑ. "එයාට හැම දේටම කරදර කරංට බෑ කියල හිතුනා" වාගේ දුර්වල කතා වැඩක් නෑ. ඔය වැඩේට අපි එයාට ගෙවනවා. "පව් මේ මනුස්සයා පොඩි පඩියකිංනෙ මේ වැඩේ කරංට යන්නේ ".... කියල එයා එයාගෙ ගාස්තුව අඩු කරන්නෙ නෑනෙ. එයා වුනත් වෙන කෙනෙක් වුනත් අය කරන්නෙත් සුලුපටු ගාස්තුවක් නෙවේ. ඒකට අපිට දොස් කියංටත් බෑ. දුක් විඳගෙන, ලොකු වියදමක් දරාගෙන ඉගෙන ගත්තේ. අනික අපේ සාක්කුවට ගැලපෙංට ගාස්තු අය කරන සේවාවන් මොනවද තියෙන්නේ.? ඔබ තෝරා ගන්න බාස් උන්නැහැයි ගෝලයයි ගැන හිතන්න... ඒත් ඔච්චරනෙ! අනික, තුට්ටුවට වැඩ කර ගංට ගිහිං වැඩේ ප්‍රමිතිය ගැන අමතක කරංටත් නෙවේ. ඒකට කියල මෙන්න මේක අමතක කරංටත් නෙවෙයි. අපේ රුපියලක් කියන්නේ රුපියලක්.. අයියෝ රුපියලක්නෙ... ඕක මොකක්ද කියල හිතංට එපා. හිතන්න...ඔබ වැඩ කරංට මිලදී ගංට හිතුව ගඩොලකට තව තැනක මිල රුපියක් අඩුයි. ඒත් මෙයාගෙ බටර් කතාවට රැවටුන ඔබ .. රුපියලයිනෙ කියල හිතල මෙයා ලඟට ගියේ. දන්නවද.... ගෙට ගඩොල් පනස් දහක් යනවා නම් වෙනස රුපියල් පනස් දහයි. ඔය පනස් දාහෙං කීයක් දේ කර ගංට පුලුවංද.. ඩිපොසිට් මුදලුත් ගෙවල විදුලිය වතුර සැපයුම් දෙකම ගංට පුලුවං. අඩු ගානේ එකක්වත්. 

                විශේෂයෙම්ම පිරිමැස්ම ගැන එයා එක්ක කතා කරංටම ඕනෑ.. ඒ කියන්නේ අපේ මුදල් තත්වය ගැන. ඊලඟට අවුරුදු ගානක් ඉදිරියේදී, තියෙංට ඕන, එදාටත් ගැලපෙන ශක්තියයි පෙනුමයි ගැන. අඩුම ගානේ අවුරුදු පනහකටවත්. කල්පනාවෙන් වැඩ කර ගත්තොත් අවුරුදු සිය ගණනක් ඉදිරියේදිත් "ශක්තිමත් අලුත් නිවාසයක්" අද හදා ගන්න අපට බැරි වෙන්නෙ නෑ. අපි නිකමට බලමු... ට්‍රාන්ස්වර්ක් මන්දිරය, පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වාගේ එව්වා... අදත් මොන තරං ලස්සනද! ගාම්භීරද! එහෙම ගෙයක් අපිට හදනවා තියා හිතංටවත් බෑ.. ඇත්තටම ඕනත් නෑ... එහෙම වැඩ කරංට පුලුවං බාස්ලා, ගැලපෙන ඉදි කිරීම් ද්‍රව්‍ය දැං ඇත්තෙත් නෑ. එව්වා වෙනම කතා... නමුත් අපිට පුලුවං තරමට, අපි කරන වැඩේවත් හරියට කරමු.

                සැලැස්ම අන්දවංට කලිං, එහෙ මෙහෙ යන එන ගමං වලදී දකින හිත ඇදිල ගිය නිවාස, ගොඩනැගිලි ගැන සැලකිලිමත් වෙංට. ගාම්භීර ඒත් සරළ වහලයක්, කුලුණු ටිකක්, සමස්ථ පෙනුම වාගේ දේ ගැන අවදානය යොදවංට. ඒ නිර්මාණ මගේ ගෙට කොහොම ඇතුලත් කරංට පුලුවංද? ඒ විදියටම ආදේශ කර ගංට නං බැරි වෙයි. අර කීව හේතු වලට අමතරව.. අපෙ ඉඩම තියෙන වට පිටාව, පරිසරය හැටියටත් වෙනස් කර ගංට වෙනවා. කඳුකර ඉඩමක හැදුනු නිවසක වහල බිඳීම්, බිම් මට්ටම් වෙනස් කිරීම් වගේ ඒවා සමතලා බිමක නිවසකට ආදේශ කරංට බැරිවෙයි. ඒත් අදහසක් ගංට පුලුවං. තමං ආසා කරන තමංගෙ පාසලේ ඉස්සරහ කුලුණු තියෙන විදි, ඒ කැටයම් නැතිව හරි concept එකවත් ඇතුලත් කර ගංට ආසා හිතෙන කෙනෙක් ඉංට පුලුවං. ප්‍රසිද්ධ හෝටලයක ජනේල, ආලින්දය වගේ තැං වලට ඔබේ හිත ඇදිල යංට ඇති. නගරයෙං පිට ඈත පිටිසර වුනත් ලස්සන වහලයක් තියෙංට බැරි නෑ. ඔබේ නිවස කිසිම විදියකිං කොපියක් වියයුතු නෑ. ඒත් ඕනෑම නිවසකිං හොඳ අදහස් ගංට තහනමකුත් නෑ. 

                 හැබැයි මේ ටිකත් මතක තියා ගංට. ඉසේ කැක්කුම හැදෙනකල් කල්පනා කරල ගේ හැදුව මේ Fashion එකට ඉදිරි කාලයේදී ඔබේ දරුවන් වුනත් ඔබ තරමටම කැමති වෙයි කියල සහතිකයක් නෑ. සියලු මහන්සි අවසානයේ ඔබට ඔබ ගැනම දැඩි කළකිරීමක් ඇති වෙන්න වුනත් පුලුවන්. "ඇයි මං මෙහෙම එකක් කළේ?" කියල. කැමති වුනත් එකයි නැති වුනත් එකයි... මගේ යුතුකම මගෙ හිතට එකඟව මං ඉෂ්ට කෙරුවා කියල සතුටු වෙමු.

                 මේ අන්දවා ගන්න ප්ලෑන් එක "මුලික ප්ලෑන් එක" (Master Plan) වෙංට ඕනෑ. හරි අවබෝධයක් නැතිව, පස්සේ ඕකට එහෙං මෙහෙං කෑලි එල්ලංට එපා. ඔබ හිතේ ඇඳ ගත්ත රුව නැතිව යනවා. අනික් දේ... (මේ මං වාගේ), සම්පූර්ණ ගේ හදංට කලිං කෑල්ලක් හදාගෙන පදිංචි වෙංට බලාපොරොත්තු වෙනවා නං ඔය මූලික සැලැස්මේම කොටසක් ඉදි කරන්න. ගරාජ් එක වුනත් කමක් නෑ.... තමංගෙ තැනනේ. බිත්ති වල උස වාගේ දේ මුල් සැලැස්මේ තරමටම හරි වැඩියෙං හරි ඒ කොටසේ වුනත් තියංට කියල ඔබ උපදෙස් ගන්න කාර්මික නිළධාරි මහත්තයා කියල දෙයි. 

                  බිත්ති උසට තියෙනවා නං ගෙයක් ලස්සන වැඩී. අපේ ආදායම් තත්වය ටිකක් සතුටුදායක වෙල ඔය ගේ දිග පළල වැඩි කර ගංට ලැබෙන අවස්ථා බොහොම උදා වෙයි.. දිග පළල වැඩි වීමට සාපේක්ෂව උසත් වැඩි වෙංට ඕනෑ. එතකොටයි ලස්සන. ඒ හිංදා ඒ දිර්ඝ කිරිම් වලටත් ගැලපෙංට, මුල ඉඳලම උස වැඩියෙං තියංට මතක තියා ගංට. ඒක හොඳයි. කඩලා හැදීම් පුලුවං තරම් අඩු කර ගංට. එහෙම කරනකොට නාස්තියත් වැඩී. ගොඩනැගිල්ලේ හයිහත්තියටත් බලපානවා. 

                   දන්න අඳුරන කෙනෙක් මාර්ගයෙංවත්, අවශ්‍යම උපදෙස් ටිකක් ගංට සුදුසු කාර්මික නිළධාරි මහත්තයෙක් හොයා ගත්තොත් වටිනවා... නැත්තං කොන්ත්‍රාත්කාරයා හරි බාස් උන්නැහැ හරි කෙලින පච වලටත් අපි කිකරු වෙනවා. නිවාස තැනීම ගැන හැම දේම දන්නවා කියල පෙන්නුවත් .එයාට ගැඹුරු තාක්ෂනික දැනුමක් නෑ. ඒකනේ අර  1:2:4 - 3/4"  සාමන්‍ය කොන්ක්‍රිට් මිශ්‍රණය අනාගංට අමාරුයි කියල, මැටල් හතරෙං එකක් අඩු කරල ඒ වෙනුවට තව වැලි එකක් දා ගනිමු කිව්වේ! එයාට අත්දැකීම් තියෙනවා. ඒත් බොහෝ ඒවා නොමඟ යවනසුලුයි. අපිට ඒවායින් නිවැරදි දේ තෝරාගෙන අපිට අදාල කර ගංට වෙනවා.

                   බාස්ලා ගෙන්නා ගංට කලිං පොඩ්ඩ පොඩ්ඩවත් ගඩොල්, වැලි, සිමෙන්ති ගෙනත් තියංට වෙයි. එන්නං කියන දවසට බාස්ලා නේන එක උපේක්ෂාවෙං බලංට පුරුදු වුනොත් හොඳයි. හ්හ්..උපේක්ෂා.... උපේක්ෂා තමයි බලංටකො... කන්තෝරුවේ ඉංටම ඕනෑ දවසක්.. ලොක්කගෙං බැනුමුත් අහගෙන නිවාඩුවක් හදා ගත්තේ. ඒත් මේ මිනිහා නෑ... හොඳයි ඉතිං මොනවා කරංටද? හෙට බලමු. ආ ඒත්.... ඒත් හෙට නං මට ඉංට බෑ. අනිද්දත් බැ. ඉරිදා එංට කියමු. තව කී දවසක් ඔහොම වෙයිද...

                  බාස්ලා ආවත් කෝ මේ ගේනවා කිව්ව බඩු ටික? ආයෙ ඒ මනුස්සයා හොයංටත් යංට වෙයි වාගේ. ඒ සෙල්ලං කොහොම දැම්මත් එයාගෙ බ්ලොක් ගල් නං ගන්නෙ නෑ. මතකනෙ, පෙන්නංට ගෙනාව සාම්පල්. කෝං පිට්ටු ඊට වැඩිය හයියයි. ඒ වෙලේ මෝඩ ගඩොල් ටිකක් කපලා වේලා ගන්න එක වටිනවා. අනික ඔය ගල් කුඩු ගොඩක් බිත්තියේ පුරවා ගත්තත්, බ්ලොක් ගල් අච්චුවක් හොයාගෙන සිමෙන්ති ටිකක් වැඩියෙං දාල අපිම බ්ලොක් ගල් ටිකක් කපා ගත්තත් බ්ලොක් ගල්වලිං බිත්ති බැන්දම රස්නේ ඉන්ට හිටිංට බෑ කියල ටී ඕ මහත්තයා කිව්වා මතකනේ. අවුරුදු සිය ගණං කොයි හැටි වෙච්චත් එක අවුරුදු හතලිහක්වත් පනහක්වත් පවතිංටත් එපායැ. 

                 එහෙම කර ගංට නං, අර මැටල් එක අයින් කරල ඒ වෙනුවට වැලි එකක් දාගෙන හරි යන්නෙ නෑ. ඉතිං අපි සිමෙන්තියි බදාමයි කොන්ක්‍රීටුයි ගැනත් ටිකක් කතා කරමු. නෑ.. නෑ... අද නෙවෙයි.! දවසකිං දෙක්කිං මුණ ගැහෙමු.

                                                                                                  simple "s"
2020.02.28

උඩගෙදර කතා 219 "ඔබේ නිවසද?" 01

ඔබේ නිවසද.....

ඒ ඉදි වන්නේ... ඔබේ මුදලින්... ?
නැත්නම් ගෘහ නිර්මාණ ශිල්පියාගේ නිවසද? කොන්ත්‍රාත්කාරයාගේ හෝ බාස් උන්නැහේගේ හෝ නිවසද?                                                                                       (01)

                                            =======================

** "අපල කාලයක් ලැබුවම ගෙයක් හදංට පටං ගන්ට."

** "ගෙයක් හදනවය කියන්නේ සල්ලි වැලලීමක්."

** "ගෙයක් හදනවා නං, වියදම් ලැයිස්තුවක් කලින්ම හදා ගන්න. ඊට පස්සේ ඒක දෙගුන කරන්ට."

             ගෙයක් හදා ගංට අදහසක් ඔලුවට ආව මොහොතේ ඉඳල ඔබට අහංට ලැබෙන උපදෙස් මාලාවේ වැදගත් කීපයක් මේ. ඒවා සත්‍ය ප්‍රකාශ. 

             අපල කලයකදී කොයි තරං දුක් වේදනා, සාරීරික අපහසුතා, සිත් තැවුල්, මානසික වේදනා, අග හිගකම් අත් වෙනවද... නිවසක් ඉදි කරනකොට ඔබට කොහොම අපල කාලයක්ද උදා වෙන්නේ කියල කියන්නම් මෙහෙම.. 

             හදන නිවස වටේ නිවැසියන්ට පොඩි ශෝබනයක් පෙන්නාගෙන ඉංට හිතට ආවා නේද? ඒකනේ ඉඩම බලංට ආව මුල්ම දවසේ පිට අයට දෙන හිනාවත් සාක්කුවේ දාගෙන හිටියේ. මැඩමුත් ඒකට එකඟ හින්දානේ " අද මැදපු... ආආ..එහෙම කියාගෙන ගියොත් හොඳට හිටී..!,    අද iron කරපු Shirt එකක් ඇඳලා අත් දිගට දාලා ... අර අලුත් සපත්තු දෙක පොලිෂ් කරලා දාගෙන යංට ඕන.. හඩ්ඩා වගේ නැතිව.." කියල කිව්වේ. කමිසේ ඔන්න ඔය ක්‍රීස්, සපත්තු දෙකේ පොලිස් වාෂ්ප වෙල යංට වැඩි දවසක් ගත වෙන්නෙ නෑ. අනික් කොයි දේ ගත්තත් ඔය වාගේ තමයි අපලෙට යට වෙන්නේ. සල්ලි, ගෙදර පිළිවෙල, ළමයින්ගෙ අධ්‍යාපන කටයුතු, හිත හොඳකම්... විභාග, විනෝද කටයුතු, ඒ තියා දෙන්න දෙමාල්ලො අතරේ තිබ්බ සමාදානේ වුනත් සැලෙන අවස්ථා එංට පුලුවං..... මේ වාගේ දහක් දේ! ඉතිං, කේන්දරේ බලල කිව්ව, අර කෙහෙතද රාහුද කව්දා හින්දා ලැබෙන අපලේ, මෙහෙම අවසානය ලොකු යහපතක් වෙන දේකට සම්බන්ධ කෙරුවම ඉවරනෙ! දෙකම එකට ගෙවිල යයි...

            මං මෙතනදී උපකල්පනය කරන විශේෂ දෙයක් තියෙනවා. ඔබත් අව්ධිමත් හෝ නිත්‍යානුකූල නොවන හෝ හම්බ කිරීමක් නොකරන කෙනෙක් නේද? ඒකේ විශේෂය වෙන්නේ... ඔබත් සීමා සහිත ආදායමකින් මේ නිවාස සිහිනය සැබෑ කර ගන්න යන්නේ.

            ඔබ නිවස ඉදි කරන්නේ, මව්පිය උරුමයෙන් ලැබිච්ච ඉඩමක වේවා, ඔබම (නිවාස දේපල ණයක් ලබාගෙනවත් ) මිලදී ගත් ඉඩමක වේවා පහත කරුණු අඩු වැඩි වශයෙන් පොදුයි....

             ඉඩමට අදාලව ඔබේ නම් නගර සභාවේ ලියාපදිංචි කළා නේද? Bloking Out Plan (B O P) එකත් අනුමත කර ගත්තනෙ? හරි..

            මුලිම්ම ඉඩමේ මායිම් නිවැරදිව ලකුණු කර ගැනීම අත්‍යාවශ්‍යයි. විවිධ සත්තු ඔය ඉඩම පරිහරණයට එන්නේ ඒ සත්තුන්ට තරම්වන ලැජ්ජාවක් ඇතිව නෙවේ. ඒවාට සහාය දෙංට ඕනෑ තරම් රජයේ නිළධාරීනුත් ඉන්නවා. තවමත් රුපියල් විසිපහකට තිහකට කරංට බැරි දෙයක් නෑ! පටං ගන්නකොටම තාප්පයක් බඳිංට ලොකු මුදලක් යට කරංට අපහසු නං ශක්තිමත් කටුකම්බි වැටක්වත් ඉදි කිරීම ගැන හිතමු. 

           කුරුණෑගල පැත්තේ රජයේ කාර්යාලයක සාමාන්‍ය සේවාවක නියුතු කෙනෙක් තමංටම කියල ගෙයක් ඉදි කර ගංට රජයෙන් දෙන ණය මුදල ලබා ගත්තා. මව්පියන්ගෙං උරුමවුන ඉඩමකයි ගෙය හදංට යෝජිතව තිබුනේ. මේකට සැලැස්මක් (තේරෙන සිංහලෙං කියනවා නං ප්ලෑනක්.) ඇඳ ගංට සුදුසු ගෘහ නිර්මාණ ශිල්පියෙකුත් හොයා ගත්තා. නාගරික සංවර්ධන අධිකාරිය පනත අදාල වෙන මහ නගර සභා, නගර සභා හා ඒ පනත අදාල වන ප්‍රදේශ හැටියට ප්‍රකාශිත ප්‍රදේශවල සංවර්ධන කටයුත්තක් කරංට කලිං අදාල පලාත් පාලන ආයතනයෙන් සැලැස්මක් හා අයදුම් පතක් අනුමත කර ගැනීම අනිවාර්යයි. ඉතින් මේ මහත්තයත් හැම පියවරක්ම අනුගමනය කරල ඔය අනුමැතියත් ගත්තා. නිවසට, ගෙපලත් කැපුවා. ෆවුන්ඩේෂනුත් දැම්මා. ඔය අතරේ නැකත් බැලීමුත් එනවා. ඒ ගැන පස්සේ කතා කරමු. 

               ඔන්න දැන් තව කණ්ඩායමක් ක්‍රියාත්මක වෙනවා. ප්‍රෙඩී සිල්වා මහත්තයා කිව්ව අර පහසු රස්සාවේ යෙදෙන අය! "නිකම් ඉන්නෙපා ... කොහොම කොහොම හරි ගහපල්ලා බං පෙස්සම්.." 

               හැබැයි මෙතන සාධාරණ සැකයක් හිතෙන දෙයක් වෙලා තිබුනා. ප්ලෑන ඇඳලා තිබුනේ එසේ මෙසේ ගේකට නෙවේ. සාගරේකට......! වටපිට මිනිස්සු (ඉරිසියාවත් අනිවාර්යයි.) කතා වුනේ "ඔය රස්සාවෙං මෙච්චර ලොකු ගෙයක් හදන්නේ කොහොමද..? මොකක් හරි ගසා කෑමක් ...." කියල. කතා වෙල නිකං  හිටියෙ නෑ. කෙනෙක් ගැහැව්වා අල්ලස් හා දූෂණ විමර්ෂන කොමිෂන් සභාවට පෙත්සමකුත්..! 

               මෙතනදී විශේෂ දෙයක් කියංට තියෙනවා. මේ කොමිෂන් සභාවට, අපි කෙනෙකුට විරුද්ධව පෙස්සමක් යැව්ව තරමිං, මතු බැල්මේ වරදක් කරල තියෙන බව පේංට තිබුනත් නිකම්ම චෝදනා එල්ල කරන්නෙ නෑ. නිළධාරීන් මගින් ඒ ගැන පුලුල් පරීක්ෂණයක් කරනවා.

              ඔන්න දවසක් අපේ මේ යාලුවගෙ ගෙදරට කව්ද දෙන්නෙක් එනවා. වාසිදායක තොරතුරක් ඇන්න ආවේ...! ඒ බොරුවට! යාලුවා ගෙදර නෑ... වැඩට ගිහිං. අම්මා විතරයි ගෙදර. 
"පුතේ මෙහෙ එලියෙංවත් පුටු දෙකක් තියල දෙංටද... අපෙ එකා එනකල් වාඩි වෙලවත් ඉන්ට."
"අනේ කරදර වෙංට එපා අම්මේ.. අපිට මෙහෙම මේ ගල උඩ හොඳයි.  පුතා එනකල්." මිදුල පුරා තැනිං තැන ගල් ගොඩවල් වැලි ගොඩවල්... කාමර දෙකක්, කපරාරුවත් ජනෙල්වත් නැතුව අම්මයි පුතයි පදිංචියට ඇන්න තියෙන්නේ.... උයන්නේ එලියේ යාලත්තක් බාල ඇන්න.
"ඇයි අම්මා මේ ගේ බාගෙට හදාගෙන... ඇය් ඉතිං අනික් වැඩ ටික කර ගන්නෙ නැත්තේ? දවසින් දවස බඩුත් ගණන් යනවනෙ.."
"මතක් කරංට එපා බුදු මහත්තයෝ... අපෙ මේ බූරුවට මොලේ කියල කලඳක් තියෙනවද? තුට්ටු දෙකක් අතේ තියාන බකිංහැං මාලිගාවක් හදංට හිතේ තිබුනට හරි යනවද? දැං ඔය එරිල ඉන්නේ. මේ කපේට ගොඩ එංටද දෙයියෝ...තමුන්නේ තරමට එපාද ...." හම්මෝ පියුම් මහත්තයා ඉවරයි. ඉවරෙටම...

               ඔබ සැක හිතුවා හරි. මේ ඇවිත් හිටියේ අල්ලස් හා දුෂන එකෙං. ඉතිං ආයෙ තව පරික්ෂනත් ඔනැද වෙල තියෙන දේ තේරුම් ගංට! ඒත් රාජාකාරියක් රාජකාරියක් හැටියට කෙරෙංට ඕනැ හිංදා පියුං මහත්තයා (අම්මා යැව්ව පනිවිඩයට) එනකල් ඉඳල ප්‍රකාශ කීපයක් ගත්තා.

                නිවාස සැළසුම් ශිල්පියා කරන්නේ දෙයියන්නාන්සෙගෙ හරි ඇස් කඩල යංට සැළසුමක් ඇඳලා දෙන එක. මෙන්න මෙතන Beer Garden එක... මෙ බැල්කණිය හොඳයි හැන්දෑවට ජොඩුවට පොඩි චැට් එකක් දාගෙන ඉඳගෙන ඉන්න. මාස්ටර් බෙඩ් රූම් එකටම යාව ලමයින්ගෙ රූම්ස්. මෙතන මෙතන මෙතන එක්ස්ට්‍රා රූම්ස්... ඕන නම් මේ රුම් එක අයින් කරමු. පෑන්ට්‍ර් එක මේ රූම්ස් වලට ඈතින්... මෙතෙන්ට ගනිමු..." ඔය පියන් මහත්තයා විතරක් නෙවේ... අපි කවුරු වුනත් ආබස්සර දිවිය ලෝකයටම ගෙනියන්නේ නැද්ද? වියදම් අඩු කර ගන්න අරහෙම කරමු... මෙහෙම කරමු. ගඩොල් වැලි වලට අහවල් තැන කතා කරල දෙන්න පුලුවන්. මේ ඩිසයින් එකට ඔබ තුමා එකඟ වෙනවා නම් හෙටම අඳින්න පටන් ගතහැකි. මුලු වියදමෙන් සීයට විසි පහක් ඇඩ්වාන්ස් ගෙවන්න ඕන. වැඩේ කෙරෙද්දී තව විසි පහක්. නගර සභාවට ඇපෲවල් එකට දෙනකොට තව සීයට විසි පහක් ඕන. අපි මේක  ඇන්දට ඒ මහත්තයෙක් ඕන අස්සන් කරංට. එතකොට ලේසියෙං ඇපෲව් කර ගංටත් පුලුවං. නැත්තං ඉතිං දන්නැද්ද.. අරක නැ.. මේක අඩුයි.. යූඩිඒ ලෝ එකේ හැටියට මේ ක්ලියරන්ස් එක මීටරයකට වැඩිය....  අන්න ඒ වැඩේටනෙ මේ විසි පහ!

              මේ සොච්චං (ඒ කාලේ!) හවුසිං ලෝන් එකක් ඇන්න ගේ කොටයක් අටවා ගංට යන අපි දන්න රෙයා ක්ලියරන්ස් එකක්වත් යූඩීඒ ලෝ එකක්වත් නෑ. දන්නේ කියන ගානකට...
"කමක් නෑ මහත්තයා.. කමක් නෑ..." කියංට විතරයි. ඔන්න එකඟතාවය උඩිම්ම. මොකද මේ වෙනකොට අපෙ මහත්තයා කසාදේකුත් බැඳල නෝනත් එක්ක අර බැල්කනියේ බියර් එකක් බිබී ඉන්න ගමං මේ!
"මම හෙට කියන්නම්.. අපේ ගාන කීයද කියලා. අය කිරීම ****** රුපීස් පර් ස්ක්වෙයාර් ෆුට්. " 

             ඕක පුංචි මුදලක් එහෙම නෙවෙයි...!

(මේක නොකියාම බෑ.. 
එක එක අදියරයේදී මට නම්,  අතින් වියම් කරගෙන උදව් කරපු රෝයි ඇට්ටා පාලිත නම් මතක් කරන්නේ බොහෝම ආදරයෙන්.... )

(තව කොටසකිං හමු වෙමු..)

                                                                                                 simple "s"
2020.02.26

පින්තූරය අන්තර්ජාලය ඇසුරෙන් ...

Wednesday, April 8, 2020

උඩගෙදර කතා 218 ලිං කටෙං වැටුන එකා 74

ලිං කටෙං වැටුන එකා   74.

"මයෙ පුතා දැකල තියෙනවද මේ සතා?"
"වැටිල ඉන්නවා දැකල තියෙනවා.  මට හොඳට මතකයි කලුන්තැන්නනේ ගොම්මන යට වැටිල හිටියා. ඔය වාගෙම අර කොටියා වාගේ ඉන්න තඩි සමනලයොත් ඒ කැලෑවේ හිටියා. මේ කුරුමිණි වර්ගයක් නේද අප්පච්චී?"
"ඔව් මයෙ හිතේ. ඒත් හැම කාලෙම නෑ. මේ වාගේ වැස්ස කාලේදී විතරයි වැටිල  ඉන්නේ."
"මේ පාට තමයි ලස්සන අප්පච්චි. කොල පාට අතරේ රත්තරන් පාට. දිලිසෙනවා."
"තව ඔය තරමෙම දිලිහෙන තනි නිල්පාට ජාතියකුත් ඉන්නවා මයෙ පුතා."

                 දෙසැම්බර් නිවාඩු කාලේ ඉතිරි වුන ටිකේ ඔය වාගේ දේ වුනා. විභාගෙට හිටිය හින්දා මං ආවෙත් පමා වෙල. ජිනා නංගී තවම ඇවිත් නෑ. එයත් මාදි නංගී වාගෙ biology නෙ. ඒ පේපර් එක පහුවෙල තියෙන්නේ. අනික් පේපර්ස් නං ඔක්කොම ලේසියි කියලයි මාදි නංගී කිව්වේ. විභාගේ පටං ගංට සති දෙක තුනකට කලිං ජිනා නංගී අන්තිමට මට ලියුමක් එව්වේ. 

                  මයෙ පමාව හිංදා අයියලත් නිවාඩුවට ගෙදර එන එක පමා කරල. සාමා දුව බලංට අපෙ අම්මටයි අප්පච්චිටයි හරි හදිස්සියකිං හිටියේ. මටත් එහෙම තමයි ඉතිං. අයියා එනකල් ඉංටත් හිතල මම තනියම පෑලිස් අයියලගෙ ගෙදරත් ගියා. මට හරිම හදිස්සියක් තිබ්බා... රත්නාවලියි රත්නමාලියි බලංට. හුරතල් දෙක! ඒ එක පැටියෙකුට තියෙන ඩිම්පල් එකට අපෙ අම්මලා පියරු වල කියලත් කියනවා .. මේ දවසේ තමා කිව්වේ. තව මොකොදෝ නමක් තියෙනවලු. අපෙ අම්මට මතක් වුනාම කියයි. 
"අනේ අක්කා මට දැං මේ දෙන්නා වෙං කරල අඳුරා ගංටම බෑ."
"මල්ලිට නං මොකදෑ.. පෙලක් වෙලාවට මටත් බැරිකොට. මල්ලී ලොක්කිගෙ මූනේ වල මතක තියා ගංටකො."
"ඒකට ඉතින් මෙයා හිනා වෙනකල් බලා ඉංට එපායැ...." මං හිනා වෙල කිව්වා. පොඩි දෙන්නත් හිනාවුනා. 
"බය වෙංට එපා... එපා වෙනකල් හිනාව නං ලැබෙයි අපෙ මල්ලී!"
"එහෙම තමයි ඉංට ඕනැන්නේ..."

"මල්ලී.. අද අපෙ ගෙදරිං බත් ටිකක් කාලා යංට ඉංට පුලුවංද?"
"අක්කා අපෙ අම්මා මං ආව හින්දම..."
"නෑ.. නැ.. මල්ලී අද උදේම දඩමසක් ලැබිල තියෙනවා.. ඒකයි ඇහුවේ.."
"අක්කා මං කියන්නං.. තලප හැඳි ගාංට... මස් එක්ක කංට."
"කංට?" පැලිස් අයියත් කතාවට හවුල් වුනා. "තලප කන්නේ කව්ද... ගිලිනවා විනා... හීං මල්ලිට තලප ගිලිංට තේරෙන්නැද්ද?"
"අපෝ මට පුලුවං... හීල් තලප නං හපල කන්නේ. නිලි හොදි එක්ක තමයි කැමති අයියා."
"මට යාලුවෝ ටික එක්කොන්න ඇවිත් ඔහොම හොද්දක් තියෙන වෙලාවක කුරහං තලප හදවල දෙංට හරිම ආසාවක් තියෙනවා අයියා."
"අපෝ මල්ලී...  කට්ටිය ආපහු ගිහිං මල්ලී ඉතුරු කරන එකක් නෑ. කවට කම් කරල."
එහෙමමත් නෑ අයියා. සමහර ලමයිංට මේවා, ආනං වාගේ ඒව්වා හොඳට හුරුයි. කවදාවත් කුරහං තලප කාල නැති අයත් නැතුවා නෙවෙයි." මට දයා මතක් වුනා..

                   අපි මෙහෙම කතා කර කර ඉන්න අතරේ පෑලිස් අයියට ඩිංගිරී අක්කා අඬ ගැහැව්වා. කතා කරන එව්වා මටත් ඇහෙනවා. ඩිංගිරි අක්කා මස් හොද්දට දාංට සරක්කු ජාති එකතු කර කර ඉන්නේ කියල මට තේරුනා. ඔය ලොකු සරක්කු ගුලියක් අඹරල මස් එකට දැම්මම මස් බුරුල් වෙනවා වාගෙම දිරවංටත් ලේසි වෙනවා. ඇයි රහ!
"මුරුංගා පොතු කෑල්ලක් ගලවල ගෙනත් දෙංට."
"ඉංට... "
"හා.. මේ... අරවයිං කොල ඩිංගකුත් දාමුද අයියා. "
"හ්ම් ...  ඒක හොඳයි හීං මල්ලිගෙ බඩ නරක් වෙන්නේවත් නැතු වෙංට. ඒවාගෙම කංටත් පිරිය වැඩි වෙනවානේ"

"කංට පිරිය වැඩ් වෙංට දානවා කිව්වේ මොනවද අයියා.?" පෑලිස් අයියා ආපහු ආවම මං ඇහැව්වා.
"මල්ලී.... කංසා කොල දෙක තුනක් ඔයෙ අඹරන ලුනුමිසට එක් කරල හොද්දට දැම්මම බොහොම යසයි. බය වෙංට දෙයක් නෑ... ඒක බේතක්..." පෑලිස් අයියා කතාව එක සැරේට නවත්තල ඉස්සරහ කඩුල්ල දිහා බලාන බාගෙට නැගිට්ටා. මාත් හැරිල බැලුවා. මෙන්න මයෙ අයියා එනවා....!

"අපෙ අප්පෝ...!  අපෙ සේසිරි අයියා. ආව එක කොයි තරං දෙයක්ද... ! එංට දෙයියෝ..  ඇතුලට."
"ගෙදර ඇවිත් බැලුවම මයෙ මල්ලිත් මෙහෙ ආවා කිව්වා. මමත් පෑලිස් මලයා කාලේකිං දැක්කේවත් නැති හිංදා එංට හිතුනා. ඉතිං මල්ලී දැං වගාවල්, බිස්නස් වැඩ එහෙම මොකදෑ."
"දළදා හාමුදුරු වන්නේ පිහිටෙං හැම දේම හොඳිං කෙරෙනවා අයියා. අර යස්ස ඉඩෝරෙං වුන ආපදාවෙං පස්සේ ආයෙ එහෙමකට මිනිසුංට කරදරයක් වුනේ නෑ. අයියටත් මතක ඇති .. මට නං ඔයෙ තරමක් කරදර වුනා.  දැං එව්වත් විසඳිල. දුංකල වලටත් හොඳයි... එලවලු ඩිංගක් කිරන එකත් ආපහු පිලියෙල වුනා අයියා."
"අයියා තේ වතුර ඩිංගක්වත් ගෙදෙද්දී බීල නෙවෙයි වෙංටෑ ආවේ. මං ව්නෑඩ්යට කහට ඩිංගක් දාන්නං..." ඩිංගිරි අක්කා ඇහැව්වා.
"නෑ.. නංගී අපෙ අම්මා අපි ගෙට ගොඩ වෙන පමාවෙං තේ හැදුවා."
"අපි කිව්වේ අයියා ... ඉස්කෝල නෝන මහත්තයත් ආවද?"
"ඔව්... දුවත් ආවා..."  මයෙ අයියා එහෙම කියල මා දිහා බැලුවා. මං හිනා වුනා විතරයි. සාමා දුව ආවා කිව්වම මට සන්තෝශයි කියල මයෙ අයියා දන්නවා.
"අනේ අයියා ඒ දෙන්නත් මෙහෙ එක්කොන්න එංට එපායැයි. අද කෑම කටක් කාල තමයි සේසිරි අයියලා යන්නේ. අයියලාට වැඩිය ලැබෙන්නේ නැති කැමක් අද තියෙන්නෙත්."
"ඒ මොනවද මල්ලි...
"ගෝන මස් එක්ක තලප. බත් ඉයංට හදනකොට හීං මල්ලී කැමති වුනා තලප ඩිංගක් ගිලල යංට..."
"අපිටත් ඔය දෙකම ලැබෙනවා. හැමදාම නෙවෙයි. සති දෙක තුනකට සැරෙයක් වාගේ."
"දිරවංට පාසු වෙංට ඕනෑ හැම දේම දාල තියෙන්නේ...."
"හැබැයි අපි දෙන්නා ගෙදර ගිහිං කොහොම හරි බත් ටිකකුත් කංට ඕනෑ. නැත්තං අපෙ අම්මට බඩේ ගිංදර හැදෙයි."
"ඒක හොඳයි..."

"හා.... අන්න මයෙ නංගිත් එනවා." පෑලිස් අයියා කිව්වා. හැරිල බැලුවම ජිනා නංගී...! මට එක පාරම මහ සතුටක් දැනුනා. 
"නංගිත් අදද ආවේ.?" මයෙ අයියා ඇහැව්වා.
"ඔව් අයියා... මේ සැරේ මාත් සාමාන්‍ය පෙළ ලිව්වානේ."
"කොහොමද විභාගේ ලේසිද?"
"වැරැද්දක් නෑ අයියා. ගණං ටිකක් අමාරුයි. අනික් එව්වා නං හැම එකම වරදක් නෑ. ආ.. රසායන විද්‍යාවත් ටිකක් අමරුයි වාගේ... ප්‍රථිපල එනකල් හිතා ගංට අමාරුයි."
"සපූ අයියට විභාගේ කොහොමද?" කිසි දෙයක් දන්නෙ නෑ වගේ ජිනා නංගී මයෙං ඇහැව්වා....
"මටත් නංගිට වාගේමයි... අර අලුතෙං කරංට දා ගත්ත Advance maths ප්‍රස්න පත්තරේ නං අජ...  ඉංග්‍රීසි ප්‍රස්න පත්තරේ මේ සැරෙත් ....."

"අපෙ නංගී මොකදෑ ඔච්චර කලු වෙල? අව්වේ ඉඳල වාගේ...:" කුස්සිය දිහාට යමිං ගමං ඩිංගිරි අක්කා ජිනාගෙං ඇහැව්වා. 
"මොන අව්වෙද අපෙ අක්කා... මේ නිකම්ම සීතලට මයෙ හිතේ." ජිනා නංගී කිව්වා.
"ඔව්... අනුරාධපුරේ සීතලට.." කියංට මයෙ කටට ආවා. ඒත් මං කිව්වේ මේ ටික.. "පහු ගිය දවස් වල නුවරයි අවටයි හරිම සීතලයි තමයි."

                  මයෙ අයියත් නිඹුල්ලු දෙන්න දිහා ආදරෙං බලාන හිටියා. හුරතලුත් කෙරුවා. ඒ දෙන්නා එංට එංට ලස්සන වෙනවා. අපි දෙන්නම තලප ගිලලයි ගෙදර ආවේ. තව කුරහං පිටි ඩිංගක් ඉස්මට වැටුනා නං හොඳයි කියල මට හිතුනා. දිය වැඩී....

                                                                                              simple "s"
2020. 02. 22

පින්තූර අන්තර්ජාලය ඇසුරින් .