Monday, September 23, 2019

උඩගෙදර කතා 174 (කොහිල 03)

"කොහිල....."                    අංක 03

                 කලිම්ම කියන්නේ. මා එක්ක තරහ වෙංට එපා, මෙව්වා කියල ගෙවල් වල ප්‍රශ්ණ ඇති කරනවා කියල.

                  ඔයෙ අර්ශස් හොඳ පාලනයක් කර ගංට ඕනෑ නං ඩ්‍රිංකෙක, ඒ කියන්නේ  මත් පැන් සම්පූර්ණයෙම්ම නවත්තංට ඕනෑ. සමහර අය කියනවා රෑ පොඩි ගල් අරක්කු ෂොට් එකක් දැම්මා නං පහුවදා උදේ පස්සා පැත්තේ ආඩම්බර බලංට ඕන නෑ කියල. මේක  ඇත්තක් නෙවෙයි. එක පැත්තකිං මානසික වීමක් ඒකේ තියෙංට පුලුවං. ඒත්, ඒකේ දෙකක් නෑ... මත් පැන් කොහොමත් අර්ශස්වලට අගුණමයි.

                   මට කලිම්ම කියංට බැරි වුනා... මේ රෝග තත්වයට ගිණියම් ආහාර බොහොම විෂයි! මඟ හැරගංට අවශ්‍යම අනික් දේ අතර මෙන්න මෙව්වා විශේෂයි: බල, තලපත්, කුම්බලා වාගේ කටට සැරට දැනෙන මාලු ජාති වාගෙම එව්වායේ කරවල, සැමන්, දවසේ වැඩි වෙලාවක් එක තැන වාඩි වෙල ඉන්න එක, වැඩිපුර මිරිස් තුන පහ, සෝස් වර්ග, ගෝන මස්, කුකුල් මස්, තෙල් බැදුම් ජාති, විනාකිරි, පාං පිටි,  කිරි අල, දේසි අල, නිදි මැරීම, ඉස්සර  මී හරක් මසුත් කෑමට ගත්තලු වේලල. ඒව්වත් බොහොම උෂ්ණයිලු. කෙනෙක් වැඩි වෙලා නානවානං, වැස්සෙත් නංට යනවා නං එහෙම "මොකද... මී හරක් මස් කාලද?" කියල අහන්නේ ඒකනේ.

                 දෙල්, කටු අල, කුරහං සමහර පැති වල සිසිල් කියලත් තවත් පැතිවල ගිණියම් කියලත් පිළිගැනීමක් පවතිනවා. තදට ගිනියම් ආහාරයි සීතල ගුණය වැඩි ආහාරයි එකට ගැනීමත් අගුණයි. උදාහරණයක්: දානේ ගෙවල් වලදී එහෙම ලෝබ නැතිව අඹරණ බල මාලුයි මුදවාපු මී කිරියි එකම වේලට කෑම. මී කිරි (Fresh milk) ගිණියම් කියලයි මුදවාපු මී කිරි (Buffalo curd) සිසිලයි කියලයි කියන්නේ. ටොයිලට් යංට ඕනෑකම තියෙද්දී මග හැර ගැනීමත් නරකයි. මේ පොඩි කාලේ බහුලව කරන දෙයක්, බෙන් ටෙන් එහෙම බලනකොට! රෙක්සීන් උඩ ප්ලාස්ටික් උඩ වැඩි වෙලා ඉඳගෙන ඉන්න එකත් හොඳ නෑ. ඒකනේ සමහර අය කාර් එකේ ඩ්‍රයිවිං සීට් එකට වේවැල් ගැජමැටික් එකක් දාගෙන ඉන්නේ.

                  මඩු පිටි වලිං හදන කෑම ජාති, මඩු කොකු, මඩු දලු, කිතුල් පිටි තලප/කැඳ ඉහලිම්ම ගුණයි. බාර්ලි රුලං සව් වාගේ කැඳ ජාතිත් ගුණයි. අර අගුණ කෑමජාති දිහා බලනකොටත් පැහැදිලි වෙන්නේ ප්‍රෝටීන් බහුල කෑම වර්ග ගිණියම් වැඩි බවයි. ඒ කියන්නේ අර්ශෂ් වලටත් නරක බව. රා වලට පැසෙව්වේ නැති පිරිසිදු තෙලිජ්ජත් ගුණයි කියනවා.

                  ඔන්න ඉතිං පුලුවං විදියකට හොඳ කෑම පිළිවෙතක් පවත්තා ගංට,   ගැලපෙන විදියක් තෝරා බේරා ගන්න එකයි...! ඔය ගිනියම් වාගෙම තෙල් බහුල කෑම බීම රහෙං වැඩි බව ඇත්ත... ඉතිං කට පරිස්සං කර ගන්න එකත් තමංටමයි බාර!

                                  *                                      *                                          *

                 Lacia spinosa කියන්නේ කොහිල වල ශාඛ විද්‍යාත්මක නාමය. අපෙ රටේ කොහෙත් වතුර තියෙන තැං වල හොඳට වැවෙනවා. හුඟ දෙනෙක් කුස්සියේ, ලිඳේ අහක යන වතුර පිරෙන, රැඳෙන තැං වල කොහිල කොටුවක් හදල තියෙනවා. අල ගලවංට, දලු කපංට කාලයක් සීසන් එකක් නෑ. අවුරුද්ද පුරා ප්‍රයෝජන ගත්තැහැකි. වැඩිපුර තියෙනවා නං විකුණංටත් පුලුවං.

                  විශේෂෙං අර්ශස් වලට වගේම අතීසාරයට, පාචන රෝගයට, අජීර්ණයට කොහිල ඖෂදයක්. ඒවා අක්මාව (liver) ක්‍රියාකාරිත්වය ව්දිමත් කරනවා; රත්පිත් ස්වභාවය, මූත්‍රා පිටවිමේ ප්‍රමාණය, ඇඟ දැවෙන ගතිය අඩුකරනවා; ආහාර රුචියත් ඇඟේ බරත් වැඩි කරනවා,

                  කොහිල දලුත් අලත් වැඩියම කෑමට ගන්නේ වෑංජන හදල. ඉස්සර වෙල කොහිල අලවල පොතු හොඳට රැහැල දානවා. ඊට පස්සේ ඒ අල මිලි මීටර් 4 * 4 *  සෙන්ටි මීටර් 3 විතර තීරු වලට කපනවා. ඒ අතරේ අර නූල් ඇද ඇද ඇඟිලි වල පටලවාන අයිං කරනවා. දැං ඒ තීරු හොදල ඇන්න, දිය කිරි වලිං, උයන බාජනේම ඒදා ගන්නවා. මිරිස් තුන පහ ලූනු ලුනු උලුහාල් වාගෙම කහ, කුරුඳු පොතු කෑල්ලක් ගොරක බික් දෙක තුනක් ලියා ගත්ත සුදු ලූණුබික් දෙක තුනක් දානවා. ඉදෙංට ටිකක් වෙලා යනවා. පදමට ඉදුනම මිටි කිරි දාල හින්දවා ගන්නවා.

                  දලුවල පොතු රහින්නෙ නෑ. මොරල තියෙන හරිය අයිම්ම කරල අඟලක් හමාරක් දිගට පොත්ත අයිං කරනවා... කටු අයින් කරනවා, පිහියේ මුවාත හරහට දන්ඩ එහෙට මෙහෙට ඇදල. මේ දඬුයි කොලයි ටිකක් ලොකු කෑලි තියෙංට  ලියාගෙන කොහිල අල වාගෙම උයා ගන්නවා.

                  අර අල තීරු සැර උණු වතුරේ ටික වෙලා තැම්බෙංට උනුහුං ගස්සල මිරිකල  ඇන්න තමයි කට්ලටුයි සම්බෝලයි (සලාද) හදන්නේ. අනික් එව්වයෙදි වාගෙම මේ කට්ලට් පිරවුමටත් තම්බපු අල හීනියට කපල එක් කරගන්න එක හොඳයි. තනි කොහිල විතරක් රහ අඩුයි.

                  මෙහෙම පිළියෙල කර ගත්ත කොහිල අල තෙම්පරාදුව හැදුවමත් රසයි.

                  වෙන සලාද හදන හැටියටම කොහිල සලාදෙත් හදන්නේ. උනුහුම් ගස්සපු කොහිල තීරු වලට  ලූනු ලුනු අමු මිරිස් එහෙම දාල.  ඔය කොයි එකටත් ඇඹුලට තක්කාලි එක්කෙරුවම රහ නං වැඩී. ඒත් අර අසනීපෙට තක්කාලි හොඳ නෑ. තක්කාලි අමුවෙං (උයන්නේ නැතුව) සලාද වලට එහෙම දැම්මම අගුණ නෑ කියලත් කියනවා. ඒත් අඩමානෙට ඇයි ඉතිං...

                   කොහිල කැඳ හදන කොට අල කොයි පැත්තට කැපුවත් කමක් නෑ. හෝදල වනේ කොටල හරි බ්ලෙන්ඩර් කරල හරි මිරිකල තියා ගන්නවා.  කැකුලු හාල් ටිකක් හොඳට තැම්බෙංට දිය කිරෙං උයනවා. දෙකට කැපුව සුදු ලූනු බික් දෙක තුනක් ගම්මිරිස් ඇට දෙක තුනක් එක් කරංට අමතක කරංට එපා. දැං අර මිරිකා ගත්ත කොහිල දියරයයි මිටි කිරියි  ඉදුන බතට එක් කරනවා. වුවමනා තරමට ලුනුත් දාල කිරියි කොහිලයි හැඳිගගා ඉදවල, එක සැරයක් උතුරණකොට බානවා. කොහිල වැඩි වෙලා තැම්බුනොත් ගුණය අඩුයි. (කොල කැඳත් හදන්නේ ඔහොමයි.) කොහිල කැඳ ලා රස්නෙට හකුරු එක්ක හරි සීනි යන්තම් ටිකක් දාල ඇන්න හරි බීමට ගන්නවා. අමුතුම රසයක් තියෙන්නේ. හරි පිරියයි.

                   කොහිල අල පෙති කපල ඇන්න ගැඹුරු තෙලේ බැදලත් උයනවා. උයන්නැතුව සලාදේ හදලත් හොඳයි.. ඔය ගැඹුරු තෙලෙ බැදල ගන්න කොයි එලවලුව ගැනවත් මං නං වැඩි පැහැදීමක් නෑ.

                  ඇඟ සිසිල්ව තියාගෙන, මේ රෝග තත්වයට අගුණ, අපත්‍ය ආහාර පාන, වැරදි ඉරියව්, හැසිරීම් වලින් වැලකිල, මානසික තත්වය යහපත්ව තියාගෙන බේත් පන්තියක් (course) හැටියට සතියක් විතර උදේ හිස්බඩ කොහිල කැඳ බීමෙං විශාල සහනයක් ලබා ගංට පුලුවං.

                   (මේ ඔක්කොටෝම වැඩිය... අමතක කරංට බැරි  පෞද්ගලික සිද්දියකුත් කොහිල ආශ්‍රිතව මට තියෙනවා!)

                   කොහිල නිමි......

                                                                                                 simple "s"
2019.09.18

පින්තූර අන්තර්ජාලය ඇසුරෙන්. දෙවැනි පින්තූරයේ ඇත්තේ වැල් කොහිල ය.

2 comments:

  1. කොහොද බං මේකේ පිංතුරයක්? එහෙම එකක් මේකේ නැතෝ..........

    ReplyDelete
  2. ඔබට හොඳට උයන්න පුළුවන් වගේ. රසවත් ලිපියක්.

    ReplyDelete