Wednesday, December 5, 2018

උඩගෙදර කතා 12 (ලෝලු)


                                 "ලෝලු.."

මගෙ අප්පච්චිගෙ කෘෂිකර්ම (ප්‍රායෝගික) පාඨමාලාවෙන්.                (අංක 12)

"නෑ නෑ මයෙ පුතා.. අලුත් මහත්තයා කියල තියෙනවා හරි.."
"එහෙ නං.. අප්පච්චි කිව්වේ බොරුද?"
"ඒත් නෑ.. ලේසියෙං හොයා ගංට, දකිංට තියෙන්නේ කතුරු මුරුන්ගා මලුයි කෙහෙල් මුවයි කෙකටිය මලුයි. ඒකයි කෑමට ගන්න මල් ජාති කියල එව්වා විතරක් මයෙ පුතාලට කියල තියෙන්නේ.."

"ඉතිං අප්ප්ච්චි කිව්වෙ නෑනෙ වෙන මොනවද කෑමට ගන්න මල් කියල."
"ඒ පෙන්නුව ගහ ලෝලු, තව මයිල මල්, කහට මල්, බුස්සරණා මල් එහෙමත් කෑමට ගන්නවා."

"එව්වා කොහොමද හදන්නේ අප්පච්චි?"
"ඔයෙ ඉන්නේ.. අම්මගෙං අහ ගංට.."
"අපෙඅම්මා.."
"ලෝලු මල් රිකිලි වලිං හූරල ඇන්න හෝදල ලුනු මිරිස් තුනපහ දාල වතුර ටිකකුත් දාල උයනවා.. ඉදුනා ඇති කියල පේනකොට තෙල් දානවා. එච්චරයි. ලෝලු ටිකක් සෙවල ගතියයි. තියෙනවා නං කොස් ඇට කීපේකුත් ලියල දාල උයන්නේ."

"කහට මල්?"
"අර සුවඳට තියෙන, මල හරි පොහොට්ටුව හරි තියෙන කෑල්ල කපල දාල ඒ ගෙඩි තියෙන හරිය හෝදල ගෙඩි පුපුරන්ට තරමට තලල ලාවට තම්බා ගන්නවා. ඊට පස්සේ මැල්ලුමට හදනවා. බෙරි වුනොත් රහ අඩුයි. කහට මල් නං ටිකක් කහට රහයි. ඒ වුනාට හරි රහයි මයෙ පුතා. ඔයෙ දෙකටම අමු මිරිස් දානවා. මයෙ පුතාට මතක නැතුවට කාලත් තියෙනවා. මයිල මල් නං හදන්නේ නිකංම මැල්ලුමට."

"තව මොනවාදෝ කිව්වා නේද අප්පච්චි."
"ඔව් ඔව්.. බුස්සරණා. එව්වා තේරුං මාලු වාගේ. බුස්සරණා මලේ සුදු පාට කොලයක් වාගේ තියෙන එක ගන්නේ. සමහර පැති වල මුස්සැන්න කියලත් කියනවා. එව්වයි රතු ලූනු අමු මිරිස් එහෙම හීනියට ලියාගෙන පිටි ටික්කුත් එක්කරල වතුර ටිකක් එක්ක රොටී වලට තරමට අනා ගන්නවා. දැං බිත්තර බදිනවා වාගෙ තාච්චුවක තෙල් ටිකක් ලිපේ තියල මේක ඒකේ වඩනවා. කෑලි කපල බෙදනවා."
"ඔව්වා ගුණයිද අප්පච්චි..?"
"ඔයෙ හැම එව්වම බොහොම ගුණයි මයෙ පුතා."

               අප්පච්චි මේ හැම දේම කිව්වේ නියරවල් වල තියෙන වල් කප කප. අතිනුත් ගැලෙව්වා. ඒ මදිවට නියරේ සමහර තැං කකුලෙං පෑගුවත්.. අපෙ අම්මත් වල් ගලවනවා. ගලවන වල් නියරෙම තැනින් තැන ගොඩ ගහනවා. එව්වා ඉක්මනට වේලෙනවා. ඒ තරමට සැර අව්ව. ඒ අව්ව හිංදා තමයි අපෙ අම්මා ඔලුවට චීත්ත කෑල්ලක් දාල දෙපොටක් එකතු කරල කන් දෙක උඩිං පස්සට ඇන්න ගැට ගහගෙන ඉන්නේ. නියරවල් වල වල් තිබුනම මීයෝ එහෙම එනවා වැඩීලු. ඒ අය වී ඇට කනවලු. කූඩු හදන්ට ගොයම් ගස් කපනවලු.

               කුඹුරේ ඉහලිං කමත හදංට ඉතුරු කරල තියෙන කෑල්ලේ පැලක් හදල. වත්තේ එක තරං ලොකුවට ලස්සනට නෙවේ. අපි හදන සෙල්ලං  ගෙවල් වාගේ. ගේන කෑමක් කංට වැස්සකට ඉංට ඇඳුමක් තියා ගංට වාගේ විතරනෙ කියලයි අප්පච්චි කිව්වේ.

               කමත හදන කෑල්ලේ හදපු බටු මෑ බන්ඩක්කා වාගේ එව්වා සරුවට තියෙනවා. ගිරව් ජෝඩුවක් ඇවිත් මෑ කරල් පලල ඇට කනවා මං දැක්කා.. දැක්කෙ නෑ වාගේ මං පැත්තක බලා ගෙන හිටියා!

"අප්පච්චි අද ලියදි මැද්දේ වල් ගලවන්නෙ නැද්ද?"
"ගොයං ගස් පීදීගෙන එනකොට ගස් වැඩිය හෙල්ලුනොත් වී බොල් වෙනවා මල්වල තියෙන කුඩු හුලඟේ ගිහිං."

"ලියදි වල වතුර එක උසකට මට්ටමට තියෙන්නේ කොහොමද අප්පචිචි?"
"අර.. පෝරු ගානකොට ලියදි වල වතුර රැඳෙන විදියෙං මට්ටම පේනවානෙ. ඉතිං උස් තැං පාත් කරල හදනවා. ඊට පස්සේ වක්කඩවල් කපන්නේ.. ගොයං ගස් වල අඟල් දෙකක් තුනක් උසට වතුර රැඳෙන්ට. ඒත් මේ කක්කොට්ටෝ නියරවල් තියෙංට දෙන්නෑනෙ. එව්වා හාරල හිංදා වතුරත් එව්වා අස්සෙං රිංගනවා. ඒ කක්කොටු බෙන තමයි අර පාගන්නේ.."
"අපි අර කක්කොටු කුරුල්ලා කියන කුරුල්ලට  පිළිහුඩුවා කියලයි ඉස්කෝලෙදි කියල දුන්නේ. ඒ කුරුල්ලා එක එක සත්තු ගෙනත් පණ පිටිං ගස් අතුවල දෙපැත්තට ගහනකොට බලා ගෙන ඉංට දුකයි අප්පච්චි.."
"මොනවා කරංටද මයෙ පුතා.. ඒ අයට සොබා දර්මෙං ලැබිල තියෙන විදියනේ. පලතුරු එලවලු ජාති ඒ ගොල්ලො කන්නෙ නෑ.... මයෙ පුතා දැක්කෙ නෑනෙ. අර උඩ උස වේල්ලේ බෙනේක ඒ කූඩුවක් තියෙනවා. කිරිල්ලී කෑම ඇන්න එනකොට ඇතුලේ ඉන්න කුරුලු පැටව්ත් කෑ ගහනවා. පස්සේ ගිහින් බලංටකො.."

               එදා තේ බොංට අපෙඅම්මා තම්බපු ඉරිඟු ඇට ගෙනත්. හරි හරියට මෑ ඇටත් දාල. පොලුත් දාල. හරි රසයි.

"අප්පච්චි හේනෙදි කුඹුරෙදි මොනවා හරි කනකොට ඇයි රස වැඩි?"
"මහන්සි වෙල ඉන්න හින්දා මයෙ පුතා. බලංට වතුරේ වුනත් තියෙන රහ.."
"අපෙ අම්මා එදා කීව තේරවිල්ල.."
"හා.. මං දැක්කා අයියලා අක්කලා ඒකේ තේරුම පුතාට කියල දෙනවා. ඒ ඔක්කොම හරි මයෙ පුතා. ගහ ගොයං ගහ, මැරුනම පිදුරු, ගෙඩි වී, පොත්ත දහයියා, සුඹුල්ල නිවුඩු, කනකොට බත්. අද මං තව එකක් කියල දෙන්නං මයෙ පුතාට..

'සස්සඳ ගලේ ගල පල්ලේ උපන්නේ
ඔලුව නැතුව කඳමයි සාප දුන්නේ
ඇස් දෙක උඩ බලා බිම ගොදුරු කන්නේ
හරහට ගමන දරුවන්ටත් පෙනෙන්නේ..'

                                                          simple "s"
2018.02.09

1 comment: