Wednesday, November 28, 2018

උඩගෙදර කතා 16 (ලාබයි, දෙකයි, තුනයි...)


                           "ලාබයි, දෙකයි, තුනයි..."

මගෙ අප්පච්චිගෙ කෘෂිකර්ම (ප්‍රායෝගික) පාඨමාලාවෙන්.                අංක 16)

"ලාබයි... දෙකයි.....තුනයි...."
"හූයියා..
අප්පච්චිගෙ එකේ ඉලක්කම කොයි?"

              අප්පච්චි කාර්තුවයි කට කපන රවුං ලී කෑල්ලයි දිහායිං මූණ මයෙ පැත්තට හැරෙව්වා. ඒ මූණේ තිබ්බේ පූදින ගොයමෙයි, කහ අත්තට පැහෙන ආඩම්බරේට බිම බලාගෙන ඉන්න කරල් වලයි සිරියාව. මට නං ඒක තමයි අප්පච්චි කියන අස්සැන්න!

"මයෙ පුතා අස්සැන්නක් ගණං කරනකොට එක කියන්නෙ නෑ. එකට වාගෙම සීය දෙසීය ටත් ලාබයි කියනවා. සමහර දිහාවල් වල නමයත් නෑ. ඒ වෙනුවට හොඳයි කියනවා. ඇස්වහ කටවහ නපුර වගේ එව්වා මගෑරෙංට."

               බැත මනිංට පටං ගන්නකොටම වාගේ ටිකිරා අයියා අප්පචිගෙං ඇහැව්වා:
"අක්කියල් වී ටික..?" කියල.
"මේ ඇත්තොත් අඩුක්කු පුදන්නෙ නෑනෙ." කියල මාමණ්ඩි උත්තර දුන්නේ.
"අප්පච්චි අක්කියල් කියන්නේ?" මං ඇහැව්වා.
"ඒ මයෙ පුතා, වන්නියබණ්ඩාර දෙයියංට අඩුක්කු දානේ පුදන ඇත්තෝ අස්සැන්න ගන්නකොට මුදුනෙංම දානෙට වෙං කරන වී වලට කියන වචනේ."
"අඩුක්කු කියන්නේ නං අර පොලුයි පැණියි ගාල කන කිරි රොටිත් හදන බත් වලට කියන නමනේ... මං ඒක ගැන පස්සේ අහ ගන්නං."
"ඔව් මයෙ පුතා.. ඒක දිග කතාවක්. මං පස්සේ කියල දෙන්නං. එතකල් තලගහ ගෙදරිං එහෙම ගෙනෙන අඩුක්කු බත් එක්ක තියෙන කිරි රොටී කංටකො.." අප්පච්චි එහෙම කිව්වේ හිනා වෙවී.

                 බැත ටික ගෙදෙට්ට ඇන්න යංට උදව්වට ආවේ වයිරා, හඳා, ලොකු හඳා, රත්තා, පොහොරා වගේ කාණ්ඩෙ. ඒ අයගෙ පිට අත ගාල ආදරෙං කතා කර කර පිටේ හැද වල් තිබ්බා. ඒකටම අල්ලල මහල තියෙන පටි දෙකක් ඔලුවට යටින් අරන් බෙල්ලටයි නගුට උස්සල යටිං ඇන්න පිටිපස්සටයි දැම්මා. හැදේ තැනිං තැනිං කාදු මහල. ගෝනි මලු වලට පුරුවපු බැත, ගෝනි පඩංගු වලිංම හදපු පිට දෙපැත්තට එල්ලෙන සාක්කු දෙකක් තියෙන එකක දාල හරකුන්ගෙ පිට උඩිං දෙපැත්තට එල්ලුවා. එක එක ගොනාට ඇන්න යංට පුලුවං තරමට තමයි සමානව දෙපැත්තේ එල්ලුව මලු දෙකට මැනල දාල තියෙන්නේ. ඊට පස්සේ හීනි තේඩාවක් අර කාදු අස්සෙං එහෙට මෙහෙට ඇදල බැත මල්ල හෙල්ලෙන්නෙ නැති වෙංට හිර කෙරුවා. මේ කොයි දේ කරංටත් කලිං ගොනාගෙ නම කිය කිය හුරතල් කෙරුවා. එයා තවලම අයිති කිරියා අයියගෙ අත් කකුල් ලෙව කනවා එතකොට. පොහොරා හරි උස මහතයි. එයා ඇවිදිනකොට ලෙලි ගැහුවෙ නැති පොල් ගෙඩියක් තරං ලොකු මොල්ලිය වටේ හම ඒ පැත්තට මේ පැත්තට ඇදෙන හැටියෙංම පේනවා එයාගෙ හයිය.  වැඩියෙම්ම ලොකු ගෝනි දෙක තිබ්බේ එයාගෙ පිටේ. ඒ වාගේ ලොකු ගොං තව තුං හතර දෙනෙක්ම හිටියා. කලූගෙ ඇඟේ කලු හම දිලිහෙන හැටියෙං පේන්නෙ කලු පාට කියන්නෙත් ලස්සන පාටක් කියල.  පොඩි පොඩි අය දඟයි. බර තියන කොටත් දඟලනවා. ඒ අයගෙ පිටේ පැටෙව්වේ නං කුට්ටි සාක්කු වල දාපු වී ඩිංගක්. ටිකිරා අයියා බෙල්ල යට අත ගෑවම ඒ අයත් තප්පරෙං කීකරු වෙනවා. ඒ වුනාට හරි පව් වැඩේ අප්පා... අනික, හරක් කියන්නේ ගොවිතැනට කොයි තරං ප්‍රයෝජන තියෙන සතෙක්ද?

               මහ නියරේ දිගේ පෝලිමට යන තවලම පෙරහැර වාගේ. හැම ගොනාගෙම කරේ සොකඩයක්, මිනි ගෙඩියක් දෙකක්, ගෙජ්ජි වැලක් බැඳල තිබුනේ. කලවමේ එව්වේ සද්ද ඇහෙනකොටත් අමුතු ලස්සනක්.  ටිකිරා අයියා ලියද්දට පැන පැන ඒ අය නියරෙං පිටට පනින එක නතර කරනවා.
                අප්පච්චිලා කමතේ තිබ්බ බර බර එව්වා ගන්න ගමං මටත් දුන්නා මිට ගලවපු පෝරු ලෑල්ල. මේ හීං ලෑලි කෑල්ලත් බරයි කියලයි මට දැනෙන්නේ.

                 තැන්නේ පහසුවෙං ආව ගොං ටික කන්ද නැංගේ ටිකක් අමාරුවෙං. තවලමයි අපියි ආව අඩි පාරේ එක තැනක පාර හරහට ගහක මුලක් පෑදිල. වැහි වතුරටලු. පොඩි ගොනෙක්ගෙ කකුල ඒක අස්සෙං රිංගුවා. වප්පිහියෙං මුල කපලයි ගොනාගෙ කකුල ගත්තේ.

"හීං පුතා අහල තියෙනවද එඬේරා ගැන. ලොකු හරක් රංචු බලා ගන්න මිනිහටත් එඬේරා කියනවා. මං අහන්නේ දෙවි කෙනෙක් ගැන..?"
"නෑ.. මාමණ්ඩි.."

                "එහෙනං අහගංටකො" කියල මාමන්ඩි කිව්ව විදියට එඩේරා කියන්නේ එළහරක් රංචු පිටිං ඉන්න තැං වල රෑට ඉන්න දෙයියෙක්. සුදුම සුදු ඇඳගෙන, කෙවිටක් අතිං ඇන්න. රව්ල වවල, කොංඩෙයි රව්ලයි වාගෙම ගැට ගහල තියෙන සුම්බරෙත් සුදුයි. එයා ගෙයක් ලඟිං එහෙම යනකොට අපිටත් සමං පිච්චමල් සුවඳ එනවා. එයා යන පාරේ බල්ලෙක් මුණ ගැහුනොත් එයාගෙ අතේ තියෙන කෙවිටෙං ගහනවා. එතකොට බල්ලගෙ කොන්ද කැඩෙනවා. මිනිස්සුංට නං හාණියක් නෑ."
"ඉතිං ඔය දෙයියොලා ගොඩක් ඉන්නවද?, නැත්තං එක හරක් රංචුවයිනෙ බලා ගංට වෙන්නේ." කියල මට අහංට හිතුනා. ඒක පැහිච්ච කතාවක් කියල හිතයිවත් කියල මං කරබා ගත්තා.

                කන්ද ඉහලට නගින ගොන්නුංගෙ මහංසිය පෙනුනේ කටිං ගලන පෙන වලිං. ටිකිරා අයියා කෙවිටක් අතේ තිබ්බට එක ගොනෙකුටවත් ගැහැව්වෙ නෑ. "යමං පුතා.." වාගේ ආදරෙංම කතා කෙරුවේ.

                හැන්දෑ වෙද්දී අපි ගෙදර ආවා. කමතේදි බැත... ගෙදර ඇන්න ආවම වී... ගොං ටික මිදුලේ තැං තැං වල. අර තේඩා ගලව ගලව වී මලු ගෙට ගත්තා. කලිංම හදල තිබ්බ ගෝහාල මැස්ස උඩ පිළිවෙලකට අහුරැව්වා. ඒ වුනාට පස්සේ එව්වා ආයෙත් පිලිවෙලකට තියනවා. ඒක කරන්නේ හද මෝරණ කාලෙදි. ඒ කාලෙදි ඇට ජාති ගබඩා කෙරුවම බොල් වෙන්නේ, ගුල්ලෝ බෝවෙන්නේ, කතුරෝ බෝවෙන්නේ නැතිලු. ගේ මීයෝ එන්නෙත් නැල්ලු. ඒ කතා ඇත්ත වෙංට ඇති.

                  ඕං මයෙ අප්පච්චිගෙයි අපෙ අම්මගෙයි අත් වලට ටිකක් නිදහසක්. එදා රෑට බත් කන ගමං අප්පච්චි අපෙ අම්මට කිව්වා:

"දළදා හාමුදුරුවන්ගෙගෙ පිහිටෙං බුසල් හැට පහටත් ඩිංගක් වැඩියෙං තිබ්බා. ඉක්මනිංම අලුත් හාලෙං කිරිහැර ටිකක් හදාගෙන පංසලට යංට ඕනෑ." කියල. අප්පච්චිගෙ මූණ පාලොස්වක දාට හඳ වාගේ.. අප්පච්චිලාම කියනවා වාගේ දඬු කොස් බෑය වාගේ දත් ටික පේංට හිනාවත් එක්ක සිරියාවේ බෑ! සංතෝසේ...!

                                               simple "s"

1 comment: