Saturday, January 12, 2019

උඩගෙදර කතා 119 (ලිං කටෙං වැටුන එකා 08)

ලිං කටෙං වැටුන එකා   08

"පෑලිස්ට දැං හොඳට හය හතර තේරෙනවා. දැං ප්‍රශ්ණයක් නෑනෙ? අපි ඉතිං තව මොනවා කියල දෙංටද..."
"ප්‍රශ්ණයක් නං නෑ අපෙ මහත්තයා. ඩිංගිරීගෙ අප්පච්චි විතරයි...."
"එව්වා නං වැඩිම මාසයක් දෙකක් යනකොට මග ඇරෙයි.  එහෙම නෙවෙයි... ප්‍රශ්ණ නෑ කියංට බෑ. දැන් තමයි ප්‍රශ්ණ වල ආරම්භය... ඒ මොනවද කියල අපි දැන්ම දන්නෙ වත් නැහැ. ඒක මතක තියා ගංට."
"එහෙමයි."
"මට තව බැරි වුනානෙ පෑලිස්ගෙ ගේ බලන්ට එන්ටත්."
"ගහක් කොලයක් හැදෙනකල් මතක් නොකර හිටියේ අපෙ මහත්තයා."
"හ්ම්...මෙන්න මේක තියාගෙන කුස්සියට ඕනෑ භාජන ටිකවත් ගන්ට පෑලිස්."
"හොඳයි අපෙ මහත්තයා.
"අද හෙටම ගෑණු ළමයත් එක්කරගෙන මෙහෙ ඇවිත් යන්ට."
"අදම එක්කර ගෙන එංට හිතාන හිටියේ. කොහෙද ... ගමේ අය එනවා කෙලවරක් නැතුව. අපෙ අම්මත් එහෙට යවල මං මේ ආවේ. මං ඉක්මනිංම වෙලාවක ඒකිත් එක්කරගෙන ඇවිත් යංට එන්නං අපෙ මහත්තයා."
"හ්ම් තෙරුවන් සරණයි දෙන්නට... "

                    *                        *                        *

                    තව ලස්සන  ලස්සන බොරු කතන්තරත් ඈඳිල පෑලිස් ඩිංගිරී කැන්දාන ආව එක ගම මුලුවස්සං පූජිත වෙංට එදා දවසේ වරුවක්වත් ගියේ නෑ
"මං උදේ පාංදර එහෙ බලනකොට කවදාවත් නැතුව  කෙල්ලක් මිදුල අතුගානවා. බැලින්නං ඩිංගිරී.."
"ඩිංගිරීලෑ ගෙදර, ජෝඩුව ගියාම, මහ එකා බැන වැදිල. පෑලිසා දෙකක් හමන්නලලු ආවේ."

                 ඔහොම කතා මහ ගොඩයි. ඔව්වා ආරංචි වුනාට පෑලිස් කිසි දෙයක් මායිං කෙරුවෙ නෑ. හිනා වුනා විතරයි.

                     *                        *                         *
                 
                 වල කපල දුන්නම දෙල් පැලේ හිටෙව්වේ ඩිංගිරීගෙ අතිං.
"අරුවා මෙව්වා හිටෙව්වා වාගේ නෙවෙයි දවස් පතා වතුර දාංට වෙයි. බිත්තර රකිංට වාගේ අපි දෙන්නා ගෙටම වෙල ඉඳල හරි යන්නෑ ඕං."
"මං අල්ලාන හිටියායැයි... "
"එහෙම නං තව කමන්නෑ. ගැට ගහගෙනනෙ..."
"මංද දන්නෑ.. කොච්චරවත් හුටු හුටු ගගා.."

                  දෙන්නා එක් වෙල මල් පාත්තිවල බැද්දත් උගුල්ලැව්වා. ඒත් කරංට තියෙන බර බර වැඩ පොලත් අමතක කරල දෙන්නා සතියක් විතර  බොහොම නිවී හැනහිල්ලේ හිටියා. ඒ දවස් ටිකේ පිඟං රාක්කියක් හැදුවා. බිත්තිය දිගේ තියෙංට එල්ලුවා. කලම්ප ගහල, පිට ලෑලි වලිං දොරකුත් හැදුවා. ඉරිදා සන්දෙට ගිහිං දෙවෙනි මහත්තයා දුන්න රුපියල් පහෙං වලං මුට්ටි, කොරහක් නෑඹිලියක්, බෙලෙක් පිඟං කෝප්ප දෙක තුනක් එහෙම ඇන්න ආවා. ඊයේ පෙරේදා බොංචි වලටයි අමු මිරිස් වලටයි හම්බු වෙච්ච තව පනං අටක් විතරත් පෑලිස් ලඟ තිබ්බා.
" මට නං ඔය මඩක්කුවත් ඇති..  කන එක්කට." ඩිංගිරී කිව්වා.
"එහෙම කරංට එපා ඉතිං."

                   *                        *                          *

                   දවසක් හැන්දෑවේ දෙන්නා එක්ක ඩිංගිරීලගෙ ගෙදර ගියා. තිබ්බ විදිහ අප්පගෙත් වෙනස් වෙල. ඩිංගිරීටත් වැඩිය පෑලිස්ට සංතෝසේ. විනාඩිය යංට කලිං උන්දෑ කඩේ දිහාට දුවල ආවේ.
"බත් කටක් කාල පලයල්ලා."
ඒකට අකමැත්තක් නෑ කියල දෙන්නා පෙන්නුවේ මොකොවත් නොකියා ඉඳල.
"හෙට මං ගෙදර පැත්තේ එංට හිතාන හිටියේ. අර පැල ජාති දෙකක් තුනක් තියෙනවා. එව්වත් ඇන්න එඤ්ඤං.."
"මාමා.... අ.. අ.. මාමණ්ඩි හෙට එංට එපා. එව්වා පස්සේ ගන්නං. හෙටමවත් පිටවල ගිහිං එංට හිතාන ඉන්නවා."
"පිටෝල?"
"ඔව් ලේකං ගෙදර.."
"හා.. ඒක හොඳ දෙයක්. මට පස්සේ එංට පුලුවං."
"පංසලටත් යංට ඕනැ.."
"අනිද්දා නේද දෙපෝය. ඒ ගමංම බැරියැ. වන්දනත් කරගෙනම."
"එහෙමත් පුලුවං. ඒත් ලොකු හාන්දුරුවෝ බැහැ දකිංට ආවා නෙවෙයි කියල හිතයි වද්ද?"
"කැමැත්තක්.. "
"ංහා... මං ගෙදර එංට හිටියේ කාරණාවක් මතක් කරංටත් එක්ක. ඉඩම මායිමේදිම ඇල ඩිංගක් හරස් කරල පල්ලෙහා තුඩුවට වතුර ටිකක් හරවා ගංට බැරි වෙයිද... ලියද්දක් දෙකක් අස්සද්දා ගංට..?"
"මාමණ්ඩි ඒක මටනං මතක් වුනේම නැති එකක්. යස අදහස. ඒත් වතුර තියෙයිද?"
"එක කන්නක් තමයි වැඩ කරංට වෙන්නේ. මාස් වැහි පටං ගන්නකොටම බාල ගොඩ වියක් දාමු. යලට ගස් බොංචි ටිකක්.. රතු ලූනු පාත්තියක් දෙකක්, කව්පී ට්කක් එහෙම ඉක්මනිං පලපොරෝජන ගංට පුලුවං දේවල් එකක් දෙකක් හිටවමු."

                      *                     *                   *
  
                    පෑලිස්ලා ආපහු යද්දී... හඳත් පායල. අඳුරත් නැතුවා නෙවෙයි, කැලෑ කොලණිය හරියේදී එහෙම. ඩිංගිරී පෑලිස්ට ලං වුනා.
"සීතලද?"
"නෑ.. "
"එහෙනං..."
"ලඟිං යංට .."
"අ.. අන්න අන්න නංගී. මේ ලන්තෑරුං එලියට හොඳට පේන්නෑ.."
"මුව පැටව් නේද?"
"නෑ.. මීමින්නෝ ජෝඩුවකුයි පැටියයි.."
"බය නැතුව ඉන්න හැටි විතරක්.. "
"නෑ නංගී පැටියා හිංදා ඔයෙ.
තමන්නේ පණ ගියත් පැටියා දාල දුවන්නේ එහෙම නෑ, මහ දෙන්නා. පැටවුංට පුදුම ආදරයක්... "
"පව්.. ඔය අහිංසකයොත් මරාගෙන කනවනෙ."
"කොයි සතත් අහිංසකයි මං නං කියන්නේ."
"මටත් ඒ වාගේ පැටියෙක් ඕනෑ ඉක්මනට.. " එක පාරම ඩිගිරී කිව්වා.
පෑලිස් නිස්සද්දයි...
"මේ බීරා... ඇහුන්නැද්ද මං කිව්ව එක... මටත් ඒ වාගේ පැටියෙක්.. ඉක්මනට.."
"පැටියෙක්...? පැටියෙක් මොනවා කරංටද ...? විකාර කියන්නේ නැතුව යං...
"විකාර... ? ඇයී... අයියා ආසා නැද්ද.. ඒ වාගේ අත ගාවිං අල්ලාගෙන එක්කොන්න යංට."
"මං කැමති නෑ.. " ඩිංගිරී පෑලිස්ගෙ අත ගසා දාල පැත්තකට වුනා...
"මට ඇත්ත කියංට... ඇත්තටම කැමති නැද්ද?"
"ඉතිං දැං යංකෝ.. මේ පාරේ, කැලේ බබ්බු හදංටයැ."
                
                   ගෙදෙට්ට යනකමුත් ඩිංගිරී අයෙ කතා කෙරුවේ නෑ.
"කහට ඩිංගක් ඕනැද?" ඩිංගිරී ඇහැව්වේ ගහංට වාගේ.
"මට එපා.. " පෑලිස් උත්තර දුන්නෙත් ඒ වාගේ. ඩිංගිරීගෙ මූණ දැං ගමං මැහි පොදියක් වාගේ. එල්ලිල, කලුවෙල.

                   පෑලිස් ගිහිං සේරු ගහ යට ලෑල්ලේ ඉඳ ගත්තා. දැං හොඳට හඳ එලිය. අද, රෑ කුමාරි ගහෙත් හොරෙම්ම මල් පිපිල. ඒ සුවඳ සැර වැඩිත් එක්ක. පැලිස්ට එහෙම හිතුනා. සැරට නැතත් දැම්මම පිණිත් වැටෙංට පටංගෙන. පෑලිස්ට කිබුහුමක් ගියා. ඒ සද්දෙට, ගල් වැටට එහා පැත්තෙං ගිය මොකෙක් හරි සතෙක් බයවෙල පැන්නා. පැන්න සද්දේ තරමට නං අයෙත් මීමින්නෙක් හරි වැලි මුවෙක් හරි වෙංට ඕනෑ. බලංටත් හිතිල කරබා ගත්තා. ඔහෙ නිදහසේ ගියදෙං. කිරළෙක් කෑ ගහගෙන ඉගිලෙනවා. හීං කාලේ අප්පච්චි කියල දුන්නේ, කිරළා රෑ එහෙම කෑ ගගහ ඉගිලෙන්නේ කයෙහරි වත්තක හේනක නැත්තං කුඹුරක, කැලෑ සතෙක් ආලාපාලුවක් කරනවා දැක්කමලු. මේකට ඉහලිං තියෙන පලාවත්තේ බංඩෙගෙ ඉඩමේ වෙංට ඇති. පව්.

                  ගල් වැටෙං එහා පැත්තේ සද්දේ අයෙත්. එක සතෙක් නං නෙවෙයි. පෑලිස් සද්ද නොවෙංට නැගිටල ගල් වැට ගාවට ගියා. හාවෝ ජෝඩුවක් හීං පැටියෙක් එක්ක සෙල්ලං කරනවා. බලා ඉංට බැරි තරං ලස්සනයි. ආයෙ සද්ද නොකර ගේ ලඟට යනකොට ඩිංගිරී පැදුරු එලන සද්දේ ඇහෙනවා.
"නංගී... සද්ද නොකර එංට බඩ්ඩක් පෙන්නංට.. හා... ඔයෙ ලැයිට් එකත් ගංට."
"අර... "
                  ඩිංගිරී වචනයක් කතා නොකර ව්නාඩි දෙක තුනක් එහෙ බලාගෙන හිටියා. ඒ කරල මෙන්න අඬනවා!
"මේ මොකද..?"
"මං ඒ වාගේ හේතු කාරියක් නෙවෙයිනෙ.. " දැං ඉකි ගැහෙනවා.
"අනේ.. අනේ.. පිස්සු කෙල්ල.. මෙහෙං ඉඳ ගංට."
"මොකටද?"
"නංගී.. මට අවුරුදු එක හමාරක් දෙකක් බාල නංගියක් හිටියා. ලා ඡායාවක් විතරයි මට මතක. අපෙ අම්මා වාගේ කලු පාටට ලස්සනට හිටියා. අම්මයි අප්පච්චියි මට මයෙ පුතා කියන හිංදා එයත් මට 'ආ පුතා' කියංට පුරුදු වුනා. 'අයෙ ආ පුතා කිව්වොත් කටට ගහනවා' කියල මං කිව්වම 'අම්මා ආ පුතා අයි?' කියල ආපහු  අහනවා. හරි හුරතල්...."
"නැති වුනේ මොනවා වෙලද?"
"උණ සැරට වලිප්පුව හැදුනලු. අප්පච්චී ගෙදර හිටියෙත් නැල්ලු. හිටියත් කොහෙ කියල ඇන්න යංටද? මොනවා කරංටවත් අම්මටත් තේරුමක් වෙලත් නෑ වාගේ. ඉඟුරු ඉස්ම ඩිංගක් නං පොවල තියෙනවා. හිතංටකො මේ වෙනකොට අවුරුදු දෙකක් බාල නංගියෙක් මට හිටියා නං! මොන වාසනාවක්ද? ඉතිං මට කයෙවත් පොඩි එකියක් දැක්කත් දුක හිතෙනවා තවම.. "
"ඉතිං.. ඒ හිංදා අයියා කැමති නෑ අයියගෙම හීං එකෙකුටවත්... එහෙමද?"
"ඔන්න කිව්වා... දැං ඉතිං මොකද්ද කියන්නේ මට?" ඩිංගිරීගෙ ඔලුවේ අතක් තියල පෑලිස් ඇහුවා.
"අපෙම හීං එකෙක් ඉන්නවට අයියා කැමති නැද්ද? ඇත්තටම කැමති නැද්ද? කියංට..."
"මං අපෙ හීං එකෙකුට කැමති නෑ. මට අඩු ගානේ... හතක් අටක්වත් ඕනෑ....! තේරුනාද මෝඩිට..?" ඩිංගිරී දිහා බොහොම ආදරෙං බලල පෑලිස් කිව්වා.

                  උඩට ගත්ත උස්ම පල්ලෙහාට දාගංට බැරුව ඩිංගිරී විනෑඩියක් දෙකක් පෑලිස් දිහා බලාන හිටියේ. පෑලිස් එයා ලඟට ගත්තා. ඔලුවත් ඉඹල...
"මයෙ අයියා ... ඔහොම කවටකං අයෙ එහෙම කරංට එපා දෙයියෝ. මයෙ පපුව පැලෙයි... " ඩිංගිරීට අයෙත් කඳුලු එනවා.
"දැං නිදිමතේනෙ හිටියේ... දැං යං."
"මට ඇති නිදි මතක් නෑ... "

                                                        simple "s"

https://udagedarakatha4u.blogspot.com/?m=1

2019.01.12

අන්තර්ජාලයෙන් ලබාගත් පින්තූර.
1. මීමින්නා.
2. හාවා.
3. වැලි මුවා.

No comments:

Post a Comment