Friday, April 10, 2020

උඩගෙදර කතා 221 "ඔබේ නිවසද?" 03

ඔබේ නිවසද..... ඒ ඉදි වෙන්නේ?   03

"බාස් උන්නැහැ... වැලි දොලහ හරි."
"තව වැලි එකක් දා ගනිං කඩියා.."
"බාස් උන්නැහැ... වැලි දොලහක් අරන් තියෙන්නේ. තව දාන්නද කියන්නේ?"
"කඩියා මම කිව්ව එක කරහං බං. පන්ඩිතයා වෙන්නෙ නැතිව."
"දවසක් ලොකු බාස් උන්නැහැ නං කිව්වේ..  සිමෙන්ති දෙකට වැලි දොලහයි කියල.. . "

                  කඩියා කියන්නේ මාතර බාස් උන්නැහැගෙ ඒ කියන්නේ ලොකු බාස් උන්නැහැගෙ හැමදාම ගෝලයා. මාතර පැත්තෙන්ම එක්ක ආවද දන්නෙත් නෑ. ලොකු බාස් උන්නැහැට පනට වාගේ ආදරේ. බාස් උන්නැහැත් තමන්ගේ දරුවෙකුට වාගේ කොල්ලට සලකන්නේ. 

                  දෙවෙනි බාස්ට ඒ කියන්නේ කරඳනට කොල්ලෝ නෝන්ඩිය දාන තරම් කරඳන දන්නෙ නෑ. එයා මූනට බාස් උන්නැහැ. ඉන්නේ ටිකක් එහායින් නම් බාස්. ඇහෙන පේන තැනක නෙවේ නම් බාසා! එයාමනේ කාගෙන තියෙන්නේ. ගෝලයොන්ට පාට් දාන්න ගිහිල්ලයි, දන්න නොදන්න හැම එකටම පන්ඩිතකම පෙන්නන්න ගිහිල්ලයි. ඉස්සර වාගේ නෙවේ දැන් යන්තම් හැන්දයි ලඹෙයි අල්ලන්න දන්නවා නම් එයා මේසෙන් බාස් උන්නැහැ...! ඒත් ඒ ආයුද වලින් කෙරෙන්නේ මොනවද කියල හරියට දන්නෙ නෑ.

                  දැනුත් ඔය වැලි කෙලියක් ඇදලා ගත්තේ ලොකු බාස් ඈතින් එනවා දැකලා. ලොක්කට වැඩිය දන්නවා කියල පෙන්නන්ට කරඳන හදන්නේ. 
                  
"මොකද්ද මේ සද්දේ කඩියා?" ටීඕ මහත්තයා එක්ක, වැඩ කරන තැනට එන ගමන් ලොකු බාස් ඇහුවා. 
"සිමෙන්ති දෙක්කට වැලි දොලහක් ඇති නේද ලොකු බාස් උන්නැහැ..? ගඩොල් බැම්මට මිචර් එක?"
"බැම්ම බඳින්න ඒ ඇති."
"දැක්කනෙ කරඳන බාස් උන්නැහැ..."

"බාස් උන්නැහැ, හෙට කුලුණු බේස් කොන්ක්‍රීට් දා ගනිමු."
" අඟලේ ගල් නං ගෙනත් නෑ සර්. ටිකයිනෙ.... තුන් කාලම දා ගනිමුද?"
"ටිකක් නෑ බාස් උන්නැහැ. දැනට මේ කෑල්ලේ කුලුණු දාසය දා ගනිමු. "
"දාසයද. පහලහද?"
"දාසයයි... එතකොට .... දෙක හමාර වැඩි කිරීම දෙක හමාර වැඩි කිරීම බාගේ.... අයෙත් වැඩි කිරීම දාසය... ම්ම්ම්... පනහයි. හරියටම කියුබ් බාගයයි. පව්.. අර මනුස්සයා... අපි අඟලෙන් කියුබ් එකක් ගෙනත් දෙන්න කියමු අනික් ඒවටත් එක්ක..."
"හරි සර් එහෙනං අනිද්දා දාමු. "
"කමක් නෑ.."
"සර් සිමෙන්ති කීයක් ඕන වෙයිද..ගෙනත් තියෙනවා දහයක්. ඇති වෙයිනෙ... "
"අපෝ ඇති. අපි එකට දෙක ගියත් මිටි හතක් ඇති."
"සර්... පස්සේ වෙලාවක ඔය කොන්ක්‍රීට් වලට සිමෙන්ති එහෙම ඕනෑ වෙන ප්‍රමාණ මට..."
"පස්සේ ඇයි.. දැං අහ ගන්නකො.."

                 මෙට්‍රික් ක්‍රමයට හැරිලා කොච්චර කල් ගියත් අපෙ සුලු පරිමාණ පුද්ගලික ඉදි කිරීම් වලදී තවම බහුලව භාවිතා වෙන්නේ රාත්තල් අඩි අඟල්. 

                 ඔය කොයි එක වුනත් ඝණප්‍රමාණය හදා ගන්න අපි කරන්නේ දිග පළල උස එකට වැඩි කරන එක. ඊට පස්සේ අපි භාවිතා කෙරුව ඒ ඒ මිණුම් ඒකකය අනුසාරයෙන් ඝණ අඩි හරි ඝණ මීටර් හරි, කියනවා. අඩ් දහයක් දිග, අඩි පහක් පළල,  අඩ්ක් දෙකක් උස පස් හරි මොනවා හරි දෙයක් ඝණ අඩි සීයක්. ඒ කියන්නේ ව්‍යවහාරයේදී,  ඝණ අඩි 100. " කියුබ් " එකක් කියලත් කියනවා. One Hundred Cubic Feet. කෙටි යෙදීම...100 cu.ft. හෝ 100 cuft.

                 මේ කියුබ් එකකට වුවමනා ද්‍රව්‍ය ප්‍රමාණ මෙහෙමයි. මේ ආශ්‍රයෙන් කොන්ක්‍රීට් එකට අපිට අවශ්‍ය මුලු සිමෙන්ති වැලි ගල් ප්‍රමාණත්, මුදලත් හදා ගන්න  පුලුවන්. (නිවාස ඉදි කිරීමකදී ඕනෑ වෙන කොන්ක්‍රීට් දෙක ගැන විතරයි මේ.)

කොන්ක්‍රීට් කියුබ් එකකට:
======================
                                                 1:2:4 - 3/4"                            1:3:6 - 1"

සිමෙන්ති                                  බෑග්  16                                බෑග්  12
වැලි                                          කියුබ් 1/2                               කියුබ් 1/2
මැටල් (ගල්)                            කියුබ්  0.95                           කියුබ්  1
        
                   උදාහරණයක් හැටියට අපි අර කුලුණු බේස් වලවල් 16 බලමු. ඒ වලවල් ටිකට කොන්ක්‍රීට් කියුබ් බාගයක් ඕනෑ. එහෙම නම් අපිට සිමෙන්ති බෑග් හයකුයි,  වැලි කියුබ් කාලකුයි, 1" මැටල් කියුබ් බාගේකුයි ඕනෑ වෙනවා. ඕවායේ මිල ගණන් හොයා ගත්තම කම්කරු කුලී ඇර අනික් වියදම හදා ගංටත් පුලුවන්.
"සර්... අනිද්දා බේස් දාගත්තොත් පහුවදා කම්බි හිටවාගෙන කොන්ක්‍රීට් දාන්න හිතාගෙන ඉන්නේ..."
එහෙම බෑ බාස් උන්නැහැ. බිම ... පතුල වුනත් සති දෙකක්වත් තියලා ඉඳිමු ඒ උඩ දඟලන්ට කලින්. බාස් උන්නැහැට වෙලාව පාඩුයි තමයි... ඒත් ඕකේ බැඳීම නැතිව ගියොත් අපරාදේනේ. ඕවා පදම් වෙනකල් වෙන වැඩක් කර ගන්න පුලුවන්නෙ.
"සර්... ස්ලැබ් එකකටත් සති දෙකක් ඇතිද? අපි දවස් විසි එකක් තියනවා ලෑලි ගලවන්නත්." 
"නෑ.. නෑ... අපෝ සති දෙක මදි. කොන්ක්‍රීට් සම්පූර්ණයෙන් ශක්තිමත් වෙන්න නියම විදියට වතුර උරාගෙන දවස් විසි අටක්වත් යනවා. ඒ උඩ, යටබිත්ති වලට ලඹ වෙන්න උඩ බිත්ති ටිකක් උසට බඳින්නත් සති දෙකක්වත් ගියාවේ. ස්ලැබ් එක මැද්දට වෙන්න බර දෙන්න සති හතරම යන්න ඕන.... 
බාස් උන්නැහැ තව මොනවත් තිබුනොත් කතා කරන්න."

                    ද්‍රව්‍ය ඕනෑ වෙන ප්‍රමාණ මෙහෙම ගනන් බලාගත්තත්, ඉවර වෙන විදිය බලා ගෙනයි තව තව ගේන්න ඕන. හේතුව ගබඩා කිරීමේ ඉඩකඩ, නාස්ති වෙන එක, අනවශ්‍ය විදියට වාර ගණන වැඩි කිරීම එක්ක වැඩි වෙන ප්‍රවාහන ගාස්තු, වැඩක් කරගෙන යද්දී බඩු මදි වුනොත් වෙන අපහසුව, බඩු ටික ටික ඉතිරි වෙලා අතන මෙතන ඕක ගොඩ ගහගෙන විඳින්න වෙන වදේ වගේ දෙපැත්තටම හිතන්න වෙනවා. 

                    කීප දෙනෙක් එක් වෙන ඕනෑම තැනක පුංචි පුංචි විහිලු තියෙනවාමයි. අර වාගේ කොහෙටත් නැතිව ඉතිරි වෙලා විටින් විට එහෙ මෙහෙ දැම්ම 3/4" මැටල් ටිකක් අලුත් ගෝලයෙකුට සෝදන්න බාර දුන්නා. ගල් ගොඩට හෝස් එකෙන් වතුර දාන එකයි කරපු මේ සේදීම. දැන් ලැබෙන වැලි වල හරි හරියට තියෙන්නේ මඩ, පස්. මහියංගනේ කියයි, රිදිගම කියයි, අලව්වේ කියයි. ඒ වුනාට ඕවා මේ එහා පැත්තේ ඇලේ ගොඩදාපු එව්වා. වතාවක් මට වැලි ටිකක් ගෙන්නා ගන්න වුන සප්ලයර් ජරා වැලි ගේන්න ප්‍රසිද්ධ කෙනෙක්. 
"අර මහ ඇලෙන් ගොඩදාන වැලිත් සමහර අය ගෙනත් දෙනවලු නේද? මහ ඉස්පිරිතාලේ කාණුවත් ඒ ඇලටලු..." මට වාක්‍ය සම්පූර්ණ කරන්න ලැබුනෙ නෑ... මගේ සප්ලයර් එයාගෙ වැලිවල සුපිරිසිදු භාවය පෙන්වන්න වැලි අහුරක් කටේ දාගෙනත් ඉවරයි.!
"ඔන්න මහත්තයා දැන් විශ්වාසද?"

                   මැටල් වල තැවරෙන මඩ යන්න හෝස් එකෙන් වතුර අල්ලලා හරි යන්නෙ නෑ... එහෙම නම් ඒක වේගයෙන් කලතන්න ඕන.. එකින් එක මැදෙන්න. හැබැයි වතුර ගෑවුනාම මඩ පාට නොපෙනී යනවා. ඒ මඩ ගිහින් නෙවේ! ගල් වැලිවල... මඩ, පස්,  දූවිලි වගේ දේ තිබුනොත් කොන්ක්‍රීට් එකේ හෝ බදාමයේ  ශක්තිය බොහොම අඩු වෙනවා. බැඳීම හීන වෙන නිසා.

                   ඉතින් අර අපේ, මඩ යන්න මැටල් නාවපු ගෝලයට බාස් උන්නැහැ කියනවා...
"කොල්ලෝ... දැන් ඔය මැටල් පොඟලා ඇතිද බලහන්.." කියලා.  අනේ අපේ මෝඩයත් ඇඟිලි දෙකෙන් මැටල් ගල් කීපයක් මිරික මිරික  බලලා...
"මදි වාගේ බාස් උන්න්හැ..." කියනවා.  
           
                   වැඩ අඩි ගානට දීමයි දවස් කුලියට දීමයි දෙකෙන් වාසි කෝකද? දන්නවද... දෙකම එකයි! ඔව්... බඩු නාස්තිය, අපිට කොකා පෙන්නිල්ල, ඇස් වහලා තමන්ගෙ වාසියට අඩි ගනන් මැනිල්ල, තුනට විතර ආයුධ හේදීම, වැඩි පුර අනා ගත්ත බදාම වැලි ගොඩේ හැංගීම, බිමට වැටෙන තාච්චි ගනන් බදාම එකතු නොකර වේලෙන්න ඇරීම.. ඔය වාගේ ලේ නරක් කරන වැඩ සිය ගානක් දවස් පතා උහුලා ගන්න ඕන. 

                   අර... පූසෝ මොනවාදෝ හංගනවා වගේ, වැඩි කර ගත්ත බදාම වැලි ගොඩේ හැංගිල්ල ගැන වෙනමත් කතා කරන්න ඕන:

                   අපි ඒ වෙලාවේ නොදැක්කොත් කාලේකට පස්සේ මුන ගැහෙන්නේ හොඳ වැලිත් බදා ගෙන වේලිලා නරක් වෙච්ච බදාම කුට්ටි!. අපි දැක්කොත් කියන්නේ, 
"හෙට තව සිමෙන්ති හැන්දක් දාලා අනලා ගත්තම හරි" කියලා.

                    ඇත්තටම ඒ ගොල්ලෝ දන්නෙ නෑ... සිමෙන්ති වතුර එක්ක ක්‍රියාකාරී වීම පැය හතරයි පවතින්නේ කියලා. ඉන් පස්සේ සිමෙන්ති ගල් ගැසීම ආරම්භ වෙලා. කරන වැඩක් වතුර මිශ්‍ර කරලා පැය හතරක් යන්න කලින් ඉවර කරන්න ඕන. තව විදියකට... බදාමයක් අනාගන්න ඕන පැය හතරක් වැඩට ප්‍රමානවත් වෙන්නයි. ඉන් පස්සේ අලුතෙන් අනා ගන්න.

                     අඩි හතරකට වැඩි උස ඉඳලා කොන්ක්‍රීට් වක් කරන්න එපා. එක් අතකින් ගල් වැලි කොටස් ආයෙ වෙන් වෙනවා. අනික් අතින් හරියට තැලෙන්නේ (compact වෙන්නේ) නෑ. මේ වැරැද්ද බහුලව සිදුවෙන අවස්ථාවක් තමා, කොන්ක්‍රීට් කුලුණු වල පෙට්ටිය (ෂටරින් එක) කම්මැලි කමට එක සැරේ මුලු උසට ගහ ගැනීම එක්ක. 

                     ගෙවල් හැදිල්ල එපා වුනාද...? එහෙම හිතන්න එපා. ඕක හරිම interesting experience එකක්. අඩියෙන් අඩිය බැමි මතු වෙලා වහලේ ගහලා ඒ ඇතුලේ අලුත් අඳුර දකිනකොට හිතට දැනෙන සතුට.... අත් විඳලාම බලන්න ඕන!

                                                                                                     simple "s"
2020.03.04

පළමු පින්තූරය අන්තර්ජාලය ඇසුරෙන් .

No comments:

Post a Comment