Saturday, November 17, 2018

උඩගෙදර කතා 30 (හීංවැලියා)

                                     "හීංවැලියා... "

උඩගෙදර කතා .         30   

"ආං අප්පච්චි දඹුව පුරාම මල් පිපිල වාගේ. අර එහායිං තනකොල ගොල්ලෙත්.."
"ඒ බිම්මල් ජාතියක් මයෙ පුතා.. "
"මං දන්නවා අප්පච්චි.. ඒත් එව්වට හීං වැලියා කියන්නේ ලොකු වැලියා කියල ජාතියකුත් තියෙනවද?"
"ඔව් මයෙ පුතා.. නම නං ලොකු වැලියා නෙවෙයි. ඔය හීං වැලියා වල උඩ තියෙන පැල්ලම..

ඔයිට සමාන පෙනුම ලොකු ජාතියක් තියෙනවා. එව්වට වැලි බිම්මල් කියලයි කියන්නේ. ඔය දෙවගෙම කෑමට ගන්නවා. මේ ජාතියට, හීං වැලි බිම්මල් කියලත් කියනවා.... හීං වැලියා වෙන වෑංජනේකට කලවමට දාල හදන එක තමයි වැඩියෙම්ම කරන්නේ. ලොකු ජාතිය මෙහෙම හුඟක් එක යායට පිපෙන්නෙ නෑ. මල් දෙක තුනක් තමයි. ඉතිං ඒ හිංදා  එව්වත් කලවමට තමයි වැඩියම හදන්නේ.

දිගට පායල මෙහෙම දවසක් දෙකක් වැස්සම
පිපෙනවා දඹුවෙයි ගොඩයි දෙකේම. සමහරු කියනවා මෙරු මතු වුනාම පහුවදාට වැලි බිම්මල් පිපෙනවා කියලත්."
"අප්පච්චි මං මෙව්වා කඩංටද?"
"කොච්චර කියල කඩංටද මයෙ පුතා. අහුරක් එකතු කර ගංට තිහ හතලිහක් වත්... අනික අපි ගෙදර යනකොට වෙලා යයි. එතකොට ඔව්වා නරක් වෙල තියෙයි. අබ ඇටේකිං හතරෙං එකක් විතර හීනි සත්තු ජාතියකුයි, නූල් කැලි වාගේ පනුවෝ ජාතිකුයි බිම් මල් වල ඔය ඉරි අතරේ හැදෙනවා, පරන වෙනකොට.. කොයි බිම්මල් ජාතියත් එහෙමයි."
"අපරාදේ."

"මයෙ පුතාට මං පෙන්නල තියෙනවා නේද... ඔය පිට්ටණි වලම හැදෙන කොටං බිම්මල්?"
"අර ලී කොටං උඩ හැදෙන එව්වා නං මතකයි අප්පච්චී.."
"නෑ... නෑ එව්වා නෙවෙයි. ඔය වල් පැල අතරෙම රවුම් බිම්මල් ජාතියක් පෙන්නල ඇති. ටීක් බෝලෙකටත් වැඩිය පුංචි එව්වේ ඉඳල සෙල්ලං බෝලයක් විතර ලොකු එව්වා හැදෙනවා. එව්වත් කෑමට ගන්නවා . වැඩිය රහ නං නෑ. 

අර ලී කොට වල හැදෙන එව්වා කඳ බිම්මල්. ලී කොට වල එක එක  බිම්මල් ජාති හැදෙනවා . හැම එකම කන්නෙ නෑ. නැට්ට අඟලක් විතර දිග සුදු පාට, හයිය නැති වර්ගේ තමයි කෑමට ගන්නේ."

"අප්පච්චී තව මෙහෙ තියෙන කෑමට ගන්න බිම්මල් ජාති මොනවද ?"
"මේ අවට නං... හා.. තව තියෙනවා හුඹස් බිම්මල් කියන එව්වා. මිටි හුඹස් ලඟ හැදෙන්නේ. තව ලී කොට වල හැදෙන ලේං බිම්මල්.."
"අර ලේන්නුංගෙ කකුලේ ඇඟිලි වාගේ එව්වා නේද?""
"අන්න හරි. එව්වා මැල්ලුම වාගේ හදල තෙල් දාල ගත්තම හරි රහයි . එව්වට ලේං පහුරු කියලත් කියනවා . සමහර දිහාවල් වල ලේං හතු කියනවා. කොහොමත් බිම්මල් හැම ජාතියටම හතු කියලත් කියනවා."

"අප්පච්චි අර කං කොටියා..."
"ඔව් මයෙ පුතා එව්වත් කඳං බිම්මල් ජාතියක් තමයි. හරියටම අපෙ කංකොටි වාගෙනෙ. මයෙ පුතා දන්නවනෙ. අනික් බිම්මල් වාගේ නෙවෙයි. සුදු පාටත් නෑ. ඉරි බෙදිලත් නෑ..හයියත්  නෑ.  වෑංජනේට හදනවද කියල නං දන්නෙ නෑ... තව එලවලු එක්ක කලවමට විනා. හැබැයි ඉව්වම තද වෙනවා."

"අප්පච්ච් එක සැරයක් අපි මිනිපේ ගිය වෙලාවේ හදල දුන්න එව්වා..."
"හ්ම්.. මයෙ පුතා කියන්නේ.. පිදුරු බිම්මලුයි ඉහ බිම්මලුයි ගැන."
"අන්න හරි..."

"හැම පිදුරු කන්දකම පිදුරු බිම්මල් හැදෙන්නෑ. හැදෙන තැන අවුරුදු පතා පිපෙනවා. එව්වා වැඩිය හොයා ගංට නැති හිංදමද මං දන්නෑ.. රහත් වැඩී. ඒ වාගේ තමයි ඉහ බිම්මලුත් හැම තැනම නෑ. බෝම රහයි."

"අප්පච්චි ඉහ බිම්මල් කියන්නේ අර නැට්ට ගොඩාක් දිග ජාතිය නේද?"
"ඔව්... පොලොවෙං උඩ තියෙන නැට්ටෙං අල්ලල හෙමීට ඇද්දම ටොක් ගාල පොලොව යට නැට්ට මුලිං කැඩෙන හැටි අතට දැනෙනවා. ඉතිං හෙමීට ඇදල ගන්නවා. සමහර එව්වේ නැට්ට අඩි දෙකක් ව්තර දිගටත් තියෙනවා."

"අප්පච්චී... ‍රහ වාගෙම බිම්මල් ගුණෙමුත් හොඳයිලු නේද?"
"කෘෂිකර්මෙං කියල දුන්න විදියට නං වෙන කිසි දේක ඒ තරං ගුණයක් නෑ වෙංට ඇති. මහ බයානක අසනීප ජාති වගෙයක්  කිව්වා..  එව්වටත් ගුණයිලු. බිම්මල් ගුණ වැඩි කමට සමහර ඇත්තොංට කෑවම කරප්පං දානවා. කොහොමත් බිම්මල් හොඳට ඉදෙංට ඕනෑ. බාගෙට තැම්බුනොත් අජීර්ණ වෙංටත් පුලුවං."

"මතක තියා ගංට අමාරු වුනත් බිම්මල් හදන හැටිත් අහංට ආසයි මට..."
"අපි ගෙදෙද්දී නං මෙහෙමයි. තියෙන්නේ බිම්මල් එකක් දෙකක් නං, ඒ වාගෙම මේ හීංවැලියා වාගේ ඩිංගක් නං, ඉදෙන වෙන මාලුවකටම දානවා. තනි වැංජනේකට නං, සාමාන්නිය මාලුවකට වාගේ ලුණු මිරිස් තුනපහ දාල හොඳට ඉදුනම තෙල් ටිකක් දාල ගන්නවා. තියෙනවා නං තක්කාලි ගෙඩියකුත් එකතු කෙරුවම තව රහයි...
තව ටිකක් හොඳට හදංට ඕනෑ නං දෙකට පලපු අමු මිරිස් කරලක් දෙකක්, හීනියට ලියා ගත්ත සුදු ලූනු, අමුඉඟුරු ටිකක්, කුරුඳු පොතු කෑල්ලක්, උලුහාල් ටිකක්, රම්පේ කරපිංචා සේර එහෙම එකතු කරල පොල්කිරි ටිකකුත් දාල ඉදුනම තෙල්දාල ගන්නවා මයෙ පුතා."
"හැබැයි..අප්පච්චි වාගේ වැඩි තුනපහ රහට අකමැති අයට නං ආසා නැති වෙයි."
"ඇත්ත මයෙ පුතා.. තුනපහ රහ ඉස්සරහිං ආවම කැමති නෑ තමයි. ඒත් බිම්මල් විසක් නැති වෙංටයි දිරවංට පහසු වෙංටයි ඔය පහේ ජාති එක් වෙන එක හොඳයි."

"මට මතකයි අප්පච්චිම කියනවා සමහර බිම්මල් කංට හොඳ නෑ කියල."
"ඔව් මයෙ පුතා.. දකින දකින බිම්මල් ඔක්කොම කන්නෙ නෑ... කන නොකන එව්වා දෑහෙං දැකලම  තමයි තේරුං ගංට ඕනැන්නේ.


                                                        simple "s"

2018.10.30


No comments:

Post a Comment