ලිං කටෙං වැටුන එකා 22.
"මට වෙලාවකට හිතෙනවා එහෙම පදිංචි වෙංටත්... මිනිසුන්නේ අහිංසකකම් දැක්කම හරිම ආසයි. එහෙම මිනිසුන්ට උදව්පදව් කරගෙන ඉංට තියෙනවා නං වාසනාවක්.."
"ඉතිං අයියට එහෙම අහිංසක මිනිසුංට උදව් කරංට ඕනෑ නං හොඳම දේ ගමට මාරුවීමනක් ඇන්න එන එකනෙ. මෙහෙ ලමයිංට පංතියක් කරන එක, ඔය මරණාදාර සමිතියක් වාගේ එකක් හදල මිනිසු එකතැං කරල මොනොවාහරි කියල දෙන එක එහෙම කීයක් දේ ගමට කරංට පුලුවංද?"
"මල්ලී හිතනවද ගමේ මිනිසු මං කියන දේ අහයි කියල..."
"ඇයි නැත්තේ.. දැං බලංට, අර පෑලිස් මාමට මිනිසු කොයි තරං අඩංගුද? අයියා රස්සාවකුත් තියාගෙන.."
"ඔව් මල්ලී ඒකත් හිතල බලමු. ඒත් මල්ලී එහෙ තරං නැති බැරි මිනිසු අපෙ ගමේ නෑ.. "
"එහෙ පදිංච් වෙංට හිතෙන කතාවක් අයියා අපෙ අම්මලාට නං නොකිව්වොත් හොඳයි. දුකට පපුව පැලෙයි.
ඉං එහාට මං කතා නොකරම හිටියා. ඒ අයියා කිව්ව දේට එකඟ වුන හිංදා නෙවෙයි. අයියා එක්ක කට ගහගෙන යංට හොඳ නැති හිංදා. අනිප්පැත්තෙං මට මේ සැරේ අයියා තේරුම් ගංට අමාරුයි වාගෙත් දැනුනා. ඊට පස්සෙත් අයියා හුඟක් දේ කිව්වා. නතරවෙල ඉන්න ගෙදර මිනිසුන්නේ හොඳේ, ලමයි දැං කැමැත්තෙං ඉස්කෝලේ එන හැටි, මේ වාරේ අන්තිමට ඉස්කෝලේ විවිධප්ප්‍රසංගයක් කරන එක, ඒකේ පුහුණුවීම් වලට එහෙම අලුතිං පත් වෙල ආව "පියෝති" නෝනමහත්තයා වෙලාව අවේලාව නොබලා උදව් කරන හැටි, ලොකු මහත්තයගෙ දස්සකම් වාගේ ගොඩාක් එව්වා අයියා කිව්වේ හරි සන්තෝසෙං.
අයියා මේ සැරේ ගෙදර ආවේ හුඟ කාලේකිං. ඒ පමාව ගැන අම්මයි අප්පච්චියි ගොඩක් දුක් වුනා. ඇත්තටම මාත්. ඒකයි අප්පච්චී වෙනුවෙං මං අයියට ලිව්ව ලියුමේ මෙහෙම ලියංට කියල මට කිව්වේ. "මේ ලියුම ලැබුනමත් අයියා ගෙදර ආවේ නැත්තං අම්මයි අප්පච්චියි මොන දුක විඳගෙන හරි ඔහෙ එනවා කිව්වා." මේ ටික කියනකොට අපෙ අම්මට ඉකි ගැහිල ඇඬුනා. අම්මෙග්ගෙ දෑහිං කඳුලු වට්ටන එකත් ලේ හොල්ලන වර්ගේ පවක් කියල මට හිතුනා. අර පංචානංතරිකර්ම පාප වාගේ.
"අවුරුදු හතකුත් පහු වෙනකං බිම හිටගෙන කිරි ටික බීවේ. ඉස්කෝලේ ඇරිල දුවගෙන එන්නෙත් මයෙ තනේ එල්ලෙංට බලාන. ඒක යංතං අපෝ වෙනකොට මං හදල දෙන ගොඩේ පලා මැල්ලුමක්, තිබ්බුටු, කහටමල්, බැදපු මුං ඇට ඩිංගක්, පොලොස් මාලුවක් වාගේ දෙයක් එක්ක බත් කටක්, කූනිස්සං, කොස් ඇට, බීලූනු වාගේ තෙල් දාපු සම්බෝල ඩිංගක් එක්ක කුරහං රොටී ගෙඩියක්, තම්බපු ඉරිඟු, මෑ කරල් ඇට වාගේ දෙයක් කොයි තරං.කැමැත්තෙංද කෑවේ. එහෙම කෑව මයෙ කොල්ලට කී කාලේකිං මාතිං බත් කටක් ඉයල දෙංට බැරි වුනාද.. " අපෙ අම්මා එක දිගට කිව්වෙ අඬ අඬ. අප්පච්චි පපුව හෑල්ලු කර ගත්තේ හූල්ලල. අපෙ අම්මා අයියයි මායි ගැන මොකොවත් කියල තමයි ඉතිං, අඬනකොට මටත් නිකම්ම ඇඬෙනවා හැමදාම. මං ඔය කතා අයියට කිව්වෙ නෑ. එයාගෙත් හිත රිදවංට ඕනැන්නෙ නෑනෙ.
අයියා ඉරිදත් ඉඳල සඳුදා උදේම ගියා. මේ සැරේ එයා ගැන මයෙ පපුවේ ඉතුරු වුනේ මහ බරක්. අයියා දෙසැම්බර් නිවාඩුවටත් එන්නේ දවස් දහයක් දොලහක් පහු වෙල කිව්වා. ඉස්කෝලේ වැඩ වගෙයක් තියෙනවලු. අයියගෙ පොත්පත්, මේසේ එහෙම මට කැමති විදිහකට පාවිච්චි කරංට කියලයි ගියේ. දින පොත් නං වෙනම, පරන වෙච්ච ටැංකි පෙට්ටියක් තියෙන එකේ දාල යතුරු දැම්මා.
ඒත් එව්වෑ ලියල ඇති දේ මහ කාලයක් රහස් කර ගංට අයියට ලැබුනෙ නෑ.
simple "s"
2019.03.17
මුල ඉඳල කියවන්න ආපහු එන්නං...
ReplyDeleteOK.
ReplyDelete