Friday, April 5, 2019

උඩගෙදර කතා 138 (ලිං කටෙං වැටුන එකා 25)

ලිං කටෙං වැටුන එකා   25.

"අපෙ අම්මා.... අප්පච්චිට ලොකු මහත්තයා එංට කිව්වා."
"දැංද ඕක කියන්නේ... දැං කොහොමදෑ ඉස්කෝලෙට යන්නේ? ඔය අප්පච්චි ඉන්නේ... කියා ගන්න එකයි. " අපෙ අම්මා තරහිං කියනවද කවටකමක් කරනවද කියල මට හිතා ගංට බැරුව ගියා. හැබැයි එහෙම කියල හිනා වෙවී මයෙ ගාවටම ආවා.
"අනෙ අපෙ අම්මා... ආං නිකට අල්ලට බර කරගෙන කල්පනා කර කර ඉන්නවා. මට නං යංට බෑ. අපෙ අම්මා කියංට..." බරක් ඔලුවට ආවම හැමදාම අප්පච්චි එහෙම තමයි කල්පනා කර කර ඉන්නේ. ඒ කියන්නේ අදත් මොකක් හරි වෙල තියෙනවා.

                         මම දැං ගමේ ඉස්කෝලේ නෙවෙයි ඉන්නේ. කලුන්තැන්නේ. මේ වාරේ මුල ඉඳල. දැං නං නිවාඩු. අවුරුදු  නිවාඩු. අද මං කොල්ලෝ එක්ක කඩේට උඩහිං පාරේ සෙල්ලං කර කර ඉන්නකොට අපෙ ලොකු මහත්තයා මුණ ගැහුනේ. කියන දේ අහගෙන කරනවා විනා, 'ඇයි.... මොකටද?' වාගේ එව්වා හරහට අහංට පුලුවනෑ මට, ඉස්කෝලෙං ගියා කියල.
"අප්පච්චි ලොකු මහත්තයා මුණ ගැහෙංට ගිහිං ඇව්ත් ඉන්නේ ඔය. " හිනා වෙවී  අපෙඅම්මා ඒ ටික කියනකොටත් උන්දැගෙ ඇස්වලට කඳුළු පිරිල.
"ඇයි අපෙ අම්මා... මොකද වෙල තියෙන්නේ?"
"මයෙ පුතා අයෙත් හපං කමක් කරගෙන ඕං. එංටකො අප්පච්චි ඉන්න තැනට යංට." අපෙ අම්මා මයෙ ඔලුවයි නලලයි ඉඹ ඉඹ කිව්වේ.. "මයෙ පුතා ගිය සිස්සත්ව විභාගෙං පාස් වෙලලු... "

                          අප්පච්චිගෙ මූණ බක්ක මලක් වාගේ පිපිල. ඉඳල හිටල දකිංට පුලුවං අර පිරිච්ච හිනාව මුණ පුරහම. මට දාහක් දේවල් හිත පුරා එහෙට්ට මෙහෙට්ට පනිනවා. සන්තෝසෙට මට කතා කර ගංට බෑ. තප්පරේට උගුර තොල කට වේලුනා. උගුරේ මොකොදෝ හිර වුනා. මට එක පාරම අප්පච්චි ලඟ දණ ගැස්සුනා.

"මයෙ පුතා එනවාරේ ඉඳල නුගවෙල මධ්‍ය මහා විද්‍යාලේ..  නතර වෙංට වෙන්නෙත් එහෙ ඉස්කෝලේ බෝඩිමේ. කන බොන එව්වත් ආංඩුවෙං දෙනවලු."
"අනේ මයෙ කොල්ලා නැතුව මං ඉන්නේ කොහොමදෑ. රෑට තවම මයෙ තුරුල්ලේ ගුලිවෙන මයෙ රත්තරං... " අපෙ අම්මට කෑ ගැහිල ඇඬුනා. මටත් ඇඬුනා. අප්පච්චිත් ඇඬුවේ නැති වුනාට කට හඬ එහෙම පිටිංම වෙනස් වුනා.
"වාරේ පටං ගන්නකොටම යංට බෑ. අස්වීං සහතික ගංට ඕනෑ. එහෙට්ට ඇන්න එංට කියල තියෙන බඩු ලැයිස්තුව ගංටත් තියෙනවා. එහෙම සතියක් හමාරක් පමා වුනාට කමක් නෑ කිව්වා."

                          දෙයියනේ කවි කොලේකිං නම දැකල හිතේ ඇඳිච්ච මයෙ හීනේ, මට ඇත්ත වෙල. මටත් ලොකු ඉස්කෝලෙක ඉගෙන ගංට වාසනාවක්.. එක පාරම මහ සන්තෝසෙයක් මයෙ ඉහිං කනිං ගියාට මොකදෑ තියෙන අසීරුකං ටික මයෙ ඔලුවට එංට මහ වෙලාවක් ගියේ නෑ. කවදාවත් නැතුව මං එක පාරම දන්නේවත් නැති තැනක ඉන්නේ කොහොමදෑ....  අනික අපෙ අම්මයි අප්පච්චියි දෙන්නත් නැතුව. අලුත් ඉස්කෝලේ, ළමයි, ගුරුවරු කොහොම වෙයිද... ඒ ළමයි එක්ක තරඟෙට ඉන්ට මට පුලුවං වෙයිද..... මයෙ ගොඩේකමයි, අනික් අඩුපාඩුයි එක්ක මොන මොන ලැජ්ජා කෙරිලි වලට මූණ දෙංට වෙයිද.... අයියා දවසක් කිව්ව හැටියට මට ඉගෙන ගංට වෙන්නේ විද්‍යාව. මට එව්වා තේරුම් ගංට පුලුවං වෙයිද? ගමයි මයෙ යාලුවොයි දාල යන්නේ කොහොමද... අර සන්තෝසේ ටික ටික එව්වා මෙව්වා වුනා.

                          හවස් වුනාට මොකදෑ අප්පච්චියි මායි දෙවෙනි මහත්තයා බලංට ගියා.
"හ්ම්.... අපෙ හපනා... නේද මේ හවස් වෙලා...
මං පනිවිඩේකුත් එව්වා.. "
"අපෙ මහත්තයා... පනිවිඩේ....? පනිවිඩයක් ලැබුනා නං මට නොකියා ඉන්නෙ නෑ!"   හ්ම්.. ඒකත් දන්නවා. ඒ වුනාට පුරුද්දක් හැටියටයි විහිලුවටයි මයෙ ඇදයක් කුදයක් කියංටත් එපායැ.
"කොහෙද අපෙ මහත්තයා පනිවිඩේ ලැබුනත් සිහියක් කියල එකක් තියෙංට එපායැයි.  අර බයිසිකල් රෝදයක්, රිං එකදෝ මොකදෝ කියන්නේ.. එව්වෙං එකක් තියාන තිස් පැයම ඒක දක්ක දක්ක ඉන්නවා කොල්ලෝ කාංඩෙට එකතු වෙල... "
"කමක් නෑ... නිවාඩු කාලේනෙ. එන්ට කිව්වේ ඇයි කියල දන්නවා නේද සපුමල්?"
"එහෙමයි අපෙ මහත්තයා, අප්පච්චි ලොකු මහත්තයගෙ පනිවිඩේට එහෙ ගියාම කියල තියෙනවා." කිය කියම මම අපෙ මහත්තයට දණ ගහල වැන්දා.
"ඉතිං සපුමල් මටත් බොහොම සන්තෝසයි. දන්නවද... මේ පැත්තටම ඉස්සර වෙලාම අටේ ශිෂ්‍යත්ව  විභාගය පාස් වෙලා තියෙන්නේ සපු තමයි. පහේ විභාගේ පාස් වුන අය නම් ගමේම ඉන්නේ. අර ජයවර්ධන එහෙම."
"ඔව්.. අපෙ මහත්තයා නෑදෑ කමටත් වැඩිය මෙයාගෙ හොඳම යාලුවානෙ. "
"දැං නුගවෙල ගියාම හැම දේම අලුත්. පාඩම් වැඩ නං සපුට ප්‍රශ්ණයක් වෙන්නෑ..අනික ඔය සමහර අයට මෝඩ කමට ඉරිසියාවකුත් එනවානෙ.. එන්න එව්වයින් පරිස්සම්වෙන්ට ඕනෑ. ටික දවසකටවත් කලුන්තැන්නට යන්ට වුන එකත් හොඳයි. සපුට රට තොට ටිකක්වත් අඳුරා ගන්ට."
                            
"හිටිය එක වාරේදිම විභාගෙන් පලවෙනියා වුනා කිව්වමත් මට බොහොම සතුටු දැනුනා. අලුත් ඉස්කෝලෙට ගියාම ඔය පොත්පත් ඔක්කොම වෙනස් වෙනවා. බඩු ලැයිස්තුව එව්වට පොත් ලැයිස්තුව එවලා නෑනේ.... ඒක දකිනකල් මොකවත් දැන්ම සල්ලි වලට ගන්ට එපා.

                        දෙවෙනි මහත්තයා මට තව ගොඩක් දේ කියල දුන්නා. ඒ නෝන මහත්තයත් "හරියට සන්තෝසයි." කිව්වේ මයෙ ඔලුවත් අත ගාල.
"අපෙ මහත්තයට බුදු බව අත් වෙංට ඒ කරුණාවෙං තමයි මයෙ කොල්ලගෙ ඇස් දෙක පෑදුවේ. නිමාඩු වෙලාවට තමන්නේ වැඩක් කරගෙන ඉංට බැරුවටයැයි."
"මේ  කොල්ලගෙ දක්ෂ කමයි උවමනාවයි දැක්කම දන්න දෙයක් උගන්නන්ට හිතෙනවා. සපු මතක තියා ගන්ට ඕනෑ.. මේ මව්පියෝ නොවිඳිනා දුක් විඳගෙන මේ උගන්නන්නේ.. ඉතිං අපි කාටත් එව්වට කෙලෙහි ගුණ සලකන්ට තියෙන්නේ හොඳින් ඉගෙන ගැනීමෙන්. මතකනේ අර කවිය..'තුබූ තැනක සොර සතුරන් ගත නොහෙනා... උගතමනා ශිල්පයමයි මතු රැකෙනා.' මොන තරම් ගැඹුරු තේරුමක් තියෙනවද.... "
"එහෙමයි අපෙ මහත්තයා.."
"සපූ යංට කලිං අයෙත් මෙහෙ ඇවිත් යංට."

                         අපි තව හුඟක් කතා කර කර ඉඳල ගෙදර ආවේ. මට කලුන්තැන්නට ආව ගිය හැටියි වෙච්ච දේවලුයි එක පේලියට මතක් වෙංට පටං ගත්තා.. ඒ ඒ වෙලාවට සමහර එව්වට දුක හිතුනා තමයි. ඒත් ඒ දේත් දැන කියා ගංට ලැබුන එක හොඳයි...

(ඊලඟ කොටසත් මේකටම සම්බන්ධයි.)

                                                                                                   simple"s"
2019.04.05

No comments:

Post a Comment