Friday, April 5, 2019

උඩගෙදර කතා. 136 (ලිං කටෙං වැටුන එකා 24.)

ලිං කටෙං වැටුන එකා.          24.

"අයියා දුවෙකුට නේද කැමති..?"
"මේ මොකොදෑ උදේ පාන්දරම...?"

                    ඩිංගිරී තව ටිකක් පෑලිස්ට තුරුලු වුනා. මූණ පපුවට තියා ගත්තා. පෑලිස්ගෙ අත ඇරගෙන මූණේ තියා ගත්තා.
"උදේට මොනවද හදල දෙන්නේ? කිරිබත් හදංටද?"
"කිරිබත් කෑවම දවල් වෙනකොට ඈණුං යංට පටං ගන්නවා. වැඩක් කරකගංට බෑ. පණ නෑ. අද පාං රොටී කමු. මං නුගේ යට බලල එන්නං. බිම්මල් තිබ්බොත් එව්වා හදමු නැත්තං ලුනුමිරිස් ටිකක් අඹරල පරිප්පු ඩිංගක් වේලෙංට හදල ගනිමු. නංගී කිරිබත් කංට කැමති නං ඒත් කමක් නෑ..."
"කාලේකිං කිරිබත් කෑවෙත් නෑනෙ. ටිකක් කැහුලා කමකුත් දැනුනා තමයි."
"ඉතිං හදංට."
"යංකෝ කහට ඩිංගක් බීල ඉංට."

                   ඩිංගිරී කේතලේ ලිපට කරංට ගියා. පෑලිස් එලියට ගියා. වටිං ගොඩිං එලිය වැටීන එනවා. මට්ටෙටම  කිට්ටු වෙංට කොන්ඩේ කැපුව හීං එකෙක්ගෙ ඔලු ගෙඩිය වාගේ පහූන දවස්වල තිබ්බ  මැටුවලතැන්න කන්දෙත් දැං අයෙම මානාව ටික ටික දලු දාල. කොල්ලෝ ටික මැරෙයිම කිව්ව මානාව අයෙත් දලු දායි කියල පෑලිස්ට නං විස්වාසෙයක් තිබ්බා. පෑලිස් හොඳට හොඳට බලනකොට දැක්කා මුවෝ රංචුවක්ම කන්දට ඇවිත් දලු කොල උලා කනවා. හීං එවුං දෙන්නෙකුට මේ ලෝකේ සිහියක් නෑ. අත්, කකුල් ගස්ස ගස්ස පස්ස උඩ දම දම එක සීරු නටනවා.

"කහට එකයි සීනි  බෝතලෙයි මෙහෙටම ඇන්න ආවා.. "
"හ්ම්.. ඒක හොඳයි නංගිටත් ලස්සන බඩ්ඩක් පෙන්නන්ටත් එක්ක.. අර කන්ද දිහා බලංටකෝ... "
"අප්පෝ.. මුවෝ රංචුවක්.  පහලවක්වත් ඇති මයෙ හිතේ. අනේ.. අර පැටියෝ දෙන්නා බලංටකො.. තියෙන දහංගලේ."
"මාත් මේ ඒ දෙන්නා දිහා තමයි බලාන හිටියේ.."
"නෑ... නෑ........ අයියගෙම පැටියෙක් අද හෙටම දෙන්නං දෙයියෝ. ඒ හේතු කාරයා ඇවිත් ඕං....!"

                         පෑලිස් ඉඳගෙන හිටිය ලෑල්ලෙං නැගිට්ටා නෙවෙයි එතන ඉඳලම ඩිංගිරී ලඟට ඉගිලුනා වාගේ.... ඩිංගිරී උස්සා ගංට හැදුවේ.
"හා හා... මේ කහට එක ඉහිරෙයි ඇඟෙත් එක්ක. ඕක අයෙ කවුරුවත් ඇන්න යනවා නෙවෙයි මයෙ දෙයියෝ... දැං කහට ඩිංග බීල ඉංටකෝ."
"මට ඕනෑ ඇති කහටක් නෑ.. මං මොකදෑ කරංට ඕනැන්නේ..  ඔය කෝප්ප දෙක කොට්ට පිල උඩිං තියංටකො."
"අදවත් අම්මලා දෙන්නටත් කියංට ඕනෑ. අපි දෙන්නම ගෙවල් පැත්තේ යංට බැරි වෙයිද? අද මොකද්ද කරංට හිතා ගත්තේ?"
"ඒකට කමක් නෑ. යං දෙන්නම ගිහිං එමු...  සුමානේකිං  විතර යංටත් බැරි වුනා නේද...  හා අර ඊයේ හාරාන ආව කටුවල කොටහවල් ඇන්න යං.. "

                                *                                *                                     *

"බලාන හිටපං..... හදල දෙඤ්ඤං උඹට දොලදුක් කෑම. " ඩිංගිරීලා පෑලිස්ලෑ ගෙදෙට්ට ගොඩවෙනකොට එහෙ අම්මා පෑලිස්ගෙ නංගිට බැන වදිනවා. "පුලුවන් නං ඔය රොටී කාපං බැරි නං කුද ගහ ගන්නිං."
"මොකොදෑ අපෙ අම්මා.. "
"ආ ලොකු දුව... බලපංකො මේකිට රොටී කංට බැරිලු. අර ඉඳි ආප්ප කියන එව්වා ඕනැලු. එව්වා හදංට මට තවම පාංපිටි පදම ගංට බෑ. එහෙම නැත්තං කටුවල තම්බල ඕනැලු. කොහෙ තියෙන කටුවලද?" ඩිංගිරී පෑලිස්ගෙ මූණ බලල හිනා වුනා.
"අපෙ නංගී, කටුවලද ඕනැන්නේ? හ්ම් හෙට උදේට හදල දෙංට කියංටකො..." පෑලිස් කිව්වා.
"දැං මොකවත් කාල බීලද ඉන්නේ ලොකු පුතාලා. විජහට රොටී හදංටද? යස කීලං කරෝලත් තියෙනවා."
"එපා අම්මා කිරිබත් කාල ඉන්නේ ඔය. පොල් ඩිංගක් තිබ්බ එක රැල් පිටිං දාල හැදුවා. ඇන්න එංට එකක් තිබ්බෙත් නෑ." පෑලිස්ගෙ අම්මත් එක්ක ඉයන ගෙට යන හිටං ඩිංගිරී කිව්වා.
"ලොකු පුතා අද වැඩකට පෑහුනේ නෑ."
"නෑ අම්මා... අද මං මේ එකක් කියල, නැගිට ගත්ත වෙලාවේ ඉඳල උඩ පැන පැන ඉන්නේ ඔයෙ...!"
"ඒ මොකද්දෑ.. "
"මට මඩු පිට්ටු වැලි තලප කංට හිතෙනවා කියල... "
"ඈහ්.... හැබෑවටමද මයෙ දුව?" පෑලිස්ගෙ අම්මා ලිප දිහෑයිං ඩිංගිරීගෙ මූණ බලංට ඔලුව ගස්සල ගත්ත පාර බෙල්ල උලුක්කු නූනා ඇති. උන්දෑ ඩිංගිරීගෙ මූණ දෑතිං අල්ලාන හඳුංපොතේ තියාන ඔලුව අත ගානවා... කියවනවා... කඳුලක් පිහිදානවා. තංතෝසේ ඇස් දෙකෙං වැක්කෙරෙනවා.
"මං හෙටම හදල දෙන්නං මයෙ අම්මා. මඩු පිට්ටු වලිං අප්පච්චී නං එපා කියයි වද්දෝ.  පිට්ටු ගෙඩියට දාංට මුරුංගා කිනිත්තක් වත් හොයා ගංට තියෙන එකක්‍ යැයි මේ දවස්වල."
"ගෙදර ගහක මුරුංගා රිකිලක් දාල තිබ්බා.. කොල මිටක් තිබ්බොත් මං අයියා අතේ එවන්නං අම්මා."
"දැං ඉතිං ඌස්න කෑම නවත්තා ගංට පුලුවන්නං හොඳයි. ඒත් ඉතිං එහෙම තෝරා බේරල කංට අපට පුලුවනෑ. පුලුවං තරං පරිස්සං වෙංට. වී කොටනවා, බර උස්සනවා වාගේ එව්වත් නං හොඳ නෑ මයෙ දුව. මං දවල්ට බත් ඩිංගක් ඉයන්නං. කාලම යංට. "
"හොඳයි අම්මා.. අපි පල්ලෙහාටත් ගිහිං එන්නං."
"හා.. ඒක හොඳයි. එහෙදී කෑමට නවතිංට එපා. කියල එංට.
මයෙ  දුව, කඳ සුද්ද වෙන එක නතර වෙල  දැං ...."
"ඊයෙට මාස දෙකයි අම්මා.."
"මේ උඳුවක් මහ, එතකොට දුරුතු නවං මැදිං බක් වෙසක් පොහොං... එතකොට වන්නිය බංඩාර දෙයියන්නේ පිහිටෙං, ඇහැල මහට විතර බලාපොරොත්තු වෙංට පුලුවං. හොඳයි මහ වැහි කාලේකුත් නෙවෙයි." පෑලිස්ගෙ අම්මා කිව්වේ අත්වල ඇඟිලිත් ගනං කරල.

"ඔන්න පුතාලෑ අප්පච්චිත් ලොකු අත්තා කෙනෙක් වෙංට යන්නේ..!" ඩිංගිරිලා පල්ලෙහා ගෙදෙට්ට පිටත් වෙල යන කොටම පෑලිස්ගෙ අම්මා කිව්වේ.  මහ දෙන්නත් ඒ ගැන හුඟක් සංතෝසෙං කතා කෙරුවේ.
"කඩේට ගිහිං එංට වෙයි. බී ලූනු කාලක් බාගෙයක් ගේංට. අල ඩිංගක් ඉස්ම තියෙංට හදන්නං. අලත් තියෙනවා, පරිප්පුත් තියෙනවා. තව බටු කොඳ ඩිංගක් තෙල් දාමු. බීලූනුත් එක්ක කරෝල කෑල්ලකුත් තෙල් දාමු."
"සාඩිං ටිං එකක් ගේංට, හොඳ නැති වෙයි ද? පොල් ඩිංගක් දාල ඉයල ගනිමු. එතකොට මහ ඌසුනක් නෑ."
"නැත්තේ නං නෑ. ඒ වුනාට කමන්නෑ. ගේංටකො අදට විතරයිනෙ."

                           ඩිංගිරීලෑ ගෙදරත් කෑම තනංටයි ලැහැත්ති වුනේ. දෙපොලකිං කංට පුලුවනෑ. අයෙ වෙලාවක කිව්වා.
"එහෙනං තෝර කොල ඩිංගක් ඇන්න පලැං හෙටවත් මලවා ගංට. තම්බා දියෑර ගංට තේරෙනවා නේද මයෙ දුව?"
"පරිස්සං වෙංට ඕනෑ... කකුලක් ලෙස්සා ගංට එහෙම නොදී. ඌසුන ජාති කංට බොංටත් එපා.... හීං එකීට රත්තයාවත් හැදෙයි. පරන සරමක් එහෙම තියෙනවා හානකඩමලු වලට. එව්වා අයෙ හෝදල හොඳට අව්වේ දාල ගනිමු. "
"කල් තියෙනවා අපෙ අම්මා තව. පෑලිස් අයියා වාගෙම අපෙ අම්මත් කැමති දුවෙකුට...."

                            පෑලිස් හවස් වරුවම ගෙදර හිටියා. තව සැරයක් ලිඳ ඉහල සුද්ද කරල  දැම්මා. ගල් පතුරු ටික පිළිවෙල කරල ලිං මිදුලත් එක විදිහක් කෙරුවා. සැරෙං සැරේට ඩිංගිරීට මොනවා හරි කියනවා. හිනා වෙනවා.

                            දැං මේ ආරංචිය ලැබුනම ගමේ බවලත් ඇත්තෝ වැල නොකැඩී ඩිංගිරී බලංට එනවානෙ.. බුලත් තුන පහ ගෙනත් තිබ්බා. සීනි තේ කොලත් ඩිංග ඩිංග. ගේත් ඩිංගක් අස් කරල දැම්මා.
"නංගී දන්නවද... මට ඕක මාසෙයක් විතර තේරිල තිබ්බේ."
"ඒ කොහොමද?"
"නංගිගෙ මූණ පිරිල... මෙන්න මේ කම්බුල් එහෙම තිබ්බට වැඩිය ලස්සන වුනා."
"හ්ම්ම්ම්ම්.. "

                                                                                          simple"s"
2019.04.01

No comments:

Post a Comment