Tuesday, December 17, 2019

උඩගෙදර කතා 206 ලිං කටෙං වැටුන එකා 67

ලිං කටෙං වැටුන එකා   67.

"ඇයි ඔච්චර ඒක ගැන දැන ගන්ට ආසාවක්?"
"දයා මං කලිං ඔයෙ ගැන අහල තිබුනෙ නෑ. අනික මචං, ඒ ...  රාජකරුණා ඔය service එකට තේරුනා කියල, assembly එකේ public anouncement එකක් දෙංට තරං විශේෂයක් ඇති කියල හිතෙනකොට ඒ ගැන හොයංටම හිතෙනවා."
"ඉතිං, විමල් සර් තාම ලැබ් එකේ ඇතිනෙ සපු. දැන් යංකො. සර් කියයි."

"Public announcement? කවදද?"
"ඔව් සර්.. අද උදේ රැස්වීමේ. අප්පුඩියක් ගහල සුබ පතංටත් කිව්වා අපිට."
"දෙන්නගෙ ඒ කුතුහලය බොහොම හොඳයි දයා..."
"සර්.. මට වැඩිය මේ සපූටයි ඕනකම තියෙන්නේ ඔය ගැන දැන ගන්ට..."
"හොඳයි... මෑතකදී වුනාය කියන සිද්දියක් කියලා ඉන්නම්කො... දවසක් උඩරට මැණිකේ train එකේ ... බදුල්ලට යන එකේ... සුදු අත්කොට කමිසයක් කලිසමට උඩින් දාල, අර පුංචි සූට්කේස් එකක් ගත්ත මහත්තයෙක් යනවලු. වැඩි උස මහත නැතිලු. එයා ඉස්සරහින් වාඩි වෙලා ඉන්න අත් දිගට දැම්ම, වැස්ලින් .. බ්‍රිල්ක්‍රීම් වගේ දෙයක් තදට ගාල සයිඩ් පාට් දාල දිලිසෙන්ට කොන්ඩේ පිරුව නියම gentleman type කෙනෙක් බලෙන්ම කතාවලු. හරි සීරියස්ලු! තැනකදී අත්කොට මහත්තයා එයාගෙ සූට් කේස් එකෙන් පාන් වගයක් අරන් gentleman ගෙන් පාන් පෙත්තක් ගන්නවද කියලා ඇහුවලු. වැඩිය ප්‍රසන්න විදියට නෙවෙයිලු අරයා ඒක ප්‍රතික්ෂේප කළේ. අපි මොනවා හරි එහෙම දෙයක් refuse කරනකොට,
"දැන් එපා... Thank you.. " වගේ කියලා, ඉංග්‍රීසියෙන්ම නම් ඊටත් වෙනස්ව, polite විදියටනෙ ප්‍රතික්ෂේප කරන්න ඕන. "එපා" වගේ පොල්ලෙන් ගහන උත්තර දෙන්නෙ නෑ. 
"Oh.. I am sorry.." කියලයි අත්කොට කමිස මහත්තයා ප්‍රතිචාර දැක්කුවේ!

                 දේශගුණය, කෝච්චියේ ගමන් පහසුව වගේ ඒවයි gentleman ගෙ පංපෝරි කතායි මෙයාට කන් පිරෙන්න අහගෙන යන්න වුනා. ඒ අතරේ ජෙන්ටා මෙහෙම අහනවා.
//"කොහෙටද යන්නේ?"
"බදුල්ලට."
"මාත් ඉන්නේ බදුල්ලේ.. බදුල්ලේ කොහේටද?"
"කච්චේරියට."
"ඇයි.. රාජකාරියක් කර ගන්නද? උදව්වක් ඕන නම් කියන්න."
"නෑ.. නෑ..හෙට ඉඳලා පත්වීමක් ලැබිලා."
"පත් වීමක්...? මාත් වැඩ කරන්නේ කච්චේරියේ නෙ. මොන ඇංශයටද?"
"ඒක නම් දන්නෙ නෑ මහත්මයා.." ජෙන්ටා එයා කච්චේරියේ කව්ද‍ය කියලත් නුරුස්සන විදියට නිස්සද්ද වෙලා. බදුල්ල station එකට එන්න වැඩි වෙලාවක් ගිහින් නෑ.
"ඔන්න.. බහින්නත් ලඟයි. පත්වීමක් අරන් එනකොට විශේෂයෙන් කච්චේරියක නම් මොන අංශයටද කියන්නවත් දන්නෙ නැතිව කොහොමද? ඇහුවේ බාහිර කෙනෙක් නම් සමස්ථ රජයේ සේවය ගැනම අති කර ගන්නේ..." යාලුවා එයාට කතාව සම්පූර්ණ කරන්න දුන්නෙ නැ.
"කණගාටුයි මහත්මයා.... පත්වීම මොන අංශටද නම් දන්නෙ නෑ.. ඒත් පත්වීම තියෙන්නේ... දිසාපති හැටියට."//
කිව්වලු. ජෙන්ටා ටක් ගාලා නැගිට්ටලු. ඇත්තටම නැගිට්ට වුනාලු. පහුවදා ඕඒ මහත්තයා හිතුව තරම් දෙයක් වුනේ නැතිලු. බොහොම ප්‍රසන්න විදියට ලොකු අවවාදයක් සරළ වාක්‍යකින් දෙකකින් ලැබුනලු, මේක දැන ගත්ත office එකේ අය නම් බොහොම ආදරෙන් සැලකුවලු.!

                    ඔය කතන්තරේ shirt එක උඩින් දාල හිටිය මහතයගෙ නම පී.ජී.පුංචිහේවා. අපේ කතාවට විශේෂය වෙන්නේ, මේ මහත්තයා ඔය CCS ඒ කියන්නේ, Ceylon Civil Service එකේ කෙනෙක්. කැබිනට් අමාත්‍යාංශ වල ස්තිර ලේකම්වරු, පලාත් නවයේ දිසාපතිවරු, ඉඩම්, ආදායම්, කස්ටම්ස්, වගේ ප්‍රධාන දෙපාර්තමේන්තු ප්‍රධානීන් එහෙම පත් කරන්නේ ඔය service එකෙන්. රජයේ සේවයේ ඉහලම සේවාව. ඒකයි ඒකට ඔය තරම් වැදගත්කමක්.. පුංචිහේවා මහත්තයලා එහෙම අදහන්න වටින හරිම නිරහංකාර දක්ෂ මහත්තුරු. 

                  1833 සේවාව පිහිටෙව්වේ. මුලින්ම බ්‍රිතාන්‍ය ජාතිකයෝ හිටියේ. ඔයාලා දන්න අයත් ඉන්නවා දැනුත් ... Village in the Jungle වගේ novels ලිව්ව ලෙනාඩ් වුල්ෆ්, අත්සනයි පෙත්සමයි ලිව්ව ලීල් ගුණසේකර වගේ මහත්තුරු. අන්න එහෙම සේවයකට මෙහෙ Past Pupil කෙනෙක් තේරුනාම ඉස්කෝලෙට ලොකු ගෞරවයක්නෙ."

"දයා.. සර්ගෙන් අහංට බෑ කියල හිතුනා. අපි මේ ඕලෙවල් හයයි තුනක් තියාගෙන ඔව්වට බඳවා ගන්න හැටි වාගේ දේ අහංටත් ලැජ්ජයි මචං!"
"අනික... උපාධි තියා ඒලෙවල්වත් කර ගංට අපි හරියට උනන්දු වෙනවද මචං..."
"ඇත්ත.. ඒ වුනාට මට හිතට වැදුනා කතංතරේ .."

"අද දවල්ට බටුයි ගෝවයි... රෑට ගෝවයි බටුයි. හෙට දවල්ට පරිප්පුයි මුකුණුවැන්න මැල්ලුමයි. රෑට මුකුනුවැන්න මැල්ලුමයි පරිප්පුයි. ඒ අතරේ පහුගියදාක දුන්න චීන හාල් ද මොන ජරාවක්ද හින්දා ලමයි කී දෙනෙක් අසනීප වුණාද? ඉටි හාල්! තව කාලයක් මතකද කැකුලු හාලක් ගෙනාවා... හාල් වලින් වී නෙවේ, වී වලින් හාල් අහුලලා ගන්න එක ලේසි.... වේල් කීයකට ලමයි වී අහුලලා දෙන්ට මේ වදේ වින්දද? ඇයි අපිට මෙහෙම කරන්නේ... ඉස්සර වාගේ කජු මුදරප්පලම් ටින් කිරි දාපු සව් කැඳ, සුප් නෙවේ, අපි ඉල්ලන්නේ, සාධාරණ කෑම වේලක් දෙන්ට කියලයි. හොස්ටල් එකේ සර්ලා මේවා කිසි දෙයක් දන්නේවත් නෑ. සර්ලා අහින්සකයි.. අපෙ සර්ලා මේ ලමයින්ට කරුණාවයි.  ඒක අපි දන්නවා. මේ කාරණා හොස්ටල් එකේ අපෙ සර්ලා අදාල අයට කියයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අද රෑ කෑම වේල අපි වර්ජනය කරනවා සර්."

                    සර්ලා දෙන්නෙක් ඉස්සරහ තියාගෙනයි සිරි මෙහෙම කිව්වේ.
"මේ ලමයි කියන දේ අපිට තේරෙනවා. අපේ නම් ඉල්ලීම රෑ කෑම කන්න කියලයි." එහෙම කීවට අසනීප වෙලා sick room එකේ හිටිය ලමයි දෙන්නත් හය හත පන්තිවල පොඩ් ලමයිත් ඇර අනික් ලමයි කෑම කෑවෙ නෑ. මොනවා කර ගත්තද දන්නෙත් නෑ.

"මටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. 'මේ දරුවෝ බඩගින්නේ ඉඳිද්දී නේද මම ඊයෙ රෑ කෑම කාලා තියෙන්නේ.'කියලා මතක් වෙනකොට මට කණගාටුයි දරුවනේ. හැමදාම මෙහෙම පුරුදු තියා ගන්න එපා. මේ කාරණය ගැන මම සුදුසු පියවර ගන්නවා. අද උදේට වැඩිපුර කෑම ඕඩර් කරලා තියෙන්නේ." උදේ හොස්ටල් එකට ආව ප්‍රින්සිපල් සර්, සර්ලත් ප්‍රිෆෙක්ට්ස්ලත් ගෙන්නලා එහෙම කිව්වා. ප්‍රින්සිපල් සර් අහිංසක බව දන්න හින්දා අපි හැම දෙනාටත් කනගාටු හිතුනා. අපි තොරතුර අනික් ලමයින්ට දුන්නා. 

                    කොල්ලොංට රෑ බඩගිනි වෙල. ඒත් ඉවසාගෙන ඉඳලා කොහොම හරි,  bed tea එක ලැබෙන කල්ම. "හැදෙන වයසේ ලමයිනෙ..." උදේම වැඩිපුර තේ කෝප්ප වීවුරු වලට දාන ගමං කුස්සියේ බන්ඩයියා එහෙම කියල.. ප්‍රතිපල සතුටුදායක බවත් ආරංචි වුනා...

                    මේ අතරේ, අපිට උගන්නංට ආන්ඩුව මොන තරම් වියදම් කරනවද... අලුත්ම පැත්තක් පෙනුනේ Chemistry, Physics Lab දෙකට හියාම. ඉස්සර ඉඳහිට ලැබ් වලට යංට ලැබුනේ. ඒත් දැං අපි Advance Level pupils ලා හින්දා දවසකට දෙක්කට වතාවක් ලැබ් එකක Experiments කරනවා. ඒක හරිම Interesting.

                     ගෑස් ප්ලාන්ට් එකෙන් එන ගෑස් මේස උඩට එංට බට දාල. මේසේ උඩ තියෙන පුංචි ටැප් එකෙං Bunsen burner එකට ගන්නවා. පත්තු කරපු බන්සන් බර්නර් එකේ Gas Adjust කරලා නිල් දැල්ල ගන්නවා. එහෙම නිල් දැල්ලේදිලු ගෑස් පූර්ණ දහනය වෙලන්නේ, වාතයේ තියෙන Oxygen එක්ක ඕනෑ ප්‍රමාණයට කලවම් වෙල. දැල්ල එතකොට හරිම සැරයි. සමහර මූල ද්‍රව්‍ය සාමාන්‍ය ගිනි දැල්ලක ගිනි ගන්නේ නෑ. ඒත් බන්සන් දැල්ලේ පිස්සෙනවා. තව එව්වා ලේසියකට පිස්සෙන්නෙම නෑ. එව්වා පිස්සෙනකල් අඬුවකින් එහෙම දැල්ලට අල්ලංට බෑ. අගිං පුංචි රවුමක් හැදුව ප්ලැටිනම් වයර් එකක රඳවල ඕන Flame එකට අල්ලංට. ප්ලැටිනම් දැනට භාවිතයේ තියෙන තදම ලෝහයනෙ. අඟලක විතර කම්බි කෑල්ලත් හරිම ගණංලු. රත්තරන් වලටත් වැඩිය. පංතියෙම්ම ලමයි දෙන්නෙකුට ව්තරයි තමන්නෙම ප්ලැටිනම් වයර් තියෙන්නේ. මේ Chemistry Lab එකේ බෝතල් වල එහෙම දාල සෝඩියම්, ඇසිඩ් ජාති වගේ සැර දේවලුත් තියෙනවා. දවසක් නිකහැටිය Sulphuric Acid බෝතලේ රාක්කෙං ඇන්න මැඩම් ලඟට යන ගමං stopper එකේ ගෑවිල තිබ්බ ටිකක් හීන් ගෙ කමිස අත නමල තිබ්බ තැන ගාල. අත නැව්ව පොටවල් හතරක් විතර පිස්සිල. යන්තං අත නං බේරිල. එව්වා ඒ තරං සැර!

                    Physics Lab එකේ දැං අපිට Dark Room experiments කරංටත් දෙනවා. ලමයි දෙන්න දෙන්නා කන්ඩායම් කරල තියෙන්නේ. එහෙම පිරිමි පිරිමි ගෑණු ගෑණු කන්ඩායම් බෙදුවම අන්තිමට එක පිරිමි ලමයෙකුයි එක ගෑනු ලමයෙකුයි ඉතිරි වෙල. ඒ දෙන්නත් වෙනම එක කන්ඩායමක් කරා. සාමාන්‍යෙං ඩාක් රූම් යවන්නෙ පිරිමි කන්ඩායමකුයි ගෑනු කන්ඩායමකුයි එකට. දවසක් අර පිරිමි ලමයටයි ගෑනු ලමයටයි විතරක් ඩාක් රූම් එකේ ඉංට වෙල. එදාට නියමිත අනික් කන්ඩායම ඇවිත් නෑ. ඒ මදිවට ඒ දෙන්නා ඇතුලේ ඉඳිද්දී මැඩමුත් එලියට ගිහිං! ලමයි ඔක්කොම මේ දෙන්නට විහිලු කරල. ඒත් අනූ මයි කියල තිබුනේ... 'මූණ ඉදිච්ච මිරිස් කරල වාගේ රතු වෙල, දාඩිය දාල හිටිය හැටියට මම බයේ හිටියේ මේකා ඇතුලේදී faint වෙයි කියල!'
"ඇතුලේ ඉංට හිටිංට බෑ රස්නේ බං..." ඒ බෝයි කිව්වා!

"සපූ... අපි දෙන්නටම ඉන්ට කාමරයක් හොයන්ට මහන්සි වෙන්ට එපා. මට ටිකක් කිට්ටුවෙන් ඉන්ට තැනක් හොයා ගන්ට පුලුවන්. වෙලාවට විභාගෙට එන්ට විදියට."
"හොඳයි දයා.. අර ග්‍රාම සේවක මහත්තයා කියල තිබුනේ එයාගෙ කාමරේ එක්කෙනෙකුට නං ඉඩ දෙංට පුලුවං කියල. එහෙ ඉංට ලැබෙනවා නං මං කැමතියි. කතා කරපු දවස් දෙකට හොඳ පැහැදීමක් ඇතිවුනේ ඒ සෝමරත්න මහත්තයා ගැන.  අනික මචං වැඩිම වුනොත් සති දෙකකටනේ... එග්සෑම් ඉවර වෙනකල්."
"සල්ලි අය කරල හරි, සෙකන්ඩ් දෙවෙනි වතාව කරන අයටත් හොස්ටල් එකේම ඉන්ට දුන්නා නම් ඉවරනේ."
"මොකක් හරි හේතුවක් ඇති මචං.."

"ගෙදර යන්ට නං ඕනෑකම තියෙනවා මචං. ඒත් සර්ලා මැඩම්ලා කව්රු හරි සෙනසුරාදා ඉරිදාවකුත් තියන පන්තියක් මගෑර ගන්න එක පාඩුයි. මම යනවා නං නංගිත් ඔය පන්ති කට් කර ගන්නවා මචං."
"මං කියල එයා නවත්තා ගන්නං. ඔයා යංට...!" කියංට මට ඕනෑ කම තිබුනා! ඒත් ඕක කියංට පුලුවනෑ දයාට! ඒ වෙනුවට මං කිව්වේ:
"මේ අවුරුද්දේ ඔය ඉතුරු ටික දෙන්නම ඉංට දයා." කියලයි.

"ඔය අතරේ.. දැං සමරෙටත් වැඩ වැඩිවෙල. ජිනා නංගී දවස් තුන හතරකට සැරයක් ලියුමක් එවනවාමයි.
"සමරේ ඔයාට වදයක් වුනා නේද මේක...?"
"මොන වදයක්ද බං... පියන් ගෙදරට ගෙනත් දෙන ලියුම මම ඔයාට ගෙනත් දෙනවා. එච්චරනෙ. අනික... ඉගෙන ගන්න එකකටනෙ. අපෙ අම්මලත් කියන්නේ ඒකයි."
"උඹට පිං සිද්ද වෙනවා.."

                     එහෙම කිව්වට මොකද මට හරියට දුක හිතුනා.. පොඩි බොරුවකුත් කරන හිංදා..... ජිනා, පාඩම් කරන අතරේ කම්මැලි කමක් පාලුවක් දැනුනත් ඒක ලියනවා.. හිතට හැඟීමක් ආවත් ඒක ලියනවා... වෙන ලමයෙකුට හරි ප්‍රශ්නයක් පීඩනයක් ඇති වුනත් ඒක ලියනවා. එව්වත් මට එවනවා.

                                                                                                    simple "s"
2019.12.15

පින්තූර අන්තර්ජාලය ඇසුරෙන් ..

No comments:

Post a Comment