"සන්දේ......"
උඩගෙදර කතා ............. අංක 25
"හ්ම්.. සත පහක් දෙංටකො එහෙනං. මෙව්වා ගෙවල් ගානේ ගිහිං එකතු කරගන්නෙ. මට සතෙයයි තියෙන්නේ ඕං.."
"හා.. නෑ නෑ මුදලාලි ඉංට, සත දෙකේ එකක් තියෙනවා.. මේං."
ඇත්ත... කලිං දවසේ ගමේ ගෙවල් ගානේ ඇවිදල මේ මඩු කොකු මිටි ටිකයි, මඩු ඇට සේරු පහයි, පේර ගෙඩි ටිකයි එකතු කර ගත්තේ. මෙව්වා එකතු කරන අයගෙ හිත් රෙදවංට බැරි හිංදම දම්මේ මුදලාලි අද ආවේ. එක ගොනෙකුටවත් බඩු නැත්තං ඕවා කර ගහගෙන එන එක බෝම මහංසියි. වැඩක් නෑ.
"ආ... පොඩි එක්කෙනෙක් ඉන්නවා නං මේ පේර ගෙඩියත්. ඕක මැද රතුපාට ජාතිය."
දම්මේ මුදලාලි විතරක් නෙවෙයි. මේ සන්දේ ඉන්න ගමේ ගොඩේ වෙලෙන්දෝ වැඩි දෙනෙක් ඔය වාගේ හිතක් පපුවක් තියෙන මිනිස්සු. බඩු ගන්න ඇත්තොත්..
මෙහෙම පොලක් තියෙන එක කොච්චර හොඳද...! තමංම කැලේ කොලේ ගිහිං කඩාගෙන හරි, හිටවා ගෙනම හරි ඇන්න ඇවිත් මෙතෙන්දි විකුනන්නේ දං දීලම බැරි හිංදා කියල හිතෙන්නේ. කන මිනිහටත් පාඩුවක් නෑ. ගෙවල් වලිං එකතු කරල ඇන්න එන එව්වත් අයිති කාරයටයි, තවලං කාරයටයි, තමන්නේ දවසේ වියදමටයි වෙන් කෙරුවම තව සතයක් දෙකක් තියාගෙන තමයි ගන්න මනුස්සයට දෙන්නේ.
"ඕන්න නෝන මහත්තයා ගිය සුමානේ කිව්ව විදිහට ඊයේ තිත්ත තිබ්බුටු ටිකකුත් හම්බුනා. ඕනෑ වෙයි කියල හිතාන ගෙදර තිබ්බ කොස් ඇට ටික්කුත් ඇන්න ආවා. එව්වට සල්ලි ඕනැන්නෑ. ගෙදර කරපිකංචා ගහ ඇතිනේ. ටිකක් අතවැඩියෙංදාල කොස් ඇටත් දාල තෙල් දාල ගංට. තිබ්බුටු ටිකට සත අටක් දෙංටකො. හා හා අතේ ඇනගංට එපා බලාගෙන.." ඉයන පිහින හැටි ගැන උපදෙසුත්.
"අනික නෝන මහත්තයා මෙව්වා පපුවට බොහොම ගුණයි කියනවා."
"මේ කව්පී සේරුවකුත්.. හා.. එන සුමානේ පුලුවන් නං උඳු ටිකකුයි අබ ටිකකුයි ගේංට. අද කහට මල් නෑ.?"
"අන්න එහා පැත්තේ බවලත් කෙනෙක් තියාගෙන ඉන්නවා මං දැක්කා. උස්සාගෙන ආවට වැඩි දෙනෙක් ගන්නෙ නෑනෙ නෝන මහත්තයා."
මේ පුරුදු ගනු දෙනු කාරයෝ. එහෙම නූනත් ඔය උපකාර වෙනසක් නෑ.
"මෙව්වා... පැණි මොර, මස් මොර කියලත් කියනවා. කාල බලල ගංට..." ඔව්... තැනිං තැන, මොර, ගල් සියඹලා, දමුණු, හිඹුටු, ඇටඹ, දඹ වාගේ කැලෙං හොයා ගත්ත පලතුරු ජාති. මේ සමහර එව්වා වැඩි දෙනෙක් ගන්නේ මනා ගානට. සේරුවේ ටිං එක මුණිං හැරෙව්වම අඩියේ තියෙන අඟල් බාගයක් විතර ගැඹුරු කෑල්ල කොත ගහල පිරෙව්වම මනාවයි. මොනවද ඉතිං කොයි දේත් මනාවක් සතයක් වෙයි ඕනෑ නං!
ඊට එහා පැත්තෙං ඉන්නේ ඇගී අක්කා. උන්දෑ පල්ලෙහායිං බොහොම ඉස්සර ආව එක්කෙනෙක්. පොලේ තේ වතුර එකක් ආප්ප මුලක් පාං කාලක් විකුනන්නේ උන්දෑ. " උඩිමුත් ගිංදර.. යටිමුත් ගිංදර.. මැද්දෙ සවුන්දර.."
පොලත් බණ මඩුව වාගේ නෙවෙයි.
"ඇගි අක්කා ඔය පුස්නාඹු ගෙඩියක් දියං මෙහෙට..." මානා හෙවිල්ලපු මඩුවට ගොඩ වෙන ගමං එක්කෙනෙක් කියනවා.
ඒක තමයි පොල නැති දවස් වල හරක් ලගින, ඇගි අක්කගෙ තේ කඩේ. මාතර හෝටලේ කියලත් සමහරු කියනවා...
"ඇගි අක්කා අන්න උඹෙ..." එයාට කියල ඉවර වෙංට ලැබුනෙ නෑ...
"මේ... නන්දුවා, කහට එක බීල ඉවර නං පලයං යංට මෙතනිං... " ඇගිඅක්කා කියනවා.
"සයිමා.. උඹට පුස්නාඹු දෙන්නේ කොහොමද.. තවම තැම්බෙනවා. කූර ගහල බැලුවෙත් නෑ තව.
අනික... ඇගි අක්කා මෙව්වා උඹට ලියල දීල නෑ ඈ.."
"උඹට සැරෙයක් කිව්වා.. අයෙ කියන්නෑ වක්කරනවා මේ පිටි හැන්දක් කටේ..
ලියල දීල නං නෑ තමයි.. ඒ වුනාට ඕං පොලකාසි කියල එකක් අය කොරංට යනවලු."
"මොන බොරුද... හීංබන්ඩා නිළමේ පුටුවේ ඉන්නකං ඔව්වා කෙරෙන්නෙ නෑ. උන්නැහැ මිනිසුන්ට ආදරෙයි."
"මැගි අක්කා මට ඉස්ටෝං ටී යාරේකුත් දියං."
මැගීගෙ කොල්ලා වීදුරු කෝප්පේ කටට බෙලෙක් ජෝගුව තියල කිරි ටික ඉහිරෙන්නේ නැති වෙංට ඔලුවෙං උඩට අත උස්සල වක්කරංට දස්සයා. පෙන මතුවෙල තියෙන ලස්සන කිරි කෝප්පේ දැක්කම බොංටමයි කිතෙන්නේ. ඕනෑනං තේ ගොට්ට මිරිකල තද කහට ඩිංගක් වක්කරලත් දෙනවා.
"යකෝ මං ඉල්ලුවේ ඉස්ටෝං ටී එකක්.. මේක කිරි කාලක්නෙ.."
"ඔන්න ඕක බීපං බං. හකුරු..?"
"මට වැලි හකුරු බෝලයක් දියං'
"වැලි හකුරු ඉවරයි. සක්කරා තමයි තියෙන්නේ."
"මේ ඇගියෝ ඔය කට්ට සම්බල් ඩිංගක් එක්ක ආප්ප මුලක් මටත් දියං."
"බන්ඩේ.. මෙව්වා කට්ට සම්බල් නෙවෙයි.ලුනු මිරිස්."
"හැබෑටම කට්ට සම්බලෙයි ලුනු මිරිසෙයි වෙනස කියපංකො ඇගි අක්කා.."
"කට්ට සම්බලේ.. රතුලූනු, මිරිස්, උම්මලකඩ බාගෙට බාගෙට තලල ගත්ත එක, ලුනු මිරිස ඔය හැමදේම සිනිඳුවට ටිකක් දියාරුවට අඹරා ගත්ත එක."
"මයෙ අම්මා පල් අද තමයි ඕක දැනගත්තේ."
පැණි මුදලාලි ඉන්නේ නිතුල් ගහ යට හෙවනේ. එයා ලඟ පැණි, හකුරු, වැලි හකුරු, කිතුල් පිටි එහෙම තියෙනවා. හොඳ තේ කොල අවුංස ගානට ඕනෑනං ඒත් තියෙනවා.
වැලි හකුරු කියන්නේ හකුරු හදංට තෙලිජ්ජ පාස්සපු මුට්ටිය අඩිය හූරල ඇන්න බෝල කරල තියෙන එව්වට. ටිකක් කරවෙල තියෙන එව්වා හරි රහයි. පොඩි එව්ංට ගෙදර ඇන්න යංටත් හොඳයි... ඔය බුල්ටෝ, හූනු බිත්තර, ගජෝරු වාගේ එව්වට අමතරව.
ඩිංග ඩිංග නෙවෙයි... සමහර අය තවලං වල වැඩිපුර බොංචි, අමු මිරිස්, බන්ඩක්කා, කරවිල, වැටකුලු වාගේ එලවලු ගෙනාවම ගන්න මුදලාලිලා ටිකක් එහායිං පිටියේ ඉන්නේ. එක්කෝ ගෝණි පිටිංම ගන්නවා. ඊලඟ දවසේ හිස් ගෝණි ආපහු දෙන්නේ. එහෙම වෙලාවට ගෝණියේ නම ලියනවා. කලු තිංත ජාතියකිං. කිරන්නේ ගාටාවෙං. වැඩි දෙනෙක් ඔය ගාටා ගැන විස්වාසේ අඩුයි. දුන්න ඇදලලු තියෙන්නේ. ඒත් සමහර මුදලාලිලා විස්වාසයි හොරෙයක් නෑ කියල. ඒ අය ගාවට මිනිස්සු යනවා වැඩී.
රෙදි තියාගෙන ඉන්න අයත් ඒ කිට්ටුව. "රෙදීයප්" කිය කිය රෙදි පොට්ටණිය ඉසේ තියාන... හා.. ඒක පොට්ටණියක් නෙවෙයි.. පිළිවෙලට රෙදි අඩුක්කරපු පෙට්ටියක් වාගේ, රෙදි පොට්ටණියයි කෝදුවයි ඉසේ තියාන ගමක් ගමක් ගානේ යන කලු තම්බී වාගේ මරක්කල අය. ලාම්පු තෙල් වාගේ ගඳ ගහන චීත්ත, අමු රෙදි වාගෙම ජම්පිං පිස් චීත්ත, මඩකලපු සරං වාගේ එව්වත් තියෙනවා. ඉඳහිට ඉංදියං සාරියක් දෙක්කුත්. හීං එකෙකුට ගංට පියරු ටිං එකක්, පියරු මලක්, කපුරු බෝල ටිකක් වාගේ එව්වත් ඒ අය ගාවා තියෙනවා.
තැනිං තැන ඉන්න මනිබඩු කාරයෝ ගාවා වීදුරු වලලු, පාට පාට පබුලු, පුංචි කන්නාඩි, පොඩි බෝනික්කෝ, රෝල්ගෝල් මාල වලලු එව්වා මෙව්වා පිරිල.
බටු, බොංචි, මෑ, ඇඹුල් මිරිස්, බංඩක්කා වාගේ ටික ටික ගේන එලවලු හවස් වෙනකොට ගාන අඩුයි. ගෙනා එක කොහොම හරි ඉවරයක් කරගෙන යංට. ඒ හිංදා සමහර අය එව්වා ගංට හවස් වෙල එංට පුරුදුවෙලත් ඉන්නවා.
කවි කොල විකුණන මනුස්සයෙක් බොහොම දුක හිතෙන විදියට ඒ කවි යස ඕසේකට කිය කිය ඇවිදිනවා. "පාන්දුරේ දොස්තර මහත්තයෙක් තමංගෙ නෝනට වද හිංසා කරල මැරුව හැටි මෙන්න." ඊලඟ කොලයක් ගන්නවා අතට. කවියක් කියනවා. "අනුරාජපුරේ පැත්තේ මඩංකුලමේ අජාසත්ත පුතා, තමං ජාතක කරල පුලුපුලුවං විදියට කංට.... සත පහයි මාමා.. ගංට.... අනික් කොලේ..?.. ඔව් කංට බොංට දීල හදපු අප්පා උදුලු පාරක් ගහල මැරුව හැටි... බොංට වතුර ටිකක් ඉල්ලුවම කටට වැලි පුරවල... හිතක් පපුවක් ඇති දරුවෙකුට කරංට පුලුවංද.. මෙව්වා බලනකොටත් අපෙ කැවුතු කටෙං එනවා දෙයියනේ...."
"සකල සිරින් පිරි සිරි ලංකාවේ
දකුනු පලාතේ අති සොබනා
බවලත් කෙනෙකුට දරුවෙක් ලැබුනා
රූ සම්පත්තිය කිසි අඩුවක් නෑ...
තව කීපයයි... මෙන්න ගන්ට... "
ආයුද විකුණන ඇත්තෝ ඉන්නේ හැමදාම දඹ ගහ යට හෙවනේ. කුඹුරු කොටන, උදුලුගාන කොණ්ඩ උදුලු, වප්පිහියා, දුනු පිහියා, හීවල්, උකුනුගස් තල, දෑකැති, ඇඹුල් කැති, ගිරා වාගේ එව්වා විතරක් නෙවෙයි දෙමළ මිනිසු ගන්න සොරඬිත් තියෙනවා.
පිනක් දහමක් කරගංට කැමති ඇත්තංටත් මේං. වයසක අම්මා කෙනෙක් අට පිරිකරක් ඉටි කොලේකිං වහගෙන ආධාර ඉල්ලනවා. තව එක්කෙනෙක් බන්දේසියක එලුව සුදු රෙදි කෑල්ලක් උඩ රං මල්, රිදී මල් දෙක දෙක තියාගෙන ඇවිදිනවා. අත ගැස්සෙයි කියල බෝම කල්පනාවෙං. ලූනු කොලේකටත් පුංචි, රත්තරං හරි රිදී හරි අඟල් කාලක් විතර දිග බට කෑල්ලකිං බාගයක් විතර හතරට පලල දිගෑරිය මල් වාගේ ජාතියක්. මයියංගන චෛත්‍ය හාඳුරුවන්නේ දාතු ගර්බේ තැංපත් කරංටලු. බන්දේසියට සතේ දෙක පූජා කරල තියෙනවා.
සත පහක් ඇන්න පෙට්ටියක් වාගේ එකක දඹදිව සිද්ධස්ථාන පෙන්නන කෙනෙකුත්. පෙට්ටියේ යටිං තියෙන නූලක් ඇද ඇද එයා එක එක කවි කියනවා. ඉස්සරහ රවුමකට ඇහැ තියල සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුදුවීම, පිරිනිවන් පෑම සිදු වුන තැන්, ගිජ්ජකූට පරුවතය, සුජාතාව කිරිපිඬු පූජා කිරීම වාගේ එව්වා. "ඔන්න ඉතිං දැං පේන්නෙ නේරජන ගංගාවයි.." කියනකොටත් සාදු සාදු කිය කිය මිනිස්සු එව්වා බලනවා.
එක්කෙනෙක්ගෙ පෙට්ටියක් උඩ ශාමුද්‍රිකා ශාස්ත්‍රය කියල ලොකු පොතකුයි තව කිලුටු වුන පරණ පොතකුයි. අත බලල අනාගතේ කොහොමද කියන කෙනෙක්. හුඟක් අයට නූලක් යන්තරයක් දාගංට වෙනවා. තව අය රජ වෙංට තව මාස ගානයි. තව තැනක රතු සුම්බරයක් බැඳල, මොනර පිල් දෙකක් ඇන්න රතු පොට්ටුවක් නලලේ තියා ගෙන එක්කෙනෙක් ගිරවෙක් පුංචි පෙට්ටියක දාගෙන. ඒ ඉස්සරහ පුස් කොල මිටියක්. කව්රු හරි සත් දහයක් දුන්නම පෙට්ටිය අරිනවා.. ගිරවා එලියට එනවා. අර පුස් කොලයක් හොටෙං ඇන්න දෙනවා. ඒක බලා ගෙන එයත් සාත්තර කියනවා. වෙච්ච දේ, වෙංට තියෙන දේ... "දැක්කද බලාගෙන ඉඳල වාගේ කිව්ව හැටි.." කිය කිය මිනිසු සාත්තර අහනවා.
වාසනාව ගේන කෙනෙකුත් පොලෙං පිටවෙල යන තැන. පාට කොලවල ඔතපු රවුං ලොසිංජර කාට්බෝට් එක්ක අලවල. මනිබඩු වාගේ ජාති ඒ ඉස්සරහ. උනුවතුර බෝතලේකුත්. පලවෙනි තෑග්ග. සත දහයක් දීල අර ලොසිංජරයක් කඩල ඇතුලේ කොල කෑල්ලක ඉලක්කමක් තිබ්බොත් ඒ ඉලක්කම තියෙන බඩුව ලැබෙනවා.
හවස් වරුවේ පොලෙං පිටවෙල යන කුට්ටි සාක්කු එල්ලා ගත්ත දෙන්නෙක් මේ.
"සමාගං කඩෙං කීලං කෑල්ලකුයි කුම්බලාවෝ ටිකකුයි ගංටත් ඕනෑ. හීං එවුං හරි කැමතී."
"ඈ බං මං කල්පනා කෙරුවේ.. මේ සන්දේ..හා ඇයි බං ඕකට සන්දේ කිය්න්නේ?"
" ඔය ඉංගිරිසියෙං ඉරිදට සන්දේ කියලලුනෙ කියන්නේ."
"මං කියංට ගියේ බං.. මේ සන්දෙං ගංට නැත්තේ ගෑණියක් විතරයි නේද.....?"
"උඹ දන්න කෙහෙම්මල.. ඇයි ඔය ඇගීගෙ දුව ඔතෙංට රෙදි විකුනංට ආව කොල්ලෙක් එක්ක පැනල ගිහිං සුමාන දෙකක්වත් නෑ බං තවම.."
"ඈහ්හ්...... ඇගීගෙ දුව පැනල ගියා..?"
simple "s"
2018.09.20
No comments:
Post a Comment