ලිං කටෙං වැටුන එකා 66.
"දවසකට එක සැරයක්වත් දෑහැට දකිංට නොලැබුනාට, වචනයක් කතා කරංට නොලැබුනාට කමක් නෑ... ඉස්කෝලේ ඉන්නවා නං ඒ ඇති....."
අයෙත් ලඟදී දවසක් මට ගෙදර යංට ලැබුනා. ගෙදර හිටියේ රැයවල් දෙකයි. ඒ දවස් දෙකේ මට මහ පාලුවක් දැනුනා... මං අලුතෙං එක්සයිස් පොතක ලියංට පටං ගත්ත "දින සටහන" එදා ගෙදරදී ලිව්වේ අන්න එහෙම. මේ දින සටහන් පොතේ හුඟක් දේ වෙන කාටවත් නොතේරෙංට ලියංට මට ඕනෑ වුනේ. ඒ වුනාට හුඟක් වෙලාවට මං මෝඩ විදිහටනෙ සමහර එව්වා ලිව්වේ. මේකම පස්සේ කියවනකොටනෙ තේරෙන්නේ ගොං කම. මට මාදි ගැන ලියංට ඕනෑ දෙයක් "මට දයාගෙ පොත හොරකම් කරංට හිතුනේ ඇයි... මට හිතා ගංට බෑ." කියල ලිව්වා වාගේ, එහෙම නැත්තං "තාත්තා ගෙදර ඉන්නවා" කියල කියංට එපා කිව්වම පොඩි එකා "තාත්තා දුම්මැස්සේ නෑ" කිව්වා වාගේ මං කරපු වැඩක් මේක! ඉරල දාංට හිතෙන්නෙත් නෑ... මකංට කපංට නං කොහොමවත් බෑ. දැං ඉතිං ඔහොමම තියෙංට අරිනවා.. පස්සේ හිතුනොත් ඉරල දාංට. එදා ජිනා නංගී ගමේ නෑ.....
"සපු... මගෙ ලඟ තිබුන සිංහළ ව්‍යාකරණ පොතක් හම්බ වුනා. ඒක අරගෙන යන්ට. මේ සැරේ කොහොමහරි සම්මානයක් ගන්ට බලන්ට. සපුමල් බලලා ජිනාදරීටත් දෙන්ට විදියක් හිතා ගංට."
"හොඳයි අපෙ මහත්තයා."
"බලන්ටකො ඒ ළමයගෙ හිත නිවී සැනසිල්ලේ තියාගෙන පාඩම් කරන්ට නැති වුන හැටි.. හරිම කණගාටුයි. හිත හදන්ට මම පුලුවන් තරම් මහන්සි වුනා. සාර්ථකද කියන්ට නම් බෑ."
"අම්මටත් කැස්සක් හැදුන එකෙන්, ටිකක්වත් තැනීගෙන ආව හිත අයෙ පෑරුනානෙ අපෙ මහත්තයා."
"ඒ වුනාට ඒක උන හෙම්බිරිස්සාවට හැදිච්ච එකක්නෙ.."
"ඒත් මිනිසු එහෙම පිළිගංට කැමති නෑ අපෙ මහත්තයා."
"මිනිස්සුන්ගෙ ඔය හිත් වෙනස් වෙයි... ඒත් ඉතින් කල් යයි."
දෙවෙනි මහත්තයා මුණ ගැහුන වෙලේ කතා කරපු මේ දේවල් වලිං මට පැහැදිලි වුනේ, දැං ජිනා ආශ්‍රය කරා කියල පෑලිස් අයියගෙ කාසේ මටත් බෝ වෙයි කියල බය වෙංට දෙයක් නෑ කියල. මේ ටික දෙවෙනි මහත්තයගෙ කටිම්ම මයෙ අප්පච්චිටයි අම්මටයි කියවා ගංට තිබ්බා නං....
"කියංටත් මොකොදෝ වාගේ අපෙ මහත්තයා.... අපෙ අම්මා අප්පච්චිත් මං ජිනා නංගී එක්ක කතා බහ කරනවටත් බයයි. ජිනාගෙ අම්මටත් පෑලිස් අයියගෙං කාසේ තමයි බෝවෙල තියෙන්නෙ කියල අපෙ අම්මලත් කියන්නේ."
"මට මුණ ගැහෙන වෙලාවක මාත් පැහැදිලි කරල දෙන්ට බලන්නං."
"හොඳයි අපෙ මහත්තයා."
සමරේ හරහ ජිනාගෙ ලියුම් ගෙන්නා ගැනිල්ලේ මට ලොකු හොඳක් වෙල තියෙන්නේ. කතා කරනකොට කියංට බැරි එව්වත් සමහර වෙලාවට අපි ලියා ගන්නවා. ආදරවන්තයෝ ලියන එව්වා නෙවෙයි. ඒත් සර්ලා මැඩම්ලා, ඒ තියා ගෙවල්වලිං දැක්කත් සැක හිතෙන දේවල් එව්වේ තියෙනවා. මං ලියන එව්වා දවසක්වත් තියා ගංට එපා කියල මං කියල තියෙන්නේ! සැකයක් හිතංට පුලුවං වවනයක්වත් තිබ්බත් නැතත් මං එද එදාම එව්වා කුස්සියේ තඩි ලිපට දානවා. පැත්තට හැරෙනකොට එව්වා අලු වෙලත් ඉවරයි! පස්සේ මතක් වෙන්නේ එව්වේ ඇති රහසක් නෑ කියල. දවසක් ඔය වාගේ වැරදිල මාදි නංගිටයි දයාටයි දෙංටත් කලිං මං Physics note එකකුත් ලිපට දාල... ! පස්සේ ඒකම දයා ලිව්ව එකක් මටත් දුන්නා..!
"දයා... මට හිතෙනවා මචං අපෙ සුද්දෝ දෙන්නා ගැන හොයල බලංට..."
"ඒ මොකෝ?"
"මට නං මේ දෙන්නා කරන්නේ මොනවද වාගේ එව්වා පැහැදීමක් නෑ. පොඩි නිවාඩුවක් තිබ්බොත් පය දාච්ච බල්ලෝ වාගේ ඔහේ ඇවිදිනවා.."
"ඒ දෙන්නා උගන්නන එකනේ කරන්නේ සපූ.. ඔයාට විමල් සර් මොනවාහරි කිව්වද.. මේ දෙන්නා ඇමෙරිකන් කාරයෝ හින්දා?"
"අනෙ නෑ.. මටම හිතෙන එව්වා. මේ දෙන්නා graduates. ඒ වුනාට university entrance ලැබෙනකල් ඇවිත් උගන්නන එදුස්සූරිය සර් ඊට වැඩිය දක්ෂයි කියල ලමයි කියන්නේ."
"ඒක ඇත්ත වෙන්ට පුලුවන්. අපෙ රටේ A Level පාස් කෙනෙක්ගෙ වුනත් දැනුම ඉහලයි කියලා පිළිගෙනනෙ තියෙන්නේ. මොන විෂය වලින් හරි අපෙ අය ගන්න අපෙ රටේ උපාධියත් quality wise බොහොම ඉහලයි කියලා කියන්නේ."
"මේ අයගෙත් ග්‍රහණය කර ගැනීමේ දක්ෂකම අගය කරංට වටිනවා මචං. මාස තුනක්ද කොහෙද කොලඹදී, අර ගුණපාල මලලසේකර කියන මහාචාර්ය තුමා සිංහල උගන්නල එව්ව එකෙන්ලු ඔය හරඹ කරන්නේ. ඒකටම අපෙ දෙන්නටම ලැබිල තියෙන නම් දෙක සිංහලෙං ලියංට අමාරුම දෙකක්නෙ. ඒ වුනාට ඒ ලියන ලස්සන දැක්කද?"
"ලියන ලස්සන තමයි...! පහුගිය දවස් වල අනුරාධපුර central එකේ Peace Corps member ලිව්ව ලියුමක් මෙහෙ දෙන්නට එවල. ඒක කොහෙදෝ වීසි කරල තිබිල අපෙ කොල්ලොංට ලැබිල share වුනා දැක්කද.. 'මගෙ කෙල්ල නලින.... ' කිය කිය මොනවාදෝ ලියල තිබුනේ.. මාත් දැක්කා. අනේ ඒ නාලිනීට අයියනායක දෙයියන්නෙම පිහිටයි!"
"එව්ව එකත් මෝඩයා... ලැබුන උනුත් මෝඩයෝ...! "
"දයා.. බලංටකො මගෙ Auto එකේ සිංහලෙං මේ දෙන්නා නම් ලියල තියෙන ලස්සන.. බෲස් රොබින්සන්..., fප්‍රෙද් ව්න්සන්..."
"හැබැයි ඔය නොදන්න දෙමලෙට ගිහින් සුද්දෝ වරිගේ නහ ගන්න එව්වත් වෙනවා. සපුම නේද කිව්වේ අර First aid කතන්තරයක්."
"ඔව්නෙ... ඒ පොඩි එකාට 'තව ටිකකිං මැරෙයි. මැරුනෙ නැත්තං එන්න.' කියන කොට බය වුන හැටි මට අමතක වෙන්නෙ නෑ. 'ඇරෙයි' කියන එකයි 'මැරෙයි' කියන එකයි තේරුම කොච්චර අන්ත දෙකකද, 'මැරෙයි' කිව්වම පොඩි අය කොච්චර බය වෙනවද කියල පැහදිලි කෙරුවට පස්සේ නං මෑන් බය වුනා හොඳටම. කීර්තිරත්නව ගිල්ලේ නැති තරම විතරයි."
"මම ඔය කතාව ගෙදර ගිහිනුත් කිව්වා."
"ඔව් දයා... මට නං සැක හිතෙන්නෙම මේ අය මෙහෙට වෙල ඔත්තු බැලිල්ලක්ද කරන්නේ කියලම!"
"අපෙ විමල් සර්ගෙ කතා අහල ඔයාට ඔව්වානං හිතෙන්නේ සපු!"
"දයා.. ඔයා මගෙ Autograph එකේ ලිව්වෙ නෑනෙ."
"ඇයි මම ලිව්වේ.."
"තව අලුත් එකක් ගත්තා! ගියාවුරුද්දේ එක ටිකක් damage වෙල. ඒකෙ අයෙ පිටු කීපයයි තියෙන්නෙත්. මචං සෙනෙවි ලස්සන චිත්‍රේකුත් ඇඳල දුන්නා."
"හ්ම්.."
"මෙව්වා ලිව්වේ කව්ද කව්ද කියල කල් යනකොට අමතක වෙයි. ඒත් හරි ලස්සන ලස්සන එව්වා ලියල තියෙනවා. අර හෙන සෙට් එකක් තියෙන්නේ සාම්ප්‍රදායික වාක්‍ය... 'සූකිරි කන්දකින් පහලට ගලන ඉබේ
මී පැණි ගඟක් වේවා ජීවිතය ඔබේ.'
වාගේ එව්වා විතරක් නෙවේ... ලස්සන ලස්සන එව්වා, අර්ථවත් එව්වා, දාර්ශණික එව්වා එහෙම ගොඩයි!"
'He who knows not and knows not that he knows not is a fool, shun him;
He who knows not and knows that he knows not is simple, teach him;
He who knows and knows not that he knows is asleep, wake him;
He who knows and knows that he knows is wise, follow him.'
'Do not trouble troubles till troubles trouble you,
Thereby you double troubles and trouble others too.'
'ගිණි ගෙන දැවෙනවිට එක මිනිසෙකුගෙ හද
නැග එන මහා සතුටකි තව එකෙකු ලද...'
'සාලිය අශෝකා වනමල් පිපෙන තුරු
මහ සමුදුරේ පොඩි දිය රැලි නැගෙන තුරු
මහවැලි කැළණි කලු ගංගා ගලන තුරු
ඔබ අමතක නොවේ මගෙ දිවි තිබෙන තුරු.'
ඔය වාගේ මහ ගොඩයි දයා."
"මට ආසයි සුද්දෝ දෙන්නා ලිව්ව දෙක බලන්ට සපූ."
"ඉංට මං ගේන්නං.."
දයාට සිහිවටන දෙක දෙංට මට බයක් නෑ.... ! දයා අලුත් එකේ ලියල ඉවර වුනාට පස්සේ පරණ එකේ අවසාන සටහනයි අලුත් එකේ තව එකකුයි ලියංට මාධංගනීට දෙන්නේ!
"දෙකක් ඇයි සපූ අයියා...?"
"නංගී පරන එකේ ලියන්නේ අවසාන සිහිවටනය. ඊට පස්සේ ඒක ආයෙ වෙන කාටවත් දකිංට ලැබෙන්නෙ නෑ!" ඉඟියක් එක්කයි මං මාධංගනී නංගිට Autograph දෙක දුන්නේ!
simple "s"
No comments:
Post a Comment