Sunday, January 19, 2020

උඩගෙදර කතා 207

ලිං කටෙං වැටුන එකා   68                         ලිං කටෙං වැටුන එකා   68

"ඔව් අයියා දැං අම්මට හොඳටම හොඳයි. වැඩ ඔක්කොමත් කරනවා. පපුවේ සෙම ඇත්තෙත් නෑ, කැස්සත් නෑ."
"පෑලිස් අයියට?"
"මයෙ අයියටත් දැං හොඳටම හොඳයි. කෙට්ටුවත් මගෑරිල යනවා. ලොරියකුත් එලවනවා. ආපහු එලවලුත් කිරනවා. දුංකල බාංන් දෙකේ වැඩත් පුරුද විදියට කෙරෙනවා. ඔක්කොටෝම වැඩිය මට සන්තෝශ මයෙ අයියා ඉස්සරම වාගේ යසට හිනාවෙල ඉන්නවා."
"ඩිංගිරි අක්කටත් සන්තෝස ඇති."
"අයියා ඒ දෙන්නා දැං ආපහු බැඳපු අලුත හිටියා වාගේ. කුරුල්ලෝ ජෝඩුව  වාගේ! වෙච්ච හරිය උන් දෙන්නට ඇස්සා වැදුනා වාගේනේ. තමන්නේ මනුස්සයගෙ අසනීපයක් හින්දා ලෝකෙං එන අපවාද ඉවසාන, බිස්නස් බිංදුවට වැටෙංට නොදී බේරාන, වැඩට ආව දෙතුං දෙනාගෙ ඕනෑ එපාකං හොයා බලාන, හීං එවුං දෙන්නයි ගේදොරයි ඔක්කොම බලා කියාගෙන, මයෙ අයියගෙ බේත් හේත් ටික පරීක්ෂන ටික වෙලාවට කරගෙන, අයියා ආපහු හරියට තලේට වැටිල ඔලුව නැගිට්ටවා ගන්නකල් අයියා ලඟිං හෙල්ලෙන්නේ පුලුවං තරමට පාලුවක් කාන්සියක් දැනෙංට නොදී පුරුදු ලෙංගතු කමෙම්ම ඉඳල, මානසිකව වැටෙංට නොදී හැම වචනේකිම්ම අයියට දිරිය දීගෙන, ඒ ඔක්කොමත් හරි ලෝකෙටම වහං වෙල ඒ වෙනුවෙන්ම කැප වෙල හිටිය හැටි....  අයියා වෙනුවෙං මාවැලි ගඟ වාගේ කඳුලු වැක්කෙරුව හැටි... අනේ අයියා, බල්ලෝ බලල්ලු වාගේ උදේ හවා අපෙ ගමේ ගෑණු මිනිහෝ කාකොටා ගන්න, අම්මා මෝ නැතුව හමන්නා ගන්න හැටියට උපං දා ඉඳල උං අස්සෙම ගැදිච වැඩිච්ච මයෙ ඩිංගිරි අක්කගෙ ගුණ යහපත් කම ජාති ජාතිත් වාසනා කරංට ඕනෑ. අදහංට ඕනෑ"
"හොඳයි නංගී... උඹටත් තියෙන්නේ ඩිංගිරි අක්කගෙං බලාන, උඹත් කවදා හරි බැන්දම ඒ එක්කෙනාට ඉහලිම්ම ආදරෙං සලකාගෙන විශාඛා මහෝපාසිකාවලා වාගේ ඉන්න එකයි."
"හ්ම්... ඒත් අයියා.... Resiprocity කියලත් දෙයක් තියෙනවා. අයියා, ආදරය කියන එක ඒක පාර්ෂවිකව සාර්ථක වෙන එකක් නෙවෙයි නේද? ඒක Resiprocal වෙංට ඕනෑ දෙපැත්තෙංම එක වාගේ ආයෝජනය වෙංට ඕනෑ."
"අනේ බං නංගි... මං මෙච්චර කල් අහල නැති  concept එකක් ඔයෙ කියන්නේ. බාග සංඛ්‍යාවක resiprocal එක, ඒක upside down දාන එක කියල දන්නවා. For example, the reciprocal of four upon five is..."
"Five upon four."  ජිනා නංගී අඩුව හැදුවා. 
"ඔන්න ඕක විනා ඔය කියන resiprocity එක මං දන්නෑ. තව පැහැදිලි කරංට... මේ... අපි දෙන්නා උදාහරණයට ඇන්න කියපං..!"
"ඒකෙන් කමක් නෑ.. මං x ... අයියා y... කියල හිතංටකො. x ව්තරක් y ට ආදරය කරල, උදව් කරල, ගරු කරල....... හරි යන්නෙ නෑ. අඩු ගානෙ ඒ හා සමානවවත් y ත් x ට ඒ හැම දේම තියෙංට ඕනෑ... වචනයෙං රැවටිල්ලෙං නෙවේ... ක්‍රියාවෙම්ම, හදවතින්ම , හැම වෙලේම. හරී? සාමාන්‍ය හිතවත් කමක් යාලුකමක් වුනත් එහෙමයි. එහෙම නොවුනොත් තියෙන්නේ ආත්මාර්ථකාමී කමයි රැවටිල්ලයි."
"මගෙ අප්පෝ මයෙ නංගී දන්න දේවල්... විභාගේ ඉවර වුනාම කොල්ලංට කෙල්ලංට පොතක් ලියංට නංගී. එතකොට දරු කැක්කුමත් ඔහොම අන්‍යෝන්‍ය වෙංට ඕනෑ නේද?"
"මොන පොත්ද අය්යා ... 
මව්පියෝ නං දරුවන් හදන්නේ වඩන්නේ යමක් දෙන්නෙ ආදරය කරන්නේ අබමල් රේණුවක දෙයක් ආපහු බලාපොරොත්තු නැතුව.. දරුවන්නෙ පැත්තෙං තියෙනවා යුතුකම් කියල දෙයක්. ඊට වැඩිය සමහර මව්පියො බලාපොත්තු වෙනවා, ඒක වැරදියි. දරුවොත් හැමදාම මව්පියංටම වද දෙනවා නං ඒකත් වැරදියි..."

"සමනල පැටව් දෙන්නා?"
"මං හිතුවා අයියා ඊලඟට අහන්නේ ඒ දෙන්නා ගැන කියල."
"ඒ දෙන්නා එංට එංට ලස්සනයි හුරතලෙයි අයියා. දැම්මම, එක්කෙනෙක්ගෙ දුක වේදනාව අනික් එක්කෙනා බාර ගන්නවා. ඉන්ජෙක්ෂන් කතාව මං කිව්වද?"
"කමක් නෑ. අයෙත් කියංට."
"එක්කෙනෙකුට ඉන්ජෙක්ෂන් ගැහුවම එයා අඬල. අනික් එක්කෙනා බලාගෙන ඉඳල. නර්ස් එයා ලඟට ගියාම මුණ ගස්සල පැත්තක බලාගෙන! කීයක් දේවල් කියංට හිතට එංට ඇතිද... ඉංජෙක්ෂන් එක ගහංටත් කලිංම තොල පෙරලල එයත් අඬංට පටං ගත්තලු."
"පෑලිස් අයියගෙනෙ. ආදරය අතේ ගුලි කරගෙන එංට ඇත්තේ."

                      මෙදා අගෝස්තු නිවාඩුවට ගමේ ගිය වෙලේ ජිනා නංගී මුණ ගැහුන එක දවසක් ඔහොම කතා වුනේ. අනික් හැම දවසෙම වාගේ අපි මොනවා හරි පාඩමකට තමයි මුල් තැන දුන්නේ.. සමහර දවස් වල එයා මොනවා හරි ගැටලු ලියාගෙන ආවා. අපෙ අම්මයි අප්පච්චියි ජිනා ගෙදර ආවට වැඩි විරෝදයක් පෙන්නුවෙ නෑ. වැඩි මනාපයක් පෙන්නුවෙත් නෑ. ඉස්සර වාගේ ඉස අත ගාල ආදරේ පෙන්නුවේ නෑ. කන බොන දේවල් එයාට තිබ්බෙ නෑ. විහිලු තහලු කරෙත් නෑ. අපෙ අම්මලා පරණ විදියට ජිනා නංගිට ආදරේ නැති එකට මට හුඟක් දුකයි. ජිනා නංගී දැං මූණ එල්ලාගෙන නැතුව පුරුදු දඟකාර කමෙං ඉන්න එකට මට සන්තෝශයි. 

                       මේ එක දවසක ජිනා නංගී මයෙ හිත ගැස්සෙන කතාවක් කිව්වා. මෙව්වා අපිට තමයි... ඒත් කෙල්ලේ උඹ තවම ඕවයේ එල්ලෙංට තරං මෝරල මදි.
"සපු අයියා, මාක්ස්වාදය ගැන මොනවද හිතන්නේ?"
"නංගී දැං අලුත් රැල්ලක් යනවා මාක්ස්වා‍දය ගැන උද්‍යෝගයක් එක්ක. ඔය ලිපියක් දෙකක් කියවලත් තියෙනවා. මට ඊට වැඩි දේකුත් වුනා. ලඟදී දවසක් ඉස්කොලේ තිබ්බා debate එකක්. 'මාක්ස්වාදය හොඳද නරකද.?' මාත් team එකේ ඉන්නවානේ. මට කතා කරංට වුනේ මාක්ස්වාදය නරකයි කියන පිලට. ලොකු ලමයි කීප දෙනෙක් අපිව දවසක් පුහුණු කෙරුවා. මට කරුණු කීපයක් දීල ඒවා ගැන කතා කරංට පුරුදු වෙංට කිව්වා. උදාහරන වලට රුසියාව, චීනය, කොරියාව, අර හෝ ච් මිං කියල එක්කෙනෙක් ඉන්න රට, ඇල්බේනියාව ...තව මොනවාදෝ රටවල් වගයක් අරන් කතා කරා. කතා කරංට කරුණු කීපයකුත් කියල දුන්නා: මාක්ස්වාදය කිව්වට ප්‍රායෝගිකව ඒක එක්ක බැඳිල තියෙන්නේ ඒකාධිපති වාදයක්. ... රටේ භික්ෂූන් වහන්සේ වලවල් වල දාල මූත්‍රා කළා. අම්මා තාත්තාටත් කතා කරන්නේ සහෝදරයා සහෝදරිය කියල. අන්න ඒ වාගේ කොතනත් ඇහෙන කරුණු කීපයක් මං කිව්වා. මට ආපහු debate එකකට අඬ ගැහැව්වෙ නෑ!"
                       නංගී නං ට්කක් මායම් වෙල වාගේ කතා කෙරුවා.මම මේ කතා කරන්නේ බොරුවක්, මේ ඔක්කොම මයෙ පිලිගැනීම් නෙවෙයි කියල දැනෙංට නොදී මං වචන තෝරා ගත්තේ.! කිසි දෙයක් නොදන්න ගානට මං කතා කෙරුවේ...!

"නංගි අපි ඔව්වයේ එල්ලුනාම අපෙ විභාග කටයුතු පාඩු වෙනවා මයෙ හිතේ. අපෙ අධ්‍යාපනයට මුල් තැන දීල ඉංට ඕනෑ. නංගී ඔව්වා පොතක කියෙව්වද? කොහෙංද       දැන ගත්තේ?"
"නෑ අයියා කාටවත් කියංට එපා... මැඩම් කෙනෙක් ඉන්නවා ගින්දර වාගේ එක්කෙනෙක්...! එයා අපිට කියල දෙනවා. මම නං හරි ආසයි."
"නංගී දැනගන්න දෙයක් උනොත් මටත් කියපං. හැබැයි මං නං කැමතියි නංගී ඕවයින් පැත්තකට වෙනවා නං."
"මං තව විස්තර හොයල බලන්නංකො. එතකල් කල්පනාවෙං. ඔව්වා සමහර වෙලාවට මහ බයානක එව්වා නංගී."
"දෙවෙනි මහත්තයට කියංට එහෙම එපා අයියා."
"හරි නංගී..."

"Today I want you all to write an essay on 'Alma Mater.' " විජේසේකර මැඩම් එහෙම කියල "ALMA MATER" කියල කලු ලෑල්ලෙත් ලිව්වා. ලමයි මූණෙම්මූණ බලා ගත්තා. මොකක් හරි කුහුලක් තියෙනවා කියල මැඩම්ට තේරුනා.
"Why... what is the matter?"
"Meaning of these two words, madam?" මං ඇහැව්වා.
"ම්ම්හ්.. රෝහිණි ඉංග්‍රීසියෙන් කියන්න... 'ඔහු සිය දිවි හාණි කර ගත්තා' කියලා."
"He suicided."
"හා.. අන්න තව ප්‍රශ්ණයක් හැදුනා. suicide කියන්නේ verb එකක් නෙවේ, noun එකක්. සිය දිවි හාණි කර ගැනීම. ඒකේ verb form එක හදා ගන්න commit කියන බාහිර verb එක එක් කරන්න ඕන. ඒක tenses වල යොදන්නෙත් ඒ වචනය හරහා. Commit suicide, committed suicide, will commit suicide වගේ. Suicide කියන්නේ Latin වලින් English  වලට ලැබුන වචනයක්. se= self= තමන්, තමන්ගෙ. caedo. = මරණවා. pesticide, germicide, regicide, genocide, වාගේ. අපෙ ප්‍රශ්ණය වෙන එකක්නෙ. ඒ කීවා වගේ ඉංග්‍රීසියට බාහිරින් ලැබුන වචන හුඟක් තියෙනවා. ඒවා හුඟ වෙලාවට එහෙම Latin, Roman, වගේ foreign words. දෙකක් එක් වෙලා හැදුන වචනත්  තියෙනවා.. Transport, ano domini, post meridian වගේ. අන්න එහෙම බාහිරින් ඉංග්‍රීසියට ලැබුන වචනයක් තමා alma mater! alma = මගේ, mater = අම්මා. කව්ද මෙතනදි මගෙ අම්මා කියන්නේ ?  මගේ පාසල. මගේ විශ්ව විද්‍යාලය කියන්නත් යොදනවා. ඒත් බහුලව යොදන්නේ මගේ පාසල කියන්න. හොඳයි... දැන්, short essay එකක් ලියන්න Alma Mater ගැන. If you can, try to import some foreign words to your essay."
"Excuse me madam.. Are there any Sinhalese words imported to English language.?"
"I doubt, if there is any. However, ... මේ, අස්වද්දනවා, අස්වැද්දුම වගේ වචන ඉංග්‍රීසියට ගත්තා කියලා කතාවක් තිබුනා. ඒත් ඒක විශ්වාස නෑ... Dictionary වලට එහෙම add කරලා නෑ. But you canot find other appropriate English words in place of them..."

                                 **                                         **                                       **

    "DEAR ALMA MATER...

     අප සෙනේබර නුගවෙල මැදි විදුහල් මෑණියනි,

    1963 දෙසැම්බර් 22 ඉරු දින,
    උදෑසන දහයට,
    ඔබේ ලොකු දූ පුත්තු ඔබ සුවඳ, සෙනෙහස සොයා ඔබ තුරුලට එක් රොක් වෙති."

                                                              
"දිනෙයි වෙලාවයි විතරනෙ අක්කා. විස්තර..."
"ඇතුල බලන්ටකො."
"අ.. මේ.. තියෙන්නේ...  
  'සොයුරු ආදි සිසු සැමට සාදර ඇරයුම්' ........

"ගුනේ අක්කා යනවද?"
"මම යනවා මල්ලී.."
"සෝමක්කා?"
"එයා තාම දෙගිඩියාවේ.."
"අයියෝ.. මේ එහා පැත්තේ තියෙන ඉස්කෝලෙට...! හැතැම්ම බාගයක්වත් නෑනෙ. අක්කා... රාජකරුණා කියල Old Boy කෙනෙක් දන්නවද? එයා ඊයෙ පෙරේදා ලංකා සිවිල් සේවයට තේරිලා. එයත් එයිද දන්නෑ."
"අනිවාර්යෙන් එයි. මට එයා මතක නෑ. දැකලා නං ඇති. ශ්‍රීමතී රාජකරුණලාගෙ කට්ටිය වෙන්ට ඇති."
"අක්කා කියන්නේ රේඩියෝ සිලෝන් එකේ ශ්‍රීමතීද... එහෙම නං අපෙ පංතියේ ඉන්න රාජකරුණා ගර්ල්ගෙත් නෑයෝ වෙංට ඇති."

                  විභාග දවස් ටික මං ග්‍රාම සේවක මහත්තයගෙ කාමරේ ඉන්න එක ඉස්තිරයි. නවතිංටත් හුඟක් කලිම්ම එහෙ අය හිතවත් වුනේ. එහෙ ගෙදරට ගිය වෙලාවක එහෙම ආරාධනා පත්‍රයක් සාලේ කනප්පුවක් උඩ තිබුනා. 
"අක්කා... මේක හරිම ලස්සන අහම්බයක්! සති දෙකක් නෑ මැඩම් අපිට Alma Mater ගැන රචනයක් ලියංට කියල. අද හරියටම මේක දැක්කෙත්." 
"ඒකත් හොඳ මතකයක් වෙයි මල්ලී.."

                  එහෙ අක්කලා දෙන්නයි, බාල මල්ලියි අපෙ ඉස්කෝලේමයි. මල්ලී තවම ඉස්කෝලේ ඉන්නවා. මේ අවුරුද්දේ ඇඩ්වාන්ස් ලෙවල් විභාගේ කරනවා. 

                                                                                           simple "s"
2019.12.20

පින්තූරය අන්තර්ජාලය ඇසුරෙන් .

No comments:

Post a Comment