Friday, January 4, 2019

උඩගෙදර කතා 116 (ලිං කටෙං වැටුන එකා 06)

ලිං කටෙං වැටුන එකා.   06

"ඊයේ රාත්තිරියේ ඉත්තෑවා පොල් පැලයක් පෙරලල. ඕක කිව්වම කොල්ලට දුක හිතෙයි වද්දෝ."

"ංඈ.. ඉත්තෑවා? ඔච්චර යසට වට කොරලත්?"
"ඔව් අප්පා... වට කරපු ඉන්නක් දෙකක් හාරල තල්ලු කරල ඇතුලට ගිහිං තියෙන්නේ.  මං රෑට රෑට ගිහිං වත්තේ ඉංටවත් වෙයි. පැලඉනි ටික රිකිලි දාන කල්වත්."

               අම්මයි අප්පච්චියි කතා වෙච්ච එක පෑලිස්ට ඇහුනා.
"ඕක ඉතිං එච්චර හිතට ගංට එකක්යැයි අප්පච්චි. අයෙ පැල ටිකක් ගේන එක්කිං එකක් හිටවල දාමු. අනික... රෑට අප්පච්චි යංට ඕනැන්නෑ මේ හීතලේ. මං යන්නං."
"මයෙ පුතා!"
"නෑ අම්මා... ඔය ලන්තෑරුමයි වප්පිහියයි ලැහැත්ති කර ගත්තම මට පුලුවං.. ටෝච් එව්වා එක්කුත් පහුවෙලවත් ගනිමු. ඔය එකක් වුනා කියල කව්දෑ හිතට ගන්නේ."
"වත්තෙයි අහල වතු වලයි තියෙන කැට ගල් එකතු කරල ඉනක් විතර උසට ගල් වැටක් බැඳල දාමු වටේට. මොකද... ඌරා එහෙම එංට පටං ගත්තොත් ඔක්කොම විනාසයි."
"ඒක නං යස අදහස. එක සැරෙං වැඩේ ඉවරයි. කොල්ලෝ දෙතුං දෙනෙකුටත් මං කියන්නං අප්පච්චී."

                    තවම හිටවපු පැල ජාතිවල හැදුං රෝග ඇරිලවත් නෑ. ඒකට මොකද පෑලිස්ට හිතේ අඳෙන්නෙ පලගන්න ගසුයි වැලුයි. කොස්, දෙල්, වතුපාලු කෙහෙල්, පැණිදොඩං, නාරං, ඇඹුල් දොඩං, දෙහි, ගම්මිරිස්, අඹ, පැපොල්, පුවක් වාගේ එව්වා විතරක් නෙවෙයි.... කඩුල්ල දෑලේ වැටේ, ඇවරිය, බංගලි රෝස වාගේ මල් ගසුත්. වත්ත ඇතුලෙත් කඩුල්ල ලඟ ඉඳල මිදුලට යනකල් මල් පැල. දාස් පෙතියා වෙන්ටැති වැඩියෙංම. රිදී මල්, මල් ලූනු, බාබන් ඩේසියා, ඩේලියා එහෙම. එව්වාවත් තවම හැදිල ඇවිත් නෑ. ඇලට කිට්ටුවෙං ඉඩ තියල තියෙන්නේ මිරිසුයි බොංචියි හදංට.

                      යාලුවෝ පස් දෙනෙක් ගල් වැට බඳිංට එක් වුනා. පෑලිස්ගෙ අම්මා උදේට එක්කෝ ඉරිඟු ඇට, මුං ඇට, මෑ කරල් ඇට තම්බල දෙනවා. එහෙම නැත්තං කුරහං රොටී.
"හීංඅම්මා දන්නවද... පෑලිස් අයියා මේ ගේ හැදුවේ ඇයි කියල?"
"හැබෑටම මයෙ පුතා කිව්වා නං බලංට."
"අපෙ දෙවෙනි මහත්තයගෙ නෝනමහත්තයට නංගියෙක් ඉන්නවා... වලල. අන්න එයා..."
"පලපල යංට උක්කුං..." පෑලිස් උක්කුංට කිව්වා.
"උක්කුං මුසාවාදයක් නෙවෙයි කිව්වේ."
සොත්තියත් කට දැම්මා.
"උක්කුං උඹයි සොත්තියයි පෑලගෙං කංට හදන්නේ ඔය. දන්නවනෙ පුතයගෙ තරම." පෑලිස් ඩිංගකට එහෙට්ට මෙහෙට්ට වුන වෙලාවක එක්කෙනෙක් කිව්වා.
"පෑලා එහෙමම නෑ බං. හරි දේට ගාන්ධි, වැරැද්දට තමයි අංගුලිමාල. එච්චරයි."
"ඊයේ පෙරේදා කඩේ එකාටත් දෙකක් කිව්වලු නේද?"
"ඒ මොකද්ද?"
"මේකා කඩේට ගිය වෙලාවේ, සේතුවට කහට එක බෙලෙක් කෝප්පෙටයි හනිපා, අර රෙදි පොට්ටණිය ඇන්න එන එකාට අරගොල්ලංට දෙන අඬු කෝප්පෙකටයි දෙනවා දැකල."
"බන්ඩේ... හනිපා මුදලාලී කොයි වලව්වෙද?" කියල පෑලා අහල තව මොනවද මොනවද කිව්වලු.

"මේ උඹලෑ කයිවාරු නවත්තල දැං යමල්ලා. අව්ව සැර වෙංට කලිං පලවෙනි දවසේ වැඩ ටිකක් කරංට."
රණා බොරු අමනාපයක් පෙන්නාගෙන කිව්වා.
"උඹ, පෑලිස් පැත්තට පන්දම ඇල්ලුවට වැඩක් නෑ යකෝ. මස්සිනා කොර ගංට වෙන්නෑ. ඒකා කව්රු හරි හොයාන ඇත්තේ නේද පෑලා? ඕං බලපං මස්සිනා තව දෙපෝය දෙක්කට කලිං ඔය බංගලාවට තව හඳක් පායන්නැද්ද කියල."
"ඇත්තයි කොල්ලෝ ..... " කියංට පෑලිස්ගෙ කට කොනිත්තනවා. ඒත් අනිත් එව්න්නේ හිනාවට එකතු වෙල නිකා හිටියා.
"මටත් දුංකලේකුයි පත්තර කෑල්ලකුයි දියං උක්කුං."
"මයෙ ලඟ තියෙන්නේ වැලි කොල... කමක් නැද්ද සාමෙල්?"
"එපා බං ඕක සැර වැඩී."
"ආ.. ඉඳා. මේක හොඳයි. මෙක තූල්."
"හා.. දැං යමල්ලා." පත්තර කෑල්ලක දුංකල එලල සුරුට්ටුවක් යසට ඔතල පත්තු කර ගත්ත සාමෙල් කිව්වා."

"අද මුං ටික කයිවාරුව විනා වැඩක් කරන එකක් නෑ මයෙ හිතේ... පළවෙනි දවසෙම..., පුතාලෑ අප්පච්චි."
"මාත් හිතුවා. ඒත් ඉතිං කුලියකට ආවා නෙවෙයිනෙ. ඉර මුදුං වෙද්දී කහට වතුර ටික ඇන්න වරෙං, මාත් යනවා."

"හිතුව විදිය නෙවෙයිනෙ. වැඩේ පටං ගත්තම කොල්ලෝ ටික කඩියෝ වාගේ. අර කතාත් නෑ. සුරුට්ටුවක් බොංටත් එක සැරයයිදෝ කොහෙදෝ නතර වුනේ.. " පෑලිස්ගෙ අප්පච්චී හිතුවා. ඇත්තටම එකෙකුට එකෙක් දෙවෙනි නෑ මහංසි වුන පදං. පෑලිස්ගෙ අම්මා ඇන්න ආව පුස්නාඹු කාල කට්ටිය තේ වතුර බිව්වේ. ඉං පස්සෙත් තව පැයක් හමාරක් වැඩ කෙරුවා.
"උඹලා අර නුගේ ගාවා ගල් මැලේ පෙරලාපල්ලා. සුදු මල්ලිත් එව්වා ඇන්න වරෙං. හැබැයි ගල් අස්සේ සර්පයෝ ඉන්නවා. බලාගෙනයි. ඔය බිත්ති බඳිංට ඇවිත් පළවෙනි ගල පෙරලන කොටම ඒක යට කරෝලයා."

"ඉතිං මැරුවද?"

"පිස්සුද බං පෑලිස් ඒකට කිරි ටිකක් පොවල පිටත් කෙරුවා!"

"ඔය එකෙක් මැරුවා කියල මේ කැලේ හැම තැනම ඉන්න එව්ං ඉවර වෙනවද බං."

"ඔය බලපං.. ඔය බලපං.."
"ඒයි.. සුද්දා උඹත් බලා ගන්නිං. ලඟදිම උඹටත් ගෙයක් හදංට වෙනවානෙ."
"ඒකා හේතු කාරයා බං. මාමංඩි වත්ත, ගේ හදල තියෙන්නේ. ඒකට තියෙන්නේ... "

"සුද්දා විතරක් නෙවෙයි. ඔක්කොම ඉන්න වෙලාවේ අහ ගනිල්ලා. හැම එකාම, මේ වාගේ එකතු වෙල එක එකාට කාමරයක් දෙකක් හදාගත්තොත් මොකද? හ්ම්.. මොකද නෙවෙයි. ඒක කෙරෙංට ඕනෑ. හරී...? මේ වැඩෙං පස්සේ රණාගෙ ගේ. ඒකා ලී ටික එහෙමත් හොයාගෙනනේ ඉන්නේ. අනික් අයත් ලී  දඬු ටිකක් ගල් ටිකක් එහෙම ලැහැත්ති කර ගනිල්ලා විජහට." පෑලිස් කිව්වා.
"ඒක යස කල්පනාවක් බං.. " රණා බොහොම කැමැත්තෙං කිව්වා.
"අනික ඉතිං කර අරින්නේ කොහොමද.. බයිබෝස් එකෙන්නේ කියන්නේ.."

"පෑලා.. හෙට උදේ එනකොට ගහේ පැහිච්ච මුට්ටියක් ගෙනාවට කමක් නැද්ද?"
"මං හිතුවේ උඹ අදම ගෙනෙයි කියල."
"පෑලත් බොනවා නේද කට්ටක් දෙකක්."
"උඹලා බීපල්ලා... මට කිතුල් රා වලටත් ඔලුවේ කැක්කුම අල්ලනවා බං. දවසක් හමාරක් අමාරුව තියෙනවා."
"හැබැයි වැඳල කියන්නං.. පදමකට ඈ.. අනික හොඳ වෙලාවක ගෙවදින කං මේක ඇතුලේ එහෙම බැ." රණා කිව්වා.
"මං මඤ්ඤොක්කා තම්බාන එන්නං."
"අම්මට කියල මං හොඳ හීං මිරිස් සම්බෝලයක් හදවල තියන්නං."
"පෑලිස් අයියා... මේකෙත් අර අයින දිගේ කිතුල් පැල ටිකක් දැම්මොත් නරකද?"
"ඒ මොකටද... රා බොංටද?"
"නෑ සුද්දා... පැණි ටිකක් හකුරු ටිකක් හදා ගංට හොඳයිනෙ."
"ඒක හොඳ අදහසක් බං." පෑලිස් කිව්වා.

                     *                       *                       *

                 දවස් හය යනකොට ජයට බැම්ම බැඳල. ඔය අතරේ දෙපෝයට දවසක් අතාරිංටත් වුනා. මහ මහ ගල්, බෝර බන්ඩගෙං ගෙනාව කුලු ගෙඩියෙං හීං කෙරුවා. අන්තිමට කැලෑ කොලණියෙමුත් කැට ගල් ඇහින්ඳා. පෑලිස්ගෙ නං වැඩි කැමැත්තක් තිබ්බෙ නෑ ඒකට.

                  කඩුල්ල හැදුවේ කෙලිංම වත්ත ඇතුලට යංට විදිහට නෙවෙයි. ඉංගිරිස් ඇල් අකුරේ හැඩේට වත්ත ඇතුලෙං බැම්ම බැඳල ඇතුල් වෙන තැනට පරන ලෑල්ලක් දැම්මා. ඇතුලෙං ඉදිකඩක් හැදුවා. දැන්නං ඉතිං පැල ටිකට හාණියක් වෙන එකක් නෑ.

                                                         simple "s"
2019.01.04

පින්තූරය 1. එස්.පී.එස්. වීරසිංහ මහත්මාගේ පොතක පිට කවරය ඇසුරෙන්.. 2. අන්තර්ජාලයෙන් .

No comments:

Post a Comment