Thursday, December 5, 2019

උඩගෙදර කතා 204

ලිං කටෙං වැටුන එකා   65.

"හැට තුන... ඔව් හැට තුනත් නිකං නිකම්ම ගෙවිල යනවා. හිතාගෙන හිටිය හැටියට පොතේ ඇලුනෙ නෑ..."
"ඕක උඹට විතරක් වෙච්ච එකක් නෙවෙයි. විභාග ප්‍රතිපල ආව අවුරුද්දේ එහෙමත් එකෙකුට විනා පාඩම් කෙරෙන්නෙ නෑ බං. දැඟලිල්ලම තමයි. මම නම් කියන්නේ  එකෙන්ම එගොඩ වෙන්ට කියලයි, second එකක් ගැන විශ්වාස තියන්නේ නැතිව. ඒ වුනාට තවම ටික දවසක් තියෙනවානෙ පොඩි ක්‍රෑමක් දානවා නම්." ලොකු සෙනෙවි කිව්වා. එයාගෙ මල්ලිත් දෙවෙනි සැරේ අපි එක්ක විභාගේ කරනවා.

                  ඔව්.. මහන්සි නොවෙනවා නෙවේ. දෙවෙනි සැරේ ඉල්ලංට කොහෙන්දෝ  රුපියල් විස්ස මයෙ අප්පච්චී හොයල දුන්න එකේ නම්බුව තියංට තරමට. ඒ කම්මැලිකම දෝ මොකද්දෝ එක මට විතරක් නෙවෙයි. දෙවෙනි සැරේ කරන හැම එක්කෙනාම නහයෙං අඬනවා. ඉස්කෝලෙයි හොස්ටල් එකයි දිවිය ලෝකයක් කියල හිතුනේ මේ වාරේ තමයි. පාඩම් කිරිල්ල පිටිං දාල වාර මැද ගෙදර යන එකත් නතර කෙරුනා. ඒ ලෙවල් වලට මහ ලොකු උද්‍යෝගේකුත් නෑ. 

                   ඊට කලිං ගෙදර ගිය වෙලාවේ ජිනා නංගිත් මුණ ගැහුනා. එයත් ඒ ලෝං වීක් එන්ඩ් එකට ගෙදර ඇවිත්. ජිනා අපෙ ගෙදරත් ආවා. කලිංදා රෑ අපෙ අම්මා කිව්ව එව්වේ හැටියට, මං හුඟක් බයෙං හිටියේ අපෙ අම්මා ජිනාගෙ ඇඟට කඩාගෙන පනියි දෝ කියල. 
"උඹටත්  පැත්තකට වෙල කැහැ කැහැ ඉංට වුනොත් ඔය එක වේසියක්වත් එන්නෙ නෑ එව්වට උත්තර හොයංට..." අපෙ අම්මා කවදාවත් කියල නැති වචන කිව්වේ. අනික් වචන අමතක කෙරුවත්, මට උඹ කිව්ව එකම... ? අවුරුද්දකට සැරයක් විතර ආදරේට මොකවත් එක්කට උඹ කිව්වොත් විනා මෙහෙම තරහයිං කියල නෑ. මට ඇඬෙංටත් ආවා. වෙන ගෙවල් වල ඇහෙන "උඹෙ, උඹට" වාගේ වචන වෙනුවට අපෙ අම්මා මට  කිව්වේ "මයෙ පුතාගෙ, මයෙ පුතාට " කියල. අපෙ අම්මගෙ තරහයි,  අප්පිරියාවයි වැඩි වෙංට තව දෙයක් වෙල තිබ්බා.

                    ජිනා නංගී එදා අපෙ ගෙදර ආවේ English grammar point එකක් කතා කරංටත් එක්ක. මං ඒක පැහැදිලි කෙරුවා. ඒක කතා කරන විදිහටම මම නංගිට කිව්වා:
"විභාගේ ඉවර වෙනකල් දවස් පතාවත් කමන්නෑ... තියෙන දෙයක් ලියුම් වලිං හුවමාරු කර ගමු නංගී."
"ඇයි අයියා මාත් එක්ක වැඩි බජනයක් එපා කියල අම්මලා කිව්වද?"
"අනේ එහෙම එකක් නෙවෙයි නංගී... විභාගේ ඉවර වෙන කල් අපි අයෙ වැඩිය මුණ ගැහෙන්නේ නැති හිංදා මං කිව්වේ."
"වැඩිය නෙවෙයි අයියා.. කොහොමවත් මුණ ගැහෙයි කියල මට හිතෙන්නෙ නෑ. අයියා දන්නවද ඒ අතරේ අපිට තව අවාසනාවන්ත දෙයක් වෙල."
"ඒ මොකද්ද?"
"අපෙ අම්මට පහුගිය දවස් වල උන හෙම්බිරිස්සාවට කැස්සක් පටං ගෙන. ගම මුලුවස්සං ඒක පූජිත වෙල තියෙන්නේ මයෙ අම්මටත් අයියගෙං ටීබී බෝවෙල කියල. අම්මා ඉන්නේ හුඟක්ම හිතේ අමාරුවෙං. මොකද මිනිසු දැං කියන්නේ 'පෑලිස් බෙහෙත් බොනවා කියල බෝවෙන එක නතර වුනාද ඔය....' කියල. ඕක හිංදා මිනිසු දැං අපෙං ඈත් වෙන එක තව වැඩි වෙල අයියා."
"නංගී ඔය කතාව මං දන්නෙ නෑ. මං අදත් කියන්නේ... කවුරු එහෙම ඈත් වුනත් මං ඈත් වෙන්නෙ නෑ කියල. හිත කලබල කර ගන්නේ නැතිව හොඳට පාඩම් වැඩ ටික කරගෙන යංටකො. තියෙන හැම එකම මට කියංට... අහංට. ලියුම් වලිං. 

                     මං ජිනා නංගිට කිව්වේ බොරුවක්. එයාගෙ අම්මගෙ කැස්ස කතංතරේ අපෙ අම්මා මට කලිංදා රෑ කියල තිබ්බේ. නංගිගෙ හිත රෙදෙන හිංදා මං දන්නවා කියල නොකිව්වේ. නංගී අපෙ ගෙදර ආව එක ලොකු ප්‍රශ්නයක් වුනේ නෑ. මං අපෙ අම්මලා කියන දේ අහනවා කියල විශ්වාසෙට වෙංට ඇති. ගෙදර ඇවිත් මටත් ආපහු යංට වුනේ හිත බර කරගෙන. පිටට නොපෙන්නා හිටියත් මයෙ හිත හුඟක් පැටලිල තියෙන්නේ.

                      කොයි sabject එකෙත් ජිනා නංගිට මං ලිව්ව හැම පැහැදිලි කිරීමක්ම මං දයාගෙ නංගිට, මාධංගනීටත් දුන්නා. එයා එව්වා කොපි කර ගත්තා. ඉඳහිට ආපහු තව පැහැදිලි කිරීමුත් ඇහැව්වා. ඊයෙ පෙරේදා දවසක් හරි වැඩක් වුනානෙ... මං ලොගරිතම්ස් ගැන එහෙම ලිව්ව සටහනක් මාදි නංගිට දෙනවයි එයා ඒක පොතක් මැද්දේ දා ගන්නවයි ආට් සෙක්ෂන් එකේ මැඩම් කෙනෙක් දැකල. ටිකක් වයසක මැඩම් කෙනෙක්. පැනගෙන ඇවිත් මාදිගෙන් පොත ඇරගෙන. මිනීමැරුමක මැරුන මිනිහට  ඇන්න පිහිය හොයා ගත්තා වාගේ මයෙ සටහනත් ඇදල ඇන්න. මුල් හරිය ටිකක් කියෙව්වලු; ආයෙ මැදිමුත් අතනිං මෙතනිං කියෙව්වලු;  අගත් කියෙව්වලු; "සොරි" කියල සටහන ආපහු දීල ගියාලු.! වෙන අයත් මේක බලාගෙන ඉඳල. ඒ එක්කෙනෙක් මට කිව්වේ.. 
"අනේ බං වාස් මැඩම් දන්න ලොගරිතම්ස්." කියල.

                       මේ වතාවේ නාට්‍ය පෙන්නල ඉවර වෙනකොට කොල්ලෝ කෙල්ලෝ එක් වෙල මට ශෝක් තෑග්ගක් දීල....!  නාට්ටියේ මයෙ චරිතයේ නම තියෙන ගර්ල් කෙනෙක් මට පවරල... දවසකට හත් අට දෙනෙක් ඒ නම කෑ ගහනවා මට. ඒකත් කමන්නෑ කියමුකො.... කොල්ලෝ ටික හදාන ඉන්නේ මං ඒ ලමයගෙං ගෙනාව ඇඳුම්  ඔක්කොම හෝදල දුන්නා කියල. ඒ සෙට් එකේ ඒ ලමයගෙ හැම ඇඳුමක්ම තිබුනලු.  කාලා වරෙංකො! හිනා වෙල අහගෙන ඉන්නවා ඇර මොනවා කරංටද.. දන්න කෙල්ලෝ ඔක්කොම මයෙ රඟපෑම ගැන නෙවෙයි... ගෑණු කෙනෙකුට ඇඳල හිටිය හැඩ රුව ගැන කියෙව්වේ. ලස්සනයි ලු. තව එක්කෙනෙක් යස කතාවක් කියල... ඒකට පල් එකක් වෙනම යනවා. 
"සපූ එදා ලස්සන කෙල්ලක් වුනේ.. ගානට මූණේ ගාල තිබ්බ රෝස් පව්ඩර් එකයි, නැචුරල් ලිප්ස්ටික එකයි හිංදා. ඒ මගෙ රෝස් පව්ඩර් එකයි ලිප්ස්ටික් එකයි..."
"හරි හරී... සපුමල් ඔයාගෙ...  ඉවරනෙ."

                        ඊලඟ සති අන්තේ දයාලගෙ ගෙදර ගියාම ඒ කතන්තර ආයෙ ආයෙ අහ ගත්තේ. ලෑස්ති කරගෙන හිටිය හැටියට මැත්ස් සාකච්ඡා කරංට පටං ගත්තත් මාදි නංගිට ඕනෑකම තිබ්බේ නාට්‍ය ගැනම කියංට.. 
"ගර්ල්ස්ලා නංගිටත් ජෝක්ස් ගැහුවද...?" කව්රුත් නැති තත්පරේක මං ඇහුවා.
"ඒ මොකටද මට ජෝක්ස් ගහන්නේ?
"ඇහැව්ව එකට උත්තර දෙන්ටකො."

                         නෑ... මාදි නංගි යන්තමට හිනා වෙවී මයෙ දිහා බලාගෙන හිටියා විනා උත්තරයක් දුන්නෙ නෑ. මං ආයෙ ආපහු ඇහැව්වෙත් නෑ. දයාගෙ අම්මත් ඒ තොරතුරු ආසාවෙං අහගෙන හිටියා.

                        දයාලගෙ වත්තේ දූරියං හැදිල... මෝරලත්. මං කලිං කාල නෑ. ඒක කලිං වතාවක මාතිං කියවුන හින්දම දයාගෙ තාත්තා උදේ ගෙඩි දෙකක් අහුලල තිබුනා. තඩි ගෙඩි. 
"දයා ඒ සුවඳ එනකොට එක වෙලාවකට කංට හිතෙනවා. තව සමහර වෙලාවට අප්පිරියා හිතෙනවා."
"අදත් කාලා බලන්ටකො. දූරියං වර්ග දෙකක් තියෙනවා. වැල කියලයි.. වරකා කියලයි. වරකා තමයි හොඳ... මේ වරකා වර්ගය.... මට එව්වේ සුවඳ දැනුනම කරත්තයක් විතර කන්ට පුලුවන් කියල හිතෙනවා. ඒත් කනකොට වැඩිම වුනොත් මදුලු දෙකයි කන්ට පුලුවන්නේ. සමහර අය නං තනියම ඔය ලොකු ගෙඩියක් කනවලු.. මුස්ලිම් අය හරි කැමතියිලු දූරියංවලට."
"දයා.. අපෙ ගමේ තියෙන අර මඩු... මතකද මං ඒ ඇට වලිං හැදුව වැලි තලප වගයක් දවසක් ගෙනාවා.  අන්න ඒ මඩු වල දලු... මඩු කොකු කියල කියන්නේ.... අන්න එව්වේ මාලුවත් ඔය වාගේ තමයි. ඒ එක්ක බත් කටක් දෙකක් කනකල් හිතෙන්නේ බත් මුට්ටියකට වග කියංට පුලුවං කියල. ඒ වුනාට සමහර අයට පලවෙනි කටවත් කංට බෑ. මටත් බත් හැඳි බාගේකට වැඩිය බෑ.. පිරිය නැතිව යනවා. ඒ වුනාට පිට්ටු, වැලි තලප නං හ්ම්...!
"මට මතකයි ඔයා අපිට වෙනමත් ගෙනත් තිබුනා. සපූ දන්නවද හල් කියන එව්වා.? ඒ පිටි වලිනුත් පිට්ටු හදනවා. හරි රසයි. පල්ලෙහා ඔය දෑලේ ඒ ගස් තියෙනවා. වෙලාවකට තාත්තලා ගෙනත් හදල දෙනවා."
"දයා මට කලිමුත් කියල තියෙනවා ඒ ගැන. වැඩි වෙලාවක් නාන අයට, හල් තිත්ත අරිනවා කියලත් කියන්නේ.."
"එව්වේ තිත්ත යංට රෙදි උරේක දාල ගලා යන වතුරේ දවස හමාර ගැට ගහල තියනවලු. ඒකයි ඒ කතාව.."
"අනේ දයා... වෙලාවක අපෙ ගෙදර යමුකෝ.. දවසින් දවස ඒක කල් යනවා. ඉස්කෝලෙං යනකල්ම යංට බැරි වෙයි වද්ද?"
"සපූ කියන්නේ මෙහෙන් ගියාම අපෙ සම්බන්දකමුත් ඉවර වෙයි කියලද?""
"මං හිතන්නේ එහෙම කරංට මට..."
"හ්ම් .. මමත් අහගෙනයි හිටියේ... සපූ අයියා හොඳට ඉගෙනගෙන ලොක්කෙක් වුනාම අපිව ඇත්තටම අමතක වෙයි"
"අමතක කරංට කියල කිව්වටවත් මං අමතක කරන්නෙ නෑ ... ඕගොල්ලන්ව. තේරුනාද නංගී..." මං එහෙම කියද්දී දයා ගේ ඇතුලට ගියා... මොකොදෝ වුවමාවකට.
"ඒකට වැටක් ගැහැව්ල්වොත් ලතාද... ජිනාද අයියා?"
"දුවපිය යංට..."

                                                                                             simple "s"
2019.12. 04

පින්තූර අන්තර්ජාලය ඇසුරෙන්.

No comments:

Post a Comment