Tuesday, October 8, 2019

උඩගෙදර කතා 178 (ලිං කටෙං වැටුන එකා 53.01)

ලිං කටෙං වැටුන එකා   53.01

"ඇහැට ඇහැක්...?"
"ඔව් මයෙ පුතා ඒකට කියන්නේ එහෙමයි. ඒ වුනාට බාරෙට ඔප්පු කරන්නේ තඹ තහඩුවක හරි රිදී තහඩුවක හරි ඇන්ද ඇහැක්. "
"ඒ කියන්නේ දෙයියෝ රැවැට්ටිලක්ද අපි කරන්නේ අප්පච්චී ඒ?"
"නෑ මයෙ පුතා. එව්වට ගන්නේ එහෙම වචන. දැං හිතංටකො පරාණෙට පරාණයක්  කියල බාර වෙනවා. ඉතිං පරාණයක් පූජා කරංට පුලුවනෑ. එහෙම බාරයක් ඔප්පු කරන්නේ පොල් පැලයක් පූජා කරල.."
"එහෙම බාරයක් තියෙද්දී බෙහෙතුත් කරංට පුලුවං නේද අප්පච්චී?"
"ඔව් මයෙ පුතා.. මොන මොන දේ කරල හරි ඇස් ගෙඩි දෙක බේරා ගංටනෙ ඕනැන්නේ.. මේ ලොකු විභාගෙකුත් කට උඩ තියාන. බාරේ ඔප්පු කරංට යංට ලොකු පුතත් කොහොම හරි එයි. ඒකට තව ඉතිං කල් තියෙනවානේ. බාර වෙන එක ගෙදරදිමවත් කරංටත් පුලුවං. මං හිතාන ඉන්නේ නුවර - අලුත් නුවර දේවාලෙට මයෙ පුතත් එක්කරගෙනම  ගිහිං බාර වෙනවා කියල.. අනිද්දා මයෙ පුතා ආපහු යනකොට."

                 මට මේක පටං ගැනුනේ ඩිංගක් වැඩිපුර වෙලා පොතක් දිහා බලාන ඉන්නකොට ඇස් දෙක කැරකෙංට පටං ගන්න එකෙං. දැං යංතං පොතක් දිහා බලන කොටම පටං ගන්නේ. ඊට පස්සේ මේ ලෝකේ දෙයක් බලංට කියවංට බෑ. මං සිකුරාදා ගෙදර ඇවිත් අප්පච්චිට කිව්වා. කලිමුත් කියලයි තිබ්බේ. ඒගොල්ලෝ හිතුවේ මට ඇස්සා වැදිල කියල! පන්සලට එක්කරගෙන ගිහිං පිරිත් ඩිංගකුත් කියෙව්වා.

                වන්නියබන්ඩාර දෙයියංට බාරහාර වෙන එක, අඩුක්කු පුදන එක එහෙම අපෙ ගෙදර නවත්තල බොහොම කල්. ඒ වුනාට අලුත් නුවර දේවාලෙට බාරහාර වෙංට පටංගෙන ඒ එක්කම. දැඩිමුණ්ඩ දෙයියෝ තමයි අලුත්නුවර දේවාලේ ඉන්න දෙයියෝ. ඉතිං අප්පච්චිලා තීරණය කෙරුවේ මයෙ ඇස් දෙක සනීප කෙරුවොත් මාත් එක්කම අලුත්නුවර ගිහිං බාරේ ඔප්පු කරංට.

                 කොහොම හරි ඉරිදා අපච්චියි මායි නුවරදී - නුවර දැඩිමුණ්ඩ දේවාලෙට ගියා. සෙනසුරාදම රිදී සත පහේ කාසියක් කහ වතුරෙං හොඳට හෝදල ඇන්න ඒක පරන පිරිසිදු,  සුදු රෙද්දකිං ඉරා ගත්ත පටියක ගැට ගහල සීවලී පින්තූරේ ලඟ තිබ්බා. අපි පිටත් වෙංට කලිං ඒක එහෙම්ම අප්පච්චිගෙ සාක්කුවට ගත්තා. නුවරදී කපුවෙකුට කතන්තරේ කියල පඬුර අතට දුන්නා. එයා මායි අප්පච්චියි දුහුල් තිරයක් දාල තිබ්බ තැනකට එක්කරගෙන ගිහිං මයෙ ඔලුවේ අතක් තියාන දිග යාදින්නක් කිව්වා. ඒ තිරෙං ඇතුලෙලු දේව රූපේ තියෙන්නේ. අර දේව කන්නලව්ව අවසාන කෙරුවේ,
"..... ඇහැට ඇහැක් ඔප්පු කොරංට පොරොන්දු වෙල මේ අහිංසක නොදරුවගෙ දෑහැ සනීප කොර දෙංට කියල කොරන මේ යටහත් පහත් ඉල්ලීමට, පස්වාං දහසකට බුදු වෙංට පෙරුම් පුරණ ඔබ වහන්සේගේ කරුණාව දෙවා වදාරා... මේ දරුවා පෙනී හිටින විභාගෙට පොතපත කියවා ගංට ලියා ගංට පුලුවං වෙංට බොහොම කඩිනමිං දෑහැ සනීප කොර දෙංට කරුණා කරංට යහපති..." කියල. මං වැඳගෙන අහගෙන හිටියේ. අප්පච්චිත් වැඳගෙන වෙන්ටැති හිටියේ.

                    අන්තර් *** ජ්‍යේෂ්ඨය ඉවර වෙනකල් අපිට zoology, botany, applied maths උගන්නනවා. ඊට පස්සේ ඕලෙවල් ව්භාගෙට botany, applied maths දෙකෙන් එකක් තෝරා ගංට වෙනවා. zoology කියල වෙනම විෂයක් නෑ. Arithmatic හරි pure maths හරි කවුරුත් කරංට ඕන. සයන්ස් කරන අයට pure maths තමයි ඉගැන්නුවේ.

"මඩුගල්ල සර් මට ස්ටාෆ් රූම් එකට එංට කියල දයා."
"ඇයි ?"
"දන්නෙ නෑ. මට හිතෙන්නේ නං බනින්ට වෙංට ඕනෑ.."
"ඒ ඇයි සපූ.?"
"මං applied maths තෝරා ගත්තට."
"යංටකො... එයානේද ඉස්සර වෙලා ඕගොල්ලන්ට zoo botany කරේ.."
"ඒකනේ ප්‍රස්නේ.. මං මොකක් හරි කියන්නංකො."

"Maths ද Bio ද කියල තෝරා ගන්ට කලින් සපුට ගිය අවුරුද්දේ biology වලට ලකුණු  කීයද?"
"දෙවෙනි වාරේ 73 යි... තුන් වෙනි වාරේ 74 යි සර්."
"Applied Maths වලට...?"
"දෙවෙනි වාරේ 34යි. තුන් වෙනි වාරේ 24 යි. සර්"
"හ්ම්.... එහෙම තියෙද්දිත් ඇයි applied maths select කර ගත්තේ කියලා මම බනින්නේ නෑ. සපූගෙ කැමැත්තනෙ. හැබැයි කොයි එක කෙරුවත් හොඳින් කර ගන්ට ඕන. ඔය හැටියට Applied maths වලට නම් තව හුඟක් මහන්සි වෙන්ට වෙයි. තේරුණාද?"
"අනේ සර් ගෙම්බෝ, ගැඩවිලෝ, කැරපොත්තෝ කපංට මට හිත හදා ගංට බෑ..!"
"ගොඩයා..... ගොඩයා.... ඒ වගේද doctor කෙනෙක් වෙන්ට ලැබුනොත්?"
"ඉතිං මං ගොඩයා නං සර්..?" කියල අහංට දිව අගටම ආවා. බොහොම අමාරුවෙං මගෑර ගත්තේ. එහෙම කියන එක හරි නෑ කියල හිතුනා...."
" මම දැන් එන්ට කිව්වේ නං ඒ ගැන කතා කරන්ට නෙවේ... ඊයේ බාරයක් වෙන්ට පත්තිනි දේවාලෙට ගියාද?"
"ඔව් සර්.. පත්තිනි දේවාලෙට නෙවේ. අලුත් නුවර දේවාලෙට. සර්ට කව්ද කිව්වේ?"
"හොස්ට්ල් එකේ ළමයි වගයක් කතා කර කර ඉන්නකොට මට ඇහුනා."
"ඇයි සර් ඒක...."
"සපු ... දේවාලෙට ගියාට කමක් නෑ. නුවර ඉස්පිරිතාලේ eye clinic එකට ගිහිං ඇස් දෙක පෙන්නන්ට ඕනෑ... අද හෙටම."
"හොඳයි සර්."
"උදේම .. හත වෙනකොටද කොහෙද numbers issue කරනවා. මයෙ හිතේ පහලවක් විස්සක් වගේ සුලු ගානක් නම්බර්ස් දෙන්නේ.  පාන්දර පහේ බස් එකේවත් යන්ට වෙයි සපූ."
"හොඳයි සර්."
"තනියම යන්ට තේරෙන්නෙ නැත්තං දන්න යාලුවෙක් එක්ක යන්ට. මෙහෙම හදිසියේ අතේ සල්ලි නැතිව ඇතිනේ. මේ රුපියල් පහ තියා ගන්ට."
"මට දැන් තනියම යංට පුලුවන් සර්." මං කිව්වේ පස්ස ගහන්නේ නැතිව සර් දෙන රුපියල් පහත් අතට ගන්න ගමං.
"මම මෙව්වා කියල දෙන්නේ නැතිව ඉඳල ප්‍රශ්නයක් එහෙම වුනොත් අබේරත්න අය්යගෙන් ..., සපූගෙ දෙවෙනි මහත්තයගෙන් මටයි බැනුම් අහන්ට වෙන්නේ."
" එහෙම නොවුනත් සර්ගෙ මනුස්සකම මේ. පිං සිද්ද වෙනවා සර්ට."

                    දයා වාගෙම තව ලමයි දෙතුං දෙනෙක් මාත් එක්ක එංටද ඇහැව්වා. මං ඕන්නෑ කිව්වා.
"සපු.. එතන වැඩ කර ගන්න හැටි මට පුරුදුයි. හෙට උදේ හයට මාත් හන්දියට එන්නං."
"තැන්ක් යූ ලතා... ඔයා ..!"
"එන්ට එපා නේද?'
"අනේ මං දන්නෑ ලතා... මැඩම්ලා ඉඩ දෙයිද.."
"පර්මිෂන් ගන්ට පුලුවන් වුනොත් මම එනවා.. හරී..?"
"මාත් කැමතියි.. ඒත්..."
"Plaza එකේ Thunderbolt**** . එතන ඉඳලා ටවුම පැත්ත බලනකොට හරිම ලස්සනයිලු."
"මං බය කරංට එපා බං."
"නෑ මම සීරියස්ලි කියන්නේ ...!"

(මතු සම්බන්ධයි.)

                                                                                                        simple "s"
2019.10.08

පින්තූරය අන්තර්ජාලය ඇසුරෙන් .

No comments:

Post a Comment