Saturday, October 5, 2019

උඩගෙදර කතා 177 (ලිං කටෙං වැටුන එකා 52)

ලිං කටෙං වැටුන එකා   52.

"ඇයි බං දැං රෑ සාකච්චාව නතර වෙලා... හරියටම ඕනෑ වෙලාවෙම.." පේමරත්න ඇහැව්වා ලොකු කෑම මේසෙදි."
"මෙතන වෙලාව නාස්ති වෙනවා වැඩී මචං. වෙනම මොනවා හරි බලා ගන්න එක ඊට වැඩිය හොඳයි." කුඩාබන්ඩා උත්තර දුන්නේ.
"මේ... අදට මෙන්න මේ ගණන් ටික හදන හැටි කතා කරලා පලයල්ලා බං."
"මට නං කොහොමත් එකයි." මං නවතිංට එකඟයි කියන එක එහෙම කිව්වා."
"උඹට නං ඉතින් සාකච්ඡා කරලා අමුතුවෙන් දැන ගන්ට දෙයක් නෑනෙ. අපිට එහෙමයැ." ඒ පේමරත්නලා මා ගැන හිතාන ඉන්න හැටි...!

                        "PHYSICS ".... මං දන්න ලස්සනම අකුරෙං මයෙ සටහන් පොතේ මං නම ලියල තියෙන්නේ. ඊට යටිං සිංහලෙමුත් ලියල... "භෞතික විද්‍යාව" කියල. මේ සිංහලෙමුත් නම් ලිවිල්ල හිංදා දවසක් Physics වලට "MAGNETISM" කරපු දවසේ හරි වැඩක්නෙ වුනේ. පාඩම කියල දෙන අතරේ සර් පංතියේ රවුමක් යනවා. මං ලිය ලිය හිටිය සටහන් දිහා ටික වෙලා බලාන හිටියා. මයෙ අකුරු දිහා වෙංට ඇති. මට ආඩම්බරයක් දැනුනා. සර් ආපහු ඉස්සරහට ගියේ කිසි වෙනසක් පෙන්නන්නෙ නැතුව. ටිකක් වෙලා ගිහිං සර් ඇහුවා...
"Magnetism" කියන එකට සිංහලෙං මොකක්ද කියන්නේ?" කියල. ළමයි උත්තර දෙක තුනක් දුන්නා.
"සපුමල් මොකක්ද කියන්නේ?" සර් ඇහැව්වා. මං ලියල තියෙන සිංහල වචනේ වැරැද්දක් තියෙනවා කියල මට තේරුන හින්දා මං නිස්සද්දව හිටියා.
"ඕක 'චුම්බකත්වය' කියල හදා ගන්න. ඔය ලියල තියෙන එකේ තේරුමත් කාගෙන් හරි අහ ගන්න!"

                       මදැයි...මං ලියල තියෙන්නේ... "චුම්බනය" කියල.!

                       මේ කතාව ඉස්කෝලේ පුරා පූජිත වෙංට දවසක්වත් ගියෙ නෑ. ඒකට තව සිද්දියකුත් ඈඳුන හිංදා තටු ලැබුනා. පංතියේ Botany පාඩමේ Tendrils ගැන කරංට එක ගෑනු ළමයෙක්  ගෙනාව හීරැස්ස රිකිලක් අනික් ළමයිංට හොරෙං කියල හිතාන පාඩම වෙලාවේ මට පෙන්නුවා. ඕක දැක්කේ ඒ ගෑනු ලමයා ගැන ඉන්ටරෙස්ට් එකෙං ඉන්න  ඩී.බී.  ඒ මදෑ! එයා ඉස්කෝලෙම ගිනි තිබ්බා.. මට නමකුත් හැදුනා සිසස් ක්වැඩ්‍රාන්ගියුලාරිස් (cissus quadrangularis) කියල. දැං සිද්දි දෙකම එක් වෙල.

                       මේ කතන්තරේ ඇහුවම ලතයි, මාධංගනියි මොනවා හිතංට ඇතිද? මොන බම්බුව හිතංටද එක අතකට. මං ඒ අයගෙ කව්ද? මට නුගුනේ!

                        Physics සටහං පොතේ පෙරලන පෙරලන පාඩම මට මතකයි වාගේ. ආයෙ අලුතෙං මොනවා බලංටද? මට අපෙ දෙවෙනි මහත්තයා කිව්ව.. 'අපි එක කොටුවක් ඇතුලේ ඉඳල බලාගෙන ඔක්කොම දන්නවා.' කියල හිතනවා. 'ඒ වුනාට ඒ කොටුවට පිටිං ලොකු ප්‍රදේශයක පාඩම පැතිරිල තියෙනවා සපු... ' කිව්ව එකත් මතක් වෙනවා. ඇත්තටම අවශ්‍ය දේ ඔක්කොම මං දන්නවා නං මේ වෙනකල් ඉස්කෝලේ කව්රුවත් ඇන්න නැති ඕලෙවල් ප්‍රතිපලයක් මට ලැබෙයි. ආයිෂ් අප්පා....! රෙකෝඩ් එකක්.... එහෙම දිගට දිගට ඉගෙන ගෙන යංට ලැබුනොත්... කලුන්තැන්නේ ඉස්කෝලේ සර්ලා දෙන්නා කිව්වා වාගේ දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක් වෙංට මටත් බැරි වෙන එකක් නෑ... එහෙම වුනොත්....! තව කීයක් දේද! 

                         ඔන්න අදත් ස්ටඩි ටයිම් ඉවර වෙනකල් මයෙ සටහං පොතේ පිටු පෙරළි පෙරළී මං පාඩම් කෙරුව හැටි! හැම දාම ඔන්න ඔය සන්තෑසිය තමයි මට වෙන්නේ... හීන ලෝක... අහසේ මාලිගා... සමහර දවස් වල තව ඕකට එක් වෙන වෙන දේත් තියෙනවා..... !

                       කොහොම වුනත් ඉස්සරහ මාස දෙක තුනේ මොනවා හරි වැඩ ටිකක් කරංට මං හිත හදා ගත්තා. ඒකට අමුතු සිද්දියක් දෙක්කුත් එක් වුනා....

"ලතා... මොනවද විස්තර?" මං ඇහැව්වා.
"හොඳට වැඩ ටික කර ගෙන ඉන්නවා සපූ..."
"මට අප්සෙට්නෙ ලතා.. පාඩම් කරංට හිතෙන්නෙම නෑ. එක එක එව්වා ඔලුවට එනවා."
"පිස්සුද සපූ...! ඔයා මොනවා හිතංටද?
ඔයා දන්නවනෙ මගෙ අලුත් යාලුවා.."
"කව්ද?"
"ආ...  ඒක දන්නෙ නැත්තං ඔහොමම අමතක කරලා දාන්ටකො දැනට.  මට කියංට ඕන වුනේ, එයත් විභාගේ කරන්නේ මේ සැරේ. හොඳට වෙලාව බෙදාගෙන වැඩ කරනවා. මටවත් විනාඩියක් ආසාවට කතා කරංට එන්නෙ නෑ. මාත් ඉඩ දීලා නිකා ඉන්නවා. එයාට හොඳටම කම්මැලි හිතුනම උපරිම වචන දහයක් විතර මොනවා හරි මට ලියල දෙනවා. ඒත් මං මොනවාවත් ආපහු ලියන්නෙ නෑ.. පව්නෙ කොල්ලට ඩිස්ටර්බ් වුනොත් නේද.."
"ඉතිං... මට මොනවා හරි ලියල දියංකො.. හොඳ කෙල්ල වාගේ."
"ඒ මොකටද බං..!  හ්ම් ... කමක් නෑ... සපූට ක්‍රඩිට් කීයක් විතර ලැබෙයි කියලද හිතන්නේ?"
"දැනට යන විදිහට නං එකක්වත් විශ්වාස නෑ බං.."
"අනේ හැබෑටම ලැජ්ජා නැද්ද සපුවෝ... ඒක කිව්ව ලස්සන... මම මහ ලොකු ටාගට් එකක් දෙන්නෙ නෑ... අටයි පහක් අරන් පෙන්නපන් ෆස්ට් ෂයි... හැබැයි ඩීත් දෙකක්වත් එක්ක. මම උඹට නොවරදවාම වැදගත් දෙයක් ලියලා දෙනවා. හරිද...?"
"පිස්සුද... කෙල්ල! උඹෙ ලියුමක් බලාගෙන මං දඩ පහට යටත් වෙංට?"
"හා කමක් නෑ... සුදු ලූනු පොඩි කරන්නේ නැතිව මේකට උත්තර දීපං. උඹ දයාගෙ නංගී... මාධංගනීට ඉන්ටරෙස්ට් නේද.."
"විකාරද ලතා.. දයාගෙ නංගී හිංදා අනුකම්පාවක් දයාවක් දැනෙනවා. එච්චරයි."
"ඕනෑ පචයක් කෙලපං... ඒ වුනාට මතක තියා ගනිං: දයාගෙ නංගී තියා මේ ලෝකේ කිසි එකියක්... කිසි වැදගත් එකියක් උඹට කැමති වෙන්නෙ නැ ඔය ලැයිට් කනු ටිකක් නං ගන්ට හිතාගෙන ඉන්නේ. උඹ දන්නවද හොස්ටල් එකේ ලමයි කට්ටියක් ඒ අහින්සක කෙල්ලටත් පද හදල... "
"ඇයි මොනවද කියල තියෙන්නේ?"
"ඒ කෙල්ල හින්දා උඹ බලා ගත්ත අත බලාගෙන කල්පනා කර කර ඉන්නවලු. පාඩම් කරන්නේ නැල්ලු. ඉස්සර තිබ්බ උඹෙ දක්ෂකම් දැන් මොකුත් නැල්ලු. අපරාදේ මෝඩයෙක් වාගේ විනාශ වෙනවලු. මතක තියා ගනිං කොයි කෙල්ලගෙත් හීනයක් තියෙනවා... ඒ තියා මේ මගෙත්....! ගොවිතැන් කරන නෙවෙයි, ආන්ඩුවේ ලොකු රස්සාවක් කරන කොල්ලෙක් බැඳ ගන්ට...!"
"මට වෙල තියෙන දේ පැහැදිලි කරල දුන්නට තේරුං ගන්න කෙනෙක් නෑ ලතා. මොන කසාද බැඳිලිද බං . දැන්ම මට.. මං එහෙම..."
"සපු මැඩම් ආවා... මම පන්තියට යනවා. "

                       ටික දවසක ඉඳල මාදි නංගී මට මූණ දෙනවා හොරයි තමයි. පව්... මේ අහිංසක කෙල්ලොංටත් මං හිංදා .... දෙයියනේ මට මොන කෙල්ලොද... මොන කසාදද? ඒ හවස් වරුවම මට ගෙව්නේ පාඩං ගැනයි මයෙ දුර්වලකං ගැනයි කල්පනාවෙංමයි... දයත් දැං වැඩි කතාවක් නෑ... පාඩුවේ එයාගෙ වැඩ ටික කර ගන්නවා.

"මේ ඔක්කොම මට ආදරේට මුං ඔක්කොගේම රඟ පෑම්ද..?" නාද්දී මට එහෙමත් හිතුනා. කොහොම වුනත් මයෙම හොඳටනේ. මං උඹලා ඔක්කොටෝම ආදරෙයි...

"මයෙ පුතා නෑවිත් ඉන්නවා නං මං කැමතියි. අතේ දිය බිබිලි එයි බලාගෙනයි."
"නෑ... අප්පච්චි ආපහු උදුලු මිටට අත් හුරු කර ගංට එපායැ. මොනවා කරංටද?"
"මයෙ පුතා අයෙ විභාගේ කරංට බැරිද... "
"අප්පච්චි දැං තුං සැරයක් මං ලිව්වානෙ.."
"අද පොදේ තියෙනවා. මයෙ පුතත්.. ඔය පරන සාලුවක් ඇන්න හොඳට සුම්බරයක් බැඳ ගංට." එහෙම කියල අප්පච්චිත් සුම්බරයක් බැඳ ගත්තා.

                      හරි පුදුමයි... අපෙ වත්ත පුරා අපෙ ඉස්කෝලේ ලමයි..... සමහර අය ඉස්කෝල ඇඳුම පිටිම්ම වැඩ කරනවා. ලතයි මාදංගනියි බත් ඉයනවා. දයා ගෝහාල මැස්සේ ඉඳගෙන වට්ටක්කා දලු වගේක රේණු අයිං කරනවා. මෙන්න උදුලු ගගා හිටිය එක ගෑණු ලමයෙක්ගෙ කකුලේ කොන්ඩ උදැල්ල වැදුනා. තුවාල වෙල ... තදින් ලේ එනකොට මං හීං තඹල කොල ටිකක් හපල තුවාලේ උඩ තිබ්බා. කෙල්ල කෑ ගැහැව්වා යටිගිරියෙං..... ඒ එක්කම ලමයි ඔක්කොම අන්ත්‍රත්දහන වුනා. එතකොටම මට ඇහැරුනා....

                                                                                                     simple "s"
2019.10.05

No comments:

Post a Comment