Thursday, September 5, 2019

උඩගෙදර කතා 151 (අන්තිම දඩයම.)


අන්තිම දඩයම...

කැලේ එලවීම කියන්නේ සතුන් දඩයම් කිරීමේ එක් ක්‍රමයක්.

සත්තු ඉන්න කැලැවක්. ඒක වට කරලා, උන් යන එන මං රැක සිටින තුවක්කු කරුවන්. ඒ කොටස කොනකින් පටන් ගෙන නොයෙක් සද්ද කර්මින් කලබල කරමින් සතුන් පන්නන කන්ඩායමක්. ඕකයි කැලේ එලවීම.

වරක් කැලේ එලවනවා බලන්ට යන්න මටත් ආරාධනයක්. මටත් කැමති හිතුනා. අලුත් අත්දැකීමක් ලබන්නට. අවුරුදු හතලිහකටවත් ඉස්සර.

රූස්ස කැලෑවක්. මිනිස් වාසයෙන් බොහෝ ඈත. තුවක්කුකරුවන් හත් අට දෙනෙක්. කැලේ එලවන්නන් දහයක් විතර.

ලොකු පුතාගෙ තුවක්කුව දුන්නා මට. අලුත්ම ඇස්ට්‍රා, පතරොම් තුවක්කුවක්. බෝර 12 සිංගල් බැරල්.... වින්චෙස්ටර්, ස්ටීවන්, බෙහෙත් කොටන එව්වා වාගේ හැම ජාතියෙම තුවක්කු එදා ඒ දඩයම් බිමේ.

ඊට කලින් මම දෙවතාවයි, තුවක්කුවක් පාවිච්චි කරලා තියෙන්නේ. ඒක ස්ටීවන් එකක්. ඇතිවුන හිතේ ගැස්ම පෙන්නුවේ නෑ.

කැලේ එලවනකොට තුවක්කුකරුට තියෙනවා නීති කීපයක්. උසාවියකින් බලාත්මක කළ හැකි, නීති පොතේ තියෙන එව්වා නෙවේ. ඒ ඒ සමාජවල සම්මතයන්. කැලේ ඇතුලට වෙඩි නොතැබිය යුතුයි. ඒ එක නීතියක්..

ලොකු පුතා ගහක් උඩ. එතනම බිම කඩුල්ලේ මම. "ලෑස්තියි .. " පනිවිඩය තුවක්කුකරුවන්ගෙන් ආවා... කැලේ එලවන අය තමන්ගෙ වැඩේ පටන් ගත්තා.
හෝයි.. හෝයි.. වගේ සද්දවලින් පටන් ගත්තේ...
"ඔන්න ගෝනා එනවා... 'දැක්කෙ නෑ... වැරදුනා... ' වාගේ කතා බෑ. " වගේ සද්ද දැන් කරන්නේ.
"මාමා පත අං ගෝනෙක්. එන්නේ මේ කඩුල්ලටමයි. කලබල වෙන්ට එපා.." ලොකු පුතා කියනවා.
"ඔන්න කඩුල්ලටම ආවා.. බොරු හේතු බෑ... මගාරින්ට බෑ... ඔන්න ආවා... ඔන්න ආවා.." අර තුන පහ අඹරලා තියන්ට කියල ගෑණිට කියලා ආව එකා එක දිගටම කෑ ගහනවා. අනික් අයත් එක එක එව්වා කියනවා.

මම, උරහිසට ගත්ත තුවක්කුවේ කොකා ඇද්දා. එක ඇහැක් වහලා අනික් ඇහෙන් මාන ගත්තා.... ට්‍රිග එකට ඇඟිල්ල තියා ගෙන.

ගෝනා මා ලඟින්ම පැනලා යන්ට යනවා... මම සීරුවෙන් තුවක්කුවේ කොකා බෑවා. තුවක්කු වල්ල බිමට තියල බටෙන් අල්ලාගෙන ඇස් පියා ගත්තා. කොල්ලෝ කුරුට්ටොයි දඩයම් කප්පිත්තොයි ඔක්කොම මට ඇණුම් පද ..... අමුණු ගානට. මම කිසි නිදහසට කාරණයක් කියන්ට ගියේ නෑ.

ඔන්න ඔක්කොම ආපහු එන්ට පිටත් වුනා. හිස් අතින්. උන්ට මාව මස් කරන්ට හිතිලා ඉන්නේ. ඒ තරම් තරහ. ඒ අතරේ මගෙ ඉලක්කය වෙනස් කරපු කොලුවා කියපි: "මම අද මෙහෙම නෙවෙයි ගෙදර යන්ට තිබ්බේ... මේ මහත්තයා නැතුව වෙන කෙනෙක් එතන හිටියා නං.. "
"මොකද්ද.. මොකද්ද... " ඔක්කොම අහනවා. කොල්ලා විස්තරේ කියනවා... මම දන්නේ නැති එව්වත් එක්ක... ! "  මයෙ සරමත් තෙමුනා.. "

මට තුවක්කුවට මාන ආව පිළිවෙල මෙහෙම:  ඇහැ... තුවක්කුවේ නිපල් එක... තුවක්කු කඳේ කුඩා ගැටිත්ත... ළමයෙක්.... ගෝනා...! ඒ ඔය වාසනාවන්ත කොලුවා...!

*******************************************

පසු සටහන:

                මස් මාලු කරවල බිතත්තර තියා කේක් කෑල්ලක්වත් කන්නේ නැති මට ... ඔයිට අවුරුදු විසි පහකට විතර පස්සේ.... ලංකාවේ එදා වැඩිම ගිණි අවි තිබුන දිස්ත්‍රික්කයේ තවත් ගිණි අවි දරා සිටීමේ බලපත්‍ර, ඒ දහස් ගණනක සියලු ගිණි අවි සදහා වාර්ෂික බලපත්‍ර හා වාර්ෂිකව විස්ස බැගින් පතරොම් ... නිකුත් කිරීම රාජකාරියක් හැටියට පැවරුනාම... වසර හත අටක්....! 

"අලුගෝසුවා මිනීමරුවෙක් හෝ පව් කාරයෙක් හෝ නොවේ!"

                                                                                            simple"s"
2019.05.24

සේයාරුව අන්තර්ජාලයෙන් ..

1 comment: