Tuesday, December 4, 2018

උඩගෙදර කතා 94 (බිත්ති ඔරලෝසුව)

                          
                          "බිත්ති ඔරලෝසුව .."

           සෝමේ.. හේමන්ත දේශප්‍රිය සෝමතිලක.. දශක පහකට ආසන්න ඈත කාලයක් ..එක කාමරයේ එකබත් කකා දුක සැප බෙදා හදා ගත් මගේ දයාබර මිතුරා..

            මගෙ අප්පච්චි මට ගෙයක් හදා ගන්න යැයි නොගහ ගහපු කාලය.. මට රුපියලත් කෝටියක්.. නිවසක් යනු හීනයක්.. සෝමෙත් මාත් මේ ගැන කතා කරමින් උන් වෙලාවක්.. මම , මට හදා ගන්න බැරි මගේ ගේ ගැන, සෝමේ හදා අවසන් කළ මගේ ගේ ගැන..

"ඔයාගෙ ගෙට මගෙන් බිත්ති ඔරෝසුවක්.. "
"බුදු අම්මෝ.." හිතට ආවත් නොකීමි.

           ටික කලක් ගත විය. "රාජා හෝ මා හෝ ගංගා හෝ" කියා ගඟට පැන්නෙමි. ඒ වයසේදී නොවිඳිය යුතු දුක් ගැහැට වින්දෙමි. මහජන බැංකුවේ හා හිතවතුන් හිතවතියන්ගේ පිළිසරණ ද විය. වහල මට්ටමට වැඩ අවසන් විය. පිටතට විවර දොර දෙක සවි කෙරිනි. පිළිවෙලට සවි වූ ඉටි රෙද්දෙන් ඉදිරි පස ජනේල ඇවිරිනි. පිටු පස ජනෙල්පළු ලීයෙනි.

              ආරක්ෂාව.. ? වියළෙන්නට එළියේ දමා ඇති දෙයක් වැස්සකට හසුවනු දුටු කෙනෙක් එය ගෙතුලට දමා ගිය කාලයක්.. !

              මම ඇය නාමලී යැයි මගේ පොත පතෙහි නම් කළෙමි.

           වැඩ අවසන් නැතත් නැකත් බලා, ගෙට ගොඩ වීමි. මගේ අප්ප්ච්චීත් අම්මාත් සමග...  අයියා අක්කලාත් හවුල් වූහ. මගේ යහළුවෝ කීප දෙනෙක් ද එක් වූහ. ගිහි පිරිතකුත්!

            සෝමේ ආවේ අර බිත්ති ඔරලෝසුවත් රැගෙන ය. හරිම ලස්සණ එකක්. ඒ කියන්නේ පාට පාට නොවේ. මා දකින ලස්සණ එකක්.. "තොම්ප්සන්..!" ජපන්..!  ඩිං ඩොං...!

             ඔරලෝසුව බිත්තියේ එල්ලුනි. හැඩට කැපූ කාඩ් බෝඩ් එකක් ඔරලෝසුවත් බිත්තියත් අතරේ.. කපරාරුත් නෑනේ..!
            
              බොහෝ කලක් ගත් වී ය. ඔරලෝසුව රෑ අක්‍රීය වේ. දින පතාම.. ! දුවන ටික නිවැරදිව දුවයි.. නවතින්නේ කීයටදැයි බලා ගැනීමට මට අවශ්‍ය විය. නිදි වැරීමට අවශ්‍ය කළමණා එක්රැස් විය. "පෙත්සම" ත්.

                අප්පචිචි ඉන්න නිසා ගිනිකූරු දැල් වූයේ ගෙයින් පිටතදී ය. ගෙදර තවත් ගිනි කූරු නැති බව දැන ගන්නකොට මධ්‍යම රාත්‍රිය පසු වූවා පමණි. අනේ..!

                ඉන් විනාඩි දහයක් පමණ ගතවී ය. ආදරණීය වික්ටර් මිගෙල් ශූරීන්ට මෙන් මටත් පාන්දර හතර වදිනවා ඇසුනි. ඒ එහා ගෙදර ඔරලෝසුවේ ය. මගේ ඔරලෝසුව එදත් ඒ වන විට නතර වී තිබුනි. ප්‍රයෝජනයක් නැති වෙහෙසක්..

                 සති කීපයක් ගතවුනි. මගේ කතාව යහලුවෙකුට පැවසීමි. ඔරලෝසුව නතර වන්නේ කීයටදැයි දැන ගන්නා අයුරු ඔහු මට කියා දුනි..! දෙහිවල වත්තක ඉන්න සතුන් මදි විය..; ක්වරන්ටයින් නොකරම තව අය ආනයනය කිරීමට ද ඔහුට සිදුවිය..!

                      *                       *                      *

                 සේවාවකට පසු බොහෝ කාලයක් ඔරලෝසුව සුවසේ කල් ඇරීය. විවිධ අවධීන් පසු කළේ ය. සැරසිල්ලක් සේ බිත්තියක, කලු කූඹි ජනපදයක්ව, පරණ බඩු අතර .. වැනි අදියර ප්‍රධාන ය. ඒත් ඉන්දන ඇත්නම් විනාඩි කීපයක් දුවයි.

                  යළි සේවාවක් ඉල්ලන බව තේරුනි. ලීයෙන් නිමව ඇති කොටස් ..? දක්ෂ රූප ලාවන්‍ය ශිල්පියෙකුගේ සේවය ලබා දුනිමි. සේවාව..?

"මේවායෙ කෑලි දැන් නෑනෙ. මේකේ ඒවා මාරු කරන්න බැරි නෑ, මගේම එකෙක්වත් මට විශ්වාස නෑ."  ඒ සුප්‍රසිද්ධ ඔරලෝසු වෙළෙන්දෙක්..
"කෙනෙක්ව ගෙදරට ගෙන්නලා.. " තවත් එවැනිම කෙනෙක්..

"........ ලා නං විශ්වාසයි." තව කෙනෙක්.

                    තීරණයක් නැති මගේ ඔරලෝසුව යළිත් බිත්ති සැරසිල්ලක්..!
               
                                            simple "s"
2017.10.08

1 comment: