Saturday, February 9, 2019

උඩගෙදර කතා 128 (ලිං කටෙං වැටුන එකා 16)

ලිං කටෙං වැටුන එකා   16.

"සපු... මොකද මේ ක - න - ත තවම හදාගෙන නෑනෙ. ඉත්තයි බඩයි අතරේ තවම නැව් යන සූවස් ඇල තියෙනවා. ආයෙ ඩබල් රූල් පොතක ලියන්ට වෙයිද?"

                  මම හිනා වෙල බිම බලා ගත්තා. හරියටම නෝන මහත්තයා කහට වතුර එක ඇන්න ආවෙත් ඒ වෙලාවේ. මයෙ අතිං තිංත කුප්පිය පෙරළෙයිද කියල මට බය හිතුනා. ඒත් ඒ එක්කම ගොඩක් එව්වා ඔලුවට ආව හිංදා ඒක සිහි නැති වුනා.

                   ඉස්කෝලේ බිත්තියේ එල්ලල තියෙන අලුත් "පිලිප්" ලෝක සිතියමේ පදං පාටවල් ලස්සනට තව කොහෙවත් මං දැක්කෙ නෑ. අපි "ගැසිපික් සාගරය" කිව්වේ ඒ වරද්දල අච්චු ගහල කියල හිතාන. අලුත් ඉංගිරිස් නෝන මහත්තයා, පේමවතී නෝන මහත්තයා තමයි කියල දුන්නේ ඒ අකුර සද්ද කරන්නේ "ෆ" හැටියට කියල. ඒක "ෆැසිපික් සාගරය". නෝන මහත්තයා කිව්වා.. ඒකට සිංහලෙං "ශාන්තිකර සාගරය" කියලත් කියනවලු. දෙවෙනි මහත්තයා සූවස් ඇලක් ගැන කියන හිංදම අපි ලෝක සිතියමේ සූවස් ඇල හොයාගත්තේ හරියට මහංසිවෙල. මං හිතාන හිටිය හැටියට ඒක, මේ අගෝස්තු නිවාඩු කාලෙත් හිඳුන, අපෙ ගෙදර වත්ත අද්දර ඇල වාගේ නෙවෙයි. අපෙ ඉස්කෝලේ වාගේ තුං හතර ගුනේටත් වැඩිය ලොකු නැව් යන එකක්.

"ඩබල් රූල් පොතක නූනත්, මේ අකුරු ටික දහ සැරේ දහ සැරේ ලියාගෙන එනවා. නිවැරදිව. කෙල්ලොන්ට ලියන්ට ඔය අකුරු සැම්පලේ මදි නම් පස්සේ ඒ මෝස්තර අකුරු පුරුදු වෙනවා. තේරුනාද?"
"එහෙමයි අපෙ මහත්තයා."

'ක  -  න  -  ත.       ව  -  ම  -  ට.'

                    මහත්තයට හොඳටම තරහ ගිහිං. ඒක පුදුමයක් නෙවෙයි, අපිට තරු හත පෙනෙද්දී කනෙං ඇද ඇද, ටොකු ඇන ඇන අපෙ ඔය අකුරු හදංට මහත්තයා මහංසි වෙච්චි හැටියට..!
"සපු දන්නවද එන සෙනසුරාදා සෞඛ්‍ය සතිය තරඟ. කලුන්තැන්නේ ඉස්කෝලේදී. ඉරිදත් පන්තිය තියන්ට බැරිවෙයි. මේ සුමානේ ඒකට පුහුණුවීම් කරමු. ඊට පස්සේ ශිෂ්‍යත්ව විභාගෙටම මහන්සි වෙන්ට වෙනවා. මොකද තව මාස දෙකකින් විතර විභාගේ තියෙයි.
සපූ, රන්බන්ඩා මහත්තයගෙ ඉංග්‍රීසි වීජ ගණිතය පොත ඉල්ලාගෙන ගිහිං ඒකේ ගනන් හැදුවද?"
"ඔව්.. සමීකරණ ගණං තියෙන පිටු හොයාගෙන එව්වා කෙරුවා. අන්තිම පිටුවල තියෙන උත්තරත් හොයාගෙන බැලුවා.
කමක් නෑ නේද අපෙ මහත්තයා.. ?"
"කිසී.. ප්‍රශ්ණයක් නෑ. හැබැයි, ' H.S.Hall,   School Algebra ' පොත ලොකු අයට තියෙන එකක්. x  ආදේශ කරගෙන මනෝමයෙන්  සමීකරණ හදන්ට පුලුවන්ද බලන්ට."
"එව්වා නං පුලුවං අපෙ මහත්තයා. අනික් එව්වා තේරෙන්නෙ නෑ. කියවා ගංටවත් බෑ."
"දැන්ම ඒ ගැන කරදර වෙන්ට එපා. අකුරු ටිකේ අඩුපාඩුවත් හදාගෙන තව රචනා ටිකක් එහෙම ලියමු අපි. අයියා ගෙනත් දුන්න පොත් දෙක කොයි.?"
"බුද්ධි පරීෂණය පොත නං ඉවරයි. 'සිංහල භාෂාව හා රචනය' පොත මේ තියෙනවා."
"හ්ම්......
මේ මාතෘකා වලට රචනා ලියාගෙන දෙක දෙක විතර ගේන්ට. හොඳයි අදට අපි නවත්තමු. හෙට එන්ට."

                     *                        *                         *

"හ්ම්... ඔය ඉන්නේ අප්පච්චි කෙනෙක් වාගෙම. මටවත් අඳුරා ගන්ට බෑ."
                   දෙවෙනි මහත්තයට විහිළු...! මට මේ කකුල් දෙක පණ නැතුව මං ඉන්නේ, ලැජ්ජාවේ. අර ඉස්ටේජ් එක තෙමුනේ නැත්තං ඇති.
                   සයිමගෙයි මයෙයි විරිදු ගායනය ඉවර වුනා. ඒක මේ.. ගුණ කෑම ජාති ගැන. ටික වෙලාවකට පස්සේ නාට්ටිය. ඒක මැලේරියාව ගැන. මටමයි ඉස්සර වෙල කතා කරංට තිබ්බේ. එක වාක්කියයි කියා ගත්තේ.. ඊලඟ වාක්‍ය මතක නෑ... හරි වැඩේ මතක් වෙන්නෙම නෑ. මම ඉස්ටේජ් එක පස්සට හැරිල "චුක්" සද්දේකුත් කරල..
"අර මොකද්ද මේ...? සිහි නෑ අප්පා. මේ වයස නේ."
කියල දෙබස් වල නැති එකක් කිව්වා. ටිකක් හයියෙං.
"හා අප්පච්චි, ඇනෝපිලිස් ද?" ඇතුලෙං කව්දෝ කිව්වා."
"අන්න හරි. අන්න හරීඊඊ...
ඇනෝප්ලීස් මදුරුවෝ පුංචි වුනාට... " මම එතන ඉඳල හරියට කියාන ගියා. ඒත් වැඩි දුරක් නෙවෙයි. අයෙත් අමතක වුනා.
"ළමයි... අද අර ඉහිංට එනවා කිව්වේ මොනවද.. මේ..."
"අප්පච්චි,  ඩී ඩී ටී. ද..?
"අන්න හරි.. ඩී ඩී ටී,  ඩී ඩී ටී.,
වෙනත් කුඩා සත්තුන්ටත් ...."  එතන ඉඳල කලිං සුමානේ කෙනෙක් අපෙ ගෙවල් වලට ඇවිත් ලොකු ටිං එකක් වාගේ එකක් කරේ එල්ලාන එව්වා ඉහල ගිය මතකයෙක්  කිව්වා. කැරපොත්තෝ හූනෝ එහෙමත් මැරුන හැටියි.. දෙබස් වල තිබ්බ අරුවා මෙව්වා...

                       අපිට මැදට මොන්වාදො රස මාලු ජාතියක් දාපු පාං පෙතියි කෙහෙල් ගෙඩියි එක්ක තේ වතුරත් දුන්නා. අපෙ එව්වා ඉවරයි. අපිත් සාලාවේ වාඩිවෙල අනික් ලමයි කරපු එව්වා බැලුවා. කතා, නාට්ටිය, කවි, විරිදු, වාගේ එක එක එව්වා ඉදිරිපත් කෙරුවා.

එව්වයිං මට හරියෙට ආසා හිතුනා අර කතා කරන්නැතුව පෙන්නුව නාට්‍යයට. එව්වට කියන්නේ 'අභිරූපණ රංග' කියල.

අංතිමට තිරේ අදිනකොට මේසේකුයි පුටු ටික්කුයි ඉස්ටේජ් එකේ. මහත්තුරු නෝන මහත්තුරු කීප දෙනෙක් ඇවිත් වාඩිවුනා. පාසල් වලිං ආව ගුරුවරුංටත් එංට කිව්වම අපෙ මහත්තයත් ගිහිං වාඩි වුනා. මට නිකං තනියක් වාගේ දැනුනා.  කතා දෙක තුනකුත් කෙරුවා. සැන්ටිබෝඩ් මහත්තයෙකුයි දොස්තර මහත්තයෙකුයි එහෙම. ලමයිංටයි ගුරුවරුංටයි ස්තුති කෙරුවා. ඔක්කොම දස්සයි කිව්වා. ඒ හිංදා තෝරංට හරි අපහසු වුනා කිව්වා.

                  ඊට පස්සේ සහතිකයි තෑගියි දෙන වෙලාව. විරිදු වලට සයිමටයි මටයි සහතික දෙකක්. ඉස්ටේජ් එකේ ඉඳල දෙවෙනි මහත්තයා අපිට එංට කිව්වා අතිං. එව්වේ, මහජන සෞඛ්‍ය පරීක්ෂක කියල සැන්ටිබෝඩ් මහත්තයයි සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි තුමා කියල එක්කෙනෙකුයි අස්සං කරල. තේරිච්ච ලමයි දෙන්නට නං සහතිකයි පොත්දෝ කොහෙදෝ පාරසල් දෙක්කුයි දුන්නා. නාට්ටියටත් අපිට සහතික. දෙවෙනි මහත්තයා එව්වා ගත්තා. ඒකෙත් පලවෙනි වෙච්ච අයට එක එක තෑගිත් දුන්නා. තෑගියි සහතිකයි දීල ඉවරයි කියල අපි හිතුවේ.

"තවත් එක විශේෂ සහතිකයක් හා තෑගි කීපයක් තියෙනවා. එය ප්‍රදානය කිරීමට අපි මොරගල්ල සිංහළ මිශ්‍ර පාඨශාලාවේ එම්.ඩබ්ලිව්. අභයරත්න ගුරුතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා." ආ... අපෙ දෙවෙනි මහත්තයටනෙ.
"ඔව්.. මීට පෙර සෞඛ්‍ය සතිය සමාප්ති උත්සව වලදී පවත්වා නැති තරඟ අංගයක් අපි මෙවර ඇතුලත් කළා..
හොඳම නළුවා තේරීමේ තරඟයෙන් තේරී ඇත්තේ, මොරගල්ල සිංහළ මිශ්‍ර පාඨශාවෙන් ඉදිරිපත් කළ 'මැලේරියාව' නාට්‍යයේ රඟ පෑ ටී.ජී.සපුමලා ශිෂ්‍යයා. හොඳ අත්පොලසන් නාදයක් දෙන්න. එම දරුවා වේදිකාවට පැමිණ ඔහුට හිමි ත්‍යාග හා සහතික පත්‍රය, එම පාසලේම, මෙම වටිනා කාර්‍යය භාරය කැපවීමෙන්, මනාව ඉටුකළ ගුරු තුමාගෙන් ලබා ගන්න.
               දෙවෙනි මහත්තයා මා දිහා බලල එංට කියල අතිං කිව්වා. සාලාව දෙදරන අප්පුඩි සද්දේ මැද්දේ මං ඉස්ටේජ් එකට ගිහිං මගෙ දෙවෙනි මහතයට දණ ගහල වැඳ වැටුනා. මට එක දිගටම ඇඬෙනවා. දෙවෙනි මහත්තයා දෙපැත්තෙං අල්ලල මං  නැඟිට්ටවල ඇන්න මයෙ ඔලුව ඉම්බා විතරයි මට මතක...!

("වට්ටා ගංට එපා.. ඔය එකක තියෙන්නේ තේමෝස් බෝතලයක්. වැටුනොත් බිඳෙයි." කව්දෝ මට හෙමිං කිව්වා.)

                                                      simple "s"
2019.02.09

පින්තූර අන්තර්ජාලයෙන් .

No comments:

Post a Comment