Tuesday, January 1, 2019

උඩගෙදර කතා 117 (වාසනාවන්)

වාසනාවන්..... !

අම්මගෙ, පුංචි මාමගෙ විරසකය දිගයි
ඇවිදින ඉනි වැටය හේතුව, හරි ලැජ්ජයි
පිරිතය පළමු කිස, අම්මගෙ දවස අගෙයි
ඊලඟ රාජකාරිය ඔය වැට අසලයි..!

පොදු වැට අරක්ගත් කොස් ගහ පල බරය
මාමා පොලොස් කන්නට හරි කෑදරය
කැඩෙන පුංචි ගෙඩියක නැගි බර බරය
කෙලවර කරන්නේ රෑ එන කලුවරය

පැන්නොත් වැට, පූසා පුංචි මාමගේ
හත් වසරක් ජරා කෙරුවේ මෙහෙ වාගේ
තියයි දෙස් දෙවොල් දවසක් දෙකක් වගේ
කව්රුත් නැතිලු දන්නා කිසි දේක අගේ!

අදත් දෙයියනේ මේ නව අවුරුද්දේ
ගියේ නැතෑ වැට ගාවට සොඳුරු උදේ
ඇගේ අතින් ඉනි දෙකකුත් උඩට ඇදේ
හදන්නට වගෙයි 'මාමගෙ වැඩකි' පදේ.

සද්ද නැතිව අම්මා ඒ ගෙටම ගියා
බලා ඉන්න බැරිතැන මාත් එහි ගියා
තුරුළු වුනු පුංචි බබෙකුට දෙතොල තියා
හුරතල් කරනවා දෙයියනි මෙන්න මෙයා

"ඊයේ හවා ඉඳලම සද්දේ ඇහුනා
කරව් කරන හැටි මයෙ පපුවේ ඇඳුනා
නිදි වත්දෝ කියල මට පස්සේ හිතුනා
ඒකයි ආවෙ නැත්තේ දැක ගන්න හිනා.

බලපල්ලා මේකී තුරුළු වෙන හැටි"
"අක්කා ලඟ නැතැයි සීයගෙ පුසුඹ කැටි"

අපෙ ගෙදරට මේකිගෙ මේ හිනා කට
වරදක් නෑ නේද ටිකකට ගෙනිච්චට
එන්ට ලොකු දුවත් ටිකකට එහෙ යන්ට
වැඩ නං ඇති, ඒත් එක තත්පරේකට.."

"පොඩි මල්ලියේ මේ පැටියා ගෙනියන්ට
ඉඩ මදි මෙතන, කොලවත් වදියි මූණට
පිහිය ගෙනත් කපපං හනික ඉණි වැට
ඕක  ඕන නෑ අයෙ කිසි කාලෙකට"

වැටෙන අතු දිහා බල බල සිනා සිසී
මැණික කියයි මොනවද ගැස්සි ගැස්සී
යුද්දය කෙලවරයි සත් වස් දිග්ගැස්සී
මදැයි කරපු ටික ඇවිදින් මේ බස්සී..!

*******************************************************
                                             
බිලිඳු සිනා - වන්, මුව මල් පිපීයන්
සැමට නව වසර නිති වාසනාවන්... !

                                                      simple "s"
2019.01.01

No comments:

Post a Comment