Tuesday, January 15, 2019

උඩගෙදර කතා 120 (ලිං කටෙං වැටුන එකා 09)

ඉලිං කටෙං වැටුන එකා   09

"හෙට බොංචි ටිකට පස් දාංට හිතාන ඉන්නේ අප්පච්චි."
"හෙට? හෙට දෙපෝයනෙ මයෙ පුතා. අමතක වුනාද?"
"බුදු අම්මො.. ඒ ගැන වගක් සිහිවුන්නෑ අප්පච්චී. එහෙනං අනිද්දට දා ගන්නං."
"ඒක හොඳයි. අව්වත් ඕනෑ තරමට...
තනියමද ඔය..?"
"නෑ අප්පච්චි... කොල්ලෝ දෙතුං දෙනෙකුත් එයි. "
"එහෙනං මං එන්නෑ. ඒ ගොල්ලෝ සූරයි. යසට වැඩේ කරයි. අද හෙටම මිරිස් ගස් ටිකටත් පස් කිට්ටු කාරංට වෙයි."

                   *                         *                       *

                 අප්පගෙ බල කිරිල්ලට පෑලිස් මේ කන්නේ වෙනමත් වගාවක් කරංට ගත්තේ. ඒ වුනාට දවසක් ඇර දවසක් වත් ඔහොම උන්දෑ මුණ ගැහිල කතා කරංටම ඕනෑ. එතකොට තමයි අලුත් දෙයක් දැන ගන්නේවත් අමතක වෙච්ච දෙයක් මතක් කරගෙන එංට ලැබෙන්නේවත්. මහ ලොකුවට ඉලදාරිකම හිතේ තිබ්බට තවම උන්දෑ පස්සෙං ඉංටම ඕනෑ.
                 එහෙම ගිය තව දවසක පෑලිස්ගෙ අප්පච්චී මෙහෙම එකක් කිව්වා:
"පුතේ.. අපි ඉඳහිටක සුරුට්ටු දුංකල හැදුවානේ. ඒ කොල කොහු ලණු වල මැදි කරල ගොතල වැල් වැල් පවනේ එල්ලල වේලනවා. එහෙම නැත්තං, නැට්ට එක්ක හිටිංට ගහේ තද හරියෙං පොත්ත ඇතුලේ මෝරච්ච හරියෙං උලට කෑල්ලක් රැහැල ඇන්න පිලිවෙලට වහලේ ගහල වේලනවා. වේලුනම මිටි බැඳල යාපනෙං එන මිනිසුංට විකුණනවා. ඒ දුංකල වෙනුවටත් ඔන්න සිගරට් දුංකල කියල එකක් එනවලු. වගාවට. එව්වා වේලන්නේ ගිංදර රස්නෙංලු. උස ගොඩනැගිල්ලක. ඒක පස්සේ වෙනම කතා කරමු.

මට කියංට ඕනෑ වුනේ වෙන කාරණාවක්. අපි පලදාවක් අස්වැන්නක් මුදල් කරන්නේ ඔය, සුරුට්ටු දුංකලයි අමු එලවලුයි තමයි. සල්ලි දෙක්කුත් අතට ඕනෑනෙ. ඒකට කියල, වී කුරහං ඉරිඟු අබ අනික් ඇට ජාති වේලපු මිරිස් එහෙම ඔක්කොම විකුණන්නෙ නෑ. ඊලඟ කන්නේ අස්වැන්න ගන්නකල් පිරිමහගෙන එතකොටත් වැඩියෙං තියෙනවා නං තමයි විකුණන්නේ. මොකද වරස්තේකිං වත් ඊලඟ කන්නේ පාලු වෙයි වාගේ පේනවා නං ඒකටත් පිරිමහ ගංට එපායැ.

ඔය මේ සැරෙත් කුරහං කැපෙනකොට එහෙම එව්වා මුදලට මනිංට මිනිසු එයි. දෙංට හදිස්සි වෙංට ඕනැන්නෙ නෑ. ගේ තියෙන එව්වා අපිට නං පිරිමහ ගංට බැරි වෙන එකක් නෑ. ඒ වුනාට තව මාසේ දෙක යනකොට ඔව්වා අතමාරුවට ඉල්ලංට කී දෙනෙක් එනවද බලංටකො. කලිං එහෙම ගත්ත අයගෙමුත් තව ආපහු ලැබෙංට කොච්චර තියෙනවද. එව්වා ඉතිං අමතක කරල දාංට තමයි වෙන්නේ."
"හොඳයි අප්පච්චි..."

                   *                         *                         *

"ඒ කතාව හරි බං... "
"උන්දැලා ඔව්වා හිතට එනවට කියනවා නෙවෙයි සුද්දා. වෙච්ච දේවල්... "

                  අප්පගෙ කතාව පෑලිස් කොල්ලෝ ටිකට කිව්වම ඔක්කොම ඒක පිළිගත්තා. පෑලිස්ට සන්තෝසයි. පෑලිස්ගෙ වත්තෙම්ම කැඩුව කිරි ඉරිඟු ඩිංගිරී තම්බල දුන්න එව්වා කකා කට්ටිය මෙහෙම කතා කර කර හිටියේ.

                  මේ සැරේ පෑලිස්ගෙ වත්ත ගෙට එහා පැත්තෙම. ඒක බුදුන්නේ ඉඩමක්. ලොකු හාමුදුරුවන්ට කියන පමාවෙං කැමැත්ත දුන්නේ. හේන නං අප්පච්චි ගිය සැරේ වත්තට ගත්ත එකේම කොටහක්. ගිය සැරේ පෑලිස්ටය කියල වෙනම වත්තක් තිබ්බ එකක්යැයි. ඊලඟ කන්නෙදි මේ වත්ත තමයි හේන වෙන්නේ. වත්ත අත ලඟිං තියෙන එක මේ කන්නෙට නං ලොකු පහසුවක් වුනා. වැඩ කර ගංටද.. රැක බලා ගංටද .. හැම එක්කටම.

                  හේනත් වත්ත වාගෙම සරුයි මෙදා සැරේ. කලට වෙලාවට ඕනෑ තරමට වැස්ස අව්ව ලැබුනා. සත්තුන්නෙං රැක බලා ගත්තා. හේනේ පැල් රකිංට වැඩියෙම්ම ගියේ පෑලිස්ගෙ අප්පච්චී. ඉඳහිටක පෑලිස්ටත් යංට වුනා. එහෙම දවසට ඩිංගිරී රෑ හිටියේ පෑලිස්ලෑ මහ ගෙදර. කලිංම රෑට කාල දෙන්නත් එක්ක මහ ගෙදර ඇවිත් පෑලිස් පැලට යනවා.

                   එහෙම දවසට පෑලිස්ලා රෑට කෑව දේක කොටහක් මඩක්කුවක දාගෙන මහ ගෙදරටත් ගේනවා. පෝප්පත් කෑල්ලකිං වහල ඒ උඩිං ලිපේ අඟුරු කෑල්ලක් දෙක්කුත් තියල. පෑලිස්ගෙ නංගියි මල්ලියි දෙන්නත් මෙහෙම ගේන එක්කට හරි කැමතියි. පාං රොටීවලට විසේසෙම්ම. කෑවත් නැතත් පෑලිස්ලෑ කොටහ ගැන පෑලිස්ගෙ අම්මත් අමතක කරන්නෑ.

                    *                      *                      *

                 අලුත් අවුරුද්දට කලිං පෑලිස් තමන්නේ ගේයි මහ ගෙවල් දෙකෙයි පලේ වහ ගත්තා. මහ ගෙදෙට්ට පල්ලෙහා වෙලේ කොල පාගන එව්වට අත් උදව් දීල ගත්ත තමන්නේ පිදුරු කොටහෙං.

                 පිදුරු උප්පිඩවල් බඳිංට පෑලිසුත් හපනා. කමතෙං පිට කංදට බාපු මැඩුවං හොඳට වේලල උකුණු ගහෙං ගොඩ ගහනවා. ඒ ගොඩේ කොණකිං දකුණු අතිං අල්ල අල්ල ගන්න පිදුරු අහුර තාලේකට පස්සට ගස ගස මිටට බර වෙනකොට ගොඩක් ගහනවා. අල්ලාගෙන ඉන්න කොණ එක පැත්තකට තියෙංට. උප්පිඩට සෑහෙංට ගොඩ හැදුනම පිදුරු කාටුවෙම්ම ලණුවක් අඹරාගෙන බොරු ගැටයක් ගහනවා. එව්වා පිළිවෙලට ඔතාන ගෙදර ඇන්න ගිහිං පිදුරු පංසලේ මුදුං කර ගන්නවා.

                 කුරහං, ඉරිඟු, කරල් ඉරිඟු, තන වී, මෑ, දඹල, අබ, මුං, උඳු වාගේ ඇට ජාති විතරක් නෙවෙයි වට්ටක්කා, තියඹරා, කැකිරි වාගේ ගෙඩි ජාතිත් පෑලිස්ගෙ ගෙදර ඉඩ තියෙන තියෙන තැං වල පට්ටල් වුනා. ගෙඩි ජාති නං මහ කාලයක් තියා ගංට පුලුවන්නෙ නෑ. වැඩි වෙල විකුණා ගංටත් බැරි වෙච්ච බටු, බන්ඩක්කා, මෑ කරල්, තක්කාලි එහෙම විටිං විටේ කොඳ වේලා ගත්තා. රෑණ කෙටූ ගලේ ගල් පොත්තේ දැම්මොත් නං දවසෙං කර වෙනවා.

                   *                       *                       *

                  මෙදා පෑලිස්ලට ලැබුවේ අලුත්ම අලුත් අවුරුද්දක්නෙ. පෑලිස්ලා හොඳට යුතුකං ඉස්ට කෙරුවා. අම්මලා අප්පලාට නංගිල මල්ලිලාට රෙදි පිළි ඇන්න දුන්නා. අම්මට අත් උදව් දිදී ඉගෙන ගත්ත විදියට හැඳි කැවුමුත් ඩිංගිරී හැදුවා. පුලුපුලුවන් තරමට. දෙගොල්ලම ගෙන්නාන යාලුවන්ටත් එක්ක බත් ඩිංගකුත් දුන්නා. ඒකට කඩෙං ගංට වුනේ සාඩිං ටිං දෙකක් විතරයි. එලවලු ටිකක් එහෙම දෙවෙනි මහත්තයටත් ගිහිං දුන්නා.

                       *                      *                       *

                  අවුරුදු පහුවෙල දෙදවහක් විතර ගියාම දවසක් හවස දෙවෙනි මහත්තයා පෑලිස්ලෑ ගෙදෙට්ට ආවා. හතර ගාතේ දාල වැඳල පිළි ගත්තේ. පෑලිස්ට ඉහේ මලක් පිපුනැහේ සන්තෝසේ. ඔහොම එකක් වෙයිවත් කියල යට හිතේ තිබ්බ හිංදා පෑලිස් මහ ගෙදර වත්තෙං කුරුම්බා ඉත්තක් ගෙනත් තිබ්බ එක හොඳට හිටියා.
"අපෙ මහත්තයා ඉඩක් කියල තියෙන හැම තැනම මේ එක එක එව්වා, ගෙඩ් ජාති එහෙම ගොඩ ගහල. ඔහොම එංට මේ බංකුවට.."
"නෑ පෑලිස් අපි යමු අර හෙවනේ ලෑල්ලට... "
"කමක් නැද්ද අපෙ මහත්තයා.."
"කිසි වැරැද්දක් නෑ..
ඔලුව උඩ තියාගෙනවත් ඔය ගත්ත අස්වනු පරිස්සම් කර ගන්ට වෙයි පෑලිස්. අර ඉස්සර කාලෙක හාමුදුරුවරුන්ටත් දානේ ටික නැතිව කරකොල වළඳල පණ කෙන්ඳ ගැට ගහ ගන්ට වුන බැමිණිටියා සාය වාගේ එකක් එනවලු. මහ නියඟයක්. එන අවුරුද්දේ. ආහාර හිගයකුත් වෙයි කියලයි කියන්නේ."
"අපෙ මහත්තයා මේ අපි ඉන්න හරියට විතරක්ද ඔය?"
"නෑ.. පෑලිස්, අපෙ රටට විතරකුත් නෙවෙයි. ලෝකේ පුරාම. අපෙ රටවල් වලට බලපෑම අඩුයි කියනවා. ඒත් තරමක කරදර තියෙයි. "
"අපි මොකද ඉතිං කරංට පුලුවන්නේ...?"
"මොනවා කරන්ටද පෑලිස්. තියෙන දෙයක් පරිස්සම් කරගෙන සකසුරුවං කමෙන් පාවිච්චි කරගෙන බලා ඉඳිමු."
"ඕක ඉස්කෝල් ලමයි අතේවත් ගමේ ඇත්තංටත් දැන්නුවොත්... "
"ඔව්.. එහෙම වැඩ සටහන් කීපයක් තියෙනවා. මට වැඩියම බය ඔය වසන්ගත රෝගත් පටන් ගනීවත් කියලා. ඒකටත් වැඩ සටහනක් ලෑස්තියි."

                  වත්තේ ගහකොල, ළිඳ, සතා සරුපයා වාගේ එක එක දේවල් ගැනත් තරමක වෙලාවක් කතා කර කර හිටියා. විටිං විට ඩිංගිරිත් ඇවිත් කංදිහා ගෙන හිටියා. ගේ, වත්ත පිළිවෙල කර ගංට මහන්සි වෙල තියෙන හැටි ගැන දෙවෙනි මහත්තයා බොහොම සතුටු වුනා. එතුමගෙං ඔය ටික අහ ගංට පෑලිස් මොන තරං ආසාවෙං හිටියද.. !

"මම පෑලිස්ට පිංතූරයක් ගෙනාවා.. ආ.. බලන්ටකෝ හොඳයිද කියලා."
"සීවලී පින්තූර රාමුවක් ... මයෙ අප්පෝ කොච්චර හොඳයිද... "

                    *                       *                      *

"අපි ගෙට ගත්ත අස්සනු ව්ස්තර එක එක්කෙනාට කියංට ඕනැන්නෙ නෑ. ඔයෙ ඇස්වහ කටවහත් තියෙනවානෙ."
"ඒක ඇත්ත.."

"මෙව්වා නංගිගෙ වාසනාවට.. "
"පිස්සු...., ඔය අත් දෙකේ මහන්සියට.. "
"ඇයි මේ අත් දෙක....? අනික, දවස් පතා කොන්ද කැඩෙන කල් දෙකට නැමී ගෙන කුරහං කැපුවේ කව්ද? අත්තං ගෙවංටත් එක්ක."
"එතකොට දවස් පතා කුරහං තැලුවෙත් මමද?"
"ංහා හා.. කමක් නෑ .. කමක් නෑ.. දෙන්නගෙම මහංසිය හින්දා අපෙ අස්සැන්න සරුවුනේ. කතාව ඉවරනෙ."
"අපිට වරදින්නෙ නෑ දෙය්යෝ." පෑලිස්ගෙ අත්ගොබයි
කරගැට පිරිච්ච අල්ලයි අතගාන හිටං ඩිංගිරී කිව්වේ.

                    *                       *                       *

"මේ.. මේ... ක...කඩනවා ඇඟිලි ටික ඔන්න.. කර ගැට දෙපිටිං යංට... "
"හ්ම්... දැං යං... "

                                                   simple "s"
2019.01.16

පින්තූර අන්තර්ජාලයෙනි. පිළිවෙලින්: කුරහං (කුරක්කන්), ඉරිඟු, කරල් ඉරිඟු, තණ වී, අබ.

               
               

No comments:

Post a Comment