Friday, April 5, 2019

උඩගෙදර කතා 138 (ලිං කටෙං වැටුන එකා 25)

ලිං කටෙං වැටුන එකා   25.

"අපෙ අම්මා.... අප්පච්චිට ලොකු මහත්තයා එංට කිව්වා."
"දැංද ඕක කියන්නේ... දැං කොහොමදෑ ඉස්කෝලෙට යන්නේ? ඔය අප්පච්චි ඉන්නේ... කියා ගන්න එකයි. " අපෙ අම්මා තරහිං කියනවද කවටකමක් කරනවද කියල මට හිතා ගංට බැරුව ගියා. හැබැයි එහෙම කියල හිනා වෙවී මයෙ ගාවටම ආවා.
"අනෙ අපෙ අම්මා... ආං නිකට අල්ලට බර කරගෙන කල්පනා කර කර ඉන්නවා. මට නං යංට බෑ. අපෙ අම්මා කියංට..." බරක් ඔලුවට ආවම හැමදාම අප්පච්චි එහෙම තමයි කල්පනා කර කර ඉන්නේ. ඒ කියන්නේ අදත් මොකක් හරි වෙල තියෙනවා.

                         මම දැං ගමේ ඉස්කෝලේ නෙවෙයි ඉන්නේ. කලුන්තැන්නේ. මේ වාරේ මුල ඉඳල. දැං නං නිවාඩු. අවුරුදු  නිවාඩු. අද මං කොල්ලෝ එක්ක කඩේට උඩහිං පාරේ සෙල්ලං කර කර ඉන්නකොට අපෙ ලොකු මහත්තයා මුණ ගැහුනේ. කියන දේ අහගෙන කරනවා විනා, 'ඇයි.... මොකටද?' වාගේ එව්වා හරහට අහංට පුලුවනෑ මට, ඉස්කෝලෙං ගියා කියල.
"අප්පච්චි ලොකු මහත්තයා මුණ ගැහෙංට ගිහිං ඇව්ත් ඉන්නේ ඔය. " හිනා වෙවී  අපෙඅම්මා ඒ ටික කියනකොටත් උන්දැගෙ ඇස්වලට කඳුළු පිරිල.
"ඇයි අපෙ අම්මා... මොකද වෙල තියෙන්නේ?"
"මයෙ පුතා අයෙත් හපං කමක් කරගෙන ඕං. එංටකො අප්පච්චි ඉන්න තැනට යංට." අපෙ අම්මා මයෙ ඔලුවයි නලලයි ඉඹ ඉඹ කිව්වේ.. "මයෙ පුතා ගිය සිස්සත්ව විභාගෙං පාස් වෙලලු... "

                          අප්පච්චිගෙ මූණ බක්ක මලක් වාගේ පිපිල. ඉඳල හිටල දකිංට පුලුවං අර පිරිච්ච හිනාව මුණ පුරහම. මට දාහක් දේවල් හිත පුරා එහෙට්ට මෙහෙට්ට පනිනවා. සන්තෝසෙට මට කතා කර ගංට බෑ. තප්පරේට උගුර තොල කට වේලුනා. උගුරේ මොකොදෝ හිර වුනා. මට එක පාරම අප්පච්චි ලඟ දණ ගැස්සුනා.

"මයෙ පුතා එනවාරේ ඉඳල නුගවෙල මධ්‍ය මහා විද්‍යාලේ..  නතර වෙංට වෙන්නෙත් එහෙ ඉස්කෝලේ බෝඩිමේ. කන බොන එව්වත් ආංඩුවෙං දෙනවලු."
"අනේ මයෙ කොල්ලා නැතුව මං ඉන්නේ කොහොමදෑ. රෑට තවම මයෙ තුරුල්ලේ ගුලිවෙන මයෙ රත්තරං... " අපෙ අම්මට කෑ ගැහිල ඇඬුනා. මටත් ඇඬුනා. අප්පච්චිත් ඇඬුවේ නැති වුනාට කට හඬ එහෙම පිටිංම වෙනස් වුනා.
"වාරේ පටං ගන්නකොටම යංට බෑ. අස්වීං සහතික ගංට ඕනෑ. එහෙට්ට ඇන්න එංට කියල තියෙන බඩු ලැයිස්තුව ගංටත් තියෙනවා. එහෙම සතියක් හමාරක් පමා වුනාට කමක් නෑ කිව්වා."

                          දෙයියනේ කවි කොලේකිං නම දැකල හිතේ ඇඳිච්ච මයෙ හීනේ, මට ඇත්ත වෙල. මටත් ලොකු ඉස්කෝලෙක ඉගෙන ගංට වාසනාවක්.. එක පාරම මහ සන්තෝසෙයක් මයෙ ඉහිං කනිං ගියාට මොකදෑ තියෙන අසීරුකං ටික මයෙ ඔලුවට එංට මහ වෙලාවක් ගියේ නෑ. කවදාවත් නැතුව මං එක පාරම දන්නේවත් නැති තැනක ඉන්නේ කොහොමදෑ....  අනික අපෙ අම්මයි අප්පච්චියි දෙන්නත් නැතුව. අලුත් ඉස්කෝලේ, ළමයි, ගුරුවරු කොහොම වෙයිද... ඒ ළමයි එක්ක තරඟෙට ඉන්ට මට පුලුවං වෙයිද..... මයෙ ගොඩේකමයි, අනික් අඩුපාඩුයි එක්ක මොන මොන ලැජ්ජා කෙරිලි වලට මූණ දෙංට වෙයිද.... අයියා දවසක් කිව්ව හැටියට මට ඉගෙන ගංට වෙන්නේ විද්‍යාව. මට එව්වා තේරුම් ගංට පුලුවං වෙයිද? ගමයි මයෙ යාලුවොයි දාල යන්නේ කොහොමද... අර සන්තෝසේ ටික ටික එව්වා මෙව්වා වුනා.

                          හවස් වුනාට මොකදෑ අප්පච්චියි මායි දෙවෙනි මහත්තයා බලංට ගියා.
"හ්ම්.... අපෙ හපනා... නේද මේ හවස් වෙලා...
මං පනිවිඩේකුත් එව්වා.. "
"අපෙ මහත්තයා... පනිවිඩේ....? පනිවිඩයක් ලැබුනා නං මට නොකියා ඉන්නෙ නෑ!"   හ්ම්.. ඒකත් දන්නවා. ඒ වුනාට පුරුද්දක් හැටියටයි විහිලුවටයි මයෙ ඇදයක් කුදයක් කියංටත් එපායැ.
"කොහෙද අපෙ මහත්තයා පනිවිඩේ ලැබුනත් සිහියක් කියල එකක් තියෙංට එපායැයි.  අර බයිසිකල් රෝදයක්, රිං එකදෝ මොකදෝ කියන්නේ.. එව්වෙං එකක් තියාන තිස් පැයම ඒක දක්ක දක්ක ඉන්නවා කොල්ලෝ කාංඩෙට එකතු වෙල... "
"කමක් නෑ... නිවාඩු කාලේනෙ. එන්ට කිව්වේ ඇයි කියල දන්නවා නේද සපුමල්?"
"එහෙමයි අපෙ මහත්තයා, අප්පච්චි ලොකු මහත්තයගෙ පනිවිඩේට එහෙ ගියාම කියල තියෙනවා." කිය කියම මම අපෙ මහත්තයට දණ ගහල වැන්දා.
"ඉතිං සපුමල් මටත් බොහොම සන්තෝසයි. දන්නවද... මේ පැත්තටම ඉස්සර වෙලාම අටේ ශිෂ්‍යත්ව  විභාගය පාස් වෙලා තියෙන්නේ සපු තමයි. පහේ විභාගේ පාස් වුන අය නම් ගමේම ඉන්නේ. අර ජයවර්ධන එහෙම."
"ඔව්.. අපෙ මහත්තයා නෑදෑ කමටත් වැඩිය මෙයාගෙ හොඳම යාලුවානෙ. "
"දැං නුගවෙල ගියාම හැම දේම අලුත්. පාඩම් වැඩ නං සපුට ප්‍රශ්ණයක් වෙන්නෑ..අනික ඔය සමහර අයට මෝඩ කමට ඉරිසියාවකුත් එනවානෙ.. එන්න එව්වයින් පරිස්සම්වෙන්ට ඕනෑ. ටික දවසකටවත් කලුන්තැන්නට යන්ට වුන එකත් හොඳයි. සපුට රට තොට ටිකක්වත් අඳුරා ගන්ට."
                            
"හිටිය එක වාරේදිම විභාගෙන් පලවෙනියා වුනා කිව්වමත් මට බොහොම සතුටු දැනුනා. අලුත් ඉස්කෝලෙට ගියාම ඔය පොත්පත් ඔක්කොම වෙනස් වෙනවා. බඩු ලැයිස්තුව එව්වට පොත් ලැයිස්තුව එවලා නෑනේ.... ඒක දකිනකල් මොකවත් දැන්ම සල්ලි වලට ගන්ට එපා.

                        දෙවෙනි මහත්තයා මට තව ගොඩක් දේ කියල දුන්නා. ඒ නෝන මහත්තයත් "හරියට සන්තෝසයි." කිව්වේ මයෙ ඔලුවත් අත ගාල.
"අපෙ මහත්තයට බුදු බව අත් වෙංට ඒ කරුණාවෙං තමයි මයෙ කොල්ලගෙ ඇස් දෙක පෑදුවේ. නිමාඩු වෙලාවට තමන්නේ වැඩක් කරගෙන ඉංට බැරුවටයැයි."
"මේ  කොල්ලගෙ දක්ෂ කමයි උවමනාවයි දැක්කම දන්න දෙයක් උගන්නන්ට හිතෙනවා. සපු මතක තියා ගන්ට ඕනෑ.. මේ මව්පියෝ නොවිඳිනා දුක් විඳගෙන මේ උගන්නන්නේ.. ඉතිං අපි කාටත් එව්වට කෙලෙහි ගුණ සලකන්ට තියෙන්නේ හොඳින් ඉගෙන ගැනීමෙන්. මතකනේ අර කවිය..'තුබූ තැනක සොර සතුරන් ගත නොහෙනා... උගතමනා ශිල්පයමයි මතු රැකෙනා.' මොන තරම් ගැඹුරු තේරුමක් තියෙනවද.... "
"එහෙමයි අපෙ මහත්තයා.."
"සපූ යංට කලිං අයෙත් මෙහෙ ඇවිත් යංට."

                         අපි තව හුඟක් කතා කර කර ඉඳල ගෙදර ආවේ. මට කලුන්තැන්නට ආව ගිය හැටියි වෙච්ච දේවලුයි එක පේලියට මතක් වෙංට පටං ගත්තා.. ඒ ඒ වෙලාවට සමහර එව්වට දුක හිතුනා තමයි. ඒත් ඒ දේත් දැන කියා ගංට ලැබුන එක හොඳයි...

(ඊලඟ කොටසත් මේකටම සම්බන්ධයි.)

                                                                                                   simple"s"
2019.04.05

උඩගෙදර කතා 137. ("රත්තරන් බහුලයි.)

"රත්තරන් බහුලයි......"

"ඇයි අම්මේ අප්පච්චිට ඩෝං ගිහිං... "
"දවල් කෑම කාල ඉවර වුන වෙලාවේ ඉඳල ඔහොම තමයි.. "
"චූටිට මොනවත් කිව්වද?"
"නෑ... නෑ... FB බලනවටයි, අලුත් media pad එක ගත්තටයි අදත් .. "
"නෑ.. නෑ.. එහෙම මොකුත් කිව්වෙ නෑ."
"මං ආවා කියල ඔලුව ඉස්සුවේවත් නෑ... කොට කොට ඉන්න එකට මං එබිල බැලුවා. 'රත්තරන් බහුලයි... ' කියල මොකක්දෝ ටයිප් කරලා දැක්කා."
"අර ශ්‍රී නදීකා ජුවෙලර්ස් කියලා එකකින් අවුරුදු පැතුමක් ඇවිත්. කාටද මුද්දක් අරන් දුන්නේ කියලා මං විහිලු කෙරුවා. ඒකටද දන්නෙ නෑ එහෙනං.."
"බලමුකො.. "

"මොනවද අම්මේ කන්න තියෙන්නේ... වෑංජන?"
"කතුරු මුරුංගා කොල තෙල්දාලා, ගමේ රාබු අලයි කොලයි එකට මැල්ලුම, කරවිල උයලා.. "
"හ්ම්... ගෙදර තිත්ත අඟුනයි ගොටු කොලයි තිබුනනෙ. ඒ එකක්  සලාදේ හදන්න තිබුනනෙ අම්මේ.."
"ඔය තියෙන්නේ ඕනෑ නං හදා ගන්න එකයි... "
"අනේ අම්මේ මෙහෙම කරව්ල මාලුව කෑවැහැකියැ..."

                                   *                                  *                                    *

                           කොච්චර තිත්තයි තිත්තයි කිව්වත් අපෙ ගෙවල් වලට කරවිල නොගෙන ඉන්නවායැ. නොකා ඉන්නෙත් නෑ. ඒ කියන්නේ කරවිල ගුනයි විතරක් නෙවේ. රසයිත්
                           කරවිල ස්වාභාවිකවම තිත්තයි. නම කිව්ව ගමං මතක් වෙන්නේ ඒ තිත්ත. ඒත් ඉස්සර කාලේ ඉඳලම කරවිල තිත්ත අඩු කරන විදියවල් අපේ ගෙවල් වල තියෙනවා. පොල් වතුරත් දාලා උයන එක, ලුනු වතුර දාලා කොරහේ අතුල්ලන එක, ගොරක කෑලි දෙක තුනක් දාලා තම්බන එක වාගේ... කරවිල වෑංජන හදන විදියවලුත් ගොඩයි.

01. ඉස්සර නං බහුලවම කළේ මැල්ලුම හදන එක. ඇඹුල් කැත්තෙන් හීනියට ලිය ලිය ලුණු වතුර තියෙන කොරහට දානවා. කොරහේ හොඳට අතුල්ලලා සෝදලා මිරිකාගෙන, මිරිස් තුන පහයි, කහ බින්දුවකුයි, රතුලූණු, කරපිංචා වාගේ ඒවත් දාලා වතුර ටිකක් එක්ක ලිපේ තියනවා. වතුර වැඩි කරගෙන කරවිල බෙරි වෙන්ට නම් දෙන්ට එපා. මේවා තරමකට තැම්බුනාම එක්කෝ ඔය විදියටම, අබ ටිකක් පුපුරවලා තෙල් ටිකක් දානවා, එහෙම නැත්තං අඹරා ගත්ත පොල්, සුදු ලූනු, ගම්මිරිස් ඇට දෙක තුනක් කලවම් කරලා තෙල් දානවා.

02. කරවිල වෑංජනය / ඇඹුල හදලා ගන්න එකත් බොහොම කෙරෙනවා. මෙහෙම හදන්ට කරවිල ලොකු තීරු වලටයි කපා ගන්නේ. ඒවා ගොරක බික් දෙක තුනක් එක්ක ටික වෙලාවක් තම්බලා වතුර පෙරා ගන්නවා. මිරිස් තුනපහ, රතුලූනු, රම්පෙ කරපිංචා, පොල්කිරි එක්ක, උලුහාල් ටිකක් බැදුන තෙලට දාලා බානවා. මේවා එක්කෝ අර තැම්බුව ගොරක එක්කම උයන්නේ. එහෙම නැතිනම් ඒවා අයින් කරලා තක්කාලි ගෙඩියක් කපලා දාලා උයා ගන්ටත් පුලුවන්.

03. අර මාලු මිරිස් පුරවලා උයන්නේ තැවරෙන්ට.  අන්න ඒ වගේ පොඩි කරවිල ගෙඩි වල මදේ අයින් කරලා ඒ ෆිලිං එකම දාලා කිරෙන් උයලා ගන්නවා සමහර අය.

04. ලොකු තීරු උණුවතුරේ යන්තම් තම්බලා අරන් තුනපහ ලූනු උම්බලකඩ අමු මිරිස් කලවම් කරලා කිරි නොදා තෙල් දාලත් ගන්නවා.

05. මේ ඔක්කොටෝම වැඩිය දැන් ජනප්‍රිය වෙලා තියෙන්නේ, කිසි ගුණයක් නැති, බැදපු කරවිල සලාදේ. මේකට ගන්නේ රුපියලේ සත පනහේ සයිස් එකට ලියා ගත්ත කරවිල. ඒවා කරුස් කුරුස් වෙනකල් තෙලේ බදිනවා. වැඩිපුර බැදුනොත් දත් මදින්ට තමා ගන්ට වෙන්නේ...! දැන් ඒකට ලියා ගත්ත අමු මිරිස්, ලූනු, (කන අය!) උම්බලකඩ, තක්කාලි (හෝ දෙහි ඇඹුල්) දාලා කලවම් කර ගන්නවා. මේ සලාදේ ජනප්‍රිය වෙන්ට හේතුව ඒක තිත්ත නෑ. රසත් වැඩී. කෑමට ගන්ට කිට්ටු කරලා කලවම් කර ගත්තොත් ක්‍රිස්පි ගතිය සෑහෙන්ට බේරා ගත්තෑකි.

                                 *                                  *                                  *

                           කරවිල දිය වැඩියා රෝගීන්ට බොහෝම ගුණයි. සමහර අය අමු කරවිල  කොටලා මිරිකලා බොනවා කියලත් කියනවා.පොඩි අයගෙ එහෙම පණු රෝගත් අඩු කරනවා. හමේ රෝග වලට ගුණයි විතරක් නෙවේ... හම පැහැපත් කරනවා. රන්වන් පාටට... ඒ ඇයි කියලා දන්නෙ නෑ නේද? කරවිල වල රත්තරන් බහුලයි. තිත්ත රස ආහාර කොයි එකෙත් රත්තරන් තියෙනවා කියනවා.

                           කරවිල වර්ගත් දෙකක් තුනක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් කෑමට ගන්න කරවිල වලින් කොල පැහැති ගෙඩි ගුණයෙන් වැඩිලු. ඒ වාගෙම බටු කරවිල කියන කුඩා වර්ගයේ ගුණය ඉතා ඉහලයිලු. තුඹ කරවිල රසවත් ගුණවත්. ඉස්සර කැලෑවෙන් කඩා ගත්ත තුඹ කරවිල (තුඹ කියලා විතරයි කීවේ.) වල තිබුනේ කිරි රසක්. ඉදෙන වෙනත් වෑන්ජනයක තැම්බෙන්ට ඇරලා පොඩ් අයට නිකං කන්ට දෙනවා. ඒ තරම් රසයි. තුඹ කරවිල ආර්ථික බෝගයක් වුනාට පස්සේ තිත්ත රසයක් එක් වෙලා. සාමාන්‍ය කරවිල එක්ක පරාගණය වීමෙන් වෙන්ට ඇති. කැලෑවේ හැදෙන තුඹ වැල් වලින් අවුරුදු කීපයක් පලදාව ගන්ට පුලුවන්. ඒවායේ අල ගෙනත් ගෙවල් වල හිටවන්ට මිනිස්සු බයයි. වැරදි රූප කැපිලා තමන් අතින්ම හූනියම් වැලලෙයි කියලා.. !

                                *                                  *                                      *

"අම්මේ, අප්පච්චි තරහ වෙලා ඉන්නේ ඇයි කියලා මට නං තේරුනා. කෝ අම්මේ අද පොල් කෑලි උලුප්පලා කරවිල වෑන්ජනේට දාන්ට අමතක වුනා නේද? ඒවා නැතිව කන්ට පුලුවන්යැ... අනික, බලන්ටකො අද වෑන්ජන කම්බිනේෂන් එක... කරවිල, කතුරු කොල, රාබු. ඔය ඔක්කොම ලාවට ලාවට හරි තිත්ත ඒවනෙ."
"මට ඒකත් අමතක වුනා... ! රත්තරං බහුල වුනාටම වැඩක්‍ යැ, කන්ටත් එපායැ නේද?"

                                                                                             simple"s"
2019.04.02

උඩගෙදර කතා. 136 (ලිං කටෙං වැටුන එකා 24.)

ලිං කටෙං වැටුන එකා.          24.

"අයියා දුවෙකුට නේද කැමති..?"
"මේ මොකොදෑ උදේ පාන්දරම...?"

                    ඩිංගිරී තව ටිකක් පෑලිස්ට තුරුලු වුනා. මූණ පපුවට තියා ගත්තා. පෑලිස්ගෙ අත ඇරගෙන මූණේ තියා ගත්තා.
"උදේට මොනවද හදල දෙන්නේ? කිරිබත් හදංටද?"
"කිරිබත් කෑවම දවල් වෙනකොට ඈණුං යංට පටං ගන්නවා. වැඩක් කරකගංට බෑ. පණ නෑ. අද පාං රොටී කමු. මං නුගේ යට බලල එන්නං. බිම්මල් තිබ්බොත් එව්වා හදමු නැත්තං ලුනුමිරිස් ටිකක් අඹරල පරිප්පු ඩිංගක් වේලෙංට හදල ගනිමු. නංගී කිරිබත් කංට කැමති නං ඒත් කමක් නෑ..."
"කාලේකිං කිරිබත් කෑවෙත් නෑනෙ. ටිකක් කැහුලා කමකුත් දැනුනා තමයි."
"ඉතිං හදංට."
"යංකෝ කහට ඩිංගක් බීල ඉංට."

                   ඩිංගිරී කේතලේ ලිපට කරංට ගියා. පෑලිස් එලියට ගියා. වටිං ගොඩිං එලිය වැටීන එනවා. මට්ටෙටම  කිට්ටු වෙංට කොන්ඩේ කැපුව හීං එකෙක්ගෙ ඔලු ගෙඩිය වාගේ පහූන දවස්වල තිබ්බ  මැටුවලතැන්න කන්දෙත් දැං අයෙම මානාව ටික ටික දලු දාල. කොල්ලෝ ටික මැරෙයිම කිව්ව මානාව අයෙත් දලු දායි කියල පෑලිස්ට නං විස්වාසෙයක් තිබ්බා. පෑලිස් හොඳට හොඳට බලනකොට දැක්කා මුවෝ රංචුවක්ම කන්දට ඇවිත් දලු කොල උලා කනවා. හීං එවුං දෙන්නෙකුට මේ ලෝකේ සිහියක් නෑ. අත්, කකුල් ගස්ස ගස්ස පස්ස උඩ දම දම එක සීරු නටනවා.

"කහට එකයි සීනි  බෝතලෙයි මෙහෙටම ඇන්න ආවා.. "
"හ්ම්.. ඒක හොඳයි නංගිටත් ලස්සන බඩ්ඩක් පෙන්නන්ටත් එක්ක.. අර කන්ද දිහා බලංටකෝ... "
"අප්පෝ.. මුවෝ රංචුවක්.  පහලවක්වත් ඇති මයෙ හිතේ. අනේ.. අර පැටියෝ දෙන්නා බලංටකො.. තියෙන දහංගලේ."
"මාත් මේ ඒ දෙන්නා දිහා තමයි බලාන හිටියේ.."
"නෑ... නෑ........ අයියගෙම පැටියෙක් අද හෙටම දෙන්නං දෙයියෝ. ඒ හේතු කාරයා ඇවිත් ඕං....!"

                         පෑලිස් ඉඳගෙන හිටිය ලෑල්ලෙං නැගිට්ටා නෙවෙයි එතන ඉඳලම ඩිංගිරී ලඟට ඉගිලුනා වාගේ.... ඩිංගිරී උස්සා ගංට හැදුවේ.
"හා හා... මේ කහට එක ඉහිරෙයි ඇඟෙත් එක්ක. ඕක අයෙ කවුරුවත් ඇන්න යනවා නෙවෙයි මයෙ දෙයියෝ... දැං කහට ඩිංග බීල ඉංටකෝ."
"මට ඕනෑ ඇති කහටක් නෑ.. මං මොකදෑ කරංට ඕනැන්නේ..  ඔය කෝප්ප දෙක කොට්ට පිල උඩිං තියංටකො."
"අදවත් අම්මලා දෙන්නටත් කියංට ඕනෑ. අපි දෙන්නම ගෙවල් පැත්තේ යංට බැරි වෙයිද? අද මොකද්ද කරංට හිතා ගත්තේ?"
"ඒකට කමක් නෑ. යං දෙන්නම ගිහිං එමු...  සුමානේකිං  විතර යංටත් බැරි වුනා නේද...  හා අර ඊයේ හාරාන ආව කටුවල කොටහවල් ඇන්න යං.. "

                                *                                *                                     *

"බලාන හිටපං..... හදල දෙඤ්ඤං උඹට දොලදුක් කෑම. " ඩිංගිරීලා පෑලිස්ලෑ ගෙදෙට්ට ගොඩවෙනකොට එහෙ අම්මා පෑලිස්ගෙ නංගිට බැන වදිනවා. "පුලුවන් නං ඔය රොටී කාපං බැරි නං කුද ගහ ගන්නිං."
"මොකොදෑ අපෙ අම්මා.. "
"ආ ලොකු දුව... බලපංකො මේකිට රොටී කංට බැරිලු. අර ඉඳි ආප්ප කියන එව්වා ඕනැලු. එව්වා හදංට මට තවම පාංපිටි පදම ගංට බෑ. එහෙම නැත්තං කටුවල තම්බල ඕනැලු. කොහෙ තියෙන කටුවලද?" ඩිංගිරී පෑලිස්ගෙ මූණ බලල හිනා වුනා.
"අපෙ නංගී, කටුවලද ඕනැන්නේ? හ්ම් හෙට උදේට හදල දෙංට කියංටකො..." පෑලිස් කිව්වා.
"දැං මොකවත් කාල බීලද ඉන්නේ ලොකු පුතාලා. විජහට රොටී හදංටද? යස කීලං කරෝලත් තියෙනවා."
"එපා අම්මා කිරිබත් කාල ඉන්නේ ඔය. පොල් ඩිංගක් තිබ්බ එක රැල් පිටිං දාල හැදුවා. ඇන්න එංට එකක් තිබ්බෙත් නෑ." පෑලිස්ගෙ අම්මත් එක්ක ඉයන ගෙට යන හිටං ඩිංගිරී කිව්වා.
"ලොකු පුතා අද වැඩකට පෑහුනේ නෑ."
"නෑ අම්මා... අද මං මේ එකක් කියල, නැගිට ගත්ත වෙලාවේ ඉඳල උඩ පැන පැන ඉන්නේ ඔයෙ...!"
"ඒ මොකද්දෑ.. "
"මට මඩු පිට්ටු වැලි තලප කංට හිතෙනවා කියල... "
"ඈහ්.... හැබෑවටමද මයෙ දුව?" පෑලිස්ගෙ අම්මා ලිප දිහෑයිං ඩිංගිරීගෙ මූණ බලංට ඔලුව ගස්සල ගත්ත පාර බෙල්ල උලුක්කු නූනා ඇති. උන්දෑ ඩිංගිරීගෙ මූණ දෑතිං අල්ලාන හඳුංපොතේ තියාන ඔලුව අත ගානවා... කියවනවා... කඳුලක් පිහිදානවා. තංතෝසේ ඇස් දෙකෙං වැක්කෙරෙනවා.
"මං හෙටම හදල දෙන්නං මයෙ අම්මා. මඩු පිට්ටු වලිං අප්පච්චී නං එපා කියයි වද්දෝ.  පිට්ටු ගෙඩියට දාංට මුරුංගා කිනිත්තක් වත් හොයා ගංට තියෙන එකක්‍ යැයි මේ දවස්වල."
"ගෙදර ගහක මුරුංගා රිකිලක් දාල තිබ්බා.. කොල මිටක් තිබ්බොත් මං අයියා අතේ එවන්නං අම්මා."
"දැං ඉතිං ඌස්න කෑම නවත්තා ගංට පුලුවන්නං හොඳයි. ඒත් ඉතිං එහෙම තෝරා බේරල කංට අපට පුලුවනෑ. පුලුවං තරං පරිස්සං වෙංට. වී කොටනවා, බර උස්සනවා වාගේ එව්වත් නං හොඳ නෑ මයෙ දුව. මං දවල්ට බත් ඩිංගක් ඉයන්නං. කාලම යංට. "
"හොඳයි අම්මා.. අපි පල්ලෙහාටත් ගිහිං එන්නං."
"හා.. ඒක හොඳයි. එහෙදී කෑමට නවතිංට එපා. කියල එංට.
මයෙ  දුව, කඳ සුද්ද වෙන එක නතර වෙල  දැං ...."
"ඊයෙට මාස දෙකයි අම්මා.."
"මේ උඳුවක් මහ, එතකොට දුරුතු නවං මැදිං බක් වෙසක් පොහොං... එතකොට වන්නිය බංඩාර දෙයියන්නේ පිහිටෙං, ඇහැල මහට විතර බලාපොරොත්තු වෙංට පුලුවං. හොඳයි මහ වැහි කාලේකුත් නෙවෙයි." පෑලිස්ගෙ අම්මා කිව්වේ අත්වල ඇඟිලිත් ගනං කරල.

"ඔන්න පුතාලෑ අප්පච්චිත් ලොකු අත්තා කෙනෙක් වෙංට යන්නේ..!" ඩිංගිරිලා පල්ලෙහා ගෙදෙට්ට පිටත් වෙල යන කොටම පෑලිස්ගෙ අම්මා කිව්වේ.  මහ දෙන්නත් ඒ ගැන හුඟක් සංතෝසෙං කතා කෙරුවේ.
"කඩේට ගිහිං එංට වෙයි. බී ලූනු කාලක් බාගෙයක් ගේංට. අල ඩිංගක් ඉස්ම තියෙංට හදන්නං. අලත් තියෙනවා, පරිප්පුත් තියෙනවා. තව බටු කොඳ ඩිංගක් තෙල් දාමු. බීලූනුත් එක්ක කරෝල කෑල්ලකුත් තෙල් දාමු."
"සාඩිං ටිං එකක් ගේංට, හොඳ නැති වෙයි ද? පොල් ඩිංගක් දාල ඉයල ගනිමු. එතකොට මහ ඌසුනක් නෑ."
"නැත්තේ නං නෑ. ඒ වුනාට කමන්නෑ. ගේංටකො අදට විතරයිනෙ."

                           ඩිංගිරීලෑ ගෙදරත් කෑම තනංටයි ලැහැත්ති වුනේ. දෙපොලකිං කංට පුලුවනෑ. අයෙ වෙලාවක කිව්වා.
"එහෙනං තෝර කොල ඩිංගක් ඇන්න පලැං හෙටවත් මලවා ගංට. තම්බා දියෑර ගංට තේරෙනවා නේද මයෙ දුව?"
"පරිස්සං වෙංට ඕනෑ... කකුලක් ලෙස්සා ගංට එහෙම නොදී. ඌසුන ජාති කංට බොංටත් එපා.... හීං එකීට රත්තයාවත් හැදෙයි. පරන සරමක් එහෙම තියෙනවා හානකඩමලු වලට. එව්වා අයෙ හෝදල හොඳට අව්වේ දාල ගනිමු. "
"කල් තියෙනවා අපෙ අම්මා තව. පෑලිස් අයියා වාගෙම අපෙ අම්මත් කැමති දුවෙකුට...."

                            පෑලිස් හවස් වරුවම ගෙදර හිටියා. තව සැරයක් ලිඳ ඉහල සුද්ද කරල  දැම්මා. ගල් පතුරු ටික පිළිවෙල කරල ලිං මිදුලත් එක විදිහක් කෙරුවා. සැරෙං සැරේට ඩිංගිරීට මොනවා හරි කියනවා. හිනා වෙනවා.

                            දැං මේ ආරංචිය ලැබුනම ගමේ බවලත් ඇත්තෝ වැල නොකැඩී ඩිංගිරී බලංට එනවානෙ.. බුලත් තුන පහ ගෙනත් තිබ්බා. සීනි තේ කොලත් ඩිංග ඩිංග. ගේත් ඩිංගක් අස් කරල දැම්මා.
"නංගී දන්නවද... මට ඕක මාසෙයක් විතර තේරිල තිබ්බේ."
"ඒ කොහොමද?"
"නංගිගෙ මූණ පිරිල... මෙන්න මේ කම්බුල් එහෙම තිබ්බට වැඩිය ලස්සන වුනා."
"හ්ම්ම්ම්ම්.. "

                                                                                          simple"s"
2019.04.01