Saturday, November 30, 2019

උඩගෙදර කතා 203 ලිං කටෙං වැටුන එකා 64

ලිං කටෙං වැටුන එකා   64

                  කවුරු හරි මා දිහා බලාගෙන හිටියා නං නොවැරදීම හිතන්නේ මට පිස්සු කියල. ගණිතය ලියන මොනිටර් එක්සයිස් පොතේ කොල හයක්වත්, මැද නූලක් දිගේ ඉර ඉර ගත්තේ. ලියුම් ලියංට කොටු රූල් කොල වලට මං කැමතියි. පිරිමැහිල්ලට නෙවෙයි. මට හිතෙනවා කොටු රූල් වල ලිව්වම ලස්සනයි කියල. පිස්සු.... මේ මහ දිග ලියුමක් ලියංට නං කමන්නෑ... පිටු බාගයක්... වැඩිම වුනොත් දෙපැත්ත.. අර අහිංසකීට... මයෙ ජිනා නංගිට...

                  ඉස්සර වෙල ලිව්ව එකේ, "අපෙ අම්මලා කොහොම අකමැති වුනත් මං නංගි මුණ ගැහෙනවා.." කියල මැදදී එක් වුනා. මම ජිනා මුණ ගැහෙන එකට ගෙදරින් කැමති නෑ කියල ජිනා දන්නෙ නෑ. ඒක ඉරල හීං කෑලි වලට ඉරුවා. දෙවෙනි එකේ එක තැනක  "ලතා" කියල ලියවුනා. වෙන කල්පනාවක් පිට. ඉතිං පෑනෙං කපල තියංටත් නෙවෙයි. මට කායෙං හරි ලැබෙන ලියුමක මොනවා හරි ලියල කපල තිබ්බොත් මට හිතෙන්නේ..'ලියංටත් හේතුවක් තියෙංට ඕනැ... කපංටත් හේතුවක් තියෙංට ඕනෑ.' කියලයි. ජිනාට වුනත් එහෙම නොහිතෙයියැ.  ඉතිං ආපහු ලියංටම ඕනැ වුනා. 

                    හේතුවක් කියන්නෙ නැතිව, මම ජිනා ආශ්‍රය කරන එකට දැං ගෙදරින් ප්‍රශ්ණ කියල මං දයාට දවල් කියලයි තිබුනේ. ඒ කතාවෙං පස්සේ... දයා කරපු එක පැහැදිලි කිරීමකිං මයෙ හිත කීරි ගැහුනා..

"ඉන්දු අක්කා මාතර. TYPICAL DOWN SOUTH LADY කෙනෙක් සපූ.. කියන්ට තියෙන එක දෙයියන්නාන්සෙට හරිත් කියලා අරිනවා. මොකකට හරි එයා වැරදි මතයක හිටියත් ඒකම stand කරනවා. "
"මොකක්ද වුනේ.."
"කතන්තරයක් නැතිවාම නෙවේ. කෙටියෙන් මෙහෙමයි.. දෙන්නෙක්ගෙ affair එකකට ගෙවල් වලින් විරුද්ධ වුනා. Boyත් ටිකක් වැනෙන විදියට ඉඳලා තියෙන්නේ. දෙන්නා එකඟතාවෙන් වෙන් වෙලා. පස්සේ ගර්ල් මැරී කරලා. බෝයි suicide කරල. ඔය කතාවට ඉන්දු අක්කා දුන්න එයාගෙ විග්‍රහ හරි සැරයි. හීනෙන්වත් හිතුවෙ නැති සමහර තැන් වලදී එයා මටත් පහර ගැහුවා. මම නිස්සද්දව හිටියා... මම කොටු වුනේ එයාගෙන් උදව්වක් ගන්ට ගිහින් හින්දා."
"මට පැහැදිලි නෑ දයා."
"ඔව් මම දන්නවා සපු."
"ඔය ගර්ල්ගෙ ඊතල පාරක් වාගේ සැර බැල්මක් හින්දලු ඔය affair එක පටන් ගැනුනෙ. බැල්මක් ඔය තරම් දුර ගියා නම් වැඩි දෙයක් වුනොත් ...? කියන එක එයාගෙ ප්‍රශ්නය."
"ඉතිං ඉන්දු අක්කා ඔයාට පහර ගහන්නේ ඇයි ?"
"ඉන්දු අක්කා මට සහෝදරී වෙන්නේ. ඒ අය සැක කරනවා එයාගෙ නංගියි මායි සම්බන්ධයක් හදා ගනියි කියල... ඒකයි."
"ඇත්තටම එහෙම සම්බන්ධයක් තියෙනවද?"
"එහෙම පොඩි පොඩි ඒවා නැත්තේ කාගෙද? "දයා හරි උත්තරයක් දුන්නෙ නෑ.

                   මට කිසි සම්බන්ධයක් නැති වුනත් දයා කිව්ව මේ කතන්තරේ මයෙ හිතට මහා බරක් වුනා. හිනාවෙල හිටියත් හැම වෙලේම මේ කතන්තරේ මතක් වෙන්නේ. මං දැනටම ලොකු වැරැද්දක් කරල වාගේ හිතට දැනෙන්නේ. මට ජිනා නංගිට ලඟදිම දවසක කියංට වෙන දේ මට මැවෙනවා. මුලු ලෝකෙන්ම මං කොං වෙල, තනි වෙල වගේ මට දැනෙන්නේ. 
                                 
                   සෙමට හොඳ වෙන කොට වාතෙට හොඳ නෑ...  වාතෙට හොඳ වෙනකොට පිතට හොඳ නෑ ...පිතට හොඳ වෙනකොට... කියල අප්පච්චී කියන කතාව මට මතක් වුනේ. ඒ ඔක්කොටෝම හොඳ වෙංට, අවසානේ මයෙ ලියුම නතර වුනේ මෙන්න මේ වචන ටිකේ..
          
        " මොන දෙයක් ගැනවත් හිත කලබල කර ගන්ට එපා. මම නංගිගෙන් ඈත්
         වෙන්නෙ නෑ. "

                   හපනා වාගේ එහෙම කිව්වට.... මොනවා වෙයිද... ? ඊලඟ නිවාඩුවට ම එයාට කතා කරන එක අපෙ අම්මලා තහනම් කරයිද කව්ද දන්නේ.. පස්සේ ඕනෑ මගුලක්, ජිනා නංගිගෙ මේ දෙසැම්බරයේ ඕ ලෙවල් විභාගේ ඉවර වෙනකල් ලඟිං ඉංට ලැබුනොත් ලොකු දෙයක්. 

                      මේ වචන දෙක ජිනා නංගිට ලැබෙනකොට මටත් එයා එව්ව එයාගෙ Identity card photo එකයි, ස්ටුඩියෝ එකේ අයට වැරදිල ගැනුන තව එකකුයි ලැබුනා... කී සැරයක් මං එව්වා බැලුවද මං දන්නෙ නෑ. වැරදිල ගත්ත එකට තමයි මයෙ හිත ගියේ. මයෙ හිතට මහ ආඩම්බරයක් දැනෙන්නේ... මේ ලස්සන කෙල්ල ම...... ! මං දයාටත් පෙන්නුවා. එයාටත් සතුටුයි. හොස්ටල් එකේ තව අයත් ලයනල් ගෙං එහෙම  දැක්කා. හැම දෙනාම මොනවා හරි කිව්වා. වැඩි දෙනෙක් "ලස්සනයි" කියලත් කිව්වා. මට සතුට ඉහවහ ගිහිං..... හිතුන දේ කවදා හරි මුණගැහුනම කියනවා විනා ලියල යවංට බෑ. මට හිතුන දේ ගෙදර ආවම කියන්නං කියල ලියල යවංට හිතා ගත්තා. ක්‍රේල් කොන්ඩේ, පිරුණ මූණ, ලා හිනාව, හීනි වුනත් ගැඹුරු ඇස්...!

                       මේ අතරේ පහුවදා මයෙ IDENTITY CARD PHOTO ත්  ඇවිත්... එක පැත්තක කොන්ඩේ උඩ ගිහිං. පීරල නෑ. කිරෝනාකැටිය කන්දේ කැලෑව දිහා බලල වාගේ. යන්තං මෝරච්ච පෙනුමක් නං නෑ. දයා ලයනල් එහෙම කිව්වේ Smart කියල. උන්ට පිස්සු. එහෙම නැත්තං ඇස් අමාරු. මට වෙන ෆොටෝ එකක් ගංට පුලුවන් නං ඒකත් කරනවා. අඩුගානේ Shirt එක හදලවත් නෑනේ ස්ටුඩියෝ එකේ හැත්ත. එක අතකට උන් මොනවා කරංටද... ඉන්න විදිහනේ. කොහොම වුනත් ජිනා නංගිට පොරොන්දු වුන හැටියට එයාට එකක් යවංට ඕනෑ... අපරාදේ ... අර ලියුම එක්කම යවංට තිබ්බා. තව කොපියක් දෙංට පොරොන්දුවක් නං තිබ්බා.... ලතාට!

                       දිසානායක සර් හැම අතිම්ම අපිට පියෙක් වාගේ... වයස, කතාබහ, ලමයින්ට ආදරේ.... කොයි දේත්! සර් හරියටම පන්තියට ආවේ අපිට ෆ්‍රී ඩබල් පීරියඩ් එකක් තිබුන වෙලාවේ. මේ වාරේ දෙකේ Free Periods කියන්නේ අපිට මසුරන් වාගේ.... ලමයි ඔක්කොම කැමතියි. අපි කතා කර කර හිටියෙත් මේ ඉහලම නිදහසක් අත් වින්ද, අපෙ ප්‍රතිපල ආව වාරේ අපි වාර විභාගෙදි පංතියේ ගත්ත වෙනියා ගැන. වැඩි දෙයක් ඕනැන්නෙ නෑ.. විදිහ හිතා ගංට මයෙ ප්‍රතිපලේම ඇති... දිගටම 5, 3, 5, 3 ආව මං 13 වෙල! ඒවත් ගානක් නෑ අප්පා!

"ඊයේ හවස සපුමල් ට වෙච්ච දේ මට නං තේරුනා. තවම පුරුදු වෙනවා නේද? අපි දෙන්නා මැදින් යනකොට control නැතිව ගියාවෙන්ට ඕන... ඒ වුනාට කාලයක් යනකල් පන්සල පැත්ත පලාතේවත් යන්ට එහෙම එපා. ලොකු හාමුදුරුවන්ට හොඳටම තරහ ගිහින් ඉන්නේ."
"එහෙමයි සර්... කොන්ට්‍රෝල් කරනවා තියා මම බය වුනේ, බයිසිකලේ සර්ගෙ හරි ලොකු හාමුදුරුවන්ගෙ හරි ඇඟේ වදියිම කියල."
"හ්ම්... පුරුදු වෙනකොට ඔහොම තමයි."
"මට හිතේ අමාරුව තිබුනේ අපෙ සර් ඉස්සරහිං කිසි ගරු සරුවක් නැතුව වාගේ බයිසිකලේ පැදගෙන ගියාට."
"හා... දැන් ඕක ගනන් ගන්ට එපා. පරිස්සමින් පුරුදු වෙන්ට."  කියල දිසානායක සර් කිව්වා. මට කකුල් දෙක බදාගෙන වඳිංට හිතුනා. 

                        දිසානායක සර් දුන්න හිතේ හයියෙංද මං දන්නෑ.. පහුවදා after school මං නුගවෙල හංදියෙං කුරුනෑගල පාරේ හතරේ කනුවටම බයිසිකලේ පැද්දා. ඒක හරි ජොලි! ඒ විතරක් යැ... ඉස්කෝලේ ඇරිල යන, දන්න කෙල්ලොම කී දෙනෙක් මයෙ දිහා බලාගෙන හිටියද...!

                                                                                             simple "s"
2019.11.29

පින්තූර අන්තර්ජාලයෙන්

No comments:

Post a Comment