Sunday, December 30, 2018

උඩගෙදර කතා 115 (ලිං කටෙං වැටුන එකා 05)


ලිං කටෙං වැටුන එකා   05

"මයෙ පුතා දෙවෙනි මහත්තයට කිව්වද... රෑණ කෙටූ ගලේ ඉඩමේ ගෙයක් හදංට ඕනෑ කියල?"
"දැං ගෙයක් හදා ගත්තොත් නරකද කියල දෙවෙනි මහත්තයම ඇහැව්වා අප්පච්චී. ඊට පස්සේ අපෙ ඉඩං ගැනත් අහල ඔය ඉඩම හොඳයි කිව්වා. ඒකේ හදංට පටං ගංටත් කිව්වා. ඇයි... අප්පච්චිට මොකද කිව්වේ?"
"නෑ... මොකුත් නෑ.. පුතේ කැමැත්තක් කරගත්තට අපෙ අකමැත්තක් නෑ. අනික් දෙන්නටත් ඕකෙංම ඩිංගක් ඉතුරු කෙරුවොත් නං හොඳයි. බඩපිස්සට නං මේක දෙංටත් පුලුවං. ඔව්වේ මොකවත් ආරව්ලක් ඉතුරු කරංට ඕනැන්නෙ නෑ. කවදා හරි පිටිං පව්ලට පෑහෙන එව්ං තමයි ඉතිං ඔව්වට ගං ඇදයක් හදා ගත්තොත්. ඒකටවත් ඉඩක් ඇයි. අද හෙට හොඳ කෑල්ලක් සුද්ද කරල දාමු. මේ කන්නේ හේං වැඩ පටං ගංට කලිං, කෑලි දෙකක් තුනක් විතර තියෙංට තනංට බලමු."
"හොඳයි අප්පච්චී."

"අර ගං දෙකේ මස්සිනා පණිවිඩයක් එවල තියෙනවා. කොයි වෙලාවේ හරි මෙහෙ ඇවිත් යංට එනවා කියල."
"ඒ මොකටද?"
"උන්දැගෙ බාල කෙල්ල ගැන කතා කරංට..."
අප්පච්චී... දැම්මම පණිවිඩයක් යවංට මම දැම්ම ඔව්වා ගැන හිතන්නෑ කියල."
"ඒ වුනාට එව්වත් කෙරෙංට එපායැයි."
"එව්වට කලිං තව කීයක් දේ කරගංට තියෙනවද අප්පච්චී."

"හොඳයි කියල හිතෙන විදිහක්.. හා.. මං දෙවෙනි මහත්ටයටත් කිව්වා. ඒක හොඳයි කියල මහත්තයත් කියන්නේ. ඒත් කාමර කෑලි දෙකක්වත් තනල දීල, තනියෙම මොකවත් හරි හම්බු කරගංට පුලුවං වෙනකල් ඉංටලු."
"අනේ අප්පච්චි මට දැම්ම තනියම හම්බුකරංට ඕනැන්නෙත් නෑ. ඔය හැම එකම පස්සේ පුලුවං. ඔන්න ඔය කැලේට ඇරිච්ච ඉඩං කෑල්ල සුද්ද කරගෙන කොස් පැලයක් පොල් පැලයක් හිටුවල දාමු. දැනට එහෙම ඇති."

"ඒත් ලොකු පුතා ඕකේ අරක මේක හිටෙව්වට පරිස්සං කර ගංට බැරුවෙයි.. සත්තුන්නෙං."
"බලමු අප්පච්චි.. ඔය පැල ජාති වට කරල හොඳට ලඟිං ලඟ පැල ඉනි වැටවල් බැන්දොත් සත්තුන්නෙං බේරාගංට බැරි වෙන එකක් නෑ."
"හොඳයි. හොඳයි. මයෙ පුතා."

                   *                         *                        *

"අප්පච්චි පොල් පැල කීපේකුයි වරකා පැල කීපේකුයි හොයා ගත්තොත් හොඳයි නේද?"
"මං උඩගැම්මැද්දේ වලව් වත්තේ මලයගෙං ඇහැව්වා. වැටිච්ච පොල් ගෙඩි හතාටක් පැල වෙංට දාලත් තියෙනවලු. වරකා ඇට නං ඇති පදං පැල වෙල තියෙනවලු, ඕනෑ වෙලාවක ගලවාන එංට කිව්වා. ගම්මිරිස් මැටි පලා වැලුත්  තියෙනවා කිව්වා. ගිනිසීරියා කෝටු ටිකක් ඈතිං ඈතිං කලිං හිටුවල තියල වැහි පටං ගන්නකොට එව්වා ගලවාන එංට කිව්වා. තව ඔය කෙහෙල් පැල,  ඖෂද පැල ජාති එහෙමත් තියෙනවා කියල 'වෙලාවක එංටකෝ' කිව්වා."

"අප්පච්චි.. ඔක්කොටෝම කලිං වැට බැඳල ඉංට වෙයි නේද?"
"ඔව් පුතේ.. ඔය ගිනිසීරියා ඉනි ඇති තරං හොයා ගංට තියෙන්නේ. හෙට අනිද්දා ඒකත් කරමු."

                 *                          *                         *

                    ඔය වෙනකොට යස ගේ ඩිංගක් හදල.  කැලෙං හොයා ගත්තු ගෙඩි ලී වලිං තනල, වහලේ, යටට ඉලුක් තට්ටුවක් බැඳල ඊට උඩිං පිදුරු වැහැව්වා. බිත්ති, වත්තෙම තිබ්බ කැට ගලුත් තිය තිය වරිච්චියෙං බැන්දා. ඒ කරල වැලි මැටි කපරාදුවත් ගැහැව්වා. සෑහෙංට ගොරහැඩියි තමයි. ඒ වුනාට තරමකට පිළිවෙලයි. හුනු පස්සේ. දොර, තව් මරල ගත්ත බට උන ලීවලිං පැලැල්ලක්. ටිකක් දවසකටනෙ.

"අප්පච්චි හේනක හදන පැලකට වැඩිය බොහොම ඉහලිං මේක හැදුවේ මං ඕකේ පදිංචියට එයි, ඉක්මනිංම කෙල්ලක් ඇන්න එයි කියල හිතල වෙංට ඇති." පෑලිස් හිතුවා. ඉඳල හිටල උදව් කරංට ආව යාලු කොල්ලොත් එහෙම කිය කිය කවටකං කෙරුවා. ඒ වුනාට පෑලිස්ගෙ හීන ලෝකේ තියෙන දේවල් ඔය කිසි කෙනෙක් දන්නෑ.

"මයෙ පුතා, වැඩක් කරන වෙලාවක මාන්සියට ඇලවෙල ඉංටත් එක්ක මෙතනිං ගෝහාල මැස්සක් හදල දාමු. ඕනෑ පදං ගෝණි පඩංගු තියෙන්නේ ගෙදර. එව්වා එලා ගංට පුලුවං. "
                   ඉරුං පට්ටලේ ගෙදරිං දිග පිට ලෑල්ලකුයි වෑයයි ඉල්ලාන ආවා. පිට ලෑල්ල තව ටිකක් රැහැල හොඳ ලෑල්ලක් වාගෙම හැදුවා. ගෙදරම තිබ්බ බුරඳ ගෙඩි ලීයකුත් රැහැල හතරැස් කෙරුවා. වියත් හතරක් විතර උහට කෑලි දෙකක් කපල එව්වේ කෙලවර දෙක කිට්ටුවට වෙංට ඇඟිලි පුරුක් දෙකක් විතර දිග පළල සිදුරු විද්දා. ලෑල්ලෙත් කෙලවරවල් දෙකට වියතක් විතර ඇතුලට වෙංට අර වාගෙම ටිකක් ලොකු සිදුරු දෙකක් විද්දා. සන්දෙං ඇන්න ආව ඒකටම ගැලපෙන ගොරහැඩි බාගේ නියන ගෙදරම තිබ්බේ. කණු දෙකේ කෙලවර, ලැල්ලේ සිදුරු දෙකෙං දාල එව්වේ විදපු සිදුරු වලිං කූංඤ්ඤ ගැහැව්වා. පරාල ලී දෙක්කට උඩිං යන වෙලං ගොබිලක් අනික් සිදුරු හරහට දාල එල්ලුවා. දැං යස ඉද්දර ලෑල්ල. ඒකේ අම්මා වියන ගල්ලැගැ වට පෙට්ටි විතරක් නෙවෙයි, පකිස් පෙට්ටියක් වුනත් තියා ගංට පුලුවං. රට අඹ ලෑලි පකිස් පෙට්ටි දෙකක් ගෙනත් ඉඳගංට බංකු දෙක්කුත් හැදුවා. දොර ලෑල්ලත් ඔය ගමම්ම පිට ලෑලි වලිං හදංට පෑලිස්ගෙ හිතට ආවත් ඒක ටිකක් පහු කෙරුවා. ඒක වෙලා යන වැඩක්.

                 ගේ හදාගෙන යද්දී සැරිං සැරේ ගමේ වැඩිහිටි ඇත්තෝ කීප දෙනෙක්ම එතෙංට ආවා. ගලක් ලීයක් ලංකරල දෙනවා වාගේ එව්වත් කෙරුවා. ඔය සේරම හිතවත්කම පෙන්නංටනේ ඔය.
ඩිංගිරීගෙ අප්පච්චිත් එහෙම ආව එක්කෙනෙක්.
"හොඳ වෙලාවක් බලල, ගිහි පිරිත් ඩිංගක්වත් කියවල පදිංචි වෙංට ඕනෑ දරුවෝ."
"ඒක ඇත්ත මලෑ..." අප්පච්චිත් කිව්වා.
"උඹලා දෙන්නම එකතුවෙල‍යි ඕක කියවංට ඕනැන්නේ." කියල පෑලිස්ට කියංට හිතුනා. ඒත් හිනාවෙල කරබා ගත්තා.

                  ගේ හදංට පටං ගත්තේ නැකත් බලල නෙවෙයි.  අප්පච්චී කිව්වේ, "පරම්පරා ගානක් ඕකේ ඉංටයැ. ඔය බ්‍රාස්පතිංදා දවසක් බලල වැඩ පටං ගමු පුතේ.." කියල.

                  පහුවදා නං පෑලිස් ගල්පොත්තට නාංට යනකොට  ඩිංගිරී විතරයි එතන හිටියේ. කලිං වතාවල් කීපෙකම තව කව්රු කව්රුහරි හිටියා. ඒ වෙලාවට අඳුරන්නේවත් නැති ගානයි. හැදිච්චිකොම! දෙන්නගෙම!

"අයියා මේ දවස් ටිකේම ආවෙ නෑ."
"වැඩක් කරනවනෙ මේ ටිකේ...මට විතරක් පේංට නංගිත් හිටියා එතන....!

අද මේ වැඩට අඳින රෙදි කෑලි දෙක හෝදා ගංට කියල. අද වැඩත් නෑ. පාලොස්වකනෙ."

"කොයි දෙංට මං හෝදල දෙන්නං...
මට ආසයි අයියා. 

මං රෙදි හෝදනකොට අයියගෙ රෙදිත් හැමදාම ඒ එක්ක තිබ්බා."
"දාඩිය සැරත් එක්ක..?"
"නෑ... මට පුසුඹයි මයෙ අයියා... 

ගේ හදනවා කියල අපිටත් ආරංචියි. අප්පච්චි ඊයේ ගෙදර ඇවිත් එක වරුණාවයි.. ලස්සනයිලු, හිත දහිරිය තියෙන කොල්ලෙක්ලු, වත්තේ හදා ගංට මොනොවා හරි පැලයක් දෙකක් ගිහිං දෙංට ඕනැලු...
උන්දැට ලොකු වෙච්ච පුතෙක් නැතුවට දුකයිත්. අප්පා... බලංට එපායැ, වරුවක්ම ඒ කතාව."

"අන්න හරි...., නංගී ආසා පැලයක් දෙකක් එවංට..."
"එවංට.. ? ඇයි මංම ඇන්න ආවොත්?"
"එහෙම්ම නවත්තා ගංට හිතෙයි මට!"
"අනේ අයියා ඇත්තටම මට ආසයි ගේ බලංට.."
"කලබල වෙංට එපා. නවතිංටම එංට පුලුවං ඉක්මනිම්ම."
"නා පැලයක් හොයල එවංට මට හිතුනා. කමක් නැද්ද?"
"නා පැලෙයක්..! කොච්චර එකද්ද... ඒත් නංගී කොහොමද නා පැලයක් හොයන්නේ? මම්ම එකක්.. "
"නෑ.. නෑ... , අප්පච්චි කැලෑ කොළණියෙං ඇට අහුලාගෙන ගිහිං දාල පැලවෙල තියෙනවා. මං එව්වෙං එකක් දෙකක් එවන්නං."

"නංගී වෙලාවකට මට හිතෙනවා මේ දෙගොල්ලන්නේ කැමැත්ත ගංටත් බැරුවෙන එකක් නැද්ද කියල."

"ම්හ්ම්... ඒක විස්වාස නෑ.. ඔය අයියා ගැන වරුණාව කිව්වට එහෙම එක්කදී වෙනස් වෙනවා අයියා."

"හොඳයි... කිට්ටු වෙද්දී බලමු මොකද්ද කරන්නේ කියල."

"හොඳයි අයියා.."

"මට ඉස්සරහ දවස්වලත් නංගී එන වෙලාවට එංට බැරිවෙයි. දිගටම වැඩ තියෙනවා."
"තව හුඟාක් කල් එහෙම වෙයිද?... කමන්නෑ... මං ඉතිං එතකං සීපද මුමුණ මුමුණ ඉන්නං මයෙ දෙයියෝ...."

                    *                      *                       *

අව්වේ තියෙන රැස් මාලා අඩු     වේවා
ගව්වෙං ගව්ව දිව මාලිග          සෑදේවා!


                                                           simple "s"

                     

No comments:

Post a Comment