දින පොතේ ලියංට මතකෙට එන දේවල් කන්දරාවයි. එව්වා කී සැරයක් නං හිතට ආවද! ලියංට දේ තෝරා බේරා ගංටයි පෙල ගස්සංටයි තමා අමාරු. අදත් ජිනා අපෙ වත්තට ආවා."අයියට මුන ගැහෙන ඉල්ලුම් පත්තර කැඳවීම් මොනවාහරි මටත් කියංට..""හදිස්සි වෙංට එපා.. එන්ට්‍රන්ස් කරන අතරේ තව එක සැරයක්වත් ඕ ලෙවල් කරංට. ඒකට කමක් නෑ. ඒත් කොහොම හරි නංගි එන්ට්‍රන්ස් කර ගංටම ඕනෑ.""මට ආසා නෑ අයියා. පුලුවන් නං ජොබ් එකක් කරන අතරේ external digree එක කරනවා.""කව්ද අර ගින්දර වාගේ මැඩම්ගෙ උපදෙස්ද? මං දන්නවා, හිතට ආව දෙයක් නංගී නොකර අරින්නෙ නෑ, කව්රු එපා කිව්වත් කියල. ඒ වුනාට මයෙ මේ ඉල්ලීම සලකා බලංට. දැම්ම ජොබ් එකක් කරංට වයසක්ද.. එහෙම නං ශිෂ්‍ය ගුරු තමා. ඔයා දැම්මම උගන්නංට ගියොත් දැනෙයි... පංතියේ කොල්ලොත් ලව් කරංට එයි...""එව්වට කව්ද බය අයියා....""External කරංටත් A Level වැඩ හතර පාස් වෙලවත් තියෙංට ඕනෑ නේද?" අපි මේ වෙනකොට හිටියේ පැලේ ඔත්තප්පුවේ. ජිනා කලිම්ම ගෝහාල මැස්සේ ඉඳගෙන. එතන වාඩි වෙංට කියල ජිනාම මට නොකියා කිව්වා. ඒ ඉල්ලීම මගාරිංට මයෙ හිත ඉඩ දුන්නෙ නෑ. ඒත් මට මහ බයක් දැනුනා."මොකද්ද කියව කියව හිටියේ.. කෝ?" නංගී මයෙ දිහාට අත දික්කරගෙන ඇහුවේ. "දේයියන්ගෙ රටේ.." මම පොත දෙන ගමං ගෝහාල මැස්සේ ඉඳ ගත්තා."අම්මාවත් ආවොත් කියල බයයි නංගී...""ඒ ඔයාගෙ හොර හිත හිංදා. කෝක හරි.. අපි ඉක්මනට එලියට යමුකො..""ඒ කියන්නෙ ඔයත් බයයි නෙහ්..?"හ්ම්...""කරඹ මලත් පිච්ච මල වාගේමයි නේද?" අපි වැට ලඟට ගියාම ජිනා කිව්වා."ඒත් කරඹ ගහේ සැර කටු තියෙනවා..""නිකම්ම තියෙනවට වැඩිය කටු අතරිං තියෙනකොටත් සුන්දරයි!""ඒ වුනාට කටුවක් ඇනුනොත් සුන්දර තමයි. වේදනාව බලංට එපායැ.""අයියගෙ ඇනිල තියෙනවද?""ඇනෙංට ගහක් අල්ලල තියෙංට එපායැ.?""අල්ලලාම නැද්ද? හැබැයි ඇත්තම කියංට ඕනෑ.""මල් වල ලස්සනයි සුවඳයි බලංට ගහ අල්ලංටම ඕන්නෑ. ඇත්තම කිව්වොත් මේ මොහොත වෙනකොට නං කටුවක් ඇනිලද කොහෙද.. වේදනාව දැනුනොත් තමයි තේරුම් ගංට වෙන්නේ.""එදා මං ඇහුව එකට ඇයි උත්තර දුන්නෙ නැත්තේ.""කවද්ද.. එදා ආව වෙලාවෙද?""නෑ.. මං ලිව්මක ඇහුවේ..""මොකද්ද?""අයියා මගෙද කියල.""පොල්ලෙං ගහනවා වාගේ නැතුව ඔහොම අහන එකක්වත් සෞම්‍ය විදියට අහංටකො.""එහෙනං දැංවත් කියංට.""ඒකට උත්තරේ තමයි දැං ටික්කට කලිං දුන්නේ...!ඉස්කෝලේ අයට දැං මොකද්ද මං කියන්නේ. එක්කෙනෙක් දෙන්නෙක් ඇර ඔක්කොම වාගේ හිතාගෙන ඉන්නේ ඔයා මගෙම නංගී කියල. ලයනල් එහෙම මහන්සි වෙනවා මට කෙල්ලෙක් සෙට් කරංට, ඒ ඔක්කොටෝම ඉන්න හිංදා.""කව්ද ලයනල්ගෙ girl?""තිලකා කියලා.. හරිම විනෝදෙං ඉන්න එක්කෙනෙක්. එයා තමයි අර මට වැඩිමල් girl කෙනෙක් සෙට් කරංට ගිහිං ප්‍රශ්නයක් එහෙම වුනේ.""ඒ මොකද්ද?""උං එක්වෙල මං ලියන විදියට එයාට ලියුම් ලියල. අන්තිම එක ඒගොල්ලෝ බලන්නේ නැතුවම මට ගෙනත් දුන්නා වැඩේ confirm කියල හිතල. ඒ ලමයා කියල තිබුනේ "ඔයා මට බාලයි... ඒ හිංදා..." කතාවක්.""ඉතිං...?""ඕක බලන වෙලාවේ මං ඇඳගෙන හිටියේ වෙන එකෙක්ගෙ shirt එකක්. අර කෑල්ල මං කඩල ලියුමේ ඉතුරු හරිය චූටි චූටි කෑලි වලට ඉරල දැම්මා. ඒ කෑල්ල සාක්කුවට දාගත්තා. පහුවදා "ඒයි බඳිමුද?""බෑ.. ඔයා මට බාලයි.." කියල උං එක් වෙල මට පල් එක ගහනකොටයි මතක් වුනේ! මං ඒ shirt එක screen එකක එල්ලල තියෙන්නේ අර කෑල්ල සාක්කුවේ තියෙද්දි..!"ඉතිං....""මට බය හිතුනේ..""සර්ලට ලියුම් කෑල්ල යයි කියල.""නෑ බං... බූට් කෑව කන්ඩායමට මාත් වැටෙනවට!""ඉතිං මොකද කරේ?""කොහොම හරි සතියක් ඇතුලත කෙල්ලව..., සෝමව.... සෙට් කර ගන්න එක. අන්න එහෙමයි මයෙ 'ප්‍රථම ප්‍රේමය' පටං ගත්තේ!""දැං මයෙ ප්‍රථම ප්‍රේමය ගැන නෙවේ දෙවෙනි ප්‍රේමය ගැන කියංට ජිනා.""අයියා මට එකක් පොරොන්දු වෙංට ඕන... ""මොකක්ද?""මොන හේතුවක් හිංදා හරි... අහේතුවක් හිංදා හරි මට කවදා හරි අයියගෙං ඈත් වෙංට වුනොත් මට සාප කරන්නෙ නෑ... කියල.""ඒ මොන මූසල කතාවක්ද.. " ඒ කියන්නේ හිතෙන වෙලාවක පැත්තකට වෙංට බලය ඉල්ලීමක්? මයෙ හිත ගැස්සුනා. හිතත් එක්කම ගැස්සුන මයෙ අතේ ඇඟිල්ලක කරඹ කට්ටකුත් ඇනුනා."දෙවෙනි ප්‍රේමයට මගෙන්ම අවසර ඉල්ලීමක්ද?""අයියට හිත රෙදෙන බව නොදැන කිව්වා නෙවෙයි. විහිලුවට කිව්වත් නෙවෙයි. ඒ වාගෙ අවස්ථාවක් එංට තව ප්‍රේමයක්ම පැටලෙංට ඕන් නෑ අයියා. කොයි තරං විදියවල් තියෙනවද එහෙම අභාග්‍යයක් වෙංට..""හ්ම්... මොන පොඩි දේකට වුනත් මට සැක හිතෙයි ඒ කියන අභාග්‍යය පටං ගංටවද්ද හදන්නේ කියල." "මම වෙනස් වෙනවා කියන එක නෙවේ මං අදහස් කරන්නේ. මාව තේරුම් ගංට අයියා." ජිනා නංගී ගියාට පස්සේ මං පොත කියෙව්වෙ නෑ. ඉතුරු වෙලාව දිගටම අප්පච්චිලා එක්කම හිටියා."ජිනා මොකද කියන්නේ, විභාගේ හොඳට කර ගත්තා කියනවද?" "ඔව් අපෙ අම්මා... ඒ කියන හැටියට හොඳට කරල. එක ප්‍රස්න පත්තරයක් ටිකක් අමාරු වුනාලු. ජිනා පාස්වෙල ඇති අපෙ අම්මා.""අනේ හොඳයි.""මයෙ පුතා දැං මොකද හිතාන ඉන්නේ.. ?" අප්පච්චිත් ඇහැව්වා. "අප්පච්චී මං ඊලඟ ව්භාගෙට හොඳට මහන්සි වෙනවා. ඒත් ඉතිං පාස් වෙල විශ්ව විද්‍යාලෙට තේරුනත් කොහොම යංටද අප්පච්චි? අවුරුදු තුනක්වත් අඩු ගානේ ඉංට වෙනවා. ඉතිං අනික් ලමයි ඉල්ලන රස්සාවල්වලට ඉල්ලුම් පත්තරත් දානවා. එව්වෙත් වැඩි හරියකට දැං පන්දං අල්ලංට ඕනැලු. අපි අඳුරන කව්දෑ ඉන්නේ එහෙම දේකට.""මයෙ පුතා හිතාන ඉන්න විදියවල් හොඳයි. අපිට තේරෙන දෙයක් නෑ. අනික් ලමයි එක්කත් කතාවෙල හොඳයි කියල හිතෙන විදියකට කරංට. මතකෙම්ම දෙවෙනි මහත්තයා එක්ක ඔව්වා ගැන කතා කරංට. ඒ දෙයියට කරංට පුලුවං දෙයක් මයෙ පුතාට නොකර ඉන්න එකක් නෑ." මං අප්පච්චිට කිව්වේ බොරුවක් නෙවෙයි. විශ්ව විද්‍යාලෙට තේරුනත් මට යංට හයියක් නෑ... තව තව අප්පච්චිට මං කොහොම කරදර කරංටද කියන එක මයෙ හිතේ මුල් බැහැල තියෙන්නේ. අධ්‍යාපනය නවාතැං නොමිලේ ලැබෙයි. තව කීයක් දේට සල්ලි ඕනෑ වෙනවද! සපත්තු නැතුව, තියෙන මොකවත් ඇඳුමක් එල්ලාන ඉස්කෝලෙට ගියාට එහෙදිත් එහෙම කරංටද.... අයියට කොහොම කියල දිගට දිගට කරදර කරංටද... මෙව්වා හිතට එනකොට මට මයෙ ගැනම දුක හිතෙනවා. අප්පච්චිටත් බැරිකම හින්දානෙ මං හිතාන ඉන්න විදිය හොඳයි කිව්වේ. ඔය මොන මොනවා හරි දවල් කරල හැන්දෑවේ මැලවිල ගෙදර එන හැටි දැක්කම පපුව හෝස් ගාල වෙනවා. අප්පච්චිගෙම වචන වලිං කියනවා නං, වැස්සට හේදිල ගිහිං හිවල් කට වාගේ හෑරිච්ච අගල් වල, කඩුලු පැන පැන, ලෙස්සන ගල් පොතු උඩ වතුරේ යන එන හැටි, ඒ මදිවට වෙලාවකට දුංකල බේල් එකක්, බොංචි මල්ලක්, අමු මිරිස් මල්ලක් කර ගහගෙන.. අපෙ අම්මත් දැං නහකුණු ගානවා වැඩී.. ඇහැ පේන්නෙ නෑ, හැන්දෑ වෙනකොට කොන්දේ කැක්කුමයි කිය කිය. වෙලාවකට මී තෙල් නාගෙන... ඇත්තටම නං දැං වෙනකොට ගෙයක් ඇතුලකට වෙල දෙන්නම විවේකෙං ඉංට ඕනෑ කාලේ. හිතල කෙලවරක් දකිංට නැති අවාසනාවල් මෙව්වා."අපෙ අක්කා මේක අයියට දෙංට කිව්වා." හවසම ජිනා නංගිගෙ මල්ලී කෙනෙක් පොතක් ගෙනත් දුන්නා. රෝහිණී.."හරි මල්ලී..." මං මල්ලිගෙ ඔලුව අත ගාල පිටත් කෙරුවා."අයියා.. මයෙ කතාවට හිත නරක් කර ගංට එපා. ඇහැට පෙනෙනවට වඩා දෙයක් මම කිව්වේ. අයියා කියන හින්දම මම කොහොම හරි ඒ ලෙවල් කර ගන්නවා. කී සැරේ කරල හරි කැම්පස් එකටත් යනවා.මම පස්සේ වෙලාවක ආයෙ ඒ ගැන කතා කරන්නම්." කෙනෙක් දැක්කත් අමුත්තක් නොදැනෙංට, පුරුදු සෛලියෙං වෙනස් වෙල ජිනා නංගී කෙටියෙං ලිව්ව සටහනක් පොත ඇතුලේ. "අපෙ වැටේ පඳුරු වල කරඹ මල් පිරිල. එව්වත් පිච්ච මල් වාගේමයි. දැක්ක කරඹ මල් ගොඩෙං දැනුන සන්තෝසෙත් දුහුල් වෙල ගියා කරඹ කට්ට ඇනුනම. ඒක හරි සැරයි. අදත් ජිනා නංගී අපෙ වත්තටත් ගොඩ වුනා."
මං දින පොතේ ලිව්වා.
simple "s"
2020.01.31
පින්තූරය අන්තර්ජාලය ඇසුරෙන්.
No comments:
Post a Comment