Saturday, November 17, 2018

උඩගෙදර කතා 11 (මූකලං වී)

                                 "මූකලං වී"

මගෙ අප්පච්චිගෙ කෘෂිකර්ම (ප්‍රායෝගික) පාඨමාලාවෙන්.                (අංක 11)


"හා.. හා.. එපා මයෙ පුතා.."
                    මං කුඹුරේ ඇල අයිනේ ලොකු ගහක මුල හරියෙ තියෙන රිකිලි වල කොල කඩංට හදන කොටම අප්පච්චි එහෙම කිව්වා. මං බය වෙල අත පස්සට ගත්තා.

"ඇයි... අප්පච්චි?"
"මයෙ පුතා ඔය ගහට කියන්නේ බදුල්ල. ගහේ කොලවල නැට්ටේ, පොතු තුවාල වුනාම එතන එහෙම කිරි ජාතියක් එනවා.. එව්වා ඇඟේ ගෑවුනාම කජු කිරි වලට වාගේ තුවාල හැදෙනවා.."
"පංතියේ පුංචි බන්ඩෙලාගෙ මාමා ඉන්න ගමට කියන්නෙත් බදුල්ල කියල.. ගිය නිවාඩු කාලේ ඒ අය එහෙ ගිහිනුත්. එයා එහෙදී කෝච්චියකුත් දැක්කලු.
බස් ගොඩාක් එකට අමුන්නලා වාගේ දිගයිලු.. රෑට යනකොට තැනිං තැනිං එලියයිලු. ඒක කිව්වම මට රෑ බදුල්ලත් මතක් වුනා අප්පච්චි."
"ඇත්ත.. ඇත්ත.. දැං ඔතනිං මෙහාට වෙල නියරට ගොඩ වෙංට.."
"ඇයි.. ඉතිං ගහ ලඟ හිටියට කිරි ගෑවෙන්නෑනෙ අප්පච්චි"
"ඒ වුනාට ඔයෙ ගෙඩි වැටෙන්නේ.. එව්වේ නැටිවල බාගදාට කිරි තියෙංට පුලුවං"
"ඔයෙ ගස් වලිං කිසි වැඩක් නෑනෙ ඉතිං. ඇයි එව්වා කපල දාන්නැත්තේ?"
"මේ ඇල වගේ තියෙන ලොකු දිය පාරවල් වලට කියන්නේ කඳුර කියල. මේකේ නම මාඋස්සා කඳුර.. ඉතිං ඇලක් කඳුරක් දෑලේ තියෙන ලොකු ගස් කැපුවොත් හෙවන නැතුව ඔයෙ දිය සීරාව හිඳිල යනවා මයෙ පුතා... එතකොට මේ කුඹුරු වලට වතුර...?"
"අපිට බොංටත් නෑ.. කුරුල්ලංට සත්තුංට.. ඒත් නෑ නේද"
"මයෙ පුතා බදුල්ල ගහෙං වැඩක් නෑම කියංටත් බෑ. ගහ නං හයියක් නෑ. ඒ වුනාට ඔයෙ ගෙඩිවල ඇට ඇන්න.. එව්වා කොරහේ දාල ගාල කොල්ලු වාගේ ඉයනවා. එව්වා අර දවසක් මං කිව්ව අර්සස් කියන අසනීපෙට බොහොම ගුණයි.. හිස් බඩ බත් එක්ක කෑවම ගුනේ වැඩී කියනවා."
"ඉතිං එව්වා කරන කොට කිරි ගෑවෙන්නැද්ද ඇඟේ.."
"ඉතිං මයෙ පුතා කජු වලත් මදේ ගන්නේ, කිරි ඇඟේ ගාගන්නෙ නැතුව.  ඒ වාගෙ පරිස්සං වෙල බදුල්ල ඇටත් හදා ගන්නවා.."

               කහඹිලියා ගස් ... අර මං තරං උසට හැදෙන එව්වයි වැඩිය උස නැති ජාතියයි ඇල්ලුවත්, වැල් කහඹිලියා ඇල්ලුවත් කහනවා. මාඋස්සා කොල ගෑවුනත් කහනවා. මෑ දලු  ගෑවුනාම පලු මතු වෙනවා. තව ගස් ජාති වැල් ජාති වල කටු. සමහර එව්වේ කහට රෙදි වල ගෑවුනොත් හේදුවට යන්නෑ. නියඟලයි කනේරුයි වහලු. හරි පුදුමයි. ඒ වාගෙම අපිට ප්‍රයෝජන තියෙන ගස් වැල් කොයි තරං තියෙනවද. අප්පච්චි නං කියන්නේ මේ ලෝකේ තියෙන හැම ගහකිං වැලකිංම මිනිසුංට ප්‍රයෝජන තියෙනවා කියල. ඒ වුනාට අල්ලංට එපා, කිරි ඇහේ දාගංට එපා, ඇඟේ ගාගන්ට එපා, එපා, එපා කියන එව්වා වෙංට ඇති ලෝකේ වැඩි..

                 අප්පච්චියි අම්මයි එකතුවෙල ලියදි මැද්දටම ගිහිං ගොයං ගස් එක්කම තිබ්බ උස ගොයං ගස් වාගේ ජාතියක් ගැලෙව්වා.

"අප්පච්චි.. ඔයෙ වී ගස්නෙ. ඇයි ඉතිං ගලවන්නේ?"
"වී ගස් නෙවෙයි.. ගොයං ගස්. මයෙ පුතාට මං තේරවිල්ලක් කියන්නං?" අපෙඅම්මා එහෙම කිව්වා
"හා. අපෙඅම්මා.."
"ඉන්ටකො ඊට කලිං මේක කියල ඉංට ඕනෑ."
"කියංටකො අප්පච්චි."
"මෙව්වත් ගොයං ගස් තමයි. ඒ වුනාට වෙන ජාතියක්. මේ මූකලං වී ජාතියකිං හැදිච්ච ගස්.. අනික් එව්වට කියන්නේ බාල වී කියල. එව්වා හදල මාස තුනාමාරකිං විතර කරල් පැහිල කපංටත් පුලුවං. ඒ වුනාට මූකලං වී වලිං හැදෙන ගොයම මාස හයකටත් වැඩිය යනවා පැහිල බැත ගෙට ගංට. මේ බලංට.. බාල වී ගොයමේ කරලුත් ඇවිත්. ඒ වුනාට මේ මූකලං වී... කරල් එනවා තියා තවම බන්ඩි වෙලවත් නෑ. එව්වා තියෙංට තියෙංට පොලොවේ රසේ උරා ගෙන හැදෙනවා. කරලත් ලොකු වැඩී. ඊටත් වැඩිය හොඳම දේ තමයි මූකලං වියේ හාලේ බත රස වැඩී. බත් ඉදීගෙන එද්දී අම්මා මයෙ පුතාට පෙරල දෙන කැඳ තියෙන්නේ. එව්වා ටිකක් නිමෙන කොට බාල වියේ කැඳ වලටත් වැඩිය ගනකම තෙල් තට්ටුවක් මේ වියේ හාලේ කැඳ වල තියෙන්නේ.. මේ කොහෙං හරි බිත්තර වී වලට ඒ වී ඇට කීපයක් කලවං වෙල. මුරුංගා කායං, ඇල්වී, සුදු වී වාගේ මූකලං වී ජාති ගොඩක් තියෙනවා. දැන්නං බොහොම හිගයි."
"ඉතිං අප්පච්චි මූකලං වීම හැදුවා නං හොඳ නැද්ද?"
"අමාරුයි මයෙ පුතා. වැස්ස එහෙම කාලයක් පවතියි කියල විස්වාසයක් නෑනෙ. මේ මාස් කන්නෙදීවත්.."
"හ්ං..ඔයෙ ගලවන අනික් පැල ජාති මොනවද අප්පච්චි?"
"මේ  බට දැල්ල.  මේ තුනැස්ස.. තුං පැත්තකට අතු බෙදිල. මෙව්වා තුංහිරියා. මෙව්වා දිය ගෝවා.. එව්වේ කොල මැල්ලුං කංටත් පුලුවං. "
"නිල් පාට දිය ගෝවා මල නං හරි ලස්සනයි."
"ගෙදර ගිහිංම බත් ටික කන කල් මං වෙන ජාතියක් ගෙනාවා... අද වෙලේ ගෙදරිං අඩුක්කු බත පිඟානක් ගෙනත් තිබ්බා. ඒකේ තිබ්බ කිරි රොටී මං ඇන්න ආවා." අපෙඅම්මා කිව්වා.
"කිරි රොටී..? මට මතක නෑ.."
"ඇයි මයෙ පුතා.. මේ බලංට.. තල ගහ ගෙදරිං අඩුක්කු බත් ගෙනල්ලත් මයෙ පුතා කෑවෙ කිරි රොටී."
"හා... පැනි දාපු පොල් ගාපු එව්වා නේද?"
"අපෙඅම්මා කිරි රොටී හදන්නේ කොහොමද?"
"ඒක පස්සේ කියන්නං.. එව්වා මයෙ පුතාට තේරෙයිද මං දන්නෑ"
"හා එහෙනං.. අඩුක්කු බත් ගැන කියල දෙංටකො."
"ම්ම්ම් ඒක දිග කතාවක්. ඒත් පස්සේ.."අපෙ අම්මයි අප්පච්චියි දෙන්නම හිනා වෙවී කිව්වා.
"අද කීයක් පස්සේ පස්සේ කිව්වද.. එහෙනං අර තේරවිල්ල.."
"මයෙ පුතාට ඔය ඔක්කොම කියල දෙනවා රත්තරං..
දැනට තේරවිල්ල කියන්නං.. හැබැයි ඒකෙත් තේරුම කියන්නේ පස්සේ. තේරුම කියංට මයෙ පුතත් ඩිංගක් මහංසි වෙංට ඕනෑනෙ.."
"ඉතිං කියංටකො.."

"ගහට නමකි ගහ මැරුනම වෙන නමකි
ගෙඩියට නමකි ගෙඩියේ පොත්තට නමකි
ඇටයට නමකි ඇටයේ සුඹුලට නමකි
ඇට කනකොට නමකි.. තෝරා කියං සකි.. "

                                                 simple "s"
2018.02.03

No comments:

Post a Comment