"අනුඟ."
මගෙ අප්පච්චිගෙ කෘෂිකර්ම (ප්‍රායෝගික) පාඨමාලාවෙන්.. (අංක 07)
අප්පච්චි එදා හවස ගෙදර ආවේ කුට්ටි සාක්කුවක මොන මොනවාදෝ පුරවාගෙන. මට හිඹුටුයි පේරයි ඕකේ තියෙනවා කියල මං දන්නවා. ඒත් ඒකේ මොනවද තියෙන්නේ කියල බලංට මට හදිස්සියි. දෙතුං සැරයක් අත ගහල බැලුවා. ටිකක් ලොකු ගෙඩි ජාතියක් අහුවෙනවා. බලනංට ආසාව තව වැඩි වෙනවා.
"ඕකේ තිත්ත තිබ්බටුත් තියෙනවා.. කටු ඇනෙයි.. "
අම්මා වට්ටියක් ගෙනාවා. මල්ලේ තිබ්බ එව්වා ඒකට හැළුවා.. එදා පේරයි හිඹුටුයි විතරක් නෙවේ ... ඇඹුල් දොඩං ගෙඩිත් තිබුනා. දහයක් දොලහක්. දවසක් රත්නේ පන්‍තියට ගෙනාව ඇඹුල් දොඩං ගෙඩියකිං මටත් බිකක් දුන්නා.. ඒකේ තිබුන ඇඹුල් රහ්..හා.. මතක් වෙනකොටත් දත් හිරි වැටෙනවා..
"මෙව්වා...ඇයි..? ඔව්වා කංට බෑ අප්පච්චි.. ඇඹුල්ම ඇඹුල්.." මං කිව්වා.
"එහෙම තමයි මයෙ පුතා.. සොබා දර්මේ අපිට එක එක රහට දේවල් දීල තියෙනවා.. මේ දොඩං ඇඹුල් රහයි.. පේර හිඹුටු පැණි දොඩං.."
"පැණි රහයි.." මං කිව්වා.
"ඉතිං පැහෙන්නැතුව අහ ගංටකො.." අපෙඅම්මා කිව්වා. "නෑ.. නෑ.. මයෙ කොල්ලා කිව්වා හරි.. " අප්පච්චි මං රැක්කා.
"අඟුන කොල... ආයෙ තව තිත්ත තිබ්බටු.. තිත්ත රහයි. කහට මල් කහට රහයි.. ලෝලු මල් සෙවලයි.. අන්න ඒවාගේ කොච්චර දේවල් එක එක රහට අපට ලැබිල තියෙනවද.."
"ඇයි අප්පච්චි බටු බන්ඩක්කා වගේ එව්වා..."
"එව්වා අපි හිටුවල සාත්තු කරලානෙ හදා ගන්නේ. මෙව්වා සොබා දර්මේ නිකංම දීල තියෙනවා.."
"අප්පච්චි මේ කංට බැරි ඇඹුල් දොඩං ගෙඩි ගොඩක් ගෙනාවේ ඇයි..?"
"මයෙ පුතා ඕක හොඳ අව්සදයක්.. මී පැණි වල දාල කෑවම සෙමට හොඳයි.. සෙං ගෙඩි තියෙනකොට අමු ඉඟුරු මෙව්වේ ඉස්මෙං තලනවා.. එව්වා පුංචි පොට්ටණියක් බැඳල කටේ තියාගෙන ටික ටික ගිලෙංට ඇරියම සෙංගෙඩි සනීප වෙනවා.. කැස්සට, ඕන්නැති මහත් වීමට, පුස්සල ඇන්න ඔලුවේ ගාංට එහෙමත් බොහෝම ගුණයි. අවුරුදු කෝනට ඉසතෙල් ගානකොට ඇඹුල් හදංටත් මෙව්වා පුස්සල ගන්නේ. තව මයෙ පුතා දන්නවද ඇඹුල් දොඩං වලිං අනුඟ කියල දෙයක් හදනවා.."
"අප්පචිචි කලිං කිව්වේ.. මං මැල්ලුං කාලත් තියෙන්නේ.. අඟුන තිත්තයිනෙ.. ඇඹුල් නෑනෙ.. අනිත්තෙක මෙව්වා ගෙඩිනෙ."
"ඒ අඟුන.. කොල කන්නේ.. මැල්ලුම හරි සම්බෝලේ හරි.... මේ අනුග.."
"මේ තියෙන්නේ මයෙ පුතා.."
අපෙඅම්මා ඒ අතරේ කලුපාට වුන බෝතලයක් ගෙනත් පෙන්නුවා...
"මෙව්වා මොනවටද ගන්නේ..?"
"මෙව්වා කෑමට ගන්නවා.."
අප්පච්චි බෝතලේ ඇරල සුවඳ බලල මගෙත් නහයට කිට්ටු කෙරුවා.. හරි සුවඳයි..
"මෙහෙමම බත් වලට දාගෙන කංටත් පුළුවං.. එහෙම නැත්තං කෑමට ගන්න වෙලාවේ මිරිස් තුනපහ ලුණු ටිකක් අයෙත් එකතු කරල තෙල් ටිකකට දාල ගත්තම තව රහයි.."
"දැං ඔහොමම නිකං කෑවොත්..?"
කියන පමාවෙං අප්පච්චි බෝතලේ ඇල කරල ටිකක් මයෙ අතට දැම්මා.. ටිකම ටිකයි. ලෝබයා... මට එකපාරට හිතුනා! ඒත් මං ටිකක් ලෙව කෑවමයි තේරුනේ.
"අම්මෝ... ඇඹුල්... "
"ඔව් මයෙ පුතා.. මෙව්වා ගොඩක් කංට බෑ.."
ඇඹුල් එක්කම හරිම රහක් මට දැනුනා..
"හරි රහයි අප්පච්චි.. ඒත් ඉතිං මෙච්චර ඇඹුල් රහ දැනි දැනි මෙව්වා කන්නේ..?"
"මයෙ පුතා අනුගත් සෙමට බෝම ගුනයි.. විසේසෙම්ම කල් ගත වෙච්ච සෙමට.. සෙම කැඩිල යනවා හොඳට...ඊටත් වැඩිය හෙම්බිරිස්සාව හැදුනම එහෙම කට අමි රහ වෙල.. කෑම අප්පිරියා වෙනකොට මෙව්වා එක්ක හොඳට බත් කංට පුළුවං.. සෙම කැපිලත් යනවනෙ.. "
"ඉතිං අප්පච්චි ඔව්වා හදන්නේ කොහොමද..?"
"හරිම පාසුයි මයෙ පුතා... මේ ගෙඩිවල ඇඹුල් මිරිකල ගන්නවා.. කලු දුරු සුදු දුරු ටිකකුයි වේලිච්ව මිරිස් ටිකකුයි් කබලේ බැදල ගලේ කුඩු කරල ඇරගෙන එව්වයි ලුණු ටිකකුයි අර ඇඹුල් වලට කලවං කර ගන්නවා. ඒක ලිපේ තියල එක සැරයක් උතුරංට අරිනවා.. ඊට පස්සේ අඩු ගින්දරේ තරමකට හිඳෙංට අරිනවා.. ඒකට පාස්සවා ගන්නවා කියලත් කියනවා. නිමුනම මේ වාගේ බෝතල් වල දාල හොඳිං වහල තියා ගන්නවා. ඉඳුල් නොකර තියා ගත්තොත් අවුරුදු තුන හතරක් හරිත් තියා ගංට පුළුවං.."
"මයෙ පැටියට ඔව්වා බර වැඩිවා... පුතාගෙ අප්පච්චි.. " මයෙ අම්මා කිව්වා..
"අප්පච්චි.. අද මයෙ උගුරත් රිදෙනවා කටත් ටිකක් අමිරහයි වාගේ ..."
"හ්ම්.." කියලා ඒ දෙන්නම හීනියට හිනා වුනා..!
simple "s"
2017.11.28
No comments:
Post a Comment