Thursday, September 5, 2019

උඩගෙදර කතා 170 (ලිං කටෙං වැටුන එකා 49.)

ලිං කටෙං වැටුන එකා   49.

"හූරා... මේ කැකුලා මේ ඇත්තන්නේ ගල් රැක්කිට බය පොජ්ජ මන්දෝ වෙලද?"
(මහත්තයා මේ දරුවා මයෙ පොරවට බය වෙලද?")
"ඔව් වන්නියලැත්තෝ, ඔය ගල් රැක්කියි මලාලියයි මෝරියං කැච්චයි ඇයි රුකුල් දෙකමට මන්දෝ වුනාම මේ කැකුලන්නේ විතරක් කොදුයි. මහ මිනිග්ගජ්ජුන්නෙත් හිත් පොජ්ජට බය පොජ්ජ මන්දෝ වෙනවා."
(ඔව්.. වැදි ඇත්තෝ, ඔය කෙටේරියයි දුන්නයි ඊතලයි දැක්කම මේ පොඩි උන්නේ විතරක් නෙවෙයි, මහ මිනිසුන්නෙත් හිත බය වෙනවා."
"වෙන කැකුලෝ එහෙම කොදුයි.. මේ ඇත්තන්නේ බාසා පොජ්ජ කතා දමන හැටියි මේ ඇත්තන්නේ කවි සින්දු පොජ්ජ කතා දමන හැටියි බැලුං පොජ්ජ මන්දෝ කරංට මාමකැච්චක් මනාපයි."
(වෙන පොඩි අය එහෙම නෑ. අපෙ බාසාව කතා කරන හැටියි  කවි සිංදු කියන හැටියි අහංට එහෙම හරි කැමතියි.)

"ඒ වුනාට නංගී....අව්වට අඟුරු කෑල්ල වාගේ කලු වෙච්ච ඇඟයි, උපංතේකට පනාවක් දැක්කේ නැති මුදු ගැහිච්ච පිට මුලුවස්සං දිගෑරල දාල තියෙන බූසේ වෙච්ච කොන්ඩෙයි නිකටෙයි නහය යටයි විතරක් ආව බුලත් කෙල ගෑවිච්ච දිග රවුලයි උඩ ඇඟට ඇඳුමක් නැතුව කාන්තාරේ වාගේ පේන මස් ගොබයි දකිනකොට බය හිතෙනවා තමයි."
"ඒ මිනිසුන්නේ පරම්පරා වලම හැටි වෙංට ඇති අයියා."

"හොඳමයි... ඔය බය පොජ්ජ මන්දෝ වෙනවට මේක බෙල්ල පොජ්ජ පල්ලේ එල්ලමු. එතකොට ඔක්කොම කොදුයි."
(ඔය බය දැනෙනවට මේක බෙල්ලේ එල්ලමු. එතකොට අයෙ මොකොවත් නෑ.)
"අයියා මේ මොකක්ද?" මං මයෙ අයියගෙං ඇහැව්වා . ඒක එයාට තේරිල මෙහෙම කිව්වා.
"කැකුලා... මේ පොල් ඇච්චගෙ දත් පොජ්ජ."
(දරුවා මේ කොටියගෙ දත.)
"ආ මේකත් යස සුර පොජ්ජක ලා බච්චල කරේවත් අයි දංඩේවත් එල්ලුං පොජ්ජ මන්දෝ කරංට. ආයෙ මොනේකටවත් බය පොජ්ජවල් කොදුයි." කියල මට වෙසක් කොලේක එතුව කලු මහත මයිල් ගහක් දුන්නා.
(මේකත් හොඳ සුරේක දාල බෙල්ලේ හරි අතේ හරි එල්ලංට. එතකොට මොන බයවත් නැ.)
"ඕක බොට කඳාගෙ නගුටු පොජ්ජේ මයිල් ගස් පොජ්ජක්."
(ඕක අලියගෙ නගුටේ කෙස් ගහක්.) එයාම හිතල කිව්වා.

"ඔය හූරලා නෑනිලා මනාපද මයෙ කැකුලි නැලවිලි පොජ්ජක් කතා දමනවට?"
(ඔය මහත්තයලා නෝනලා කැමතිද මයෙ දුව නැලවිල්ලක් කියනවට?) එයා ඇහැව්වේ එතන හිටිය අනික් අයගෙං. ඒ අය කැමතියි කියල ඒ එක්කෙනෙක් කිව්වා.

"අඩා කැකුලා... මේ ඇත්තන්නේ කැකුලී මිලීට මංගච්චංට කියාප.)
(දරුවෝ.. මයෙ දුව මිලීට එංට කියාපං.) කියල කිට්ටුව හිටිය පොඩි ලමයෙක් පිටත් කරල බලා ඉන්න අතරේ මයෙ අයියා එක්ක එයා කතා කෙරුවා.
"වෙලා පොජ්ජ තැනමක් රඳංට වෙයි. මයෙ කැකුලී ඔය ලඟම ඔය මොනේකක්වත් කැවිල්ලාන ඉඳ තබාන ඇති. මේ හුරා හෝ ගංගා පොජ්ජ පැත්තෙද?"
(ටික වෙලාවක් ඉංට වෙයි. මයෙ කෙල්ල ඔය ලඟම මොකවත් හප හප ඇති. මේ මහත්තයලා මුහුද තියෙන දිහාද?")
"කොදුයි. මේ ඇත්තෝ නුවර ගං පොජ්ජේ. මේ ඇත්තෝ වැඩ පොජ්ජ මන්දෝ කරන්නේ සේරංඩ. වන්නියලැත්තන්නේ ගං පොජ්ජ, දඹාන පැත්තේ."
(නෑ ... අපි නුවර. මං වැඩ කරන්නේ සේරංකඩ. ඔය වැදි ඇත්තගෙ ගම, සේරංකඩ පැත්තේ.)

"මේ නෑනිලාට හූරලාට ඇහුං පොජ්ජ මන්දෝ වෙංට නැලවිලි පොජ්ජක් කතා දමාප"
(මේ නෝනලාට මහත්තුරුංට ඇහෙංට නැලවිල්ලක් කියංට) "ආව කෙලි පැංචියෙකුට ඒ අප්පා කිව්වා. මට අවුරුදු දෙකක් විතර බාල ඇති ඒ ලමයා. ඒත් අව්වට කරවෙල, කොංඩේ හැඩ පලු ගෙතිල, දකිංට ලොකු පිරියක් හිතෙන ලමයෙක් නෙවෙයි. හැබැයි හරි අහිංසකයි. ඒ වාගෙම යස දත් ටිකක් නං තිබ්බා නංගී. තව පස්සේ තේරුනේ ... ලස්සන හීනි කට හඬකුත්. මූණ බිමට හරවාන මාපට ඇඟිල්ලෙං බිම හාර හාර ටිකක් ඉඳල මේ නැලවිලි ගීය ලස්සනට කිව්වා.":

"තෙන තෙඳිනානා තෙඳිනානේ ...            තෙන තෙඳිනානා තෙඳිනානේ ...
කටුවල බොක්කිට අඬන්නේ ...               කටුවල බොක්කිට අඬන්නේ...
ගෝණල බොක්කිට අඬන්නේ ...             ගෝණල බොක්කිට අඬන්නේ...

තෙන තෙඳිනානා තෙඳිනානේ...               තෙන තෙඳිනානා තෙඳිනානේ...

ඌය උයන් උය්ය කොටේ මීය බැඳාලා
පේත පෙතත් පේත කොටේ පේළි බැඳාලා

ඒවා ගන්න වාරෙ වාරෙන් මාසෙල මීයෝ.

අම්මි රෝරෙ රොරෙය්යා...
අප්පි රොරෙ රොරෙයියා..."

"අර අනික් අය එක්ක මාත් අප්පුඩ්ඩි ගැහැව්වා. ඒ ළමයා හරි අහිංසක විදිහට අපිට හිනා වුනා."
"ඉතිං අයියලා ඒ ලමයටයි අප්පටයි මොකොවත් දුන්නෙ නැද්ද?"
"අර අනික් කට්ටිය සල්ලි එකතු කරල දුන්නා. අයියත් සල්ලි දෙංට හැදුවා. එතකොට ඒ මනුස්සයා කිව්වා...
"ඔය හූරගෙං මේ ඇත්තෝ රිදී පෝරු තඹ පෝරු තියා නිල්කොල පොජ්ජවත් ගන්නවා කොදුයි හූරා. මේ කැකුළා ඇයි ගෙඩි දෙකමට මංදෝ වුන වෙලා මැච්චේ ඉඳල මේ ඇත්තන්නේ හඳුංපොතේ සෙනේ පොජ්ජ මන්දෝ වෙල ඉන්නේ.. කැකුලගෙ හුරතල් පොජ්ජට. බැලුං පොජ්ජ මංදෝ කරංටකො හිනා පොජ්ජ මංදෝ කරනකොට සිරියා පොජ්ජ දිහා. ඔය කෝන මැච්චෙම විතර කැකුලෝ දෙකමෙක් මේ ඇත්තංටත් ඉන්නවා. තව එකමෙක් මේ ඇත්තංට වැඩිවෙනවා කොදුයි. ඉතිං මේ කැකුලා මනාප නං ඇන උකාලංට හදන රිදී පෝරු වෙනුවට මට මේ කැකුලා ඇන උකාලංට.!" මයෙ දිහා බලාන ඒ මනුස්සයා ලාවට හිනා වුනා.
(මහත්තයගෙං කාසි පනං තියා සල්ලි කොලවත් මං ගන්නෙ නෑ. මේ දරුවා ඇස් දෙකට දැක්ක වෙලේ ඉඳල මයෙ පපුවට ලොකු ආදරයක් දැනිල ඉන්නේ. දරුවගෙ හුරතලේට. බලංටකො හිනා වෙනකොට සිරියාව. ඔය අවුරුද්දෙම විතර පැටව්  දෙන්නෙක් මටත් ඉන්නවා. තව එක්කෙනෙක් මට වැඩි වෙන්නෙ නෑ. ඉතිං මේ දරුවා කැමති නං ඔය දෙංට හදන සල්ලි වෙනුවට මට මේ පැටියා දෙංට...!)
"මයෙ මල්ලිටත් එංටලු මෙයා එක්ක ඒ අයගෙ ගෙදර යංට." කියල අයියත් හිනා වුනා.
"අප්පෝ..!"
"ඊට පස්සේ නංගී, අයියා ඒ ලඟ කඩේකට ගිහිං බුලත් විට අඩුවැඩිය ටිකකුයි, පුස්නාඹු දෙක තුනකුයි ගෙනත් දුන්නා."
"දැං දෙපටුල්ලංතන කැවිල්ලාන වෙලා මැච්ච. මේ කැවිල්ලාන එව්වා පොජ්ජ නං  මොනේකට ඇන්න ආවද? මේ පැඟිරි කොල, ගයියැට, වේචා කොල, ගල් මද පොජ්ජ නං මාමකැච්චක් හොඳමැයි."
(දැං බත් කන වෙලාව. මේ කන දේවල් මොනවට ගෙනාවද? බුලත්, පුවක්, දුංකල, හුනු නං බොහොම හොඳයි.)
"නංගී ඒ ගොල්ලෝ බුලත් විට පහේ දෙනවටයි ඒ අයගෙ බාසාවෙං කතා කරනවටයි හරිම කැමතියිලු.." මං ජිනාට කිව්වා.
"අයියා අපි ඉස්කෝලේ ඉන්නකොට අපි කතා කරන විදිහට කවුරු හරි කතා කරනවා නං අපිට දැනෙන සතුට වාගේනෙ."

"මේ ඇත්තෝ වන්නියලැත්තෝ මංදෝ වෙංට දඹාන ගං පොජ්ජට මංගච්චනවා ඉක්මනට. තොපන්නේ නම් පොජ්ජ කියාප."
(මං ඔයෙ ඇත්තා බලංට ඉක්මනට එනවා. දඹානට. ඔය ඇත්තගෙ නම කියංට.)
"මේ ඇත්තන්නේ නම් පොජ්ජ ගෝඹා. හූරා මේ ඇත්තන්නේ රුකුල් පොජ්ජ තිබන්නේ දඹාන ගං පොජ්ජේ කොදුයි. මේ ඇත්තෝ රඳන්නේ කොටබකිනිය ගම් පොජ්ජේ. මේ ඇත්තෝ සේරකඩට මංගච්චන්නං."
(මහත්තයා මයෙ නම ගෝඹා. මයෙ ගෙදර තියෙන්නේ දඹානේ නෙවෙයි, අපි ඉන්නේ කොටබකිනියේ. මම සේරංකඩට එන්නං."
"හොඳමයි වන්නිය ලැත්තෝ. මේ ඇත්තෝ එහෙ...... ගං පොජ්ජේ, ඉස්කොල පොජ්ජේ කැකුලංට කැකුලියංට කරුකුරු ගච්චංට, කියවුං පොජ්ජ මංදෝ කරංට පුරුදු පොජ්ජ මංදෝ කරනවා."
(හොඳයි වැදි ඇත්තෝ. මං එහෙ ..... ගමේ ඉස්කෝලේ කොල්ලංට කෙල්ලංට අකුරු ලියංට කියංට කියල දෙනවා.)
"හූරා කතා දමන්නෙ.. ඉගැන්නුං පොජ්ජ මංදෝ කරනවා කියන එක.."
"අන්න හරි."

"එහෙනං වන්නියලැත්තෝ මේ ඇත්තෝ තැනකිං මංගච්චනවා."
(එහෙනං වැදි ඇත්තෝ.. අපි දැං යනවා.) අයියා කිව්වා. වැදි මනුස්සයා අයියා දිහාට අත් දිගෑරගෙන නැගිටල ආවා, අයියත් අල්ල දිගෑරල ඒ මනුස්සයගෙ අල්ල උඩ තිබ්බා. අත් හොල්ල හොල්ල,
"මාම කැච්චක් හොඳමැයි හූරා."
(මුණගැහුනට සතුටුයි... හොඳයි.) කියල ඇවිත් මයෙ ඔලුවේ දකුණු අත තියල දිග යාදින්නක් කියංට ගත්තා.
"මේ සාසන පෝරු ගං පොජ්ජටත් මංගැච්චුව බුද්දලැත්තන්නේ පිහිටෙං මේ රට පොජ්ජ මුලුවස්සං ඉඳ තබන කපුවල ඇත්තන්නේ පිහිටෙං, මේ පෝරු ගං පොජ්ජට ආරස්සා පොජ්ජ මන්දෝ කරන සමං දෙයියලැත්තන්නේ පිහිටෙං, ආනුභාව පොජ්ජෙං මේ ලා කැකුලට හොඳතනම මන්දෝ වෙංට ඕනැ... මංගච්චන තැනක රඳන තැනක ඉගෙනුං පොජ්ජ මන්දෝ කරන තැනක කොතනකත් අබමල් රේණු පොජ්ජක් තරං වේදනා පොජ්ජක් මන්දෝ වෙනවා කොදුයි. ඉගෙනුම් පොජ්ජ හොඳට පිහිටුං පොජ්ජ මංදෝ වෙංට ඕනෑ... පෙරේත ඇත්තන්නෙං, යක් ඇත්තන්නෙං, මේ ඇත්තන්නේ මියඹට  දැම්ම නෑදෑ යක් ඇත්තන්නෙං, සතා, පෙඟිචා ඇත්තන්නෙං, උඩ තනිං, පොලෝ තනිං  දිය තනිං, හුලං පොජ්ජෙං, වැහි පොජ්ජෙං, අව්ව පොජ්ජෙං කිසි අතුරු ආන්තරා පොජ්ජක් අහලකටවත් මන්දො වෙනවා කොදුයි. කැකුලට බුද්දලැත්තන්නේ පිහිටයි. ආරස්සාවයි.! "
(මේ මයියංගනේටත් වැඩම කෙරුව බුදු හමුදුරුවන්නේ පිහිටෙං, මේ රට පුරා වැඩ ඉන්න හාමුදුරුවරුන්නේපිහිටෙං, මේ ගම ආරස්සා කරන සමන් දෙයියන්නේ පිහිටෙං ආනුභාවෙං මේ ළදරුවට යහපතක්ම වෙංට ඕනෑ. ඇවිදින තැනක, නතර වෙන තැනක, ඉගෙන ගන්න තැනක, කොයි තැනකත් අබමල් රේණුවක් තරං වේදනාවක් දැනෙංට එපා. ඉගෙනීම හොඳට පිහිටංට ඕනෑ. පෙරේතයින්නෙං යක්කුන්නෙං අපෙ මැරුන නෑදෑ යක්කුන්නෙං සතා සරුපයාගෙං අහසිං, පොලවෙං, වතුරෙං, හුලඟෙං වැස්සෙං, අව්වෙං කිසිම අතුරු ආන්තරාවක් අහලකටවත් එංට එපා. දරුවට බුදුන්නේ පිහිටයි... ආරස්සාවයි!)

"හරියට වටිනවා අයියා. මටත් බලංටම ආසා හිතෙනවා."
"ඉතිං පෑලිස් අයියට කිව්වොත් එක්කොන්න යන්නැතෑ නංගී."
" ඇත්තයි අයියා.."

"හා නංගී අපි උණුවතුර උල්පත් බලංටත් ගියා. පදියතලාවේ ඉඳල මහඔයට, උනුවතුර උල්පත් තියෙන දිහාට මහ ඈතක් නෑ. ආපහු එද්දී නං ටිකක් කරදර වුනා බස් නැතුව."
"ඉතිං පියෝති අක්කලත් ගියාද?"
"අප්පෝ.. ඔව්.. සාමා දුවත්. අක්කටයි දුවටයි මං එහෙ හිටිය එක ඉහේ මලක් පිපුනා වාගේ සන්තෝසේ. කන බොන දේවල් හදනවයි, මොනවද ඕනැන්නේ අහනවයි, කාල හෝදපු අත වේලෙංටත් කලිං අනිප්පැත්තට බඩගිනිද අහනවයි... එක යුද්දයයි."
"ඉතිං කන බොන දේවල් මොනවද හදල දුන්නේ?"
"තල ඇට දාපු කැවුං, මඩු පිට්ටු වැලි තලප නං යනකොටත් හදල. ආයෙ කුරහං හැලප, තල ගුලි,  ඉරිඟු පිටි වලිං අමුතු රොටී වාගේ ජාතියක්, මඩු පිට්ටු, ඕලු බත්, දොඩං ඉස්ම..... "
"හෝව් හෝව්.. මට මෙහෙ කටට කෙල උණනවා. පියෝති අක්කට මල්ලිලා නැති එකේ ආදරේ තමයි ඔය."
"මල්ලිලත් නෑ.. නංගිලත් නෑ. ඔන්න නංගී... පදියතලාවේ ගමන!"
"අනේ.. ගමන නං ලස්සනයි අයියා. මං එක්ක ගියෙ නෑනේ."
"පස්සේ එක්ක යන්නං... එනවානං!"
"හා........"

"එහෙ දේස ගුනේ අයියා...? එහෙටවත් වහිනවද?"
"මේ අගෝස්තුනෙ නංගී. මොන වැස්සද? පාර දෑලේ ටිකක් ලොකු ගස් තියෙන එව්වේ නිල්ල තියෙනවා. සිහිල් ගතියකුත් දැනෙනවා. ඩිංගක් ඇතුලට වුන ගමං වේලිල. ගහ කොල ඔක්කොම පඬරැල් වෙල. නංගිට මං කිව්වද .... අපෙ අයියත් මේ සැරේ එහෙ හේනක් වගා කෙරුවා කියල... එහෙට යන හැම මහත්තයම එහෙමලු. අයියට හොඳ අස්වැන්නක් ලැබුනලු. කුරහං, ඉරිඟු, කරල් ඉරිඟු, මෑකරල්, මුං ඇට, තල, උඳු, කොල්ලු, කොල මෑ...... ඔය වාගේ හැම කටුසර බෝගයක්ම වැව්වලු. කැලෑ සත්තුන්නෙං බේරා ගංටලු අමාරුම. අයියට එහෙ හොඳ කොල්ලෝ කාන්ඩෙයක් ඉන්නවා. ඒ ගොල්ලෝ එක්ක එක් වෙල කොහොම හරි පැල් රැකල බෝග බේරා ගත්තලු."
"අයියට දවසට දෙකට එපා වෙංට ඇති නේද?"
"එහෙමමත් නෑ නංගී. ඒ වාගේ දිහාක ඉංට ඇත්තං කියලත් වෙලාවකට හිතෙනවා. "
"අර කැකුලිද පොහොට්ටිද හිංදා වෙංට ඇති..."
"උං දැක්කොත් උඹ ඔහොම විහිලු කරන්නෑ නංගී. හැබැයි මං එහෙ ඉන්නවා නං ඉන්නේ උඹ වාගේ කෙනෙක් ඉන්නවා නං විතරයි."

"... වාගේ කෙනෙක් නෙවෙයි. ඇත්තම කියපංකො ලෝබ වෙන්නෙ නැතුව.... 'උඹ ඉන්නවා නං විතරයි.' කියල."
"ඔය ඒක නං තේරෙන්නේ... ! අනේ හැබෑට අනික් වෙලාවට විහිලුවක්වත් තේරෙන්නෙ නෑනෙ."
"ඇයි මොනවද මට තේරුනේ නැත්තේ?"
"පස්සේ කියන්නං.. "

                       ඒ අතරේ අපෙ අම්මා කරල් ඉරිඟු අග්ගලයි තේ වතුරයි ඇන්න ආවා.
"මට අග්ගලා එපා." ජිනා කිව්වා.
"ආ... එහෙම කියල කොහොමදෑ... දුව හිංදමනෙ අග්ගලා හැදුවෙත්."
"ඇත්තටමද ජිනා?"
"ඕං... කාටද දන්නෑ විහිලුවක් වත් තේරෙන්නැත්තේ... අම්මා... අයියගෙ ටිකත් මට ඔතල දෙංට ඇන්න යංට."
"හ්ම්... මට තේරුනා අන්න කීපයක් ඇන්න යංටත් හදල තියෙනවා. අද හවස ඩිංගිරි දුවලා නං බලංට යංට හිතාන ඉන්නේ. ඒ ගොල්ලගෙ කොටහ ඇන්න යන්නං."

"මං ඇවිත් ගොඩක් වෙලා. මං ගිහිං එන්නං අම්මා." තේ වතුර බීල ඉවර වෙල එහෙම ටිකක් වෙලාවකිං ජිනා කිව්වා.
"හොඳයි දුව.." අපෙ අම්මා කිව්වා.
"උඹ මොකවත් කියංට එහෙම එපා ඔන්න." මට ලා හිනාවක් යනවා දැකල ජිනා නංගී කිව්වා.
"මාම කැච්චක් හොඳමැයි මයෙ කැකුලී....."

                                                                                                 simple "s"
2019.09.02

පලමු පින්තූරයේ හා නැලවිලි ගීතයේ ගෞරවය ආචාර්ය ඊ. එම්. රත්නපාල මැති තුමාට.
දෙවැනි පින්තූරයේ ගෞරවය එය අන්තර්ජාලයට සැපයූ මැති තුමාට.

No comments:

Post a Comment