"ගල් මූසලී.
17 බදාදා:
"ඒ වුනාට ඔය කෙල්ල මයෙ ලඟට ආවදා ඉඳල තමයි මට වාසනාව පෑදෙංට පටං ගත්තේ..."
කව්රු හරි මැනිකගෙ ඇදක් කිව්වොත් පියසෝම මුදලාලි එහෙමලු උත්තර දෙන්නේ. ඇත්ත, එයා දැං ලොකු වාසනාවන්තයෙක්. අලුත් පන්නේ ගේදොර වාහන දේපොල පහල වෙල වාගේ. කඩේ වුනත්.. සීසීටීවිත් ඊයේ පෙරේදා ගත්තා. හිටිය හැටි මිනිසුංට මතකත් නෑ. මතක තියෙංට ඕනැන්නෙත් නෑ. මං අහල තියෙන හැටියට මැනිකා මුදලාලිගෙ ගෙදර අයට බොහොම ආදරෙයි. ගෙදර කවුරුත් මැනිකට සලකන්නෙත් ගෙදර වැඩට ඉන්න කෙනෙකුට වාගේ නෙවෙයි. පව්ලෙම කෙනෙකුට වාගේ.
මැනිකා පුංචි කාලේ ඇඳුම ගිනි ගත්තලු. බෙල්ලයි මූණේ කොටසකුයි පිච්චිල. පැත්තක් හොඳටම විරූපයි. එයා එක්ක කෙනෙක් වුවමනාවකටවත් කතා කරන්නේ වැඩි මනාපේකිං නෙවෙයි. පව්..
* * *
18 බ්‍රහස්පතින්දා :
"
බල සුබ නිමිති පෙර මඟ ලකුණටත් වැඩි."
රෑ ලොකු අක්කගෙ දුව සැළලිහිණිය කියවනවා. කියවපු කෙනෙකුට ජීවිතේට අමතක වෙන්නෙ නැති ඒකේ කවි කොයි තරං තියෙනවද....!
"අම්මේ... අම්මේ... අසුබ නිමිති, බාදා ගැන කියංටකො. සමහර එව්වා නං දන්නවා." දුව එක පාරම කිව්වා.
"පුතේ.. කන කොකෙක් කෑ ගහගෙන ගෙට උඩිං ඉගිලුනොත්, බක්මූණෙක් උලමෙක් ගේ ලඟ කෑ ගැහුවොත්, නරි හූ කියන සද්දේ ඇහුනොත්, වම් ඇහැ නටනවානං, ඔත්තේ ගානක පාංකිරිත්තෝ දකින එක. එව්වා අසුබ නිමිති කියනවා. තව තියෙනවා.
බාදාවල් කියන්නේ නං ගමනක් පිටත් වෙන කොට, සුබ වැඩක් පටං ගන්නකොට, කරංට හිතා ගත්ත දෙයක් කතා කරංට පටං ගන්නකොට එහෙම ඇහෙන පෙනෙන සිද්දවෙන සමහර දේවල්. නරක කෙනෙක්, හිස් බාජනයක් - දරමිටියක් ගත්ත කෙනෙක් මුන ගැහෙන එක, ගෙදරම පොඩි එකෙකුට හරි කිබුහුමක් යන එක, හූනෙක් සද්ද කරන එක, ගෙදරම හරි බල්ලා කන් ගසන එක, කකුල මොක්ක හරි වදින එක, වගේ එව්වා."
"ඔව්වා බොරු නේද අම්මේ?" චූටි ඇහුවා.
"පිස්සුද... ඔව්වේ ඇත්තක් තියෙනවා."
"ඔව්වා සුද්දොංටත් තියෙනවද?" මම ඇහුවේ උපහාසෙට කියල ලොකු අක්කට තේරුනෙ නෑ.
"මොකද නැත්තේ..? ඔය පාංකිරිත්තොංගෙ කතාව ඒ අයත් කියල තියෙන්නේ...
'One for sorrow, two for joy, three for death, four for wedding....' ඔහොම ඔහොම."
"අක්කේ ඕක three for wedding නෙවෙයිද..? කව්දෝ එහෙම කියනවා මට ඇහිල තියෙනවා." මම කිව්වා.
"නෑ.. නෑ.. "
ලොකු අක්කා මෙව්වා කිව්වේ හරිම ආඩම්බර විදියට. හරියට එයා හොයා ගත්ත දේ වාගේ. එහෙම නැත්තං එයා දැක්කා වාගේ.
මේ වාගේ දේ ගැන සැලකිලිමත් වීමේ හොඳකුත් තියෙනවා. හිත සසළ වුන වෙලාවල් කොයි තරම් තිබුනද.. ඒත් මම සීමාව ඉක්මවලා පරිස්සම් වුනේ මයෙ කේන්දරේ බැලුව කෙනාගෙ ඒ අනාවැකිය හින්දනෙ.
"පිරිමි කෙනෙක් හින්දා ලොකු අපකීර්තියක්...!"
දහසක් රස වදන් මේ දිනපොත් වල විතරක්ම හිර වුනා. ඒත්.........,
".......හා කාගේත් සිත් ගන්නා හැඩ රුව ඇති, ඉතා චරිතවත් නැඟනියට..." - සිළුමිණ! "ළාබාල පෙනුමැති..." එක් වෙන්ටත් වැඩි ඈත නෑ. අනාවැකියේ ප්‍රථිපලය හොඳක්ද නරකක්ද මම තවම හොයනවා.
* * *
20. සෙනසුරාදා :
ඊයේ ලොකු අක්කට ගමනක් යංට තිබුන. පෙරේදා බාදා පෙර නිමිති ගැන මතකේ අලුත් වුනේ. හෙට 21දා. ඉරිදා. මේ මාසේ එයාගෙ ක්‍රෙඩිට් කාඩ් එකේ සල්ලි ගෙවංට තියෙන අන්තිම දවස 21දා, හෙට. මේක මතක් වුනේ ඊයේ දවල්. තුනට කලිං නොගියොත් බැංකුව වහනවා. සල්ලි ගෙවංට වෙන්නෙ නෑ. එහෙම වුනොත් අමතර ගාස්තු ..
ඊයේ ඔය අස්සේ රාහු කාලේ.. ඒකත් මගෑරලා යංට එපායැ. ලොකු අක්කා එහෙමයි.
"රාහු කාලේ මගෑරල එක හමාරේ බස් එකේ ගියාම ඇති.. " ලොකු අක්කා කියනවා.
රාහු කාලෙත් මගෑරල ලොකු අක්කා පිටත් වෙල ගියා.
"අම්මට මොනවද වෙලා තියෙන්නේ පුංචි."
"ඔන්න ඔහෙ අපි ඉවසාගෙන ඉඳිමු. එයාම තේරුං ගන්න දවසක් එන්නැතෑ චූටි.." මම කිව්වා.
"ඊයේ පෙරේදා තව ලස්සන කතාවක් කිව්වනෙ."
"ඒ මොකක්ද?"
"පොලොව යටට යැව්ව පුංචි රේඩාර් එක්කට අහු වුනාලු පොලොව යට මිනිස්සු වේදනවෙං කෑ ගහන සද්දේ... දේසනාවක කිව්වලු."
"අපාය..?"
දෙය්යනේ.... අපෙ කතාව ඇහුනද දන්නෙත් නෑ. මෙන්න ලොකු අක්කා ආපහු ඇවිත්!
"මේ මොකද ලොකු අක්කේ.. ?"
"යාර දහයක් පහලවක් යංට හම්බුනේ නෑ. අර පියසෝම මුදලාලිලෑ ගෙදර ඉන්න හොල්මන..., මැනිකා ඉස්සරහට මුන ගැහුනා කියංටකො. ගල් මූසලී."
ලොකු අක්කට හොඳටම තරහ ගිහිං. චුටි මොකුත් කිව්වෙ නෑ. යටැහිං මයෙ දිහා බලල පොඩි හිනාවක් දැම්මා විතරයි.
"ඉතිං ලොකු අක්කේ ක්‍රෙඩිට් කාඩ් එකේ වැඩේ.. "
"ඔන්න ඔය කීයක් හරි එන මාසේ ස්ටේට්මන්ට් එකේ දාල තියෙයි. ඒක ගෙවල දානවා. ඊයෙ රෑ මං නරක හීනේකුත් දැක්කා. මයෙ ඉස්සහ දතක් වැටෙනවා. මට යංට බෑම කියල හිතුනා."
අනේ දෙයියනේ සතියක් දෙකක් යනකල් මැනිකා මේ පැත්ත පලාතේ නේනවා නං.. මතක් වෙන මතක් වෙන ගානේ ලොකු අක්කා එයාට බැන්නා. ඒ කෙල්ල දන්නෙත් නෑ.
* * *
22 සඳුදා :
"චූටි දොර අරිංට...."
බෙල් එක වදිනවා ඇහිල ලොකු අක්කා කිව්වා. චූටිත් දොරට ආවා. මමත්. මම ගිහින් දොර ඇරියා. දෙයියනේ උදේ පාන්දරම මැනිකා..!
"ආ... මැනිකා, එංට... එංට.... මොකද මැනිකා මේ උදේම...?"
"චූටි නෝනා, අපෙ නෝනා කිව්වා මෙහෙන් කරපිංචා අතු දෙකක් කඩාගෙන එංට කියල."
"කඩා ගංට මැනිකා , කඩා ගංට..."
"කව්ද චූටී...?" ඒ අතරේ ලොකු අක්කා ඇහුවා.
"සිරිසෝම මුදලාලිලගෙ ගෙදර ඉන්න මැනිකා. කරපිංචා අතු දෙකක් කඩා ගංට ඇවිත්. අපි කිව්වා කඩා ගංට කියල."
දැං මොකිං මොකක් වෙයිද... ගිනිකෙලි..? චූටිත් අසරණ වෙල. හොරැහිං මයෙ දිහා බැලුවා..
"කෝ.. දැං. උදේම මටත් බලා ගංට ඕනෑ." ලොකු අක්කා කිව්වේ බොහොම නිව්න විදියට..! මෙන්න ලොකු අක්කත් ගිහින් මැනිකට උදව් කරනවා!
චූටිවත් මංවත් නොදන්න මොනවා හරි සිද්ද වෙලා!
"අදත් ඉර පෑව්වේ නැගෙනහිරෙං කියල ෂුවර්ද පුංචි?එහෙම නැත්තං එදා එකහමාරේ බස් එක මඟදී..."
චූටිගෙ කතාව ඉවර කරංට බැරි වුනා. ඇස් දෙකෙනුත් එක්ක හිනා වෙවී ලොකු අක්කා ගෙට ගොඩ වුනා....
"මොනවද පුංචි මේ වෙන්නේ.
"විශේෂයක් නැහැ! ගල් මූසලී ආපහු මැණිකා වෙලා!
simple "s"
2018.10.25
No comments:
Post a Comment