Thursday, September 5, 2019

උඩගෙදර කතා 158 (ලිං කටෙං වැටුන එකා 38)

ලිං කටෙං වැටුන එකා   38

"අගෝස්තු වාගේ තදට පායන කාලෙට බලන්ටකො."
"ඒ කියන්නේ හැම අවුරුද්දෙම වතුර හිග වෙනවද? ඉතිං, මාලගම්මන ලිඳේ මේ ලමයි ඔක්කොම පිරුනම ගමේ මිනිසුන්ට නාංට එහෙම පිටට යංට වෙයිනෙ ලයනල්."
"නෑ එහෙම අපහසුවක් වෙන්නෙ නෑ. කොහොමත් ගමේ අය ලමයින්ට හරිම කරුණාවයි. අනික ඒ ලිඳට විතරක් නෙවේ යන්නේ සපූ. කුලුගම්මන පැත්තෙන් පංගොල්ලට යනවා. ඒ කියන්නේ මාවැලි ගඟට. නුවර මායිමේ. එහෙ ගිහිල්ලා නාන එකනං තේරුමක් නෑ. ආපහු එනකොට ආයෙ දාඩියෙන් නාන්ට වෙනවා. ඒක නිකං විනෝද ගමනක් වාගේ. මග තියෙන කඩවල් වලින් ගජෝරු, සව්බරෝ එහෙම කකා.. තව,  **** පිහිල්ලකටත් යනවා. ඒකනන් හරිම ආසා හිතෙන ගමනක්. තේ වත්තක් මැද්දෙන් එහෙම වල් පාරේ යංට තියෙන්නේ. ඒ තේ වත්තේ පුංචි පුංචි කැලෑ රොදවල් වල පේර, එරමිනියා, ඇඹුල් පේර, ඇඹිල්ල වාගේ එව්වා විතරක් නෙවේ වෙරළු ගසුත් තියෙනවා. ඈතින් ලස්සන කඳු වැටිත් පේනවා. අපි ඊලඟ සෙනසුරාදා හරි ඉරිදා හරි යමුකො."

                    අන්තර් ජ්‍යේෂ්ටයෙදි යාලු වුන එක ලමයෙක් ලයනල්. එයත් ඉන්නේ ශිෂ්‍ය නිවාසයෙමයි. ලයනල් පහේ ශිෂ්‍යත්වයෙං ආව එක්කෙනෙක්. හැඩ ලමයෙක්. ඒ වාගෙම කතාව එහෙම ප්‍රියයි. එයාගෙ අක්කත් ඉන්නේ ගෑණු ලමයින්ගෙ ශිෂ්‍ය නිවාසයේ. කලින් අයියෙකුත් මෙහෙ හිටියලු.

"කව්ද මේ වත්ත පුරා දඟලන්නේ. ඔහොම අවසර නැතුව වත්තට ඇතුල් වෙන්ට පුලුවන්ද? මම කියනවා ඔය ලමයින්ගෙ ප්‍රින්සිපල් සර්ටත්. වත්තේ ලොකු මහත්තයටත් කියන්ටද.. එතකොට ඉතින්  පොලීසියේ තමයි. නාන්ට ආවා නං.. "
"නෑ අයියා අපි තේ ගස් වලට හාණියක් කෙරුවේ නෑ." ලයනල් එහෙම කිව්වා. වත්තේ මුරකාරයා ඉස්සරවෙල කතා කෙරුවටත් වැඩිය සද්දෙන් ඒ පාර තව මොනවාදෝ කිව්වේ. එයාගෙ අතේ තුවක්කුවකුත් තියෙනවා. කොටු සරමට කාකි අත් කොට කමිසයක් ඇඳල,  පපුව පේංට ඒකේ උඩම බොත්තම් දෙක ගලවල. ලොකු උඩු රවුලකුත්. හරිම නපුරු පෙනුමයි. මොනවාදෝ කිය කිය එන්නෙත් අපි දිහාටම.  කන්දේවෙලත් මොනවාදෝ කියංට හැදුවා. එතකොට ඒ මනුස්සයා කන්දේවෙල අතිං නිස්සද්ද කෙරුවා. මං දැං ගැහෙන තරමයි. දයා නං කිසි තිගැස්සීමක් නැතුව ඔහෙ බලාන ඉන්නවා. ඒ අතරේ අපිට ඇහෙන නෑහෙන ගානට මෙන්න එයා මෙහෙම කියනවා...
"මේ දරුවන්ට ඕනෑ දෙයක් කඩා ගංට. තේ ගස් වලට හානියක් කරන්නේ නැතුව. ඔය වයසෙම පුතෙක් මටත් ඉන්නවා. මයෙ අතටම අහුවෙලත් මොකවත් නොකියා පැත්තක බලාගෙන යන්ට නෙවෙයිනෙ දරුවෝ. ඕක කවුරු හරි අපෙ මහත්තයෙක් දක්කොත් මට අරියාදුවයි. හ්ම් පරිස්සම් වෙල යන්ට...

"මට නං හොඳටම බය හිතුනා." මං කිව්වා.
"තුවක්කුවට මටත් බය හිතුනේ." ලයනල් තරහිං කිව්වේ.
"එතන තිබ්බ තඩි ලීය දිහා මම නං බලාගෙන හිටියේ." දයා මං
හිතුවට වැඩිය නිර්භීතයි කියල මට හිතුනා.
"විජේසිංහට තවම කතා කර ගන්ට බැරිද?" ලයනල් ඇහුවා.

                    මදැයි ඉස්ඉස්සර වෙලම මං යහල තැන්නේ නාංට ගියා! ඒ මදිවට පහුවදා, ඉරිදා, දයයි මායි ඒ ගොල්ලංගෙ ගෙදර ගිහිං එංටත් හිතාගෙන.

                    දයාලගෙ පැත්තේ ඉඩං හරි සරුයි. සාදික්කා, කරාබු, පොල්, පුවක්,කොස්, දෙල්, ගම්මිරිස් එක ගොම්මනට හැදිල. දයා කියන්නේ අවුරුද්ද පුරා අව්ව වැස්ස කඩිං කඩ තියෙනවා, ඉඳහිට ඉත්තෑවෝ ඇවිත් පොල් පැලයක් කෙහෙල් ගහක් පෙරලුවට සත්තුන්නෙං වැඩි හාණියකුත් නෑ කියලයි. ඔක්කොමත් හරි, ගෙඩි පිරිල බර වෙල තියෙන අලිපේර ගස් කීපේ. මයෙං ඇස්සා වැදුනද කියලත් මට බය හිතුනා.
"සපූට වගාවක් දැක්කම ආසයි නේද?"
"නැත්තං දයා! ඒ වුනාට අපෙ පැත්තේ තියෙන්නෙම කැලෑ ඉඩං. තාවකාලික බෝග ජාති තමයි වගා කරන්නේ. මැයි මාසෙදි එන කෙලවරක් නැති හුලඟයි අගෝස්තු දෑලේ එන පෑයිල්ලයි එක්ක මේ ලෝකේ දෙයක්, මෙහෙම ස්තිර බෝගයක්, හදා ගංට බෑනෙ. ඒ අතරේ වල් සත්තුත් පාලු කරනවා. කාටත් තමන්නේ ගෙවල් අහබඩටම වෙංට කොස් ගස් දෙකතුනක් පොල් ගහක් දෙකක් වාගේ දෙයක් තමයි තියෙන්නේ. ඔය ජිනාගෙ අයියා දැං අවුරුදු දෙක්කට තුනකට විතර ඉස්සර හුඟාක් මහංසි වෙල ඉඩමක් හරි ලස්සනට වැව්වා. මේ බෝග හැම දේම හිටවල. කොහෙද... අර යස්ස පෑයිල්ල ආවේ ඒ අවුරුද්දේ තමයි. ඒ හිටවපු තරං ඔක්කොම..."
"හෝව්...  හෝව්...  චුට්ටක් ඉන්ට.. චුට්ටක් ඉන්ට.. අයෙත් කියන්ට, 'ඔය ජිනාගේ...' මොකක්ද?"
"ඔය ජිනාගෙ අයියා.... ආආආ... "
"සපු, ඔයා හීනෙනුත් එක්ක කියවන නංගී... ජිනා... කව්ද එතකොට."

"මං කියන්නං දයා."
"එයා ඔයාගෙම නංගී නෙවෙයිද"
"නෑ දයා."
"මොනවා.. ! එකට ඉන්න කොල්ලෝ කෙල්ලො ඔක්කොම හිතාගෙන ඉන්නේ ජිනා ඔයාගෙම නංගී කියල. ඇයි ඉතිං එහෙම කිව්වේ?"
"බොරුවක් කරංට ඕනෑ කියල හිතල පටං ගත්තා නෙවෙයි. ඉස්සරවෙල ලමයිමයි එහෙම හිතා ගත්තේ. අනික එයා මගෙම නංගී නෙවෙයි කියංට මට හිතෙන්නෙත් නෑ දයා. දැං හැමෝම එහෙම හිතාන ඉන්න එකේ මට වෙනස් කරංට හිතෙන්නෙත් නෑ."
"එතකොට එයා ඔයාගෙ කව්ද? නෑදෑයෝනෙ."
"ඒත් නෑ දයා. අපෙ අම්මා නං කියන්නේ 'ගමේ නෑයෝ' කියල. නෑයොංටත් වැඩිය හොඳට අපි එක්ක ඉන්නේ."
"මට ඒක හරියට තේරුනේ නෑ සපූ.?" දයා කිව්වේ එහෙම වෙන්නේ කොහොමද කියල මයෙං ප්‍රශ්ණයක් අහනවා වාගේ."
'"දයා... අපි දෙගොල්ල ජාති දෙක්කලු. මටත් ඊට වැඩිය ඒක කියංට තේරෙන්නෙ නෑ."
"මට හිතා ගංට පුලුවන් සපූ. කලිං දවසක ඔයා කියපු එක්කිනුත් මට සැකයක් ආවා. මං මගෙ නංගී ගැන කිව්ව එකකට ඔයා 'අනේ මටත් නංගියෙක් හිටියා නම්.' කිව්වා. අයෙ මොකක්දෝ කියලා ඔයා ඒ කතාව වෙනස් කෙරුවා."

"මට මතකයි දයා. එහෙම නෙවෙයි ඔයා මෙහෙ නංගී ගැන කියනකොට මට මතක් වෙන්නෙම මයෙ නැතුවෙච්ච නංගී."
"නංගියෙක්ගෙ අගේ දැනෙන්ට ඇත්තටම නංගියෙක් ඉන්ටම ඕන සපූ. අද ඔයා ඉන්න හින්දා.. නැත්තං මම ගෙදර ඉන්නවා නම් මගෙ නංගී මගෙ පස්සෙන්ම තමා තාම. මාදිට මම නැතිවත් බෑ. මට මාදී නැතුවත් බෑ. මම එහෙ නවතින්ටම ගියාම මාදි තමයි වැඩියෙන්ම අඬලා තිබුනේ. "

                    දයාගෙ අම්මා අපිට තේ බොංට අලුවයි, වැලි තලපයි හදලා. ගෙදර වත්තෙම්ම කියල තඩි ආනමාලු ඇවරියකුත් තිබ්බා. ඒ කෙසෙල් ගෙඩියක් තනියම කංට බැරි වෙයි කියල මට හිතුනේ. මට මයෙ අම්මා මතක් වුනා. ලඟිංම හිටගෙන ඒ අම්මත් මයෙ පිඟාන පුරවන එකමයි වැඩේ.
"සපූ අයියා මාලු මාරුවෙං මාරුවට දාගෙන බත් වලට අනා ගන්නේ." මාධංගනී හිනා වෙවී කිව්වා.
"ඔව් නංගී ඒ මට පුරුදුවෙල තියෙන හැටි. හොස්ටල් එකේ සමහර ලමයි මට හිනාත් වෙනවා. ඒ වුනාට එකට දා ගත්තම එව්වේ රහ වෙන වෙනම දැනෙන්නෙ නෑනෙ නංගී.  ඉඳ හිටක කටක් එහෙමත් කනවා."
"මාත් අය එහෙම කාලා බලනවා. අයියගෙ නංගිත්, ජිනත්, එහෙමද? ?" මං හිනා වෙල දයා දිහා බැලුවා.
"අපෙ නංගී... මාත් දැනුයි දන්නේ. ජිනා සපූගෙම නංගී නෙවෙයිලු."
"අනේ..."
"ඒ වුනාට එයත් කන්නේ මං වාගේ තමයි. කෝ තාත්තා.. තාත්තා දැම්ම කන්නේ නැදද?"
"එයා කන්නේ පමා වෙලා පුතේ. අනික පුතාල ආපහු යංටත් තියෙන හිංදා කලිං බෙදුවේ."
"ඇත්තටම තව හරියට බඩගිනි වුනෙත් නෑ තමා. ඒ වුනාට මං ගොඩක් කෑවා. රස හින්දම."
"අනේ පුතේ තව ටිකක්... ටිකම ටිකක්."
"ඇති අම්මා... හොඳටම ඇති."

"අයියගෙන් ජිනා ගැන තව අහ ගංටත් තියෙනවා. අපරාදේ  එයාට විභාගෙට යන්ට බැරි වුනාලු නේද..?"
"ඔව් නංගී... ඒත් එයා අපෙ ඉස්කෝලෙටම හරි නුවර වෙන ඉස්කෝලේකට හරි එයි."
"එයා ඇත්තටම අයියගෙ කව්ද?"
"මගෙම කෙනෙක් නෙවේ. ඒ වුනාට ඉස්සර ඉඳලම අපි අයියයි නංගියිම වාගේ තමයි."
"මයෙ හිතේ හරියට තිබ්බා... අපිට එකට ඉන්ට පුලුවන් වෙයි කියල. ඉතින් හරි දුකයි. කොහොම හරි මෙහෙටම ගෙන්නා ගන්ට බලන්ට අයියා."

                    ඒ ගොල්ලෝ දෙතුන් දෙනාම හරි හොඳයි. දයාගෙ අම්මා අපි දෙන්නට රෑට කෑමත් බැඳල දුන්නා. ඒ කෑම අපි දෙන්නට කටකට දෙක්කට වැඩිය කංටලැබුනෙ නෑ. අපි හොස්ටල් බත් කද්දී අනික් අය හතර පස් දෙනෙක් තමයි ඒ බත් කෑවේ.
කමක් නෑ.. අපි දෙන්නා දවල්ටත් බඩ පැලෙංට කෑවනෙ.

                      ඒ  ලමයි  ඔක්කොම ඉන්ටර් ෆෝම් එකේ අය. වතුර ටිකක් වත් නොබීම කට්ටිය ඉස්කෝල වැඩ ගැන ඒ මේසෙම ඉඳල කතාවක් පටං ගත්තා. අත් හෝදගෙන වතුරත් බීල ඩෝම් වලට යංට ආව ලමයිත් පුටු ඇදල ඇන්න හවුල් වුනා.

"මචං මේ උගන්නන්නේ මොනවද අපිට. Physics කියයි, Chemistry කියයි, Geomet....." එක්කෙනෙක් ඇහුවා.
"වෙලාවකට පිස්සු වාගේ මටත්. ඉස්සර ගෙවල් වල තිබ්බා දුම්මැස්ස කියලා එකක්, පොඩි පොඩි බඩු දාන්ට. ඕකේ කිසි දෙයක් පිලිවෙලකට නෙවෙයි තිබ්බේ. අත දැම්මම අහු වෙන්නේ මොකද්ද කියල දන්නෙ නෑ. අන්න ඒ දුම්මැස්සෙන් ගන්නවා වාගේ තමයි මං ඕවා කරන්නේ." තව එක්කෙනෙක් කිව්වා.
"සරළව මෙන්න මෙහෙම හිතමුකෝ.. Chemistry නං මුලිංම කියල දුන්නා වාගේ ද්‍රව්‍ය, matter ගැන ඉගෙන ගන්න එක. Physics වල ඉගෙන ගන්නේ light, sound, heat, magnetism වාගේ ශක්ති ජාති ගැන. geo.. කියන්නේ පොලොවට සම්බන්ධ .. කියන එකට. .... metri කියන එකෙං මනිනවා, මිනුම වගේ අදහස් එන්නේ. ඉතිං geometry කීවම පොලොව මැනීම වගේ අදහසක් තියෙන්නේ. ඉතිං ඉරි, කෝන, solids වගේ දේට සම්බන්ද මැනුම් වගේ තමයි.... algebra කියන්නේ නං..."
"හෝව් හෝව්.. ඔව්වා උඹ දන්නේ කොහොමද? හැම එකම පංතියේ කියලා දුන්න එව්වා නෙවෙයිනෙ. කියපං ඔය geo කෑලි ගැන එහෙම දැන ගත්තේ කොහොමද?
"ඒකත් හරි අහම්බෙං වෙච්ච එකක් ජයේ. අපිට පංතියට Chemistry වලට Fundamental Chemistry පොත ගංට කිව්වානේ. ඉතිං අපි සිතුමිණට ගිහිං ගත්තේ Fundamentals of Chemistry ද මොකක්දෝ එකක්. නොතේරුම් කමට. පස්සේ ඒක මාරු කර ගංට ගියාම, 'සල්ලි නං ආපහු දෙන්නෙ නෑ.. ඒ වටිනාකමට වෙන ඕනෑ පොතක් ගංට' කිව්වා. බලාගෙන යනකොට, මගෙ ඔයෙ "Poket Oxford Dictionary" එක තමයි ඒ ගානට, රුපියල් හතයි පනහට, ගංට තිබ්බේ. ඒක ගෙනත් බලනකොට විශ්ව විද්‍යාලයක් වාගේ. වචනයක් ගත්තම ඒක සද්ද කරන හැටි, ඒක noun එකක්ද, verb එකක්ද වාගේ එව්වා විතරක් නෙවේ ඒ වචනේ හැදිලා තියෙන මූලාශ්‍රත් දීල තියෙනවා. ඒවා ජර්මන්ද, ලැටින්ද වගේ විස්තරත් එක්ක. පොතේ දිග පලල පද්‍යාවලියට අඟල් බාගේ බාගේ විතර අඩුයි. වැඩිය ගනකම් නැති හයිය කොල. පිටු දාහකටත් වැඩී. ඕන්නං හෙට බලංටකො. ඔන්න ඔහොමයි මට..."
"ඒයි.. සිග්නල් දුන්නා."
"ලයිට් ඕෆ් කරන්ට කලින් අතයි කටයි හෝදලා වතුර බීලා චූ දාලා එංට යමල්ලා.."
"මේ...  උඹලා හැමදාම රෑ කාලා ඉවර වුනාම මෙහෙම මොනවා හරි discuss කරංට වරෙල්ලා.. හරිද.."
"ඒයි අන්න සර්රුත් අපිව බලන්ට ඇවිත් ඉඳලා."
"මොනවද කරේ කියලා දැක්කා නං ඒ ඇති"
"Good night...!"

                                                                                                  simple"s"
2019.06.27.

No comments:

Post a Comment