Wednesday, November 20, 2019

උඩගෙදර කතා 188 ලිං කටෙං වැටුන එකා 55

ලිං කටෙං වැටුන එකා...55.

"ඊයේ මට හරි ලැජ්ජාවක් වුනානෙ නංගී."
"බැන්නද කවරුවත්.?"
"නෑ... නෑ...
මං ඇටඹේ ලිඳට ගියා නාංට.. වෙනදා පුරුද්දට අර දෙහි ගෙදර බාලක්කට මයෙ පිට ටිකක් අතුල්ලංට කිව්වා."
"ඉතිං බෑ කිව්වද?"
" මෙහෙමයි.... 'මලයා.. අදට විතරක් අතුල්ලන්නං... දැං එහෙම හොඳ නෑ. මලයත් දැං ලොකු ඉලන්දාරියෙක්. මාත් ලොකු කෙල්ලක්. ඉතිං එහෙම හරි නෑ.' කිව්වනෙ. 'තරහ වෙංට එපා.' ත් කිව්වා."
"අනේ මං නොදන්න උන්දැගෙ ලමිස්සිකම. පිට නෙවෙයි ඔක්කෝටොම.... ඉන්නවනෙ!"
"ඒත් කිව්ව එක ඇත්ත කියල මටත් හිතුනා නංගී."
"ඒක ඇත්ත තමයි. පහුගියදාක අපෙ අම්මත් මට කිව්වා....'ඔහොම හැමදාම ඒ ලමයා මුණ ගැහෙන එක හොඳයිද ලොකු දුව.' කියල.."
"ඉතිං නංගී මොකද කිව්වේ?".
" 'පිස්සුද අම්මා.... සපුමල්ගෙ වත් මයෙවත් ඔලු ගෙඩි නරක් වෙල නෑ. මට වචනයක් කතා කරංටවත් මොකවත් අහගංටවත් ඉන්නේ සපු අයියා විතරයි.' කියල මං කිව්වා."
" 'ඒත් මයෙ දුව අපිට මිනිසුන්නේ හිත්... කටවල් වහංට බෑනේ.' අම්මා කිව්වා."

"කොහොම වුනත් නංගී, කව්රුවත් මොකුත් නොකිව්වා වුනත් අපි මෙහෙම මුණ ගැහෙන එක එහෙම ඉක්මනිම්ම පාලනයක් කර ගංට වෙයි කියල නංගිට හිතෙන්නේ නැද්ද?"
"ඔව්... ඔව්... මෙහෙම දිගටම ගියොත් ... ඕන්නෑ එක්කෝ. 
එක අතකට විහිළු නෙවෙයි තමයි... ඒක අපිත් හිතලම කරංට වෙයි තමයි. ඒත් ...මේ අවුරුද්දේ ඉස්සරහ නිවාඩු කාල දෙකේ නං, ඒ කියන්නෙ මයෙත් විභාගේ ඉවර වෙනකල් නං නොවැරදීම මුණ ගැහෙංට ඕනෑ. උඹ එපා කිව්වත් මං එනවා." ජිනා එහෙම කියද්දී මයෙ පපුව පත්තුවෙල ගියා. මං මූණ දිහා බලාන හිටියා. ජිනා නංගී වපරෙට මයෙ දිහා බලල ඈත බලා ගත්තා.
"මංවත් කොහොම හරි එනවා නංගී. කතා කරංට තියෙන දේවල් ලකුණු කරල තියා ගත්තම ලේසියිනෙ මුණ ගැහෙන දවසෙං උපරිම ප්‍රයෝජනේ ගංට."
"අනික අයියා කතා කරංට දන්නන්ට තියෙන දෙයක් ලියල හොස්ටල් එකට තැපෑලේ එව්වට කමක් නෑ. ලියුම්, මැඩම්ලා කඩනවා තමයි. ඒ වුනාට ලියුම් ගෙන්නන්ට එපා කියල තහනම් කරල නෑ."
"අපෙත් එහෙම තමයි. අපේ නං ලියුම් කඩනවද වත් මං දන්නෙ නෑ.  ඕනෑ වෙලාවක  ලියල එවංට. 
එහෙම නැත්තං මෙහෙම කරංටත් පුලුවං. සමරේ day shollar කෙනෙක්. එයාගෙ බාරේ එයාලගෙ ගෙදරට එවංට. මං නගිට ඇඩ්‍රස් එක දෙන්නං. "
"මට හිතෙනවා එහෙම වැඩියෙං හොඳයි අයියා."

"හෙට අනිද්දා අයියලා එනවා. මං විභාගේදී ව්ශ්මිත දේවල් කෙරුවා කියල අහ ගංටයි අයියලා නං එන්නේ."
"අයියා කියන්නේ ලිව්ව උත්තර ඔච්චරම දුර්වලයි කියලද... අයියා ඔහොම කියනකොට මටත් බය හිතෙනවා බං."
"Results එනකල් මොනවා කියංටවත් බෑ. මොකක් වුනත් සෙකන්ඩ් ෂයි එකකට මං ලෑස්ති වෙනවා නංගී."
"ඒකේ වැරැද්දක් නෑ... අනික එහෙම වුනොත්, කන වැල අල්ලාගෙන මටත් පස්සෙං එංටත් පුලුවංනෙ."
"මේ දවස් ටිකෙත් මුණ ගැහෙන දවසකට පැයක් හමාරක්වත් මොනවා හරි කරමු."
"බෑ...."
"ඇයි..?"
"නිවාඩුවට මුණ ගැහෙනකල් මං බලාන හිටියේ ඩිංගක් කොල්ලා බලංට.
මොකෝ හිනා වෙන්නේ. ඇත්තටම මං කිව්වේ...." ඇත්තටම මං හිනාවුනේ ජිනා නංගිට ආදරේට. 
"මයෙ බලි බලංටයැ... එදා ඉස්කෝලෙට ආව වෙලාවේ අනික් ලමයි උඹ දිහා බලනකොට මට නං ආඩම්බර හිතුනා."
"ඇයි..?"
"එතන දෙතුං දෙනෙක් දන්නවා ජිනා මයෙ නංගී නෙවෙයි කියල.  එහෙනං කව්ද කියලත් දන්නවා. ඉතිං මට ආඩම්බර හිතුනා.."
"එහෙනං මං අයියගෙ කව්ද?"

" 'දම්මි, සුගත් කියල පෙම්වත්තු දෙන්නෙක් ඉන්න 'ගොලු හදවත'  කියල නව කතාවක් ඇවිත් තියෙනවා. හරිම ලස්සනයිලු. පහුගිය දවස් වල නව කතා කියවංට වෙලාවක්  මට නං තිබ්බෙ නෑ. නංගී කියෙව්වද?"
"නෑ.. මටත් කියවංට ලැබුනෙ නෑ. ඕක ඇවිත් දැං අවුරුදු දෙකක් විතර ඇති මයෙ හිතේ.."
"අපි ලඟදී කියවමු. පොතක් තිබ්බා නං නිවාඩු කාලේ අපිට කියවංටත් තිබ්බා. ඉස්කෝලේ පුස්තකාලේ තියෙනවා නං ගෙනෙමු."

"ඔක්කොටෝම ඉස්සර වෙලා කියන්ට සපු විභාගේ කොහොමද කියලා."
"හොඳටම අමාරු වුනා අපෙ මහත්තයා."
"මම නම් ඕක අහන්ට නෙවෙයි බලාපොරොත්තු වුනේ."

                     ඇස් වල ප්‍රශ්නෙයි මං හිතෙං ඇද වැටිල හිටිය හැටියි දෙවෙනි මහත්තයට කිව්වා. ඒ ගැන දිගට දිගට මයෙං ඇහැව්වා. දෙවෙනි මහත්තයට සැකයක් ඇති වුනා කියල මට තේරුනා. පුරුදු විදිහට මිටි කරපු අතේ පිට පැත්තෙං තොලට තට්ටු කර කර විනාඩි කීපයක් කල්පනා කර කර හිටියා. ආයෙ ඒ ගැන ඇහැව්වේවත් බැන්නේවත් නෑ. හැබැයි දවසකිං දෙක්කිං කං දෙක පිරෙංට මට අහගංට වෙයිද දන්නෑ. වේවැල් පාර කංට වුනත් මං ඉවසාගෙන ඉන්නවා. මට හරියට දුක හිතුනා. මයෙ ගැන මහා මේරුව තරං බලාපොරොත්තු තියාගෙන හිටිය දෙවියෝ... මට කිසි දෙයක් කියාගංටත් බැරුව උගුර හිර වුනා. දැං මං පමයි.

                     එදා අපෙ ඉස්කෝලෙදි දැක්කට පස්සේනෙ... ඩිංගිරි අක්කගෙ නිඹුල්ලු දෙන්නා බලංට මට හදිස්සියක් තිබ්බේ. අපෙ අම්මයි මායි එහෙ යනකොට ජිනා නංගිත් හිටියා. ඩිංගිරි අක්කට හුස්ම කටක් ගංටත් මතක නැතුව හපන්නු දෙන්නගෙ හුරතලෙයි... පැහිච්චකමුයි කියවන්නේ.! එයිං මට ආසම හිතුනේ මිඩ්වයිෆ් නෝනා රත්නාවලීගෙ කට මිරිකාගෙන මොනවාදෝ බේතක් පොවල රත්නමාලි දිහාට හැරෙනකොට එයා පැත්තක බලාගෙන තරහ පෙන්නුවා කිව්ව හැටි. ඩිංගිරි අක්කත් මෝස්තර දාල රඟපාල එව්වා කියංට හරි දස්සයි. පොඩි දෙන්නා පෑලිස් අයියට හරිම ආදරෙයිලු. අනික් පැත්ත නං ඉතිං කියංටම දෙයක් නෑනෙ.
"නැන්දම්මටත් ආදරේ නැතෑ..." අපෙ අම්මා කිව්වා.
"නිවාඩුවට එදා ගෙදර එනකොට අඳුරාගංටම බැරුව සෑහෙන වෙලාවක් හිටියා. එකවැර ඇවිදිමුත්. ඒත් අපෙ නංගී දෙසැරයයි තුං සැරයයි දෙන්නා ඉස්සරහ කස්තිරං ඇල්ලුවේ මෙන්න නතර කරංට දෙන්නෙම නැතුව සෙල්ලං කරංට කියංට ගත්තා. නැන්දම්මා පොඩ්ඩ අමතක වෙයි!"

                     පෑලිස් අයියගෙ ගෙදර වත්ත දැං හරි ආෂික්...! හැම ගහක් වැලක්ම සරු සාරයි. කොසුයි දෙලුයි ගස් ටික පීදෙංට නං තව කල් යයි. ගම්මිරිස් වැලුත් පීදෙංට හෙටද අනිද්දද දන්නෑ. ඔක්මනිං පීදෙන ජාතියක්ලු හිටවල තියෙන්නේ. කෙසෙල් ගස් සමහර එව්වා පීදිල. අපිට තේ බොංට දුන්න හෙහෙල් ගෙඩි වත්තෙම එව්වා කියලයි දුන්නේ. ඒ එක්ක, එදා නුවරිං ගත්තා කියල යස කලු දොදොල් ජාතියකුත් තිබ්බා. මං එව්වට පෙරේතයි කියල දන්න හිංදා ඩිස්ගිරි අක්කා ඇන්න හංගල තියල. ඩිංගිරි අක්කා කවදත් මට ආදරෙයි. ඒක ඉච්චාවට නෙවෙයි කියල හොඳට තේරෙනවා.

                                                                                                    simple "s"  
2019. 10. 19

No comments:

Post a Comment