"ඇඹරැල්ලා"
"නැන්දා, සුව...ඳයි. මොනවද හදන්නේ?" පොඩි මාමලගෙ චූටි ගෙට ගොඩ වුනේ එහෙම කියාගෙන.
"උඹටත් ඕන නං ...!" මං කිව්වා. අම්මා මට එරෙව්වා.
"චූටි දුව මේ ඇඹරැල්ලා සීනි සම්බෝලයක්."
"චූටි.. දවල්ට කාලා යන්ට හිටපන්. උඹටත් මෙව්වා කාලා ගියෑකි මචං." මම කිව්වා.
"නැන්දා මට ආසයි නැන්දා හදන හැටිත් අහ ගන්ට."
"ගෑණු දරුවෝ වුනාම දැනගන්ටම ඕනෑ. ඔයා චූටි දුවටත් එක්ක බත් ලිපේ තියන්ට මයෙ දුව.. හැබැයි ගල් වට්ටන්ට එහෙම බෑ ඔන්න. කැකුලු හාල් බතට තමයි මෙව්වා වඩා රහ."
"හරි අම්මා. මට හාල් ටික දෙන්ටකො."
"මං ඕන්නෑ. පහක් මැනල ගන්ට. පොලලා තියෙන්නෙ. ඉස්සර වෙල වතුර ලිප තියල ඉන්ට. ඇල්වතුරට දැම්මොත් බෙරිවෙන්ට බලයි."
"චුටි දුව, ඉස්සර වෙලා ඇඹරැල්ලා ගෙඩි ටික, ග්‍රෑම් 300 ක් විතර හොඳට හෝදල ඇන්න පොතු රැහැල හීනි තීරු කපා ගන්නවා. ඇඹුල් කැත්තේ හරහට ගෙඩිය පෙරල පෙරල කපන හැටි දන්නවනෙ. ඇටත් දාන්ට ඕනෑ. තලල හරි නිකම්ම හරි ගන්නේ. තලල ගත්තොත් සූප්පු කරන්ට පුලුවන්. රස වුනාට කොහොම ගත්තත් ඇටේ කොහු කෑලි මගෙ නං දත් අස්සේ රිංගනවාමයි. එව්වා අයින් කරන එක මහ වදයක්!"
"ඉතින් නැන්දෙ ඇට අයින් කරලම ගත්තම හරිනෙ."
"ඒක ඇත්ත. ඒ වුනාට ඇටේ ලඟින්ම තියෙන කොටස් වැඩියෙන්ම ගුණ. මදෙත් හුඟක් රසයි ගුණයි. හදන හැටි කියල දීලම ඉන්නංකො."
"මයෙ දුව බත ලිපේ තියල එනකල් අපි දෙන්නා ඉස්සර වෙලා ඇඹරැල්ලා ගෙඩි ටික ලියා ගනිමු. ඇඹුල්කැත්තට බය නං පිහියෙන් උනත් ලියා ගත්තෑකි. අල්ලට තද කරල පුවක් ලෙලි ගහනවා වාගේ පිහියෙං ලියන්ටත් පුලුවන්. ඒක තරමක් අවදානම්. ඊට හොඳයි ලෑල්ලේ තියලම කපන එක."
"හරි අපෙ අම්මා."
"හ්ම්.. ඔයත් ආයෙ අහ ගන්ට."
"දැන් ලොකු ලූනු ගෙඩි ටිකක්... ග්‍රෑම් 150 ක් විතර,මැද්ද අයින් කර කර ලියා ගනිමු. ඒ ටික කෑල්ලෙන් කෑල්ල වෙං වෙන්ට ඕනෑ. කරල් මිරිස් ටිකක් තද කලු වෙන්ට නොදී, තද දුඹුරු පාට වෙනකල් කබලේ කර කර ගෙන කෑලි වෙන්ට වනේ කොටා ගන්ට ඕනෑ."
"මචං... කැලි මිරිස් ටිකක් කබලේ කර කර ගත්තත් හරි..."
"චුටි ඒ කෙටි පාරක්. කරල් බැදල ගත්තම ෆ්‍රෙෂ්නෙ. එතකොට රස වැඩී. ඔන්න පුංචි සේර අලයකුයි, කුරුඳු පොත්තකුයි, රම්පේ කොල කෑල්ලකුයි අඟලේ විතර කෑලි කපාගෙන, ගෙඩි පිටිං කරදමුංගු ගෙඩි හතර පහකුයි, කරාබු නැටි පහ හයකුයි, කරපිංචා කිනිති දෙක තුනකුයි හරහ දැම්ම පිහියා තලෙන්ම තෙරපලා සුදු ලූනු බික් හතරක් පහකුයි හීනියට ලියා ගත්ත ඉඟුරි අල කෑල්ලකුයි අරන් තියා ගන්නවා. දැං පොල්තෙල් මේස හැඳි දෙකක් විතර ලිප තියල පැහෙනකොට ඒකේ මුඩු යන්ට ඕවෙන්ම කරපිංචා කොලයක් දෙකක් ලූනු කෑල්ලක් දාන්ට. අර සුවඳ ජාති තෙලෙන් ටිකක් බැදෙන්ට දාන්ට. ඔය තෙල් වලට ලියාගත්ත ඇඹරැල්ලා ටික ඉස්සර වෙල දානවා. එව්වා තෙල් වලින්ම තරමක් බැදුනට පස්සේ ලියා ගත්ත ලූනුත් දානවා. කන අය හීනියට ලියාගෙන උම්බලකඩ ග්‍රෑම් පනහක් විතරත් එක් කරන්න. ඇති තරමට ලුනුයි සීනි මේස හැඳි තුනකුයි එක් කරලා කලවම් කරන්න. දැන් මද ගින්නේ තෙල් වලින්ම තැම්බෙන්ට අරිනවා. සීනි චුට්ටක්, භාජනේ අයිනෙං උඩිනුත් ඉහලා දැම්මට කමක් නෑ, කැරමල් වෙන්ට... සීනි එක් කරාම ලුනු රස අඩු වෙන හින්දා ඒ ගැන සැලකිලිමත් වෙන්ට ඕනෑ. ඇඹරැල්ලයි විසේසෙන් ලූනුයි තලපයක් වෙනකල් බෙරි වෙන්ට නොදී තද දුඹුරු පාට වුනාම ලිපෙන් බා ගන්ට ඕන."
"නැන්දේ ඉතිං ඇඹරැල්ලා කලින් දාන්නේ නැතිව එකවරම දැම්මොත්?."
"නෑ... චූටි, එකවර ඔක්කොම දැම්මොත් ඇඹරැල්ලා තැම්බෙනකොට ලූනු හොඳටම බෙරි වෙනවා. එහෙම හරි නෑ."
"අනික සුවඳ ජාතිවල ඇට අරන් දැම්මේ නැත්තේ ඇයි.?"
"අහුලලා දාන්ට ලේසි වෙන්ට. පිඟානට ගන්ට කලින් ඕවා වෙන් කරලා අයින් කරන්ටත් බෑ. හීනිනෙ. ඉතිං එනසල් ඇටයක්, කරාබු නැට්ටක් හැපුනොත් එහෙම මුලු කෑම එකේම රහ ඉවරයි. ගෙඩි පිටිං තියෙනකොට කෑමට බෙදා ගත්ත එකෙං ඒවා ලේසියෙන් අරං දාන්ට පුලුවන්නෙ.. "
"නැන්දේ... ඇඹරැල්ලා වෙන හදන්නේ කොහොමද?"
"ආයෙ වෑංජනේ හදනවා කිරි දාලා. අබ ටිකක් පුපුරවලා තෙම්පරාදු කරාම තව හොඳයි."
"තව..?"
"ඇයි.. ඇඹරැල්ලා චට්නි... අච්චාරු... එහෙමත් ශෝක්නෙ.
ඇඹරැල්ලා දලුත් කලවං මැල්ලුමට දානවා."
"නැන්දේ... අපෙ පංතියේ ලමයෙක්ගෙ අම්මා, මාස් පතා එයාගෙ බ්ලඩ් ෂුගර්, කොලෙස්ටරෝල්, බ්ලඩ් ප්‍රෙසර් එහෙම චෙක් කරවනවා. ඉතිං එදාට කලිං දවසේ එයා කොහෙන් හරි ඇඹරැල්ලා හොයාගෙන කනවලු."
"ඇත්ත චූටි දුව.. මේවා ඔය ඔක්කොටෝම විශේෂයෙන් රුධිර පීඩනයට, පපුවේ අමාරුවට ගුණයි. ඉතිං ඩොක්ටර්ස්ල රවට්ටන්ට එක වේලක් කාලා ගිහින් තමන්මනෙ රැවටෙන්නෙ..."
"මචං... අපෙ අම්මා නං එහෙම දේවල් කරන්නෙ නෑ. මෙයාට පාන්පිටි කෑම තහනම් කරලා තියෙන්නේ. ඉතිං ඒ මොනවාවත් කන්නෙ නෑ.......... උදේ!
ඒ වාගෙම, ඩොක්ටර් හැමදාම කියන්නේ 'හොඳයි.. හොඳින් ෂුගර් කොන්ට්‍රෝල් කරගෙන තියෙනවා. තව ටිකක් ඇවිදින්න.' කියලා. ඩොක්ටර් හිතාගෙන ඉන්නේ දැනුත් අපේ අම්මා ඇවිදිනවා කියලා! පව්.. එන මාසෙත් ඩොක්ටර් රැවටෙයි."
"උඹ කරබාගෙන හිටපන්... පැහෙන්නැතුව."
"ඌයි... අම්මේ... මගෙ කන...!"
"ඉතින් නැන්දේ... මේ හදිස්සියේ අද ඔය හදන්නේ?"
"චූටි දුව දන්නෙත් නැද්ද... ලොකු අයියලගෙ ලේලිට කන්ට බැරිව ඉන්නවලුනෙ. මේ ටිකක් හදලා යවන්ට හදන්නේ. බත් වලට වගේම රොටී පාන් එහෙම කන්ටත් මේවා හොඳයි. බත් බඳින්ටත් හොඳයි. හැබැයි සිදුරු නැතුව වෙනම පුංචි පාර්සලයක් හදලා බත් එකේ තියන්ට වෙන්නේ. සීනි සම්බලේ තෙල්නෙ. ඒවා බත් එක පුරා ගියාම මුලු බත් එකම තෙලුයි, ඇඹුලයි. එහෙම කන්ට පුලුවනෑ."
"චූටි උඹට දොල දුකක් එහෙම නෑ නේද මචං?" අම්මට නෑහෙන්ට මම චූටි නංගිගෙන් ඇහැව්වා.
"උඹට...?" ඒකී එහෙම උත්තර දුන්නා!
simple "s"
2019.10.24
පින්තූරය අන්තර්ජාලය ඇසුරෙන්.
No comments:
Post a Comment