ලිං කටෙං වැටුන එකා 62.
මයෙ අයියා පෑලිස් අයියගෙ අසනීප බලංට එයාගෙ ගෙදෙට්ටම ගිය එක අයියා කල්පනා කෙරුවා වාගෙම බොහොම හොඳට අල්ලල ගිහිං. පෑලිස් අයියව මගෑරපු සමහර අය ආපහු ඇවිත්! පෑලිස් අයියා එක්ක එකටම ඉඳල එයා අසනීප වුනාම මගෑරපු අය ගැන බොහොම කලකිරීමෙං මයෙ අයියා කතා කෙරුවේ.
"හරි... ඉස්සර මේ ගැන දන්නැතුව හිටියේ කියල හිතමුකො. ඒත්, පීඑච්අයි මහත්තයා දෙවෙනි මහත්තයා එහෙමත් කියල දුන්නට පස්සේ? තමන්නේ කාරිය කෙරෙනකල් තමයි ඔක්කොම ඇඟෑලුම් කම්!" අයියා හිත් වලට දැනෙන නෝක්කාඩුවක් එක්කයි හැම වෙලේම පෑලිස් අයියයි එයාගෙ අසනීපෙයි ගැන සඳහන් කෙරුවේ.
"හැම එකාම පෑලිස්ගෙ ගෙදරින් හිරයක් ගංට යනවායැ...!" මයෙ අයියගෙ මෙන්න මේ කියමන ඩිංගක් මයෙ හිතට වැදුනා. වෙන කාටවත් එහෙම වුනාද කියල මට විස්වාස නෑ. මයෙ අයියා හිතල කිව්වා නං නෙවෙයි මයෙ හිතේ. කොහොම වුනත් මට පුලුවං කාලෙක මං ඔය ගැන දොස්තර කෙනෙක්ගෙනුත් අහනවා. මට ඒකේ වැදගත් කමක් තියෙනවා කියල දැනෙනවා.
"අපෙ මහත්තයා... දැං ඔය පෑලිස් අයියගෙ අසනීපේ ඒ ගෙදර පොඩි දෙන්නට බල පෑමක් ඇත්තෙම නැද්ද?"
"පොතේ හැටියට නං, පෑලිස් බෙහෙත් බොන්ට පටන් ගත්තට පස්සේ, අනික් අයට බලපෑමක් නෑ සපූ."
"එයා විහිම්ම කොං වීමකුත් වෙනවා අපෙ මහත්තයා. පව් ඉතිං... අනික් අය එයා නොසලකා ඉඳියි කියල ලැජ්ජාවට එයාම සමාජෙට මූණ නොදී ඉන්නවා මයෙ හිතේ.
"මයෙ පුතා... ලොකු පුතා කරපු වැඩේ මට නං හිතට හරි නෑ."
"මොකද්ද අපෙ අම්මා?"
"ඇයි ඔයෙ පෑලිස්ගෙ ගෙදෙට්ටම ගියේ? වරස්තයක් වුනොත් අර හීං එකීට මොකද වෙන්නේ... ලොකු පුතාටම වුනත් ඕක හොඳ දෙයක්ද?" අප්පච්චිත් කතාවට හවුල් වුනේ එහෙම. මට පේන හැටියට අන්තිමට ජිනාටයි මටයි මුණ ගැහෙන එක, කතා බහ කරන එක තහනං වෙන තැනට තමයි ඔය වැඩ සිද්ද වෙන්නේ. මට දුක ජිනා නංගිගෙ විභාගෙට මං හිතාන හිටිය හැටියට උදව් කරංට මට බැරි වෙන එකට. ජිනා නංගිගෙත් ලොකු බලාපොරොත්තුවක් ඒ ගැන තිබ්බා කියල මං දන්නවා.
"මයෙ පුතත් මේ ගැන හිතංට වෙනවා. ඉස්සර වාගේ ජිනා ලමයා එක්ක ආස්සරේ එපා මයෙ පුතා. බයයි. බෙහෙත් බිව්වට, කාටදෑ කියංට පුලුවන්නේ ඕක තව අයට බෝ වෙන්නෑ කියල."
"අපෙ අම්මා ජිනා නංගිගෙ විභාගෙට තව කී දවසද තියෙන්නේ. මං පැත්තකට වෙච්චම ඔය කෙල්ලට ලොකු හිතේ අමාරුවක් හැදෙයි. එක පාරම මං වුනත් එහෙම කරන්නේ කොහොමදෑ කියල හිතා ගංටවත් බෑ."
"මයෙ නං කිසිම කැමැත්තක් නෑ ඒ ආස්සරේට. මොනවා කරංටද මයෙ පුතා... ඒ කෙල්ලගෙ අවාසනාව..."
ඒ දවස් තුනේ නිවාඩුවේදී මායි ජිනා නංගියි අයෙ මුණ ගැහුනෙ නෑ. දුක හිතෙන්නේ නැති වෙංට මං මොනවා හරි කරංට ඕනෑ. පව්.. අහිංසක කෙල්ල. මට කිසි දෙයක් හිතා ගංට බෑ. දයා එක්කවත් කතා කරංටත් නෙවෙයිනෙ. එහෙම කෙරුවොත් වෙන්නේ පෑලිස් අයියගෙ අසනීපේ තව පූජිත වෙන එක විතරයි. කාටවත් පිළියමක් කියා දෙංට පුලුවං කමක් තියෙනවායැ. කලිං දවසේ ජිනා මුණ ගැහුනා නං කලබල වෙංට එපා කියල, මම්ම කියල එංටවත් තිබ්බා.
" සපූ අයියම දැක්කා නේද ගමේ තත්ත්වය. මට ගමේ යන එකත් එපා වෙල ඉන්නේ අයියා. නිවාඩුවට අයෙ මහ දවසක් නෑ. මම කොහොම ගමේ එන්ටද ... එහෙම කියල කොහේ කියල යන්ටද... ගෙදර හැම දෙනාමත් ඉන්නේ ගිනි ගොඩක. නිවාඩු පටන් ගන්න කල් මම හදිසියේ ඉන්නේ සපූ අයියා මුණ ගැහෙන්ට. හිතට තියෙන එකම සැනසීම!"
ජිනා නංගී සමරේ හරහා එවල තිබ්බ ලියුමේ එහෙම තිබ්බේ. එයා දන්නෙ නෑනෙ, ඔය ප්‍රශ්නේ ගැන ඇත්තටම අපෙ ගෙදර තියෙන තත්වේ. ඒ හිංදා සම්පූර්ණ අනිප්පැත්ත හිතාගෙන ඉන්නේ. මං ඒක තියෙන හැටියටම කියනවද... ඒක කොහොම කරංටද.... ඒකට කියල හංගාගෙන ඉඳල මොනවා කරංටද... මේ ගැන හිතනකොට මයෙත් ඔලුව අවුල් වෙනවා. කතා කරංට කිසිම කෙනෙක් නැති එක ප්‍රස්නේ.. හිත හෑල්ලු කර ගංටවත්. මං ජිනා නංගිට ඉක්මනින්ම උත්තරයක් නං යවංටම ඕනෑ.
දවස් තුනේ නිවාඩුවට යංට කලිං රෑ කොල්ලෝ හතර පස් දෙනෙක් එක් වෙල, හොස්ටල් එකේ වත්තට අල්ලපු වත්තේ තිබ්බ ආනමාලු කෙහෙල් කැන කැපුවා. ඕක ඇවරි කපල කලිම්ම ලෑස්ති කරගෙන හිටිය කාඩ්බෝඩ් පෙට්ටියක අහුරල, හොස්ටල් එක එහා කොනේ සිවිලිම උඩට දැම්මා. බොහොම අමාරුවෙං. ලමයි නැති දවස් ටිකේ බන්ඩාරනායකලෑ තාත්තට, කෙහෙල් කැන නෑ කියල නෝට් වුනත්, හොස්ටල් එකේ කොල්ලෝ නැති හිංදා පිට කව්රුහරි කපල කියලනෙ හිතන්නේ. අන්න එහෙමයි කොල්ලෝ හිතුවේ. ඒත් මෙන්න ....
"තිරිසන් හැත්ත... මේකේ කෙහෙල් කැනක් හැදෙන්ට නෑ." රෑ අටට විතර කියනවා ඇහෙනවා. පහුවදා ප්‍රින්සිපල් සර්ට කියන කතාවකුත් කිව්වා. නානායක්කාර සර් කුස්සිය ලඟටම ඇවිත් අහගෙනත් හිටියා. හතරේ ඩෝම් එකට වැරදිලවත් සර්ලා ගියොත් බඩු හොයා ගංට නං ලේසියෙන්ම පුලුවං. පැත්ත පලාතේ යංට බෑ.. ඉදිච්ච කෙසෙල් ගෙඩි සුවඳ. සිවිලිමට කලු කූඹි පාරකුත් ඇදෙන කතාවක් එක්කෙනෙක් කිව්වා.
දෙයියන්නේ පිහිටයි..... පහුවදා උදේ වෙනකොට අරහෙ සුවඳත් නෑ... කලු කූඹිත් නෑ...! කෙහෙල් ගෙඩි හෙවීමේ මෙහෙයුමකුත් නෑ.. හැබැයි යස කතාවක් නං ඉතිරි වෙල තිබ්බා... "රන්දෝලි වඩම්මපු හැටි!" කියල.
"අර රන්ජිත් පිහිය උලුක් කරගෙන ඉස්සරහින්ම ගියේ මොකාට අනිංටද බං...?"
"ඒක ආනමාලු රන්දෝලි වඩම්මනකොට සම්ප්‍රදායක් බං...!"
"සුනේත්‍රගෙ රෝල් එක සපුට තමා කරංට වෙන්නේ..!" ඩීබී ගුනේ කිව්වා. එක එක අයට චරිත බෙදල. "නිවාඩු දෙන වීක් එකට කලින් වික් එන්ඩ් එකේ පෙන්නන්ටයි ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. ටිකක් මහන්සි වෙලා ප්‍රැක්ටිස් කරන්ට වෙයි."
"ඇඳුම්...?" මං ඇහැව්වා.
"හොස්ටල් එකේ ගර්ල්ස්ලගෙන්.. කැමති නැද්ද?"
"සපූද...?" තව එක්කෙනෙක් ඇහැව්වා. "අපොයි එහෙනුත් කරත්ත ගානට එවන්ට පෝලිම් ගැහිලා ඇත්තේ."
"ස්කර්ට්ස්... බ්ලෞසස්... බ්‍රෙසියර්ස්... කැං කැං...!"
"මේ සැරේ ඒවා වැඩක් වෙන්නෙ නෑ. සාරි, හැට්ට තමා ඕන. සුනේත්‍රා ලමා නෙවේ.. තුරුණු චරිතයක්. ඕනම නං සපූ කැමති කෙනෙක් ගෙන් ..."
"ඒයි.. තව female rolls ඇතිනේ."
"ඒ අය ගැන පස්සේ.. දැනට main attraction එක ගැන විතරක් බලමු. "
"මොනිටර් එක්සයිස් පොත් කවර දෙකත් ගර්ල්ස්ලගෙන්ම ඕන නෑ නේද සපූ..!" චන්ද්‍රසේකරලා ලොකු ලමයි... ගුනේ එහෙම. ඒ අය එක්ක එකට එක කියංටත් බෑ. ඒ වුනාට නොකියත් බෑ!
"ගිය සැරේ වාගේ මොනිටර් කවරේ රතු පාට ගෑවුනොත්... ? හැමදාම කිලුටු කරල ආපහු යවංටත් හොඳ නැ නේද?"
"ආ.... සපූට ඕනම නං හෝදලා යවන්ට. අපේ මොකෝ.. නේද ගුනේ!"
"මොන ... කිලුටු කරලා දෙන තරමට කැමති වෙන අයත් ඇති.. "
"එක්කෝ මේ සැරේ... කාඩ් බෝඩ් එකෙං හදල විතරක් ගනිමු." මං කිව්වා.
"නෑ.. නෑ... ඔයාගෙ අර හොරෙන් හොරෙන් පටිය උඩට අදින සීන් එක එහෙම ඕනෑමයි."
"ඒ වුනාට මේක අතීත කතාවක් කියල මට තේරුනේ..." ගුනෙයි චන්දරෙයි මූණෙං මූණ බලා ගත්තා. "ඒ ඇත්තනේ චන්දරේ..."
"හරි හරි... මං බොඩියක් හැටියට එකක් හදවා ගන්නංකො." මං කිව්වා.
simple "s"
2019. 11. 23
No comments:
Post a Comment