Saturday, November 23, 2019

උඩගෙදර කතා 202 "හපනා"

"හපනා... "

                 පොඩි එකා බයිසිකල් පදින්ට දැන් හරි හපනා. ඒ ගැන වැඩියෙන්ම සතුට අත්තම්මට. කොලු පැටියා මිදුලේ බයිසිකලේ පදින වෙලාවට අත්තම්මා මිදුලේ ගල් වැටේ වාඩි වෙලා බලාගෙන ඉන්නවා. නිකම්ම නෙවෙයි... හිනා කටක් හිනා වෙවී... අනේ... දත් ටිකත් තිබ්බා නං....!

                 පොඩි එකා මිදුලේ කඩුල්ල පැනලා පාරට ගිහින් බයිසිකලේ පදින්ට පටන් ගෙන ඕනෑ නං සුමානයක් ඇති. තවම හිටිය ගමන් ඉස්සරහ රෝදේ දෙපැත්තට ගැස්සිල ගැස්සිල ආපහු කෙලින් හිටින වෙලාවට අත්තම්මගෙ බඩ පපුව දාල යනවා. ඔය පාර... අන්න අතනින් හැරිල ගියොත් වටයක් කැරකිලා අනික් පැත්තෙන් ආපහු ගේ ඉස්සරහටම එන්ට පුලුවන්.

                 පොඩි එකත් පොඩි පොඩි සෙල්ලම් කෑලි අත්තම්මට පෙන්නලා සන්තෝශ වෙනවා. 
"අත්තම්මේ... මේ... කකුල් නෑ..." කොල්ලා එක සැරයක් ගේ ඉස්සරහින් අත්තම්මට එහෙම කියාගෙන ගියේ කකුල් දෙකම පෙඩ්ල් එකෙන් උඩට උස්සාගෙන. ඒත් හැන්ඩ්ල් එක හොඳට අල්ලාගෙන. "හපනාආආ..." අත්තම්මා කිව්වා.

                  පොඩ්ඩා ඊලඟ රවුම ආවේ.. "අත්තම්මේ... මේ අත් නෑ..." කියාගෙන... හැන්ඩ්ල් එක අතෑරලා. අත්තම්මට ටිකක් බයත් හිතුනා. "පරිස්සමින් පුතේ..."

                   ඊලඟ රවුම පොඩ්ඩා ඉක්මනින්ම ආවා. "අත්තම්මේ... අතුත් නෑ.. කකුලුත් නෑ... මේ..." හැන්ඩ්ල් එක අතෑරලා... කකුල් දෙකත් පෙඩ්ල් එකෙන් උඩ.. අත්තම්මට බය අස්සෙන්ම හරි සතුටුයි.

                    පොඩි එකා ඊ ලඟ රවුම එන්ට ටිකක් වෙලා ගියා. අත්තම්මත් ටිකක් කලබලයි.
"අත්තම්මේ මේ... දත් නෑ..." කියාගෙන ඊ ලඟට පොඩි එකා ආවේ විරිත්තාගෙන!

                                     (අහලා තිබ්බ එකක්... !)

"s"
2019.11.22

පින්තූරය අන්තර්ජාලයෙන් .

No comments:

Post a Comment