Wednesday, November 20, 2019

උඩගෙදර කතා 192 ඡන්ද රාජකාරි 01

ඡන්ද රාජකාරි.... 01.

                    "ඉලෙක්ෂන් ඩියුටි" කියන්නේ මොකක්ද කියලා විශේෂයෙන් රජයේ සේවයේ අය දන්නවා. මං කියන්නේ ඒ කරන රාජකාරි නෙවෙයි. කාලෙකට සැරයක් මැතිවරණයක් තියෙනකොට ඡන්ද මධ්‍යස්ථනයක රාජකාරි වලට ගිහින් හරි වෙනත් ආකාර වලින් හරි "ඉලෙක්ෂන් ඩියුටි" කිරීම ගැන.

                    මේක බරපතල වගකීමක් දැරීම අතරෙම,  ගානකුත් ගෙවලා නිළාරීන්ට ලබාදෙන හරිම විනෝදජනක අවස්ථාවක්! ඒ අයත්, අනික් කරදර කලබල, දවසකට හමාරකට හිතෙන් අයින් කරලා බොහොම සරළව ගෙවන අවස්ථාවක්. මැතිවරණ රාජකාරියක යෙදෙන කාටත් කාලයක් අමතක නොවෙන රසවත් අත්දැකීමක් දෙකක් එක්වෙනවාමයි.

                     මේ කියන රජයේ සේවකයා, කාර්‍යාල කාර්‍ය සහායක, කම්කරු හා රියැදුරු කියන තනතුරු සඳහා පත්වීම් නොලැබුවත් ඒ රාජකාරිත් ඉටු කළ කෙනෙක්. ඊට එහා හැම තනතුරක්ම ඉසිලුවා. ඒ හැම තනතුරේම මිහිරි අත්දැකීම් එකක් හරිත් එකතු වුනා.ඒ හින්දම ඒ අත්දැකීමුත් බහුලයි.

                     1982.12.22 දා , ලංකාවේ මුල්ම ලාම්පු කලගෙඩි සටන, ඒ කියන්නේ ජනමත විචාරණය පැවැත් වුනා දන්නවනෙ. අඩුගානේ අහලා තියෙනවනෙ. හොඳම "ජනමත ප්‍රකාශනය" තිබුනේ වයඹ පලාතේ මයෙ හිතේ. ඒ වෙන කතන්තර. 

                     අපෙ යාලුවට (අපි එයාට දැනට කලූ කියමු.), ඒ ජනමත විචාරණයේදී, ප්‍රධාන ඡන්ද ස්ථාන නිළධාරි හැටියට යන්න වුනේ කලුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ආසනයේ, තව මොකක්දෝ වත්තකට. වෙනදා විදියටම ගෙදරින් හදලා දුන්න කෑම එකයි, අර බෝතලෙයි, අනික් අඩුවැඩියයි අරන් උදේ වරුවෙන්ම පිටත් වුනා, ඡන්ද ලිපි ලේඛන, පෙට්ටි වාගේ දේත් එක්කරගෙන. ඒ ....වත්තේ ඉස්කෝලේ මිදුලේ වාහනේ නවත්තනකොට අවුරුදු විස්ස තිහ අතරේ වගේ පිරිමි අය තුන් හතර දෙනෙක් කෝටු වගයක් හිටවලා කොහුලණු අදිනවා.

"අපිට ග්‍රාම සේවක මහත්තයා මුණ ගැහෙන්ට...." (ඒ කාලේ ඒ තනතුර හැඳින්නුවේ එහෙම.)
"ඇයි.. මං තමයි." ගිය අය ගැන නොසැලකිල්ලෙන්ම, ඉරුන බොක්සින් බැනියමක් ඇඳගෙන වැඩ කර කර හිටිය කෙනෙක් කිව්වා. කලූට තේරුනා, ග්‍රාමේ දමනේ ලේසි වෙන එකක් නෑ කියලා.
"සතුටුයි මහත්තයෝ... මගෙ නම කලූ. ඔය මහත්තයා ?"
"අවශ්‍ය නෑ.. ග්‍රාම සේවක කිව්වම ඇති."
"හොඳමයි ග්‍රාම සේවක මහත්තයා. අපිට අද රෑටයි හෙටටයි කැම ටිකක් තේ ටිකක් සපයා ගන්න විදියක් යොදලා දෙන්න වෙයි."
"මහත්තයා... කුරුඳුවත්තේ විදියට කෑම බීම ඕනෑ නං හැතැම්ම තුන හතරකට එහායින් තියෙනවා අර ප්‍රසිද්ධ ..... රෙස්ට් හවුස් එක. අගලවත්තේ විදියට කමක් නැත්තං මෙහෙන් තැනක් හොයලා දෙන්නං."

                     මළ කෙලියයි! මේකා ගේමටමයි කතාව. කලූගෙත් මල පොඩ්ඩක් විකසිත වේ ගෙන ආවත් පෙන්නුවේ නෑ. ඡන්ද විමසීම් කාර්‍ය මණ්ඩලයට ඒ අවශ්‍යතා ඉටුකර දීම ග්‍රාමෙගෙ වගකීමක් බව මතක් කරලා දෙන්න ගියෙත් නෑ.
"රාළහාමි, මේ... එහෙම කිව්වට කමක් නැද්ද? හා ඒත්... ග්‍රාම සේවක මහත්තයා කලින් මාව අඳුරනවද?"
"නෑ... ඇයි?"
"රාජකාරියක් කර ගන්න ඇවිත් මුණ ගැහිලා මගෙන් මොකුත් වැරැද්දක් එහෙම වෙලාවත් තියෙනවද කියලා."
"නෑ.. අපි කලින් අඳුරන්නේ නෑ."
"ග්‍රාම සේවක මහත්තයෝ මේ එක දවසක රාජකාරියකට ඇවිත් මොන කුරුඳුවත්තේ කෑමද? මායි මේ හැම දෙනාමයි කැලෑ කොලයක්, පරිප්පු හොද්දක් එක්ක බත් ටිකක් කාල හැදුන මිනිස්සු. මහත්තයට අපහසුවක් තියෙනවා නං මිරිස්වත්තේ රාළහාමිට පනිවිඩයක් දෙන්ටකො පොඩ්ඩක් උදව්වක් ඕන... මාව මුණ ගැහෙන්න කියලා."
"ඒ මහත්තයා අඳුරන්නේ කොහොමද?"
"ඊයේ පෙරේදා තිබුන ඡන්දෙදි මම හිටියේ මිරිස්වත්තේ."

                       ග්‍රාමේ වචනයක් කතා නැතිව කලූගෙ මූණ දිහාම ටික වෙලාවක් බලාගෙන හිටියා. 
"ඔබතුමා මෙහෙ ඉන්නවා කියලා මං එයාට පනිවිඩේකුත් යවන්නං. මේ... කෑම බීම ටික මම සපයන්නං."

                       ඒ දවසේ ඡන්ද මධ්‍යස්ථානයේ රැඳෙන්නේ නැනි නිළධාරිණියන්ද ඇතුලුව සියළු දෙනා දෙකට රැස්වීමකට සහභාගි විය යුතුයි. ඊට කලින්, ආ අය කෑම කන්නත් ඕන. මේ හැම දෙනාටම කෑම කෙසේ වෙතත් ඒ "වෙලාව" උදාකර ගන්න ඉක්මන්. කලූලට එක් වෙන්න ග්‍රාම නිළධාරි මහත්තයටත් ආරාධනා කෙරුවා. ආරාධනය පිළිගත්තත් ඔහු එම අන්ත්‍රත්දහන වුනා. කලින් කතා කරගෙන වාගේ හැම මහත්තයෙක්ම කෑම එකට අමතර අවශ්‍යතාත් සම්පූර්ණ කරගෙන ඇවිත් තිබුනේ. මූඩියක් පෑගෙන්න තියා ඇරෙන්නත් කලින්ම මූලික වැඩේ සාර්ථකව අවසන් කර ගැනීමේ අවශ්‍යතාව වචනයකින් දෙකකින් ඒ අවිධිමත් රැස්වීමේදිම කලූ, කන්ඩායමට පැහැදිලි කළා. 

විනාඩි පහක් දහයකින් ග්‍රාම නිළධාරි මහත්තයා මතු වුනේ, යස සුදු අත් දිග කමිසයක් එහෙම ඇඳල, මුට්ටියකුත් එල්ලාගෙන. 
"ගහේ...."
"හ්ම්....!"

"මයෙ දෙයියා.. බැලට් පේපර්ස් ටික පරිස්සම් කර ගන්න ඕන."  කලූ පොලිස් රාළහාමිට කිව්වා. 
"සතේකට බය වෙන්න එපා." රාළහාමි සහතිකේ දුන්නා. සහතිකේ සහතිකයි කියලා සහතික වුනේ ඒ කොලු පැටියා අම්මා හදලා දීලා ගෙනාව බත් ටිකෙන් විතරක් සෑහීමට පත් වුනාම! පස්සේ දන්නේ කොල්ලත් බ්ලොටිං පේපර් එකක් කියල!
"රාළහාමිටම වගකීම පවරලා බෑ... අපිත්..." කලූ අනික් අයටත් කිව්වා. ඒ අයත් දෙපයින්ම එකඟ වුනා. 

                      රෑ ඡන්ද මධ්‍යස්ථානයට ජීප් එකකින් ඉහල පොලිස් නිළධාරි මහත්තයෙක් ආවා. අපෙ චූටි රාළහාමි තවත් රාජකාරියට බැඳලා තියන වචන ටිකක් ඒ මහත්තයත් කිව්වා.
"දැන් මහත්තයා මාත් එක්ක පොඩි ගමනක් යනවා. බැලට් ටික හොඳට බලා ගන්න ඕන."
"Yes Sir.."

                      අනික් කොල්ලෝ දෙතුන් දෙනෙකුටත් ඒ ගැන කියලයි මම පිටත් වුනේ. මිරිස්වත්ත පැත්තට යනකොට පාර අයිනේ දකුණු පැත්තේ දිග පොල් වත්තක් තියෙන්නේ. කෙලින් පාර. කව්දෝ දෙන්නෙක් ටෝච් එකකුත් අරන් පාර දිගේ යනවා. අපි ගිය ජීප් එක ඒ අය ඉස්සරහ නතර කෙරුවේ ටක් ගාල, ඒ අයගෙ ඇඟේ ගෑවී නොගෑවී.
"කොහෙද යකෝ මේ මහ රෑ රවුං ගහන්නේ. දුවපියව් යන්න ගෙවල් වලට. දුවපියව්... "

                      ඒ මිනිස්සු යනකල් අපි එතන තරමක් වෙලා ගිමන් හැරියා!
"සාජන්... හ්ම්..."
                     සාජන් ජීප් එකෙන් බැස්සා. සපත්තු දාගෙනම නැග්ගෙ නැතෑ තැඹිලි  ගහකට. තැඹිලි වලු දෙකක් බිමට බෑවා. ඒවත් දාගෙන ආපහු ඉස්කෝලෙට එනකොට මිරිස්වත්තේ ග්‍රාම සේවක මහත්තයත් ඇවිත්. 
"සර් මේ මනුස්සයා සර්ගෙ ඇඟට ගොඩ වුනාලු නේද?"

                     කලින් තිබුන ඡන්ද විමසීමට මේ මධ්‍යස්ථානයට ඩියුටි ආව "මහත්තයා" කෑම හින්දා ඇති කර ගත්ත පරන ගනු දෙනුවක ඇරියස් එක එයා අපේ කලූගෙන් අරන් තියෙන්නේ. මිරිස්වත්තේ මහත්තයා කලූ ගැන මේ ග්‍රාම සේවක මහත්තයාටත් කියලා තිබිලා තියෙන්නේ කලගෙඩි ලාම්පු කෙලියට මෙහෙට එයි කියලා දැනගෙන හේම නෙවේ.

                     පහුවදා උදේ හතට කලින් ඡන්ද පෙට්ටිය සීල් කර ගන්න තැන ඉඳලා හවස හතරට පෙට්ටිය වහලා සීල් කරන කල් රාජකාරි ඔක්කොම හරියටම ඉටු වුනා. ඉහලම කෑම බීම ඕනෑවට වඩාත් ලැබුනා. කලූ කලුතරින් පිටට මාරු වෙලා ගිහින් කාලයක් ගිහිල්ලත් ඒ ඉලෙක්ෂන් ඩියුටියේ ගොඩනැගුනු හිතවත්කම් හැම එකම වාගේ පැවතුනා...!  

                                                                                                    simple "s"
2019.11.02

පින්තූරය අන්තර්ජාලය ඇසුරෙන් .

No comments:

Post a Comment